703_edited.jpg

MOSCOW UNDERGROUND

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

රුසියාවේ මොස්කව් නගරයේ මීටර් 45ක් පොලව යටට   

Come to see recently declassified facility of Cold War period.

Rokhan Direkz 

2020 February 16-26

1991 දෙසැම්බර් මාසේ 25 වැනිදා මුළු ලෝකයම නත්තල් උත්සවය සමරත්දී සෝවියට් දේශයේ වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවා.  ඒ සිද්ධිය මුළු ලොවම වෙනස් මගකට යොමු කරන්නට සමත් වුනා. විසිවන සියවසේ විශ්වාශ කල නොහැකිම සිදුවීම.  ලෝක ඉතිහාසයේම සමහර විට විශ්වාශ නොකළ හැකි සිදුවීමක්. 


1991 දෙසැම්බර් මාසේ 25 වැනිදා සවස හතට සෝවියට් දේශයේ රූපවාහිනියෙන්  සජීවීව එරටේ ප්‍රථම ජනාධිපති මිහායිල් ගොර්බචෙව් පෙනී සිටියා. 

මිලියන 148ක ජනතාවගේ දේශය, ලොව ප්‍රගතිශීලී ජනතාවගේ හඳ බැඳ ගත් ව්ලදිමීර් ඉලිච් බිහිකළ ඒ දේශය, ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍යය, මැක්සිම් ගෝර්කි, මායාකොව්ස්කි, යුරි ගගාරින්, ජෝශප් ස්ටාලින්, නිකීතා  කෘෂෙව් මේ සියලුම චරිත ලොවට බිහිකළ, කේජීබී සංවිධානය, ඒ කේ 47 තුවක්කුව ලොවට දායාද කල, ශ්‍රේෂ්ට දේශප්‍රේමී යුද්ධයෙන් ජයගෙන පැසිස්ට් වාදය ලෝකයෙන් තුරන් කල , ඒ අද්විතීය දේශය ඒ මොහොතේ සිට ලෝක සිතියමෙන් සදහටම ඉවත් වුනා. 

*****

මේ ඉන්නේ ෆීලික්ස් දෙර්ශින්ස්කි. මොහු තමයි ඔබ අහලා තිබෙන කේජීබී රහස් ඔත්තු සේවයේ නිර්මාතෘවරයා.  මේ ප්‍රතිමාව  මීට වසර 28කට ඉස්සෙල්ලා තිබුණු මොස්කව් නුවර කේජීබී මුලස්ඨාන ගොඩනැගිල්ල ඉදිරිපිට. 
මතකද  2003 වසරේ අප්‍රේල් මාසේ 9 වැනිදා ඉරාකයේ මේ සිද්ධිය. සදාම් හුසේන්ගේ ප්‍රතිමාව මිනිසුන් කඹ වලින් බිමට ඇදල පෙරලා දැමුවා. 

*****

එවැනිම සිද්දීයක් සිදුවුනේ රුසියාවේ 1991 අගෝස්තු මාසයේ. රුසියානු ජනතාව මේ දෙර්ශින්ස්කි ගේ ප්‍රතිමාවත් කඹ දමල බිමට පෙරලා දැමුවා.  1991 කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ඉවර වුනා. 2003 සදාම් හුසේන්ගේ පාලනය ඉවර වුනා. 

මේ ප්‍රතිමා හරහා බිඳ වැටුනේ එවකට ලොව පැවති ප්‍රබල පාලනයන්. මේ බිඳ වැටීම් සමගම ඒ ඒ රටවල් වල පාලන තන්ත්‍රයන් වල සහ සමාජ ක්‍රමයන් වල විවිධාකාර වෙනස් වීම හට ගැනුනා. අභ්‍යන්තර සහ බාහිර සාධක නිසා මේ වෙනස්වීම් විවිධ ආකාර ගත්තත් ඒවා වලට මුහුණ දීමට හැම විටම හැකිවුණේ නැහැ. 

නමුත් සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම බිහිවුණු නව දේශය - රුසියානු සමුහාණ්ඩුවට අද වන විට හැකිවී තිබෙනවා එදා සෝවියට් දේශයට ලොව තිබු ස්ථානය නැවත අත් පත් කර ගන්නට. 

මෙසේ සෝවියට් දේශය බිඳ වැටී ලෝක සිතියමට අලුතින් ස්වාධීන රටවල් 15ක් එකතු වුනා. 

රුසියානු සමුහාණ්ඩුව තුල ප්‍රධාන වශයෙන් එහි අගනුවර මොස්කව් නගරයේ ඇති සහ තිබුණු සාමාන්‍ය ජනතාව නොදත් නොදුටු ස්ථාන කිහිපයක් මේ බිඳ වැටීම් සමග සාමාන්‍ය ජනතාව වෙතට විවෘත වුනා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට හැකිවුනා ඒවාට පිවිසෙන්න, ඒවා දැක බලා ගන්න. 

​හැබැයි ඒ සීමිත ස්ථාන කිහිපය රුසියානු ජනතාවගේ මෙන්ම ලෝක ජනතාවගේද දෑස් විවර කරන්නට දැන් සමත් වෙලා තිබෙනවා. 

මා ඔබට මේ පවසන්නට සුදානම් වන්නේ පෙන්වන්න සුදානම් වන්නේ ඉතාමත් මෑතකදී එනම් 2018 වසරේදී රුසියානු ජනතාව වෙතට තරමක් දුරට විවෘත වුන සුවිශේෂී අභිරහස් භූගත බංකරයක්.

 

ඊයේ පෙරේද වෙනකන් මේ පැති වල ජීවත් වෙන මිනිස්සු දැන ගෙන හිටියේ නැහැ තමන්ගේ ගේ ළඟ තියෙන මේ ස්ථානය මොකක්ද කියල. ඒ වගේම ඒ මිනිස්සු දැන ගෙන හිටියේ නැහැ තමන්ගේ නිවසේ හෝ තට්ටු නිවාසයේ පොලව යට මේ වගේ ස්ථානයක් තමයි තියෙන්නේ කියල.

ඒ කාලයේ සෝවියට් දේශයත් අමෙරිකාවත් අතර අද වගේම ශීතල යුද්ධයක් පැවතුනා. එය කවදාකවත් අවසානයක් නොදකින යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. තම තමන්ගේ ප්‍රතිපත්තීන් මත ගෙනෙන ආකල්ප,  ආර්ථික සම්භාධක විතරක් නෙමෙයි ආයුධ නිෂ්පාදනය සහ වෙලදාමත් මේ යුද්ධයේ ඉහලම ස්ථානයක තමයි තියෙන්නේ.  


හදිසියේ යුද්ධයක් ඇති වුනොත් හදිසියේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුනොත් කොහොමද මිනිස්සු බේරෙන්නේ. කොහොමද පාලකයෝ බේරෙන්නේ. මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නට මේ ප්‍රධාන සුපිරි බලවේග දෙකම අති විශාල ධන සම්භාරයක් දැනටමත් වියදම් කර හමාරයි. 

hjhhj_edited.jpg
සංචාර with Rohan Direkz
Session 1

Photo- www.klook.com

 

සෝවියට් දේශය කියන නම කියවෙන විට අපේ කටට එන තවත් වචනයක් තමයි කේජීබී සංවිධානය කියන නම. මේ රහස් ඔත්තු සේවය ඒ කාලයේ සෝවියට් දේශයේ පාලනයට විශාල වශයෙන් ආධාර කළා. සෝවියට් දේශයේ රහස් ආරක්ෂා කිරීම මේ කාර්යයන් අතරින් ප්‍රධාන ස්ථානය ගත්තා. සත්‍ය වශයෙන්ම පවසනවා නම් සෝවියට් දේශය රැක ගැනීම සඳහා මේ සංවිධානය කල ක්‍රියා දාමයන් අතිමහත්. සෑම රටකම එරටේ රහස් සංවිධාන වල ප්‍රධාන කටයුත්ත වන්නේ රටේ පාලනය රැක ගැනීම සඳහා ආධාර උපකාරී කිරීම. 

සෝවියට් දේශය සමයේ ලෝක දේශපාලන වාතාවරණයේ සිදුවුණු සුවිශේෂී සිදුවීම් සම්බන්ධව සමහර විට ඔබේ මතකය දිව යනවා ඇති.  ලෙනින්ගේ අභාවය, ට්‍රොස්කි ඝාතනය, ජෝශප් ස්ටාලින් බලයට පැමිණීම, ශ්‍රේෂ්ට දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණය, න්‍යෂ්ටික බෝම්භ නිපදවීම සිට අවසානයේ සෝවියට් දේශයේ එකම සහ අවසාන ජනාධිපති මිහායිල් ගොර්බචේව්ගේ ආගමනය එමෙන්ම සෝවියට් දේශය 1991 වසරේ බිඳ වැටීම දක්වා දිවෙන ක්‍රියාදාමයන් හා සම්බන්ධව ඇති වාර්තා, ජායාරුප සහ ඒ කටයුතු වෙනුවෙන් සෝවියට් සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කෙරුණු රහසිගත ලිපි ලේඛන ආරක්ෂා කර ගැනීම සඳහා සෝවියට් දේශයට ප්‍රබල උත්සාහයක් දරන්නට සිදුවුනා. 

කොහොමද සෝවියට් දේශයේ අති විශේෂ පුද්ගලිකයි රහසිගතයි රජයේ ලිපිගොනු රහස් ඔත්තු සේවාවල ලිපිගොනු ආරක්ෂා කලේ. මේවා පෙන්වනවා තියා මේවා ගැන කතා කරන්නත් බයයි සමහර රටවල් වල. 


පොලව යට ඉඳන් ලෝකයෙන් භාගයක් පාලනය කළා කිව්වොත් නිවැරදියි. හදිසියකදී පිටවෙලා යන්න වෙනම උමන් දුම්රිය මාර්ගයක්.......
අවුරුදු 75ක් කොහොමද සෝවියට් දේශය මේවා හොර රහසේ කලේ.....


මගේ මේ සංචාරය සිදු කෙරුනේ ලෝකයේ සුපර් පවර් ලෙස පෙනී හිටපු දැනටත් පෙනී සිටින රුසියාවේ මොස්කව් නුවර මධ්‍යයේ මීටර් 45ක් පොලව යටට දිවෙන සුවිශේහී අභිරහස් බංකරයකට. 

අපි මේ දැන් ඉන්නේ සෝවියට් දේශයේ සහ වර්තමානයේ රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාශයට අයිති වෙලා තිබුණු අති විශේෂ රහස් බංකරය ඉදිරිපිට. මේ බංකරය ඇත්තටම මීටර් 45කටත් වඩා පොලව යටට දිවෙනවා. මේ බංකරයේ ආරක්ෂා  කොට තබා ගෙන තිබුනේ සෝවියට් දේශය අතිශයන්ම රහසිගත ලිපි ලේඛන සහ උපකරණ. හැබැයි අපිට ජීවිතේ තියෙන තාක් කල් දැනගන්නට නම් ලැබෙන එක්ක නැහැ ඒ මොන වගේ ලිපිලේඛන ද කියල. අපිට කෙසේ වෙතත් මේ තැන ආරක්ෂා කරපු අයටටවත් ඒ ලිපි ගොනු පරීක්ෂා කරන්න අවසර තිබුනේ නැහැ.


මෙතනට දවස ගානේ වගේ ආව ලොකු ට්‍රක් රථ. ඒවා වල තිබුණු ලොකු පෙට්ටි මේ බංකරය ඇතුලට ගෙනිච්ච. ඊට පස්සේ තිබෙන විශේෂ සෝපානයකින්  පහලට රැගෙන ගොස් තිබුනා.


මේ ස්ථානය වටා ඒ කාලේ කටු කම්බි වලින් ආරක්ෂක වැටක් ඉදි කරලා තිබුනේ. මේ දැන් මම  හිටගෙන ඉන්න තැන හිටියේ ආයුධ අතින් ගත් සෝවියට් සෙබළුන්. උඩ තට්ටුවේ තමයි මෙතන ප්‍රධානියාගේ කාර්යාලය තිබුනේ.


කොපමණ ලෙස ආරක්ෂා කර ගන්න හැදුවත් මේ අවට ජීවත් වෙන මිනිස්සු දැන ගත්ත මොකක් හරි අමුත් දෙයක් මේ ස්ථානයේ සිද්ධ වෙනවා කියලා. නමුත් මේ ඔත්තු සේවා නිලධාරීන්ට පුළුවන් වුනා ලස්සන කට කතාවක් පතුරලා යවන්න. 

ඒ කට කතාව නිසා මේ ස්ථානය  අවට ජීවත් වන ජනතාව සිතුවේ චොකලට් ගබඩා කරණ කුඩා ගබඩාවක් මේ ස්ථානයේ ඇතැයි කියා. 

මේ තමයි තට්ටු 14ක් පොලව යටට යන්න ඇතුල් වන ස්ථානය.  තනිකරම යකඩ වලින් තමයි මේ තරප්පු පේලි සකස් කරලා තියෙන්නේ.  

අපි දැන් හරියටම පොලව යටට යන ගමනේ භාගයක් දුරට ඇවිල්ල ඉන්නේ.  ලිෆ්ට් එකේ එන්න ඇත්තටම අනතුරුදායකයි මොකද එක සමහර විට අතරමගදී නතර වෙන්න ඉඩ තියෙනවා. 


හොඳට පේනවා නේද තවමත් අපිට මේ ස්ථානය ආරක්ෂා කරන යකඩ ගේට්ටු දොරවල් දැක්කේ නැහැ. ඇත්තටම යම් විදිහකින් මේ අවට ප්‍රදේශයට බෝම්බයක් වැටුන නම් නැත්නම් භයානක පිපිරීමක් සිදුවුනා නම්. මේ අපි දැන් හිට ගෙන ඉන්න ස්ථානය සම්පුර්ණයෙන්ම විනාශ වෙන්න ඉඩ තියෙනවා. 

සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර යුධමය තරඟයේදී දෙපක්ෂයම එකිනෙක පරදවන්නට උත්සාහ ගත්තු නිසා ඒ තරඟය තියුණු බල අරගලයක් බවට පත් වුනා.  


1917 දී රුසියාව සහ පසුව එකතු වුනු අනිකුත් සමුහාණ්ඩු සමග පිහිටවුනු සෝවියට් දේශය ලොව ජයග්‍රහණයන්හි හිනි පෙත්තටම ගමන් කළා. නමුත් ඒ ජයග්‍රහණයන් සමග ඇමෙරිකා එක්සත් ජනපදයත් කරට කර සිටියා. 

සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර යුධමය තරඟයේදී දෙපක්ෂයම එකිනෙක පරදවන්නට උත්සාහ ගත්තු නිසා ඒ තරඟය තියුණු බල අරගලයක් බවට පත් වුනා.  


1917 දී රුසියාව සහ පසුව එකතු වුනු අනිකුත් සමුහාණ්ඩු සමග පිහිටවුනු සෝවියට් දේශය ලොව ජයග්‍රහණයන්හි හිනි පෙත්තටම ගමන් කළා. නමුත් ඒ ජයග්‍රහණයන් සමග ඇමෙරිකා එක්සත් ජනපදයත් කරට කර සිටියා. 

 

මේ කොරිඩෝර් එක හරහා වෙන්න ඇති සමහර විට මුළු මහත් ලෝකයක් දෑස් අල්වාගෙන බලා සිටිය ගොර්බචෙව් සහ රේගන් හමුවේ රහස්  ලිපි ගොනු ආරක්ෂා කරලා තබා ගන්න බංකරයට රැගෙන යන්නට ඇත්තේ.

මෙතනින් එහාට තමයි ලෝක ඉතිහාසයේ සෝවියට් ඉතිහාසයේ රුසියානු මෑත ඉතිහාසයේ ලිපිගොනු ආරක්ෂා කල ස්ථානයේ තිබෙන පළමුවන ආරක්ෂක රහසිගත දොරටුව තිබෙන්නේ. අති විශාල පිපිරීමකට සමහර විට න්‍යෂ්ටික පිපිරීමකදී පවා ඇතුලත ආරක්ෂා වෙන අන්දමට තමයි මේ දොරටුව හදලා තියෙන්නේ. මේක තනිකරම යකඩ රාමුවකින් ඒ වගේම ඒ රාමුව ඇතුලත කොන්ක්‍රීට් පුරවා තිබෙන (විශ්වාශ කරනවද) ටොන් 10 ක් බර දොරටුවක්. 


ඇත්තටම මේ දොරටුවේ වගකීම තමයි විශාල පිපිරීමකදී ඒ එන පිපිරීම සම්පුර්ණයෙන්ම දරා ගැනීම. අප පැමිණුනු කොරිදෝරය සම්පුර්ණයෙන්ම විනාශ වේවි නමුත් ඒ විනාශය සිදුවන්නේ දොරටුව ආසන්නයට පමණයි. 

මේ දොරටුව විවෘත කිරීම ලෙහෙසි පහසු නැහැ. නමුත් ඒ කාලයේ මේකට විදුලි මෝටරයක් සවිකර තිබුන නිසා පහසුවෙන් එය විවෘත කර ගන්න පුළුවන් වුනා. 

ඉදිරියෙන් තිබෙන්නේ තවත් විශේෂ රහසිගත දොරටුවක්.  මේ දොරටුව ඇත්තටම අධික පීඩනය සහිතව වැසෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. 


සම්පුර්ණයෙන්ම රබර් වලින් මේ දොර ආවරණය කරලා තියෙන්නේ. මේ රෝදය භාවිතා කර ප්‍රෙස් කරලා දොර වැහුවාම සම්පුර්ණයෙන්ම ඇතුලට පිටින් වාතාශ්‍රය ඇතුල් වීම නතර වෙනවා. ඒ කියන්නේ පොලව මතුපිට න්‍යෂ්ටික පිපිරීමක් ඇතිවුනොත්  විකිරනශීලීතාවයකට පත්වුණු වාතය මේ දොරින් ඇතුල්වීම වලකිනවා. 

මේ බංකරය හදල තියෙන්නේ කොටස් දෙකකට. තට්ටු 6ක් පහලට ඊට පස්සේ තවත් තට්ටු 6ක් පහලට. එහෙම හදන්න හේතුව යම විදිහකින් භයානක පිපිරීමක් ඇතිවුනොත් සම්පුර්ණයෙන්ම පිපිරීමේ විනාශය බංකරය පතුලට යෑම වලක්වා ගැනීම. ඒ වගේම බෝම්බයක් පස් තුලට කා වැදී පැමිණුනොත් මෙතැනදී එහි පිපිරීමී බලය අඩු වෙන්න පුළුවන්.  මීටර් ගණනාවක් උසැති කොන්ක්‍රීට් තට්ටුවක් ඒ වගේම තවත් මීටර් ගණනාවක පස් තට්ටුවක් තමයි දැන් අපේ හිස මත තියෙන්නේ. 


ඇත්තටම මේ බංකරය මුලින් අදහස් කලේ මොස්කව් නුවර උමන් දුම්රිය මාර්ගයට සම්බන්ධ කරන්න. ඒ වගේම උමන් මාර්ග ඉදිකරන ස්ථාන පාලනය කරන ප්‍රධාන මධ්‍යස්ථානායක බවට පත් කරන්න. 


නමුත් ඒ අදහස් සියල්ලම ලෝකයේ වෙනස් වන දේශපාලන පරිසරයත් සමගම වෙනස් වුනා. ඒ නිසා තමයි උමන් දුම්රිය මාර්ග වල සමහර ස්ථාන ඉදි කර අවසාන වූ පසු 1950 වසර වල සිටම මේ බංකරය වෙනත් රාජ්‍ය රහස් ලිපි ලේඛන ආරක්ෂා කර ගන්න ස්ථානයක් බවට පත් කිරීමට බලධාරීන් උත්සාහ  ගෙන ඇත්තේ. 

කොහොමද මෙවැනි ස්ථාන වලට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනුනේ. ඔක්සිජන් නැතිව බංකරයේ සිටින පුද්ගලයින් කොහොමද  මිනිස්සු හුස්ම ගන්නේ. ඒ වගේම හදිසි අවස්ථාවකදී හුස්ම ගන්නේ.  ඒ වෙනුවෙන් තමයි මේ කොටස් වැඩි දියුණු කලේ. 


මේ යකට බට හරහා තමයි ඔක්සිජන් පැමිණෙන්නේ. මේ ස්ථානයෙන් තමයි ඔක්සිජන් බංකරයේ පහලම කොටසට පැමිණෙන්නේ. හදිසි අවස්තාවක් උදා වෙලා අනතුරු හඟවන නලා නාද උනාට පස්සේ වැඩ කරන පුද්ගලයින්  කලින් දුටු දොරටු වසා ගෙන මේ ස්ථානයට පැමිණ ඔක්සිජන් පැමිණෙන බටත් වසා දමනවා. 

 

මේ කොටස තිබෙන්නේ  විශාල යකඩ බට තුල. මේ ආකාරයට ඔක්සිජන් පැමිණීම කපාටයකින් වැසී යනවා. එමෙන්ම විදුලි බලය නැතිනම් සාමාන්‍ය විදිහටත් මේ කපාට වසා දමන්න හැකියාව තිබෙනවා. 


මේ බංකරය තුල සාමාන්‍යයෙන් පුද්ගලයින් 12 දෙනෙකුට යම් කාලයක් හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් තිබෙනවා. ඒ යම් අවස්තාවකදී විශේෂයෙන්ම න්‍යෂ්ටික යුද්ධයකදී විකිරනශීලීතාවයකට භාජනය වුනු ඔක්සිජන් වායුව ඇතුලට ගලා ගෙන යාම වසා දැමීමෙන් පසුව. ඊටත් පසුව රසායනික ප්‍රතික්‍රියා මගින් ඒ අපිරිසිදු වාතයේ කාබන්ඩයොක්සයිඩ් ඉවත් කර පිරිසිදු කර නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහාද අවශ්‍ය පහසුකම් මේ බංකරයේ තිබුනා. ඒ නිසා යම් හදිසි අවස්ථාවකදී බංකරයේ සිටින පුද්ගලයින් 12 දෙනාගේ ජීවත්වීමේ කාලය තවත් සතියකින් හෝ දිගු කර ගැනීමට මේ මගින් අවස්ථාව ලැබුනා.  

මේ දිස්වන්නේ බංකරයේ පහලම තට්ටුව.

1961 වසර වෙන කොට මේ බංකරය සම්පුර්ණයෙන්ම ගොඩ නගා තිබුනා. 1961 වසරේ නොවැම්බර් මස 10 වැනිදා තමයි මේ බංකරය ප්‍රථම වරට සෝවියට් දේශයේ විදේශ කටයුතු අමාත්‍යංශයට රහසිගතව භාර දුන්නේ.  

මේ බංකරයෙන් සෝවියට් රජය අපේක්ෂා කලේ ලිපි ගොනු ටොන් 120ක් ආරක්ෂා කර තබා ගැනීම. නමුත් සත්‍ය වශයෙන්ම තිබුනේ ලිපිගොනු ටොන් 80ක් පමණ. 

න්‍යෂ්ටික යුද්ධයකදී නැතිනම් දරුණු බෝම්බ පිපිරීමකදී මේ ස්ථානයේ මතුපිට තිබෙන සියලුම කොටස් විනාශ වෙන්න පුළුවන්. නමුත් ඒ විනාශය පොලව තුලට පැමිනුනහොත්  ඒ වෙනුවෙනුත් විසඳුමක් සොයා ගෙන තිබුනා. ඒ තමයි මොස්කව් උමන් දුම්රිය මාර්ග.

මම දැන් මේ දොරටුව විවෘත කර පෙන්වන්නම්. 
මේ තියෙන්නේ  රාජකාරී කල නිලධාරීන්ගේ පෞද්ගලික භාණ්ඩ තබා ගැනීම සඳහා සාදන ලද විශේෂ අල්මාරි. 

මේ ස්ථානයෙන් එපිටට ඔබටත් මටත් යන්නට අවසර නැහැ. 

මේ දොරටුවෙන් එහා පැත්තේ තිබෙන්නේ මොස්කව් උමන් දුම්රිය මාර්ගයේ ප්‍රධාන නැවතුම් පොලක මාර්ගයක්.  කොතරම් ශක්තිමත්ව මේ දොරටු වසා තිබෙනවාද කිවහොත් එක් ජල බින්දුවක්වත් දොරටුව හරහා යාමට කිසිම ඉඩක් නැහැ
 

1991 දෙසැම්බර් 25 වැනිදා සෝවියට් දේශය විසිරුවා හරින විට මේ රහස් ස්ථාන වල ආරක්ෂාව තව දුරටත් තර කර ගන්න සිදුවුනා. සෝවියට් දේශය බිඳ වැටීමෙන් කේජීබී ආයතනයටත් තම නම වෙනස් කර ගන්නට සිදුවුනා. 

මෙවැනි ස්ථාන තුල ඉඳන් මොස්කව් නගරයට පමණක් නෙවෙයි සෝවියට් දේශය පමණක් නොවෙයි මුළු ලොවේම අනාගතයට බලපාන තීරණ ගැනීමේ හැකියාවක් තිබිලා තියෙනවා. 

මේ දොරටුවෙන් විවෘත වෙන්නේ මේ බංකරයේ හදවතට. මේ ස්ථානයේ සිට තමයි බංකරයේ සියලුම ක්‍රියාවන් වල පාලනය සිදුවුනේ. විදුලි බලයේ සිට අවශ්‍ය ඔක්සිජන් සැපයුම දක්වාත්, රාජකාරි කරන පුද්ගලයින්ගේ ඇතුල් වීමේ සිට ඔවුන්ගේ පිටවීම දක්වාත්, සියලුම් ලිපිලේඛන සහ භාණ්ඩ වල තත්වයන් විශ්ලේෂණය කිරීමත් ඒ වගේම හදිසි අවස්වථාවකදී පාලනයත් සිදුවුනේ මේ ස්ථානයේ සිට.......


හදිසි අවස්වථාවකදී පොලව මට්ටටමේ න්‍යෂ්ටික යුද්ධයක් හෝ බිහිසුණු පිපිරීමක් ඇතිවුනොත් ඒ ලැබෙන සංඥාව මත සේවකයන් අප මෙතෙක් සඳහන් කල සියලුම දොරටු වසා ගෙන තට්ටු 14ක් පොලව යට ඇති මේ ස්ථානයට තමයි පැමිනෙනේ. 

 

මේ පෙනෙන්නේ අවශ්‍ය ඔක්සිජන් පවා පිරිසිදු කිරීමෙන් පසු ලබා දීම සඳහා සාදා තිබිණු උපකරණ. ඊටත් අමතරව මේ ස්ථානයේ තිබී තිබෙනවා  ඔක්සිජන් සිලින්ඩර.  එමෙන්ම සබ්මැරීන් වල බොහෝ දුරට භාවිතා කරන ක්‍රම ඔක්සිජන් ලබා ගැනීම සඳහාත් භාවිතා කර තිබුනා.

 

මේ ජායාරුප වලින් දිස්වන්නේ එවැනි ස්ථාන. එමෙන්ම දින 14කට අවශ්‍ය ජලයත් මේ ස්ථානයේ ගබඩා කොට තිබුනා. 


සමහර විට ඒ කාලයේ සෝවියට් දේශය සිතන්නට ඇති දින 14ක වැනි  කාලයකදී මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාවන් ලැබෙනු ඇතැයි කියා  

hjhhj_edited.jpg
සංචාර with Rohan Direkz
Session 1

සාමානයෙන් මේ කාමරයේ රාජකාරි කල පුද්ගලයින්ගේ මුලිකම කර්තව්‍යය වුයේ බංකරයේ පහලම කොටසේ අවශ්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 16කට සහ වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය පාලනය කර ගැනීම.  ඒ රහස් ලිපි ලේඛන සුදුසු තත්වයෙන් විනාශ නොවී පවත්වා ගැනීම වෙනුවෙන්.                

මේ තමයි ඒ සුවිශේෂී ස්ථානය.

 

මේ දෝනාවේ  තමයි සෝවියට් දේශයේ සහ මෑත කාලයේදී 2018 වසර වෙනත් රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සමහර රහසිගත ලිපි ගොනු ආරක්ෂාකාරීව තබා තිබුනේ. මේ දෝනාවේ මැද කොටසේ අති විශාල රාක්ක වල විශේෂ අංක ක්‍රමයක් යටතේ තමයි ඒ ලිපි ලේඛන තබා තිබුනේ.              
සමහර යකඩ වුවරු වල සඳහන් වෙනවා ඒවා නිෂ්පාදනය කරපු වසර සහ දිනය. එයින් අවබෝධ කර ගන්නට පුළුවන මේ ස්ථානය සෝවියට් දේශය පාලනය කල ජෝශප් ස්ටාලින්ගේ සමයේ ඉදි කරන්නට ඇති බව. 


ඔබ මොස්කව් නගරයේ උමන් මාර්ගයේ දුම්රියේ ගමන් කර තිබෙනවානම් මේ දෝනාව සාදා තිබෙන්නේත් ඒ දුම්රිය යන උමන් වල ප්‍රමානයටමයි. 

හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන සියලුම උපකරණ මේ බංකරය තුල තියෙනවා. විශේෂයෙන්ම විකිරනශීලීතාවය මනින උපකරණ - ඒ යම් අන්දමකින් න්‍යෂ්ටික යුද්ධයකදී විකිරණ වලින් හානි වුනු ජලය හෝ වාතය මේ බංකරයට ඇතුල් වුනොත් අවශ්‍ය මිනු ලබා ගන්නට. ඒ වගේම අවශ්‍ය වන ගෑස් මුහුණු. - මේවා අවශ්‍ය වෙන්නේ ඔක්සිජන් හින් වීමේදී සහ න්‍යෂ්ටික යුද්ධයකදී. 

මෙවැනි බංකර කොපමණ ප්‍රමාණයක් මොස්කව් නගරයේත් රුසියාවේ අනිකුත් නගරවලත් තිබෙනවාද කියා අදටත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේ දැනට සොයාගෙන තියෙන අතේ ඇඟිලි වලටත් වඩා අඩු ස්ථාන කිහිපයෙන් එක සුවිශේෂී රහස් බංකරයක්. 

සෝවියට් දේශයේ ප්‍රථම සහ අවසාන ජනාධිපති ගොර්බචෙව් සහ ඔහුගේ ක්‍රියා කලාපයන් නිසා ඉංග්‍රීසි භාෂාවට රුසියානු භාෂාවෙන් අලුත්ම වචන දෙකක් එකතු වුනා. ඒ තමයි පෙරේස්ත්රෝයිකාව සහ ග්ලාස්නොස්ත් යන වචන දෙක. පෙරේස්ත්රෝයිකාව යනුවෙන් අදහස් කෙරෙන්නේ නැවත ගොඩනැගීම. බිඳ වැටෙමින් තිබුණු සමාජ ක්‍රමයක් ආර්ථික ක්‍රමයක් නැවත ගොඩනැගීම තමයි එහි අරමුණ වුනේ.  ගලාස්නස්ත් යන වචනයෙන් කියවුනේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඒ විවෘර්ත භාවය. 


නමුත් මේ වචන දෙක ක්‍රියාත්මක කිරීමට ගොස් මිලියන 140ක් ජනතාවගේ දේශයක් ලොවින් තුරන් වෙලා ගිය බව තමයි රුසියාවේ ගොර්බචෙව් ගේ ක්‍රියා කලාපයට විරුද්ධ මත ප්‍රකාශ කරන පුද්ගලයින් පවසන්නේ. 

අද රුසියානු ජාතිකයෙකුගෙන් ඇසුවහොත් ගොර්බචෙව් යනු කුමන පුද්ගලයෙක්ද යන ප්‍රශ්නය බොහෝවිට ලැබෙන්නේ මෙවැනි ආකාරයේ පිළිතුරක්. 
 

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ලෝක දේශපාලන කරලියේ සිදුවුණු සිදුවීම් අනන්තයි අප්‍රමානයි.  ඒ කිසිම දිනෙක ලෝක වාසීන් අපේක්ෂා නොකළ සිදුවීම්. අවසානයේදී මේ බිඳ වැටීම නිසා තවත් නව ස්වාධීන රටවල් 15ක් ලෝක සිතියමට එක්වුණා. 

එමෙන්ම දේශපාලන විද්‍යාවේ න්‍යායයන් පවා බිඳ දමමින් ඒ මියගිය සෝවියට් අළු මතින් නව දේශයක් ලොවට බිහිවුණා. ඒ රුසියානු සමුහාණ්ඩුව.


මේ නව දේශයට අදට අවුරුදු 30ක්. මේ  දේශයට හැකිවුනා එදා සෝවියට් දේශයට තිබුණු ගෞරවය එදා අති මහත්වූ ප්‍රජාවක් සෝවියට් දේශයට දැක්වූ ආදරය නැවත දිනා ගන්නට. නැවත වාරයක් ලෝකයේ අනිකුත් සුපර් පවර් සමග එකට සිට ගන්නට.

 

ඔවුනට හැකිවුනා සෝවියට් දේශය බිඳ වැටීමත් සමග ඔවුනට උරුම වූ දෑවැද්ද නිවැරදි ලෙස කළමනාකරණය කර ගන්නට. විසිරී ගිය ජනතාවක් රටක් නැවත එකතු කරන්නට.  

 

සෝවියට් දේශය පුරාම රහසිගතව ඉදිකෙරුණු මෙවැනි බංකර ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් පමණයි තවම මහජනතාවට විවෘත වී තිබෙන්නේ. ඒ විවෘත වුනු ස්වල්ප ප්‍රමාණයෙන් අවබෝධ කර ගන්නට පුළුවන් කොතරම් උපායශීලීව ඒ කාලයේ තිබුණු තාක්ෂණික දැනුම උපයෝගී කර ගනිමින් රහසිගතව මෙවැනි ස්ථාන ඉදි කර ඇත්ද යන වග.
 

ශීතල යුද්ධයේ නටබුන් මේ ආකාරයෙන් ජනතාවට විවෘත වෙත්දී ඒ හරහා ව්ලැදිමීර් ලෙනින්ගේ ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ සිට ශ්‍රේෂ්ට දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණය සහ 1991 වසරේ මිහායිල් ගොර්බචේව්ගේ පාලනය දක්වාත් පසුව ඒ ශ්‍රේෂ්ට දේශයේම බිඳ වැටීම වැනි විසි වන සියවසේ අපුර්වතම සිද්ධීන් සමුහයක මතක සටහන් නැවත ස්මරණය කෙරෙනවා. 

රොහාන් ඩිරෙක්ස් Rokhan Direkz

16-26 February 2020

rohandx@hotmail.com