It's better to die than live without killing.

​මුර්සි අඩවියට ගමනක්... 

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

තම තොල් මත තැටියක් පළඳින කාන්තාවන් සිටින අප්‍රිකාවේ විරල ගෝත්‍රික කණ්ඩායමක් - මුර්සි.

The MURSI Tracks - ETHIOPIA.

The MURSI TRACKS

Expedition 2016

මම අසාමාන්‍ය සංචාරකයෙක්. මාගේ උත්සාහය සෑම විටම සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව සංචාරය කිරීම.  ඒ සෑම සංචාරයක්ම ලෝකයේ විවිධ සංස්කෘතීන් තුලටද, ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් වල ඇතුලාන්තයද සොයා ගමන් කල නිසා ගවේශනයන් බවට පත් වුනා.

​ලෝකයේ බොහෝ ස්ථාන, රටවල් වල ඔබ නොදකින ඔබට නොපෙනෙන, දුෂ්කර එමෙන්ම බිහිසුණු ස්ථාන වලට ඔබව රැගෙන යාම සහ ඒ දුෂ්කර, අපහසු, බිහිසුණු තත්වයන් යටතේ ඔවුන් ජීවත් වන ආකාරය ඔවුන්ගේම වචන වලින්, අදහස් වලින්  පැහැදිලි කිරීම මේ සංචාරයන්හි අරමුණයි. 

​එන්න මා සමග ලෝකය දකින්නට.

Rokhan Direkz 

2016 January

ඉතියෝපියාවේ මුර්සි ගෝත්‍රිකයෝ ජීවත් වෙන්නේ ඔමෝ නිම්නයේ ඈත කෙළවර දකුණු දිශාවට වෙන්නට.  මගේ දකුණු ඉතියෝපියානු සංචාරයේ දුෂ්කරම කාර්යය වුනේ මුර්සි ගෝත්‍රිකයින් දැක බලා ගැනීම. දකුණු ඉතියෝපියාවේ ප්‍රධාන නගරයක් වන අර්බමින්ච් නගරයේ සිට කි.මී. 350ක් පමණ තවත් දකුණු දෙසින් පිහිටා ඇති ජින්කා නමින් හඳුන්වන නගරයට මුලින්ම යා යුතුව තිබුනා.  මේ කි.මී. 350 යන්නට අපිට දින 2ක් ගත වුනා.  සමහර තැන්වල හොඳ තත්වයේ තිබෙන තාර දැමු පාරවල් තිබුනත් බොහෝ තැන් වල තිබුනේ මඩ සහ ගල් වලින් පිරුණු පාරවල්. 

තම තොල් මත තැටියක් පළඳින මුර්සි ගෝත්‍රිකයින් හමුවන්නට තවත් කි.මී. 70ක් පමණ යා යුතුයි. ඒ ඔවුන් ජීවත් වෙන මාගෝ වනෝද්‍යාන භූමියට ඇතුල් වන ස්ථානයට. එතැන් සිට තවත් කි.මී. 40ක් පමණ ඝන වනාන්තරය ඔස්සේ මුර්සි ගම්මාන සොයා යා යුතුයි. 

 

මුර්සි ජාතිකයින් කතා කරන්නේ සුර්මික් නමින් හඳුන්වන භාෂාවක්. මේ භාෂාව සුඩානයේ සහ කෙන්යාවේ ඉතියෝපියානු දේශ සීමාවට ආසන්නයේ ප්‍රදේශ වල ජනතාවන් කතා කරන භාෂා වලින් එකක්. මෑතක වන තුරු මේ සුර්මික් භාෂාව කාතාවට පමණක් සීමා වෙලා තිබුනා. නමුත් 1989 වර්ෂයේ සිට මුර්සි ජාතිකයන් හා ජීවත් වූ මිෂනාරි සංවිධානයක් විසින් ඉතියෝපියානු භාෂාවක් වන අම්හාරි සහ ලතින් භාෂා අකුරු සහ ශබ්ද සම්බන්ධ කර ගෙන සුර්මික් අක්ෂර අඳුනාගෙන තිබෙනවා.

 

මුර්සි භාෂාව කතා කරන මඟ පෙන්වන්නෙක් නැතිව මාගෝ වනෝද්‍යාන භූමියට යාම සුදුසු නැහැ.  ජින්කා නගරයේ පවා මේ භාෂාව කතා කරන මඟ පෙන්වන්නන් සිටින්නේ කිහිප දෙනෙක් විතරයි.   කොතරම් සැන්දෑ වුනත් සුර්මික් භාෂාව කතා කරන මඟ පෙන්වන්නේ සොයා ගැනීමේ උත්සාහය අත් හරින්නට අපි සුදානම් වුනේ නැහැ.  අවසානයේදී මාගෝ වනෝද්‍යාන භුමියේ ආරක්ෂක නිලධාරියෙක් මේ වෙනුවෙන් අපි හඳුනා ගත්තා. 

පසු දින උදෑසන පහට පමණ අපි ජින්කා නගරයෙන් පිටත් වුනේ අවු රශ්මිය වැඩි වෙන්නට පෙර මාගෝ වනෝද්‍යාන භුමියට ඇතුල් වන්නට බලාපොරොත්තුවෙන්. සියලුම මුර්සි ගෝත්‍රිකයින් අද ජීවත් වන්නේ මේ මාගෝ වනෝද්‍යාන භුමිය තුල. දැනට ඉතියෝපියානු රජයේ සංඝණන වාර්තා වලට අනුව මුර්සි ගෝත්‍රිකයින් 10,000ක් පමණ මේ වනෝද්‍යාන භුමියේ වර්ග කි.මී. 2000ක පමණ ප්‍රදේශයක ඔමෝ සහ මාගෝ ගංගා අතර ජීවත් වෙනවා. 

1991 වර්ෂයේ සිට ඉතියෝපියාව පාලනය කලේ ඉතියෝපියාන ජනතා ප්‍රජාතාන්ත්‍රික විප්ලවීය පෙරමුණයි. (EPRDF) 1995 වර්ෂයේදී ඔවුන් නව ෆෙඩරල් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නා.  ඉතියෝපියාවේ ඒ ඒ ප්‍රදේශ වල වාසය කරන ගෝත්‍රික ජනතාවන්ගේ මුලිකත්වයෙන් මුළු රටම දිස්ත්‍රික්ක 9ට බෙදා වෙන් කරනු ලැබුවා. ඒ හැම දිස්ත්‍රික්කයකටම ප්‍රධාන ගෝත්‍රයට අනුව අගනුවරක් හිමි වුනා. නමුත් දකුණු ඉතියෝපියාවේ සිටියේ ගෝත්‍රිකයින් වර්ග රාශියක්. මේ නිසා මේ සියලු ගෝත්‍රිකයන් සම්බන්ධ කර ගෙන දකුණු ඉතියෝපියානු ජනතා දේශය නමින් විශාල දිස්ත්‍රික්කයක් ඇති වුනා. මෙහි අගනුවර වන්නේ අවස්සා නගරයයි.  මුර්සි ගෝත්‍රිකයින් ජීවත් වෙන මාගෝ වනෝද්‍යාන භුමියේ සිට කි.මී. 500ක් පමණ දුරකින් තමයි මේ අවස්සා නගරය පිහිටා තිබෙන්නේ. 

මාගෝ වනෝද්‍යාන භුමියේ ඝන වනාන්තර ගුරු පාරවල් මතින් අපේ ජීප් රිය ඉදිරියට ඇදෙනවා. මේ වන විට මා ඉතියෝපියාව දින කිහිපයක් ගත කර ඇතත් මේ ගමනේ භයානකත්වය මුල සිටම දැනෙන්නට පටන් ගත්තා. වනෝද්‍යාන භූමියට ඇතුල් වෙත්දී මා බලාපොරොත්තු වුන පරිදි නොව වෙනත් කිසිම සංචාරකයෙක් වත් වාහනයක් වත් තිබුනේ නැහැ. ආරක්ෂක නිලධාරීන් සියල්ලම අවි ආයුධ අතැතිවයි සිටියේ.  අපේ ගමන් බලපත්‍ර සහ වාහන බලපත්‍ර පරීක්ෂා කිරීමන් පසු ඔවුන් අපට වනෝද්‍යාන භූමියට ඇතුල් වෙන්නට ඉඩ දුන්නා. 

මාගෝ වනෝද්‍යාන භූමියට ඇතුල් වන විට වේලාව උදෑසන හයට විතර වුනා. එලිය වැටී ගෙන එනවා.  වාහනය ධාවනය කරන බොරළු පාර හරහා විටෙන් විට වන සතුන් මාරු වෙනවා. මේ අවස්ථාවලදී වාහනය නවතා බලා සිටින්නට අපට සිදු වුනා. 

තවත් කි.මී. 30ක් පමණ ගිය විට අපේ මඟ පෙන්වන ආරක්ෂකයා සිටින ස්ථානයට ලඟා වෙන්නට අපිට හැකි වුනා.  ඔහුත් ආයුධ සන්නද්ධවයි සිටියේ. මුර්සි ගෝත්‍රිකයින් බොහෝ විට දරුණු ගෝත්‍රිකයින් හැටියට ප්‍රසිද්ධයක් උසුලනවා. ඔවුන් සාමාන්‍ය ජනතාව එමෙන්ම අනිකුත් ගෝත්‍රිකයින් සමගද පවත්වන්නේ ඉතා සීමිත සම්බන්ධතාවන්. 

තවත් කි.මී. 25ක් පමණ ධාවනය කල අපි මුර්සි ගෝත්‍රිකයින්ගේ මාකි ගම්මානය වෙත ලඟා වුනා.  මේ අතර කාලයේදී ආරක්ෂක නිලධාරියා ජීප් රථය තුලදී මුර්සි ගෝත්‍රිකයන් සමග කතා බස් කරන සහ හැසිරෙන ආකාරයත් ගැන කරුණු පැහැදිලි කළා.  ඔවුන් සමග කිසි විටෙක වාද විවාද වලට නොයා යුතු බවයි ආරක්ෂක නිලධාරියා පවසන්නේ.  එසේම ඔවුන්ගේ අවසරයක් නොමැතිව ජායාරුප ගැනීම සහ රූ ගත කිරීම් නොකළ යුතු බවටත් ඔහු අපිට අවවාද කළා. ඒ සඳහා ගිවිස ගැනීමට ඔහුට යම් කාලයක් දිය යුතු බවත් ඔහු ඉල්ලා සිටියා. 

මේ මුර්සි ගෝත්‍රිකයින්ගේ මාකි ගම්මානය. 

මාකි ගම්මානය අසල අපේ ජීප් රිය නතර කළා විතරයි මුර්සි කුඩා ළමුන් සහ කාන්තාවන් පිරිසක් අපේ ජීප් රිය වට කර ගත්තා. පළමුවෙන්ම ජීප් රියෙන් එලියට පැමිණි අපේ ආරක්ෂක නිලධාරියා මහත් වූ වෙහෙසක් දරලා ඔවුන්ව තරමක් දුරට ජීප් රියෙන් ඈත් කළා. ආරක්ෂක නිලධාරියා සහ මගේ මඟ පෙන්වන්නා පෙරටු කර ගෙන මම මාකි ගම්මානයේ ප්‍රධානියෙකු යයි හැඳින්වෙන පුද්ගලයෙකු වෙත පැමිණුනා. 

මාකි ගම්මානයේ බොහොමයක් දෙනා අත AK-47තුවක්කු දක්නට ලැබුනා. අතීතයේ ඔවුන් ආයුධ වශයෙන් පාවිච්චි කල රිටි සහ මුගුරු වෙනුවට දැන් AK-47 ඇවිල්ලා. මුර්සි ජාතිකයින් ජීවත් වෙන්නේ බොහෝ විට ගව පාලනයත් සමග. යාබද රටවල් වල තිබෙන දේශපාලන අවිනිශ්චිතභාවය නිසා, විශේෂයෙන් සුඩානයේ සහ කෙන්යාවේ, ගවයන් කිහිප දෙනෙකුට හුවමාරු වශයෙන් AK-47 තුවක්කු ලබා ගැනීමට හැකිවී තිබෙනවා. ඉතියෝපියානු රජයටද කර කියා ගන්නට දෙයක් නැහැ. මේ තුවක්කු වලට අවසර පත්‍රවත් රජයේ ලිපදිංචි වෙලාවත් නැහැ. එහි භයානකත්වයත් එයයි. යම් අවස්ථාවකදී  මිනීමැරුමක් හෝ සංචාරයෙකුට අනතුරක් සිදුවුවහොත් ඒ ගැන කිසිම කෙනෙක් වග කියන්නේ නැහැ. එය සොයා බැලීමට හැකිවෙන්නෙත් නැහැ. නමුත් සමහර තැන් වල ඉතියෝපියානු රජය විසින් වෙනත් ගෝත්‍රික තරුණයන් මුදලට සිවිල් ඇඳුමෙන් රඳවා තිබෙනවා මෙවැනි අනතුරු වලක්වා ගන්නට. 

ආරක්ෂක නිලධාරියා හරහා ගම්මානයේ ප්‍රධානියා සමග කල සාකච්ජාවෙන් පසු මට ගම්මානයේ සැරි සරන්න අවසර ලැබුනා. ඒ වුනත් මාව වට කර ගෙන ආයුධ සන්නද්ධ කාන්තාවන් සහ මුර්සි ගෝත්‍රිකයින් විශාල පිරිසක් සිටියා. මුර්සි ජාතිකයින් සංචාරකයින් හට ජායාරුප ගන්නට ඉඩදී මුදල් ඉල්ලා සිටින අවස්ථා බොහෝ විට තිබෙනවා. ඒ නිසා සෑම ජායාරුපයක් ගන්නට පෙරම මට සිදුවුනා ඔවුන්ගේ භාෂාව කතා කරන ආරක්ෂක නිලධාරියා හරහා ඒ වෙනුවෙන් එකඟතාවයකට පැමිණෙන්නට. ඉතියෝපියාවේ අගනුවර සිට පැමිණෙන සංචාරකයින් සංචාරක ආයතන වලට මුදල් ගෙවා පැමිණියත් ඒ මුදල් වලින් කිසිම කොටසක් මේ මුර්සි ගෝත්‍රිකයින් හට ලැබෙන්නේ නැහැ. මේ නිසා තමයි මෑතක සිට මේ ගෝත්‍රිකයින් මුදල් ඉල්ලා සිටින්නේ. 

තම තොල් මත තැටියක් පළඳින කාන්තාවන් සිටින අප්‍රිකාවේ විරල ගෝත්‍රික කණ්ඩායමක් තමයි මුර්සි.  (එසේම චායි සහ ටිර්මා යන ගොත්රිකයින්ද තවම තොල් මත තැටි පළඳිනවා) මුර්සි කාන්තාවන් මේවා පළඳින්නේ යටි තොලේ. මෙය බොහෝ විට ලී වලින් සහ ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන මැටි වර්ගයකින් තනා ගන්නවා. මේ කාන්තාවන් ඇත්තටම මුර්සි ගෝත්‍රිකයින්ගේ වෙළඳ සලකුණු කිව්වොත් නිවැරදියි. සංචාරකයින්ගේ ආකර්ෂණය මොවුන් බොහෝ විට ලබා ගන්නේ මේ කාන්තාවන් නිසා.

මුර්සි දැරියකගේ වයස 15-16 වන විට අයගේ මව හෝ වැඩිහිටි කාන්තාවක් විසින් යටි තොලේ මේ සිදුරු කිරීම සිදු කරනවා. මුලින්ම ලී පොරෝප්පයක් තබා ප්‍රථම තුවාලය සුව වන තෙක් සති කිහිපයක් හෝ මාස කිහිපයක් බලා සිටින අතර පසුව මෙය ටිකෙන් ටික විශාල කරනවා. මෙය බොහෝ විට වර්ෂයකටත් අධික කාලයක් සිදු කෙරෙනවා. අවසානයේදී සෙ.මී. 12ක් පමණ මැටි හෝ ලී තැටියක් තොල මත පළඳින්න හැකි වන තෙක් මේ යටි තොලේ සිදුර ටිකෙන් ටික විශාල කරනවා.

එමෙන්ම බොහෝ කාන්තාවන්ගේ උඩු ඇන්දේ ඉදිරිපස දත් කිහිපයක්ද ඉවත් කරනවා.  ඒ දත් හා මේ තැටිය නොගැටෙන්නට. 

සාමාන්‍යයෙන් දවල් කාලයේ කාන්තාවන් මේ තැටිය පළඳිනවා. ඒ වගේම තම ස්වාමියාට ආහාර පිළිගන්වන විටත් නිවසින් පිටතට යනවිටත් මෙය පළඳිනවා. යම් කාන්තාවක් මේ තොල් තැටිය පළඳින්නේ නැතිනම් ඇය වැන්දඹුවක්.

මේ ඉහත ජායරුපයේ කාන්තාව තම යටි තොල් තැටිය ඉවත් කර ජායාරුපයකට පෙනී සිටිමින්.  මේ කාන්තාව පැහැදිලි කල ආකාරයට පිරිමි පක්ෂයෙන් මෙසේ පැලඳීමට කිසිම බලපෑමක් නැති අතර එය තනිකරම දැරියගේ/කාන්තාවගේ තීරණයක්. නමුත් ගෝත්‍රයේ සියලුම කාන්තාවන් පාහේ මේ ආකාරයේ තැටි පළඳිනවා. 

 

ආරක්ෂක නිලධාරියා හරහා පැහැදිලි කර ගත් කරුණු අනුව මේ තැටි පැළඳීම තුළින් කරුණු කිහිපයක් පෙන්නුම් කරනවා. තැටියේ ප්‍රමාණය කාන්තාවගේ විවාහ වත්කම හා සම්බන්ධ වන බවත් විශ්වාසයක් තිබෙනවා. නමුත් මෙහි සත්‍යතාවය නම් වහල් භාවය වෙනුවෙන් මුර්සි කාන්තාවන් රැගෙන නොයාම වෙනුවෙන් සහ කාන්තාවන් ආකර්ෂණයෙන් තොරව වහල් වෙළඳුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මුර්සි ගෝත්‍රික පිරිමින් විසින් මේ යටි තොල විද තැටියක් පැළඳවීමේ ක්‍රියාදාමය ආරම්භ කල බවයි. එහෙත් මේ මතය ගැනද මුර්සි ගෝත්‍රිකයින් කිසිම පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. 

 

කාන්තාවකගේ මුහුණේ මේ යටි තොල සිදුරු කිරීමේදී සහ ඊට පසුව ඇතිවන තුවාල වලදී වේදනාව සමනය කිරීමේ විශේෂ ආලේපනයක් මොවුන් සතුව ඇතැයි විශ්වාස කරනවා.  ඒ වගේම බොහෝ අවස්ථා වල කාන්තාවන් තම තොලේ මේ කොටස ඉදිරියට අදිමින් එය සම්බාහනයකට ලක් කරන අවස්ථාද තිබෙනවා.  මෙයි තොලට අමතර ශක්තියක් ලැබෙන බවත් ඔවුන් විශ්වාස කරනවා.  කාන්තාව යම් රාජකාරියක යෙදෙන විට ඉතා කුඩා දරුවන් මේ ආධාරයකින් තොරව මේ තොල් මත එල්ලී සිටින ආකාරය දැක ගන්නට පුළුවන්. 

එමෙන්ම කුඩා දරුවන් සහ පිරිමින්ද නොයෙකුත් ආභරණ පළඳිනවා. පිරිමින්ගේ පවා කන් විද නොයෙකුත් ආකර්ශනීය කරාබු පැළඳ තිබෙනවා මම දුටුවා. ආභරණ සහ කරාබු වලට බොහෝ විට ඔවුන් යොදා ගන්නේ ගවයන් ගේ අස්ථි, අං සහ හම්. විශේෂයන් පිරිමින් මියගිය පුද්ගලයින්ගේ නියපොතු වලින් සාදා ගත් මාල සහ කරාබුද පළඳිනවා. මේ සෑම ආභාරනයක්ම ඔවුන් සතියකට වරක් ගව තෙල් වලින් පිරිසිදු කර දිලිසෙන්නට මැද ගන්නවා. 

 

මුර්සි ගෝත්‍රිකයින් තවත් වර්ග 18කට පමණ බෙදී තිබෙනවා. මෙයිනුත් කොමොර්ටේ (Komorte), ජුහායි (Juhai) සහ ගරාකුලි (Garakuli) යනුවෙන් හඳුන්වන වර්ග විශේෂ ස්ථානයක් ගන්නවා. බොහෝ විට මේ වර්ග අතර විවාහ සම්බන්ධතා දක්නට ලැබෙන්නේ නැහැ. කාන්තාවන් විවාහ විය යුත්තේ තම වර්ගයේ පිරිමියෙකු සමග පමණයි.  

සෑම ගම්මානයකටම නායකයෙක් සිටිනවා. මොවුන් හඳුන්වන්නේ කොමොරෙනා යනුවෙන්. යාග, වත් පිළිවෙත සහ බොහෝ සම්ප්‍රදායයන් ගොඩ නැගී ඇත්තේ මේ කොමොරෙනා හරහා.  ගම්මානයේ වත්කමක් ඇති පුද්ගලයෙක් බොහෝ විට මේ තත්වයට පත් වෙනවා. මුර්සි ගෝත්‍රිකයින් ටුම්වී නමින් බලවේගයක් දෙවියන් වශයෙන් විශ්වාස කරනවා. ගම්මුන් විශ්වාස කරන්නේ මේ කොමොරෙනා හරහා ටුම්වී දෙවියන් සමග සම්බන්ධතා ඇති කර ගත හැකි බවයි. 

මුර්සි ගෝත්‍රිකයින් බොහෝ විට තම ශරීරය නොයෙකුත් වර්ණ වලින්, ගොම වලින් සහ මඩ වලින් සරසා ගන්නවා. මෙය බොහෝ විට කෙරෙන්නේ මුර්සි කාන්තාවන්ගේ ආකර්ෂණය ලබා ගන්නට. කාන්තාවක් නම් තම ස්වාමි පුරුෂයාගේ අවධානය දිනා ගන්නට.  ඒ වගේම පොලවේ පස් සහ මඩ වල රෝග නිවාරණය කරන ශක්තියක් සහ බලයක් ඇති බවට ඔවුන් විශ්වාස කරනවා. පැපොල වැනි රෝග වලදී බොහෝ විට මෙසේ මඩ සහ ගොම තම ශරීර වල ඔවුන් තවරා ගන්නවා. මේ නිසා තමයි බොහෝ සාම්ප්‍රදායික උත්සව වලට පෙරද ඔවුන් මෙසේ තම ශරීරයේ ආලේප කර ගන්නේ. 

 

ගම්මානයේ නායකයා සමග කතා බහකදී ඔහු පැවසුවේ ඔවුන් මරණය වෙනුවෙන් දෙවියන්ගේ සේවකයෝ වශයෙන් මෙලොව ඉපදී ඇති බවත් සුදු පාටින් පටි වශයෙන් ශරීරයේ වර්ණ ගැන්වීමෙන් එය සනාත කිරීමට උත්සාහ කරන බවත්ය. 

ඉතියෝපියාවේ බොහෝ ගෝත්‍රිකයින්ගේ මෙන්ම මුර්සි ගොත්රිකයින්ගේද හිසේ කෙස් ඇත්තේ අල්ප වශයෙන්. මේ හේතුව නිසාම තමයි බොහෝ ගෝත්‍රික කාන්තාවන් විලාසිතා හැටියට ගස් වල කොළ, වෙලුනු පලතුරු සහ මල්, ලෝහමය කොටස්, ගවයන්ගේ අස්ථි තම හිසේ පළඳින්නේ. 

මුර්සි ගෝත්‍රික කාන්තාවන් තම ශරීර මත නොයෙකුත් පච්ච වර්ග කොට ගැනීමට විශේෂ කැමැත්තක් දක්වනවා. මෙයත් මොවුන්ගේ ස්මප්‍රදායයක්.  මේ සඳහා ඔවුන් බොහෝ විට ක්‍රම දෙකක් භාවිතා කරනවා. ඔමෝ නිම්නයේ පස් වල සහ ජලයේ වෙසෙන කෘමීන් සහ පරපෝෂිතයන් සම සිදුරු කොට අවශ්‍ය ප්‍රමාන වලින් ශරීරය තුලට ඇතුල් කරනවා. ටික කාලයක් යන විට ඔවුන් ශරීරයේ සම තුල මිය ගියත් ඔවුන්ගේ සලකුණු මැකෙන්නේ නැහැ. මේ අනුව තමයි මේ කාන්තාවන් මෙසේ තම පපුවේ අත් වල මෙවැනි රටාවන් ඇති කර ගන්නේ. 

 

ඒ වගේම බොහෝ අවස්ථා වල මුර්සි වගේම සුර්මා ගෝත්‍රික කාන්තාවන් තියුණු ආයුධ වලින් හෝ බ්ලේඩ් තල මගින් සම කපා සිදුරු කරමින් මෙවැනි රටාවන් ශරීරයේ ඇති කර ගන්නවා. 

මේ ආකාරයට මෑතකදී කැපුම් තුවාල සිදු කරමින් ශරීරයේ සලකුණු ඇති කර ගත් කාන්තාවන් කිහිප දෙනෙක්ම මේ මාකි ගම්මානයේදී මා දුටුවා. ඔවුන් සියලු දෙනාම මඩ හෝ ගොම වලින් තම ශරීර ආවරණ කර ගෙනයි තිබුනේ. ඒ තුවාල ඉක්මනින් සුවවීම සඳහා.

ජායාරූප - dietmartemps.com

සම්ප්‍රදායයක් හැටියට මුර්සි ගෝත්‍රිකයින් ගව රුධිරය සහ කිරි මිශ්‍රව පානය කරනවා. මේ සඳහා තෝරා ගන්නා ගවයාගේ බෙල්ලේ ධමනියක් සිදුරු කිරීමෙන් අවශ්‍ය රුධිරය ලබා ගන්නවා. පසුව මැටි වලින් ගවයාගේ තුවාලය වසා දමනවා. 

මුර්සි ගෝත්‍රිකයින් ජීවත් වෙන්නේ අනිකුත් ගොත්රිකයින්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් හුදකලාව. ජින්කා නගරයේ සති අන්ත සෙනසුරාදා පොළ වෙත මුර්සි පුරුෂයින් වෙළඳාම සඳහා පැමිණියත් කාන්තාවන් පැමිණෙන්නේ නැහැ.  ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් කිසි විටෙකත් ලැබෙන්නේ නැහැ. ඉතියෝපියානු රජය සමහර අවස්ථා වලදී ජංගම සායනයන් රාජ්‍ය නොවන සංවිධාන සමග එකතු වී සංවිධානය කලත් මුර්සි ගෝත්‍රිකයින් ඒවාට පැමිණෙන්නේ නැහැ.  ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ පාරම්පරික ක්‍රම වේදනයන් ගැන පමණයි. 

 

මුර්සි ගෝත්‍රිකයින්ගේ සම්ප්‍රදායයන් ගැන ලොව නොයෙකුත් මත පල වෙමින් පවතිනවා.  සමහරුන් පවසන්නේ මොවුන් ගත කරන කටුක දුක්මුසු ජීවන රටාවන් වෙනස් කර මොවුන් යහ මගට ගැනීමට කටයුතු කල යුතු බවයි. තවත් සමහරුන් පවසන්නේ රජය මගින් දැඩි නීති රීති වනවා මෙවැනි සම්ප්‍රදායයන් වලට දැඩි දඬුවම් දිය යුතු බවයි. 

 

එසේම කාන්තාවන් පළඳින මේ තොල් තැටි සම්ප්‍රදායය ඉවත් කර ගන්නට මුර්සි කාන්තාවන් හට යම් ප්‍රමාණයක අධ්‍යාපනයක් ලබා දීමේ අවශ්‍යතාවය ගැනද අද අදහස් පහල වෙලා තිබෙනවා. 

 

ඒ කෙසේ වෙතත් මා නම් දකින්නේ ඔවුන්ගේ ලෝකයේ ඔවුනට බාධාවකින් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතු බවයි. මෙවැනි ගෝත්‍රිකයින් අද ලොව ඇත්තේ අතලොස්සක් පමණකි.  මා හට පෙනුණු පරිදි මේ ගෝත්‍රිකයින් බොහෝ දෙනා අනුනට හිරිහැරයක් නොවන අන්දමට  තමන්ගේ දේශ සීමාව තුල යම් ක්‍රම වේදයක් තුල ජීවත් වන බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ගේ විනය, ගම්මානයේ පිළිවෙත්, සම්ප්‍රදායයන් දැඩි ලෙස ගෝත්‍රයේ නීති රීති වලට ලක්වී තිබෙනවා. අද අපි ජීවත් වෙන ලෝකයේ ගණිකා වෘත්තීය, මුදලට මිනීමැරුම්, දේශපාලන පලි ගැනීම් ඔවුන් අතර දක්නට නැහැ. ඒ වගේම පරිසරයත් සමග නිරන්තරයෙන් සටන් වදින ස්වභාවික ආහාර වලින් යැපෙන මොවුන් මේ කටුක පරිසරයේ වඩා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් හැටියටයි මට නම් පෙනෙන්නේ.

 

මුර්සි ගෝත්‍රිකයින් ගෙන් සමු ගන්නට කාලය එළඹිලා.  ඉතියෝපියාවේ අගනුවර සිට කි.මී. 1000ක් පමණ දුර ගෙවා දින 4ක් තිස්සේ ඝන වනාන්තර ඔස්සේ පැමිණි මේ ගමනේ වෙහෙස මුර්සි ගෝත්‍රිකයින් සමග ගත කල ඒ දිනයේදී නැති වෙලා ගියා. ඉතියෝපියාවට යාමට පෙර මා සිතා සිටියේ මේ බොහෝ ගෝත්‍රිකයින් සංචාරකයින් සඳහා පමණක්ම මෙසේ පෙනී සිටින බවයි. නමුත් ඇත්තටම මොවුන් ගත කරන ජීවන රටාවත් ඒ ලෝකයත් සංචාරකයින් සඳහාම නොවේ. ඔවුන් සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ ලොවේ ජීවත් වෙනවා.

 

ඉදිරි වසර කිහිපය තුලදී මුර්සි ගෝත්‍රිකයින්ගේ ජීවන රටාවන් වල විශේෂ වෙනස්වීම් දකින්නට ලැබේවි. 1960 සහ 1970 වර්ෂ වලදී යුරෝපීය රටවල් වල සහයෝගයෙන් ජාතික වනෝද්‍යාන පිහිටුවීම නිසා මුර්සි ගෝත්‍රිකයින් මේ වනෝද්‍යාන තුලම තම ජීවන රටාවන් ගෙන ගියා. ඒ නිසා තමයි ඉතියෝපියාවේ සහ අප්‍රිකාවේ වඩාත් ප්‍රසිද්ධම සංචාරක ප්‍රදේශයක් ලෙස මේ ඔමෝ නිම්නය සංචාරකයින් අතර ප්‍රචලිත වුනේ.  තවත් වසර 15ක් 20ක් ඇතුලත ඉතියෝපියාව ලෝකයේ මධ්‍යම පන්තියේ ආදායම් ලබන ජනතාවක් වෙසෙන රටක් බවට පත් කිරීමේ අරමුණින් ඉතියෝපියානු රජය ඔමෝ නිම්නයේ දැවැන්ත වාරි මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට අදහස් කරනවා. බොහෝ දෙනෙකු දක්වන අදහස් වල අනුව මේ ව්‍යාපෘතිය නිසා අනාගතයේදී මුර්සි ගෝත්‍රිකයින් මෙන්ම ඔමෝ නිම්නයේ වෙසෙන බොහෝ ඉතියෝපියානු ගෝත්‍රිකයින් මේ භූමියෙන් වෙනත් ප්‍රදේශ වලට යන්නට, ඔවුන්ගේ ජීවන රටාවන් වෙනස් වන්නට හෝ නැතිවී යන්නට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් ඉතියෝපියාව තුල මේ පිළිබඳව ජන මතයක් දැනට ගොඩ නැගෙමින් පැවතීම සතුටට කරුණක්. 

රොහාන් ඩිරෙක්ස් 

Expedition to the Mursi Land

January 2016 

rohandx@hotmail.com

Niyamai Supiriyatama thibuna - Shehan Nethsara - a month ago

Thank you very much! - Ishara - 7 months ago

Good Job! - Shanaka - 7 months ago.

අපුරුයි එක හුස්මට කියවාගෙන ගියා. - sdr Wimalasiri - a year ago.

Very interesting article! - Danuka Yashan - a year ago.

Thanks a lot. - Ishara Wimalaweera - 3 years ago.

Wow Superb - Suraj - 3 years ago

DSC_0741.jpg