A tour to Burundi බුරුන්ඩි දේශයේ සංචාරයක්

Photo-www.redsnowltd.com/portfolio/africas-bloodiest-war-burundi-war-toll-200000-since-oct-21/

"සර්, ඔක්කොම මිනිස්සු රටෙන් පිට වෙන්න බලනකොට ඇයි සර් විතරක් එහාට යන්න හදන්නේ ? "

මගේ මිත්‍ර කැප්ටන් ගේ මේ වචන මට කවදාකත් අමතක වෙන්නේ නැහැ.  මුලදී තරමක වේගයකින් ජීප් රථය ධාවනය කලත් දැන් නම් වේගය බොහෝ දුරට අඩු වෙලා.  කැප්ටනුත් ටිකක් බය වෙලා වගේ.

ජීප් රථයේ රියදුරුව කැප්ටන් කියල හඳුන්වන්නේ ඇත්තටම ඔහු රුවන්ඩා යුධ සේවයේ විශ්‍රාමික කැප්ටන් වරයෙක්. ඔහු වැනි පුද්ගලයෙකුගේ සේවය මේ රටවල් වලදී අවශ්‍යම නිසා තමයි මා ඔහුව අඳුනා ගත්තේ.

බුජුම්බුරා කියන්නේ  බුරුන්ඩි රටේ අගනුවර. බුරුන්ඩි දේශය තියෙන්නේ නැගෙනහිර අප්‍රිකාවේ රුවන්ඩා, කොංගෝ සහ ටැන්සානියා රටවල්වල දේශ සීමා සමග සම්බන්ධ වෙලා. 

රුවන්ඩාවේ අගනුවර වන කිගාලි නගරයේ සිට බුජුම්බුරා නගරය කි.මී. 283ක් දුර මාර්ගයක්.  අපිට ලැබුණු ආරංචි වලට අනුව බුජුම්බුරා නගරයේ තත්වය තරමක් සාමාන්‍ය අතට පත් වෙලා. ඒ නිසා කැප්ටන් ඇතුළු පිරිස සමග මේ ගමන යන්නට උත්සාහ කළා.

බුරුන්ඩි - ලෝකයේ දිළිඳුම රටවල් 10 අතරින් මුල් තැන ගන්නා රටක්. ඒ  වගේම අප්‍රිකාවේ කුඩාම රටක්. ජන වාර්ගික ගැටුම්, දිළිඳුකම, අධික ජනගහනය, වංචා දුෂණ - මේ සියල්ලටම මැදිවූ බුරුන්ඩි දේශයට යාම සුදුසු යයි නිර්දේශ කරපු කිසිම වාර්තාවක් මට දකින්නට ලැබුනේ නැහැ. නමුත් බුරුන්ඩි දේශයට පිවිසීම සඳහා වීසා බලපත්‍රය ලබා ගැනීමට රුවන්ඩාවේ බුරුන්ඩි තානාපති කාර්යාලය වෙත ගමන් පලපත්‍රය ඉදිරිපත් කර දින දෙකකින් පමණ ලබා ගැනීමට හැකි වුනා. 

මයුන්ගා නගරයේ තමයි රුවන්ඩා බුරුන්ඩි දේශ සීමාව පිහිටා තිබෙන්නේ. ජීප් රථයේ වේගය බොහෝ දුරට අඩුවුණේ මයුන්ගා නගරයට පිවිසීමත් සමගම.

 

මාගේ සංචාරය සිදුවුණු කාලයේ බුරුන්ඩි දේශයේ ඇතිවී තිබුණු දේශපාලන සහ ජන වාර්ගික ප්‍රශ්න නිසා බොහෝ පිරිස් බුරුන්ඩි දේශයෙන් පලා යාමට පටන් ගෙන තිබුනා. 

ජීප් රථයේ වේගය බොහෝ දුරට අඩුවුණේ කන්යාරු රුවන්ඩා බුරුන්ඩි දේශ සීමාවට පිවිසීමත් සමගම. දේශ සීමාවට පැමිණුනු මම දුටුවේ බුරුන්ඩි රටට යාම සඳහා ඒම අවස්ථාවේ එහි සිටියේ මා පමණක් බවත් හැබැයි බුරුන්ඩි සිට රුවන්ඩා දක්වා ඒමට අති විශාල වාහන සංඛ්‍යාවක් සමග පුද්ගලයින් පිරිසක් පෙළ ගැසී සිටින අයුරුයි.​

ජීප් රථයේ තිබුණු සියලුම දේවල දේශ සීමා ආරක්ෂකයින්ගේ පරීක්ෂාවට ලක්වුනා. ඒ සඳහාම පැයකට අධික කාලයක් වැය කරන්නට සිදුවුනා. දේශ සීමාවේ සිට බුජුම්බුරා නගරය දක්වා තවත් කි.මී. 150ක් පමණ ගමන් කරන්නට තිබෙනවා.  කි.මී. 4ක පමණ දුරක් රට තුලට ගමන් කරනකොට රටින් පිටවීමට සුදානම් වී තිබුණු වාහන පෙළ අවසන් වූවා.  මේ කි.මී. 150ක් දුර ඇතුලත 7 වතාවක් පමණ මාර්ග බාධක වලදී බුරුන්ඩි ආරක්ෂක හමුදාවන්ගේ පරීක්ෂා වලට අපිව ලක්වුනා. 

Please reload

​බුරුන්ඩි ඉතිහාසය කටුකයි, ඛේදජනකයි. බිහිසුණුයි. හුතු, තුත්සි සහ තුවා යන ජාතීන් වැඩි වශයෙන් මේ රටේ ජීවත් වෙන්නේ. වසර 500ක් පමණ වන බුරුන්ඩි ඉතිහාසයේ වසර 200ක පමණ කාලයක් නිදහස් රාජ්‍යක් හැටියට තිබුනත් 20 වන ශත වර්ෂය ආරම්භයේදී ජර්මනියේ යටත් විජිතයක් බවට පත් වුනා. නමුත් පළමුවන ලෝක යුද්ධයෙන් ලත් පරාජයන් නිසා ජර්මනියට බෙල්ජියමත් සමග සහයෝගයෙන් තව දුරටත් මේ රටවල් වල පාලනය ගෙන යන්නට සිදුවුනා.  මේ නිසා තමයි රුවන්ඩා-උරුන්ඩි යුරෝපීය කොලනිය (Ruanda-Urundi European Colony) බිහි වුනේ. 

අවශ්‍ය කරන කෑම බීම රැගෙන බුජුම්බුරා නගරයට අපේ ජීප් රථය ලඟා වුනේ මධ්‍යම රාත්‍රියේදී. අපේ නවාතැන වුනේ ඇන්ග්ලිකන් දේවස්ථානයක් විසින් පවත්වා ගෙන යන කුඩා ගෙස්ට් හවුසියක්. 

බුරුන්ඩි රටේ ජනාධිපතිවරණයක් කියන්නේ සිවිල් යුද්ධයක්. මෙය බොහෝ අප්‍රිකානු රටවල් වලට පොදු දෙයක්. 2015 අප්‍රේල් මාසේ 25 වැනිදා වර්තමාන ජනාධිපති පියරේ කුරුන්සිසා තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කිරීමත් සමගම තවත් සාර්ථක සිවිල් යුද්ධයක් බුරුන්ඩි හි ආරම්භ වුනා. මාසයක් පමණ කාලයක් පැවති මේ උද්ඝෝෂණ නිසා 1000කට අධික ජනතාවක් මරුමුවට පත්වී ලක්ෂ 2කටත් අධික ජනතාවක් අනාථයන් බවට පත්වී අසල්වැසි රුවන්ඩාවට සහ ටැන්සානියාවට පලා යන්නට සිදු වුනා. 

ඒ වගේම 2015 වසරේම මැයි මාසයේ බුරුන්ඩි ජනාධිපති ටැන්සානියාවේ නිල සංචාරයක යෙදී සිටියදී බුරුන්ඩි යුධ හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෙහෙයවීමෙන් සිදුවූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමේ වෑයමක් ක්‍රියාත්මක වුනා. නමුත් එය අවසන් වුයේ 100කටත් අධික ප්‍රමාණයක් මරණයට පත් වීමෙන්. 

බුරුන්ඩි ඉතිහාසය අති බිහිසුණු ජන සංහාර දෙකකට උරුමකම් කියනවා. අපේ මාර්ගෝපදේශකයා මේ බිහිසුණු ජන සංහාර 2ටම මුහුණ දී දිවි ගලවා ගත් පුද්ගලයෙක්. ඒ ප්‍රථමයෙන් 1972 වසරේදී බහුතර තුත්සි ජාතිකයින්ගෙන් සමන්විත වූ බුරුන්ඩි යුධ හමුදාව විසින් හුතු ජාතිකයින් අමානුෂික ලෙස ඝාතනය කල අවස්ථාව සහ 1993 වසරේ මුළු ලොවම කම්පාවට පත් කරමින් සිදුවූ රුවන්ඩාවේ සහ බුරුන්ඩි රටවල් වල තුත්සි ජාතිකයින් ඝාතනය කල අවස්ථාව.

කියවන්න - මාගේ රුවන්ඩා සංචාරය - සියලු යක්ෂයෝ රුවන්ඩාවෙහිය 

බුරුන්ඩි දේශයේ රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ සහ කිරුන්ඩි භාෂා. නමුත් අසල්වැසි රුවන්ඩාවේ ස්වාහිලී භාශාවද බොහෝ දෙනෙක් භාවිතා කරනවා. 

​බුරුන්ඩි වැසියන් සමග අපිට අදහස් හුවමාරු කර ගන්නට හැකි වුනේ ඉතා අල්ප වශයෙන්. නමුත් අපේ මාර්ගෝපදේශකයා හරහා බොහෝ කරුණු දැන ගන්නට හැකි වුනා.  

බුජුම්බුරා නගරයේ සිට කි.මී. 12ක් පමණ යන විට මුණ ගැසෙන මුගේරේ නගරයේ පිහිටා තිබෙන එක සිහිවටනයක් නිසා බුරුන්ඩි දේශය විදේශිකයින් අතර ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා. මේ තමයි ලිවින්ග්ස්ටෝන්-ස්ටැන්ලි ස්මාරකය. ලෝක ප්‍රසිද්ධත්වයට පත් වූ ගවේෂක ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන් සහ මාධ්‍යවේදී ගවේෂක හෙන්රි ස්ටැන්ලි 1871 වසරේ නොවැම්බර් මාසයේ 25-27 යන දින වලදී මුණ ගැසුනේ මේ ස්ථානයේදී.

බුජුම්බුරා නගරයේ ඇති මේ ස්මාරකය පවසන්නේ බුරුන්ඩියේ නිදහස් අරගලයේ ඉතිහාසය. බුරුන්ඩියේ පළමුවන අගමැතිවරයා හැටියට 1961 සැප්තැම්බර් මස 8 වැනිදා 80% ක ජනතාවකගේ ජන්දයෙන් පත්වූ ලුයිස් වගාසොරේ වෙනුවෙන් තමයි මේ ස්මාරකය ගොඩ නගා තිබෙන්නේ. 1962 වසරේ නිදහස ලබා ගැනීමට පෙර ලුයිස් වගාසොරේ ඝාතනය කරනු ලැබුවා. එවකට තිබු බෙල්ජියානු පාලනයට විරුද්ධව පෙනී සිටි ප්‍රබල චරිතයක් හැටියට ලුයිස් වගාසොරේ හඳුන්වනවා. අදත් බුරුන්ඩි වැසියන් විශ්වාශ කරන්නේ මෙය බෙල්ජියම රහසේ සංවිධානය කල දේශපාලන ඝාතනයක් කියා. 

​බුරුන්ඩි හි ගත කරපු දින 2ක හරියට මාස 2ක් වගේ. බුරුන්ඩි රටේ ප්‍රශ්න 1962 නිදහසේ සිට අද දක්වා දිවෙනවා. බුරුන්ඩි සහ රුවන්ඩා රටවල් දෙකම ලෝක ඉතිහාසයට අති දරුණු ජන සංහාර, වංචා දුෂණ, දේශපාලන පලිගැනීම්, දේශපාලන මිනී මැරුම් මේ  දසක දෙක තුල එකතු කර හමාරයි. රුවන්ඩාව මේ ගමනින් මිදිලා තරමක් හෝ දුරට ගමනක් යන්නට උත්සාහ කරනවා. නමුත් බුරුන්ඩි වල නම් කොහෙන් ගමන පටන් ගන්නද වත් කියා තවම හිතා ගෙන වත් නැහැ.  

"යටත් විජිත වාදයේ අවසාන ප්‍රතිපලය වුනේ එකිනෙකට සමාන භාෂාවක් කතා කරන එකිනෙකට සමාන සිරිත් විරිත් ඇති ජනතාවන් දෙකක් ජන්ම සතුරන් බවට පත් වීමයි." මේ මගේ මාර්ගොපදෙෂකයාගේ හඬ.

"ජර්මානුවන් මේ රට පාලනය කලේ තුත්සි වරුන්ගේ උදව්වෙන්. එ නිසා ඔවුනට අධ්‍යාපනික සහ බලය පාවිච්චි කිරීමේ වරම් ලැබුනා. මේ නිසාම තමයි හුතු ජාතිකයින්ට තේරුනේ තුත්සි වරුන් ජන්ම සතුරන් හැටියට. නමුත් බෙල්ජියමෙන් නිදහස ලැබෙන විට රටේ බලය හිමි වී තිබුනේ හුතු ජාතිකයින් අත. 1994 රුවන්ඩාවේ ජන සංහාරයෙන් මිලියනයකටත් අධික ජනතාවක් මිය ගියා. අපි හිතුවේ අපේ රට එයින් පාඩමක් ඉගෙන ගනීවි කියලා. නමුත් අවුරුදු 11ක කාලයක් තුල ජන සංහාර ක්‍රියා වලින් තවත් ලක්ෂ 3ක් පමණ මිය ගොස් මිලියනයකටත් වඩා අධික ප්‍රමාණයක් අවතැන් වී තිබෙනවා."

බුරුන්ඩියේ පළමුවන හුතු ජනාධිපති හැටියට 1993 වසරේ ජුලි මාසයේ පත්වුනේ මෙල්චෝයිර්න දදායේ. නමුත් 1993 ඔක්තෝබර් මාසයේ රුවන්ඩා ජනාධිපති සමග ගුවන් අනතුරකට පත්වී මිය ගියා.   හිටපු ජනාධිපති දයිසියේ වෙනුවෙන් ඉදි කරනු ලැබූ මේ ස්මාරකය බොහෝ විවේචන වලට ලක්වී තිබෙනවා. ​ඔක්තෝබර් මස 21 වැනිදා බුරුන්ඩි වැසියන් මේ අවස්ථාව අනුස්මරණය කරන විට තුත්සි ජාතිකයින් හුතු ජාතිකයින් විසින් ඝාතනයට ලක්වුණු පිරිස් වෙනුවෙන් පෙනී හිටිනවා. 

"බුරුන්ඩි වැසියන් හැටියට එකට එකමුතුව ජන සංහාර සහ යුද්ධ වලින් මිය ගිය පුද්ගලයන් සැමරීමට දැන් කාලය එළඹිලා. රටේ සිදුවී ඇත්තේ කුමක්ද යන සත්‍යය බුරුන්ඩි වැසියන් දැන ගත් දිනයට ඔවුන් එකමුතුව මේ අවස්ථාව අනුස්මරණය කරාවි. හැබැයි ඒ  සඳහා නායකයින්ගේ අවංක භාවයත් ජාතීන් දෙක අතර පැහැදිලි සංවාදයකුත් අවශ්‍යයි." මේ හිටපු ජනාධිපති දයිසියේ ගේ අදහස්. 

විදේශිකයින්ට ගුවන් තොටුපලේදී වීසා ලබා දීම මෑතකදී බුරුන්ඩි රජය මගින් නතර කර දමා තිබෙනවා. මේ නිසා යන්තම් හෝ ආදායමක් ලැබුණු සංචාරක කර්මාන්තයට විශාල බාධාවක් කියලා ව්‍යාපාරිකයින් පැහැදිලි කරනවා. බුරුන්ඩි වල හෝටල් වල 10%ක් වත් පිරෙන්නට සංචාරකයින් නැති බවයි හෝටල් හිමියන් පවසන්නේ. ​

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තා වලට අනුව 2015 වසරේ සිට මේ දක්වා අවම වශයෙන් බුරුන්ඩි වැසියන් ලක්ෂ 4ක් පමණ අනාථ වී රටින් පලා ගොස් සිටිනවා. ඔවුන් රුවන්ඩා, කොංගෝ, ටැන්සානියා සහ කෙන්යා රටවල් වල අනාථ කඳවුරු වල දැනට වාසය කරනවා. මොවුන්ගේ නඩත්තුව සඳහා අති විශාල මුදලක් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට වැය කරනවා.

 

"ඒත් අදත් යුරෝපීයන් ගුරුවරුන් හැටියට ක්‍රියා කරමින් පසුගිය කාලයේ මේ රටවල් වල ප්‍රශ්න විසඳන්න දරපු වෑයම අමතක කරන්න බැහැ. ඇයි ඔවුනට බැරි සිසුන් හැටියට මේ ප්‍රශ්න දිහා බලන්නට." යුධ හමුදා බාධක අතරින් සෙමින් ඉදිරියට යන ජීප් රථයේ හඬ අතරට මාර්ගෝපදේශකයාගේ බිඳුණු කට හඬ එකතු වුනා. ​

බුජුම්බුරා නගරයේ රැඳෙන්නට මට අවකාශ ලැබුනේ දින 2ක් පමණයි. හමුදා මාර්ග බාධක කිහිපයක් පසු කරමින් ආපසු ටැන්සානියා දේශ සීමාව වෙතට යන්නටත් ලේසි පහසු වුනේ නැහැ. අසල්වැසි රුවන්ඩාවේ තත්වයත් සමග සසඳා බලන විට මෙතරම් අති බිහිසුණු ජන සංහාර යුද්ධ තත්වයන්ට මුහුණ දුන් රුවන්ඩාව අද ලබා ඇති ජයග්‍රහණයන් පුදුම සහගතයි.  ඒ නිසාම වෙන්න ඇති රුවන්ඩා ජනාධිපති පෝල් කගාමා මෑතකදී ප්‍රකාශ කලේ " අපි හැම දෙයකටම අසල්වැසියාට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. අපි අපේ ප්‍රශ්න විසඳා ගන්නවා. බුරුන්ඩි රටෙනුත් අපි ඉල්ලන්නේ ඒ විදිහටම කටයුතු කරන්න කියල"

"අද අපේ සෑම ප්‍රශ්නයක්ම කතා කරන්නේ මේ ජන ගැටුම හරහා. දේශපාලන හෝ ආර්ථික හෝ ඕනෑම ප්‍රශ්නයක ආරම්භ මෙන්ම කෙළවරත් මේ ගැටුම."  මගේ මාර්ගෝපදේශකයා මාව අවසන් වරට වැළඳ ගත්තේ කඳුළු පිරි දෙනෙතින් යුතුව අපිවත් අමතක කරන්න එපා යයි පවසමින්. ​

බුරුන්ඩි රටේ සුන්දරත්වය, ජනතාවගේ සංග්‍රහශීලී බව, ජන ජීවිතය සියල්ල වසා ගෙන පැතිරෙන්නේ මේ දේශපාලන අස්ථිරභාවය.  යුරෝපය අප්‍රිකාවෙන් ඉවත් වුනත් ඉතුරු කර දුන් දායාදය සදාකාලිකයි කියලා හිතෙනවා. ඉතිහාසය හැමදාමත් අපිට පාඩම් කියලා දෙනවා . නමුත් ඉතිහාසය පාඩම් කියා දුන්නට බුරුන්ඩි දේශය මේ පාඩම් වලින් තවමත් ඉගෙන ගෙන නැති පාටයි. 

 

බුජුම්බුරාවට කවදා හිනැහෙන්න ලැබේවිද!

රොහාන් ඩිරෙක්ස්