රොහාන් ඩිරෙක්ස්  

rohandx@hotmail.com 

www.sanchara.lk 

කි.මී. 1950ක් දිග දොන් ගඟ රුසියාවේ තිබෙන ගංගා අතරින් ප්‍රසිද්ධ ගංගාවක්. මොස්කව් අසල පිහිටි තුලා දිස්ත්‍රික්කයේ කුඩා නගරයකින් ආරම්භ වී රොස්තොව් නගරය පසු කරමින් අසෝව් මුහුදට වැටෙනවා.

 

රුසියාවේ මේ දොන් ගඟ හඳුන්වන්නේ ආසියාව සහ යුරෝපය වෙන් කරන මායිම හැටියටයි.  මේ දොන් ගඟේ වතුර ගලන්නේ ඉතාමත් සෙමින්. ඒ හින්ද තමයි රුසියානු භාෂාවෙන් තීහී දොන් නැත්නම් නිසලව ගලා බසින දොන් ගඟ යන අරුත ලැබිලා තියෙන්නේ.

Please reload

තුලා නමින් හඳුන්වන දිස්ත්‍රික්කයේ දොන් ගඟ ආරම්භ වෙන ස්ථානයේ ගල් වලින් තැනූ කුඩා සිහිවටනයක් තිබෙනවා. 

 

මේ ගංගාවේ ඉතිහාසය රුසියානු ජන ජීවිතයත් සමග ඉතා කිට්ටු සම්බන්ධයක් තිබෙනවා.

 

වසර දස දහස් ගණනාවක් ගලා යන මේ ගංගාවට යට වුනු ගම බිම් , ඉඩ කඩම් තැනි තලා එමටයි.

1953 වසරේදී මේ දොන් නදිය හරස් කොට සිම්ල්යාන්ස්කි ජලාශය ආරම්භ කරන්න එවකට බලයේ සිටි සෝවියට් දේශය තීරණය කළා. මේ ජලාශය නිසා දොන් ගඟේ ජලයේ වේගය තුනෙන් එකකින් පමණ අඩු වුනා.  මේ ජලාශය කොපමණ විශාලදැයි කිවහොත් අද එය සිම්ල්යාන්ස්කි මුහුද නමින්ද හැඳින්වෙනවා. ඔබ විශ්වාස කරනවාද ? මේ සිම්ල්යාන්ස්කි මුහුදට කුඩා ගම්මාන  164ක් යටවී තිබෙනවා.  කලාච් නගරය සහ දුම්රියා මාර්ග කිහිපයකුත් යටවුනා. මේ එහි ප්‍රමාණය හෙක්ටයාර් 263,000ක්. මිනිසුන්ගේ දැඩි විරෝධතාවය අතරේ තමයි සෝවියට් රජය මේ ජලාශය ආරම්භ කලේ.

රුසියාවේ තිබෙන තවත් ප්‍රසිද්ධ ගංගාවක් වන වොල්ගා නදිය සහ දොන් නදිය අතර සම්බන්ධතාවයක් ගොඩ නගන්න වසර ගණනාවක් නොයෙකුත් පුද්ගලයින් උත්සාහ කළා. වසර 2500කත පෙර පර්සියානු රජෙකු වූ දාර්, ඇලෙක්සැන්ඩර් මැකඩොන්ස්කි ඒ වගේම පළමුවන සාර් රජු මේ අතර වෙනවා. නමුත් මේ ක්‍රියාව හරියටම කරන්නට පුළුවන් වුනේ සෝවියට් දේශයේ නායකයෙකු වූ ස්ටාලින් හට විතරයි.

ඒ 1930 ගණන් වලදී සෝවියට් සිර කරුවන්ගේ නොමිලේ ලබා ගත් ශ්‍රමයේ ආධාරයෙන්. මේ වොල්ග-දොන් ඇල නමින් අද හඳුන්වන මේ ජල මාර්ගය ඇත්තටම සෝවියට් දේශයේ විශ්මය ජනක නිර්මාණයක්.  සෝවියට් සිරකරුවන් 50,000කට අධික පිරිසක් දිවා රාත්‍රී වසර 3ක පමණ කාලයක් මේ වෙනුවෙන් වැඩ කළා. මේ ඇල මාර්ගය හැරීමට පස් කියුබික් මීටර මිලියන 150ක් පමණ ඉවත් කරන්නට සිදු වුනා. ඒවා ඉවත් කරන්න විශාල ලොරි මිලියන 2.5 වාරයක් ඇල මාර්ගය වෙත ගමන් කර තිබෙනවා.

මෙහි වැඩ කොතරම් අමාරුදැයි කිවහොත් සෑම සිරකරුවෙකුගේම සිර ජීවිතයේ දවස් දෙකක් මේ වෙනුවෙන් වැඩ කල එක් දවසක් වෙනුවෙන් අඩු කරන්නට එවකට සෝවියට් බලධාරීන් ක්‍රියා කොට තිබුනා. මේ අනුව මේ වොල්ග-දොන් ඇල සාදා නිම වන විට සිරකරුවන් 26,000ක් ට අධික ප්‍රමාණයකට නිදහසද ලැබුනා. හැබැයි තවත් දහස් ගණනක් මිය ගොස් තිබුනා. 1952 මැයි මාසයේ 31 වැනිදා පළමු වරට මේ ඇලේ  ජලය ගලා ගියා.

මේ 1952 වර්ෂයේ පළමු වරට වොල්ගා නදියේ ජලය හ දොන් ගඟේ ජලය එකට එකතු වූ අවස්ථාව.

තවත් පුදුම දෙයක් වන්නේ වොල්ගා නදියේ ජල මට්ටමේ සහ දොන් නදියේ ජල මට්ටම් අතර ලොකු වෙනසක් පවතිනවා. මේ නිසා ඇල මාර්ගයේ නැව් ගමන් කිරීමේ පහසුව තකා විශේෂ වේලි 9ක් සෑදීමටත් සිදු වුනා. ඒ අනුව නවක මේ ඇල මාර්ගය හරහා උඩු අතට ගමන් කිරීමීදී මේ වේල්ල මතට පැමිණිය පසු ඒ කොටසට ජලය පුරවා ඒ නැව ඊළඟ ජල මට්ටම දක්වා ඉහලට ඔසවා තබනවා. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යම් දිනෙක නැවත වරක් ජර්මානු ආක්‍රමණයක් රුසියාවට විරුද්ධව ඇති වුවහොත් විදේශික නාවික යාත්‍රා රුසියානු ඇල මාර්ග හරහා යාත්‍රා කිරීම අපහසුතාවයකට ලක් කිරීමද මේ විශේෂ වේලි මගින් සිදු වෙනවා

 

 

Please reload

වොල්ග දොන් ඇලේ නැව් ගනාගමනයෙදී මේ විශේෂ වේලි ක්‍රියාකරන ආකාරය ඉහත ජායාරුප වලින් සහ මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.

වොල්ග දොන් ගංගාවන් එකතු කිරීමේ පළමුවන ප්‍රයත්නය සාර්ථක වුවාට පසු 1980 වර්ෂයේ නැවත වරක් තවත් පැත්තකින් මේ ගංගා දෙක සම්බන්ධ කිරීමට ඇති දැවැන්ත වැඩ පිළිවෙලක් එවකට සෝවියට් රජය ආරම්භ කළා.  නමුත් 1990 වසරේදී සෝවියට් දේශය බිඳ වැටීමට වසරකට කලින් මුල්‍යමය පහසුකම් සපයා ගැනීමට නොහැකි නිසා අතරමග නතර කර දැමුවා. ඒ වන විට වැඩ පිළිවෙලින් 20% පමණ නිම කරලයි තිබුනේ. දැන් ඒ ස්ථාන පාලුවට ගොස් තිබෙනවා. 

12 වන සියවසේදී මේ දොන් නදිය අසබඩ අමුතුම මාදිලියේ ජන සමුහයක් බිහි වුනා. අද දොන් කොසැක් වරුන් නමින් හඳුන්වන්නේ ඔවුන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ දොන් කොසැක් වරුන් වරුන් ගැන සඳහන් වන්නේ සාර් ඉවාන් ග්‍රෝස්නිගේ ගේ කාලයේ. මිනිසුන් සාර් රජු වෙත පැමිණ සැල කලේ ඔබට පක්ෂපාතී බිය නැති මිනිසුන් සමුහයක් දොන් ගඟ අසබඩ වෙසෙන බවත්. ඒ වගේම 1552 වර්ෂයේදී මේ  කොසැක් වරුන් ගේ හමුදාව සාර් රජු අතින් දොන් ගඟ අසබඩ ඉඩකඩම් වල අයිතිය ලබා ගත්තා.

ඔබ අහලා ඇති සුප්‍රසිද්ධ සෝවියට් ලේඛක මිහායිල් ශෝලොහොව්. මොහු ජීවත් වුනේ මේ දොන් නදිය අසබඩ තිබෙන වියෝශේන්ස්කි කියන කුඩා ගම්මානයේ.  ඔහුගේ නොබෙල් ත්‍යාගය දිනු "And Quiet Flows the Don" හෙවත් "දොන් ගඟ නිසලව ගලා බසී" යන නව කතාවේ මේ  කොසැක් වරුන් ගැන අපුරුවට සඳහන් වෙනවා. 

මේ දිස්වෙන්නේ සෝවියට් දේශයේ නිෂ්පාදනය කරපු දොන් ගඟ නිසලව ගලා බසී චිත්‍රපටයේ දර්ශන කීපයක්.

අද මේ නිවස ශෝලොහොව් කෞතුකාගාරය ලෙස හඳුන්වනවා.  හැබැයි මේ දැනට තිබෙන නිවස සෑදුවේ  1949 වසරේදී. 1941-1945 දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මානු හමුදා ස්ටාලින්ග්‍රාඩ් (දැන් වොල්ගෝග්‍රාඩ් ) නගරය වෙත පැමිණුනේ මේ වියෝශේන්ස්කි කුඩා ගම්මානය හරහා.  එය බෝම්බ දමා විනාශ කර දමනු ලැබුවා.  නමුත් යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු ශෝලොහොව්ට සෝවියට් රජය විසින් මේ නිවස නැවත සාදා දුන්නා. ඔහුගේ තවත් ජනප්‍රියතම නවකතා දෙකක් වන "මිනිසෙකුගේ ඉරණම" සහ "ඔවුන් රට වෙනුවෙන් ජීවිතය දුන්හ" ලියුවේ මේ නිවහනේ සිට.

ශෝලොහොව් මිය ගියේ 1984 වර්ෂයේ. අදටත් මේ කෞතුකාගාරයේ පරිපාලනය මෙහෙයවන්නේ මිහායිල් ශෝලොහොව්ගේ මුනුපුරෙක් වන ඇලෙක්සැන්ඩර් මිහායිලොවිච්.

රොස්තොව් නගරය පිහිටා තිබෙන්නේ මේ දොන් නදිය ඉවුරේ.  අති විශාල සෝවියට් සිරකරුවන්ගේ ශ්‍රමයෙන් බිහිවූ වොල්ග-දොන් ඇලත්,  මේ දොන් නදියත් රුසියානු ජනතාවගේ රුසියානුකම විදහාපාන ස්ථානයන්.

 

අද මේ දොන් නදිය රැක ගන්න රුසියාව විශේෂ පියවර කීපයක් අරගෙන තිබෙනවා. දොන් නදියේ ගමන් කරන නැව් වලින්  පිටකරන අප ද්‍රව්‍ය දැමීම සඳහා ඒ ගමන් මාර්ග වල විශේෂ ස්ථාන හඳුන්වා දී තිබෙනවා. රොස්තොව් නගරයේ කර්මාන්ත ශාලා වලින් පිටකරන අප ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය දොන් ගඟටයි පිට කෙරෙන්නේ. මේ හේතුව නිසා දොන් ගඟ තව දුරටත් අපිරිසිදු වෙලා. 

රොස්තොව් නගරයේ දොන් ගඟ හරහා ඉදි  කර ඇති දැවැන්ත පාලම

 

මේ දොන් ගඟේ ජලය අපිරිසිදු කරන ක්‍රියා මාර්ගයන් වලට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න රොස්තොව්, වොරෝනිෂ් යන නගර වල ජනතාව ඉදිරිපත් වෙලා ඉන්නවා. 

 

මේ ප්‍රශ්න කෙසේ වෙතත් වසර දහස් ගණනක් අතීතයේදී දොන් ගඟ ගලා ගියා වගේ තවත් වසර දහස් ගණනක් රුසියානු ජනතාවගේ හදවත් වලට රුසියානු පොලවට නැවුම් බවක් ජීවයක් ලබා දෙමින් දොන් ගඟ තව දුරටත් නිසලව ගලා බසීවී.