
ඉන්කා

අපි ජීවත් වන ලෝකයේ ඉතිහාසය සත්‍ය වශයෙන්ම අපට අවබෝධ කර ගැනීමට හැකිවී තිබෙනවාද ? ඒ සිද්ධීන් වටහා ගැනීමට කොපමණ උත්සාහ දැරුවත් තවමත් සංකීර්ණ සහ අභිරහස්ව විසඳා ගත නොහැකි කරුණු ඉතිහාසයේ අධිකයි.
මේ අතරිනුත් ඉන්කා ශිෂ්ටාචාරයේ ඉතිහාසය අධ්‍යයනය ඉතිහාසඥයින්ට ප්‍රබල අභියෝගයක් වී තිබෙනවා.
බොහෝ ඉතිහාසඥයින් පවසන්නේ ඉන්කා ශිෂ්ටාචාරය සමාජවාදී සමාජ ක්‍රමයකට පාලනය වූ බවයි. අද බොලීවියානු ජනතාවට මෙන්ම ලෝක ජනතාවටද අවකාශය ලැබී තිබෙනවා බොලීවියාවේ ඉන්කා ශිෂ්ටාචාරයේ ඉතිහාසය අධ්‍යයනය කරන්නට. මා එසේ පවසන්නේ මීට වසර 20කට පමණ පෙර බොලීවියාවේ සහ පේරු රාජ්‍යයන් වල ඉන්කා ශිෂ්ටාචාර රාජධානි ප්‍රදේශ විදේශිකයින්ට විවෘත කර තිබුනේ නැහැ. ඒ රටවල් වල පුරා විද්‍යා දෙපාර්තමේන්තු වලට හැකියාවක් තිබුනේ නැහැ ස්වාධීනව මේ ඉතිහාසය අධ්‍යයනය කරන්නට. ඒ කාලයේ මේ සියලුම් ස්ථාන ගස් වල වලින් වැසී ගොස් තිබුනා.
අද පේරු සහ බොලීවියාවේ මේ ඉන්කා ශිෂ්ටාචාර වල ඉතිහාසය අධ්‍යයනය කරන්නට දැක බලා ගන්නට අති විශාල සංචාරකයින් පිරිසක් මේ රටවල් වලට ඇදී එනවා.
මගේ බොලීවියානු සංචාරයේදී මටත් අවකාශ ලැබුනා ඉන්කා දේශයට යාමට.
ඉන්කා දේශය පිහිටා තිබෙන්නේ බොලීවියාවේ සැන්ටා කෘස් නගරයේ සිට නැගෙනහිර පෙදෙසට වන්නට කි.මී. 150ක් පමණ දුරකින්. ඉන්කාවරු දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවැටිය ආශි‍්‍රතව ජීවත් වූ ගෝති‍්‍රකයන් පිරිසක්. 14 වැනි හා 15 වැනි සියවස්වල දී ඉතා ඈතට විහිදී තිබූ ඔවුන්ගේ රාජ්‍යයට දැනට බොලිවියාව, පේරු, ඉක්වදෝරය හා ආර්ජන්ටිනාවේ සමහර ප‍්‍රදේශ ඇතුලත් වී තිබුනා.
ඉන්කාවරුන්ගේ විස්තර බොහොමයක් අපැහැදිලියි. පුදුමසහගතයි. මෙයට බොහෝ විට හේතු වෙන්නට ඇත්තේ 15 වන සිය වැසේ දකුණු ඇමෙරිකාවට පැමිණුනු ස්පාඤ්ඤ ජාතිකයින් විසින් මේ ඉන්කා ශිෂ්ටාචාර සියල්ලම විනාශ කර දැමීම නිසා සහ ඒ කරුණ සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසා.

උදෑසනම සැන්ටා කෘස් නගරයේ සිට කි.මී. 150ක් ගමන් කල අපි නගරයට ආසන්නව විශාල කඳු යායක පිහිටා ඇති අති විශාල ගල් පර්වතයක් වෙතට පිවිසුනා.

මගේ මතකයට ආවේ සීගිරිය. සීගිරිය තරම් උසකින් නොමැති වුනත් මේ අති විශාල පැතලි ගල් පර්වතය මීටර් 220ක් දුරකට විහිදී තිබෙනවා. එය මීටර් 60ක් පමණ පළලකින් යුතු වෙනවා.

මාරියෝ දැනට වසර 15කට වඩා මේ පුරා විද්‍යා භුමියේ සේවය කරනවා. ඔහු පවසන්නේ මීට වසර 20කට පමණ පෙර මේ ගල් පර්වතය සම්පුර්ණයෙන්ම තණකොළ සහ කුඩා ගස් වලින් වැසී තිබුණු බවයි. බොලීවියානු පුරා විධ්‍යා දෙපාර්තමේන්තුව ජනාධිපති සමග ආරම්භ කල නව ව්‍යාපෘතිය නිසා අද වන විට සංචාරකයින්ට නැරඹිය හැකි ස්ථානයක් බවට පති වා ඇති බවයි.
මාරියෝ: "ඉතිහාසයේ සඳහන් වන අන්දමට 1532 වසරේ ස්පාඤ්ඤයේ සිට පැමිණුනු මිෂනාරී නායකයෙකු වූ ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ විසින් ඉතාමත් අවාසනාවන්ත ලෙස ඉන්කාවරුන් යුධමය වශයෙන් පරාජයට පත් කරනු ලැබුවා."
"නමුත් විශාලතම හානිය ඇත්ත වශයෙන්ම සිදුවී තිබුනේ ඊටත් දශක දෙකකට පෙර. අධිරාජ්‍යවාදීන් විසින් ගෙනෙනු ලැබූ වසුරි වසංගතය නිසා ඒ වන විටත් ඉන්කාවරුන් 90කටත් වඩා විනාශ වී තිබුනා."
"මේ සම්බන්ධයෙන් ඉතිහාසංඥ වරුන් පවසන ආකාරයට ඇත්තටම එතරම් ඉතිහාසයක් සොයා ගැනීමට අපහසුයි. මේ විස්තර පවා සොයා ගෙන ඇත්තේ ඉන්කා ශිෂ්ටාචාරය බිඳ වැටී දශක දෙකකට පසු ස්පාඤ්ඤ මිෂනාරිවරෙය්කු වූ බ්ලාස් වලෙරා විසින් සඳහන් කරන ලද කරුණු ආධාරයෙන්."

"බ්ලාස් වලෙරා විසින් තව දුරටත් සඳහන් කරන අන්දමට ඉන්කා වරුන් සත්‍ය වශයෙන්ම ඉඩම් සංවර්ධනය සහ ගොඩනැගිලි ඉදි කිරීමේ තාක්ෂණයේ සමතුන්. එමෙන්ම බොලීවියාවේ සහ දකුණු ඇමෙරිකානු රටවල් වල නිරන්තරයෙන්ම සිදුවුවන භුමි කම්පා ඇතුළු ස්වභාවික උවදුරු වලට ගැලපෙන අන්දමට ගොඩනැගිලි සහ නිවාස සෑදීමට ඉන්කාවරුන් තුල තිබුණු දක්ෂතාවය සමයිපටා නටබුන් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව දක්නට ලැබෙනවා."
"ඒ වගේම කෘෂි කර්මාන්තයේදී ද ඉන්කා වරුන් අති දක්ෂයින් බව පැහැදිලි වී තිබෙනවා. "


මේ මුළු සමයිපටා සංකීර්නයම අක්කර 50ක් පමණ වෙනවා.
සමයිපටා හි මේ අති විශාල ගල් පර්වතය කේන්ද්‍ර කොට ගෙන තමයි ඉන්කාවරුන් තම පරිපාලන සහ ආගමික මුලස්ථානය පවත්වා ගෙන ගොස් තිබෙන්නේ. මේ ගල් පර්වතය හතර වටින්ම පිහිටා තිබෙන්නේ සරුසාර ගොවි බිම්.
උපකල්පනය කරන පරිදි පැමිණි ස්පාඤ්ඤවරුන් ඉන්කා වරුන් සමග එක්වී තම බලකොටුව මේ පරිපාලන සහ ආගමික මුලස්ඨාන ගල් පර්වතයේ හෝ ඒ අවට සාදා ගත් බව පැවසෙනවා.
අදටත් ඉතිරි වී ඇති නටබුන් වල ඇති ස්පාඤ්ඤ ආභාෂයන් සහිත කොටස් මෙයට සාක්ෂි දරනවා.

මේ සම්පුර්ණ ගල් පර්වතයම විශේෂ කැටයම් සම්ප්‍රදායයක් දිස් වෙනවා. බොහෝ විට දක්නට ඇත්තේ යම් යම් ජ්‍යාමිතික සටහන් සහ සතුන්ගේ රූප. බොහෝවිට ඉන්කාවරුන් දෙවියන් වශයෙන් සලකු පුමා දිවියාගේ සටහනක් මේ ගල් පර්වතයේ දක්නට ලැබෙනවා. නමුත් පසුගිය කාලයේ සංචාරකයින් සහ බොලීවියානුවන් විසින් බොහෝ ගල් කැබලි විනාශ කිරීම නිසා දැන් ඉතිරිව ඇත්තේ යම් යම් සටහන් පමණයි.

මේ සමයිපටා නගරයේ ඇති ඉන්කා කෞතුකාගාරයේ Museo Arqueológico ප්‍රදර්ශනය කරන ඉන්කා ශිෂ්ටාචාරයට අයත් භාණ්ඩ. මේ සියල්ලම සොයා ගෙන ඇත්තේ සමයිපටා ඉන්කා ගල් පර්වත භූමියෙන්.






මේ භුමියේ බොහෝ ස්ථාන වල කොකා නමින් බොලීවියානුවන් හඳුන්වන ශාක දක්නට ලැබෙනවා. මේ ශාක වල පත්‍ර භාවිතා කරන්නේ කොකේන් නමැති මත් ද්‍රව්‍යය සාදන්නට. මාරියෝ සඳහන් කරන්නේ " ඉන්කාවරුන් බොහෝ විට කොකා පත්‍ර හපමින් කට තුල දිනය පුරාවම තබා ගැනීම සිදු කර තිබෙනවා. ඒ අමතර ශක්තියක් ලබා ගන්නට. ඊටත් අමතරව ඒ කාලයේ පණිවිඩකරුවන් ගම්මානයෙන් තවත් ගම්මානයකට දිව යාමෙන් තමයි පරිපාලනයේ පණිවිඩ නියෝග භාරදී තිබෙන්නේ. මේ වෙනුවෙන්ද අමතර ශක්තිය ලබා ගැනීමට මේ කොකා පත්‍ර භාවිතා කර තිබෙනවා. වෛද්‍යවරුන් විසින් නිර්වින්ධන ක්‍රියාවලිය සඳහාද මේ කොකා පත්‍ර භාවිතා කර තිබෙනවා."

ඉන්කා වරුන්ගේ රාජ්‍ය පාලන ක්‍රියාදාමයන් විශේෂයෙන් අදටත් අපිට ආදර්ශයක්. මාගේ මාර්ගෝපදේශක මාරියෝ ගේ මේ ප්‍රකාශ එය සනාත කරනවා.
"ඉන්කාවරුන් රාජ්‍යය පාලනය කොට ඇත්තේ නීතී වලට වඩා බොහෝ විට සම්ප්‍රදායයන්ට ගෞරව කරමින්. ඔවුන්ගේ පාලන තන්ත්‍රය ගොඩ නැගී තිබුනේ සොරකම් නොකරනු, බොරු නොකරනු සහ අලස නොවනු යන ප්‍රතිපත්තීන් මත."

"ඉන්කා වරුන්ගේ රාජ්‍යයයේ නීතිගත් මුදල් ව්‍යාවහාරයක් තිබී නැහැ. නමුත් ඔවුන් ධනවත් රාජ්‍යයක් ලෙස හැඳින්වුනා."
මාර්කෝ තව දුරටත් පවසනවා. " ඔවුන් සතුව තිබුණු කෘෂි කර්මාන්තයේ දැවැන්ත දැනුමත් ගෘහ නිර්මාණ ශිල්පයේ දක්ෂතාවයත් එමෙන්ම රාජ්‍ය පාලන තන්ත්‍රයේ විශේෂත්වයනුත් නිසා නිතැතින්ම ඔවුන් සැම අතින්ම ධනවත් වුවාට කිසිම සැකයක් නැහැ. ආගමානුකුල ජීවිතය සහ විශ්වාශයන් නිසා අධ්‍යාත්මිකවද ඔවුන් පොහොසත් ශිෂ්ටාචාරයක්."
"ඉන්කා ධනවත් ශිෂ්ටාචාරයක් බවට පලවන මත වල සත්‍යතාවය තහවුරු කෙරෙන තවත් නිදසුනක් ලෙස ඔවුන්ගේ බදු ගෙවීමේ ක්‍රමය හැදෑරිය යුතුමයි. මේ තමයි ඔවුන්ගේ සාර්ථකත්වයේ සැඟවුණු රහස."
"ඒ තමයි ඔවුන්ගේ බදු ගෙවීමේ ක්‍රම. මුදල් ව්‍යාවහාරයක් නොතිබුණු නිසා ඔවුන් බදු ගෙවීම සිදු කලේ තම ශ්‍රමය රජයට සේවාවක් ලෙස ලබා දෙමින්. සෑම ඉන්කාවරයෙක්ම තම රාජ්‍යය වෙනුවෙන් ශ්‍රමය ලබා දිය යුතුව තිබුනා. ඒ වෙනුවට පරිපාලනය විසින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් අවශ්‍යතා සලසා දී තිබුනා."
කෙසේ වෙතත් වෙළඳ පොළ ආර්ථිකයක් නොමැතිව මෙතරම් ධනවත් ශිෂ්ටාචාරයකට හිමිකම් කියන්නට ඉන්කාවරුන්ට හැකිවීම ඇත්තටම අදටත් අභිරහසක්. ඔවුන්ගේ ජීවන රටාව බොහෝ විට කෘෂි කර්මාන්තය වටා ගොඩ නංවා තිබුණු නිසා වෙළඳ පොළ ආර්ථිකයක අවශ්‍යතාවය ඔවුන් ප්‍රතික්ෂේප කර ඇතිබවයි පෙනෙන්නේ.

"බොහෝ දෙනෙක් පවසනවා ඉන්කා අධිරාජ්‍යය තුල සත්‍ය වශයෙන්ම සමාජවාදී ගති ලක්ෂණ තිබුණු බව. තවත් සමහරුන් පවසන්නේ එය තනිකරම ඒකාධිපති අධිරාජ්‍යයක් බව. සමාජවාදී වේවා ඒකාධිපති වේවා හෝ වෙනත් ක්‍රමයක් මගින් හෝ ජනතාවගේ මුලික අවශ්‍යතා සපිරෙන්නේ නම් ඒ ක්‍රමය ජනතාවගේ හදවතට සමීප වේවි." මෙසේ කියමින් මාරියෝ මගෙන් සමු ගත්තා.
විදේශීය ආක්‍රමනිකයින් විසින් තවත් එක් විශිෂ්ට ශිෂ්ටාචාරයක් සම්පුර්ණයෙන්ම විනාශ කිරීමේ ක්‍රියාදාමයක් මේ ආකාරයට ඉතිහාසයේ සටහන් වී තිබෙනවා.
සමයිපටා ප්‍රදේශයේ තව දුරටත් පුරා විද්‍යා කැනීම් සිදු වෙනවා. බොහෝ විට නුදුරු අනාගතයේදී නවතම තොරතුරු අනාවරණය වේවි.
බොලීවියාවේ සමයිපටා නගරයට සංචාර සංවිධානය කර ගැනීමේදී පහසුකම් සැපයු සැන්ටා කෘස් නගරයේ Amboro Tours වෙතට මාගේ ස්තුතිය.

රොහාන් ඩිරෙක්ස්
සංචාරය කලේ 2018 මැයි මාසයේ
තවත් කියවන්න
