වාඩි රම් නිදියේ රාත්‍රියක්
  • Facebook - Black Circle
  • YouTube - Black Circle

දුහුවිලි වලින් සහ බොරළු වලින් පිරී ඇති ජෝර්දාන කාන්තාරයේ එක් මාවතක් ඔස්සේ අපගේ ජීප් රථය ඉතා සෙමින් සහ අපහසුවෙන් ඉදිරියට ගමන් කරනවා. ඉදිරිපස පෙනෙන්නේ මීටර කිහිපයක් ඉදිරියට විතරයි.  අධික දුවිලි තට්ටුව නිසා වාහනයේ දෙපස වීදුරු වලින් කිසිම් දෙයක් බලා ගන්නට බැහැ.

 

අපි මේ යන්නේ දකුණු ජෝර්දානයේ පිහිටා ඇති ලොව දර්ශනීය, තවමත් මිනිස් පිය නොගැසුණු ප්‍රදේශයන්ගෙන් සමන්විත සහ අරුම පුදුම ස්ථානයක් වන වාඩි රම් නිම්නය නැරඹීම සඳහා.

 

වාඩි රම් නිම්නය කියන්නේ ඇති විශාල භුමියක පැතිරිලා තියෙන වැලි කාන්තාර සහ ගල් කඳු වැටී වලින් සමන්විත නිම්නයක්. ගහක් කොලක් දකින්නට නොමැති වැහි බින්දුවක් නොවැටෙන මේ නිම්නයේ ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙන අයට විතරයි.

 

කි‍්‍ර.පූ. 312 දී පමණ, අරාබි ගෝත‍්‍රයකට අයත් වූ “නැබටියන්වරු” මේ ප‍්‍රදේශ අවට ජනාවාස පිහිටුවා ගත්තා. දැනට මේ වාඩි රම්  නිම්නය අවට ජීවත් වන්නේ බේඩුයින් වරුන් වශයෙන් හැඳින්වෙන ගෝත්‍රිකයින්ය. ඉතා දුෂ්කර පාරිසරික තත්වයක් යටතේ (ඒ කියන්නේ දහවල් උෂ්ණත්වය අධික නිසාත් රාත්‍රිය අධික ශීතල නිසාත්) ජීවත් වෙන ඔවුන් නිසා මේ නිම්නය බොහෝ දුරට ආරක්ෂා වී පවතිනවා. එමෙන්ම සංචාරකයින් අතරේද බොහෝ ජනප්‍රියතාවයට පත් වී තිබෙනවා.

වාඩි රම් නිම්නයේ ඇති ගල් කඳු වල නැගීමට සහ මේ කාන්තාර භුමිය තරණය කිරීමට ලොව සමහර සංචාරකයින් පුදුම ආසාවක් දක්වනවා. ලොව දක්ෂ ගල් කඳු නගින පිරිසක් විසින් 1949 වර්ෂයේදී මේ වාඩි රම් නිම්නයේ ගල් කඳු පිළිබඳව අධ්‍යයනය කල පසු එතැන් සිට අද දක්වා ඒ මාර්ග ඔස්සේ යෑමට බටහිර රටවල සංචාරකයින් මාස ගණන් මේ නිදිය තුල නැවතී කඳු නැගීමේ ක්‍රියාවලියේ නිරත වෙනවා.

එදින රාත්‍රිය ගත කිරීම සඳහා මා එවැනි සංචාරක කුඩාරමක් තෝරා ගත්තා. මෙය ඇත්තෙන්ම පුදුම අත්දැකීමක්.

 

මේ එක් කුඩාරමක් වර්ග මීටර 5ක් පමණ විශාල වෙනවා. ඇතුලේ රාත්‍රිය ගත කරන්නට අවශ්‍ය පහසුකම් තිබෙනවා. වාඩි රම් නිම්නයේ දහවල් කාලයට අධික උණුසුමක් තිබුනත් රාත්‍රී කාලයට අධික සීතලක්ද තිබෙනවා. ඒ නිසා සීතලෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පොරෝන මෙන්ම විදුලි බලයෙන් වැඩ කරන හීටරයක්ද තිබෙනවා. හැබැයි විදුලි බලය දෙන්නේ ජෙනරෙටරයකින් නිසා රාත්‍රී 10.00 ට විදුලි බලය විසන්ධි කරනවා. ඊට පස්සේ අපිට ආලෝකය ලැබුනේ දල්වන පන්දම් වලින්.

මා රාත්‍රිය ගත කල දිනයේ ලොව නොයෙක් රටවල් වලින් පැමිණි සංචාරකයින් මා සමග රාත්‍රිය ගත කළා. රාත්‍රී සහ උදෑසන කෑම සඳහා එක විශාල කුඩාරමක් තිබෙනවා. එහි බුෆේ ක්‍රමයට ආහාර සැපයෙනවා. එක් රාත්‍රියක් ගත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 50ක් පමණ මුදලක් අය කරනවා.