top of page

ලෝකයේ ජනාකීර්ණම දුපතකට ගිය ත්‍රාසජනක ගමනක්

Please reload

Please reload

ජයාරූප පුවත්    

 මේ දුපතේ අයිතිය සම්බන්ධයෙන් කෙන්යාව සහ උගන්ඩාව අතර ප්‍රබල මත ගැටුමක් තිබෙනවා. කෙන්යානු ධීවරයින් පිරිසක් 1994 වර්ෂයේදී මේ දුපත දැක එහි වාසය කිරීම ආරම්භ කල බවයි මුලින්ම පැවසුනේ. නමුත් උගන්ඩාව පවසන්නේ 2004 වර්ෂයේදී ඔවුන්ගේ ධීවරයන් මේ දුපතට යන විට කිසිම ජනාවාසයක් එහි නොතිබුණු වගයි.  මේ දුපත පිහිටා තිබෙන්නේ හරියටම වික්ටෝරියා විල හරහා දිවෙන කෙන්යාව සහ උගන්ඩා දේශ සීමාවේ කෙන්යානු පෙදෙසට වන්නට. මේ නිසා කෙන්යානු සහ උගන්ඩා දේශ සීමා ආරක්ෂකයින්ද සමහර විට කුඩා බෝට්ටු වල නැගී මේ දුපත අවට යාත්‍රා කරනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“ඉස්සෙල්ල කෙන්යානු දේශසීමා ආරක්ෂකයන් හමු වුනොත් කියන්න යන්නේ කෙන්යාවේ මිගින්ගේ දුපතට කියලා. හැබැයි උගන්ඩා දේශසීමා ආරක්ෂකයින් හමුවුනොත් කියන්න උගන්ඩාවේ මිගින්ගෝ දුපතට යනවා කියල” මේ ක්‍රිස්ටිගේ අවවාදයයි.

මා ගමන් ගන්නා මෝටර් බෝට්ටුව පවනට බඳු වේගයෙන් වික්ටෝරියා විල හරහා යාත්‍රා කරනවා. අපේ ගමනාන්තය මිගින්ගෝ කුඩා දුපතයි. මේ දුපත ලෝකයේ වැඩිම ජනාකීර්ණ දුපත් කිහිපයෙන් එකක්.  මේ දුපත වර්ග කි. මී. 2ක් පමණ විශාලයි. ඒ කියන්නේ පාපන්දු පිටියකින් භාගයක් පමණ. මෙහි ජනගහනය පුද්ගලයින් 400ක් පමණ වෙනවා.  එයින් 80%ක් කෙන්යානු ජාතිකයින් වන අතර 20% ක් උගන්ඩා ජාතිකයින් වෙනවා.

 

වික්ටෝරියා විල කියන්නේ අප්‍රිකාවේ තිබෙන ලොකුම ජලාශය සහ නැවුම් ජලය ඇති ලොව දෙවන විශාලතම විලයි.  වර්ග කි.මී. 68,800 ක් වන මේ ජලාශයේ ඉවුරු රටවල් 3ක්  බෙදා හන්නවා. ඒ කෙන්යාව. උගන්ඩාව, සහ ටැන්සානියාවයි.

කෙන්යාවේ මුහුරු නගරයේ පුංචි ධීවර වරායක් වික්ටෝරියා විල ඉවුරේ තිබෙනවා. මේ ධීවර වරායෙන් තමයි මමත් මගේ මිත්‍ර රුවන්ඩා ජාතික කැප්ටන් ලොයිඩ් ඒ වගේම කෙන්යානු ජාතික ක්‍රිස්ටිත් උදෑසනම පිටත් වුනේ. කෙන්යානු ශිලින්ග් 1500 ක් (රුපියල් 2000ක් පමණ) මේ සඳහා ධීවර යාත්‍රා හිමියාට ගෙවන බවට අපි පොරොන්දු වුනා.  මෙය තරමක් භයානක ගමනක් වගේම දුෂ්කර ගමනක්. එයට හේතුව පැය තුනක කාලයක් මෝටර් බෝට්ටුවකින් ගමන් කිරීමත් එයටත් වඩා වික්ටෝරියා විලේ මේ දුපත අවට යාත්‍රා කරන කුඩා බෝට්ටු වල සිටින අප්‍රිකානු කොල්ලකරුවන් ගෙන් මිදී දුපත වෙත යාත්‍රා කිරීමත් ආපසු පැමිණීමත් ලේසි පහසු ක්‍රියාවක් වන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හොඳ විශ්වාස සහ මේ කොල්ලකරුවන් හොඳින් අඳුරන බෝට්ටු හිමියෙක් ගේ සහයෝගය ලබා ගත්තේ.

 

ක්‍රිස්ටි සහ කැප්ටන් ගේ අවවාද වලට අනුව මට රැගෙන යාමට හැකිවුයේ මගේ ගමන් බලපත්‍රයත් කුඩා කැමරාවකුත් මුදල් සුළු ප්‍රමාණයකුත් විතරයි. ඒ සමහර විට කොල්ලකරුවන් අපගේ දේවල පැහැරගනී යයි බිය තිබුණු නිසා.

වැසි සහිත කාලගුණයක් තිබුණු නිසා වික්ටෝරියා විලේ සමහර තැන් මීදුමෙන් වැසිලයි තිබුනේ.  ඒ මීදුම අතරින් ටිකෙන් ටික මේ මිගින්ගේ දුපත පෙනෙන ගත්තා. අතරින් පතර යාත්‍රා කල කුඩා ධීවර බෝට්ටු කිහිපයක් හැරෙන්නට් මුල් අවස්තාවේදී වෙනත් කිසිම බෝට්ටුවක් පෙනෙන්නට තිබුනේ නැහැ.  දුපත මට පෙනුනේ හරියට මහා සාගරයේ විශාල ගලක් උඩ ටකරන් අසුරා ඇති ආකාරයටයි. ඒ කියන්නේ මුළු දුපතම වාගේ එකම ටකරන් වහලකින් වැසී තිබුනා.

 

“ ඔන්න අරුන් එනවා. මම කියපු විදිහට කතා කරන්න. බය වෙන්න එපා. ඔය සුද්දෙක් වගේ පෙන්නේ නැති හින්දා ඔයාගෙන් මොකුත් අහන එකක් නැහැ. “ කැප්ටන් ගේ කට හඬින් මම අවදි වුනා.

නිමේෂණයකින් අපේ බෝට්ටුව වෙත ආවේ කුඩා මෝටර් බෝට්ටු 2ක්. කොයි පැත්තෙන් ආවාදැයි කියා මට හිතා ගන්නට බැරි වුනා.  කළු කොටකලිසම් සහ රතු ටී ෂර්ට් වලින් සැරසුණු හැඩිදැඩි පිරිම් කිහිප දෙනෙක් මේ බෝට්ටු වල සිටියා.

ඔවුන්ගේ අතේ තිබුනේ තුවක්කු නොව දිග මන්නා පිහි. මා එක්වරම ජායාරුපයක් ගන්නට හැදුවත් කැප්ටන් එය වලක්වාලුවා.

"මේ කවුද?”  යාත්‍රාව අසලට පැමිණුනු එක් හැඩිදැඩි පිරිමියෙක් ඇහුවා.

“මගේ යාලුවෙක් මිගින්ගේ දුපත බලන එක්ක යනවා. “

“ශිලින්ග් දෙසිය පනහයි”

එක් වරම කැප්ටන් ශිලින්ග් 250ක් ඔහු අත  තැබුවේ තව දුරටත් ප්‍රශ්න ඇහීම නතර කරන්න කියලයි මට හිතුනේ.

මුදල් ලබා ගත් එක් බෝට්ටුවක් ඉක්මනින්ම පිටවී ගියත් අනික් බෝට්ටුව අප ඉදිරියෙන් යාත්‍රා කරමින් මිගින්ගේ වෙරළට යාම සඳහා අනික් කුඩා බෝට්ටු අතරින් මග පෙන්වූවා.  

ad

ad

මිගින්ගේ වෙරළ අතුරු සිදුරු නැතිව පිරිලයි තිබුනේ. එදා පොළ දවසක්ලු. හැමදාම පොළ දවස වගේ කියලා තමයි කැප්ටන් මට පැවසුවේ.

 

මේ දුපතේ ඇත්තටම තිබෙන්නේ ඉතා පටු මාවත් 2-3ක් සහ මුළු දුපතම වසා ගෙන ඉදි කර ඇති පැල්පත්.  මිනිසුන්ගේ ඝෝෂාව නිසා කතා කරන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. දුපතේ වෙරළට ආපු අපි වටා අප්‍රිකානු කුඩා දරුවන් වට වෙන්න ගත්තා.

මාත් එක්ක ආපු කැප්ටන් කීප වතාවක් මේ දුපතට පැමිණ තිබෙනවා. දුපතේ මීටර 100ක් විතර ඇවිද ගිය අපි ගොඩ වුනේ කුඩා ආපන ශාලාවකට. ඇත්තටම අපි මේ ආපන ශාලාවට ගොඩ වුනේ අපි වටේ ගැවසෙන කුඩා දරුවන්ගෙන් බේරීමට.  ආපන ශාලා සේවකයෙකු සමග කතා බහට වැටුණු අපි දැන ගත්තේ මේ දුපතේ මෙවැනි කුඩා පබ් හෙවත් ආපන ශාලා 3-4ක් තිබෙන බවත් ඉඳ හිට සංචාරකයින් පැමිණෙන බවත්. දුපත කොයිතරම් දුප්පත් වුවත් හැබැයි අපි ගිය ඒ පබ් එකේ රුපවාහිනී යන්ත්‍ර සහ ඩීසල් වලින් වැඩ කරන ජෙනරේටරයක් වගේම බිලියර්ඩ් ක්‍රීඩා කරන්න අවශ්‍ය පහසුකම් පවා තිබුනා !  ඒ වගේම කොණ්ඩය කපා ගන්න බාබර් සාප්පුවකුත් මේ දුපතේ තිබෙනවා.

 

ජායාරුප ගන්න කැමරාව මගේ සාක්කුවෙන් එලියට ගන්න පවා අපහසුයි. කැප්ටන් මට අවවාද කලේ ජායාරුප ගැනීම කෙසේ වෙතත් කැමරාව කුඩා ළමයින් උදුරාගෙන යාමෙන් ආරක්ෂා කර ගන්නා ලෙසයි.

තවත් ශිලින්ග් 200 ක් ගෙවූ අපි මේ ආපන ශාලාවෙන් දිවා ආහාරය ලබා ගත්තා. දිවා ආහාරයට තිවුනේ මේ වික්ටෝරියා විලෙන්ම අල්ලා ගත් බැදපු මාළු සහ බත්. කැමති නම් තවත් ශිලින්ග් 500 ක් ගෙවා එදින රාත්‍රිය ගත කරන්න මේ ආපන ශාලාවේ සේවකයා අපිට යෝජනා කළා.  නමුත් අපිට අවශ්‍ය වුනේ මේ දුපතේ පැය 2-3ක් පමණ සංචාරයේ යෙදෙන්න විතරයි.

විශාල ප්‍රමාණයේ ගස් 4-5ක් විතරයි මුළු දුපතටම තිබෙන්නේ. එක වාහනයක් තියා බයිසිකලයක් වත් මේ දුපතේ නැහැ. දුපත කුඩා නිසා ඒවායේ අවශ්‍යතාවයක් නැහැ. දුපතේ සනීපාරක්ස්හක් තත්වය ගැන නම් කතා නොකරම බැහැ. දුපතේ එක් විවෘත පෙදෙසක් වැසිකිලි ලෙස පාවිච්චි කරන ආකාරය තමයි අපි දුටුවේ.  සියලුම අප ද්‍රව්‍ය ලෝකයේ පිරිසිදු ජලය තිබෙන විලක් හැටියට සලකන වික්ටෝරියා විලට බොහොම පහසු අන්දමින් මුදා හැරෙනවා..!  

 

මේ දුපතේ සෑම කෙනාම ජීවත් වන්නේ ධීවර කර්මාන්තයෙන්. වික්ටෝරියා විලේ මේ දුපත අවට ප්‍රදේශයේ තමයි වැඩිපුරම මත්ස්‍ය සම්පත් තිබෙන්නේ. මේ නිසා තමයි උගන්ඩාව සහ කෙන්යාව මේ දුපත වෙනුවෙන් මෙතරම් උනන්දු වන්නේ.

 

අපි දුපතේ ගත කලේ පැය 3ක් විතරයි.  ඒ වෙලාවේදී අඩුම වශයෙන් ධීවර බෝට්ටු 100ක් වත් මේ දුපතට ලඟා වෙනු අපි දැක්කා.  ඒ වගේම තවත් සමහර බෝට්ටු විශාල වශයෙන් මාළු පටවා ගෙන මේ දුපතෙන් කෙන්යාව සහ උගන්ඩාව බලා  පිටත් වෙන අයුරුත් අපි දුටුවා.

මාළු වෙළඳාමෙන් මේ ධීවරයන් ජීවත් වුවත් දිනක ඩොලර් 300කට වඩා මාළු වලින් ආදායමක් ලබන බව මුහුදු කොල්ලකරුවන්ට තේරුම් ගියා. ඒ නිසා ඔවුන් පැමිණ මාළු සහ ඔවුන්ගේ ආම්පන්න සොරකම් කරන්නට පටන් ගත්තා. ඒ වගේම කප්පම් ඉල්ලනටත් පටන් ගත්තා. කරදරයට පත් වුනු මේ මිගින්ගෝ දුපත් වාසීන් කෙන්යාවෙන් සහ උගන්ඩාවෙන් ඉල්ලා සිටියා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. නමුත් ඉස්සෙල්ලාම ප්‍රතිචාර දැක්වුයේ උගන්ඩා පොලීසිය.  හැබැයි ඔවුන් කලේ තම ආරක්ෂක බලකායක් මේ දුපත වෙත යවලා කොල්ලකරුවන් තාවකාලිකව පලවා හැරලා උගන්ඩා ධජය මේ දුපතේ එසවීම. ඒ කියන්නේ උගන්ඩා පාලනය ඇති කිරීම.  ඒ වගේම ටිකෙන් ටික ඔවුන්ද මේ ධීවරයන්ගෙන් බද්දක් අය කරන්නට පටන් ගත්තා. මේ හින්දා අද වන විට මේ තත්වය උගන්ඩාව සහ කෙන්යාව අතර දරුණු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා.

 

මේ දුපතේ ජීවත් වෙන මිනිසුන් 500 දෙනාට එකම දොස්තරවරයෙක් වත් නැහැ. යම් කෙනෙකුට අසනීපයක් වුවහොත් කෙන්යාවේ කිසුමි නගරයට පැය 3ක් යාත්‍රා කරන්න ඕන.  මේ දුපතේ ළමයින්ට යන්න පාසලක් නැහැ. ඔවුන් කරන්නේ ධීවර කර්මාන්තයේ යෙදෙන දෙමව්පියන්ට සහයෝගය දීම නැතිනම් මාළු වේලීම.

මේ දුපත සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ. ඊට හේතුව මෙයට ලඟා වීමට කෙන්යානු හෝ උගන්ඩා රජයෙන් ගමනාගමන පහසුකම් ලබා දී නොතිබීම සහ බෝට්ටු අයිතිකරුවන් සමග කතිකා කර ගැනීමට ඇති අපහසුතාවයන් නිසා යයි මම හිතනවා. 

 

ජීවිතයේ අපුර්වතම අත්දකීමක් ලබා ගත් අපි මිගින්ගෝ දුපතෙන් ආපසු එන්නට පිටත් වුනා.  කරදරයක් නොමැතිව දුපතෙන් පිටවීමට ලැබීම ගැන ක්‍රිස්ටි දෙවියන්ට ස්තුති කළා. 

 

මගේ නැගෙනහිර අප්‍රිකානු සංචාරයේ තවත් එක අත්දැකීමක් මෙසේ අවසන් වුනා.  මගේ ඊළඟ අරමුණ වුනේ කිසුමි නගරය පහු කරලා කෙන්යා දේශ සීමාව හරහා උගන්ඩාව වෙත යන්න.

රොහාන් ඩිරෙක්ස් - මොස්කව් 

සංචාරය කලේ 2015 ජනවාරි මාසයේදී 

www.sanchara.lk 

මිගින්ගේ දුපතේ වැඩිපුර ජායාරුප ලබා ගන්නට මට අවස්ථාවක් ලැබුනෙම නැහැ. ඒ නිසා අනිකුත් සංචාරකයින්ගේ ජායාරුප කිහිපයක් මම මේ ලිපියට එකතු කළා. daniel Howden via google plus, www.flightnetwork.com , whenonearth.net www.nation.co.kewww.andrewmcleish.com

ඔබේ අදහස්   

තවත් පුවත් 
Please reload

bottom of page