top of page

අසර්බයිජානයේ සංචාරයක්

අසර්බයිජානය කියන්නේ පැරණි සෝවියට් දේශයේ සමුහාණ්ඩු වලින් එකක්. සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම ස්වාධීන රාජ්‍යක් හැටියට ඉදිරියට පැමිණි මේ රට තම අසල්වැසියා වූ ආර්මේනියාව සමග නිරන්තර යුද්ධයකට පැටලී තිබෙනවා. ආර්මේනියාවත් පැරණි සෝවියට් දේශයේ සමුහාණ්ඩු වලින් එකක්. 

​අසර්බයිජානය සහ ආර්මේනියාව අතර පිහිටා තිබෙන නාගොර්නි-කරබාහ් ප්‍රදේශයේ අයිතිය සමබන්ධයෙන් තමයි මේ රටවල් දෙක අතර යුද්ධය ආරම්භ වෙලා තියෙන්නේ. 1920 වසරේදී බෝල්ෂෙවික් වරුන් විසින් අසර්බයිජානය සෝවියට් දේශයට හිමි කර ගත් අතර 1921 වසරේදී ආර්මේනියාව සහ ජෝර්ජියාව ද සෝවියට් දේශයට හිමි කර ගත්තා. එවකට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ජාතීන් අතර සහයෝගීතාවය පිළිබඳව කොමිසාර් වශයෙන් කටයුතු කලේ පසුව සෝවියට් දේශයේ නායකයා බවට පත්වූ ජෝෂප් ස්ටාලින්. ඔහුගේ තීරණයකට අනුව ආර්මේනියානු ජනතාවගේ සිත් දිනා ගැනීමට කරබාහ් ප්‍රදේශය ආර්මෙනියාවට ලබා දෙන්නට තීරණය තිබුනත් තුර්කියා හා සම්බන්ධ වී තිබුණු ප්‍රශ්න වලින් මිදෙන්නට අවසානයේදී ඒම ප්‍රදේශය අසර්බයිජානය හා සම්බන්ධ කිරීමට සිදුවුනා. 

1988 වසරේදී අසර්බයිජානයේ මේ ප්‍රදේශයේ ජීවත් වන ආර්මේනියානු ජාතිකයින් අසර්බයිජානයෙන් වෙන්ව ජීවත් වීමට තීරණය කිරීම තත්වය තවත් දරුණු වුනා. 1991 වසරේදී ජනමත විචාරණයෙන් සහ  සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම යටපත් වී තිබුණු මේ දේශ සීමා ප්‍රශ්නය නැවත වතාවක් දේශපාලන කරලියට පැමිණුනා. එ මොහොතේ සිටම අද දක්වාම පසුගිය වසර 25ක් පමණ කාලයක් තුල බිහිසුණු යුද්ධයක් බවට මේ ප්‍රශ්නය ගමන් කර තිබෙනවා. 

මොස්කව් සිට මා ගමන් ගත් අසර්බයිජාන් ගුවන් සමාගමට අයිති ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බාකු නගරයේ පිහිටා ඇති ගයිඩාර් අලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා වුනේ මධ්‍යම රාත්‍රියේ. 

"ඔබ ආර්මේනියාවේ සංචාරය කර තිබෙනවාද ?" අසර්බයිජානු ආගමන නිලධාරිනීගේ උකුසු ඇස් මගේ ගමන් බලපත්‍රයේ පිටු අතර ඇති වීසා සටහන් දෙසට යොමු කරමින් මගෙන් විමසා සිටියා.

"ඔව්. මා එක් වරක් ආර්මේනියාව වෙත ගොස් තිබෙනවා"

"ඔබ ආර්මෙනියාවට ගියේ කුමක් සඳහාද?"

"සංචාරකයෙක් හැටියට"  මගේ පිළිතුර වුනා.

"ඔවේ නෑදෑයන් ආර්මේනියාවේ සිටිනවාද ?" මේ ප්‍රශ්නයට මගේ මුවඟට සිනහවක් නැගුනත් ඇය ඉතාමත් කල්පනාකාරී ලෙස මා දිහා බලා සිටිනු මා දුටුවා.

"ආර්මේනියාවේ මොන නගර වලටද ඔබ සංචාරය කර තිබෙන්නේ ?" ආගමන නිලධාරිනීගේ මේ ප්‍රශ්නය මම බලාපොරොත්තු වුවා. යම් විදිහකින් මා නාගොර්නි කරබාහ් ප්‍රදේශයේ සංචාරය කර තිබුණහොත් අඩංගුවට ගැනීමට හෝ අසර්බයිජානයට ඇතුල් වීමට නොදීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 

අසර්බෛජානය සහ ආර්මේනියාව අතර ඇති විරසකය ඔබට මෙයින්ම තේරුම් ගන්නට පුළුවන්. 

අසර්බයිජානය වැඩි වශයෙන් ඉරාන සහ තුර්කියේ ආභාෂය ලත් ජනතාවක් සිටින රටක්. හැබැයි රුසියානු ක්‍රමය පිළිපදින රටක්. ඔබට මම කියන දේ පැටලේවී! අරාබි ක්‍රමයට පානය කරන තේ අතරට රුසියානු ක්‍රමයට පානය කරන වොඩ්කා ද ඔවුන්ගේ ජීවිතයට එක් වී තිබෙනවා. ඒ නිසා තමයි විදේශිකයින් අසර්බයිජාන් ජාතිකයින්ව හඳුන්වන්නේ ඉරාන් තුර්කි මිශ්‍ර නමුත් රුසියානු කැප් තොප්පියක් පළඳින ජාතියක් කියා. 

බාකු නගරයේ පැරණි සෝවියට් ගොඩනැගිලි, නවතම ඩුබායි නුවර මෙන් අහස් කුස සිප ගන්නා ගොඩනැගිලි අතරේ තිබෙන අරාබි භොජුන්හල් තානායම් වල විතරක් නොවේ අසර්බයිජානයේ සාමාන්‍ය ජන ජීවිතයේදී පවා මේ දේවල් හැමවිටම දැක ගන්නට පුළුවන්. අසර්බයිජානයට මේ ආවේනික දේවල් ලැබුනේ වසර 60 කටත් වඩා තිබුණු සෝවියට් පාලනයේ බලපෑම නිසා.

ගුවන් තොටුපලට පැමිනෙන ඔබ දකින්නේ සුපිරි තාක්ෂණයෙන් යුතු නවීන පන්නයේ ගුවන් තොටුපලක්. එයින් පිටවී නගරය වෙත පැමිණෙන විට ඔබ පුදුම වෙනවා නම් නිසැකයි. අහස කුස සිප ගන්න නවීන ගොඩනැගිලි, ලොව සියලුම අහාර රටාවන් සහිත අවන්හල්, ලොව ප්‍රසිද්ධම හෝටල, ලොව අංක එකේ වාහන වර්ග මේ සියල්ලටම වඩා අති පිරිසිදු තත්වයෙන් පවත්වාගෙන යන මහා මාර්ග. මෙතෙක් කල් අසර්බයිජානය ලොව සංචාරකයින් අතර ජනප්‍රිය වී නොතිබුනේ ඇයි ?  කොහේද මේ අසර්බයිජාන් තිබුනේ !

​මේ සියල්ලේම රහස ඉන්ධන. අසර්බයිජානය ඉන්ධන සහ ගෑස් නිධි වලින් සමන්විත පෙදෙසක්. මේ සියල්ල නිසි කළමනාකරණයෙන් අද ඔවුනට මෙවැනි තත්වයකට පැමිණෙන්නට හැකි වෙලා තිබෙනවා. 

​​බාකු නගරයට පැමිණුනු පළමු දිනයේම මහන්සිය නොතකා නගරය නැරඹීමට සුදානම් වුනා.  රාත්‍රී කාලයේ බාකු නගරය අතිශයින්ම අලංකාරයි. නගර මධ්‍යයේ පිහිටා තිබෙන ගිනි සිළුවක් ආකාරයෙන් ඉදි කර තිබෙන ප්‍රධාන ගොඩනැගිලි තුනක විදුලි ආලෝකයන් මගින් දර්ශනීය රටා මවනවා. අසර්බයිජානය යන නමේ තේරුම පවා ගින්න හා සම්බන්ධව වී තිබෙනවා. වසර දහස් ගණනකට පමණ පෙර මේ ප්‍රදේශයේ ජීවත් වූ ජන සමුහයක් හා ඔවුන්ගේ ගිනි දෙවියන් ඇදහීම මුල් කර ගෙන අසර්බයිජානය යන නම සෑදුනු බවයි පැවසෙන්නේ.

යනාර් දාග් ස්ථානය පිහිටා තිබෙන්නේ බාකු නගරයට ආසන්නව. මේ ස්ථානයේ පොලවේ වැලි අතරින් මීටර් 3ක් පමණ උසට ගිනි දැල් විහිදෙනවා. ඉන්දියානු සහ ඉරාන ජාතික සංචාරකයින් මේ ස්ථානය පුජනීය ස්ථානයක් හැටියට සලකනවා. අසර්බයිජානය විශාල ගෑස් නිධි වලට හිමිකම් කියන රටක්. ඒ නිසා පොලව තුල ඇති ඒ ගෑස් සමහර අවස්තාවලදී මතුපිටට පැමිණීම මේ අවස්ථා තුලින් දැක්වෙනවා කියා භූ විද්‍යාඟයින් පැහැදිලි කරනවා. 

පාන්, චීස් සමග කොමඩු 

පැරණි සෝවියට් සමුහාණ්ඩු වලින් අසර්බයිජානය කොමඩු වලට ඉතා ප්‍රසිද්ධයි. ගිම්හාන කාලයේදී දේශගුණික තත්වයන් කොමඩු වගාවට බෙහෙවින්ම හිතකර වන්නේ අසර්බයිජානයේ. එමෙන්ම රසය අතින්ද අසර්බයිජාන් කොමඩු ප්‍රසිද්ධයක් උසුලනවා. 

​එ වගේම අසර්බයිජානය තවත් විදිහකට විදේශිකයින් අතර ප්‍රසිද්ධයි. එ කොමඩු සමග පාන් සහ චීස් ආහාරයට ගන්නා නිසා. 

පැරණි සෝවියට් සම්ප්‍රදායයන් වලින් මිදී වෙනස් ක්‍රමයක් ගොඩනගා ගන්නට තවමත් අසර්බයිජානය උත්සාහ දරනවා. සෝවියට් දේශයේ ස්ටාලින්ගේ පාලන සමයේ ඉදි කල තට්ටු 5කින් සමන්විත සියලුම පැරණි තට්ටු නිවාස බාකු නගරයෙන් ක්‍රමයෙන් ඉවත් කර දමනවා. ඒ වෙනුවට තට්ටු 15-16කින් සමන්විත නව මහල් නිවාස ඉදි වෙමින් පවතිනවා. 

පැරණි සෝවියට් ලාඩා සහ වොල්ගා කුලී රථ වෙනුවට ලන්ඩනයෙන් ආනයනය කරන ලද රථ දැන් බහුලව බාකු නගරයේ දක්නට ලැබෙනවා. මේ රථ බාකු නගරයට ගෙනාවේ 2012 වසරේ පැවති යුරෝ විෂන් සංගීත තරඟාවලිය සුදානම් වීමක් වශයෙන්. 

කළු ජනවාරිය 

මාගේ දේශපාලන ජීවිතයේ විශාලතම අත්වැරැද්ද 

මිහායිල් ගොර්බචෙව් - අවසාන සෝවියට් ජනාධිපති 

Soviet troops in Baku in January 1990 | RIA Novosti / RFE/RL

කළු ජනවාරිය - "ජනවාරි 20 වැනිදා දීපි පිදුවන් අපගේ වීරයින්. අපගේ ජාතික විරුවන්. ඔවුන්ගේ මරණය අපිට විශාල හානියක්. නමුත් ඔවුන්ගේ දිවි පිදීම අපේ වීරත්වය විදහා පෑමක්. ඔවුන්ගේ රුධිරයෙන් තෙත්වුනු අපේ ධජය පවසන්නේ අසර්බයිජානයේ නිදහසයි." 

1990 වසරේ ජනවාරි මස 9 වැනිදා එවකට සෝවියට් දේශයේ සමුහාණ්ඩුවක් වූ ආර්මේනියාව තීරණය කළා නගෝර්නි කරබාහ් වැසියන්ට ආර්මේනියානු මැතිවරණ වලදී ජන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ලබා දෙන්නට. අසර්බයිජාන් සෝවියට් සමුහාණ්ඩුවේ නීති රීති වලට මෙය පටහැනි නිසා කාලයක් තිස්සේ වැළලී තිබුණු ප්‍රශ්නය කරලියට පැමිණුනා. ටික දිනකට පසු ජනවාරි මස 13 වැනිදා අසර්බයිජානයේ ආර්මෙනියාවට විරුද්ධව පෙළපාලි සහ උද්ගෝෂණ ඇති වුනා. ජනවාරි 18 වැනිදා වෙනකොට මුළු අසර්බයිජානයම වාගේ විශේෂයෙන්ම බාකු නගරය තුල ආර්මේනියානු සහ සෝවියට් විරෝධී උද්ගෝෂණ දරුණු වන්නට වුනා. එවකට සිටි සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව් හට මේ ප්‍රශ්නය විසදන්නට සෝවියට් හමුදාව බාකු නගරය වෙත යවන්නට සිදුවුනා. 

26000 කට අධික සෝවියට් හමුදාවක් සහ ඇල්ෆා නමින් එවකට හැඳින්වූ විශේෂ හමුදා බලකායද බාකු  නගරයට ඇතුල් වුනේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි. ඊට පෙර නගරයේ විදුලි විසන්ධි කර සහ සියලුම ගුවන් විදුලි සහ රුපවාහිනී ආයතන වසා දැමීමටද ඔවුන් කටයුතු කර තිබුනා. අවසානයේදී සෝවියට් හමුදාව සෝවියට් ජාතිකයින්ටම එරෙහිව දරුණු මෙහෙයුමක් දියත් කළා. අදටත් මේ මෙහෙයුම මාධ්‍යකරුවන් හඳුන්වන්නේ ප්‍රථම සහ අවසාන සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචෙව් ගේ 

ජීවිතයේදී ගනු ලැබූ විශාලතම වැරදි දේශපාලන තීරණයක් ලෙසට. 

වාර්තා වල සඳහන් වන අන්දමට 300 කට අධික සෝවියට් අසර්බයිජාන් ජාතිකයින් පිරිසක් සෝවියට් හමුදාවේම වෙඩි පහරවල් වලින් මරණයට පත් වුනා.  එදා ගොර්බචෙව් මේ සිද්ධිය හැඳින්වුයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන ගිය මෙහෙයුමක් හැටියට. 

අසර්බයිජානයේ සියලුම දේශපාලන නායකයින් මේ අවස්ථාවේදී සෝවියට් රජයට එරෙහිව නැගී සිටියා. එහි මුල් තැන ගත්තේ එවකට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ අසර්බයිජානයේ නියෝජිතයා සහ අසර්බයිජාන් කේ.ජී.බී රහස් ඔත්තු සේවයේ ප්‍රධානී හයිදාර් අලි. තම කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික කාඩ් පත ප්‍රසිද්ධයේම ගිනි තැබූ මොහු සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමගම 1993 වසරේ ඔක්තෝබර් මාසයේ නිදහස් අසර්බයිජානයක් වෙනුවෙන් පෙරමුණ ගනිමින් අසර්බයිජානයේ ජනාධිපති ධුරයට පත් වුනා. 

එදා අසර්බයිජානයේ කීරෝව් කනත්ත නමින් හැඳින්වූ ස්ථානය අද හඳුන්වන්නේ මාර්ට්‍රිස් අනුස්මරණ ස්ථානය 

නමින්. ජනවාරි මස දිවිදුන් සියලු දෙනාගේ සිරුරු මිහිදන් කර ඇත්තේ මේ ස්ථානයේ. මේ ස්ථානයේ 15000කට අධික සංඛ්‍යාවක් මිහිදන් කර තිබෙනවා. ඒ 1918 රුසියානු සිවිල් යුද්ධයේ මියගිය සාමාජිකයින් ද ඇතුළුව.

සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ බලයට පත් වුවාට පසු 1918 වසරේ සිට එවකට කොමියුනිස්ට් නායකයෙක් වූ සෙර්ගෙයි කීරෝව් විසින් මේ ස්ථානයේ තිබු මුස්ලිම් කනත්ත විනාශ කර උද්‍යානයක් සාදා තිබුනා. නමුත් අසර්බයිජානය ස්වාධීන රාජ්‍යක් වූ පසු තම ජාතික විරුවන් වෙනුවෙන් මේ කනත්ත පාලකයින් විසින් නැවත ස්ථාපිත ගත කෙරුනා. 

ලොව ලොකුම ධජය !

2010 ගිනස් වාර්තා වලට අනුව ලොව ලොකුම ධජය ලෙල දෙන්නේ බාකු නගරයේ. බාකු නගර මධ්‍යයේ පිහිටුවා ඇති ඇති මීටර් 162ක් උසැති ටොන් 220ක් බර කණුවක මේ මීටර් 75ක් දිග සහ මීටර් 35ක් උස ධජය ලෙල දෙනවා. මේ කණුවේ ඇති විශාලත්වය නිසාත් එය කඩා වැටේ යයි හැඟුණු නිසාත් කීප වතාවක්ම මේ ස්ථානය අවට ඇති ගොඩනැගිලි වල පදිංචි කරුවන් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එ වගේම පළමුවරට ධජය ඔසවා දිනකින් එය ආපසු ගලවා දමා අලුතින් සවි කරන්නට සිදුවුනා. ඒ  අධික සුළඟ නිසා ධජය විනාශ වී යාමෙන්. 

අසර්බයිජානයේ හිටපු ජනාධිපති ගයිඩාර් අලි වර්තමාන ජනාධිපති ඉල්හාම් අලියෙව් ශත වර්ෂයේ ගිවිසුමේ ප්‍රථම ඉන්ධන ප්‍රතිපල සමග - 1997 නොවැම්බර් 12 වැනිදා 

මීට වසර 25කට පෙර අසර්බයිජානය ලබාගත් ස්වාධීනත්වයේ අගය දැනෙන්නේ අදයි යන මතය බොහෝ අසර්බයිජානුවන් මුවග නිතර ගැවසෙන අදහසක්. මේ වසර 25 තුල බොහෝ දේ වෙනස් වෙලා තිබෙනවා. සෝවියට් පාලනයෙන් මිදීම බොහෝ අසර්බයිජානු ජාතිකයින් අගය කරන බව මට මේ සංචාරයෙදී පෙනී ගිය එක් වැදගත් කාරණයක්. ඔවුන්ට ඔවුන්ගේ දේවල් කළමනාකරණය කර ගැනීමට ඉඩ ලැබීම රටකට ජාතියකට ලැබිය යුතු දායාදයක් හැටියට ඔවුන් දැන් සිතනවා. සෝවියට් දේශය සමයේ ගෑස් සහ ඉන්ධන වලින් ලැබුණු විදේශ විනිමය වැඩි හරියක් අසර්බයිජානයට නොලැබී මොස්කව් සහ වෙනත් නගර වෙත ගලා යාම නිසා ඔවුන්ට දියුණු වීමට නොහැකි වූ බවට මතයක් වර්තමානයේ තරුණ පරපුර දරනවා. 

 

2015  යුරෝපීය ක්‍රීඩා තරඟාවලිය, ජාත්‍යන්තර ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මෝටර් රථ ධාවන තරඟ, යුරෝ විෂන් සංගීත තරඟාවලිය - මේ සෑම දෙයකින්ම අසර්බයිජානයේ අභිමානය ඔවුන්ට ලොවට පෙන්වන්නට උත්සාහ දරනවා. නමුත් ඒ සියලුම අභිමානයන් නාගොර්නි කරබාහ් යුද්ධය නිසා ලොවට නොපෙනෙන ගානයි. 

​මාට්‍ර්යික්ස් අනුස්මරණ භුමියේ බොහෝ වෙලාවක් ගත කල මා දුටුවේ බාල මහලු වයස් බේදයකින් තොරව අසර්බයිජානු ජනතාව තම නිදහසේ විරුවන් වෙනුවෙන් දක්වන උපහාරයයි. අසර්බයිජානට ස්වාධීනත්වය නිදහස ලැබුනේ විශාල ජීවිත දායකත්වයකින්.

කොයිතරම් යුද්ධයක් තිබුනත් අනික් අතින් දෙවියන් විසින් අසර්බයිජානයට ලබා දී ඇති ස්වාභාවික සම්පත් වන ගෑස් සහ ඉන්ධන නිසා අද අසර්බයිජානය ලොව කිසිම රටකට හිස නොනමා සිටිනවා. අසර්බයිජානය 1994 වසරේ බ්‍රිතාන්‍ය පෙට්රෝල් සමාගමක් සමග අත්සන් කරන ලද ගිවිසුම නිසා අසර්බයිජානු ගෑස් සහ ඉන්ධන ලෝක වෙළඳ පොළ වෙතට යොමු වුනා. මෙය අද හඳුන්වන්නේ ශත වර්ෂයේ ගිවිසුම වශයෙන්. මේ ගිවිසුමේ ප්‍රතිපලයන් හැටියට අද ඩොලර් බිලියන 50කට අධික මුදලක් විදේශ රටවල් අසර්බයිජානයේ ආයෝජනය කර තිබෙනවා.

"සාමය කියල අපි අදහස් කරන්නේ අපේ භුමියේ ස්වාධීනත්වය සහ අනන්‍යතාවය. සාම ගිවිසුම කියන්නේ සාමය නෙවෙයි." මේ මාත් සමග කතා බස් කල කිහිප දෙනෙකුගේ අදහස්. අසර්බයිජානය සහ ආර්මේනියාව අතර සාම සාකච්ජා පැවැත්වුන සෑම අවස්ථාවකදීම ඒ සාකච්ජා අවසාන වුනේ ප්‍රතිපලයකින් තොරව. නමුත් වාසනාවකට වාගේ මෑතකදී අවසාන වරට පැවති සාකච්ජා වට වලදී සීමිත කොන්දේසි මත දැනට ආර්මේනියා පාලනය යටතේ ඇති සමහර ප්‍රදේශ නැවත අසර්බයිජානයට ලබා දෙන්නට අදහස් හුවමාරු වූ බව පැවසෙනවා.

පිටුපසින්අ පෙනෙන්නේ අසර්බයිජානයේ  අස්ටරා නගරය. මෙතනින් එහාට ඇත්තේ ඉරාන දේශ සීමාව  

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් නව රටවල් 15ක් ලෝක සිතියමට එක් වුනා.  ඒ සියලුම රටවල් තමන්ටම ආවේනික වූ නිදහස් ගමනක් යාමට උත්සාහ දරනවා. ඒත් සෝවියට් දේශයේ අඳුරු සහ එමෙන්ම දීප්තිමත් සෙවනැලි එක්ක ඒ ගමන යන්න ලේසි නැහැ.

හැබැයි අසර්බයිජානය නම් මේ ගමනේ බොහෝ දුර ගිහින් අවසන් කියලයි මට හිතෙන්නේ. ඒ අසර්බයිජානයට ස්වභාව ධර්මයෙන් දායාද කර දුන් තෙල් සහ ගෑස් සම්පත් නිසා.

රොහාන් ඩිරෙක්ස් 

සංචාරය කලේ 2017 නොවැම්බර් මාසයේ 

ඔබේ අදහස් 
තවත් කියවන්න 

අවතාර් නිම්නය වෙතට 

bottom of page