රතු චතුරශ්‍රය 

රොහාන් ඩිරෙක්ස් 

​info@sanchara.lk

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

බොලීවියාවේදී වලෙග්‍රන්දා නගරයේදීත් ලා හිගුරා ගම්මානයෙදීත් චේ ගුවේරාගේ මරණයට සම්බන්ධ දැනට ජීවත්ව සිටින බොහෝ පුද්ගලයින් හමු වන්නට අවස්ථාව ලැබුනත් මේ කතාව සම්පුර්ණ වන්නට නම් තවත් එක් සුවිශේෂී පුද්ගලයෙකු ගේ අදහස් අනිවාර්යයෙන්ම විමසන්නට සිදු වෙනවා. 

මේ වෙනුවෙන්ම බොලීවියාවට අමතරව කියුබාවටද සංචාරය කරන්න ඕන කියලා මට සිතුනු වාර අනන්තයි. නමුත් ඒ එක් වාරයකදී වත් මට අවශ්‍ය විදිහට        කියුබානු සංචාරය සකස් කර ගන්න හැකියාවක් ලැබුනේ නැහැ. අන්තර් ජාලයෙන් සොයා ගත් විද්‍යුත් ලිපින වලට කොපමණ ලිව්වත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. කියුබාවේ ජීවත් වන රුසියානු ජාතිකයින් කිහිපදෙනෙක් සමගද මා අන්තර් ජාලය හරහා සම්බන්ධතා පැවැත්වුවත් මා ඉල්ලු ස්ථාන වලට යාමට සහයෝගය දැක්වීමට ඔවුන් එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ. 

චේ ගුවේරාගේ පවුලේ සාමාජිකයෙක් හමුවීමට අවස්ථාවක් ලබා ගන්නට මා උත්සාහ දැරුවේ කියුබාවට සහ බොලීවියාවට යන්නට මාස කිහිපයකට පෙර සිට. ඒ අනුව තමයි මා සිතුවේ කෙසේ හෝ චේ ගුවේරා ගේ පුත් කැමිලෝ ගුවේරා හමුවන්නට. 

නමුත් ඒ බලාපොරොත්තුව සපල කර ගන්නට කිසිම අවකාශයක් මට ලැබුනේ නැහැ. සාමාන්‍ය සංචාරකයෙක් ලෙස කියුබානු කොමියුනිස්ට් පක්ෂය හරහා කැමිලෝ ගුවේරා හමු වන්නට අවස්ථාවක් ලබා ගැනීමට කිසිදු ඉඩක් මට ලැබුනේ නැහැ. 

 

​2017 වසරේ සැප්තැම්බර් මාසයේදී දිනෙක මට ලැබුණු එක් විද්‍යුත් ලිපියකට මගේ අවධානය යොමු වුනා. 

​​ඒ විද්‍යුත් ලිපිය ලැබුනේ ජෝර්ජ් නමැති මගේ කියුබානු සංචාරයට උදව් කල පුද්ගලයෙකුගෙන්. ජෝර්ජ් මෑත කාලයේදී තම බිරිඳ සමග සංචාරකයින්ට සහයෝගය දෙන කුඩා සමාගමක් ලියාපදිංචි කර තිබෙනවා. දැනට 75 හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් විශ්‍රාම ගැනීමට පෙර රැකියාව කලේ කියුබානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ. මගේ ජීවිතයේ යම් කාලයක් පැරණි සෝවියට් දේශයේ ජීවත් වී ඇති නිසා ජෝර්ජ්ගේ මේ විශ්‍රාම ගැනීමට පෙර කල රැකියාව ගැන මගේ අවධානය යොමු වුනා. ඒ අනුව මගේ කියුබානු සංචාරය සඳහා උදව් සහ උපදෙස් ලබා ගැනීමට සුදුසු එකම පුද්ගලයා ජෝර්ජ් බව මට තේරුම් ගියා. 

අන්තර් ජාලය පරිහරණය කිරීමෙන් මා ලබා ගත් තොරතුරු අනුව කැමිලෝ ගුවේරා හවානා නගරයේ චේ ගුවේරා කේන්ද්‍රය මෙහෙයවන බව පමණක් දැන ගන්නට ලැබුනා. අවම වශයෙන් ඔහුගේ හෝ චේ ගුවේරා කේන්ද්‍රයේ දුරකථන අංක පවා සඳහන් වෙන්නේ නැහැ. නමුත් අන්තර් ජාලයෙන් ලබා ගත් විද්‍යුත් ලිපිනයකට විස්තර යැවීමෙන් මා ඉල්ලා සිටියේ කෙසේ හෝ මා කියුබාවට පැමිණෙන දින වලදී කැමිලෝ ගුවේරා හමු වන්නට අවස්ථාවක් ලබා දෙන ලෙස. මාස 4ක පමණ කාලයක් මෙසේ ඉල්ලා සිටියත් මට කිසිම අවස්ථාවක පිළිතුරක් ලැබුනේ නැහැ. 

​අවසානයේදී මා ජෝර්ජ් ගෙන් ඉල්ලා සිටියා කෙසේ හෝ හවානා නුවර චේ ගුවේරා කේන්ද්‍රය වෙත පෞද්ගලිකවම ගොස් එහි භාරකාරීන් හමුවී මාගේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස. කිහිප වතාවක්ම චේ ගුවේරා කේන්ද්‍රය වෙත ගොස් මා ගැන සහ මාගේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් සියලුම විස්තර ඉදිරිපත් කල පසු ඉතාමත් කෙටි වේලාවකට කැමිලෝ ගුවේරා හමු වන්නට ඉඩ දිය හැකි බව චේ ගුවේරා කේන්ද්‍රය මා හට දන්වා සිටියා.  නමුත් ඒ බව මට දැන ගන්නට ලැබුනේ මා කියුබාවට යාමට මොස්කව් ගුවන් තොටුපලේ සිටින විට.  ඒ වන විට සංචාරයේ සියලුම සංවිධාන කටයුතු නිමාවට පත්වී තිබුනත් ඒ සියලු දේවල වෙනස් කොට කැමිලෝ ගුවේරා  හමුවීමට ලබා දුන් දිනයේ මා චේ ගුවේරා කෙන්ද්‍රය වෙත පැමිණෙන බව ඔවුන්ට දන්වා සිටියා. 

චේ ගුවේරාගේ දෙවන විවාහය සිදුවුනේ 1959 වසරේ. ඇලෙයිඩා මාර්ච් සමග විවාහයෙන් චේ ගුවේරා හට පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටිනවා.  කැමිලෝ ගුවේරාගේ උපත සිදුවුනේ 1962 වසරේ. ඒ කියුබානු විප්ලවයෙන් වසර 3කට පසු. 

චේ ගුවේරාගේ බිරිඳ වන ඇලෙයිඩා මාර්ච් සහ පුත් කැමිලෝ ගුවේරා මෙහෙයවන චේ ගුවේරා කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ කියුබාවේ හවානා නගරයේ සුන්දරතම ස්ථානයක. චේ ගුවේරා හා සම්බන්ධ ලිපි ලේඛන, පොත් පත්, ජායාරුප, වීඩියෝ පට මෙන්ම ඔහු විසින් ලියන ලද ලිපි, පොත් පත් සහ ඔහු විසින් ලෝකයේ නොයෙකුත් රටවල ගන්නා ලද ජායාරුප සහ ඒවායේ විස්තර මේ ස්ථානයේදී දැක බලා ගන්නට පුළුවන්. 

චේ ගුවේරා ලා හිගුරා පාසල් කාමරයේ සිර කර තබා සිටියදී ජායාරුප ගැනීම සඳහා පිටතට රැගෙන ගියා. මේ ඒ අවස්ථාවේදී ගත් ජායාරුපය. මේ ජායාරුපය මාධ්‍ය වලට මුදා හැරීමට අවසර ලැබුනේ 1989 වසරේදී.

ජායාරුපයේ වම් පසින් සිටින්නේ ෆීලික්ස් රෝඩ්රිගෝස්. ඔහු තමයි සී.අයි.ඒ. ඔත්තු සංවිධානයේ නියෝජිතයා. චේ ගුවේරා බොලීවියාවේ සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු සී.අයි.ඒ. සංවිධානය ෆීලික්ස් රෝඩ්රිගෝස් ඇතුළු විශේෂ කාර්ය බලකායක් බොලීවියාවට යවා තිබුනා. ඔහුගේ අධීක්ෂණය යටතේ තමයි ලා හිගුරා සහ වලෙග්‍රන්දා ප්‍රදේශ වල හමුදා සෝදිසි මෙහෙයුම්  විට ක්‍රියාත්මක වුනේ. 

චේ ගුවේරා අත් අඩංගුවට ගැනීමට මාසයකට පමණ පෙර අත් අඩංගුවට පත් වුනු ගරිල්ලා භටයින්ගෙන් ලැබුණු තොරතුරු අනුවත් ලා හිගුරා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව විසින් ලබා දෙනු ලැබූ තොරතුරු අනුවත් ෆීලික්ස් රෝඩ්රිගෝස් ඇතුළු කණ්ඩායමට පුළුවන් වුනා ගැරී ප්‍රාඩෝ ගේ සහයෝගය ඇතිව 1967 වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා එල් චුරෝ ප්‍රදේශය වටලන්නට. මේ සඳහා හමුදා සෙබළුන් 160ක් සහභාගී වී තිබුනා. 

​මීට ඉහතදී කැප්ටන් ගැරී ප්‍රාඩෝ සඳහන් කල අන්දමට මේ අවස්ථාවේදී තමයි චේ ගුවේරා අත් අඩංගුවට පත් වුනේ. 

​චේ  ගුවේරාගේ සිරුර පමණක් සේදීමට භාවිතා කරන සිමෙන්ති බේසම මතින් තබා තිබුනේ. අනිකුත් ගරිල්ලා භටයන්ගේ සිරුරු බිම තැනින් තැන දමා තිබුනා. බොලීවියානු හමුදා භටයින් අණ කළා එවකට වලෙග්‍රන්දා රජයේ රෝහලේ හෙදියක් වශයෙන් සේවය කල සුසානා ඔසිනාගා හට චේ ගුවේරාගේ මිනිය පමණක් සෝදා පිරිසිදු කරන ලෙස.

මගේ බොලීවියානු සංචාරයේදී මට හැකිවුනා සුසානා ඔසිනාගා හමුවන්නට. ඇයගේ වයස දැන් අවුරුදු 86ක් වෙනවා. තවමත් වලෙග්‍රන්දා නගරයේ ජීවත් වෙන්නේ. නමුත් අවාසනාවකට වාගේ මා වලෙග්‍රන්දා නගරයට පැමිණීමට දිනකට පෙර හදිසි අනතුරක් නිසා ඇයගේ පාදයකට තුවාල සිදුවී තිබුන නිසා මට ඇය සමග කතා බස් කරන්නට සිදුවුයේ මේ ආකාරයට.

 

1967 ඔක්තෝබර් මාසේ 8 වැනිදා ගිලන් රථ වලින් එක් වරම මල සිරුරු කිහිපයක් රැගෙන ආවා. සාමාන්‍යයෙන් මෙසේ සිරුරු රැගෙන ඒමේ විශේෂත්වයක් නැහැ. නමුත් මේ සිරුරු සමග විශාල හමුදා සෙබළුන් ප්‍රමාණයක් සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් කැමරා ආම්පන්න අතැතිව රෝහලට පැමිණ තිබුනා. මා ඒ කාලයේ වලෙග්‍රන්දා  රජයේ රෝහලේ හෙදියක් හැටියට රාජකාරී කළා.

මා වෙතට පැමිණුනු එක් හමුදා නිලධාරියෙක් පැවසුයේ රැගෙන ආ මල සිරුරු වලින් එක් මල සිරුරක් පමණක් සෝදා පිරිසිදු කරන ලෙස. මා සිරුරු තිබුණු කුටියට යන විට එක් මල සිරුරක් පමණක් සිමෙන්ති බැංකුව උඩ තබා තිබුනා. තවත් මල සිරුරු කිහිපයක් ඒ අවට බිම සිමෙන්ති පොලවේ තබා තිබුනා. ඔවුන් සියලු දෙනාගේම සිරුරු වලින් රුධිරය ගලමින් තිබුනා. ඒ සියලු දෙනාම අපිරිසිදු රැවුල් සහ කොණ්ඩය වවා ගත් පුද්ගලයින්. එතන සිටි හමුදා සෙබළුන් මට අණ කළා සිමෙන්ති බංකුව මත තබා තුබුණු සිරුර සෝදා පිරිසිදු කරන ලෙස. 

සිමෙන්ති බංකුව සහිත මිනී කාමරය අද දිස්වෙන ආකාරය 

"නියෝගය අනුව මම සිරුර සෝදන්නට ලැස්ති වුනා." සුසානා තව දුරටත් කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා. 

"ඔබ දන ගෙන හිටියාද ඒ වෙලාවේ කාගේ සිරුරද ඒ සෝදන්නේ කියා."

"නැහැ. හැබැයි මට හමුදා සෙබළුන් පැවසුවා මේ සෝදන්නේ චේ ගුවේරාගේ සිරුර කියා. නමුත් ඇත්තටම මම දැන ගෙන සිටියේ නැහැ චේ ගුවේරා කියන්නේ කවුද කියා. නමුත් ඒ සිරුර විතරක් සෝදා පිරිසිදු කරන්න කියපු නිසා මම සිතුවා මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව."

"ඔබ මොනවාද දැක්කේ චේ ගුවේරාගේ සිරුරේ වෙනස්කම්." 

"ඔහුගේ මුළු සිරුරම කෙට්ටු වෙලා තිබුනේ. හරියට දින ගණනාවක් කන්න නැතිව සිටියා වගේ. ඒ වගේම ඔහුගේ මුහුණ හරියටම් ජේසුස් වහන්සේගේ මුහුණට සමාන විදිහට තමයි මම දැක්කේ. එතකොට මට තේරුණා ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන විත්තිය. ඔහුව බලන්නට නොයෙකුත් අන්දමේ හමුදා නිලධාරීන් වගේම ගම්මානයේ ජනතාවත් පැමිණියා." 

"ඒ පැමිණුනු මිනිසුන් මොනවාද කිව්වේ. ඔවුන් හැසිරුනේ මොන විදිහටද? ඔබට මතකද?" මගේ ප්‍රශ්න වලට සුසානා පිළිතුරු දුන්නා. 

"බොහෝ මිනිසුන් හඬා වැලපුනා. සමහර පුද්ගලයින් පැවසුයේ නැවත වරක් ජේසුස් වහන්සේ පොලව මත පහල වී ඇති බවයි. තවත් සමහර පුද්ගලයින් චේ ගුවේරාගේ කොන්ඩයෙන් සහ රැවුලෙන් කොටස් පවා කපා ගත්තා." 

​"මේ සිද්ධියෙන් පස්සේ මගේ ජීවිතය පවා වෙනස් වුනා. ඒ කාලයේ මම බොහෝ විට අසනීප වෙනවා. නමුත් කුමන හෝ හේතුවක් නිසා මේ සිධියෙන් පසුව මා නිතර අසනීප වීම නැවතුනා. අද මගේ වයස 86යි. මම අදත් වලෙග්‍රන්දා නගරයේ ඇති දේවස්ථානයේ චේ ගුවේරා වෙනුවෙන් සෑම මාසයකම ඉටිපන්දමක් දල්වනවා. චේ ගුවේරා ඇත්තටම ශුද්ධවූ චරිතයක්.

2007 වසරේ ඔක්තෝබර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වෙන්දෙසියකට චේ ගුවේරාගේ කොන්ඩයෙන් කපා ගත් කෙස් ඉදිරිපත් කර තිබුනා. ගුස්ටාවෝ විලොල්දෝ නමැති පුද්ගලයා විසින් තමා මේ කෙස් ඉදිරිපත් කර තිබුනේ. මේ කෙස් ගස් ස්වල්පය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට විකිණී තිබුනා. 

චේ ගුවේරාගේ සිරුරට ෆෝමලීන් විද එම්බාම් කල පසු වලෙග්‍රන්දා ගම්මානයේ ජනතාවට දැක ගන්නට බොලීවියානු හමුදාව කටයුතු කොට තිබුනා. මේ ආකාරයට දින 2ක් වලෙග්‍රන්දා රජයේ රෝහලේ චේ ගුවේරාගේ මිනිය තබා තිබුනා. 

ඔක්තෝබර් මස 9 සහ 10 වන දින රාත්‍රී කාලයේදී චේ ගුවේරාගේ සිරුර තබා තිබුනේ මේ ස්ථානයේ. මේ ස්ථානයත් ඇත්තේ සිරුර ජනතාවට ප්‍රදර්ශනය කල ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඈතින්. 

1997 වසරේදී විශ්‍රාමික බොලීවියානු හමුදා ජෙනරාල් වරයෙකු වූ මාරියෝ වර්ගාස් සලිනාස් ප්‍රථම වරට මාධ්‍ය වලට  ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 1967 වසරේ චේ ගුවේරා ඝාතන ක්‍රියා දාමයන් වලට ඔහු සම්බන්ධ වූ බවත් චේ ගුවේරාගේ සිරුර රහසිගත අන්දමින් මිහිදන් කල ආකාරය සහ ප්‍රදේශය ඔහු සඳහන් කළා. වලෙග්‍රන්දා ගුවන් තොටුපල අසල භුමියේ කෙළවරක බුල්ඩෝසරයක් උපයෝගී කර ගනිමින් සමුහ මිනී වලක චේ ගුවේරා  අනිකුත් ගරිල්ලා කණ්ඩායමේ සාමාජිකයින්ගේ සිරුරුද මිහිදන් කල බව.

ජෙනරාල ගේ මේ ප්‍රකාශය නිසා එවකට බොලීවියානු ජනාධිපති ගොන්සාලෝ ලොසාඩා හට විශේෂ ජනාධිපති කොමිසමක් පවා පත් කරන්නට සිදුවුනා. 1997 වසරේ ජුනි මස 28 වැනිදා මේ ස්ථානයේ කැනීම් කල බොලීවියානු ජාතිකයින් හට මේ සමුහ මිනී වලවල් හමු වුනා. ඒ වන විට මේ ගවේෂණ මෙහෙයුම් වලට කියුබාවද සම්බන්ධ වී සිටියා. 

​1999 වසරේ ජුලි මස 1 වැනිදා විශ්‍රාමික බොලීවියානු හමුදා ජෙනරාල් වරයෙකු වූ මාරියෝ වර්ගාස් සලිනාස් ගේ ප්‍රකාශය සනාත කරමින් චේ ගුවේරාගේ යයි සඳහන් කල හැකි අස්ථි වල කොටස් හමුවුනා. 1997 ජුලි මස 13 වැනිදා බොලීවියානු රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා චේ ගුවේරාගේ සිරුරේ කොටස් හමුවීම සම්බන්ධයෙන්.  චේ ගුවේරා සමග තවත් ගරිල්ලා භටයින් 7 දෙනෙකුගේ සිරුරු වල කොටස් මෙසේ සොයා ගනු ලැබුවා. 

​එදා චේ ගුවේරා ඇතුළු ගරිල්ලා භටයන්ගේ සිරුරු වල කොටස් සොයා ගත් ස්ථානයේ තමයි අද චේ ගුවේරා මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ.

පිටුපසින් පෙනෙන ගොඩනැගිල්ල එනම් චේ ගුවේරා සමාධිය ගොඩ නගා තිබෙන්නේ හරියටම සිරුරු කොටස් පොලව මතින් මතු කර ගත් ස්ථානය වටා.

​චේ ගුවේරා ඇතුළු කණ්ඩායමේ සිරුරු වල දමා තිබු ආකාරයටම ඒ ස්ථාන වලම නාම පුවරු දක්නට ලැබෙනවා. චේ ගුවේරාගේ සිරුර හඳුනා ගනු ලැබුවේ එක් සිරුරක දෑත් නොමැති නිසා.  නමුත් DNA පරීක්ෂණයක් නොකරම කියුබානු සහ බොලීවියානු රජයන් තීරණය කළා එය චේ ගුවේරාගේම ඇට සැකිල්ල බව. 

1997 වසරේ ඔක්තෝබර් මාසයේදී විශේෂ ගුවන් යානයක් මගින් චේ ගුවේරා ඇතුළු අනිකුත් ගරිල්ලා භටයන්ගේ සිරුරු වල කොටස් රාජ්‍ය ගෞරව සහිතව කියුබාවට රැගෙන ආවා. 

කියුබාවේ සැන්ටා ක්ලාරා නගරයේ පිහිටවූ විශේෂ සමාධියක මේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙනවා. සැන්ටා ක්ලාරා නගරය චේ ගුවේරාගේ විප්ලවීය ජීවිතයේ ප්‍රබල සන්ධිස්ථානයක් වෙනවා. මේ නිසාම තමයි කියුබානු පාලකයන් මේ නගරය චේ ගුවේරාගේ සමාධිය පිහිටුවීමට තෝරා ගත්තේ. 

කියුබාවේ සැන්ටා ක්ලාරා නගරයේ පිහිටවූ විශේෂ සමාධිය. මේ ස්ථානය පිලිබඳ විශේෂ තොරතුර මාගේ කියුබාවේ දෙවන විප්ලවය ලිපි පෙළ තුලින්. මේ ස්ථානයෙන් පිවිසෙන්න

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 මැයි 12-22 

info@sanchara.lk