• Facebook - Black Circle
  • YouTube - Black Circle

Jordan: Trip of a Lifetime

1812 වර්ෂයේදී ස්විස් ජාතික ජුආන් ලුඩ්විග් ජෝර්දානයේ ගවේෂණ සංචාරයක යෙදුනා. ඔහුගේ මඟ පෙන්වන්නා ඔහුට පැවසුයේ ජෝර්දානයේ එක් ප්‍රදේශයක තිබෙන ගල් පර්වතයක දෙවියෙක් වැඩ වාසය කරන බවත් සමහර මිනිසුන් ඒ දෙවියන් වැඳ පුදා ගැනීම සඳහා ඒ පර්වතයට යන බවත්ය. මේ කාරණය ඔස්සේ ගිය ලුඩ්විග් ට පුළුවන් වුනා ජෝර්දානු කාන්තාරයේ දුවිලි වැලි වලින් වැසී තිබුණ නගරයක් සොයා ගන්න. මුළු ලෝකයටම් නොපෙනුණු සැඟවී තිබුණු පෙට්‍රා නගරය එදා සිට ගවේෂකයන් ගේ මෙන්ම සංචාරකයින්ගේද අවධානයට යොමු වුනා.  

 

දුහුවිලි සහ වැලි වලින් වැසී තිබෙන ජෝර්දානු කාන්තාරයේ අතීත නටඹුන් අතරින් “පෙට්‍රා ” (petra)නගරය හමුවෙනවා.  ඇත්තටම පෙට්‍රා කියන්නේ ජෝර්දානයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන තැනක්.

 

ලොව කොතරම් රමණීය දර්ශන දැක්කත්  පෙට්‍රා නගරය නුදුටු දෑස් නම් කුමකටද ? මේ තරම් ලස්සන විශිෂ්ට ලෙස කැටයම් කලාව ගල් පවුරු මත නිර්මාණය කරන්නට එදා කළා කරුවන්ට මේ හැකියාවන් ලැබුනේ කෙසේද ! අදහා ගන්නටත් පුදුමයි !

 

රතු මුහුද සහ මල මුහුද අතර තමයි මේ පැරණි පෙට්‍රා නගරය පිහිටා තිබෙන්නේ. පෙට්රා කියන තේරුම පාෂාණමය යන්නයි. ඒක  ග්‍රීක භාෂාවෙන් ආපු එකක්. පුරාන ජනවර්ගයක් වන Nabataeans ජනයාගේ අගනුවර ලෙසත් එදා පෙට්රා නගරය සැලකුණා. ස්වාභාවිකව ලද පාෂාණමය දායාදයන් උපයෝගී කර ගෙන එදා Nabataeans ජනයා කල මේ නිර්මාණය 2007 දී ලොව පුදුම හතෙන් එක්ක බවට පත් වුනා.

 

ඇත්තටම මේ ස්ථානය හරහා තමයි  එදා වෙළඳාමේ ප්‍රධාන අංගයක් වූ තවලම් වල ප්‍රධාන මාර්ග වැටී තිබුනේ. මේ හරහා තමයි බටහිර ගාසා දෙසට, ‍‍බොස්රා ප්‍රදේශයට හා  දමස්කස් දෙසට හා වැදගත් නගර රැසක් දෙසට මාර්ග වැටී තිබෙන්නේ.

 

මාගේ මිත්‍ර ජෝර්දානු ජාතික හසාන් සමග මා හිමිදිරි උදැසන හයට පමණ පෙට්‍රා නගරයේ ප්‍රධාන ගේට්ට්ටුව වෙත ලඟා වුනේ දහසක් බලාපොරොත්තු ඇතිව.  පෙට්‍රා නගරයේ දහවල් කාලයේදී පවතින අධික රස්නය සහ හිරු එලිය මඟ හරවා ගෙන නගරය නරඹන්නට මෙය කදිම අවස්ථාවක් වෙනවා වගේම සංචාරකයින්ගෙන් තරමක් දුරට මිදී හෝ ජායාරුප ලබා ගැනීමේ අවස්ථාවත් මෙයින් ලැබෙනවා.

එහෙත් ඒ වන විටත් අවම වශයෙන් සංචාරකයින් 100ක් පමණ ප්‍රධාන ගේට්ටුව අසල රැදී සිටියා. ඇතුල්වීමේ ගාස්තුව ඩොලර් 50ක් වෙනවා.

ඉතිහාසයේ සඳහන් වෙන පරිදි ක්‍රි.පූ. 312 දී පමණ, අරාබි ගෝත‍්‍රයකට අයත් වූ “නැබටියන්වරු” මේ ප්‍රදේශ අවට ජනාවාස පිහිටුවා ගත්තා. පසුව ඔවුන් පෙට‍්‍රා නගරය ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළා. මුලින් සඳහන් කළා වගේ ප්‍රධාන තවලම් මාර්ග පෙට්‍රා හරහා වැටී තිබුණු නිසාත් මෙය ක්ෂේම භූමියක් ලෙස ප්‍රසිද්ධව තිබු නිසාත් ආදායම් මාර්ගයක් වශයෙන් බදු අය කර ගන්නට පෙට්‍රා නගර පාලකයෝ තීරණය කර තිබුනා.  මේ නිසාද පෙට්‍රා නගරයට් විශාල ආදායමක් එකල ලැබුනා. පෙට්‍රා නගරය ඒ තරම් දියුණුවට පත් වීමට එක් හේතුවක්ද එය වුනා.

 

මේ ප්‍රදේශයට වර්ෂාව නම් ලැබුනේ ඉතා අල්ප ප්‍රමාණයක්. නමුත් එහි වැසියන්ට පුළුවන් වුනා ඒ ලැබෙන අවම ජල ප්‍රමාණය කළමනාකරණය කරලා අරපිරිමැස්මෙන් භාවිතා කරන්න. මේ නිසා මේ පෙට්‍රා නගරයේ විශේෂ ජල ප්‍රවාහන පද්ධතියක් පවා තිබුනා කියලා පුරා විද්‍යා සාක්ෂි ලැබී තිබෙනවා.

ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වූ අපි සුදු වැලි මතුපිටින් සෙමින් ගමන ආරම්භ කළා. මේ පිවිසුම් මඟ දෙපස ඇත්තේ අවම වශයෙන් මීටර 200ක් පමණ උස පාෂාණ කඳු වැටී. ජෝර්දානයේ එය හඳුන්වන්නේ siq  නැත්නම් ඉංග්‍රීසියෙන් The Shaft නමින්.  මේ පාෂාණ කඳු වැටී විටෙක රෝස පාටයි. තවත් විටෙක සුදු පාටයි. අතරින් පතරින් ඉර එලිය මාවත් දෙසට වැටෙනවා. මගේ වාසනාවකට මෙන් දක්නට ලැබුනේ සංචාරකයින් කිහිප දෙනෙක් පමණයි.  අපි යන මාවත කි.මී. 2ක් පමණ දිග වුනා. මාර්ගයේ අලංකාරය නිසා කිසිම වෙහෙසක් නැතිව අපිට ගමන් කරන්න පුළුවන් වුනා.  සමහර තැන් වල මේ මාවතේ පළල මීටර 3ක් පමණ වෙනවා.

 

මේ මාවත siq ප්‍රවේශය ඇත්තටම ඔවුන් මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ මා අර මුලින් සඳහන් කල ජල ප්‍රවාහන පද්ධතියෙන් ජලය නගරයට ගෙන එම සඳහා කානු පද්ධතියක් ලෙස. ඇත්තෙන්ම මේ Nabataeans ගේ තාක්ෂණික දැනුම් සම්භාරය ගැන අද සිටින ඉංජිනේරුවන් පවා විශ්මයට පත් වෙනවා.

ජායාරූප පුවත්   

Please reload

මාවතේ අවසානයට පැමිණුනු අපි දුටු දර්ශනය කවදාකවත් අමතක වෙන්නේ නැහැ. දෙපස සුදු පැහැති කඳු වැටී වලින් සමන්විත මාර්ගය විවෘත වුයේ  සුර්යාලෝකය වැටී රෝස පැහැයෙන් දිදුලන මීටර 250ක් පමණ උස ඇති විශාල ගල් පර්වතයක කැටයම් කල Treasure (The Kazneh) නමින් හැඳින්වෙන සොහොනටයි. මගේ මිත්‍ර හසාන් පවසන්නේ මේ සොහොනේ ඉහල කොටසේ පාරෝවරුන් තම ධනය ගබඩා කර තිබු බවත් බෙඩුයින් ගෝත්‍රිකයින් ඒවා සොයා ගැනීම සඳහා මේ සොහොනේ සමහර කොටස් බිඳ දමා ඇති බවත්ය. ඒ වගේම වෙඩි උණ්ඩ වලින් සෑදුනු සිදුරු අති විශාල ගණනාවක්ද මේ Treasure සොහොනේ දක්නට ලැබෙනවා. ඒවාත් මේ බෙඩුයින් ගෝත්‍රිකයින් විසින් මෙහි සඟවා ඇතැයි කියන ධනය සොයා ගන්නට වෑයම් කිරීමේදී කල විනාශකාරී ක්‍රියා දාමයන් වල ප්‍රතිපලයන්.

අපි දැන් පැමිණ සිටින Treasure සොහොන් කොත තමයි ඊජිප්තුවේ පිරමීඩ හැරුණු විට ලෝකයේ වැඩිම ප්‍රමාණයක් සංචාරකයින්ගේ ජායාරුප වලට හසු වෙලා තියෙන්නේ.

 

සොහොන්කොත පසුකල අපි තවත් ඉදිරියට ගමන් කළා. ඇත්තටම පෙට්‍රා කියන්නේ නටබුන් ගොඩනැගිලි සංකීර්ණයක්. අදටත් අති විශාල පිරිසක් මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා ගවේෂණ වල යෙදෙනවා. සමහර කොටස් සංචාරකයින්ට බැලීම සඳහා වසා ඇති අන්දමත් අපි දුටුවා. මා මිත්‍ර හසාන් පැවසුයේ ඒ ස්ථාන වල ගවේෂණ කටයුතු වලට පහසුවීමක් වශයෙන් සංචාරකයින් සඳහා වසා ඇති බවයි.

ජෝර්දාන් පොලීසිය බෙඩුයින් ජාතිකයින්ගේ සහාය ඇතිව මෙහි ආරක්ෂක සේවාවක් පවත්වා ගෙන යනවා. මේ පෙට්‍රා නගරයේ වාහන ගමන් කිරීම සම්පුර්ණයෙන්ම තහනම්. සංචාරකයින් ප්‍රවාහනය සඳහා භාවිතා කරන්නේ ඔටුවන් සහ අශ්ව කරත්ත. හැබැයි ජෝර්දානු පොලිසියී වාහන කිහිපයක් ගල් කණු අතර සොහොන්කොත්  ගරාජ ආකාරයට පාවිච්චි කරමින් නවතා තිබෙනවා මා දුටුවා.

මාගේ ඊළඟ අභිප්‍රාය වුනේ The Monastery නමින් හැඳින්වෙන ඉතා පැරණි පාෂාණමය ගොඩනැගිල්ල නැරඹීමට යාම. මේ සඳහා අපිට පැයක් පමණ කාලයක් ගල් කඳු වැටියේ නගින්නට සිදු වුනා.  අමාරු එහෙත් නැගිය හැකි පඩි 822 කින් නිම කර ඇති ගල් කඳු වැටී අතරින් තිබෙන මාවත ඔස්සේ පියමන් කල අපි අවසානයේදී The Monastery සොහොන් කොත වෙත ලඟා වුනා.  මෙයත් ඇත්තටම අපි මුලින් දුටුවා Treasure වගේම දැවැන්ත ගලේ කෙටු ගොඩනැගිල්ලක්.

මේ දර්ශනයත් ඇත්තෙන්ම අලංකාරයි. පෙට්‍රා සංකීර්ණයේ මිනිසෙකුට යා හැකි ඇති ඉහලම ස්ථානය මෙයයි. ඉහලම ස්ථානයට නැගුන මා හට හසාන්  කියන්නේ පහල ඇති විශාලව පෙනෙන නිම්නයට ඈතින් පෙනෙන්නේ ඊශ්‍රායල භුමිය බවයි. 

 

මේ ඉහලම ස්ථානයේ මුදුනේ ලෙල දෙන්නේ ජෝර්දාන ජාතික කොඩියයි. ඒ වගේම එහි එක් කුඩාරමක් දක්නට ලැබෙනවා. හසාන් ඒ කුඩාරමේ සිටින බෙඩුයින් ජාතිකයාට මාව හඳුන්වා දුන්නා. මේ බෙඩුයින් ජාතිකයා දැනට වසර ගණනාවක් මේ ස්ථානයේ පදිංචි වී සිටිනවා. ඔහු කිවූ පරිදි මාස ගණනාවකින් වත් ඔහු මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශයකට ගොස් නැහැ.  

තවත් පැයක පමණ ගමනකින් පසු අපි නැවත පෙට්‍රා නගර මධ්‍යයට පිවිසුනා. ඒ කාලයේ පෙට්‍රාවේ මහා වීදිය නමින් හඳුන්වපු පෙදෙසකට අපි පිවිසුනා. අපේ අනුරාධපුර පොළොන්නරු යුගයට අයත් නටබුන් ආකාරයෙන් මේ මහා වීදියේ ඉදි කර තිබු දැවැන්ත ගොඩනැගිලි වල නටබුන් ඇත්තෙන්ම විශ්මයජනකයි.

 

පෙට්‍රා නගරයේ උණුසුම ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ වගේම දරා ගත නොහැකි අවු රශ්මියක්ද තිබෙනවා.

 

හැබැයි ඇයි මෙතරම් දියුණුව තිබු නගරයක් අලංකාරව තිබු නගරයක් අවසානය්දී මේ තත්වයට පත් වුනේ.  කි.ව. 106 දී  පමණ මේ පෙට්‍රා නගරයේ පාලනය රෝම ජාතිකයින් අතට පත් වුනා. රෝම ජාතිකයින්ට නාවුක හමුදාවක් පවා තිබුනා. මේ හේතුව නිසා තවලම් වලින් භාණ්ඩ ප්‍රවාහනය ගැන අවධානය යොමු වුනේ අල්ප වශයෙන්.  ඒ හේතුව නිසා පෙට්‍රාවට තවලම් පැමිණීම කෙමෙන් කෙමෙන් අඩු වුනා. ඒ නිසා බදු  ලැබීමද සීග්‍රයෙන් පහල බැස්සා.  ඒ සියල්ලටම වඩා දැනට විශ්වාස කරන්නේ ඒ කාලයේ ඇතිවූ භයානක් භුමි කම්පාවක් නිසා මුළු පෙට්‍රා නගරය සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වූ බවයි.

 

The Monastery සොහොන් කොත මුදුනේදී අපිට හමු වූ බෙඩුයින් ජාතිකයා පැවසුයේ පොලව මට්ටමේ සිට මීටර 200ක් පමණ උසට ඇති මේ පාෂාණමය කඳු වැටී අපිට පෙනෙන්නේ හරි අඩක් බවත්, අඩුම වශයෙන් තවත් මීටර 200ක් වත් පොලව මට්ටමේ සිට පහලට එය විහිදී ඇති බවත්ය. ඇතිවූ භුමි කම්පාවේ ප්‍රතිපලයක් වශයෙන් හරි අඩක් පමණ වැලි සහ පස් වලින් දැනට වැසී ඇති බවත්ය.  හැබැයි එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ජෝර්දානු සහ ජාත්‍යන්තර ගවේශකයින් විසින් කරනු ලබන පරීක්ෂණ තවමත් දිනපතා මේ පෙට්‍රා භුමියේ පැවැත්වෙනවා. අනාගතයේ යම් දිනෙක තවත් අපුරු ඉතිහාස තොරතුරු රැසක් අපිට මේ පෙට්‍රා භූමියෙන් හමු වේවි.

 

පෙට්‍රා නගරය නැරඹු මට මා දුටු දර්ශනයන් කවරදාකවත් අමතක වෙන්නේ නැහැ.  මේ නටබුන් ඒ වගේම දුවිලි වලින් වැසුනු නගරය මෙතරම් අලංකාර නම් එදා ඇත්තටම මේ නගර කොතරම් අලංකාරව තිබෙන්නට ඇත්ද ?  ඒ නිසා තමයි BBC ආයතනය මේ පෙට්රාව හඳුන්වන්නේ මිය යන්නට පෙර ඔබ විසින් දැකිය යුතු ස්ථාන 40න් එකක් හැටියට.

 

ජෝර්දානුවන් ආඩම්භරයෙන් කතා කරන මේ පෙට්‍රා හෙවත් රෝස නගරය මා හැර යන්නේ ලැබූ අසීමිත සුන්දරත්වය සහ අලංකාර දර්ශනත් නිසා ඇතිවූ මතකයන් සමග. ඒ මතකයන් මගේ සිත තුල සදා කල් පවතීවි. ඒ ආශ්වාදය මේ ජායාරුප මගින් සම්පුර්ණයෙන්ම පෙන්විය නොහැකි වුනත් යම් තාක් හෝ ඒ අසිරිය සහ පෙට්‍රා නගරය ගැන ඔබට පවසන්නට ගත් උත්සාහයක් තමයි මේ.

 

 

  • පෙට්‍රා නගරය නැරඹීමට ඔබ යන්නේ නම්  ඒ ආසන්නව ඇති වාඩි රම් නිම්නය නැරඹීමට යාමටද අමතක නොකරන්න. මාගේ වාඩි රම් නිම්නයේ සංචාර විස්තර මේ ස්ථානයෙන් ලබා ගන්න. 

රොහාන් ඩිරෙක්ස් 

info@sanchara.lk