• Facebook Social Icon
  • YouTube Social  Icon

අප්‍රිකානු රටවල් වල සංචාරය ඇත්තෙන්ම මිල කල නොහැකි අත්දැකීම් ලබා දෙන්නකි. අප්‍රිකාව ගැන කිවූ පමණින්ම අප සිත තුලට නැගෙන්නේ දිළිඳු එමෙන්ම සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව නොමැති රාජ්‍යයන් ඇති කලාපයක් හැටියටය. එහෙත් මේ අප්‍රිකානු රටවල් සංචාරකයින්ට අමතක නොවන ආශ්වාදයක් ලබා දෙන එමෙන්ම චමත්කාරජනක ස්වාභාවික පරිසරයන්ගෙන් සමන්විත රාජ්‍යයන් බවත් ඔබ දන්නවාද.  අප්‍රිකානු සංචාර වල මතක සටහන් මුළු ජීවිත කාලය පුරාවටම ඔබ මතකයෙහි රැදී තිබෙනු ඇත. 

 

නමුත් අප්‍රිකානු සංචාරයක් සංවිධානය කර ගැනීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ලන්ඩන්, පැරිස් හෝ සිංගප්පුරු වට යන්නට ඔබ කැමති වුනත් නයිරෝබි, හරාරේ හෝ කිගාලි වලට යාමට ඇත්නම් ඔබ දෙවතාවක් සිතා බලනු ඇත.  එයට හේතුව මා ඉහත සඳහන් කල පරිදි අප්‍රිකානු කලාපය ගැන අප තුල පවතින අල්ප දැනුම නිසාය.  අප්‍රිකාවේ සංචාරයකට යාම ගැන මගේ තීරණය දැනගත් මගේ මිත්‍රයින් මට ලබා දුන්නේ අලස ප්‍රතිචාරයකි.  මා යන්නේ කුමන රටවල්වලටද යන්න සඳහන් කල විට ඔවුන් තැති ගැනිණි. කෙන්යාව, උගන්ඩාව, රුවන්ඩාව, කොංගෝ රාජ්‍යය, බුරුන්ඩි සහ ටැන්සානියාව ඒ රටවල් විය. 

 

සෑම වසරකම විදේශ සංචාරකයින් දස දහස් ගණනක් අප්‍රිකාවට පැමිණෙති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තුල කැමැත්තක් ඇත්තේ අප්‍රිකානු සෆාරි සහ මුහුදු වෙරළවල් වලටය.  එහෙත් මගේ අදහස නම් ඊට හාත්පසින්ම වෙනස්ය. සෑම සංචාරකයෙකුම සොයනා සිංහයන්, දිවියන්, අලි ඇතුන්, සහ රයිනෝසිරස් දැක ගැනීමට වඩා මගේ අවධානය යෙදී ඇත්තේ අප්‍රිකානු නගර වල සංචාරය කිරීමත් ඒ තුලින් අප්‍රිකානු ජනතාව, ඔවුන්ගේ සංස්කෘතිය හා ඔවුන්ගේ ජීවන රටාවන් දන ඇඳින ගැනීමත්ය. 

 

එහෙත් සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේදී ආරම්භයේ සිටම මට නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවිය. පළමුවන බාධකය නම් අවශ්‍ය විස්තර සොයා ගැනීමට ඇති අපහසුතාවයයි. අන්තර් ජාලයේ පවා සමහර මාර්ග නවාතැන් පොළවල් සහ ආරක්ෂක තත්වයන් ගැන පැහැදිලි සඳහනක් නැත. අප්‍රිකාවේ සංචාරය කල පුද්ගලයෙකු හෝ එහි ජීවත් වන පුද්ගලයෙකු සමග සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගත හැකි බව මට සිතුනි.   

 

අවසානයේ අන්තර් ජාලයෙන් දැන හැඳින ගත් කුඩා ප්‍රමාණයේ සංචාරක ව්‍යාපාරයක් හිමි රුවන්ඩාවේ ජීවත් වන එහෙත් කෙන්යානු ජාතික කාන්තාවක් වන බාරකා මහත්මිය මේ සංචාරයේදී මා හට අවශ්‍ය පහසුකම් සපයන්නට පොරොන්දු වුවාය.  සංචාරයට පෙර මාස 5ක් පමණ කාලයක් ඇය සමග තොරතුරු හුවමාරු කර ගැනීමෙන් පසු දෙසැම්බර් මාසයේ 31 දින උදෑසන මාගේ නැගෙනහිර අප්‍රිකානු සංචාරයේ මුල්ම රට වශයෙන් කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයේ ජෝමෝ කෙන්යාටා අන්තර් ජාතික ගුවන් තොටුපල වෙතට ලඟා විය. 

 

මා විසින් පිළියෙළ කරන ලද ගමන් මාර්ගය පිහිටා ඇත්තේ අප්‍රිකාවේ විශාලතම විල වන වික්ටෝරියා විල හා සම්බන්ධවයි. එනම් කෙන්යාවේ නයිරෝබි නුවර සිට උගන්ඩාවේ කම්පාලා නගරයටත් එහි සිට රුවන්ඩාවේ කිගාලි සහ ගිසේන්යි නගර වලටත් පසුව කොංගෝ, බුරුන්ඩි සහ අවසානයේදී ටැන්සානියාව හරහා නැවත නයිරෝබි නුවරට ලඟා වීමයි.  මේ සඳහා දින 11ක් ගත වෙන අතර මෙය අවම වශයෙන් කි.මී. 4000ක අධික දුරකි. අප්‍රිකානු පාරවල් වෙනුවෙන් අවශ්‍ය ජීප් රථයක්ද ඇය විසින් පිළියෙළ කර තිබුණි.  

 

පොරොන්දු වූ පරිදි ගුවන් තොටුපලට බාරකා පැමිණ ඇත.  එළඹෙන නව වර්ෂය සැමරීමට කෙන්යානු ජනතාව රංචු පිටින් නයිරෝබි නගර වෙත ඇදෙනු පෙනේ.  අධික රථ වාහන තදබදය නිසා අවම වශයෙන් පැය 3ක පමණ කාලයක් නයිරෝබි නගරවෙත යාමට අපට ගත විය. අප්‍රිකානු රටවල සංචාරයේදී ඉතා අවශ්‍යය සාධකයක් වන පිරිසිදු බොන ජලය සහ වියලි ආහාර අවශ්‍ය තරම් ජීප් රථයට පටවා ගත් මම පළමුවෙන්ම නයිරෝබි නගර මධ්‍යයේ පිහිටා ඇති උසම ගොඩනැගිල්ල වන කෙන්යාටා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල නැරඹීමට අදහස් කලෙමි.  මහල් 28කින් සමන්විත මේ ගොඩනැගිල්ලේ උස මීටර් 105කි. මෙහි මුදුනේ අංශක 360 ක් කැරකෙන මුළු නයිරෝබි නගරයම අලංකාරව දර්ශනය වන අවන්හලක් සහ දර්ශන වේදිකාවක් පිහිටා ඇත. 

කෙන්යාවේ බෝමාස් නැටුම් සංදර්ශන සහ පාරම්පරික ගෝත්‍රික ගම්මානය - කෙන්යාවේ ස්වාහිලි භාෂාවෙන් බෝමාස් යනුවෙන් හැඳින්වෙන්නේ මාලිගය යන්නයි. කෙන්යාවේ ගෝත්‍රික වර්ග 42ක පාරම්පරික් ගෙවල් ඒ ඒ ගෝත්‍රවල ගෘහ නිර්මාණ ශිල්ප වලට අනුකුලව සංචාරකයින්ගේ නැරඹීම සඳහා මේ ස්ථානයේ ඉදි කර ඇත. ඊට අමතරව සාම්ප්‍රදායනුකුලාව ඉදි කර ඇති විශේෂ රඟහලක එක් එක් ගෝත්‍රික වර්ගයන්ගේ නැටුම් ඇතුලත් විශේෂ සංදර්ශනයක්ද දිනපතා පැවැත්වේ.  පැයක පමණ කාලයක් දිවෙන මේ සංදර්ශනයේ ඇතුලත් සාම්බුරු සහ මසායි වරුන්ගේ යුධ නැටුම් ඇත්තෙන්ම චමත්කාරජනකය. සාම්බුරු ගෝත්‍රිකයින් ජීවත් වෙන්නේ කෙන්යාවේ උතුරු කොටසෙයි. මීට වසර 500කට පමණ පෙර කෙන්යාවට පැමිණුනු මේ ගෝත්‍රිකයින් සෑම සුමාන 5-6කට වතාවක්ම තම ජීවත් වන ප්‍රදේශ වෙනස් කරති. ඒ ඔවුන් සමග ජීවත් වන ගවයින්ට අවශ්‍ය ආහාර ලබා දීමටය. තවමත් මේ ගෝත්‍රිකයින්ගේ ජීවන රටාව මේ ගවයන් සමග සහ දඩයම් ජීවන රටාව හා බැදී පවතී. දකුණු කෙන්යාවේ සහ උතුරු ටැන්සානියාවේ ජීවත් වන මසායි ගෝත්‍රිකයින් අවම වශයෙන් මිලියනයක පමණ ප්‍රමාණයක් මේ රටවල් දෙකේ ජීවත් වෙති. සාම්බුරු ගෝත්‍රිකයින් මෙන්ම මසායි ගෝත්‍රිකයින්ද ගවයන්, බැටළුවන් සහ එළුවන් ඇතිකිරීමෙන් ලැබෙන ආදායමෙන් දිවි රැක ගනී. මසායිවරුන්ගේ නැටුම් බොහොමයක් සමන්විත වන්නේ උඩ පැනීමේ අංග වලිනි. කණ්ඩායමේ සාමාජිකයෙක් තමන්ට හැකි පමණ උසකට උඩ පැනීම නොකඩවා සිදු කරන අතර අනිකුත් සාමාජිකයින් ඊට අවශ්‍ය ගායනා සහාය ලබා දෙමින් උඩ පනින සාමාජිකයාව උනන්දු කරති. එමෙන්ම මේ නැටුම් වලදී මසායිවරුන් වරුන් කිසිම විටෙක සංගීත භාණ්ඩ භාවිතා නොකරති. සමහර ගායන වලදී පමණක් විශාල ඇත් දලයක් වැනි හොරනෑවකින් ශබ්දය සපයනු ලැබේ. 

 

කෙන්යාවේ සංචාරකය් සදහා ඔබ යන්නේ නම් බෝමාස් නැටුම් සංදර්ශන සහ පාරම්පරික ගෝත්‍රික ගම්මානය ඒ සංචාරයේ අනිවාර්ය අංගයක් විය යුතුය. 

පළමුවන දිනයේම තවත් කාලය ඉතිරිවී තිබුණු බැවින් නයිරෝබි නගරයේ සිට කි.මී.7ක් දුරින් පිහිටා ඇති නයිරෝබි අභය භුමිය සුළු වශයෙන් හෝ නැරඹීමට මම අදහස් කෙළෙමි. මේ අභය භුමිය ලොව ප්‍රධාන නගරයක් අසල ඇති එකම විශාල අභය භුමිය වේ.  ජනවාරි මාසය අප්‍රිකාවේ අභයභූමි වල සංචාර සඳහා හිතකර කාලයකි. 

 

මෙම පරිසර පද්ධතිය සත්ව කොට්ඨාශයින්ට අමතරව නොයෙකුත් වර්ගයේ වෘක්ෂලතාදීන් සහ විවෘත තැනිතලා වලින් සමන්විත වන අතර වනෝද්‍යානය තුල නිර්මාණය කරන ලද වේල්ලක් ඇති නිසා පක්ෂීන් හා වෙනත් ජලජ ජීවීන්ද විශාල වශයෙන් රංචු ගැසෙමින් ජලය පානය කිරීමට පැමිණෙනු අපට දැකගත හැකි විය. 

 

මට විශේෂයෙන්ම අවශ්‍ය වූයේ නයිරෝබි අභය භුමිය තුල ඇති ඇත් දල පිළිස්සු ස්ථානය නැරඹීමටයි. අප්‍රිකානු රටවල විශේෂයෙන්ම කෙන්යාවේ සහ ටැන්සානියාවේ දල ලබා ගැනීම සඳහා ඇතුන් සාහසික ලෙස මරා දැමීම සීග්‍රයෙන් සිදුවේ. අප්‍රිකානු ඇතුන් (loxodonta africana) ලොව ජීවත් වන විශාලතම සතුන් වේ. සොබා දහමේ අපුරු නිර්මාණයක් වන මේ සතුන් රැක ගැනීමේ අවශ්‍යතාවය අද අප සතු වගකීමකි. 1970 සිට 1985 වසර වලදී ලොව අප්‍රිකානු අලි ඇතුන්ගේ ප්‍රමාණයෙන් හරි අඩක් මරා දමා ඇත.  මේ හානිය තරමක් හෝ දුරකට අවම කර ගැනීම සඳහා 1989 වර්ෂයේදී තර්ජනයට ලක්වූ වන සත්ව සහ වෘක්ෂලතා පිළිබඳව ජාත්‍යන්තර වෙළඳ සම්මුතියට රටවල් 115ක් තම දායකත්වය ලබා දී තිබුණි. ඇමරිකා එකසත ජනපදය ඇතුළු රටවල් කිහිපයක් ඇත් දල තම රටවල් වලට ආනයනය කිරීම තහනම් කරමින් නීති පනවා ඇත. 

 

කෙන්යානු ජනාධිපති උතුරු කෙන්යාටා මේ ක්‍රියාදාමයේ තවත් පියවරක් ඉදිරියට තබමින් මේ අභය භූමිය තුල අවම වශයෙන් ඩොලර් මිලියන 30ක වටින ඇත් දල තොගයක් ගිනි තබා විනාශ කිරීමේ අවස්ථාවකට සහභාගී විය. මේ සියලුම ඇත් දල අනවසරයෙන් ඉතා සාහසික ලෙස මරා දමන ලද ඇතුන්ගෙන් කපා ගත් ඒවා වේ.  මේ අවස්ථාවේදී ජනාධිපති කෙන්යාටා පැවසුවේ වසර 25කට පෙර තර්ජනයට ලක්වූ වන සත්ව සහ වෘක්ෂලතා පිළිබඳව ජාත්‍යන්තර වෙළඳ සම්මුතියක් ඇතිකර ගත්තත් අද දවසේ අවාසනාවන්ත ලෙස ඇතුන් වැනසීමේ ක්‍රියාදාමය දිගටම සිදුවන බවත්ය. අනාගත කෙන්යානු පරම්පරාවට මෙන්ම මුළු ලෝකයටම මේ දායාදය අහිමි කිරීමේ ක්‍රියාවලියට දායක නොවන ලෙසද මේ අවස්ථාවේදී ඔහු මානව සංහතියන් අයැද සිටියේය. මේ අවස්ථාව සිහිපත් කරනු වස් එම ස්ථානයේ විශේෂ සිහිවටනයක් සහිත ප්‍රතිමාවක් පිහිටුවා ඇත. 

මෙහිදී වඩාත් දැකුම්කලු අංගය වන්නේ නයිරෝබි අභය භූමියට යාබදව පිහිටා ඇති අලි අනාථාගාරයයි. ඩේවිඩ් ශේල්ද්රික් වනජීවී පදනම මගින් පාලනය වන මෙම අලි අනාථාගාරය අද ලොව වැඩිම ඉතිහාසයක් ඇති එමෙන්ම දැනට අලීන් 175කට වඩා ප්‍රමාණයකට සෙවන දී ඇති අනාථාගාරයක් වේ. 1977 වර්ෂයේදී දොස්තර ඩේම් ශේල්ද්රික් මහත්මිය විසින් කෙන්යාවේ ත්සාවෝ අභය භුමිය වෙනුවෙන් මහත් සේවයක් කල තම සැමියා සිහිවීම සදහා මේ අලි අනාථාගාරය ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ පින්නවල අලි අනාථාගාරයේ පරිදිම අලි පැටවුන් හට කිරි දීම සහ ඔවුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් නැරඹීම සඳහා මෙහි පහසුකම් සලසා ඇත. 

ඩේවිඩ් ශේල්ද්රික් අලි අනාථාගාරය පසු කර තවත් ඉදිරියට ගිය අපි ඊළඟට පැමිනියේ වඳවී යන සතුන් ආරක්ෂා කර ගැනීමේ කෙන්යානු පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානය මගින් පාලනය වෙන ජිරාෆ් සතුන් සිටින මධ්‍යස්ථානය වෙතටයි.  1979 වර්ෂයේදී කෙන්යානු ජාතික ලෙස්ල්යි මෙල්වියි විසින් ආරම්භ කරන ලද මේ මධ්‍යස්ථානය නයිරෝබි නුවරට පැමිණෙන සෑම සංචාරකයෙකුම පාහේ පැමිණෙන තැනකි. මේ මධ්‍යස්ථානය ආරම්භ කරන විට මුළු කෙන්යාවේම සිටියේ ජිරාෆ් සතුන් 120කටත් අඩු ප්‍රමාණයකි. මෙහිදී ජිරාෆ් සතුන්හට කෑම ලබා දීමට අපට ඉඩකඩ ලැබුණු අතර ජිරාෆ් සතුන් ගැන විශේෂ දේශනා සහ ප්‍රදර්ශනයක්ද නැරඹීමට මට අවස්ථාව ලැබුණි. අද වන විට මුළු කෙන්යාවීම ජිරාෆ් සතුන් ගේ සංඛ්‍යාව 500 පමණ දක්වා ඉහල දැමීමට මේ රාජ්‍ය නොවන සංවිධාන වලට හැකිවී ඇත. 

ජායාරූප පුවත්   

Please reload

නයිරොබි නුවර තවත් අමතක නොවන ස්ථානයක් වන්නේ නයිරොබි දුම්රිය කෞතුකාගාරයයි. නයිරෝබි නගර මධ්‍යයේ පිහිටා ඇති මේ කෞතුකාගාරය ප්‍රධාන දුම්රිපොල හා සම්බන්ධව පවතී. නැගෙනහිර අප්‍රිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට දුම්රියක් ගැන සඳහන් වන්නේ මොම්බාසා වරායේ මැදිරි 2ක සහිතව ආරම්භ කල දුම්රියක් ගැනය. 1896 වසරේදී මොම්බාසා සිට වික්ටෝරියා විල දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකරන්නට කටයුතු ආරම්භ කලත් එය සම්පුර්ණ කරන්නට අවස්තාවක් නොලැබුණි.  කි.මී 930 ක් දුර මේ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ඉදි කරනු ලැබුවේ 1901 වර්ෂයේදීය. මේ මාර්ගය ඉදි කිරීමේදී කම්කරුවන් 2493 දෙනෙක් සිය ජීවිතය පුද කර ඇති අතර එනම් ඉදි කෙරුණු සෑම කි.මී. 2කටම කම්කරුවන් පස් දෙනෙක් මිය ගොස් ඇත. කෞතුකාගාරයේදී මා සමග එක්වූ සහායකයා පැවසුවේ හිටපු බ්‍රිතාන්‍ය පාලකයෙකු වූ සර් චාල්ස් එලියට් පවසා ඇත්තේ සාමාන්‍යයෙන් රටක් දුම්රිය සේවාවක් ආරම්භ කරනවා මිස දුම්රිය සේවාවක් නිසා රටක් බිහිවීම ඉතා කලාතුරකින් සිදුවුවත් කෙන්යාව එයට හොඳම නිදසුනක්බවත්ය.

 

මේ කෞතුකාගාර භුමියේ ඉතිහාසගත දුම්රිය මැදිරි කිහිපයක් ප්‍රදර්ශනයට තබා ඇත. 1898 වර්ෂයේ පළමුවන මංගල දුම්රිය ගමන් ගිය එන්ජිම, දැනට ලොව නිර්මාණය වූ ටොන් 294ක් බර එමෙන්ම එක්වර ටොන් 1200 ක බරක් ඇදිය හැකි එන්ජිම ඒ අතර වේ.  1900 වසරේදී මොම්බාසා සිට වික්ටෝරියා විල දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වෙත්දී මොම්බාසා නගරයේ සිට කිමී. 400ක් දුරින් පිහිටා ඇති කිමා නගරයේදී සර් හෙන්රි චාල්ස් රියාල් නැමැත්තා සිංහයෙකු අතින් දුම්රිය මැදිරිය තුලදීම මැරුම් කෑ අවස්තාව සිහිපත් කෙරෙන එම දුම්රිය මැදිරියද නරඹන්නන්ගේ දැක ගැනීම සඳහා ප්‍රදර්ශන භූමියේ තබා ඇත.  

 

1973 වර්ෂයේදී විලියම් බැසිල් විසින් හඳුන්වාදුන් රේල් පීලි පරීක්ෂා කිරීම සඳහා රේල් පීලි මත යන බයිසිකලය ද මේ ඖතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. දුම්රිය ඉතිහාසය ගැන ඔබ උනන්දුවක් නොමැති වුවත් කෙන්යානු දුම්රිය ඉතිහාසය ත්‍රාසජනක අවස්ථාවලින් පිරුණු එකකි. නයිරෝබි නගරයට පැමිණෙන්නේ නම් මේ ස්ථානය නැරඹීම අනිවාර්යයැයි මට සිතේ. 

 

පසුදින උදෑසනම නයිරෝබි නගරයෙන් අප පිටවූයේ කි.මී. 450ක් පමණ දුරින් පිහිටා ඇති බෝගෝරියා විල නැරඹීම සඳහාය.  සමකය කෙන්යාව හරහා යැවෙන ස්ථානය පසුකර යාමේ අවස්ථාවද මට හිමි විය. අප්‍රිකානු මහාද්වීපයේ රටවල් හතක් හරහා සමකය දිග හැරේ. ගැබෝන්, කොංගෝ, කොංගෝ සමුහාණ්ඩුව, සෝමාලියාව සහ උගන්ඩාව අනිකුත් රටවල් වේ. කෙන්යාවේ මේ ස්ථානය පිහිටා ඇත්තේ නන්යුකි ගම්මානයේය. 

 

උතුරු කෙන්යාවේ පිහිටා ඇති මේ විල හා බැරින්ගෝ විල වර්ග කි.මී. 107 ක ප්‍රදේශයක් පුරා පැතිර ඇත. මේ විලේ පුරාණය හා සම්බන්ධ මට පැහැදිලි කලේ මගේ රියදුරා පැවසුවේ යටත් විජිත පාලන සමයේදී මේ විලට පැමිණුනු පළමුවන විදේශිකයා වුයේ 1885 වර්ෂයේදී ජේම්ස් හැමින්ග්ටෝන් ය. එවකට පැවතුනු සිරිත වුයේ ප්‍රදේශය පළමුවෙන් සොයාගත් පුද්ගලයාගේ නමින් ඒ ප්‍රදේශය හැඳින්වීමයි. එහෙත් හැමින්ග්ටොන් මේ වික්ටෝරියා විලට ලඟා වෙත්ම බුගන්දාවේ රජ විසින් (උගන්ඩාවේ) දුන් නියෝගයක් අනුව මරා දමන ලදී. 

 

සංචාරකයින් අතර ඉතාමත ප්‍රසිද්ධ මේ බෝගෝරියා විල අප්‍රිකානු ස්වාභාවික පරිසරය රස විඳිය හැකි ලොව ප්‍රධානතම ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. බෝගොරියානු විලට ඇතුල්වීම සඳහා බ පත්‍ර ගාස්තුව වශයෙන්  ඇමරිකානු ඩොලර් 50 ක මුදලක් විදේශීය සංචාරකයෙකුගෙන් අය කෙරේ. කෙන්යාවට විශේෂිත වූ කොකුන් අති විශාල ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන මේ විල ජායාරුප ගත කිරීම සඳහා සංචාරකයින් දින ගණන් නැවතී බලා සිටින අන්දම අපිට දැක ගත හැකි විය. ඇත්තෙන්ම කොකුන් ලක්ෂයකටත් අධික ප්‍රමාණයක් එක ස්ථානයකට රැස්වී සිටීම චමත්කාරජනක  දර්ශනයකි. 

 

බෝගෝරියා විල ප්‍රදේශයට ජීප් රථයෙන් ඇතුළු වූ අප ඊළඟට තවත් කි.මී. 15ක පමණ ඉතාමත් අපහසු දුවිලි වලින් පිරි පාරක් ඔස්සේ ගමනේ යෙදුනේ එහි ඇති උණු වතුර ළිං සහිත බෝගොරියා වැව් තීරය පරීක්ෂා කිරීමටය.  ළිං යනුවෙන් හැඳින්වුවත්  අපට දක්නට ලැබුනේ අධික උෂ්ණත්වයක් එනම් සමහර විට සෙන්ටිග්‍රේඩ් අංශක 60-90 දක්වා උණුසුම් ජලය පොළවෙන් උඩට විදින උණුදිය උල්පත් කිහිපයක්ය. සමහර අවස්තාවලදී මීටර් 5ක පමණ උසට උණු වතුර විදීම සිදුවේ.  සමහර උල්පත් පිහිටා ඇත්තේ විලේ ජලයෙන් වැසී ඇත. ජලය උඩට විදින විට පමණක් එහි උල්පතක් ඇති බව නිරීක්ෂණය කල හැක.  

මේ දර්ශන ඇත්තෙන්ම අලංකාරය.  කොළ පැහැති කඳුකර පසුබිමේ නිල් පැහැති බෝගෝරියා විල මතින් සුදු පැහැති ජාල ධාරාවන් ඉහලට විදින විට මැවෙන චමත්කාරජනක ස්වාභාවික දර්ශනය මට කිසි දිනෙක අමතක නොවේ. 

සවස පහට පමණ බෝගෝරියා විලෙන් පිටවූ අප කි.මී. 230ක් පමණ දුර ගෙවා රාත්‍රී 10ත පමණ කිසුමු නගරයට ලඟා වුනෙමු. කිසුමු සිට මගේ නැගෙනහිර අප්‍රිකානු සංචාරයේ ඊළඟ රටවන උගන්ඩා දේශ සීමාව වන බුසියා නගරයට ඇත්තේ තවත් කි.මී. 110ක් පමණ වේ. දින දෙකක් මා සමග සිටි කෙන්යානු ජාතික ක්‍රිස්ටි මගෙන් සමුගත්තේ කිසුමු නගරයේදීය. මා වෙනුවෙන්ම මා සමග කි. මී. 700ක් පමණ දුරක් සංචාරය කර නැවත ඇය ආපසු නයිරෝබි නගරය බලා පිටත් වුවාය.  ඇය මා සමග පැවසූ අන්දමට කෙන්යාවේ ජන කොටස් වර්ග 40ක් පමණ ජීවත් වේ. මේ සෑම ජන කොටසක්ම ඔවුනට උරුම වූ භාෂාවක් කථා කරති. ක්‍රිස්ටි හසුරුවන බන්ටු භාෂාව කෙන්යානු ජනතාවගෙන් 60%ක් පමණ පිරිසකගේ භාෂාව වේ. එය හඳුන්වන්නේ ස්වාහිලි නමිනි. යුරෝපීය ජාතිකයින්, අරාබි ජාතිකයින් සහ ඉන්දියානු ජාතිකයින්ද විශාල වශයෙන් කෙන්යාවේ ජීවත් වේ. ඒ නිසා ඒ නිසා ස්වාහිලි භාෂාවට අමතරව ඉංග්‍රීසි භාශාවද කෙන්යාවේ නිල භාෂාව හැටියට පත්වී ඇත. 

 

අප්‍රිකාවට පැමිණීමට පෙර මා තුල තිබු සැකය සහ අවිනිශ්චිතභාවය දැන් කෙමෙන් මගෙන් තුරන් වී ඇතැයි මට සිතුනි. කෙන්යාව ස්වාභාවික සෞන්දර්යයෙන් පිරි රටකි.  මේ සුන්දරත්වය නැරඹීම සඳහා කෙන්යාවට පැමිණීමේදී ඒ සඳහා මා ලැබූ පෙර සුදානම මට සෑම අවස්ථාවකදීම  උපකාර වුනි. මට මේ සංචාරයේදී උදවු කරන බාරකා කෙන්යානු ජාතික කාන්තාවක් වුවත් ඇයද මේ ප්‍රදේශවල සංචාරය කර තිබී නැත. ඒ නිසා ඇය මාගේ සංචාරයට මසකට පමණ පෙර මාගේ උපදෙස් පරිදි නගරාන්ත දුම්රිය සහ බස් වලින් කෙන්යාවේ ඒ ඒ නගර වල සංචාරය කර අවශ්‍ය විස්තර මා හට සපයා දීමට ඇය ඉදිරිපත් වුවාය. 

 

දින දෙකක් තුල කෙන්යාවේ නැරඹිය හැක්කේ සුළු කොටසකි. මසායි වරුන් සහ කිලිමන්ජාරෝ කඳු වැටිය නැරඹීමට නොහැකිවීම ගැන මා තුල ඇත්තේ කනගාටුවකි. කෙන්යාව, සෝමාලිලන්තය සහ ඉතියෝපියාවට යන මාගේ ඊළඟ සංචාරයේදී මේ ස්ථාන නැරඹීමට හැකිවනු ඇතැයි සිතමි. 

රොහාන් ඩිරෙක්ස්

සංචාරය කලේ 2015 දෙසැම්බර් 

info@sanchara.lk

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර  ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට  උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...