• Facebook Social Icon
  • YouTube Social  Icon

පන්ජාබයේ රන් දෙවොල ඉන්දියාවට විතරක් පොදු දේපලක් නොවෙයි කියලා මට හිතුනේ මගේ ඇස් දෙකෙන් රන් දෙවොල දැකපු දවසේ.

 

සික් ජාතිකයින්ගේ අති පුජනීය ස්ථානය වන රන් දෙවොල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අගනුවර වන අම්රිත්සාර් නගරයේ.  1574 දී තමයි මේ අම්රිත්සාර් නගරය බිහිවී තිබෙන්නේ. 4 වන සික් ගුරු රාම් දාස් තමයි මෙයට මුලිකත්වය ලබා දුන්නේ. නමුත් මේ රන් දෙවොල මුලින්ම බිහිවුනේ පස්වන ගුරු අර්ජාන්ගේ කාලයේ.

රන් දෙවොලට මා පැමිණි දිනයේ අති විශාල ජනතාවක් එය නැරඹීම සඳහා පැමිණ සිටියා.

 

රන් දෙවොලට ඇතුල් වීමේදී කාන්තාවන් මෙන්ම පිරිමින්ද හිස ආවරණය කර ගන්න ඕන. ඒ වගේම පාවහන් ගලවා රන් දෙවොල් භූමියට ඇතුල් වීම පිළියෙළ කර ඇත්තේ පටු දිය අගලක් හරහා. ඒ මතින් යන විට ඔබේ පාද පිරිසිදු වෙනවා ඇති.

ජායාරූප පුවත්   

Please reload

මෙසේ දෙවොල් භූමියට ඇතුල් වෙත්දී ඔබට රන් දෙවොල ප්‍රථම වරට දිස් වන්නේ චමත්කාර ජනක අන්දමට.  මේ රන් දෙවොල් සංකීර්ණය හඳුන්වන්නේ ගුරුද්වරා සංකීර්ණය නමින්. රන් දෙවොල කියන්නේ මේ සංකීර්ණයේ තිබෙන පුංචි දේවාලයක්. මෙය තනිකර රන් ආලේපිත පුංචි දේවාලයක්. ගුරුද්වරා සංකීර්ණයේ තිබෙන විශාල පොකුණේ  මැද තමයි මේ රන් දෙවොල ඉදි කර තිබෙන්නේ. මේ දෙවොලට යාම සඳහා මේ පොකුණ හරහා කිරි ගරුඬ වලින් සෑදු පාලමක්ද තනා තිබෙනවා. මේ පොකුණ හඳුන්වන්නේ අමරනීයත්වයේ ජලාශය වශයෙන්. මේ ජලාශයේ ජලය ශුද්ධවූ ජලය හැටියටයි සික් ජාතිකයින් සලකන්නේ.

සික් ජාතිකයින් විශ්වාශ කරන්නේ අවම වශයෙන් රත්තරන් කි.ග්‍රෑම් 750ක් පමණ වැය කර මේ රන් දෙවොලේ මුදුන් කොත සාදා ඇති බවයි.

 

සික් ජාතිකයින් මෙන්ම මේ ස්ථානයට පැමිණෙන අනිකුත් ජාතිකයින්ද  මේ අමරනීයත්වයේ ජලාශයේ ස්නානයේ යෙදෙනවා.  එයිනුත් ඔවුන් පෙන්වන්නේ රන් දෙවොලට ඇති භක්තිවන්තභාවයයි. ඒ වගේම මේ ජලාශයේ ස්නානයෙන් පසු ජලයෙන් පිටතට පැමිණෙන්නේ නැවුම් පුද්ගලයෙක් වශයෙන් බවත් විශ්වාසයක් පවතිනවා.

මේ රන් දෙවොලේ ගුරු ග්‍රන්ථා සහිබ් හෙවත් ශුද්ධවූ ග්‍රන්ථයක් ආරක්ෂා සහිතව තබා තිබෙනවා. මේ ශුද්ධවූ ග්‍රන්ථයේ තිබෙන්නේ 1469 වර්ෂයේ සිට 1708 වර්ෂ කාල වලදී රචනා කරන ලද සික් ආගමික ස්ලෝක වල එකතුවක්.

Please reload

මේ රන් දෙවොල මුලික කර ගෙන ඇතිවූ සටන් සම්බන්ධයෙන්ද විශේෂ ඉතිහාසයක් තිබෙනවා. ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ඝාතනය හා සම්බන්ධයෙන් රන් දෙවොල සම්බන්ධ වෙන්නේ මෙසේයි. ඉන්දියාවේ මුළු ජනගහනයෙන් සීක් ජාතිකයින් සිටින්නේ 2%ක් පමණයි.  නමුත් මේ සික්‌වරුන් සඳහා වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බව අන්තවාදී සුළුතරයකගේ බලගතු ඉල්ලීමක්‌ තිබුනා. කාලිස්‌ථාන් යන නමින් තමයි මේ රාජ්‍යය හැඳින්වූයේ. ආයුධ සන්නද්ධ වූ මෙම අන්තවාදීන්, ඔවුන්ගේ ශුද්ධ වූ ආගමික ස්‌ථානය වන රන් දෙවොල මූලස්‌ථානය කර ගෙන තමයි හැම විටකම සටන් කලේ.

 

එවකට ඉන්දියාවේ අගමැති ධුරය දරු ඉන්දිරා ගාන්ධි මැතිනියට මෙය මහත් හිස රදයක් වුනා. අවසානයේ ඉන්දිරා ගාන්ධි මැතිනිය රන් දෙවොලට ඉන්දීය යුද හමුදාව යවන්න තීරණය කළා.  රන් දෙවොල තුළ 1984 ජුනි 05-06 දින වල බිහිසුනු සටන් සිදුවුනා. මේ  සටනේදී සික්‌වරුන් 1000 ක්‌ පමණ ද, හමුදා භටයන් 100 ක්‌ පමණ ද මිය ගියා. සික් අන්තවාදී නායක ජර්නෙල් සිං බ්‍රින්දවාලේ ද ඒ අතර වුනා.  තම ශුද්ධ භූමිය වෙත හමුදා මැරයන් එවීමෙන් එය කෙළෙසීම, එමගින් සියලු සික්‌ ජාතිකයන්ට අපහාස කිරීම, සික්‌ ජාතිකයන් ගණනාවක්‌ ඝාතනය කිරීම ගැනත් ඔවුහු ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග තරහෙන් හිටියේ.  ඒ සඳහා ඉන්දිරාගෙන් පළිගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබුනා.

indiatoday.intoday.in, www.sikhmuseum.com,  www.dailymail.co.uk, www.divaina.com, www.silumina.lk , Kapoor Baldev/Sygma/Corbis

ගුර්ද්වරා සංකීර්ණයට ඇතුල් වන සෑම පුද්ගලයෙකුටම අනිවාර්යයෙන්ම පිළිගැන්වෙන ශුද්ධවූ ආහාරයක් තිබෙනවා. කර්හා ප්‍රශාද් නමින් මෙය හඳුන්වනවා. තිරිඟු පිටි, සීනි, බටර් සහ හල්වා මිශ්‍ර කොට මේ ආහාරය සාදා ගන්නවා. මෙය ප්‍රතික්ෂේප කිරීම නුසුදුසු බවයි පැවසෙන්නේ.  සෑම පුද්ගලයෙකුට එකම ප්‍රමාණයෙන් මේ කර්හා ප්‍රශාද් නිකුත් කරනවා. සීක් සම්ප්‍රදාය අනුව එය අත් දෙකෙන්ම පිළිගත යුතුයි. කර්හා ප්‍රශාද් පිළියෙළ කර ගන්නා ආකාරය පිළිබඳව කෙටි වීඩියෝවක් පහලින් නරඹන්න පුළුවන්. 

සීක් ආගම එතරම පැරණි ආගමක් හැටියට හඳුන්වන්නට බැහැ. 1469 සිට 1539 දක්‌වා ජීවත් වූ ගුරු නානක්‌ තුමා තමයි සීක්‌ ආගමේ පීතෘවරයා වන්නේ. ඒ වගේම ඔහු සහ දස දෙනෙකුගෙන් සමන්විත සීක් ගුරු පරම්පරාවක මූලිකයාත් ඔහුයි.  ගුරු නානක්‌ තුමා කුඩා කාලයේ සිටම දිව්‍යමය ගති ලක්‍ෂණ පහළ කළබව සීක් ජාතීන් විශ්වාස කරනවා. මේ හේතුව නිසා ඔහුව දේවත්වයෙන් පුද ලැබුවා.  දෙවියන්ගේ පණිවුඩය ඔහුගේ ප්‍රජාව වෙත ගෙනා දූතයා ලෙස ඒ ප්‍රජාව සැලකුවා. 

සීක් ආගමේ දිවි ගෙවිය යුතු ක්‍රමය  ගුරු නානක් තුමා හදුන්වල දී තිබෙනවා. දුප්පතුන්ට හා අසරණයින්ට උදව් කරමින් තමන් සතු සම්පත් බෙදා හදා ගැනීම, මිනිසුන් සූරා නොකා වංචාවෙන් තොරව ධනය උපයමින් ජීවත් වීම සහ දෙවියන්ගේ නම නිතර ජප කිරීම යන ප්‍රතිපත්තීන් නිරන්තරයෙන් අනුගමනය කල යුතු බව සීක් ආගමේ ගුරු නානක් තුමා පැහැදිලි කර තිබෙනවා.

මේ රන් දෙවොලට පැමිණෙන්නේ සීක් ජාතිකයින් පමණක්ම නොවේ. අනිකුත් ඉන්දීය ජාතීන්ට අමතර ලොව නොයෙක් රටවල් වලීන් සීක් ආගම අදහන සහ එයට ගරු කරන පුදගලයින් රන් දෙවොලට පැමිණෙනවා. ඒ වගේම ඇති විශාල සංචාරකයින් පිරිසක්ද දිනපතා මේ රන් දෙවොලට පැමිණෙනවා.

මේ රන් දෙවොලේ ඇති අනිකුත් වැදගත්කම වන්නේ එහි ඇති භෝජනාගාරයයි.  මෙය ඇත්තටම ලොව ඇති විශාලතම නොමිලේ ආහාර සපයන භෝජනාගාරය ලෙස හඳුන්වන්න පුළුවන්.  දිනකට පුද්ගලයින් ලක්ෂයකට වඩා මේ භොජනාගාරයෙන් ආහාර ලබා ගන්නවා. නිවාඩු දිනවල මේ සංඛයාව දෙගුණ වෙන බවයි පැවසෙන්නේ. මෙය කිසිම් විටෙක වසා නැහැ. දිවා රාත්‍රී දෙකම විවෘතව පවතිනවා. දිනයේ ඕනෑම වෙලාවක ඕනෑම පුද්ගලයෙකුට මේ භොජනාගාරයෙන් නොමිලේ ආහාර ලබා ගන්නට පුළුවන්. මේ රන් දෙවොලට දැන් අවුරුදු 450ක් පමණ වෙනවා. හැබැයි ඒ එකම දිනෙක වත් මේ භෝජනාගාරය වසා තිබී නැහැ.

 

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ ආහාර පිළියෙළ කරන්නේ සහ පිරිසිදු කිරීමේ වගකීම භාරව ඉන්නේ ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වෙන පිරිස්.  බැංකු කළමනාකරුවන්, ගුරුවරුන්, දොස්තරවරුන් වගේම කම්කරුවන්ද එකට සහභාගී වී තම ස්වේච්ජා සේවය මේ රන් දෙවොලේ භෝජනාගාරයට ලබා දෙනවා. ජීවිතයේ කිසිම දිනෙක මා මෙවැනි ස්ථානයක් දැක නැහැ. සීක් ආගමේ විශේෂත්වය වන සමානාත්මතාවය සහ ජාතීන් හට දක්වන ගෞරවය මෙයින් හොඳට පැහැදිලි වෙනවා.

පැමිණ සිටි අනිකුත් පිරිස් සමග මමත් මේ ආහාර වේලක රස බැලුවා. ඒ අත්දැකීම ඇත්තෙන්ම විශිෂ්ටයි. අති විශාල සාලාවක බිම වාඩි වෙලා තමයි කෑම කන්නට තිබුනේ. ස්වේච්ජාවෙන් සේවයේ යෙදෙන පුද්ගලයින් වාඩි වී සිටින පිරිස් හට කෑම බෙදීම සිදු කරනවා. බත්, එළවලු සහ පරිප්පු වලින් සෑදු සුප් සමග චපාති මේ අතර තිබුනා. සෑම විනාඩි 15කටම වරක් පුද්ගලයින් 250කට පමණ මේ ආකාරයට නොමිලේ සංග්‍රාහ කරනවා. 

ලොව නොයෙක් ජාතීන් සහ නොයෙක් රැකියා වල යෙදෙන පුද්ගලයින් එකම විදිහට බිම වාඩිවී ආහාර ගන්නා ආකාරය ඇත්තෙන්ම  සුන්දරයි. ඒ වගේම ආහාරයෙන් පසු ඒ පිඟන් පිරිසිදු කිරීම සිදු වෙන්නෙත් ස්වේච්ජා සේවකයින් විසින්.  

 

මගේ මේ ජායාරුප වලින් මම හිතන්නේ නැහැ මට පුළුවන් වේවි කියල ඔබට ලබා දෙන්න ඒ රන් දෙවොලේ අසිරිය සහ එහි වාතාවරණය. ඔබ ඇත්තටම ඔබේ ඇසින් රන් දෙවොල නැරඹිය යුතුයි.

 

අපි ඉන්දියාව දකින්නේ ලෝක සංස්කෘතික උරුමයක් වන ටජ් මහල ඇති රට වශයෙන්.   ඒත් මේ පන්ජාබයේ රන් දෙවොලත් ඉන්දියාවේ මෙන්ම ලෝකයේම සංස්කෘතික උරුමයක් ලෙස සලකන්න පුළුවන්.

 

ජීවිතයේ කවදා හෝ දිනෙක ඉන්දියාවට යන්නට ලැබුනොත් මේ රන් දෙවොලට             පිවිසෙන්නට අමතක කරන්න එපා. එය ඔබට අමතක නොවන අත්දැකීමක් වේවි. 

 

රොහාන් ඩිරෙක්ස් Rokhan Direkz

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර  ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට  උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...

Please reload