
Taste the Blood of Hamer Tribe!
රුධිරයෙන් නැහැවෙන ජීවිත..

HAMER TRIBS
Expedition 2016

මම අසාමාන්‍ය සංචාරකයෙක්. මාගේ උත්සාහය සෑම විටම සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව සංචාරය කිරීම. ඒ සෑම සංචාරයක්ම ලෝකයේ විවිධ සංස්කෘතීන් තුලටද, ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් වල ඇතුලාන්තයද සොයා ගමන් කල නිසා ගවේශනයන් බවට පත් වුනා.
ලෝකයේ බොහෝ ස්ථාන, රටවල් වල ඔබ නොදකින ඔබට නොපෙනෙන, දුෂ්කර එමෙන්ම බිහිසුණු ස්ථාන වලට ඔබව රැගෙන යාම සහ ඒ දුෂ්කර, අපහසු, බිහිසුණු තත්වයන් යටතේ ඔවුන් ජීවත් වන ආකාරය ඔවුන්ගේම වචන වලින්, අදහස් වලින් පැහැදිලි කිරීම මේ සංචාරයන්හි අරමුණයි.
එන්න මා සමග ලෝකය දකින්නට.
Rokhan Direkz
2016 January
ඉතියෝපියාවේ අගනුවර වන ඇඩ්ඩිස් අබබා නගරයේ සිට දකුණු පෙදෙසට කි.මී. 450ක පමණ දුරින් තමයි ඔමෝ නිම්නය ආරම්භ වෙන්නේ. ඇඩ්ඩිස් අබබා නගරයෙන් කි.මී. 50ක් පමණ දුර එන විට අවට පරිසරය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. නගර මැද තිබෙන උස කොන්ක්‍රීට් ගොඩනැගිලි සහ ඒ අවට තිබෙන තරමක් උස ගොඩනැගිලි ගෙවල් දොරවල් අඩුවෙලා ගිහින් බොහෝ දුරට දක්නට ලැබෙන්නේ ඉතියෝපියානු සාම්ප්‍රදායික විදිහට ඉදි කෙරුණු නිවාස. තවත් කි.මී 150ක් පමණ එන විට අතරින් පතර තමයි නිවාසයක් දක්නට ලැබෙන්නේ. ඇත්තේ වනාන්තරය. වනාන්තරය හරහා අපේ ජීප් රිය ඉදිරියට ධාවනය වුනා. මගේ ජීප් රිය ධාවනය කරන්නේ යාහි. ඔහු මීට පෙර ඔමෝ නිම්නය වෙත කීප වතාවක් පැමිණිලා තිබෙනවා. ඒ වගේම මා සමග ගමනේ යෙදෙන මගේ සහකරු ඉයෝබි ත් කීප වතාවක්ම මේ ඔමෝ නිම්නයේ සැරිසරලා තිබෙනවා.

ඔමෝ නිම්නයේ ඝන වනාන්තරය තුල ඇති ගම්මාන වල වෙසෙන හාමර් ගෝත්‍රිකයින් හමුවීමට යාම තමයි අපේ මේ ගමනේ අරමුණ. මෙය ඉතා දුෂ්කර ගමනක්. මේ සඳහා 4x4 ජීප් රථයක් එමෙන්ම කුඩාරමක්, මෙට්ටයක්, ගෑස් ලිපක්, ඩීසල් ඇතුළු දේවල් සලසා ගන්නට මට සිදු වුනා. ඇඩ්ඩිස් අබබා නගරයෙන් උදෑසනම පිට වුනත් පළමුවන කි.මී. 450 ක දුර පැමිණෙන්න අපිට පැය 8කට වඩා ගත වුනා. පළමුවන දිනයේ රැය අර්බාමින්ච් නගරයේ ගත කරන්නට අපිට සිදු වුනා. අර්බාමින්ච් නගරය තරමක් දුරට සංවර්ධනය වූ නගරයක්. මේ නගරයේ හෝටල් කිහිපයක් මෙන්ම සංචාරකයින් වෙනුවෙන් වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් දක්නට ලැබෙනවා.

මින් ඉදිරියට ඇත්තේ දකුණු ඉතියෝපියාවේ ඔමෝ නිම්නය. නැතිනම් ඝන වනාන්තරය. දින කිහිපයකට ඕන කරන ජලය සහ ඉන්ධන මේ නගරයෙන් අපි ලබා ගත්තා. පසු දින උදෑසනම අපි අර්බාමින්ච් නගරයෙන් පිට වුනේ අව් රස්නය වැඩි වෙන්නට පෙර පුළුවන් තරම් දුර යන්නට. ඒ වුනත් උදෑසන 7 වෙනකොටත් අධික රස්නයක් පැවතුනේ.

ඉතියෝපියානුවන් ඔමෝ නිම්නය හඳුන්වන්නේ දුෂ්කර පාරාදීසය යනුවෙන්. වර්ෂාව ඇති කාලයට හරිත වර්ණයෙන් බැබලුනත් වියලි කාලයට ගස් කොළන් සියල්ල වියලී යනවා. ඒ වගේම ඇත්තේ දරා ගත නොහැකි උණුසුමක්. උෂ්ණත්වය සෙ.ග්‍රේඩ්. 35-38ක් පමණ වෙනවා. මේ ගෙවෙන්නේ වියලි කාලයයි. යා යුතු පාර දන්නේ සම්බා සහ ඉයෝබි පමණයි. ඔවුන්ටත් ඉවෙන් මෙන් පාර දැනෙනවා වගෙයි පෙනෙන්නේ. බොහෝ ඉතියෝපියානුවන් දුර ගමන් වලදී GPS භාවිතා කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ මෙවැනි පාරවල් එවැනි GPS වල සටහන් වෙලා නැති බවයි. විදුලි බලය, ආරෝග්‍ය ශාලා ඒ වගේම බීමට පිරිසිදු වතුර මේ ඔමෝ නිම්නයේ දකින්නට නැහැ.
වර්ෂාව නැතිව මුළු ඉතියෝපියාවම වේලිලා. මදුරුවන් අධික නිසා මැලේරියා උණෙන් පරිස්සම් විය යුතු බවයි ඉයෝබි පවසන්නේ. ඒ නිසා මේ ගමන යන්නට පෙර ඕන කරන සියලු දේවල් මම සලසා ගත්තා. බොහෝ අප්‍රිකානු රටවල් වලට ඇතුල්වීමේදී ලබා ගත යුතු එන්නත් මම ගිය වර කෙන්යා, රුවන්ඩා සහ උගන්ඩා සංචාර වලට පෙර ලබා ගෙන තිබුනා.

මගේ ජීප් රථය කැලෑවේ ගස් ගල් අතරින් ඉදිරියට යත්දී අමුතුම ලෝකයකට අවතීර්ණ වුනා වගේ දැනෙන්නට පටන් ගත්තා. 4x4 ජීප් රථ වලටම නිමාවූ පාරක් තමයි මේ තිබෙන්නේ. අපේ ඊළඟ නැවතුම් පොළ ටුර්මි නගරය. නමුත් ටුර්මි නගරයට මේ කැලෑව තුලම තවත් කි.මී. 110ක් පමණ ගමන් කරන්නට ඕන.
ටුර්මි නගරය තමයි හාමර් ගෝත්‍රිකයින්ගේ මුල් නගරය. ඔමෝ නිධියේ ඝන වන්නතරයක් තුල සැඟවී ඇති මේ කුඩා ගම්මානයේ ජීවත් වෙන්නේ ගෝත්‍රිකයින් 1000ක් පමණයි.
මේ ගම්මාන වල බොහෝ විට ගෝත්‍රිකයින් වයස අවුරුදු 50කට වඩා ජීවත් වන්නේ නැහැ. එයට හේතුව මෙතරම් දුෂ්කර සහ කටුක දේශගුණික තත්වයක් සහ අවම පහසුකම් යටතේ ජීවත් වීමට ඇති අපහසු තාවය නිසා. ඒ වුනත් හාමර් ජාතිකයන්ට නම් වසර සිය ගණනකට නිජ භුමිය වෙලා තිබෙන්නේ මේ ඔමෝ නිම්නයේ ඝන වනාන්තර.
දැනට කර තිබෙන සංඝණන අනුව හාමර් ගෝත්‍රිකයින් 50,000ක් පමණ මේ නිම්නයේ ජීවත් වෙනවා. ඒ කියන්නේ ඉතියෝපියානු ජනගහනයෙන් 0.1%ක් පමණ. මොවුන්ගෙන් 99.9%ක්ම වාගේ අධ්‍යාපනයක් ලබා නැහැ. කියවන්නට හෝ ලියන්නට ඔවුනට බැහැ. ඔවුන් වෙනුවෙන් පාසල් රජයේ ආයතන පිහිටුවා නැහැ. ඒ කෙසේ වුනත් තමන්ගේ අභිමානය තවමත් රැක ගන්නට හාමර් ජාතිකයින් සමත් වෙලා තිබෙනවා. ඔවුනටම ආවේනික වූ ජීවන රටාවක්, සිරිත් විරිත් සහ වත් පිළිවෙත් අනුගමනය මේ අභිමානය රැක ගැනීමේදී මුලිකත්වය දරනවා.

මේ අභිමානය සොයා යන ගමනේ දැන් පැය 4ක් පමණ ගත වුනත් අපිට කිසිම මිනිස් පුළුටක් දක්නට ලැබුනේ නැහැ. වියලුනු ගංගාවක් මතින් තවත් කි.මී. 10ක් පමණ දුර යනකොට අපිට හම්බ වුනා පළමුවන හාමර් ගෝත්‍රික පිරිස.
ඔවුන් පසුකර ගල්, බොරළු, දුවිලි පිරුණු පාරේ අපහසුවෙන් ඉදිරියට ධාවනය වුනු අපිට සවස 4.00 පමණ වන විට ටුර්මි ගම්මානයට ආසන්නයට එනම් කි.මී. 40ක් පමණ දුරකින් පිහිටි තැනිතලාවක් වෙත පැමිණීමට හැකි වුනා. මේ පැමිණියේ හාමර් ගෝත්‍රිකයින්ගේ ගවයන් පැනීම යනුවෙන් හඳුන්වන පාරම්පරික සිරිත් විරිත් ඇතුලත් උත්සවයකට සහභාගී වන්නට.
හාමර් ගෝත්‍රිකයින්ගේ ජීවිතය හා වැඩි වශයෙන් සම්බන්ධ ගවයන්. ගව පාලනය මත යැපෙන ගෝත්‍රයක් කිව්වොත් ඇත්තෙන්ම නිවැරදියි. ගවයන් පැනීමට අමතරව ගවයන් වැටලීම යනුවෙන් හැඳින්වෙන සම්ප්‍රදායද ඉතියෝපියාවේ හාමර් ගෝත්‍රිකයින් අතර මෙන්ම ඔවුන්ගේ විරුද්ධවාදීන් හැටියට සැලකෙන බුමේ සහ ග්ලේබ් ගෝත්‍රිකයින් අතරද ඉතා ප්‍රසිද්ධයි. මෙය ඇත්තටම ඔවුන්ගේ ජීවන රටාවේ එක් කොටසක්.
හාමර් ගෝත්‍රිකයෙකුගේ වත්කම සඳහන් වෙන්නේ කොපමණ ගවයන් ප්‍රමාණයක් ඔහු සතුව ඇත්ද යන්න මත. සමහර විට තරුණ හාමර් ගෝත්‍රිකයින් වසර ගණනාවක් තම දේශ සීමාවේ කෙළවරවල් වලට වී ගව දඩයමේ යෙදෙනවා. ඒ ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ ගවයන් සොරකම් කර ගැනීම හෝ ඒ ගවයන් තම දියණියගේ දෑවැද්ද වෙනුවෙන් ලබා දීම. එහෙමත් නැතිනම් නැවුම් ගව මස් ලබා ගැනීම වෙනුවෙන් තමයි මේ විදිහට දඩයම් වල යෙදෙන්නේ.
ගව වැටලීමකදී විරුද්ධ ගෝත්‍රයක කෙනෙක් ඝාතනය කිරීමෙන් හාමර් ගෝත්‍රිකයෙකුට තම ගෝත්‍රය තුල ඉහල පිළිගැනීමක් ලැබෙනවා. තවත් ගෝත්‍රිකයෙකු මරා දමා නොමැති නම් ඔහු විවාහ වීමට නුසුදුසු යයි යන මතයක් තවමත් ඔවුන් තුල පවතිනවා. දැන් කාලයේ මිනිසෙකු වෙනුවට අලියෙක්, සිංහයෙක් හෝ මැරීමට හැකියාවක් තිබුනත් වෙනත් ගෝත්‍රිකයෙකු මැරීම ඉතා පහසු බවයි ඔවුන් පවසන්නේ. මේ හේතුව නිසාම ඉතියෝපියානු රජයට මේ විවිධ ගෝත්‍රිකයින් එකිනෙකාගෙන් ඈත් කර තැබීමට කටයුතු කර තිබෙනවා.

ඝන කැලෑව මැද තිබෙන හුදකලා පිට්ටනියා අසලින් ජීප් රථය නැවතුනා. තවත් විනාඩි 20ක් පමණ යන විට සෙමෙන් සෙමෙන් මේ ස්ථානයට පැමිණෙන හාර්මර් ගෝත්‍රික කාන්තාවන් මට දක්නට ලැබුනා. මේ ස්ථානයේ පැවැත්වීමට සුදානම් වන්නේ හාමර් ගෝත්‍රිකයින්ගේ ජීවන රටාවන්හි වැදගත්ම අංගයක් වන ගවයන් පැනීම යනුවෙන් හඳුන්වන උත්සවයයි.
යුධ බිමේ තම හෝ අනිකුත් ගෝත්‍රිකයින්ට විරුද්ධව සටන් කිරීමේදී හෝ තම ශක්තිය පෙන්වීමට පෙර හාමර් තරුණයින්ට ඒ සඳහා ඇති කැපවීම තම පරපුරට වෙන්විය යුතුයි. එසේම යොවුන් වියට මේ තරුණයා සුදුසු යැයි සැක හැර දැක බලා ගැනීම වෙනුවෙනුත් තමයි ගවයන් පැනීම හෙවත් බුල්ලාහ් යනුවෙන් හඳුන්වන උත්සවය පැවැත්වෙන්නේ. මේ උත්සව පවත්වන දින වකවානු සමහර විට කලින්ම දැන ගන්නට ලැබෙනවා. ඒ අනුව තමයි මගේ සහායක ඉයෝබිත් සමග මෙතරම් දුරක් ගෙවා මෙදින මේ ස්ථානයට පැමිණුනේ.

ටික වෙලාවක් යන විට තවත් විදේශකයින් මේ ස්ථානයට පැමිණුනා. ඒ අතර විදේශීය රුපවාහිනී ආයතන කිහිපයක නියෝජිතයන්ද පැමිණ තිබුනා. එක් පේළියකට තැබූ ගවයන් දස දෙනෙකු පමණ හරහා නොවැටී හතර වතාවක් පැන යාමෙන් මේ පැනීම් සිදු කල යුතු වෙනවා. තරුණයාව නියම පිරිමියෙක් හැටියට ගෝත්‍රය පිළිගන්නේ මේ පැනීම හරිහැටි සිදු කල හොත් පමණයි. මේ උත්සවයේ භයානකත්වය වන්නේ සියයකටත් අධික තම නෑදෑ ගෝත්‍රික පිරිසක් ඉදිරියේ මේ හැකියාව ප්‍රදර්ශනය කල යුතු නිසාත් යම් අත් වැරැද්දකින් පැනීමට නොහැකි වුවහොත් සමහර විට ඇතිවන ලැජ්ජාව නිසා සිය දිවි නසා ගන්නා තරුණයන්ද සිටින නිසා. ඒ වගේම හාමර් ගෝත්‍රික තරුණයා ගවයන් හරහා පැනීම සාර්ථකව කළහොත් ඔහු ගැන ගෝත්‍රිකයන් කවි පද හෝ නිර්මාණය කරනවා පමණක් නොව අනාගතයේදී නව බිරිඳක් හිමි කර ගැනීමටද හැකි වෙනවා. අවසානයේදී ඔහුට ගෝත්‍රය තුලා මාසා(maza) නමින් හැඳින්වෙන තත්වයද හිමි වෙනවා.
ඇත්තටම ගවයන් පැනීමේ උත්සවය ආරම්භ වන්නේ මීට දින කිහිපයක පෙර සිට. වෙනත් ගම්මාන වල ජීවත් වන හාමර් ගෝත්‍රිකන් දින ගණනාවක් සහ කිමී. 20ක් පමණ දුර ගෙවා මේ ස්ථානය පැමිණෙනවා. ඔවුන් වෙනුවෙන් සෝගම් බීර (සෝගම් වලින් සාදන බීර ඉතියෝපියානු ගෝත්‍රිකයන් බහුලව පානය කරනවා.) මී පැණි විශාල වශයෙන් පිළියෙළ කර තිබුණු අන්දම අපි දුටුවා.

මුලින්ම කරලියට පැමිණුනේ හාමර් කාන්තාවන්. ගෝලා නමින් හැඳින්වෙන ලෝහමය නලාවන් පාවිච්චි කරමින් ශබ්ද නගමින් නටමින් ඔවුන් පැමිණ සිටින්නන් කුල්මත් කළා. ඉයෝබි පැවසුයේ මේ ඔවුන් ගයන්නේ ගවයන් පැනීමට යන තරුණයාගේ ගුණ ගායනා කෙරෙන කවි පද බවයි.

උත්සවය ආරම්භ කිරීමට පෙර කෙසේ හෝ ඉයෝබි හරහා මට මේ තරුණයන් සමග සුළු කතා බහක යෙදෙන්නට අවස්ථාව ලැබුනා. ගවයන් පැනීමට සුදුදුකම් ලැබූ මේ තරුණයා වයසින් අවුරුදු දහසයක් පමණ වෙනවා. මෙතරම් තරුණ කාලයේදී මොහු මේ අවස්ථාව හිමි කර ගත්තේ තම දෙමව්පියන් තරමක් පොහොසත් නිසා බවයි ඔහු පැවසුවේ. පොහොසත් යනු ගවයන් විශාල ප්‍රමාණයක් ඔවුන් සතුව තිබෙන නිසා. එසේ නොමැතිනම් ඔහුට වයස විස්සක් පමණ වෙනත් බලා සිටීමට සිදුවන බවත් එමෙන්ම කෙසේ හෝ මුදල් උපයා ගවයෙක් මිලදීගෙන දෑවැද්ද සඳහා ලබා දියුතු බවත් ඔවුන් පැවසුවා.

මේ උත්සවය ඇත්ත වශයෙන්ම හාමර් ගෝත්‍රිකයන්ගේ නියම ගති ලක්ෂණ පෙන්නුම් කරන යාගයක්. මේ උත්සවයේ භයානකම සහ කුරිරුම අවස්ථාව වන්නේ හාමර් ගෝත්‍රික කාන්තාවන් තම නිරුවත් පිට ප්‍රදේශයට මාසා වරුන් ලවා (ගවයන් පැනීම සාර්ථකව ඉටු කල එහෙත් තවමත් විවාහ වී නැති තරුණයින්) පහරවල් එල්ල කර ගනිමින් ඒ වියලි පොලව හාමර් රුධිරයෙන් තෙත් කිරීමට දරන උත්සාහයයි. මේ උත්සාහය සහ කැපවීම ඒ කාන්තාවන් සිදු කරන්නේ ආදරයේ නාමයෙන්. මේ එක් කාන්තාවක් වත් මෙසේ වේදනා ලබත්දී තම පිටෙන් රුධිරය වෑහෙත්දී එක් වචනයක් වත් කටින් පිට කලේ නැහැ. ලේ වැගිරෙන තම තුවාල හරහා ඔවුන් පෙන්වන්නේ පුරුෂ පක්ෂයට දක්වන අසීමිත ආදරයයි. කොතරම් ආවේගශීලීව කාන්තාවන් මේ අවස්ථාවට මුහුණ දෙනවාද කීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න අසීරුයි.


අඩි 5ක් පමණ දිග කෝටු වලින් තමයි මේ පහර දීම් සිදු කරන්නේ. ඒ සඳහා ඔවුන් මේ පැත්තට පමණක් සීමා වූ විශේෂ ඩොන්ගෝ නමැති ගස් වර්ගයක කෝටු තමයි උපයෝගී කර ගන්නේ. මේ දර කෝටු ගිනි මැල සඳහාද පාවිච්චි කරනවා. ගින්දරත් හාමර් ගෝත්‍රිකයින්ගේ ජීවිතය හා විශේෂයෙන් සම්බන්ධයි. ගින්නෙන් සියලුම දොස් දුරුකරන බවට මතයක් හාමර් ගෝත්‍රිකයින් අතර තිබෙනවා. ඒ නිසා මේ කෝටු වලින් පහර දීමෙන්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ මාසා වරුන්ගේ පව් සෝදා හැරීමක්. තම පිටට නොනවත්වාම වදින පහරවල් නිසා රුධිරය වෑහෙත්දී පරල වූවා මෙන් කාන්තාවන් කිහිප දෙනෙක් නොනවත්වාම ඉල්ලා සිටියේ තව තවත් ඔවුනට පහර දෙන ලෙසයි. සමහර විට විශාල තුවාල ඇතිවූ පසුත් මේ ක්‍රියාව නතර නොවන්නේ මාසා වරුන්ගේ සියලුම පව් සෝදා හැරීමට හාමර් කාන්තාවන්ගේ ඇති දැඩි අධිෂ්ඨානය නිසා. අවසානයේදී වැඩිහිටි හාමර් ගෝත්‍රික කාන්තාවන් පිරිසක් පැමිණ එවැනි කාන්තාවන් ඒ ස්ථානයෙන් එපිටට කැඳවා ගෙන යනු අවස්ථාද අපි දුටුවා.
මේ අවස්ථාවට මුහුණ දීමෙන් පසු හාමර් කාන්තාවන් විශ්වාස කරන්නේ පුරුෂයා වෙනුවෙන් තමා දැක්වූ ආදරය සහ කැපවීම නිසා ඔහුට ඇය වෙනුවෙන් කිසිම අවස්ථාවක ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට වුවද පසුබට නොවන බවත්. හාමර් කාන්තාවන්ගේ අසීමිත ආදරය මෙසේ ගලා යන රුධිරය අතරින් විදහා දැක්වෙනවා.
මේ දරුණු කුරිරු අවස්ථා වලින් පසු දැන් ගවයන් පැනීම ආරම්භ කරන්නට සියල්ල සුදානම්. මේ අවස්ථාවේදී තරුණයා මෙතනට පැමිණ සිටියත් ඊට දින දෙකකට පමණ පෙර මේ උත්සවය වෙනුවෙන් තරුණයාව පිළියෙළ කිරීම සිදුවන්නේ තවත් සම්ප්‍රදායයන් වලට අනුකුලව. ගවයන් පැනීමෙන් පසු එළඹෙන නව තරුණ ජීවිතය වෙනුවෙන් ඔහුගේ පවුලේ දෙමාපියන් විසින් එළුවෙකු බිලිදීම සිදු කරනවා. පවුලේ යම් තරුණයෙකු ගවයන් පැනීමට පෙර මරණයට පත්වී තිබේ නම් ඔවුන් වෙනුවෙන්ද තමයි මේ එලුවා බිලිදීම සිදුවන්නේ. අවසානයේදී එළුවාගේ මස් පුළුස්සා කොටසක් ලඟම නෑදෑයන් හට පිළිගන්වනවා. අනික් කොටස මියගිය නෑදෑයන් වෙනුවෙන් කැලෑවට විසි කරනවා.

ඒ වගේම අවසානයේදී තරුණයාව නිරුවත් කර ඔහුගේ සහාකයා විසින් ඔමෝ නිම්නයෙන් ලබා ගත් පස් වලින් නහවනවා. මෙයි අදහස් කෙරෙන්නේ ළමා වියේදී සිදු කරන ලද වැරදි වලින් ඔහුව නිදහස් කිරීමක්. මෙයිනුත් පසුව තමයි මේ නිරුවත් තරුණයා උත්සවය පවත්වන ස්ථානයට කැඳවා ගෙන එන්නේ.

මේ අවස්ථාවේදී නැවත වරක් හාමර් ගෝත්‍රික කාන්තාවන් හඬ නගා ගයමින් මාසා වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පව් සෝදා හැරීමට පහර කෑමට ලක්වීමට සුදානම් බවයි.


මාසා තරුණයන් මේ තරුණයාව වටකරගෙන බාජෝ ආශීර්වාදය ලබා දෙනවා. ඒ වගේම මාසා වරුන් විසින් දරුවෙක් ලැබෙන ආකාරය මේ අවස්ථාවේදී තරුණයා නිරුපනය කරනවා. එමෙන්ම හරක් සමින් සාදන ලද විශේෂ කලාශි නමින් හඳුන්වන පටියක්ද මාසා වරුන් මේ අවස්ථාවට පළඳිනවා. ඇත්තටම මේ පටිය පළඳින්නේ හාමර් ගෝත්‍රික කාන්තාවක් තම පළමුවන දරු උපත සිදුවන අවස්තාවේදී පමණයි. බාජෝ යනුවෙන් හඳුන්වන්නේ හාමර් ගෝත්‍රිකයින් විශ්වාස කරන ඇදහීමක් (හෝ ඒ ඔවුනට ලැබෙන ආශීර්වාදයක් ) ඔවුන් හා සම්බන්ධ සියලුම දේවල් බාජෝ හා සම්බන්ධ යයි ඔවුන් විශ්වාස කරනවා. ඔමෝ නදියේ ජලය සැම විටම තිබෙන්නේත්, වර්ෂාව ලැබෙන්නෙත්, ඔවුන්ගේ ගවයන් නොමැරී ජීවත් වෙන්නෙත්, සෝගම් ඇති තරම් ඔවුනට වගා කර ගත හැක්කේත් මේ බාජෝ ආශීර්වාදය ඔවුනට හිමි නම් පමණයි.
හාමර් ගෝත්‍රික වැඩිහිටියෙක් සමග මා කල කතා බහකදී ඔහු සඳහන් කලේ දරුවෙක් ලැබෙන ආකාරය නිරුපනය කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ තවමත් අවිවාහක පවුල් ජීවිතය සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් නොමැති මේ තරුණයා හට මෙයින් පසු පළපුරුද්ද සහ බාජෝ ආශීර්වාදය වැඩි වශයෙන් ලැබෙන බවයි.

ගවයන් පැනීම ආරම්භයට මොහොතකට පෙර මාසා කණ්ඩායමේ නායකයා විසින් තමයි අවසාන රෙගුලාසි ඉදිරිපත් කරන්නේ.

විශාල ගව රැල ඉදිරියට නිරුවතින් පැමිණෙන තරුණයා තමන්ට සුදුසු යැයි හැඟෙන ගවයන් තෝරා ගන්නවා.

තරුණයාගේ නෑදෑ හිතමිත්‍රාදීන් විසින් තරුණයා තෝරා ගත් ගවයන් පේළියකට සිටුවීම සිදු කරනවා.

මේ අවස්ථාවේදී තරුණයාගේ මිතුරන් නැගෙනහිර දිශාව දෙස බලාගෙන බටහිර පෙදෙසට පසුපස හරවා සිටිනවා. සියලුම නුසුදුසු බලවේග මෙයින් දුරුවී යන බවත් ඔවුන් විශ්වාස කරනවා.


මේ සුදානම තම පළමුවන පිම්ම පනින්නටයි. සියලුම ගෝත්‍රිකයින්ගේ ඔල්වරසන් හඬින් සහ කාන්තාවන්ගේ ගී සහ නලා හඬින් මුළු පෙදෙසම දෙදරුම් කනවා.


හතර වතාවක් තරුණයාට මේ ගවයන් හරහා පැනීමට සිදු වුනා.

මේ සුභ පැතුම් තරුණයාට පිරිනමන්නේ සාර්ථකව ගවයන් පැනීම නිම කිරීම නිමිත්තෙනුත් එමෙන්ම හාමර් ගෝත්‍රයේ මාසා වරුන්ට නව සාමාජිකයෙක් එක්වීම නිමිත්තෙනුත්.

අවසානයේ සියලු හාමර් ගෝත්‍රිකයින් පිරිවරාගෙන තරුණයාව රැගෙන යන්නේ හිස බු ගෑම සඳහා. මාසා වරුන්ගේ නිත්‍ය සාමාජිකයෙක් වන්නේ එම මොහොතේ සිටයි.

හිස බූ ගෑමට යන අවස්ථාවේදී නැවත වරක් මේ තරුණයා සමග කෙටි පිළිසඳරක යෙදෙන්නට මට හැකි වුනා. තම ගෝත්‍රය වෙනුවෙන් මින් ඉදිරියට ඕනෑම මොහොතක තම හැකියාව, ශක්තිය විදහා පෙන්වීමට දැන් අවස්ථාවක් ඇති බව පැවසූ මොහු කනස්සල්ල පල කලේ තම මිතුරු අනිකුත් සමහර මාසා වරුන් මෙන් දෙමව්පියන් විවාහා කර දෙන තෙක් කොපමණ කාලයක් තනිකඩයෙකු වශයෙන් ගත කිරීමට සිදුවේදැයි කියා. ගවයන් පැනීමෙන් පසු සමහර අවස්ථා වලදී මාස ගණනක් හෝ වසර ගණනක් යන තෙක් දෙමව්පියන්ට විවාහ කර දීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අවශ්‍ය වත්කම නොමැති කමින්.
හාමර් ගෝත්‍රිකයින්ගේ මේ උත්සවයට සහභාගී වූ අපි ඉර බැස ගෙන යන විට මේ ස්ථානයෙන් පිටවුනා. ටුර්මි නගරය වෙත ඝන වනන්තරය මැදින් තවත් කි.මී. 40ක් පමණ යන්නට අපට සිදු වුනා. මේ කි.මී. 40 යන්නට අපට පැය 2ක් පමණ වෙලාවක් ගත වුනා. රෑ පාරක් හරි හැටි නොපෙනන වනාන්තරයේ ගස් ගල් අතරින් ජීප් රිය ධාවනය කිරීම ලේසි පහසු වුනේ නැහැ.
හාමර් ගෝත්‍රිකයින් පනස් දහසක් පමණ ජීවත් වෙන මේ ඔමෝ නිම්නය ඔවුන්ගේ ලෝකයක් කියලයි මට සිතෙන්නේ. අපිට හිමි අන්තර් ජාලය, රුපවාහිනිය, විදුලි බලය, සනීපාරක්ෂනය හෝ ජන්ද බලය ඔවුනට හිමි නැහැ. නමුත් ඒ ඔවුන්ගේ ලෝකය තුල ඔවුන් අභිමානයෙන් ජීවත් වෙනවා කියලා මට හිතෙනවා. ඔවුන්ගේ පාරම්පරික රටාවන්, සිරිත් විරිත් පවත්වා ගෙන යන්නට මහත් වූ වෙහෙසක් ඔවුන් දරනවා.
හාමර් ගෝත්‍රික කාන්තාවන් පුරුෂයන් වෙනුවෙන් තම භක්තිය, ආදරය පෙන්වන්නේ කියා නිම කල නොහැකි වේදනාවක් දරා ගෙන. අපේ ඇසට මේ දේවල් සාහසික කෘර නැතිනම් දරුණු ක්‍රියාවක් විදිහට පෙනුනත් ඔවුන්ගේ ලෝකයේ එය වසර ගනනාවක් තිස්සේ පැවත ගෙන එන සම්ප්‍රදායයක්.

හාමර් ගෝත්‍රිකයින්ගේ සමහර සම්ප්‍රදායයන් වලට අද ඉතියෝපියානු රජය පවා මැදිහත් වෙලා තිබෙනවා. වෙනත් ගෝත්‍රිකකු මරා දැමීම තම ගෝත්‍රයට අභිමානයක් සේ සැලකීම අද වන විට හාමර් ගෝත්‍රිකයින්ට අකමැත්තෙන් හෝ අමතක කර දමන්නට සිදුවෙලා තියෙනවා. ඉතියෝපියානු රජයේ නව නීති රීති වලට අනුව මේ වෙනුවෙන් හාමර් ගෝත්‍රිකයින් සිර භාරයට ගන්නවා. සම්ප්‍රදායයට අනුව තම සතුරා ඝාතනය කරලා නැවත ගම්මානයට පැමිණෙන ගෝත්‍රිකයා පිළිගන්නේ උණුසුම් අයුරෙන්. ගෝත්‍රයේ යිර්මිට් නමින් හඳුන්වන්නේ මෙවැනි පුද්ගලයින්. නමුත් භයානකත්වය වන්නේ තම විරුද්ධවාදීන් මරා දමන ප්‍රමාණය අනුව මේ පුද්ගලයාට තම ශරීරයේ පිට ප්‍රදේශයේ හෝ පපුවේ පච්ච හා සමාන කැළැල් දරුණු කැපුම් මගින් ඇතිකර ගැනීමයි. මේවා හඳුන්වන්නේ වීරත්වයේ පච්ච යනුවෙන්. මේ කැපුම් සිදුකරන්නට ගම්මානයේ විශේෂ පුද්ගලයෙක් සිටිනවා. මෙවැනි පච්ච කෙටීමට ඔවුන් දරුණු කැපුම් තුවාල සිදු කරනවා. සමහර අවස්ථා වලදී මාස කිහිපයක් මේ ගෝත්‍රිකයින් තුවාල වේලෙන තෙක් බලා සිටිනවා. යම් යිර්මිට් පුද්ගලයෙකු මේ පච්ච ලබා ගන්නේ නැතිනම් ඔහු ගෝත්‍රයට අවමානයක් සේ සලකනවා. එසේම වීරත්වයේ පච්ච වලට තම ශරීරයේ ඉඩ නොමැති වූ විට එය ඔවුන්ගේ බිරින්දන් ගේ ශරීර වල සටහන් කරනවා. මේ මිනී මැරුම් ගැනද පච්ච කෙටීම් ගැනද ඉතියෝපියානු රජයේ අවධානය යොමු වී තිබෙනවා. සිර භාරයට ගන්නවාට අමතරව ඔවුන් සතු ගවයන්ද රාජ සන්තක කිරීමට ඉතියෝපියානු රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම දැන් දැන් මේ කැපුම් මගින් වීරත්වයේ පච්ච කොටන පුද්ගලයින්ද අත් අඩංගුවට ගන්නට ඉතියෝපියානු රජය ක්‍රියා කරනවා.
නමුත් ඔමෝ නිම්නය ඉතා විශාලව පැතිරී තිබෙන නිසා ඉතියෝපියානු පොලීසියට මෙය ලේසි වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන් ස්වේච්ජා සංවිධාන සහ මුදලට සේවය කරන තරුණයන් යොදවා ගන්නවා. ඉතියෝපියානු රජය තවත් පියවරක් ඉදිරියට තබමින් වැඩිහිටි හාමර් ගෝත්‍රිකයින් සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට උත්සාහ දරනවා. මේ මගින් සිදුවන දරුණු සම්ප්‍රදායයන් සිරිත් විරිත් අත් හරින්නට යැයි වැඩිහිටියන් හරහා උපදෙස් දෙන්නට පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන් හාමර් ගෝත්‍රික කාන්තාවන්ට ආදරය වෙනුවෙන් කෙරෙන දරුණු පහර දීම් අත් හරින්නට යෝජනා කලත් කාන්තාවන් පවසන්නේ එම පහරදීම් වලින් පසු ඇතිවන කැළැල් කියාපාන්නේ ඔවුන්ගේ පිරිමින්ට දක්වන ආදරය, සහ ගෞරවය බවත් එය ඔවුනට ආඩම්භරයක් බවත්.
අතීතයෙදී හාමර් ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන ආයුධය වුනේ හෙල්ලය. නමුත් අද ඔවුන් අතරට AK-47 තුවක්කුව පැමිණිලා. ළඟ පාත රටවල් වල පවතින දේශපාලන අවිනිශ්චිත භාවය නිසා ගවයන් කිහිපදෙනෙකුගේ හුවමාරුවෙන් බොහොම පහසුවෙන් තුවක්කුවක් ලබා ගන්නට පුළුවන්. රජයේ හමුදාවන්ට අමතරව වෙනත් පුද්ගලන් අත ආයුධ තිබීම රජයට බරපතල ප්‍රශ්නයක්. මේ නිසා ඉතියෝපියානු රජය තවත් අසරණ වෙලා.
මේ හාමර් ගෝත්‍රිකයින් පරිසරයේ වෙනස්වීම් වලට පමණක් නොවෙයි ඉතියෝපියානු රජයෙන් එන අලුත් නීති රීති, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් මෙන්ම පැමිණෙන අනිකුත් ප්‍රශ්න වලටත් මුහුණ දෙනවා. වසර සිය ගණනක් තිස්සේ සිදුවූ පාරිසරික සහ සමාජයීය වෙනස්වීම වලට මුහුණ දෙමින් හාමර් ගෝත්‍රිකයන් සිය අභිමානය, සිරිත් විරිත් සම්ප්‍රදායයන් ආරක්ෂා කර ගත්තා සේම මේ මොහොතේද වෙනස් වීම වලට මුහුණ දීමට ඔවුනට ශක්තිය හා ධෛර්යය ඒ ජීවත් වන පරිසරය තුලින්ම ලැබේවි යන්න මගේ ප්‍රාර්ථනයයි.
එදින රාත්‍රිය හාමර් ගෝත්‍රිකයින් සමග ටුර්මි ගම්මානයේ ගත කිරීමට මට සිදු වුනා. එය ජීවිතයේ අසීරු නමුත් අලුත්ම අත්දැකීමක් වුනා. හාමර් ගෝත්‍රිකයින්ගේ ජීවන රටා මෙන්ම සිරිත් විරිත් ගැනද මනා අවබෝධයක් ලබා ගැනීමට එහිදී මට හැකි වුනා. ඒ පිලිබඳ විස්තර මගේ - හාමර් ගෝත්‍රිකයින්ගේ රහස් - ලිපියෙන් බලාපොරොත්තුවන්න.
"ඔබේ දරුවාට පරිසරයට ආදරය කරන්න උගන්වන්නේ නම් වෙනත් කිසිම ඉගැන්වීමක් දරුවාට අවශ්‍ය නොවේ."
ඉතියෝපියානු ප්‍රස්ථා පිරුලක්

Niyamai - Harshana - a month ago
I am really appreciated your journey to Africa and this is very much important to sinhala speaking people like us. - Ruwan Kuruppu - 3 years ago
Really appreciate publishing this for a wider sri lankan audience. This is one of my dream too.One other thing people should know is this just a very minor group and Ethiopia not a sour people sees.I am working in Africa for last 6 years , really enjoy this life. nature.. - Ranjith de Alwis - 3 years ago.
ඇත්තතෙමෙ ඉතාමත් හොද සංචාරයක්.. ඒ වාගේම වැදගත් කරැණු රාශියක් මෙහි ති ෙබනවා ඔබගේ සංචාරයට සජීවී ාලස අපව සම්බන්ධ කර ගැනීමේ උත්සහය සාර්ථක වී තිබෙනවා...අපව මෙලෙසින් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබ තුමා වෙත ස්තුතිය පල කරන අතර මෙවැනි ලොව වටා සංචාර ඉදිරියටත් සිදු කර අපව දැනුවත් කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි පාර්ථනා කරමි. - Tharanga - 3 years ago.
Thank you very much. Your work is highly appreciated. - Sampath Hettiarachchi - 3 years ago.
Thanks a lot. - Ishara Wimalaweera - 3 years ago.
Wow Superb - Suraj - 3 years ago