The Gateway to Hell! අපායේ දොරටුව අභියස

Erta Ale - The Gateway to Hell !

​අපායේ දොරටුව අභියස.. 

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

 Gateway to Hell

Expedition 2016

මම අසාමාන්‍ය සංචාරකයෙක්. මාගේ උත්සාහය සෑම විටම සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව සංචාරය කිරීම.  ඒ සෑම සංචාරයක්ම ලෝකයේ විවිධ සංස්කෘතීන් තුලටද, ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් වල ඇතුලාන්තයද සොයා ගමන් කල නිසා ගවේශනයන් බවට පත් වුනා.

​ලෝකයේ බොහෝ ස්ථාන, රටවල් වල ඔබ නොදකින ඔබට නොපෙනෙන, දුෂ්කර එමෙන්ම බිහිසුණු ස්ථාන වලට ඔබව රැගෙන යාම සහ ඒ දුෂ්කර, අපහසු, බිහිසුණු තත්වයන් යටතේ ඔවුන් ජීවත් වන ආකාරය ඔවුන්ගේම වචන වලින්, අදහස් වලින්  පැහැදිලි කිරීම මේ සංචාරයන්හි අරමුණයි. 

​එන්න මා සමග ලෝකය දකින්නට.

Rokhan Direkz 

2016 January

උතුරු ඉතියෝපියාවේ අෆාර් ප්‍රාන්තය කියන්නේ පුදුම සහගත ස්ථාන කිහිපයක් තිබෙන ප්‍රදේශයක්. එයිනුත් අෆාර් භාෂාවෙන් දුම් දමන කන්ද නැතිනම් අපායේ දොරටුව හෙවත් එර්තාලේ යනුවෙන් හඳුන්වන ලාවා විල පිහිටා තිබෙන්නේ මේ අෆාර් ප්‍රාන්තයේ එරිත්‍රියා දේශයට ආසන්නව. ලෝකයේ දැනට සක්‍රීයව පවතින ලාවා විල් කිහිපයෙන් ප්‍රධානම තැනක් ගන්නේ මේ එර්තාලේ විල. 

මගේ ඉතියෝපියානු සංචාරයේදී  කෙසේ හෝ මේ එර්තාලේ ලාවා විල වෙතට යාමට කටයුතු සුදානම් කර ගත්තා. මේ ලාවා විල වෙත යන්න ලෙහෙසි පහසු නැහැ. එක ඉතාමත් දුෂ්කර ගමනක්. මුලින්ම  ඇඩ්ඩිස්  අබබා නගරයේ සිට කි.මී. 765 දුරින් ඉතියෝපියාවේ උතුරු දෙසට වන්නට පිහිටා ඇති මෙකෙල්ලේ නගරය වෙත ගුවනින් යන්නට සිදු වුනා. මා කලින් ගිවිස ගත් පරිදි මගේ මිත්‍ර එර්මියාස් විසින් මේ ගමන සඳහා අවශ්‍ය ජීප් රථ රැගෙන මෙකෙල්ලේ කුඩා ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා. මෙකෙල්ලේ නගරය තමයි ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයේ අගනුවර. මේ ප්‍රාන්තයේ ටිග්රේ ජාතිකයින් 96%ක් පමණ ජීවත් වෙනවා. ඔවුන්ගේ භාෂාව හඳුන්වන්නේ ටිග්රිනියා නමින්. නමුත් බොහෝ ඉතියෝපියානුවන් කතා කරන ඇම්හාරික් භාෂාව කතා කරන්නේ මේ ප්‍රාන්තයේ 3% ක පමණ ජනතාවක්.

මෙකෙල්ලේ සිට තවත් කි.මී. 114ක් පමණ දුරකින් තිබෙන බෙර්හේල් කුඩා නගරය වෙතට අපි පැමිණුනේ හරියටම දෙසැම්බර් මාසයේ 25 වන දින. 

බෙර්හේල් කුඩාගම්මානය වෙත ගමන් කරත්දී ඉතා ඉක්මනින්ම පරිසරයේ වෙනස්වීම් දැනෙන්නට පටන් ගන්නවා. ඉතියෝපියාවේ මේ දිනවල පවතින දරුණු නියඟය නිසා ගංගාවල් ඇල දොළවල් වේලිලා ගිහින් තිබුනා. 

බෙර්හේල් ගම්මානයෙන් තමයි එර්තාලේ ගිනි කන්ද පිහිටා තිබෙන අෆාර් ප්‍රාන්තය ආරම්භ වෙන්නේ. අෆාර් ප්‍රාන්තයේ 98%ක් පමණ ජීවත් වෙන්නේ මුස්ලිම් ජනතාව.

බෙර්හේල් ගම්මානයේදී මට හමුවූ කුඩා දරුවන් පිරිසක්. එදින රාත්‍රිය අප ගත කලේ බෙර්හේල් ගම්මානයේ.

නත්තල් දින රාත්‍රිය බෙර්හේල් ගම්මානයේ ගත කරන්නට සිදුවුනා. එදා රාත්‍රිය ගත කරන්න පහසු වුනේ නැහැ. මේ ගම්මාන වල හෝටල් හෝ වෙනත් නවාතැන් පහසුකම් ඇත්තේ නැහැ. විදුලි බලය ඇත්තෙත් නැහැ. අපේ නවාතැන් පොලේ විදුලි උත්පාදක යන්ත්‍රයක් තිබුනත් රාත්‍රී අට පමණ වෙනකම් තමයි එක් බල්බයක් පමණක් දැල්වුනේ. මෙවැනි කුඩා ටකරන් වලින් සෑදු කාමරයක තමයි නවාතැන් පහසුකම් ලැබුනේ. පවතින අධික රස්නය නිසා ටකරන් රත්වෙලා. ඒ වගේ හමන වේගවත් සුළග පැමිණෙන්නේ දුවිලිත් සමග.  එක් පැත්තකින් ටකරම් කාමරය ආවරණයක් සුළගින් බේරෙන්නට. නමුත් රස්නය ඉවසන්න බැහැ. 

 

පානීය ජලය අපි රැගෙනවිත් තිබුනා. බෙර්හේල් ගම්මානය පිහිටා තිබෙන්නේ කරුම් නමින් හැඳින්වෙන ලුණු ලේවා අසල. මේ නිසා පිරිසිදු පානීය ජලය සපයා ගැනීම ලේසි නැහැ. මුළු අෆාර් ප්රාන්තයේම 13%කට පමණ පිරිසකට තමයි සාමාන්‍ය වශයෙන් හෝ පානීය ජලය ලැබී තිබෙන්නේ. 

ලොව ඇති දරුණුතම සහ දුෂ්කරම පාරිසරික තත්වයක් ඇති එමෙන්ම අධික උෂ්ණත්වයක් පවතින ඩනාකිල් නමින් හඳුන්වන නිම්නය ආරම්භ වන්නේ මෙතැන් සිට.  මේ බෙර්හේල් ගම්මානය ඉතියෝපියාවේ නොයෙකුත් ප්‍රදේශ වල සංචාරය කරන සංචාරකයින් හට නවාතැන් සහ ආහාර සපයන කඳවුරක් හැටියටද සැලකෙනවා. 

රටවල් කිහිපයකින් පැමිණ සිටි සංචාරකයින් කිහිපදෙනෙක් සහ අපේ වාහන වල රියදුරන් සහ මඟ පෙන්වන්නන් සමග නත්තල් රාත්‍රිය සැමරීම සිදුවුනා. 

පසුදින උදෑසනම අවු රශ්මිය වැඩි වෙන්නට පෙර ලුණු ලේවා නරඹන්නට ගියත් වැඩි වේලාවක් එහි රැඳෙන්නට කාලය වැය නොකර තවත් ඉදිරියට ගමන් කර එර්තාලේ ගිනි කන්ද පාමුල තිබෙන ඩොඩොම් කඳවුර බලා යන්නට තමයි අපේ වෑයම. මේ ඩොඩොම්  කඳවුර හරහා තමයි එර්තාලේ ගිනි කන්ද වෙත යන මාර්ගය වැටී ඇත්තේ. 

 

ලුණු ලේවා නැරඹීම වෙනුවෙන් ඉතියෝපියානු රජයේ අවසර ලත් පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂාව ලබා ගන්නට සිදුවුනා.  එයට හේතුව සුඩාන සහ එරිත්‍රියා දේශසීමා වලට ආසන්නව මේ ප්‍රදේශය පිහිටා තිබීමත් විදේශිකයින්ට සහ සංචාරකයින්ට ආරක්ෂාව ලබා දීමත් වෙනුවෙන්. 

මෙතැන් සිට තමයි ගමනේ දුෂ්කරම කොටස ආරම්භ වෙන්නේ. දැන් අපේ ජීප් රිය ධාවනය වන්නේ තැනිතලා භූමියක වුනත් ඒ ඝනවූ වියලි ලාවා මතින්. එමෙන්ම රස්නයත් ටිකෙන් ටික වැඩි වෙනවා වාගේ දැනෙනවා. 4x4 ජීප් රියටත් ලාවා ගල් සහ කොටස් මතින් ගමන් කරන්න ලේසි නැහැ. 

 

මේ එර්තාලේ ගිනි කන්ද මීට අවස්ථා කිහිපයකදීම පිපිරීම් වලට ලක්වී තිබෙනවා. ඒ පිපිරීම් වලින් ගලා ගියා ලාවා වලින් කි.මී. 10ක් පමණ ප්‍රදේශයක් වැසී තිබෙනවා.  මේ ප්‍රදේශයේ ගස් වැල් කිසිවක් දකින්නට නැහැ. සමහර තැන්වල වැලිතලාවන් තිබුනත් බොහෝ තැන්වල ඇත්තේ කළු පාටට දිස් වන ඝන වූ ලාවා. 

 

එර්තාලේ ගිනි කන්ද ලොව දැනට සක්‍රීයව පවතින ගිනි කඳු කිහිපය අතරින් එකක්. කොංගෝ දේශයේ විරුන්ගා වනයේ තවත් මෙවැනි ගිනි කන්දක් පිහිටා තිබුනත් එහි පවතින සිවිල් යුද්ධය නිසා සංචාරකයින්ට එහි යාමට ඉතා අපහසුයි. 

 

එර්තාලේ ගිනි කන්ද සොයා ගෙන තිබෙන්නේ 1906 වසරේදී. එමෙන්ම අවසාන වරට 2004 සහ 2005 වසර වලදීත් මේ ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.  ඒ පිපිරීම් වලින් දහස් ගණනක් සතුන් මිය ගොස් විශාල ප්‍රමාණයක ජනතාවක් අවතැන් වී තිබෙනවා. ගිනි කන්ද කොයි මොහොතේ පුපුරා යයිද කියන්නට බැහැ. කිසිම රටක් තම සංචාරකයින්ට මේ ගිනි කන්ද තරණය කරන්නට නිර්දේශ කරන්නේ නැහැ.  ඒ වගේම මේ ගිනි කන්ද පිහිටා තිබෙන්නේ එරිත්‍රියානු දේශ සීමාව අසල.  එරිත්‍රියාව සහ ඉතියෝපියාව අතර පවතින අවිනිශ්චිත සහ යුධමය වාතාවරණය නිසා මේ උණුසුම තවත් වැඩිවී තිබෙනවා.  2012 ජනවාරි මාසයේදී මේ ගිනිකන්ද තරණය කිරීමට උත්සාහ කල සංචාරකයින් ඇතුළු ගවේශකයින් පිරිසක් එරිත්‍රියානු කැරලිකරුවන් විසින් වෙඩි තබා මරා දමා තවත් කිහිප දෙනෙක් ප්රානා ඇපකරුවන් හැටියට තබා ගත්තා. ඔවුන් නිදහස් කර ගන්නට ඉතියෝපියානු රජයට මාස ගණනාවක් ගත වුනා.  මේ සිද්ධියෙන් පසු මේ ගිනි කන්ද තරණය කිරීමට පෙර සංචාරකයින් දෙවරක් සිතා බලනවා.

මේ හේතුව නිසා මගේ ගමනත් තරමක අවිනිශ්චිත තත්වයක තිබුනත් ගිනි කන්ද තරණය කිරීමේ ආශාව අත් හැරීමට සුදානම් වුනේ නැහැ.  ඩොඩොම් කඳවුර වෙත යන ගමනේදී මගේ ඉතියෝපියානු මිත්‍ර එර්මියාස් සමග අෆාර් ප්‍රාන්තයේ එර්තාලේ ප්‍රදේශය භාරව සිටින මිලිටරි ආරක්ෂක නිලධාරීන් හමුවීමට මට අවස්ථාවක් ලැබුනා.  මා සඳහන් කල පරිදි ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර පවතින යුධමය වාතාවරණය නිසාත් මේ ගිනි කන්ද එරිත්රියාවා දේශ සීමාව අසල පිහිටා තිබීම නිසාත් අෆාර් ප්‍රාන්තය විසින් විශේෂ ආරක්ෂක සේවා පිහිටුවා තිබෙනවා. මේ ගිනි කන්ද තරණය කරනවාට ඔවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. කෙසේ හෝ තරණය කරන්නට ඉදිරිපත් වෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තකා සිවිල් සහ මිලිටරි ආරක්ෂක සේවාවන් පවත්වා ගෙන යනවා.  අමතරව ඉතියෝපියානි හමුදා කණ්ඩායම්ද මේ දේශ සීමාව අසල රඳවා තිබෙනවා. මිලිටරි ආරක්ෂක නිලධාරීන් සමග පැයක පමණ සාකච්ජාවකින් සහ ගිවිසුමකින් පසු ගිනි කන්ද තරණය කිරීමට අවසරත් මගේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ සන්නද්ධ සිවිල් ආරක්ෂක නිලධාරියෙක්ද ලබා දුන්නා.  ඉහත ජායාරුපයෙන් දිස්වෙන්නේ මගේ ආරක්ෂාව සඳහා පැමිණි ආරක්ෂක නිලධාරියා. 

ආරක්ෂක නිලධාරයාත් සමග අපි එර්තාලේ ගිනි කන්ද පාමුල පිහිටි ඩොඩොම් කඳවුර වෙත පිටත් වුනා. තවත් කි.මී. 10ක් පමණ ලාවා සහ වැලි තලා අතරින් ධාවනය වුනු ජීප් රිය ඊළඟට පිවිසුනේ ලොව ධාවනය කිරීමට අමාරු දුෂ්කරම මාර්ගයක් හැටියට සැලකෙන ලාවා ගල් වලින් පමණක් සෑදුනු ප්‍රදේශයකට. මෙහි පාරක් ඇත්තේ නැහැ. අත්දැකීම් ඇති රියදුරා තමයි මාර්ගය දන්නේ. 

මේ දුෂ්කර ගමන යාමට මට ජීප් රථ 2ක් අපේ ගමනට එක් කර ගන්නට සිදුවුනා. අධික දුෂ්කර මාර්ග ඔස්සේ ධාවනය වීමත් එමෙන්ම ජනගහනය ශුන්‍ය ප්‍රදේශ හරහා ධාවනය වීමත් නිසා යම් හේතුවකින් එක වාහනයකට අනතුරක් සිදුවුවහොත් එය අලුත්වැඩියා කිරීම සඳහා ගරාජ සහ පුද්ගලයින් නොමැති නිසා තවත් ජීප් රථයක් අතිරේකව එකතු කර ගත්තා. ඒ වගේම මේ මගින් අබලන් වූ වාහනය ඇදගෙන එන්නටත් සහ ආරක්ෂක පොලිස් නිලධාරියා රැගෙන යාමටත්, ආහාර පිළියෙළ කිරීම සඳහා කෝකියෙක්, අමතර පානීය ජලය, ඩීසල්, ඇතුළු ආහාර් ද්‍රව්‍ය ගෙනයාම සඳහාත් භාවිතා කෙරුනා. මේ බොහෝ ප්‍රදේශ වල ජංගම දුරකථන ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා හදිසි අවස්ථාවලදී පාවිච්චි කිරීම සඳහා චන්ද්‍රිකා දුරකතනයක් කුලියට ලබා ගන්නටද මට සිදුවුනා. 

 

ඇත්තටම මේ එර්තාලේ ගිනි කන්ද තරණය කිරීම ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. මගේ රියදුරා පවසන්නේ මෙවැනි ගමන් 4කින් පමණ පසු ජීප් රියේ ටයර් සියල්ලම මාරු කරන්නට සිදුවන බවයි.  

 

වාහනයක වායු සමීකරණ යන්ත්‍රයක ඇති වටිනාමක මට සැබවින්ම අවබෝධ වුයේ මේ එර්තාලේ ගිනි කන්දට යන ගමනේදී. අධික උණුසුම් ඉවසා ගත නොහැකි වූ අවස්ථා වල පමණක් ජීප් රථයේ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කළා. එහෙත් මාර්ගයේ තිබු අතිශය දුෂ්කරතාවය නිසා ගමනේ අවසාන භාගයේදී ජීප් රියේ වායු සමීකරණ යන්ත්‍රය සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත කර දැමීමට සිදුවුනා. 

ජීප් රථ ඉතා සෙමින් තමයි ඉදිරියට ඇදෙන්නේ. සමහර තැන් වලදී කීප වතාවක් උත්සාහ කරලා ඒ වගේම තල්ලු කරලා නැතිනම් අනික් වාහනයත් උදව් කරගෙන තමයි ලාවා අතරින් ඉදිරියට ධාවනය කරන්නට සිදුවුනේ.  ලොව කිසිම රටක මා මෙවැනි දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කරලා නැහැ.  අවසාන කි.මී. 6 ක ප්‍රමාණය ධාවනය කරන්න අපිට පැය 5ක පමණ කාලයක් ගත වුනා.  කෙසේ හෝ සියලු බලාපොරොත්තු සනාත කරමින් රාත්‍රී 7ට පමණ අපි ඩොඩොම් කඳවුර වෙත ලඟා වුනා.  කඳවුර කියා හැඳින්වුවත් එය ඇත්තටම ජීප් රථ වලින් යාමට හැකි අවසාන ස්ථානය. මෙතනින් එහාට ජීප් රථ ධාවනය කරන්න අමාරුයි. එදින රාත්‍රී ආහාරය අපිට මේ ස්ථානයේ පිළියෙළ කර ගැනීම සිදුවුනා.

 

රාත්‍රී ආහාරයෙන් පසු හරියටම රෑ 9.00ට අපි එර්තාලේ ගිනි කන්ද තරඟයේ අවසන් අධියර ආරම්භ කරන්න සුදානම් වුනා. මේ ස්ථානයේ සිට තවත් කි.මී. 8ක් ගිනි කන්ද මුදුන දක්වා නගින්නට ඕන.  එදින රාත්‍රියේ හොඳින් හඳ පායා තිබුණු නිසා තරමක එළියක් තිබුනා. එමෙන්ම කුඩා ආලෝකයක් සහිත හිස් වැසුමක් සහ විදුලි පන්දමක් විශේෂයෙන් මා රැගෙන විත් තිබුනා. 

 

මා ඉදිරියෙන් ආයුධ සන්නද්ධ අෆාර් ආරක්ෂක නිලධාරියා ගමන් කරනවා. මා පිටුපසින් මගේ මඟ පෙන්වන්නා වන මිත්‍ර එර්මියාස් සහ අපේ ආහාර ද්‍රව්‍ය සහ පානීය ජලය පටවා තිබු ඔටුවෙකුත් ගමන් ගන්නවා. ලාවා ගල් කැට අතරින් ගමන් කිරීමත් ලේසි වුනේ නැහැ. සෑම පියවරක්ම කල්පනාකාරීව තැබිය යුතු වුනා. 

 

මේ ගිනි කන්දේ උස මීටර 631ක්. සෑම පැයකටම වරක්ම විනාඩි 10ක පමණ කාලයක විවේකයක් ඇතිව තමයි මේ ගිනි කන්ද තරණය කලේ. අධික රස්නය නිසා ගමනේ වේගය තවත් අඩු වුනා.  අවසාන කි.මී. 3 ඉතා අපහසුවෙන් තමයි නගින්නට සිදු වුනේ.  ඒ සමහර තැන්වල විශාලා ලාවා කැබලි පිරී ඇති නිසා ඒවා අතරින් අවශ්‍ය පාර සොයා ගන්නට තිබු අපහසුවත් නිසා.  ගිනි කන්ද මුදුනට කි.මී. 2ක් පමණ ලඟා වන විට උෂ්ණත්වය දරා ගත නොහැකි තත්වයක තිබුනා.  කි.මී. 5ක් පමණ දුරක් ඈතින් එරිත්‍රියා දේශ සීමාවේ සිට එල්ල වෙන ආලෝක දහරාවන් කිහිපයක්ද අපිට දක්නට ලැබුනා. 

 

විදුලි පන්දම සහ බල්බයක් සහිත හිස් වැස්ම තිබුනත් එයින් ලැබෙන්නේ ඉතා සීමිත ආලෝකයක්. සඳ එලිය උදව් වුනත් සමහර වෙලාවල් වල සඳ වලාකුලුවලට වැසී ගිය අවස්ථාවලදී ඇතිවන ඝන අන්ධකාරයත් නිසා ලාවා මත ලිස්සා නොවැටෙන්නට ප්‍රබල උත්සාහයක් දරන්නට සිදුවුනා. 

 

රාත්‍රී 1 පමණ වන විට අපි ගිනි කන්ද මුදුනට කි.මී. එකක් පමණ ආසන්නයට පැමිණුනා.  ඒ තමයි අපිට ලැබුණු අවසාන විනාඩි 10 විවේකය. 

මේ අවස්ථාවේදී ප්‍රථම වරට අන්ධකාරය හරහා ගිනි කන්ද මුදුනේ ලාවා වලින් විහිදෙන එළියත් ඉහලට ඇදී යන විශාල දුම් කන්දරාවක් අපිට පෙනෙන්නට ලැබුනා. අවසානයේදී දින දෙකක් වෙහෙසී  කි.මී. 750ක් ක් පමණ ගුවන් යානයෙන්, කි.මී. 150ක් ජීප් රථයෙන් සහ තවත් කි.මී. 8ක් පයින් ගමන් කිරීමෙන් ලොව සක්‍රීයව පවතින ලාවා විල් කිහිපයෙන් බිහිසුනුම විල තිබෙන අපායේ දොරටුව නමින් ඉතියෝපියානු ජනතාව හඳුන්වන එර්තාලේ ගිනිකන්ද මුදුනට මම ලඟා වුනා. 

මේ තමයි එර්තාලේ ගිනි කන්ද මුදුනේ මා දුටු ප්‍රථම දර්ශනය. 

 

පෘථිවි අභ්‍යන්තරයේ ඇති ලාවා භූ පැළුම් ඔස්සේ පෘථිවි පෘෂ්ඨය කරා පැමිණ බුබුළු දමමින් පැසවමින් ශබ්ද නගමින් නටන ලාවා විල දුටු අපට ගමනේ මහන්සිය වගේම එහි භයානකත්වය පවා දැනුනේ නැහැ.  

එර්තාලේ ගිනි කන්ද සහ එහි පාමුල විශාල පලිහක් ආකාරයට කිමී. 60ක් පමණ පළලකට දිස් වෙනවා.  මුදුනේ ඇති එක් ආවාටයක නැතිනම් බේසමක හෝ කල්දේරමක ආකාරයෙන් තිබෙන විශාල විලක තමයි මෙසේ බුබුළු දමමින් නටන ලාවා දක්නට ලැබෙන්නේ. මේ ආවාටයේ පරිධිය කි.මී. 1.5 ක් පමණ වෙනවා. එර්තාලේ ගිනි කන්දේ ලාවා විලේ විශේෂත්වය වන්නේ අනිකුත් ලාවා විල මෙන් නොව මෙහිදී ඔබට ලාවා විල අසලටම එනම් මීටර 20ක් පමණ දුරකට ලංවිය හැකි වීමයි. 

මගේ මිත්‍ර එර්මියාස් පවසන්නේ සමහර කාල වලට මේ ලාවා විල ඉතා සෙමින් බුබුළු දමමින් නටන බවත් නමුත් දැනට මාස 2ක පමණ කාලයක් තුල විලේ ක්‍රියාකාරිත්වය සීග්‍රයෙන් වැඩිවී ඇති බවත්ය. පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා පෘථිවි පෘෂ්ඨය මතුපිටට පැමිණ එහි මතුපිට ස්ථරයන් ඝනවීම නිසා මට්ටම් කිහිපයකින් විලේ ඉවුරු කිහිපයක් සෑදී ඇති ආකාරය විලට තවත් දර්ශනීයත්වයක් ගෙන දෙනවා. 

ලාවා විල මුදුනේ සිට කි.මී 1ක් පමණ ඈතින් මඩු කිහිපයක් තනා තිබෙනවා පැමිණෙන පුද්ගලයන් හට රාත්‍රිය ගත කරන්නට.  උදෑසන 3.00 සිට 6.00 දක්වා කාලය අතර තුර සුළු වෙලාවක් විවේක ගැනීමටත් රැගෙන ආ ආහාර පාන භුක්ති විඳීමටත් මේ මඩුවක් තුලදී මටත් මිත්‍ර එර්මියාස් ටත් ආරක්ෂක නිලධාරියාටත් හැකි වුනා. රාත්‍රියේදී නොපෙනුනත් උදෑසන තරමක් එලිය වැටුණු විට මා විවේක ගත් දර කැබලි වලින් සහ ලාවා ගල් වලින් වට කල මඩුවේ ජායාරුපයක් ලබා ගැනීමට මට හැකිවුනා.   

උදෑසන 6.00ට ලාවා විලෙන් ආපසු පිටත් වෙන්නට සිදු වුනා. ඒ හිරු රශ්මිය අධික වෙන්න පළමුව ගමන ආරම්භ කර ඩොඩොම් කඳවුර වෙත යන්න. 

පෙර දින රාත්‍රියේදී හරියට පරිසරය නොදැක්කත් මේ අවස්ථාවේදී අපි පැමිණුනු මාර්ගය ඉදිරියේ දිස්වුනා.  ඝන ලාවා අතරින් අන්ධකාරයේ පැය 4-5ක් තිස්සේ ආ ගමනේ භයානකත්වය ඇත්තටම වැටහුනේ දැන් තමයි.  තවත් කි.මී. 8ක් ආපසු එන්නට ගමන් ආරම්භ කළා.  ආපසු එන ගමනත් ලේසි වුනේ නැහැ.  ඉතාමත් ප්‍රවේශමෙන් අඩි තබන්නට සිදු වුනා. සමහර තැන් වල ලාවා විශාල කැබලි හැටියට තිබුනත් පය තැබූ විගස ඒවා කුඩා කැබලි වලට කැඩී ලාවා අතර පය සිරවෙන අවස්ථාද තිබුනා.  පෙර දින රාත්‍රියේ එවන් දෙයක් සිදු නොවුයේ ඇත්තටම වාසනාවට. 

 

කෙසේ හෝ උදෑසන 9.00 පමණ වන විට ජීප් රථය ඈත නවතා ඇති අයුරු දිස්වෙන්නට පටන් ගත්තා. සිතට අස්වැසිල්ලක් ලැබුනේ ඒ මොහොතේදී.

 

ජීප් රථය වෙත පැමිණුනු විට මගේ රියදුරා ගෙන් ලැබුණු උණුසුම් කිරි කෝප්පයකින් සංග්‍රහ ලැබුනා.  දින කිහිපයක් නිදි නැතිව කි.මී. 16ක් පමණ පයින් ගමන් කර අධික වෙහෙසට පත්වී තුබුණු අවස්ථාවේ ලැබුණු ඒ කිරි කෝප්පය තමයි මා විසින් පානය කල රසම කිරි කෝප්පය. 

 

අධික වෙහෙසට පත්වී සිටියත් ඉතියෝපියානු සංචාරයේ ඊළඟ පියවර වෙනුවෙන් යන්නට ඕන. ඩොඩොම් කඳවුරෙන් මම පිටත් වුනේ ජීවිතයේ ඉතාමත් කලාතුරකින් ලැබුණු ආශ්චර්යමත් අවස්ථාවක් සිතේ සනිටුහන් කරගෙන. පැමිණි මාර්ගයේ ලාවා අතරින් ජීප් රථ තවත් පැය 4-5ක කාලයක් ධාවනය වුනා.  මගේ ඉතියෝපියානු සංචාරයේ තවත් එක් ත්‍රාසජනක අත්දැකීමක් සහිත පරිච්ජේදයක් මෙසේ නිම වුනා. 

 

බොහෝ සංචාරකයින් මේ ගිනි කන්ද තරණය කිරීමට ආසාවක් දැක්වුවත් ආරක්ෂක තත්වයන් මතත් ඒ වගේම ගමනේ තිබෙන දුෂ්කරතාවයත් බිහිසුණු භාවයත් නිසා මේ ගමන යාමට මැලි කමක් දක්වනවා.  මා සඳහන් කල පරිදි ඉතියෝපියා එරිත්‍රියා දේශ සීමාවේ පවතින යුධමය වාතාවරණය නිසා බොහෝ දුරට අනාගතයේදීද මේ එර්ත් තාලේ ගිනි කන්ද තරණය තව දුරටත් බොහෝ සංචාරකයින්ගේ සිහිනයක් වශයෙන් පවතීවි. 

රොහාන් ඩිරෙක්ස් 

Ethiopia Expedition

January 2016 

rohandx@hotmail.com

ඔබතුමා ඉතාමත් උත්සාහවන්ත නිර්භීත කෙනෙක් නැතිනම් මෙවැනි භයානක ගමනක් යන්න බැහැ ගිණි කන්දක් කියන එක කොයි වෙලාවෙ පුපුරනවද දන්නේ නැහැ ඔබ තුමාට තෙරැවන් සරණයි ඒ වගේම කිසිම දවසක දැක ගන්න දැන ගන්න නොලැබෙන මෙම විස්තර සැපයුවාට ඔබට පිං සිදු වේවා - Chandani - 3 years ago

ඉතාමත් දර්ශණීය පුදේශයක්...ඒගෛ්ම මෙවැක් පුදේශ ලෝකයේ තිබෙන බව මා දැන ගත්තේ ඔබගේ සටහනින්. ඔබගේ ඊළග අත් දැකීම පලවන තුරැ මා නොඉවසිල්ලෙන් මග බලා සිටිනවා ඔබර තෙරැවන් සරණයි... - Tharanga - 3 years ago

කියවන්න ආස හිතෙන විදියලෙියපු අපුරු ලිපියක්.ගොඩක් සුතුතියි ඔබට.. - ncdisa - 3 years ago.

අපි ලංකාවට එන සංචාරකයින්ට මග පෙන්වනවා..., ඔබ තුමා වෙන රටකට සංචාර යනවා.... Great.... මමත් කැමතියි ඔය වගේ සංචාර වලට, ඒත් අපේ ලංකාවේ වගකීම වැඩියි..... - Prince Roshan - 3 years ago.

Thank you very much. Your work is highly appreciated.  - Sampath Hettiarachchi - 3 years ago.

Thanks a lot. - Ishara Wimalaweera - 3 years ago.

Wow Superb - Suraj - 3 years ago

DSC_0741.jpg