The Second Revolution in

Cuba !

  • Instagram - Black Circle
  • Facebook - Black Circle
  • YouTube - Black Circle

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 අප්‍රේල් 30-මැයි 12 

info@sanchara.lk

1959 කියුබානු විප්ලවයෙන් පසුව ප්‍රථම වරට කියුබානු වැසියන්ට තම දේපල විකුණන්නට එමෙන්ම තවත් දේපලක් මිලදී ගන්නට, ඒ වගේම වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවසර ලැබී තිබෙනවා. හැබැයි මේ අවශ්‍යතා සපුරා ගන්නට ඔවුන්ට සිදුවුනා ෆිදෙල් කස්ත්‍රෝ ගේ මරණය තෙක් බලා සිටින්නට.  (කියුබාවේ දෙවන විප්ලවය - 1 කොටස) මෙතනින් කියවන්න.)

"මගේ පුතා බඩගිනියි කියා අඬන විට ඔහුට විප්ලවයද කන්න දෙන්නේ...."

"මගේ පුතාට ඇඳුම් අවශ්‍ය වුනාම ඔහුට විප්ලවය අඳින්න පුලුවන්ද ?"

"මම විශේෂඥ වෛද්‍යවරයෙක්. මගේ වැටුප ඇමෙරිකානු ඩොලර 35ක්......"

"මගේ පවුලේ සාමාජිකයින් 5 දෙනෙක්. අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ කාමර 2ක."

​හිමිදිරි උදෑසන හවානා ගුවන් තොටුපලට යාමට වෙන්කර ගත් කුලී රථයේ රියදුරා සමග මා කතා බහට වැටුනා. සෝවියට් දේශයේ නිෂ්පාදිත පැරණි ලාඩා වර්ගයේ වාහනය මෙතරම් කාලයක් පාවිච්චි කරන්නට පුළුවන් වුනාට ඇත්තටම සෝවියට් දේශයට ස්තුති වන්ත විය යුතුයි. 

​මාර්ගය දෙපස තිබෙන විශාල දැන්වීම් පුවරු වල තිබෙන්නේ ෆිදෙල් කැස්ත්‍රෝ, රාවුල් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා ගේ ජායාරුප සහිත වගන්ති හෝ විප්ලවය සම්බන්ධ සටන් පාට.

"මම වෛද්‍යවරයෙක්. මගේ බිරිඳ වෛද්‍යවරයෙක්. අපිට ජීවිතයේ කිසිම දෙයක් හිමි නැහැ. ඒ සියල්ලම අයිති ෆිදෙල්ට (ෆිදෙල් කැස්ත්‍රෝ). ඇත්තම කියනවානම් අපේ සිතුම් පැතුම් පවා අයිති ෆිදෙල්ට. මේ ඒකාකාරී ඒකාධිපති පාලනය මට නම් තිත්තයි." කුලී රථයේ රියදුරු වෛද්‍යවරයා මෙසේ පවසනවා.

මගේ පළමුවන ලිපියේ සඳහන් කල පරිදි සාමාන්‍ය සංචාරකයෙක් නොවන ආකාරයට කියුබාවට යන්නට මට අවශ්‍ය වුනේ. තරු පන්තියේ හෝටලයක නවාතැන් නොගෙන සාමාන්‍ය ජනතාව අතර ගැවසෙමින් ඔවුන්ගේ ජීවිතය සහ සංස්කෘතිය තුලට එබී බැලීම තමයි මම හැමදාම අපේක්ෂා කලේ. 

​ගුවන් තොටුපල වෙත මා ගමන් කල කුලී රථයේ රියදුරා වෛද්‍යවරයෙක්. ඇත්තටම ඒ ඔහුගේ වාහනය. රාත්‍රී කාලයේදී  රියදුරෙක් ලෙස සේවය කරමින් අමතර මුදලක් උපයා ගන්නට දරන වෑයමක්. මා සිටි ස්ථානයේ සිට ගුවන් තොටුපල දක්වා යාමට ඇමෙරිකානු ඩොලර් 15ක් ගෙවිය යුතුව තිබුනා. 

ඇමෙරිකානු සිහිනය 

මේ ඇමෙරිකානු සිහිනය වෙනුවෙන් තම ජීවිතය වුනත් පුද කරන්නට බොහෝ කියුබානුවන් පසුබට වෙන්නේ නැහැ. කෙසේ හෝ අත්ලාන්තික සාගරය තරණය කර ඇමෙරිකා එක්සත් ජනපද වෙරළේ තම දෙපා තබන්නට හැකිනම් ඇමෙරිකාවේ දේශාලන රැකවරණ සහ සරනාඝතයින් ලෙස ජීවත් වීමට හැකිබව කියුබානුවන් දැන සිටියා. 

හවානා නගරයේ මුහුදු වෙරළ (මේ ස්ථානය හඳුන්වන්නේ Malecon නමින්) කියුබානු තරුණ පරම්පරාව අතර ප්‍රචලිතයි. මේ මුහුදු තීරය හරියට කොළඹ ගෝල්ෆේස් පිටිය වගේ. 

මේ ස්ථානයේ සිට කි.මී. 145ක් දුරින් තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පිහිටා තිබෙන්නේ.  ඒ නිසා තමයි  කියුබානු වැසියන් අපේ ඇමෙරිකානු සිහිනය තිබෙන්නේ කි.මී. 145ක් දුරින් යනුවෙන් හැම විටම සඳහන් කරන්නේ. 

​මේ ඇමෙරිකානු සිහිනය වෙනුවෙන් තම ජීවිතය වුනත් පුද කරන්නට සමහර කියුබානුවන් පසුබට වෙන්නේ නැහැ. අනවසර ධීවර යාත්‍රා, ඩිංගි බෝට්ටු භාවිතා කරමින් කෙසේ හෝ අත්ලාන්තික සාගරය තරණය කර ඇමෙරිකා එක්සත් ජනපද වෙරළේ තම දෙපා තබන්නට හැකිනම් ඇමෙරිකාවේ දේශාලන රැකවරණ සහ සරනාඝතයින් ලෙස ජීවත් වීමට හැකිබව කියුබානුවන් දැන සිටියා. 

කියුබානු රජය ප්‍රබල උත්සාහයක් දරනවා මේ ගමන් නතර කරන්නට. යම් විදිහකින් පවුලේ සාමාජිකයෙක් මේ ආකාරයට නීති විරෝධීව ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගියහොත් ඔහුගේ මුළු පවුලටම දඬුවම් විඳීමට සිදුවෙනවා.  බොහෝ විට එම පවුල් වල සාමාජිකයින්ට රජයේ රැකියා හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමේදී අපහසුතා වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම පලා යාමේදී අසුවුවහොත් බරපතල සිර දඬුවම් විඳින්නට වෙනවා. 

 

කෙසේ වෙතත් 1959 ජනවාරි මස 7 වනදා සිට එනම් කියුබානු විප්ලවයේ ආරම්භක දිනයේ සිට අද දක්වා අතර කාලය තුල කියුබානු වැසියන් මිලියනයකට අධික ප්‍රමාණයක් මෙසේ කියුබාව අත හැර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පලා ගොස් තිබෙනවා. මේ ප්‍රමාණය කියුබානු ජනගහනයෙන් තුනෙන් එකක්. 

මේ ආකාරයට ඇමෙරිකාවට පලා යාම් සම්බන්ධයෙන් කියුබානු ඉතිහාසයේ දරුණු කළු පැල්ලම් කිහිපයක් දක්නට ලැබෙනවා. 

​කියුබාව හැම විටම අමතක කරන්න උත්සාහ දරන එක සිද්ධියක් මේ. 

කියුබාවේ මාරිඑල් කුඩා නගරය පිහිටා තිබෙන්නේ හවානා නගරයේ සිට කි.මී. 45ක් දුරින්. මෙය කුඩා වරායක් සහිත නගරයක්. සාමාන්‍යයෙන් මේ නගරය ගැන විශේෂ යමක් කියුබානුවන් පවසන්නේ නැහැ. 

​මා මුලින්ම මාරිඑල් නගරයට යා යුතුයි කියා මගේ සංචාරක උපදේශක ජෝර්ජ් ට පවසන විට ඔහුගේ මුහුණ තරමක් දුරට වෙනස් වුනා. ඔහු මට පැවසුයේ ඒ නගරයේ සංචාරකයින් හට දැක බලාගැනීමට විශේෂ ස්ථාන නොමැති බවක්. නමුත් මේ  මරිඑල් කුඩා වරාය කියුබානු විප්ලවීය ඉතිහාසයේ එක අඳුරු පරිච්චේදයක් සනිටුහන් කරනවා. 

1980 දශකයේ දී කියුබානු ජනතාවන් හවානා නගරයේ විදේශීය තානාපති කාර්යාල වෙත කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම කිහිප වතාවක්ම සිදුවුනා. මෙයින් විශාලම සිද්ධිය වුනේ 1979 වසරේ අප්‍රේල් මාසේ 1 වැනිදා කියුබානුවන් පිරිසක් බස් රථයකින් පේරු තානාපති කාර්යාලයේ ගේට්ටුව බිඳ දමමින් තානාපති කාර්යාල කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටියා.  මේ සිද්ධියේදී තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි එක් කියුබානු හමුදා භටයෙක් මරුමුවට පත් වුනා. 

තානාපති කාර්යාලයේ බැල්කනියක් මතට නැගී කියුබානු රජය වෙත තම විරෝධය පල කරමින් කියුබාවෙන් පිටවී යාම තම මොවුන්ගේ අරමුණ වුනේ. කියුබානු රජය මේ පුද්ගලයින් නැවත භාර දෙන ලෙස ඉල්ලා සිටියත් පේරු තානාපති කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මේ නිසා තත්වය තවත් බැරෑරුම් වුනා.  අවසානයේදී කියුබානු පාලකයන් තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් ඉවත් කර ගත්තා. 

ප්‍රශ්න ගොඩකට මැදිවුණු කියුබානු නිලධාරීන් ප්‍රකාශ කලේ මේ පුද්ගලයින්ට කිසියම්  රටක් නීත්‍යානුකුලව වීසා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඔවුන්ට රටින් පිටවී යාමට අවසර දීම පුළුවන් බවයි.  කියුබානු රජයේ මේ ප්‍රකාශයත් සමගම අති විශාල ජනතාවක් තානාපති කාර්යාල භූමියට පැමිණෙන්නට වුනා. අප්‍රේල් 6 වැනිදා වන විට 10,000කට අධික පිරිසක් මෙසේ පැමිණුනා. 

"කෑම, වතුර නොවෙයි අපිට ඕන. මේ රටින් පිටවෙන්නයි ඕන."  මේ තමයි ඔවුන්ගේ එකම ඉල්ලීම. 

මේ පුද්ගලයින් දින ගණනාවක් මෙසේ කෑම බීම නොමැතිව තානාපති කාර්යාල භුමියේ උද්ඝෝෂණ කරන්නට වුනා. මේ වන විට පේරු රාජ්‍යය 850 දෙනෙකුට දේශපාලන රැකවරණ ලැබ දෙන්නට පොරොන්දු වී සිටියා.

මේ කියුබාව සෝවියට් දේශයේ ආධාර උපකාර මත සහ තම රටේ උපරිම ආර්ථික වර්ධනයක් ලබා ගනිමින් සිටි කාලයක්. ඇමෙරිකාවට පක්ෂව කිසිම දෙයක් කියුබාව තුල කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. කොණ්ඩය වැවීමේ සිට ඇමෙරිකානු සංගීතය රස විඳීම පවා සිහිනයක්ව පැවති කාලයක් තුල තානාපති කාර්යාලයකට කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට ඉදිරිපත් වීම පුදුම සහගත දෙයක් ලෙස තමයි සමහර පුවත් පත් මේ සිද්ධිය හැඳින්වුයේ. 

අවසානයේදී ෆිදෙල් කස්ත්‍රෝ ට සිදුවුනා හවානා නගරයේ සිට කි.මී. 45ක් දුරින් පිහිටා ඇති මාරිඑල් වරාය රටින් පිටවීමට ඉල්ලා සිටින පිරිසට පිටවීම සඳහා පිටස්තර ලෝකයට විවෘත කරන්නට. මේ අනුව මාස 5ක කාලයක් තුල 120,000කට අධික කියුබානුවන් පිරිසක් මේ වරායෙන් පිටවී ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණුනා. 

​ඒ අතර කියුබානු රජයද කියුබාවෙන් පලා යාමට උත්සාහ දරන පුද්ගලයන්ට විරුද්ධව විශේෂ වැඩ පිළිවෙලවල් දියත් කරන්නට වුනා. එවැනි පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට ලබා දී තිබුණු සලාක කුපන් රජය තහනම් කල අතර ඔවුන්ගේ දරුවන් පාසල් වලින් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් කල අතර අවසාන වශයෙන් එවැනි පවුල් රාජ්‍ය ද්‍රෝහීන් වශයෙන් නම් කරන්නට වුනා. මේ උසි ගැන්වීම් නිසා එවැනි පවුල් වාසය කරන නිවෙස් වලට කුණු බිත්තර ප්‍රහාර පවා එල්ල වුනා. 

​නමුත් පසුව සඳහන් වුයේ මේ සරණාගතයින් සමග කියුබාව ඔවුන්ගේ දරුණු අපරාධකරුවන් සහ ආබාධිතයින් අංග විකල පුද්ගලයින්ද රටින් පිට කල බවයි. 

මරිඑල් නගරයේ අද මේ සිද්ධිය ගැන කිසිම සඳහනක් නැහැ. කියුබානුවන් මේ සිද්ධිය ගැන කතා කරන්නට අකමැතියි. මරිඑල් නගරය අද විශේෂ වෙළඳ වරායක් හැටියට ලොව පුරා ප්‍රසිද්ධ කරන්න කියුබානු රජය උත්සාහ දරනවා. 

Art Store_edited_edited.jpg

පාරාදීසිය සහ අපාය 

Isla de la Juventud නැතිනම් තාරුණ්‍යයේ දුපත නමින් හඳුන්වන කුඩා දුපතක් කියුබාවේ සිට කි.මී. 50ක් දුරින් පිහිටා තිබෙනවා.  1923-1928 වසර වල කියුබාව පාලනය කල ජෙරාඩෝ මචාඩෝ නමැති පාලකයා ගේ මුලිකත්වයෙන් ඉදි කල ප්‍රේසිඩියෝ මොඩෙලෝ  Presidio Modelo  නමැති භයානක සිර මැදිරි සංකීර්ණය පිහිටා තිබෙන්නේ මේ දුපතේ අගනුවර වන නුඑවෝ ගෙරෝනා නගරයට ආසන්නව.

​කියුබානු විප්ලවයට පෙර සැන්ටියාගේ නගරයේ මොන්කාඩා බැරැක්ක වලට අසාර්ථක ප්‍රහාරයක් එල්ල කර අත් අඩංගුවට පත් වුනු කැස්ත්‍රෝ සහෝදරයන් එවකට කියුබාව පාලනය කල බැටිස්ටා විසින් සිරකොට තැබුවේ මේ සිර කඳවුරු සංකීර්ණයේ. ඒ 1953-1955 වසර වල. ​​

​මේ දුපතට යන්නට කියුබානු රජයේ අවසරයක් ලබා ගන්නට සිදුවෙනවා. අවසරය කෙසේ වෙතත් යාමට ගුවන් ටිකට් පතක් ලබා ගැනීමට නම් සෑහෙන්න කරදර වෙන්න සිදුවුනා. මේ දුපතට යාමට සතියේ දින කිහිපයක් පමණක් එක ගුවන් වාරයක් තිබෙනවා. මගීන් 30 දෙනෙකුට පමණ යා හැකි පැරණි ATR-42 ගුවන් යානා හෝ සෝවියට් දේශයේ නිෂ්පාදිත AN-24 ගුවන් යානා තමයි මේ දුපතට පියාසර කරන්නේ. ගුවන් කාලය විනාඩි 35ක් පමණ වෙනවා. 

සතියේ දිනවල උදෑසන 6ට තමයි ගුවන් ගමන් තිබෙන්නේ. ඒ නිසා මට සිදු වුනා උදෑසන 3 ට පමණ හවානා  නගරයේ  අභන්තර ගුවන් තොටුපල වෙතට පැමිණෙන්නට. 

මේ දුපතට යාමේදී කියුබානු ජාතිකයින් මෙන්ම විදේශිකයින්ද කියුබානු රජයේ දැඩි පරීක්ෂාවට ලක් වෙනවා. 

​මගේ ගුවන් බලපත්‍රය අතට ගත් කියුබානු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙන්නට මට සිදුවුනා. 

ජාත්‍යන්තර සම්බාධක නිසා කියුබානු රජයේ ගුවන් යානා හා ඒ සම්බන්ධ ආයතන සහ සේවා පවතින්නේ ඉතාමත් දුර්වල තත්වයක.  ඒ ගුවන් තොටුපලේ පරිගණක භාවිතයක් දක්නට නැහැ. සියලුම කවුන්ටර් වල දක්නට ඇත්තේ ඉතා පැරණි උපකරණ. ගුවන් යානා වලට පිවිසීමට දෙන අවසර පත්‍ර පවා පරිගණක භාවිතයෙන් තොරව ඒ ඒ අවස්තාවේදී පෑනෙන් සටහන් කර මගියාට ලබා දෙනවා. 

සෑම ගුවන් මගියෙකුටම කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත් පත වන ග්‍රාන්මා පුවත් පතේ පිටපතක් ලැබෙනවා. විනාඩි 35ක ගුවන් ගමනකින් පසු තාරුණ්‍යයේ දිවයිනේ අගනුවර වන නුඑවෝ ගෙරෝනා කුඩා ගුවන් තොටුපල වෙතට මා පැමිණුනු ගුවන් යානය පැමිණුනා. 

මා විදේශිකයෙකු ලෙස හඳුනා ගත් පොලිස් නිලධාරීන් නැවත වරක් මගෙන් ප්‍රශ්න කරන්නට වුනා. 

"ඔබ දවස් කීපයක් මේ දුපතේ ගත කරනවාද?"

"නවාතැන් ගන්නේ කොහෙද?"

"මේ දුපතට පැමිණෙන්නට හේතුව කුමක්ද?"

​මෙවැනි ප්‍රශ්න රාශියකට පිළිතුරු දීමෙන් පසු මගේ ගුවන් බලපත්‍ර මට ආපසු ලබා දුන්නා. මෙහිදී තවත් විශේෂයක් වන්නේ මේ දුපතට පැමිණෙන සියලුම මගීන්ගේ සිරුරේ උෂ්ණත්වය කියුබානු සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමයි. යම් විදිහකින් ඔබේ ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගන්නේ නම් ඔබට මේ දුපතට ඇතුල් වීමට අවසරය ලැබෙන්නේ නැහැ. 

ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි මට ලියෝන්ව හමු වුනා. ලියොන් සමග සම්බන්ධතාවයක් මා ඇති කර ගත්තේ අන්තර් ජාලය හරහා. ලියොන් මේ දුපතේ වාසය කරන සංචාරක මඟ පෙන්වන්නෙක්.

ලියොන් කස්ත්‍රෝ විරෝධීයෙක්. ඔහුගේ පියා කස්ත්රොට එරෙහිව ක්‍රියා කිරීම නිසා මේ දුපතේ සිරභාරයට ලක්වී පසුව මරණය පත්වී තිබෙනවා. 

කියුබානු විප්ලවයටේ පෙර බැටිස්ටා පාලනය මේ සිර කඳවුරු සංකීර්ණය පාවිච්චි කලේ ඔහුගේ විරුධවාදී දේශපාලන සිරකරුවන් ඝාතනය කරන්නට සහ සිර කර තබන්නට. එහි එක ප්‍රතිපලයක් ලෙස තමයි කැස්ත්‍රෝ සහෝදරයන් සිරගත වුනේ. නමුත් කියුබානු විප්ලවයෙන් පසු ෆිදෙල් කැස්ත්‍රෝ ද බැටිස්ටාගේ ක්‍රමය ක්‍රියාත්මක කරමින් ඒ ආකාරයෙන්ම මේ සිර කඳවුරු සංකීර්ණය පවතවා ගෙන ගොස් තිබෙනවා. 

1961 වසර වන විට සිරකරුවන් 4000ක් පමණ මේ සිර කඳවුරු සංකීර්ණයේ සිර බත් කමින් සිටියා. නමුත් 1967 වසරේ නැගී ආ ජනතා විරෝධය නිසා මේ කඳවුරු සංකීර්ණය වසා දමන්නට සිදුවුනා. 

 

ලියෝන්ද රජයේ මුදල් අව භාවිතාව යන චෝදනාවට ලියෝන්ද සිරගතවී තවමත් සෑම සුමානයකට වරක් කියුබානු පොලීසියේ පෙනී සිටීමට සිදුවී තිබෙනවා. ලියොන් පවසන්නේ ඒ සියලුම චෝදනාවන් අසත්‍ය බවත් තමාගේ පියා කැස්ත්‍රෝ විරෝධියෙක් නිසා තමන්ට කියුබානු රජය ඒ ආකාරයෙන් සලකන බවයි. 

ලියොන් දක්ෂ ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවනවා. ඒ වගේම කියුබානු ඉතිහාසය සහ මේ දුපතේ ඉතිහාසය ගැන මනා අවබෝධයක්ද ඔහුට තිබෙනවා. මේ නිසාම තමයි මට අවශ්‍ය වුනේ ලියොන් ගේ සේවය ලබා ගන්න. නමුත් ලියෝන්ගේ සේවය ලබා ගැනීමේදී විශේෂයෙන්ම කියුබානු පොලීසියෙන් ආරක්ෂා වීමටද මට සිදුවුනා. 

 

ලියොන් සතුව තිබෙන්නේ ඉතා පැරණි සෝවියට් දේශයේ නිෂ්පාදිත ලාඩා වර්ගයේ වාහනයක්. ගුවන් තොටුපලේ සිට කි.මී. 2ක් වත් අපට යන්නට ලැබුනේ නැහැ. පිටුපසින් පැමිණි කියුබානු පොලිස් රථයක් අප වාහනය පසු කර අපේ මාර්ගය අසුරා නැවැත්වුවා.  එයින් පිටතට පැමිණුනු පොලිස් නිලධාරීන් ලියෝන්ගේ වාහන බලපත්‍ර සහ දෙවනුව මගෙන් ප්‍රශ්න කරන්නට වුනා. ලියොන් හරහා පරිවර්තනයෙන් මට ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට සිදුවුනා. ගුවන් තොටුපලේදී දෙවරක් ඇසු සෑම ප්‍රශ්නයක්ම නැවත වතාවක් මේ පොලිස් නිලධාරීන් විසින් මගෙන් අසනු ලැබුවා. 

දුපතේ ගුවන් තොටුපලේ සිට කි.මී කිහිපයක් දුරින් තමයි මේ සිර කඳවුරු සංකීර්ණය පිහිටා තිබෙන්නේ. 

සිරකරුවන්ට ආහාර ලබා දුන් ස්ථානය. සෑම සිරකරුවෙක්ම යකඩ කණුවකට බැඳ තබා තමයි ආහාර පාන ලබා දී තිබුනේ. 

මෙවැනි සිර කඳවුරු 4ක් මේ ස්ථානයේ දක්නට ලැබෙනවා. එක කඳවුරක සිර මැදිරි 400ක් දක්නට ලැබෙනවා.  මේ සිරකරුවන් 400 දෙනා  පාලනය කිරීම සඳහා ගොඩනැගිල්ල මධ්‍යයේ ආරක්ෂක කණුවක් පිහිටා තිබෙනවා. ඒ මත සිටින ආරක්ෂකයින්ට සිර මැදිරි 400ම එක වර දැක ගන්නට පුළුවන්.

ජයාරුපය - messynessychic.com

​ෆිදෙල් සහ රාවුල් කස්ත්‍රෝ ඇතුළු ගරිල්ලා භටයන් 20 දෙනෙක් පමණ මේ ස්ථානයේ රඳවා තබා තිබුනා.  නමුත් මේ පිරිස රඳා තිබුනේ ඉහත ජායාරුප වල ඇති සාමාන්‍ය කඳවුරු වල නොවේ. ඔවුන් වෙනුවෙන් වෙනම බැරැක්ක වෙන කර තිබුනා. මේ තිබෙන්නේ 1953 වසරේ ෆිදෙල් කස්ත්‍රෝ සිර කොට තැබූ ස්ථානය. මාස 19ක් මෙසේ ඔවුන් රඳවා ගෙන තැබුවා. 

​ෆිදෙල් සහ රාවුල් කස්ත්‍රෝ ඇතුළු ගරිල්ලා භටයන් 20 දෙනෙක් පමණ මේ ස්ථානයේ රඳවා තබා තිබුනා.  නමුත් මේ පිරිස රඳා තිබුනේ ඉහත ජායාරුප වල ඇති සාමාන්‍ය කඳවුරු වල නොවේ. ඔවුන් වෙනුවෙන් වෙනම බැරැක්ක වෙන කර තිබුනා. මේ තිබෙන්නේ 1953 වසරේ ෆිදෙල් කස්ත්‍රෝ සිර කොට තැබූ ස්ථානය. මාස 19ක් මෙසේ ඔවුන් රඳවා ගෙන තැබුවා. 

"කස්ත්‍රෝ ට අවශ්‍ය වුනේ මේ දිවයින සහ වරාය නිදහස් වරායක් හැටියට සංවර්ධනය කරන්න. අනික්ඒ කරුණ වුනේ මේ දිවයින පිහිටා ඇති ස්ථානයේ භූගෝලීය වැදගත්කම. ඒ නිසා ඔහුට අවශ්‍ය වුනා සියලුම පහසුකම් මේ දිවයිනට ලබා දෙන්න." මෙසේ පවසන්නේ ලියොන්.

​"ඒ කාලයේ අපිට දිනකට කිහිප වතාවක් හවානා නගරයට ගුවන් යානා තිබුනා. ඒ වගේම සෝවියට් දේශය විසින් බෝට්ටු සේවාවක්ද ආරම්භ කර තිබුනා."

1970 වසර වන විට ෆිදෙල්ට අවශ්‍ය වුනා විදේශීය සිසුන් වෙනුවෙන් මේ දිවයින විවෘත කරන්න. එයට හේතුව ඒ කාලයේදී කියුබානු හමුදාවන් විශේෂයෙන් අප්‍රිකානු රටවල නිදහස් අරගල වෙනුවෙන් කටයුතු කල නිසාත් ඒ ඒ රටවල දිළිඳු සිසු සිසුවියන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපන පහසුකම් සපයන්න කියුබාව තීරණය කළා. 

"ඒ අනුව කියුබානු රජය මේ දිවයිනේ විදේශීය සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර පහසුකම් ඇතුළුව පාසල් 61ක් ඉදි කරනු ලැබුවා."

​"මාවත් කියුබාවට ගෙනවිත් තිබෙන්නේ මගේ වයස 6 දී නැමීබියාවේ සිට. මේ සෑම පාසලකටම අංකයක් ලබා දී තිබුනා. ඉතියෝපියාව-අංක 47, නැමීබියාව - අංක 15........"

තාරුණ්‍යයේ දුපතේ පාසල් අංක 15 වෙතට ලියොන් සමග මා පිවිසුනා.  1991 වසරේ සිට මේ සියලුම ක්‍රියාවන් අතර මග නතර කර දමන්නට කියුබානු රජයට සිදුවුනා. හේතුව අවශ්‍ය මුදල් සොයා ගැනීමට තිබෙන අපහසුතාවය නිසා. සෝවියට් දේශයේ බිඳ වැටීම මේ සියල්ල එමෙන්ම කියුබානු ආර්ථිකය උඩු යටිකුරු කළා. 

අද මේ ගොඩනැගිලි බොහොමයක් කියුබානු ජනතාවට නිවාස හැටියට රජය පවරා දී තිබෙනවා. 1970 වසරේ ඉදි කලාට පසුව අද වෙනතෙම් කිසිම අලුත්වැඩියාවක් කර නැහැ. බොහෝ ගොඩනැගිලි පවතින්නේ අන්ත අසරණ තත්වයේ. 

ෆිදෙල් කස්ත්‍රෝ මිය යාමට පෙර එක වතාවක් පමණක් මේ දුපත නැරඹීමට පැමිණ තිබෙනවා. 

ඒ වගේම රාවුල් කැස්ත්‍රෝ ත් එක වතාවක් මේ ස්ථානයට පැමිණ තිබෙනවා. 

තාරුණයේ දුපත ඇත්තටම අද වයසට ගිහින්. තාරුණ්‍යයේ නටබුන් පමණයි ඉතිරිව තිබෙන්නේ. සිර මැදිරි සංකීර්ණය අද අත් හැර දැමු ගොඩනැගිලි සංකීර්ණයක්. කියුබාව දරුණු ආර්ථික අහේනියකින් පෙලෙන බව මේ තාරුණ්‍යයේ දුපතේදී මැනවින් ප්‍රදර්ශනය වෙනවා. 

 

කැස්ත්‍රෝ සහෝදරවරුන් සිරකර තැබූ බැරැක්ක පමණක් කෞතුකාගාරයක් ලෙස සංචාරකයින්ට පෙන්වනවා. 

හවානා නගර මධ්‍යයේ තමයි හිල්ටන් හෝටලය තිබෙන්නේ. 1958 වසරේ මාර්තු මාසයේ මේ හෝටලය විවෘත කෙරුනේ. නමුත් ඊට මාස කිහිපයකට පසු කියුබානු විප්ලවය ජයග්‍රහණය කල ෆිදෙල් කැස්ත්‍රෝ මුලින්ම පැමිණියේ මේ හෝටලයට. ඒ 1959 ජනවාරි මස 8 වැනිදා. මේ හෝටලයේ 23 වන තට්ටුවේ 2324 කාමරයේ ඔහු තම ප්‍රථම කාර්යාලය පිහිටුවා ගත්තා. 

මේ එදා 1959 ජනවාරි මාසයේදී විප්ලවවාදීන් හවානා හිල්ටන් හෝටලයේ රැස්වුණු අයුරු. මේ ජායාරුපය තවමත් හෝටලයේ ප්‍රදර්ශනය වෙනවා. 

මේ වර්තමානයේ ඉහත ජායාරුපයේ ස්ථානය දිස්වෙන අන්දම. 

මාධ්‍ය පවසන්නේ සී.අයි.ඒ. සංවිධානය විසින් 600 වතාවකටත් වඩා ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට උත්සාහ දරු බවයි. මේ ස්ථානයේදී තමයි සී.අයි.ඒ. සංවිධානයේ තම ප්‍රථම ඝාතන සැලැස්ම ක්‍රියාවට නැගුනේ. ඒ ජර්මනියේ ඉපදුනු ඇමෙරිකානු ජාතික කාන්තාවක් වූ මර්ටිනා ලොරෙන්ස් යොදා ගනිමින්. ෆිදෙල් කැස්ත්‍රෝගේ පෙම්වතිය යැයි සැලකු මේ කාන්තාව හ සමග කියුබානු විප්ලවයෙන් පසු මේ හිල්ටන් හවානා හෝටලයේ නතර වී තිබුනා. 

කැස්ත්‍රෝ සමග සාකච්ජාවකදී ඔහුගේ කොපි කෝප්පයට වස දමන්නට තමයි ඇය සැලසුම් කර තිබුනේ. නමුත් ෆිදෙල් කස්ත්‍රෝ ගේ පෞරුෂත්වය හමුවේ ඇයට එම කාර්යය ඉටු කර ගැනීමට නොහැකි වූ බව ඇය පසුව පවසා තිබෙනවා. මේ ජායාරුපයෙන් පෙනෙන ස්ථානයේදී තමයි ඒ සාකච්ජාව පැවැත්වුනේ. 

කියුබානු විප්ලවයේ ආරම්භය. A place for history: La Granjita Siboney. 1953 වසරේ ජුලි මස 26 වැනිදා උදෑසන 5.15ට වාහන 26කින් ෆිදෙල් කස්ත්‍රෝ ඇතුළු ආයුධ සන්නද්ධ විප්ලවවාදීන් පිරිස සැන්ටියාගෝ නගරයේ මොනකාඩෝ බැරැක්ක වලට ප්‍රහාර එල්ල කිරීම හා පිටත්ව ගියේ මේ ස්ථානයෙන්.  අද  නිවස කුඩා කෞතුකාගාරයක් වෙනවා. 

බැටිස්ටා පාලනයේ මොනකාඩා හමුදා බැරැක්ක සැන්ටියාගෝ නගරයේ අද දිස්වෙන ආකාරය. ගොඩනැගිල්ලේ බිත්ති වල දක්නට ලැබෙන්නේ ෆිදෙල් කැස්ත්‍රෝ  ඇතුළු ගරිල්ලා භට පිරිස එල්ල කල වෙඩි පහරවල් වලින් සිදුරු වුනු බිත්ති.  ඒවා අදත් ඒ ආකාරයෙන් දැක බලා ගන්නට පුළුවන්. 

සැන්ටා ක්ලාරා නගරයේ පිහිටා ඇති චේ ගුවේරා සමාධිය 

Photo-www.theverge.com

කියුබාවේ අන්තර් ජාලය ගැන කතා කල යුතුමයි. ජනතාව උදෙසා ප්‍රථම වරට මහජන wi-fi පද්ධතියක් ඇරඹුණේ 2015 වසරේ. අද වන තෙක්ම කියුබාවේ mobile internet නැහැ. මුළු කියුබාවේම 2018 වන විට wi-fi spots 100ට අධික ප්‍රමාණයක් දැන් ආරම්භ වී තිබෙනවා. ඒවා  බොහොමයක් තිබෙන්නේ විශාල හොටල් සහ ආයතන වල. ඒ නිසා ඔබට දැක ගන්නට පුළුවන් ඒ ස්ථාන වල විශාල පිරිස් රැඳේමින් අන්තර් ජාලය භාවිතා කරන ආකාරය. 

එක් පැයක් අන්තර් ජාලය භාවිතා කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 1.5 සිට 2.5 දක්වා මුදලක් ගෙවන්නට සිදුවෙනවා. මේ වෙනුවෙන් විශේෂ කාඩ් පතක් මිලදී ගන්නට සිදු වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් 15-20ක් වන කියුබාවේ පැයක් අන්තර් ජාලය භාවිතා කිරීම සඳහා මෙවැනි මුදලක් ගෙවීම වැඩි පිරිසකට දරා ගන්නට අපහසුයි.

එමෙන්ම මෙවැනි කාඩ් පත් මිලදී ගැනීමට ලේසි පහසු නැහැ. මට පළමුවන කාඩ් පත පාවිච්චි කරන්නට ලැබුනේ කියුබාවේ සිටි 3 වන දවසේ. ඒ කාඩ් පතක් මිලදී ගැනීම සඳහා අධික වෙලාවක් පෝලිමේ සිටීමට සිදුවුනා. ඒ වගේම wi-fi ඇති ස්ථාන වල පුද්ගලයින් විසින් වැඩි මුදලකට මේ කාඩ් පත් විකුණන නිසා අවසානයේ මට සිදුවුනා ඔවුන්ගෙන් වැඩි මුදලකට කාඩ් පත් මිලදී ගන්නට. 

මා කියුබාවට පැමිණීමට පෙර මගේ මිත්‍ර ජෝර්ජ් සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඔහුගෙන් පිළිතුරු ලැබුනේ සුමානයකට වරක්. සත්‍ය වශයෙන්ම එයට ශේතුව මට අවබෝධ වුනේ කියුබාවේ අන්තර් ජාල පහසුකම් තිබෙන ආකාරය දුටු විට.

 

හැබැයි කියුබානුවන් මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් තමන්ගේම ක්‍රමයක් - රහසිගතව පාවිච්චි කරනවා. මෙය ඇත්තටම කියුබාවේ විවෘත රහසක්. මෙය හඳුන්වන්නේ එල් පැකෙටි නමින්.  (El paquete)  කියුබානු රජය සමග කිට්ටු සම්බන්ධතා ඇති පුද්ගලයින් විසින් රජයේ අන්තර්ජාල පහසුකම් භාවිතා  කර ප්‍රසිද්ධ සිනමා පට, ටෙලි නාට්‍ය, අධ්‍යාපන සටහන් සහ ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර පසුව ඒවා සංයුක්ත තැටි වලට කොපි කර විකිණීම තමයි එල් පැකෙටි නමින් හඳුන්වන්නේ.  මේ ක්‍රමය ඇත්තටම කොතරම් කාර්යක්ෂමද කියනවානම් ඇමෙරිකාවේ නව සිනමා  පටයක්, නව රුපවාහිනී වැඩ සටහනක් හෝ පරිගණක ක්‍රීඩාවක් එළිදැක්වුණු විගසම කියුබාවූ ජනතාවට මේ ක්‍රමය හරහා ඒවා නරඹන්නට ක්‍රීඩාවේ යෙදෙන්නට පුළුවන්. 

 

මෙය ඇත්තටම අන්තර් ජාලා කාඩ් පතක් ලබා ගෙන අපහසුවෙන් බලනවාට වඩා ඩොලර් 2ක් වැනි මුදලකට සිනමා  කිහිපයක් ඇතුලත් සංයුක්ත තැටියක් මිලදී ගන්නට පුළුවන්. 

DSC_0692_edited.jpg

"නමුත් අවුරුදු 50ක් ......

ලොකු කාලයක්. අවුරුදු 50ක් එකම පාලනයක්. එකම පාලකයෙක්. ඔබ කැමතිද ඔබේ රට අවුරුදු 50ක් එක් පාලකයෙක් පාලනය කරනවානම්." 

"මගේ පුතා ගැන මට කනගාටුයි. මෙතරම් කාලයක් දුක් වින්දත් අපිට බැරිවුනා ජීවිතයේ සාමාන්‍ය සුන්දරත්වය විඳින්න.  ඒ සුන්දරත්වය ඔවුන්ට ලබා දෙන්න. අද අපේ පුතාලා විප්ලවය අත් හැර දමලා තියෙන්නේ. ඔවුන්ට ඕන වාහනයක් සහ පිඟන් සෝදන, රෙදි සෝදන මැෂින්. මට ඔවුන්ව තේරුම් ගන්න පුලුවන්." 

"කැස්ත්‍රෝ සටන ජයග්‍රහණය කළා. නමුත් යුද්ධයෙන් ඔහු පැරදුනා." ජෝර්ජ් ගේ මේ වචන මට කිසිම දිනෙක අමතක වෙන එකක් නැහැ. 

 

"වර්තමාන කියුබාවට හොඳ අර්ථකතනයක්. මගේ වයස අවුරුදු 12දී  පටන් ෆිදෙල් වෙනුවෙන් ජය ඝෝෂා නැගුවා. නමුත් අවුරුදු 50ක් ......

ලොකු කාලයක්. අවුරුදු 50ක් එකම පාලනයක්. එකම පාලකයෙක්. ඔබ කැමතිද ඔබේ රට අවුරුදු 50ක් එක් පාලකයෙක් පාලනය කරනවානම්." ජෝර්ජ් හඬ උත්සන්න වුනා. 

"අද අපේ පුතාලා විප්ලවය අත් හැර දමලා තියෙන්නේ. ඔවුන්ට ඕන වාහනයක් සහ පිඟන් සෝදන, රෙදි සෝදන මැෂින්. මට ඔවුන්ව තේරුම් ගන්න පුලුවන්."

මම කියුබාවේ දින 10ක් ගත කළා. හවානා සිට සැන්ටියාගෝ නගරය දක්වා කියුබාව හරහා සංචාරය කරන්නට මට අවස්ථාව  ලැබුනා. 

මගේ දින 10 ඇතුලත මා දුටු දේ අපමණයි. ශ්‍රේෂ්ට විප්ලවවාදී චේ ගුවේරාගේ පුතා ගේ හමුවීම සිට කියුබාවේ වෙසෙන සාමාන්‍ය ජනතාව අතර ගැවසෙමින් ඔවුන්ගේ අදහස් විමසීමට හැකි වුනා. ​

​"අපි 90%කට වඩා ගත කරන්නේ පහල ජීවන තත්වයක්. නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් නිසා තරමක් අපිට සහනයක් තිබෙනවා, නමුත් අපිට මොකටද මේ අධ්‍යාපනය උපාධියක් සමග මට කරන්න තිබෙන රැකියාව ටැක්සි රියදුරුකම නම්. මම උසස් අධ්‍යාපනයකට හිමිකම් කියනවා. හැබැයි මම දැන් ටැක්සි රියදුරෙක්."

1959 විප්ලවය සිදු වන විට මාර්තා ගේ වයස අවුරුදු 12ක්. සැන්ටියාගෝ නගරයේ මා නවාතැන් ගත් නිවසේ හිමිකාරිය ඇයයි. කියුබාවේ අනිකුත් පුර වැසියන් හා සසඳන විට මාර්තා තරමක් වෙනස් ආකාරයක ඉහල තලයේ ජීවන රටාවකට හිමිකම් කියනවා. ඒ විදේශිකයින් වෙනුවෙන් ඇය තම නිවසේ කුලී කාමරයක් පවත්වා ගෙන යන නිසා.  ඇයගේ මාසික විශ්‍රාම වැටුප වන්නේ ඇමෙරිකානු ඩොලර් 15ක්.  ඇයගේ නිවසේ කාමරයේ එක් දිනක කුලිය ඇමෙරිකානු ඩොලර් 20ක්. නමුත් ඒ ඇමෙරිකානු ඩොලර් 20න් 90%ක් පමණ ඇය නැවත වතාවක් ආදායම් බදු ලෙස  සහ අනිකුත්  සේවාවන් සඳහා කියුබානු රජයට ලබා දිය යුතුයි. 

මගේ ජීවිත කාලය තුලදීම මම දැක්කේ මට ඇසුනේ එකම වදන් පෙළක්. රුපවාහිනියේ දකින්නේ එකම රුප පෙළක්. 

මගේ ජීවිත කාලය තුලදීම මම දැක්කේ මට ඇසුනේ මම කියවුයේ එකම වදන් පෙළක්. රුපවාහිනියේ දකින්නේ එකම රුප පෙළක්. මේ පාලනයට වඩා සුදුසු පාලනයක් ගැන අපිට කතා කරන්නට බැහැ. මොකද මගේ ජීවිත කාලය තුල මම දැක්කේ එකම පාලනයක්. 

 

හැබැයි මට සිතෙනවා අපේ නායකයන්ට බැරිවුනා අපේ හදවත් තේරුම් ගන්න. ලෝකය වෙනස් වන විදිහට කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන ඔවුන් අවධානය යොමු කලේ නැහැ. වසර 50ක් තිස්සේ සියලුම ප්‍රශ්න වලට විසඳුම සම්භාධක යයි ඔවුන් කියනවා. වසර 50ක් මේ ප්‍රශ්නය විසඳා ගන්න බැරි නායකයින්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

"අපේ මිනිස්සු රජය විසින්ම අලස රොබෝවරු බවට පත් කරලා තියෙන්නේ. මේකට වග කිව යුත්තේ වසර 50කටත් අධික කාලයක් පාලනය ගෙනියන නායකත්වය."  මෙසේ කියන්නේ මට හමුවූ තවත් පුද්ගලයෙක්. 

​"සෝවියට් දේශයෙන් ලැබුණු ආර්ථික ආධාර, කියුබානු රජයෙන් ලබා දෙන ආහාර කුපන. මේ සියල්ල නිසා අපේ මිනිස්සු අලස වෙලා. " ඔහු තව දුරටත් පවසනවා. ඇත්තටම කියුබාවේ සෑම වීදියක සෑම වෙලාවකම නිවස ඉදිරිපසට වී නිකරුනේ කාලය ගත කරන පිරිස විශාලයි. ඔවුන්ගේ එකම අධිශ්ටානය කෙසේ හෝ එදින රජයෙන් සහන මිලකට හෝ නොමිලේ ලැබෙන ආහාර ප්‍රමාණය රැගෙන එදවස ගත කිරීම. 

මා මේ පවසන්නේ කියුබාවේදී මට ඇසුණු දේ. ඊටත් වඩා මට පෙනුණු දේ. 

​"බොහෝ පුද්ගලයින් පවසන්නේ අපි ජීවත් වන්නේ කොමියුනිස්ට් රාජ්‍යයක උච්චතම ස්ථානයක කියා.  ඒ ඔබ කියුබාට නොපැමිණි නිසා. කියුබාවට පැමිණෙන සංචාරකයින්, රාජ්‍ය නියෝජිතයින් සෑම විටම නවාතැන් ගන්නේ ඔවුන් වෙනුවෙන් සුදානම් කර තිබෙන හෝටල් වල. ඒවා වල අවශ්‍ය සැප පහසුකම් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලුම මස් වර්ග සැපයෙනවා. ඒ ඔවුන් ඒවා වෙනුවෙන් විදේශීය මුදල් ගෙවන නිසා. නමුත් කියුබානු ජනතාව වන අපිට හැමදාම කන්න තිබෙන්නේ බෝංචි සහ බත්." හවානා නගරයේදී මට හමුවුණු පුද්ගලයෙක්. මොහුගේ රැකියාව අත් කරත්තයක් උපයෝගී කර ගනිමින් බිස්කට් විකිණීම. මොහු පවසන පරිදි මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් 10 ඉක්මවන්නේ නැහැ. 

කියුබාවේ බොහෝ භෝජනාගාර සහ කැන්ටීන් වල දක්නට ලැබෙන්නේ සීමිත ආහාර වර්ගයන්.

බොහෝ විට එය බෝංචි සමග බත්. ඔබට වැඩි මිලක් ගෙවිය හැකි නම් කුකුල් මස් සමග.

නැතිනම් බනිස් අතරට දැමු හැම් කැබලි කිහිපයක්.

Photo-TheGuardian.com

1959 කියුබානු විප්ලවයෙන් පසුව ප්‍රථම වරට කියුබානු වැසියන්ට තම දේපල විකුණන්නට එමෙන්ම තවත් දේපලක් මිලදී ගන්නට, ඒ වගේම වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවසර ලැබී තිබෙනවා. හැබැයි මේ අවශ්‍යතා සපුරා ගන්නට ඔවුන්ට සිදුවුනා ෆිදෙල් කස්ත්‍රෝ ගේ මරණය තෙක් බලා සිටින්නට. 

"අපි හිතුවා ඔබාමාගේ පැමිණීමෙන් පසු මේ තත්වය කෙමෙන් කෙමෙන් යථා තත්වයට පැමිණේවි කියා. නමුත් අපේ දැඩි මතධාරීන් වෙනස්වීම් වලට කැමති නැහැ වගෙයි පෙනෙන්නේ." ජෝර්ජ් පවසනවා. 

Photo-TheGuardian.com

2016 ඔබාමාගේ සංචාරයත් සමගම ඇමෙරිකාවේ සිට මිත්‍රත්වය කියුබාව දෙසට ගලා එනු ඇති බොහෝ දෙනා බලාපොරොත්තු වුනා. 

 

"මම පැමිණියේ ශීතල යුද්ධයේ අවසානය භූමදානය කරන්නට. පසුගිය වසර 50 තුල අපි කල දේ අපිටවත් කියුබානුවන්ටත් පලක් වුනේ නැහැ. දැන් වෙනස් වීමට කාලය පැමිණ තිබෙනවා." ඔබාමාගේ මේ ප්‍රකාශ කලේ රාවුල් කැස්ත්‍රෝ මුලසුනේ සිටියදී. 

"දැන් අපිට මාර්ගය විවෘත වෙලා තිබෙන්නේ. නමුත් අපි තවමත් ඒ මාර්ගයේ යාමට පය ඔසවන්නත් බයෙන් සිටින්නේ." මගේ සංචාරක මාර්ගෝපදේශක ජෝර්ජ් තව දුරටත් පවසනවා. 

"අපට අවශ්‍යයි ප්‍රතිසංස්කරණ වැඩ සටහන්.   ඉතිහාසයේ බොහෝ රටවල් ප්‍රතිසංස්කරණ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නට ගොස් රට තවත් ආගාධයන්ට අද දැමු අවස්ථා එමටයි. කියුබානු නායකයන් සමහර විට කල්පනා කරනවා ඇති මේ ප්‍රතිසංස්කරණ යෝජනා වල ඇති බැරෑරුම් කම."

​"කියුබාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙන්නේ මන්දගාමීව. සමහර විට මුළු රටම මන්දගාමීයි. බස් රථය පැමිණෙන තෙක්, තම නිවස අසල ඇති වෙළඳ සැල විවෘත කරන තෙක්, සලාක කුපන් පත් ලැබෙන තෙක්, දිනකට වරක් ලැබෙන පාන් සලාකය ලැබෙන තෙක්......මේ සියල්ල වෙනුවෙන් සැමදා බලා සිටීමට සිදු වෙලා." 

​"කියුබාවට අවශ්‍යයි ලොව අනිකුත් රටවල් සමග විශ්වාෂදායික සම්බන්ධයයන් ගොඩ නඟා ගන්නට. එදා ආධාර සැපයු ඔවුන් වෙනුවෙන් හඬ නැගු සෝවියට් දේශය අද නැහැ. ඒ වෙනුවට බිහිවූ රුසියාව අද කියුබාවෙන් ඉවත් වෙලා. කියුබාවේ මිතුරෙක් වන වෙනිසියුලාව අන්ත දරුණු ආර්ථික ආගාදයකට ඇද වැටිලා." ජෝර්ජ් තව දුරටත් විස්තර කරනවා.  

මේ සියලු ප්‍රශ්න තිබුනත් කියුබානු ජනතාව සුන්දර ජනතාවක්.  එයට හේතුව සියලු ප්‍රශ්න අමතක කොට ජීවිතය රස විඳීමේ හැකියාව තිබෙන නිසා. 

 

"සංගීතය සහ රම් - මේ සියල්ලටම විසඳුම්." මා නැවතී සිටි සෑම නිවසකදීම මට ඇසුණු වදනක්. මට දැනුනු වදනක්.  කියුබානු රම් බෝතලයක මිල සාමාන්‍ය වතුර බෝතලයක මිලට වඩා අඩුයි. 

දින 10ක මාගේ කියුබානු සංචාරය ගෙවී ගියේ නොදැනුවත්වම. කියුබානු ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මා ජෝර්ජ් ගෙන් සමුගත්තා. මා වැළඳ ගත් ජෝර්ජ් පැවසුයේ - "කියන්න ලෝකයට කියන්න ඔබ දුටු දේවල්. මා උදව් කල සංචාරකයින් අතරින් දුෂ්කරම සංචාරකයා ඔබ. හේතුව ඔබට අවශ්‍ය වුනේ සාමාන්‍ය සංචාරකයෙක් ලෙස කියුබාව දෙස බලන්නට නොවේ."

"සමහරුන්ට කැස්ත්‍රෝ ප්‍රබල නායකයෙක් නමුත් සමහරුන්ට දරුණු ඒකාධිපතියෙක්. මේ නිසා කියුබාව කුමන ආකාරයකට වෙනස් වුනත් කුමන මාවතක ගමන් කලත් කැස්ත්‍රෝ නාමය ජනතාවගේ හදවතින් ඉවත් කරන්න අපහසුයි." 

 

ෆිදෙල් කැස්ත්‍රෝ මිය ගොස් දැනට වසර 2ක් ගත වෙනවා. කැස්ත්‍රෝ වෙනුවෙන් කියුබාවේ කිසිම මාවතක්, ගොඩනැගිල්ලක්, සම්මන්ත්‍රණ ශාලාවක් හෝ පිළිරුවක් නැහැ. ඔහුව සිහිවන්නට ඇත්තේ විප්ලවයේ උපත සිදුවූ සැන්ටියාගෝ නගරයේ පිහිටා ඇති සොහොන් කොත පමණයි. 

හවානා නගරයේ සිට බොලීවියාවේ සැන්ටා කෘස් නගරය කරා පියාසර ගුවන් යානයේ ගුවන් සේවිකාවක් ලබා දුන් පුවත් පතක තිබු ලිපියකට මගේ අවධානය යොමු වුනා. 

​​අද චේ ගුවේරා ජීවතුන් අතර නැහැ. ෆිදෙල් කැස්ත්‍රෝ ත් ජීවතුන් අතර නැහැ. දැන් මේ දෙදෙනාටම අවස්ථාවක් ලැබිලා තිබෙනවා කොහේදී හරි නැවත වතාවක් මුණ ගැසෙන්න. මේ දෙදෙනාට කතා බස් කරන්න  විශ්ලේෂණය කරන්නන් කරුණු රාශියක් තිබෙනවා.  චේ ගුවේරා නොමැතිව වසර 50ක් ෆිදෙල්  කැස්ත්‍රෝ පාලනය ගෙන ගියා. ඒ වසර 50 තුල චේ ගුවේරා නොමැතිව ෆිදෙල් කැස්ත්‍රෝ ගත් තීරණ වල නිවැරදි භාවයත් කියවන්න - චේ ගුවේරා ගිය පාරේ )  චේ ගුවේරා ඔහුගෙන් ප්‍රශ්න කරාවි. 

​නමුත් කියුබාව කියන්නේ සත්‍ය වශයෙන්ම තවමත් ෆිදෙල් කැස්ත්‍රෝ නාමය ලෙලදෙන රටක්. ලෝක වාසීන් කියුබාව හඳුනා ගත්තේ ෆිදෙල් කැස්ත්‍රෝ නාමය හරහා. 

අද කියුබාවේ ජීවත් වන ජනතාවගෙන් 70%ක් කියුබානු විප්ලවයෙන් පසුවයි ඉපදී ඇත්තේ. කියුබානු ජනතාව අසීරු දේශපාලන අවස්ථා රාශියකට මුහුණ දී තිබෙනවා. සම්බාධක වලට මුහුණ දෙමින් තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරු 10 දෙනෙක් සමග ගැටෙමින් ෆිදෙල් කැස්ත්‍රෝ තම බලය කියුබානු දිවයින තුල ස්ථාපිත කර ගත්තා. 

 

කියුබානු විප්ලවයෙන් වසර 59කට පසු අද ප්‍රථම වරට නව පරපුරේ නායකයෙක් කියුබානු ජනතාවට ලැබී තිබෙනවා. ඒ නව ජනාධිපති මිගෙල් ඩයස් කානෙල්. ඔහු ඉපදී තිබෙන්නේ කියුබානු විප්ලවයෙන් වසරකට පසුව. ඔහු කැස්ත්‍රෝ පරපුරෙන් බැහැර පුද්ගලයෙක්.

 

ඔහු ඉදිරිපිට ඇත්තේ බැරෑරුම් රාජකාරියක්. රාවුල් කැස්ත්‍රෝ විසින් තරමක් දුරට හෝ  කරන ලද සංශෝධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු කියුබානු සමාජවාදී රාමුව තුල කෙසේ හෝ ඉදිරියට ගෙනයාම ඔහුගේ වගකීමක් වෙනවා. 

 

මේ භාරදුර වගකීමේ  සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කියුබාවේ දෙවන විප්ලවයේ ආරම්භය වන බව නම් කිසිම සැකයක් නැහැ. 

Special Thanks - විශේෂ ස්තුතිය ;

* Jorge Berenguer-Cuba

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 අප්‍රේල් 30-මැයි 12 

info@sanchara.lk

822633_a4dae6fd74a54cb781c119abbcd11f31_
1415926627643_wps_9_TO_GO_WITH_AFP_STORY
DSC_0674_edited_edited.jpg