top of page
240124201_10226416593669694_1365756805197930316_n.jpg

Devil's Table
​ජර්මනියේ යක්ෂයාගේ ආසනය   

මේ අසාමාන්‍ය ස්ථානය පිහිටා තිබෙන්නේ ජර්මනියේ Pirmasens නගරයට ආසන්නව. මීටර් 14ක් උස ටොන් 300ක් බරැති මේ ස්වභාව ධර්මයේ නිර්මාණය ජර්මානුවන් හඳුන්වන්නේ යක්ෂයාගේ මේසය නමින්.

ජර්මනියේ පුදුමාකාර ස්වභාවික ස්ථාන අතරින් මේ යක්ෂයාගේ මේසයට හිමිවන්නේ 7 වන ස්ථානය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ජර්මනියේ මේ ප්‍රදේශය පාලනය වුනේ ප්‍රංශ හමුදාවන් විසින්. මේ ස්ථානය වෙනුවෙන් ජර්මනිය සහ ප්‍රංශය සමරු මුද්දර පවා නිකුත් කර තිබෙනවා.

ඉතිහාසයේ සඳහන් වන අන්දමට මේ ගල් පර්වතය මුදුනේ මීටර් 6ක් උසැති පයින් ගසක් වැවී තිබුනා. පසු කාලීනව නිකුත් කල සමරු මුද්දර වල පවා ඒ ගස දැක ගන්නට පුළුවන්. 1999 වසරේ ඒ ගස විනාශ වුනත් තවමත් ඒ පයින් ගසක් මේ ගල් පර්වතය මුදුනේ දැක ගන්නට පුළුවන්.

එක් රාත්‍රියක යක්ෂයෙකු මේ කැලෑවේ ඇවිදින විට දැනුනු මහන්සියක් සහ අධික කුසගින්නක් නිසා රාත්‍රිය ගත කිරීමට සුදුසු ස්ථානයක් සෙවීමේදී මේ ස්ථානය දැක තිබෙනවා. අසල තිබුණු විශාල ගල් පතුරක් සහ අනිකුත් විශාල ගල් කිහිපයක් උපයෝගී කරගෙන මේසයක් තනා ගත් මේ යක්ෂයා ආහාර රැගෙන පසුදා මේ ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා.

පසු දින මේ ස්ථානයට පැමිණි ඒ ප්‍රදේශයේ ජනතාව දුටුවේ ගලින් නිමැවුණු මේ අපුරු මේසය. යක්ෂයෙක් මේ ස්ථානයේ සිට ආහාර ගත් බවට කට කතා පැතිරෙන්නට ගත්තා. මේ බව ඇසු එක් එඩිතර තරුණයෙක් “මේක නම් මහා පුදුමයක්. විශ්වාශ කරන්නට අමාරුයි. මමත් උත්සාහ කරලා බලන්න ඕන මේ යක්ෂයා සමග මේ ස්ථානයේ මේ මේසයේ ආහාර ගන්නට“ යනුවෙන් සිතා එදින රාත්‍රියේ මේ පර්වතය වෙතට පිටත්වුනේ යක්ෂයා හමුවීමේ අරමුණින්. ඒ තමයි වැසියන් මේ එඩිතර තරුණයාව දුටු අවසන් දවස. ඒ නිසාලු මේ ස්ථානය යක්ෂයාගේ මේසය යනුවෙන් හඳුන්වන්නේ.

රොහාන් ඩිරෙක්ස් Rohan Direkz

සංචාරය කලේ 2021 අගෝස්තු 22 වැනිදා 

rohandx@hotmail.com

  • Facebook
  • Instagram
  • YouTube
Comments
කියවන්න
bottom of page