• Facebook - Black Circle
  • YouTube - Black Circle
  • Instagram - Black Circle

අන්තර් ජාලය, රුපවාහිනිය, ජංගම දුරකථනය සහ මෝටර් රථය. ඔබ සිතනවද ඔබට පුළුවන් කියල මේ දේවල් වලින් සදහටම ඈත් වෙන්න....ඒ වගේම රථ වාහන, විදුලි උපකරණ සහ විදුලි බලය........මේ දේවල් නොමැතිව පවතින රටක්, සමාජයක් නැතිනම් එක නිවසක් අද අපිට සොයා ගන්නට පුලුවන්ද!

​ඔබ විශ්වාශ නොකරාවි. මම ඔබට හඳුන්වලා දෙන්නම් එවැනි ජන කොට්ටාශයක්. 

මාගේ බොලීවියානු සංචාරයේ තවත් එක් අමතක නොවන අත්දැකීමක්. 

සැන්ටා කෘස් නගරයේ සිට කි.මී. 150ක් පමණ දුරකින් තිබෙන කුඩා ගම්මාන කිහිපයකින් සමන්විත බොලීවියානුවන් කොලනිය යනුවෙන් හඳුන්වන ප්‍රදේශයකට මගේ මිත්‍ර මාකෝස් සමග මම පිටත් වුනා. 

"හැබැයි එක පොරොන්දුවක්" මාකෝස් රථයට නගින්නට පෙර හඬ අවදි කළා. 

​"ඔබ මේ ගැන ඔබේ වෙබ් අඩවියට හෝ පුවත් පතකට ලියනවා නම් මේ ස්ථානයට යන පාර ගැන විස්තර නොකරන බවට වග බලා ගන්න."

"ඔවුන් කැමති නැහැ ඒ ලිපි කියවලා තව තවත් සංචාරකයින් පැමිණිලා ඔවුන්ගේ සිතුම් පැතුම් ජීවන රටාවන්ට බාධා පැමිණේවි කියා."

මේ ගම්මාන වල ජීවත් වන ජන කොට්ටාශය හඳුන්වන්නේ මෙනොනයිට්ස් වරුන් ලෙස. 

 

මාකෝස් බොලීවියාවේ සැන්ටා කෘස් නගරයේ ජීවත් වන සංචාරක ආයතනයක හිමිකරුවෙක්. බොලීවියාවට පැමිණීමට පෙර මාකෝස් සමග මා පැවැත්වූ සම්බන්ධතා වලදී මා ඉල්ලා සිටියා කෙසේ හෝ මෙනොනයිට්ස් වරුන් ජීවත් වන ගම්මානයකට යාමට මට අවස්ථාව ලබා දෙන ලෙස. නමුත් බොලීවියාවට පැමිණු දිනය දක්වාම මෙනොනයිට්ස් වරුන් මගේ පැමිණීම ගැන එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ.  ඔවුන් ඇත්තටම සංචාරකයින් ජායාරුප ශිල්පීන් මාධ්‍ය වාර්තා කරුවන් ඔවුන්ගේ ගම්මාන වලට පැමිණීමට බොහෝ විට ඉඩ දෙන්නේ නැහැ. 

​කෙසේ හෝ මාකෝස් හට හැකි වුනා මා පැමිණ ඇත්තේ ඉතා දුර බැහැර රටක් වන  රුසියාවෙන් බවත් සඳහන් කර එක් දිනකට ඔවුන්ගේ ගම්මානයකට ගොස් පුරපති හමුවී අදහස් හුවමාරු කර ගන්නට අවස්ථාවක් ලබා ගන්නට. 

ප්‍රධාන මාර්ග වලින් බැහැරව අතුරු මාර්ග ඔස්සේ ගමන් කරමින් බොලීවියානු වනගත් පරිසරයක් තුලට මාකෝස් තම වාහනය ධාවනය කළා. මාර්ග දෙපස තිබු විදුලි රැහැන් දුරකථන රැහැන් කෙමින් කෙමින් අපෙන් තුරන් වෙන්නට පටන් ගත්තා. බොරළු පාර වල දිගේ ජීප් රථය තවත් කි.මී 20ක් පමණ ධාවනය වුනා. 

දුෂ්කර වනගත පරිසරය පසු කරමින් අපි පැමිණුනේ කොළ පැහැති  දිදුලන පිළිවෙලකට බිම් සකස් කරන ලද තන පිට්ටනි සහිත සරු සාර ප්‍රදේශයකට. 

"මේ තමයි මෙනොනයිට්ස් වරුන්ගේ දේශ සීමාවේ ආරම්භය." මෙසේ පැවසූ මාකෝස් ජීප් රථය මාවතේ පසෙක නතර කළා. 

​"දැන් අපිට බලා සිටින්නට සිදුවෙනවා කවුරුන් හෝ මේ මාර්ගයේ පැමිණෙන තෙක්. ඔවුන් හරහා තමයි මට පණිවිඩය යවන්න පුළුවන් පුරපති තුමාට අපි දැන් පැමිණිලා ඉන්නේ කියලා."

විනාඩි 15ක් පමණ බලා සිටි අපට ඒ මාර්ගයේ ගමන් කල පළමුවන වාහනය නෙත ගැටුනා. ඒ අශ්ව කරත්තයක්.

​"මේ ගම්මාන වල වාහන පාවිච්චි කරන්නේ නැහැ. කිසිම වාහනයක් ඇත්තෙත් නැහැ. වාහනයකට තිබෙන්නේ අශ්ව කරත්ත සහ    ට්‍රැක්ටර් පමණයි." 

පැමිණි අශ්ව කරත්තයේ සිටි පුද්ගලයින් හරහා මාකෝස් දැනුම් දුන්නා අපේ පැමිණීම. තවත් විනාඩි කිහිපයකින් අප ඉදිරියට තවත් අශ්ව කරත්තයකින් පැමිණුනේ මේ ගම්මාන කිහිපයේම ප්‍රධානියා - පුරපති. 

පෙද්රෝ තමයි මේ ගම්මාන 6කට පුරපති වශයෙන් කටයුතු කරන්නේ.  මාකෝස් ගේ ජීප් රථය ඒ ස්ථානයේම නවතා දමා පෙද්රෝ සමග අශ්ව කරත්තයෙන් ගම්මානය බලා පිටත් වුනා. එයත් ඔවුන් සමග සම්බන්ධ වීමට එක කොන්දේසියක් වුනා. 

"මම සත්‍ය වශයෙන්ම කැමති නැහැ ආගන්තුකයින් හමුවන්න. විශේෂයින්ම සංචාරකයින්. සංචාරකයින්ගේ පැමිණීම අපි සලකන්නේ හිරිහැරයක් ලෙස." පෙද්රෝ මා සමග කතා බස් කරන්න පටන් ගත්තා. 

"නමුත් මාකෝස් පැවසුවා ඔබ රුසියාවෙන් කියා. අපේ අතීතයත් රුසියාව සමග සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසයි ඔබ සමග මා කතා කරන්නට සිතුවේ."

දර්ශනීය ගම්මානයක් හරහා අශ්ව කරත්තයෙන් ගමන් කල අපි පුරපති නිවෙස වෙත ලඟා වුනා. 

මෙනොනයිට්ස් වරුන්ගේ ඉතිහාසය 16 වන සියවස දක්වා දිවෙනවා.  මෙනොනයිට්ස් වරුන් ක්‍රිස්තියානු ආගමික කණ්ඩායමක්.       නමුත් මීට වසර 50කට පමණ පෙර තමයි මේ මෙනොනයිට්ස් වරුන් බොලීවියාවට සංක්‍රමණය වුනේ. මොවුන් පැමිණ තිබෙන්නේ රුසියාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් වල තිබුණු මෙනොනයිට්ස් කොලනි වලින්. නව ජීවිතයක් නිදහස් ආගමික ජීවිතයක් වෙනුවෙන් තම ජීවන රටාව  සම්ප්‍රදායිකව පවත්වාගෙන යාම තමයි මොවුන්ගේ පරම පැතුම.

"අපේ ජීවන රටාව සහ ප්‍රතිපත්තීන් ගොඩනැඟිලා ඇත්තේ 16 වන සියවසේ යුරෝපයේ ජීවත් වුනු ප්‍රෝතෙස්තානු ආගමික දාර්ශනිකයෙක් වූ මෙනෝ සීමොන්ස් ගේ ඉගැන්වීම් මත." පේද්රෝ මගේ ඉල්ලීම පරිදි විස්තර කරන්නට පටන් ගත්තා. 

"අපිට මෙනොනයිට්ස් යන නම ලැබී තිබෙන්නේ මේ නිසා. දැනට වසර 500ක් පමණ කාලයක් අපිටම උරුම වුනු ආගමික පදනමක් සහිත ජීවන රටාවක් සම්ප්‍රදායයක් පවත්වා ගෙන යනවා."

​"ඔබේ ඔනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න මම සුදානම්. හැබැයි ඔබ පැමිණියේ අපිව අපේ ජනතාව හෙලා දැකීමට එසේත් නැතිනම් විවේචනය කිරීමට නම් දැන්මම ඔබට මේ ස්ථානයෙන් පිටවී යන්නට පුළුවන්." පෙද්රෝ පරිවර්තක මාකෝස් හරහා මට දැනුම් දුන්නා.

gaz5_edited.jpg
DSC_0674.JPG_edited.jpg

ඔබ විශ්වාස කරනවාද? අද මේ ගම්මාන වල මෙන්නොනයිට්ස් වරුන් 75000කට වඩා අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඔවුන් බොහෝ විට කතා කරන්නේ ජර්මානු , රුසියානු සහ යුක්රේන භාෂාවන්. නමුත් සාමාන්‍ය පරිද්දෙන් ස්පාඤ්ඤ භාෂා දැනුමද ඔවුන්ට තිබෙනවා. 

බොලීවියානු රජය අපිට අවශ්‍ය ඉඩම් සහ ආගමික නිදහස ලබා දී තිබෙනවා. දැන් අපි බොහෝ දෙනෙක් බොලීවියානු පුරවැසියන්. නමුත් අපි බොලීවියානු ව්‍යවස්ථාමය නීති රීති වලින් බැහැරවයි ජීවත් වන්නේ. උදාහරණයක් හැටියට නායකයෙක් පත් කර ගැනීමේ සිට බොලීවියානු හමුදා සේවය දක්වා අපටම අනුකුල වූ සාම්ප්‍රදායික නීති වලට අනුකුලව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. 

අපි කිසිම විටෙක කිසිම අවස්ථාවක අනවශ්‍ය යයි සිතෙන සිරිත් වලට අදහස් වලට අපේ සමාජයේ ඉඩක් දෙන්නේ නැහැ. අවි ආයුධ පරිහරණය අපි සම්පුර්ණයෙන්ම අත්  හැර තිබෙනවා. දාර්ශනික මෙනෝ සීමොන්ස් ගේ ඉගැන්වීම් වල ආයුධ පරිහරණය අත් හැරීම ප්‍රබල සාධකයක්.  

​මෙනොනයිට්ස් වරුන්ගේ ඉතිහාසය සොයා බලන විට බොහෝ විට ඔවුන් තම ගම බිම් අත් හැර ගොස් ඇත්තේ ඒ ඒ රජයන් විසින් ඔවුන්ගේ තරුණයන් හමුදා සේවය සඳහා බඳවා ගන්නට තැත් කල විට. 

අපේ ආගමේ කිසිම විටෙක කිසිම තැනක පිළිම වන්දනාවක් නැහැ.  අප විශ්වාශ කරන්නේ අප වෙනුවෙන් පෙනී සිටින්නේ ජේසුස් වහන්සේ පමණක් බව. වෙනත් කිසිම නාමයක් බලවේගයක් ගැන අපේ විශ්වාශයක් නැහැ. 

මෙනොනයිට්ස් කාන්තාවන් සැමියාගේ වැඩ කටයුතු වලට  සහාය දීම සහ ගෘහනියක් වශයෙන් විශේෂ රාජකාරියක් ඉටු කරනවා. ඔවුන් සියලු දෙනාම අඳින්නේ එකම ආකාරයේ ඇඳුම්.  ඒ මේ ජායාරුපයේ දක්නට ලැබෙන ආකාරයේ ගවුමක්. සෑම කාන්තාවක්ම විවාහ දිවියට පත්වී ඇත් නම් කළු පැහැති රෙදි ආවරණයකින් කෙස් කළඹ වසා ගෙන සිටිය යුතු වෙනවා. කුඩා කාන්තාවන් සුදු පැහැති ආවරණයකින් කෙස් කළඹ වසා ගෙන සිටිය යුතු වෙනවා. 

සෑම විවාහක පවුලකම අවම වශයෙන් දරුවන් 6ක් හෝ 8ක් සිටිනවා. මේ පේද්රෝ ගේ බිරිඳ සහ දුව. ඔහුට දරුවන් 8 දෙනෙක් සිටිනවා. පේද්රෝ සඳහන් කල අන්දමට සමහර පවුල් වල සාමාජිකයින් 12-15 දක්වා සිටිනවා. 

"අපේ ආගමික නීති වලට අනුව ලෞකික සැප සම්පත් බොහොමයකින් අපි ඈත් වී තමයි කටයුතු කරන්නේ. ඒ නිසාම අපේ ගම්මාන වල කිසිම නිවසක රුපවාහිනී යන්ත්‍ර ජංගම දුරකථන හෝ අන්තර් ජාල පහසුකම් නැහැ. ඒ වගේම ඒවා භාවිතා කරන්නට විදුලි බලයත් නැහැ." පේද්රෝ පවසනවා. 

මේ ජායාරුපයේ පෙනෙන ශීතකරණය ගැන මා උනන්දුවක් දැක්වුවා. විදුලි බලය නොමැතිනම් ශීතකරණය ක්‍රියා කරන්නේ කෙසේද කියා. මේ ශීතකරණ ක්‍රියා කරන්නේ භූමිතෙල් වලින්. මේ බව මාකෝස් පැහැදිලි කළා. 

"යම් හදිසි අවස්ථාවක දුරකථන පහසුකම් නොමැතිව මේ ගම්මාන වල පුරපතිවරයා ලෙස ඔබ කොහොමද කටයුතු කරන්නේ?"  මේ ප්‍රශ්නය පේද්රෝ වෙත යොමු කළා. 

"මගේ අත්දැකීම් අනුව ඔබ කියන හදිසි අවස්ථා අපිට පැමිණිලා නැහැ. අපිට අවශ්‍ය සියලුම සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රථමාධාර අපේම පුද්ගලයින් විසින් සිදු කරනවා. දරු උපත් වලට පවා අපේ කාන්තාවන් රජයේ රෝහල් වෙත යන්නේ නැහැ. ඒවා සියල්ලම සිදු වන්නේ නිවෙස්වලදී.  අතිශයින්ම වැදගත් අවශ්‍යතාවයක් නම් ලඟම තිබෙන බොලීවියානු ගම්මානයකට ගොස් ඇමතුමක් මට ලබා ගත හැකියි."                                                   "

පේද්රෝ සමග මා පැමිණියේ මෙනොනයිට්ස් දරු දැරියන් අධ්‍යාපනය ලබන පාසලට. මේ පාසල පිහිටා තිබෙන්නේ පේද්රෝ ගේ නිවස ඉදිරිපිට. පේද්රෝ කැමති වුයේ නැහැ මා සමග මෙනොනයිට්ස් පාසලක් තුලට පිවිසීමට. ජායාරුප ගැනීම සම්බන්ධයෙන් මොවුන් දැඩි විරෝධතාවයක් දක්වනවා. ඒ නිසා සෑම ජායාරුපයක් ගැනීමට පෙර මට පේද්රෝ ගේ අවසරය ලබා ගන්නට සිදුවුනා. 

​අපේ දරුවන් පාසල් යන්නේ 7 වසර දක්වා පමණයි. ඒ පිරිමි දරුවෙක් නම්. ගැහැණු දරුවෙක් නම් 6 වසර දක්වා පමණයි.          එතනින් පසු ඔවුන් නිවසේ ගොවිපලේ එදිනෙදා වැඩ කටයුතු වලට සහාය දෙනවා.  නමුත් පාසලේදී ඔවුන් කියවීම සහ ලිවීම පමණක් අධ්‍යාපනය ලබනවා. එට අමතරව විශේෂයෙන් බයිබලය ගැන හදාරනවා. 

යම් දරුවෙකුට හෝ දැරියකට තව දුරටත් පාසල් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඒ වෙනුවෙන් අවසරය තිබෙනවාද?

​"නැහැ. යම් කෙනෙකුට එවැනි අධ්‍යාපනයක් අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට අපේ සමාජයෙන් ඉවත් විය යුතු වෙනවා." මේ මෙනොනයිට්ස් වරුන්ගේ ස්ථාවරය. 

"මේ පිළිවෙත් අනුගමනය කරන්නට කැමති පිටස්තර පුදගලයින් ඔබලාගේ සමාජය තුලට පැමිණීමට හැකිද?"  මා තවත් ප්‍රශ්නයක් පෙද්රොට යොමු කළා.

"නැහැ. එයට අවසරයක් නැහැ. අපේ සමාජයට විවෘතව ඇත්තේ මෙනොනයිට්ස් වරයෙක් හැටියට ජන්මය ලැබුවන්ට පමණයි."

"යම් විදිහකින් ඔබේ පුතා හෝ දුව නගරයේ තරුණයෙක් හෝ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත හොත් ඔබ ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග මොනවාද? පියා වශයෙන් ඔබ ඔවුනට ඒ සඳහා අවසර ලබා දෙනවාද?"  මගේ ප්‍රශ්නය බොහෝ විට පේද්රෝ බලාපොරොත්තු නොවන්නට ඇති. 

"නැහැ. මට හොඳටම විශ්වාසයි එවැනි අවස්ථාවකට මට මුහුණ දීමට සිදු නොවන බව." පේද්රෝ සිනා සෙමින් පැවසුවා. 

 

​"අපේ තරුණයින්ට හෝ තරුණියන්ට පිටස්තර පුද්ගලයින් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැනීම තහනම්. යම් කෙනෙකුට එවැනි අවශ්‍යතාවයක් තිබෙනවානම් ඔවුන් අපේ සමාජයෙන් ඉවත් විය යුතුයි. විවාහා සිදු වන්නේ අනිවාර්යයෙන්ම මෙනොනයිට්ස් වරුන් අතර පමණයි."

පිරිමින් වෙනුවෙන්ද විශේෂ ඇඳුමක් තිබෙනවා. මුළු ගම්මානයේම දකින්නට ලැබෙන්නේ මේ ඇඳුම් වලින් සැරසුණු ජනතාව. 

​මේ ආකාරයට වෙනම ඇඳුමකින් අපිට අපේ ජනතාව වෙන් කොට හඳුනා ගන්න පුළුවන්. එවිට ඔවුන්ට හැඟෙනවා මෙනොනයිට්ස් යනු සාමාන්‍ය සමාජයකට වඩා වෙනස් අන්දමේ සමාජයක් බව. 

පේද්රෝ ගේ පුත් මේ අවස්ථාවෙදී අපත් සමග එකතු වුනා. ඔහු අක්කර 5කට අධික වගා බිමක් මෙහෙයවනවා. 

"අද ලෝකය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඔබේ තරුණයින් සෑම සතියකම නගරය වෙත යනවා. ඔවුන් මේ ගම්මානයේ නැති නමුත් නගරයේ ඇති බොහෝ දේවල් දකිනවා. ඔබ සිතනවාද ඒ සංකීර්ණ ලෝකය වෙත නිරායාසයෙන් යොමුවීම ඔබට නවත්වන්නට පුළුවන් කියා. ඔබ ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග මොනවාද ?"

​"අපිට ගත හැකි සියලුම ක්‍රියා මාර්ගයන් අපි ගන්නවා. නමුත් අපේ තරුණයින් හැදෙන වැඩෙන සමාජය තුල ඇති සරල භාවය නිදහස් භාවය සහ සුන්දරත්වය ඔවුන් අත් විඳිනවා. එතනින් එපිට තිබෙන ලෝකයේ සුන්දරත්වය පිටුපස ඇත්තේ කටුක වේදනාවන්. අපේ යුතුකම වන්නේ එය ඔවුනට අවබෝධ කර දීම."

පේද්රෝ සහ ඔහුගේ පුත් සමග මා පිවිසුනේ ඔවුන්ගේ වැඩපල වෙත. ගම්මානයේ සියලුම ට්‍රැක්ටර් අලුත් වැඩියා කෙරෙන්නේ පේද්රෝ ගේ පුතා විසින්. 

මෙහිදී මා දුටුවේ සියලුම ට්‍රැක්ටර් වල රබර් රෝද ඉවත් කර යකඩ රෝද සවි කර  ඇති බවයි. 

"ඇයි මේ රබර් රෝද ඉවත් කර යකඩ රෝද සවි කරන්නේ?"

​"ට්‍රැක්ටර තමයි අපිට තිබෙන එකම වාහනය. රබර් රෝද වෙනුවට යකඩ රෝද තිබෙන විට මේ ට්‍රැක්ටර් වලට මාර්ග වල ධාවනය කරන්න අපහසුයි.  ඒවා පාවිච්චි කල හැකි වන්නේ වගා බිම් වල විතරයි. ඒ නිසා අපේ තරුණයින්ට මේ ට්‍රැක්ටර් භාවිතා කර නගරය වෙත යන්නට අපහසුයි."

ඒ වගේම ට්‍රැක්ටරයේ එන්ජිම භාවිතා කර අපි ඩයිනමෝ නිපදවා ගෙන තිබෙනවා. ඒ විදුලි බලය ලබා ගන්නට. හැබැයි ඒ විදුලි බලය අපි භාවිතා කරන්නේ අවශ්‍ය කරන අලුත් වැඩියා කටයුතු සඳහා පමණයි. 

​අපිට විදුලි බලය නැහැ. රාත්‍රී කාලයේදී දැල්වෙන්නේ භුමි තෙල් පහන්.

මත් පැන් පානය අපි කිසි සේත් අනුමත කරන්නේ නැහැ. මේ ගම්මාන වල තිබෙන වෙළඳ සැල් වල ඒවා විකිණීමට නැහැ. 

​අපිට අවශ්‍ය සියලුම ආහාර වර්ග අපිම නිෂ්පාදනය කර ගන්නවා. අර්තාපල්, මස් , කිරි ආහාර සහ පාන් අපි අතින් නිෂ්පාදනය වෙනවා. නගරයෙන් අපිට මිලදී ගන්නට වෙන්නේ බොහෝ විට අපිට මෙහි නිෂ්පාදනය කර ගත නොහැකි දේවල් පමණයි.

​සෑම ඉරිදාවකම අපේ තරුණයින් නගරයේ වෙළඳ පොලට ගොස්  අපිට ගම්මානයේ නිපදවා ගත නොහැකි අවශ්‍ය උපකරණ මිලදී ගන්නවා.  විශේෂයෙන්ම සිමෙන්ති යකඩ වැනි දේවල් අපිට නගරයෙන් මිලදී ගත යුතු වෙනවා. 

Photo - Jordi Busqué

ඉපදීමේ සිට මරණය දක්වා කාලය අතර තුර සියලුම ජීවන ක්‍රියාදාමයන්, සිරිත් විරිත් සහ සම්ප්‍රදායයන් සියල්ලම මීට වසර ගණනාවකට පෙර අතීතයේ සිදුවූ ආකාරයටම අපි  පවත්වා ගෙන යන්නට උත්සාහ දරනවා.

බොලීවියාවේ මෙනොනයිට්ස් ගම්මාන වලට පැමිණෙන්නට පෙර මා සිතා ගෙන සිටියේ මෙවැනි සම්ප්‍රදායයන් පිළිපදින සුරකින සමාජයන් ඇත්තේ රුපවාහිනිය හෝ ප්‍රවෘත්ති වල පමණයි කියා. නමුත් සත්‍ය වශයෙන්ම මේ මෙනොනයිට්ස් වරුන් නුතන තාක්ෂණයේ දියුණු යයි සලකන බොහෝ අවශ්‍යතා පහසුකම් ප්‍රතික්ෂේප කරමින් තම සමාජ සම්ප්‍රදායය ආරක්ෂා කර ගැනීමට ප්‍රබල උත්සාහයක් දරනවා. 

රුපවාහිනිය ඇතුළු මාධ්‍ය වල සහ අන්තර් ජාලයේ දකින්නට ලැබෙන්නේ සිත් විකෘති කරන අපරාධ සහ ලිංගික දර්ශන.   බොහෝ අවස්ථා වල සිදුවන්නේ රුපවාහිනිය හෝ අන්තර් ජාලයෙන් අප දකින කියවන කරුණු නැවත නැවතත් සමාජය තුලින් මතුවීමයි. නැතිනම් ඒවා අනුකරණය කිරීමට තැත් කිරීමයි. ඒ නිසාම තමයි මෙනොනයිට්ස් වරුන් රුපවාහිනිය සහ අන්තර් ජාලය ප්‍රතික්ෂේප කරන්නේ. 

​"නවීන තාක්ෂණයේ සමහර අංග අපේ ජීවිතයෙන් ඈත් කර ගන්නට හැකිනම් ජීවිත සාර්ථක වේවි." පේද්රෝ අවසාන වශයෙන් පැවසුවා. 

ආගමික විශ්වාස සහ අසාධාරනකම් නිසා එකල පැවති සමාජයෙන්   වෙසෙන්නට තීරණය කරන ඔවුන්ව සමාජය විසිනුත් වෙනත්  කොටසක් ලෙසින් සලකන්නට පටන් ගන්නවා. අවට ලෝකය අනාගතය වෙත පිය නැගුවත් මෙනොනයිට්ස් වරුන් 16 වන සියවසේම ජීවත් වෙනවා.                   

16 වන සියවසේ සිට මෙනොනයිට්ස් වරුන් තම සම්ප්‍රදායයන් රැක ගැනීම වෙනුවෙන් යුරෝපයේ සිට අවසානයේදී බොලීවියාව සහ මෙක්සිකෝව දක්වා සංක්‍රමනය වී තිබෙනවා.  1930 වසරේ තමයි ප්‍රථම මෙනොනයිට්ස් කණ්ඩායම බොලීවියාවට පැමිණුනේ. එදා සිට ඔවුන්ට ආගමික නිදහස, වෙනම අධ්‍යාපනය සහ හමුදා සේවයෙන් බැහැරව සිටීමට බොලීවියානු රජය පොරොන්දු වුනත් ඒවා ක්‍රියාත්මක වුයේ 1950 වසරේ සිට. 

කෙසේ වෙතත්  අවසානයේදී බොලිවියාව, ඔවුන් ගොවීන් ලෙස පිළිගත් අතර,  අධ්‍යාපනය, සුභසාධනය, නාගරික පාලනය, ආරවුල් විසඳීම සහ දේපල හිමිකම සම්බන්ධයෙන් ඔවුන්ට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. 

එමෙන්ම මෙනොනයිට්ස් වරුන් බොලීවියාවේ ආර්ථිකය නවාලීම සඳහා අසීමිත දායකත්වයක් ලබා දෙනවා. බොලීවියාවේ අනිකුත් ග්‍රාමීය ප්‍රදේශ සමග සංසන්දනය කරන විට මෙනොනයිට්ස් වරුන් වාසය කරන ප්‍රදේශ සරු සාරව පවතිනවා. කිරි, චීස් මස් සහ අනිකුත් ධානය වර්ග විශාල වශයෙන් බොලීවියාන මධ්‍යම සහ මහා පරිමාන සමාගම් මෙනොනයිට්ස් වරුන්ගෙන් මිලදී ගන්නවා. ​

පේද්රෝ සමග මෙනොනයිට්ස් ගම්මානයේ මා ගත කල කාලය ඇත්තටම 19 වැනි සිය වසේ රූගත කරන සිනමා කෘතියක දර්ශන තලයක ගත කළ කාලයකට සමානයි. නමුත් එය සජීවියි. සිනමා දර්ශනයක් නොවේ. 

මෙනොනයිට්ස් වරුන්ගේ ජීවිතය රඳා පවතින්නේ ආගමික ආභාෂයන් මත.  එය අද දින දක්වාම ඔවුන් අතර ආරක්ෂා වී තිබෙන්නේද මේ ආගමික ආභාෂයන් නිසා. 

පේද්රෝ පවසන අන්දමට "මෙනොනයිට්ස් ජීවිතයේ ප්‍රතිපත්තීන් 3ක් නිසා ඔවුන්ගේ සමාජය ආරක්ෂා වී තිබෙනවා. නවීන තාක්ෂණය උපයෝගී කර නොගැනීම, ආයුධ පරිහරණය සහ හමුදාවන්හි සේවය නොකිරීම සහ කිසිම අන්දමකින් ක්‍රිස්තුස් වහන්සේට අමතරව වෙනත් බලවේගයක් ගැන නොසිතීම. එමෙන්ම මත් ද්‍රව්‍ය, හිංසාව අපි ප්‍රතික්ෂේප කරනවා."

 

අන්තර්ජාලය නොමැතිව දුරකථන නාද නොමැතිව රුපවාහිනිය සහ විදුලි බලය නොමැතිව මෙනොනයිට්ස් වරුන් ගත කරන ජීවිතය කොතරම් අපුර්වද එසේත් නැතිනම් කොතරම් අපහසුද යන්න ගැන නිගමනයකට එළඹීමට අපහසුයි. 

පේද්රෝ - මෙනොනයිට්ස් වැසියන් 40000කට වඩා පිරිසක් පාලනය කරන පුරපතිවරයෙක්. දුරකතනයක් නොමැතිව පැජිරෝ ජීප් රථයක් නොමැතිව ලොව තිබෙන ඉහලම වර්ගයේ ඇඳුම් ආයිත්තම් වලින් නොසැරසී මේ කරන ව්‍යායාමය අපේ ජන නායකයින්ට නම් ආදර්ශයක්. 

මෙනොනයිට්ස් වරුන් තමන් විසින්ම ගත් තීරණ වලට අනුකුල වෙමින් ලෝකයේ හුදකලාවම ජීවත් වීමට තීරණය කර තිබෙනවා.  පරිගණකයන් සහ Facebook ගැන ඔවුන්ගේ දරුවන්ට අවබෝධයක් නැහැ . ඔවුන් විශ්ව විද්යාල වල අධ්‍යාපනය ලබන්නේ නැහැ. ඔවුන් පිට රටවල කෙසේ වෙතත් තමන්ගේ රටේ වත් සංචාර වල යන්නේ නැහැ. 

​මෙනොනයිට්ස් සමාජයේ සත්‍ය වශයෙන්ම මත් ද්‍රව්‍ය භාවිතය, බීමත් කම, දුම් පානය දක්නට නැහැ. අපරාධ දක්නට ඇත්තේම    නැහැ. ආයුධ පරිහරණයෙන් බැහැරව සිටින නිසා මනසද නිදහස්. ඉතිහාසයේ කිසිම දිනෙක මෙනොනයිට්ස්වරුන් කිසිවෙකු සමග යුධ වැදී නැහැ. සාමය ඔවුන්ගේ ආයුධයයි. 

මෙම සංචාරයට සහාය දුන් බොලීවියාවේ Amboro Tours ආයතනයට මාගේ ස්තුතිය.

​ජායාරුප ලබා ගැනීමේදී ඇතිවූ බාධාවන් නිසා සමහර ජායාරුප අන්තර් ජාලය ආශ්‍රිතව ලබා ගන්නට සිදුවුනා. 

රොහාන් ඩිරෙක්ස් 

සංචාරය කලේ 2018 මැයි මාසයේ 

තවත් කියවන්න