ජීවත් වෙන්න වරමක්.....

දෙවන ලෝක සංග්‍රාමයේ දුක්මුසුම සිදුවීම  

  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle

මේ ගම්මානයේත් තිබුනේ අනික් ගම්මාන වල වගේ සාමාන්‍ය ජීවිතයක්.

ජීවත් වුනේ සාමාන්‍ය ගැමිජනතාව

ඒ අයත් ආදරය කරන්න ඇති

හොඳින් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන්න ඇති

හරියට අපේ රටේ ගම්මාන වල වගේ.

නමුත්

එක දිනයකදී ඒ සියල්ලම සුන්නත්දුලි වෙලා ගියා.....

Rokhan Direkz 

2019 November 10-12

යුද්ධ වලින් අමානුෂික ලෙස බිහිසුණු ලෙස විනාශයට පත්වුණු රටක් තියෙනවනම් ඒ බෙලොරුසියාව. කිසිම හේතුවක් නොමැතිව මෙතරම් මිලියන ගණනක ජනතාවක් අමානුෂික ලෙස ඝාතනය වුනු බෙලොරුසියාවට යුද්ධය පැමිණුනේ 1941 ජුනි මාසේ 21 වැනිදා. කිසිම කෙනෙක්  බලාපොරොත්තු    වුනේ නැහැ යුද්ධය මේ ආකාරයට පැමිණේවි කියලා. 


ලක්ෂ ගණනක ජර්මානු පැසිස්ට් හමුදාවන් ගුවන් යානා සොවියට් දේශ සීමාව හරහා පැමිනුනේ සෝවියට් පුරවැසියන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්. 
සෝවියට් හමුදාවන්ට කිසිම දෙයක් කර ගන්නට හැකියාවක් ලැබුනේ නැහැ ඒ මේ අනපේක්ෂිත ප්‍රහාරය නිසා. 

යුද්ධය පටන් ගත්තේ 1941 ජුනි මාසේ 21 වැනිදා. හැබැයි  28 වැනිදා වෙනකොට හිට්ලර්ට පුළුවන් වුනා බෙලොරුසියාවේ අගනුවර මින්ස්ක් නගරය සම්පුර්ණයෙන්ම යටත් කරගන්නට. ජුලි මාසේ වෙනකොට හිට්ලර්ගේ හමුදාවන් බෙලොරුසියාවේ සිට රුසියාව දක්වා ටිකෙන් ටික ඉදිරියට ගමන් කරමින් සිටියේ.


අගෝස්තු මාසේ වෙනකොට සම්පුර්ණයෙන්ම බෙලොරුසියාව හිට්ලර්ගේ පාලනයට යටත් වෙලා තිබුනේ.

1943 මාර්තු මාසේ 22 වැනිදා. බෙලරුසියාවේ මින්ස්ක් නගරයට කි.මී. 75ක් දුරින් තිබුණු හතීන් කියන කුඩා ගම්මානයට ඉර පැව්වේ වෙනද විදිහට නෙමේ. කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට ජර්මානු පැසිසිට් හමුදාවේ සෙබළුන් හතීන් ගම්මානයට කඩා වැදුනා. 

pic - cdn.iz.ru

ඒ වෙනකොට මේ ගම්මානයේ ජනතාව දැන ගෙන සිටියේ නැහැ ඊට කි.මී. 6කට එහායින් සිදුවුණු සිද්ධියක් ගැන.  එදා උදේ බෙලොරුසියානු දේශප්‍රේමීන් විසින් ජර්මානු හමුදා කණ්ඩායමකට එල්ල කල ප්‍රහාරයකින් ජර්මානු පැසිසිට් හමුදාවේ ඉහල පෙලේ නිලධාරියෙක් මරුමුවට පත්වුනා.


පැසිස්ට්වාදීන්ට අවශ්‍ය වුනා මේ වෙනුවෙන් පලිය ගන්න. ලෝක ඉතිහාසයේ හැමදාම හැම රටකම සිදුවුනේ එහෙමයි. ඒ පලිය ගත්තේ සාමාන්‍ය ජනතාවගෙන්. 


ඊට පස්සේ සිදුවුණු දේවල් මම දන්නේ නැහැ කොහොම වචන වලින් විස්තර කරන්නද කියලා. 

මේ දේවල් පෙනෙනකොට ඇහෙන කොට අපේ ඇස්  වලට කඳුළු බින්දුවක් නැගෙන්නේ නැත්නම් මේ පොලවේ අපි ජීවත් වෙන්නේ මොකටද.  ඒ මියගිය මිනිස්සුන්ට අපිට දක්වන්නට තිබෙන එකම ගෞරවය තමයි ඒ සිහිකිරීම ඒ කඳුළු බින්දුව......


මම මේ කියන්නට යන කතාව අමානුශිකයි බිහිසුණුයි. නමුත් මේ කතාව කිව යුතුමයි. 

බෙලොරුසියාව ඇත්තටම තවමත් පරණ සොවියට් දේශයේ සිවිල් පාලන ක්‍රමය ක්‍රියාත්මක වෙන රටක්. තවමත් රටේ ජනගහනයෙන් 40%ක් රාජකාරි කරන්නේ රජයේ ආයතන වල.  රටේ හැම ආර්ථික ප්‍රතිපත්තියක්ම හැම භාණ්ඩයකම මිල පාලනය කරන්නේ රජය. පෞද්ගලික ව්‍යාපාර වලට තවමත් ඒ සඳහා අවශ්‍ය  සම්පුර්ණ අයිතිය ලැබිලා නැහැ. 

ඒ වගේම තවත් විශේෂ දෙයක් මේ රටේ තියෙනවා.  පිටරටවල් වලින් පැමිණෙන පුද්ගලයින්ට  සංක්‍රමණිකයන්ට රැකියා කරන්න අවස්තාවක් ලබා දීලා නැහැ. රාජ්‍ය පාලනයේ සිට පාරවල් පිරිසිදු කරන්නා දක්වා තිබෙන්නේ බෙලොරුසියානු ජනතාවගේ ශ්‍රමය.

පැරණි සෝවියට් රටවල් අතරින් අඩුම අපරාධ වාර්තා වෙන්නේ බෙලොරුසියාවේ. එකට හේතුව සමහර විට මේ රටේ තමයි වැඩිම පොලිස් නිලධාරීන් පිසිසක් සිටින්නේ. ඒ වගේම බොහෝ අය නම් කියන්නේ ඒ බෙලරුසියානු ජනතාව නීති ගරුක ජනතාවක් නිසා කියලා. 

 

දෙවන ලෝක සංග්‍රාමය ගැන අපිට ඇහෙනකොට රුසියාව ජර්මනිය සමග බෙලොර්සියාව නම විශේෂයෙන් මතක් වෙනවා. යුද්ධයේදී  දැඩි හානි සිදුවූ  රටක් තමයි බෙලොරුසියාව.


බෙලොරුසියාව වෙනම රටක් හැටියට තිබුනත් රුසියාවත් සමග ඔවුන්ගේ විශාල මිත්‍රකමක් පවතිනවා. ආර්ථික මෙන්ම සංස්කෘතික සම්බන්ධතාත් මේ රටවල් දෙක අතර තිබෙනවා. ඒ නිසාම තමයි මේ රටවල් දෙක අතර දේශ සීමාව මේ රටවල් දෙකේ ජනතාවට නිදහසේ පාවිච්චි කරන්න විවෘත වෙලා තියෙන්නේ. 

හැම රටකටම ජාතියකටම තමන්ගේම ඉතිහාසයක් තිබෙනවා. මේ ඉතිහාසය වීරත්වයෙන් පිරුණු ඉතිහාසයක් වෙන්නට පුළුවන්. ලෙයින් කඳුලින් පිරුණු ඉතිහාසයක් වෙන්නට පුළුවන්. නමුත් අවාසනාවකට මෙන් බෙලොරුසියාවේ ඉතිහාසය එහි කුඩා ගම්මානයක් හරහා දිස් වෙන්නේ ශ්‍රේෂ්ට දේශප්‍රේමී යුද්ධයේ බෙලොරුසියාවට ලැබුණු ඒ අමානුෂික දුක්මුසු දෑවැද්දත් සමග. 

මේ ගම්මානය කවදාද ආරම්භ වුනේ කියලා කිසිම ඉතිහාසයක් ලිපිගොනුවක් සොවියට් දේශයෙන් සොයා ගන්නට නැහැ. 1551 වසරේ තමයි ප්‍රථම වරට ඉතිහාසගත ලිපිගොනු වල මේ ගම්මානයේ නම සඳහන් වන්නේ. 

1941 ජුනි මාසේ 22 වැනිදා ජර්මානු පැසිස්ට් හමුදාවන් සෝවියට් දේශය ආක්‍රමණය කරමින් මොස්කව් නගරය දෙසට ඇදෙමින් තිබුනා. මේ පැසිස්ට් වාදීන් ගේ කුරිරු සැහැසිකම් ගැන හතීන් වැසියන් සහ බෙලොරුසියානු වැසියන් දැනගෙන සිටියත් ඒ සැහැසිකම් කොපමණ බරපතල දැයි ඔවුන්ට වැටහුනේ 193 වසරේ මාර්තු 22 වැනිදා. 

බෙලොරුසියානු දේශප්‍රේමීන් විසින් 1943 මාර්තු මාසේ 23 වැනිදා පැසිස්ට්වාදී සෙබළුන්ට එල්ල කල පහරේ පලිය ගන්න සුදානම් වෙලා ජර්මානු භට කණ්ඩායම් සහ පැසිස්ට්වාදීන්ට සේවය කල සොවියට් පුරවැසියන් පිරිසක් මේ හතීන් ගම්මානයට පැමිණුනේ දහවල් 3ට පමණ. 

ඉසොෆ් කාමින්ස්කි 

මුළු හතීන් ගම්මානයම වට කල ජර්මානු සොල්දාදුවන් කිසිම වැසියෙකුට ඒ වළල්ලෙන් පිට වෙන්නට ඉඩ දුන්නේ නැහැ.  කතාවේ ඉතිරි කොටස මම උපුටා ගන්නම් මේ ඛේදවාචකයේදී පණපිටින් බේරීමට වාසනාව ලැබූ ඉසොෆ් කාමින්ස්කී ගේ පාපොච්චාරණයෙන්.

"....අපිව උන් අරන් ගියා මඩුවට. මගේ දුව, පුතා සහ බිරිඳ ඔවුන් අතර සිටියා. 

මට හිතා ගන්න බැරි වුනා කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඒ මඩුව ඇතුලේ හිටියද කියලා.

මම ඇහුව දුවගෙන් ඇයි ඔයා හරියට ඇඳුම් ඇඳල නැත්තේ කියල.

එතකොට දුව කිව්වා උන් අපේ ඇඳුම් ඉරලා දැම්මා කියලා.

ඒ වෙලාවේ ගම්මානයේ හිටපු ඔක්කොම අයව උන් ඒ මඩුවට එකතු කරා. 

ඒ මඩුව ඇතුලේ හුස්ම ගන්න ඉඩක් තිබුනෙ නැහැ.

කොටින්ම කියනවනම් අත් දෙක උස්සන්නවත් ඉඩක් තිබුනේ නැහැ. 

ගෑනු පිරිමි බෙරිහන් දෙනවා. පොඩි එවුන් අඬනවා. 

වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

මඩුවේ උඩ හරියට වෙන්න අඩුක් කරලා තිබුණු හරකුන්ට කන්න එකතු කරලා තිබුණු පිදුරු වලට උන් ගිනි තියන්න පටන් ගත්තා. 

එතකොට ගින්න පටන් ගත්තේ මිනිසුන්ගේ ඔලු වලට උඩින්.

ගිනිගෙන වැටෙන පිදුරු උක්කොම මිනිසුන්ගේ ඇඟට වැටෙන්න පටන් ගත්ත.

ඒ දුමත් එක්ක කිසිම දෙයක් පෙන්නේ නැතිව ගියා. 

රස්නය, ගින්දර, මිනිසුන්ගේ දරුවන්ගේ බෙරිහන් දීම, විලාප. මට තේරෙන්නේ නැහැ.

හුස්ම ගන්න කොහෙත්ම ඉඩක් නැහැ.

එක පාරටම ලී කෑලි දාලා වහල තිබුණු දොර ඇරුනා. පුදුමයි.

මට පුදුමයි. එක්කෙනෙක්වත් එලියට දුවන්නේ නැහැ. 

එළියේ වෙඩි තියනවා. එළියේ වෙඩි තියනවා. කාගේ හරි කට හඬක් මට ඇසුනා.

වෙඩි හඬවල් ඇහෙන්නේ නැහැ මිනිසුන්ගේ විලාපය නිසා.

මට තේරුනේ නැහැ කොච්චර වෙලාවක් එහෙම ගත වුනාද කියලා. 

මම මගේ පුතාව කකුල් දෙක අතරට තද කර ගෙන කොහොම හරි දොර ගාවට ආවා. 

පුතාගේ ඔලුවේ කෙස් ටික ඔක්කොම ගිනි ගන්නවා. මගේ ඇඟ උඩට මැරුණු මිනිස්සු ඇද වැටෙන හින්දා බොහොම අමාරුවන් මම පුතාත් ඔසවා ගෙන එළියේ මීටර් 5ක් විතර දුරක් යන්න පුළුවන් වුනා.

මම දැක්කේ හැම තැනම මල සිරුරු.

ඊට පස්සේ මට මොනවා වුනාද කියල මතක නැහැ. ටික වෙලාවකින් මම මගේ පුතාව හොයන්න ගත්තා. 

මල සිරුරු අතරේ පුතාව හොයා ගන්න ලේසි පහසු වුනේ නැහැ.

සොයා ගන්න කොට ඔහුට වෙඩි වැදිලා හොඳටම තුවාල වෙලා පිච්චිලා හිටියේ. 

ඔහු මිය ගියේ මගේ අත් දෙක මත.

​මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ දෙයක් කිසිම දවසක නොවෙන්නත් මේ වගේ දෙයක් කිසිම දවසක දකින්නත් අපිට නොලැබෙන්න කියලා. "

මේ අමානුෂික ගිනි තැබීමෙන් බේරෙන්නට කුඩා දරුවන් තුන් දෙනෙකුට හැකි වුනා. ඒ ගිනි ගන්නා අවස්තාවේදී දුම් අතරින් සහ වෙඩි පහරවල් අතරින් න දුවගන්නට හැකියාව ලැබුණු නිසා. තවත් පුද්ගලයින් දෙදෙනෙක් ඉසොෆ් ට අමතර ජීවිතය බේරාගන්න වාසනාව ලබා ගත්තා.  ඒ පැසිස්ට්වාදීන්ට ඔවුනුත් මියගිය පුද්ගලයින් ලෙසට සිතපු නිසා.

​මේ අමානුෂික වෙඩි තැබීම් වලින් සහ ගිනි තැබීමෙන් හතීන් ගම්මානයේ සහ අවට ගම්මාන කිහිපයක 149 දෙනෙක් මිය ගොස් තිබුනා. ඔබ විශ්වාශ කරනවාද මේ 149 දෙනාගෙන් 75 දෙනෙක් වයස අවුරුදු 16ට අඩු කුඩා දරුවන්.

දෙවන ලෝක සංග්‍රාමය නිසා බෙලොරුසියාවේ විශාල් නගර සහ වෙනත් නගර 209ක්, හතීන් ගම්මානය ඇතුළුව තවත් ගම්මාන 9200ක් සහ මිනිස් ජීවිත මිලියන දෙකකුත් තවත් දෙලක්ෂ තිස් දහසක් විනාශ වුනා. ලෝක ඉතිහාසයේ මෙවැනි විනාශයක් සිදුවූ රටක් තවත් නම් නැති තරම්. මේ නිසාම බෙලොරුසියානු ජනතාවගේ හදවත් තුල රුධිරය තුල මේ විනාශකාරී ඉතිහාසය තවමත් අඳුරු කළු පැල්ලමක් ලෙස සටහන් වී තිබෙනවා. එමෙන්ම නැවත මෙවැනි යුද්ධයක් ඇති නොවේවා යන සටන් පාටය උදෙසා පෙළ ගැසෙන ජනතාව අතර බෙලොරුසියානු ජනතාව සිටින්නේ නිතරම ඉදිරියෙන්.

මේ ප්‍රදේශයේ හතීන් ගම්මානය සමග විනාශ වූ තවත් ගම්මාන 186 වෙනුවෙන් විශාල ස්මාරක කනත්තක් මේ අනුස්මරණ සංකීර්ණයේ පිහිට තිබෙනවා. 

මේ සිද්ධියෙන් අමානුෂික ලෙස මරණයට පත් වූ කුඩා දරුවන්ව අදත් බෙලොරුසියානු ජනතාව මේ ආකාරයෙන් ඔවුන්ව සිහිපත් කරනවා. 

​පැසිස්ට්වාදීන්ගේ වධක කඳවුරු වලදී ඝාතනය වුනු බෙලොරුසියානු වැසියන් සිහිකිරීම සඳහා ස්මාරකයන්ද මේ අනුස්මරණ සංකීර්ණයේ දක්නට ලැබෙනවා.

නොනිවෙන ගිනි සිළුව අසල මේ ගිනි ගත් ගම්මාන වලින් ලබා ගත් අළු සහ පස් විශේෂ මංජුසා වල තැන්පත් කර තිබෙනවා. 

එදා මේ ඛේදවාචකය සිදු අවස්ථාවේ හතීන් ගම්මානයේ නිවෙස් පිහිටා තිබු ස්ථාන වල මෙවැනි ආකාරයෙන් චිමිනියන් සහ ආකෘතියන් දක්නට ලැබෙනවා.

ඒ ඒ නිවෙස් වල ජීවත් වුනු පුද්ගලයින්ගේ නම් සහිත පුවරුද ඒ ආකෘති සමග දැක ගන්නට පුළුවන්. 

සෑම තත්පර 30කට වරක්ම ශබ්දය නිකුත් වෙන මේ ගන්ටාරයේ හඬ අදත් කියාපානේ ඒ දුක්මුසු ඉතිහාසය.

පැසිස්ට්වාදී භටයින්ගෙන් නියෝගය ලබා ගෙන මේ අමානුෂික නියෝගය ක්‍රියාත්මක කලේ සෝවියට් රතු හමුදාවේ කලක් සේවය කර පසුව පැසිස්ට්වාදීනට එකතු වූ මෙලෙශ්කෝ නමැති පුද්ගලයා ප්‍රමුඛ හමුදා භට කණ්ඩායම. යුද්ධයෙන් පසුව සොවියට් දේශය මේ පිලිබඳ කරුණු සොයා බැලුවත් අවශ්‍ය පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට හැකි වුයේ නැහැ. 

නමුත් 1974 වසරේදී මෙලෙශ්කෝ සෝවියට් හමුදා අත් අඩංගුවට පත්වුනා. දීර්ඝ නඩු විභාගයකින් පසුව සෝවියට් දේශය විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළා. 

​මේ අමානුෂික සිද්ධියට තවත් සෝවියට් පුරවැසියන් දෙදෙනෙක් සම්බන්ධ වී තිබුනා. ඒ පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වුයේ 1986 සහ 2009 වසර වලදී. මෙයින් එක් පුද්ගලයෙකුට මරණ දඬුවම ලැබුනත් අනික් පුද්ගලයා තවමත් ජීවත් වෙනවා. 

බෙලොරුසියාව අද ලබා ඇති දියුණුව පිටුපස ඇත්තේ මේ දරුණු දුක්මුසු අමානුෂික ඉතිහාසය. ලොව බොහෝ රටවල් තම ජයග්‍රහණයන් හිමිකරගෙන ඇත්තේ මෙවැනි අමානුෂික ඉතිහාසයක් පසු කරමින්. 

බෙලොරුසියාවෙදී මා හට හමුවුණු මා සමග කතාබස් කල සියලුම පුද්ගලයින්ගෙන් මා දුටුවේ මේ හතීන් අනුස්මරණ සංකීර්ණයට ඔවුන් දක්වන අසීමිත ගෞරවය. 

 

ඇත්තටම මෙවැනි අපරාධ මිනිසුන්ට කල හැකිද? ඉතිහාසයෙන් අපි සැමදාම පාඩම් ඉගෙන ගන්නා නමුත් ඒ පාඩම් වලින් ලබා ගන්නා දැනුම සහ අත්දැකීම් මෙවැනි අපරාධ සහ සිද්ධීන් වැළැක්වීමට යොදා ගන්නවාද? 

ඉතිහාසය අමතක කිරීමෙන් සිදුවන්නේ නැවත වාරයක් එම ඉතිහාසයම අත්විඳීමට සිදුවීමයි. - George Santayana

​(1985 වසරේ සෝවියට් දේශයේ තිර ගත වූ Come & See (Иди и смотри) චිත්‍රපටියේ කතා වස්තුව වී තිබුනේ මේ හතීන් ඛේදවාචකය. 

ජායාරුප සහාය - www.eg.ru , www.voenhronika.ru , www.cdn.iz.ru , www.topwar.ru , www.delaemvmeste.ru)                                         .)

රොහාන් ඩිරෙක්ස් 

සංචාරය කලේ 2019 නොවැම්බර් 12 

rohandx@hotmail.com

SANCHARA youtube channel
IMG_1669.JPEG.jpeg
DSC_0741.jpg