Learning from History !
A Trip to Auschwitz Concentration Camp

Taste the Blood of Hamer Tribe!

Sanchara - Ethiopian Tour

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

Rokhan Direkz

rohandx@hotmail.com​

1941 වසරේ ජුනි 22 වැනිදා මේ ලොව පවතින තාක් රුසියාවට අමතක නොවන දිනයක්. එදා උදෑසන 4.00 ට තමයි හිට්ලගේ නාසි හමුදාව කිසිම දැනුම් දීමකින් තොරව සෝවියට් දේශයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින් බෙලොරුසියානු පෝලන්ත දේශසීමාවේ බ්‍රෙෂ්ට් නගරයට ප්‍රහාර එල්ල කලේ. 

1940 දෙසැම්බර් මාසේ 18 වැනිදා හිට්ලර් බාබඩෝස් සැලැස්ම සකස් කළා. බාබඩෝස් සැලැස්මෙන් හිට්ලර් අදහස් කලේ පැති තුනකින් සෝවියට් දේශය ආක්‍රමණය කර විනාශ කරන්නට. ලෙනින්ග්රාඩ්, මොස්කව් සහ කීව් නගර ඒ අතර වුනා. මොස්කව් නගරය අල්ලා ගන්නට සැලසුම් කලේ ලෙනින්ග්රාඩ් නගරය වැටලීමෙන් පසුව.  

ලෙනින්ග්රාඩ් (අද හඳුන්වන්නේ පීටර්ස්බර්ග් නමින්) නගරය එදා සෝවියට් දේශයේ සහ දැන් රුසියාවේ දෙවන විශාලතම නගරය. එදා සෝවියට් දේශයේ යන්ත්‍ර සුත්‍ර නිපදවන් විශාල කම්හල් 300කටත් අධික ප්‍රමාණයක් මේ නගරයේ පිහිටා තිබුනා. මේ කම්හල් වල 600,000 කට අධික කම්කරුවන් පිරිසක් රැකියාවන් කළා.  ඒ වගේම මේ කම්හල් සෝවියට් දේශයේ ආරක්ෂක අංශ වල නිෂ්පාදන වෙනුවෙන් 75%ක  පමණ දායකත්වයක් ලබා දුන්නා. ලෙනින්ග්රාඩ් නගරය අල්ලා ගැනීමෙන් හිට්ලර් බලාපොරොත්තු වුනේ මේ සෝවියට් දේශයේ කාර්මික හදවත විනාශ කර මුළු රටම අඩපන කරන්නට.

 

ලෙනින්ග්රාඩ් නගරයට මා කිහිප වතාවක් ගිහින් තිබෙනවා.  නමුත් පළමුවෙනි වරට ලෙනින්ග්රාඩ් නගරයට මා පැමිණි දිනය මට කිසිම දිනෙක අමතක වෙන්නේ නැහැ. මොස්කව් නුවර සිට පැය 8ක් පමණ කල් ගෙවා දුම්රියෙන් ලේනින්ග්රාඩ් නගරයට පැමිණ මා හට මුලින්ම හමුවුනේ දුම්රිය ස්ථානය අසල මා පැමිණෙන තෙක් බලා සිටි ලේනින්ග්රාඩ් නගරයේ වෙසෙන මගේ ගුරුවරයෙක් වන මිනායෙව් මහතා. ඔහුත් සමග කතා බස් කල මා එදින නැරඹීමට බලාපොරොත්තුවන ස්ථාන වල කෙටි සටහනක් ඔහු අත තැබුවා. එහි එක් ස්ථානයක් වුනේ පිස්කරෙව් කනත්ත. ඔහු පුදුමයෙන් වාගේ මගේ දිහා බලලා ඇහුවා අපි ඉස්සෙල්ලාම යමු මෙතනට. ඒ පිස්කරෙව් කනත්තට.

 

මගේ සටහනේ පිස්කරෙව් කනත්ත ලියා තිබුනේ අවසානයට. ඒ වෙලාව ඉතිරි වුනොත් නරඹන්නට යන්නට. 

 

"ඔබ පළමුවන සැරේට පීටර්ස්බර්ග් නගරයට ආපු නිසා නගරය ගැන හොඳම අවබෝධය ලබා ගන්න නම් මෙතනින් පටන් ගනිමු."

 

"මේ නගරය අද මේ තත්වයෙන් තබා ගන්නට කොතරම් පිරිසක් දිවි පුලා තිබෙනවාද! කොතරම් කඳුළු ප්‍රමාණයක් ගලලා තිබෙනවාද ! අද මේ දර්ශනීය එමෙන්ම ජනාකීර්ණ නගරයේ සෙවනැල්ල වන්නේ කටුක භයානක ඉතිහාසයක්. ඒ ඉතිහාසය ගැන අවබෝධයක් නැතිව ලේනින්ග්රාඩ් නගරය නැරඹීම ප්‍රතිපල රහිතයි." මිනායෙව් සර් ගේ මේ වචන ලේනින්ග්රාඩ් නගරයේ මා දැකපු සෑම දෙයක්ම අර්ථවත්ව නරඹන්නට මට උදව් වුනා.

1941 සැප්තැම්බර් මාසේ 8 වැනිදා හිට්ලර්ගේ නාසි හමුදා විසින් ශ්ලිසේල්බර්ග් නගරය අල්ලා ගෙන ලේනින්ග්රාඩ් නගරය වටකර හමුදා සේනාංක ස්ථානගත කළා.  මුළු ලොවක ඇස් කඳුලෙන් තෙත් කල ලේනින්ග්රාඩ් නගරය වැටලීමේ (Siege of Leningrad) ආරම්භය එයයි.  නගරයට එන ජලය, විදුලි බලය , ගෑස් නල මාර්ග, පාරවල් සියල්ල නාසි හමුදාව විසින් විනාශ කළා.  මිලියන 3කටත් අධික ජනතාවක් බලාපොරොත්තු කඩවී නගරය තුල සිර වී සිටියා. සෝවියට් රතු හමුදාවට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට එතරම් පහසු වුනේ නැහැ.  ලේනින්ග්රාඩ් නගරයේ එවකට සිටි හමුදා භාර නායක වර්ශිලොව් තීරණය කළා නගරය නාසි හමුදාවන්ට භාර දී යටත් වන්නට. 

විශ්වාස කරනවාද එදා සිට දින 872ක් නාසි හමුදාවන් ලේනින්ග්රාඩ් නගරය මෙසේ වටකර තබා ගෙන සිටියා. නාසි හමුදාවන් සැලසුම් කලේ ලේනින්ග්රාඩ් නගරය ලෝක සිතියමෙන් ඉවත් කරන්නට. මොහොතින් මොහොත නගරය යටත් වෙවියයි නාසි හමුදාවන් බලා සිටියා.  නගරය වටා කි.මී. 5000ක් පමණ ප්‍රමාණයක් නාසි හමුදාවන් විසින් පාලනය කරනු ලැබුවා. 

සෝවියට් නායක ස්ටාලින් පවා මේ අවස්ථාව හැඳින්වුයේ ඉතිහාසයේ ඛේදජනක අවස්ථාවක් හැටියට. ඔහු සිතුවේ තවත් ටික දිනකින් ලේනින්ග්රාඩ් නගරය අපෙන් ගිලිහී යනවා යයි කියා. නමුත් අවසානයේදී පැමිණුනේ ශුකොව්. ශුකොව් කියන්නේ දෙවන ලෝක සංග්‍රාමයේදී සෝවියට් දේශයේ ජයග්‍රහණය වෙනුවෙන් අති විශාල කාර්ය භාරයක් ඉටු කරපු යුධ නායකයෙක්. ශුකොව් ගේ තීරණය වුනේ කිසිම අන්දමකින් ලේනින්ග්රාඩ් නගරය යටත් නොවිය යුතු බව.  

මුළු ලේනින්ග්රාඩ් ජනතාවම එක හඬින් මේ තීරණය අනුමත කළා. සැප්තැම්බර් මාසේ 10 වැනිදා නාසි හමුදාවන් විසින් පළමුවන ගුවන් ප්‍රහාරය ලේනින්ග්රාඩ් නගරය වෙත එල්ල කලා. එතැන් සිට දින 872ක් තුල අවම වශයෙන් බෝම්බ 150,000ක් පමණ නාසි හමුදාවන් විසින් ලේනින්ග්රාඩ් නගරය වෙත හෙලා තිබෙනවා.

නාසි හමුදාවන් විසින් ලේනින්ග්රාඩ් නගරය වට කල අවස්ථාව වන විට නගරය සතුව අමතර ආහාර, ජලය සහ බෙහෙත් ද්‍රව්‍ය එතරම් ප්‍රමාණයක් තිබුනේ නැහැ.  බාහිර ලෝකයත් සමග ඇති සම්බන්ධතාවයන් නතර වීමත් සමගම ජනතාවගේ ප්‍රශ්න අධික ලෙස වැඩි වෙන්නට පටන් ගත්තා. මේ අතරින් ප්‍රධාන තැන ගත්තේ ජීවත් වීම සඳහා ආහාර සපයා ගැනීම. පාන් නිෂ්පාදනය සඳහා අවශ්ය් වන පිටි සපයා ගැනීම ලෙහෙසි වුනේ නැහැ. ඒ නිසා ලේනින්ග්රාඩ් පාලනයට සිදුවුනා පාන් සැපයීම සීමා කරන්නට. අවසානයේදී එක පුද්ගලයෙකුට පාන් ග්රෑම් 200ක් පමණ දවසකට ලැබෙන ලෙස සැලසුම් සකස් කරන්නට සිදුවුනා. අනිකුත් ආහාර කිසිවක් තිබුනේ නැහැ. තිබුනේ පාන් විතරය්. එයත් ලැබුනේ ග්රෑම් 200ක්. ඒ වෙනුවෙන් කුපන ක්‍රමයක් සකස් කරන්නට සිදුවුනා. ඒ පාන් ග්රෑම් 200 ලබා ගන්නට පවා අධික පෝලිම් වල සිටින්නට සිදුවුනා. 

කුසගින්න නිවා ගැනීම ලෙහෙසි පහසු වුනේ නැහැ. නගරය හැම පැත්තෙන්ම වට කරලා. සෝවියට් රජය සමහර අවස්ථා වලදී ලේනින්ග්රාඩ් උතුරු ප්‍රදේශය හරහා විටින් විට පාන් සෑදීමට අවශ්‍ය පිටි සහ බෙහෙත් ද්‍රව්‍ය ප්‍රවාහනය කලත් බොහෝ විට නගර වැසියන්ට ඒවා ලැබුනේ නැහැ. ඒ නාසි හමුදා විසින් අතර මගදී ඒවා විනාශ කර දැමු නිසා. 

විදුලි බලය, ගෑස් සහ බෙහෙත් ද්‍රව්‍ය නැහැ. කුසගින්න නිසා මිනිසුන් තැන් තැන් වල මිය යන්නට පටන් ගත්තා.  ඒ සමගම 1941 වර්ෂයේ ශීත කාලයත් පැමිණුනා. අවාසනාවකට මෙන් ඒ ශීත සමය තමා දරුණුම ශීත සමය හැටියට වාර්තා වුනේ. උෂ්ණත්වය - 30 දක්වා පහල ගොස් තිබුනා. ශීතලෙන් සහ සාගතයෙන් ආරක්ෂා වීමට ලේනින්ග්රාඩ් ජනතාව ප්‍රබල උත්සාහයන් ගත්තා. හිට්ලර් බලාපොරෝත්තුවුයේද මෙයමයි. 

මියගිය පුද්ගලයින්ගේ මල සිරුරු සෑම තැනකම දිස් වෙන්නට වූනා. ඉන්ධන නොමැති නිසා කිසිම වාහනයක් බස් රථයක් ධාවනය කරගන්නට බැරිවුනා. ඒ නිසා මල සිරුරු එකතු කිරීම පවා කර ගන්නට බැරිවුනා. මව හෝ පියා එහෙමත් නැතිනම් පුතා හෝ දුව තම නෑදෑයන්ගේ මියගිය සිරුර බිම දිගේ ඇදගෙන යමින් කෙසේ හෝ පිස්කරෙව් කනත්ත වෙතට ගෙන යාමට උත්සාහ කරන දර්ශන ඒ කාලයේ සුලභ වුනා. ඇත්තෙන්ම ලේනින්ග්රාඩ් නගරය මිහිපිට අපායක් බවට පත් වුනා. 

ඔබ විශ්වාස කරනවාද ? මේ කාලය තුල ලේනින්ග්රාඩ් වැසියන් 630,000ක් මිය ගියා.  මෙයින් 3%ක් පමණයි නාසි හමුදාවන්ගේ ප්‍රහාර සහ බෝම්බ වලින් මියගියේ. අනිත් සියලුම ජනතාව මියගියේ කුසගින්නෙන්. 

නගරයේ හිම පිරිසිදු කිරීම් කරන්නට කිසිම හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා අහස උසට හිම කඳු ගොඩ ගැසී තිබුනා. අධික සීතල අඩු කරගන්නට ගිනි මැල බොහෝ විට උපකාර වුනත් දල්වන්නට අවශ්‍ය දර සපයා ගැනීමට නොහැකි වුනා. ඒ නිසා ගෙවල් වල තිබුණු සියලුම ගිනිගන්නා දේවල් ගිනි මැල වෙනුවෙන් පාවිච්චි කරන්නට සිදුවුනා. 

මිනායෙව් සර් ඉපදී තිබෙන්නේ 1941 වසරේ. ඒ යුද්ධය ආරම්භ වූ වසරේ. ඔහුගේ පියා මියගොස් තිබෙන්නේත් 1941 වසරේ ඔහුගේ මල සිරුරවත් සොයා ගන්නට බැරිවී තිබෙනවා.  ඒ සිරුර මේ භුමියේ කොයි තැනක හෝ මිහිදන් වී ඇතයි ඔහු විශ්වාශ කරනවා.ඒ නිසා හැම වසරකම මැයි මාසයේ ඔහු මේ පිස්කරෙව් අනුස්මරණ සංකීර්ණයට පැමිණ මල් පොකුරක් සමග දැල්වූ ඉටිපන්දමකින් තම මියගිය පියා වෙනුවෙන් ගෞරව දක්වනවා.  ඔහු විතරක් නොවේ මෙසේ පැමිණෙන්නේ. හැම ලේනින්ග්රාඩ් වැසියෙකුගේ කවර හෝ නෑදෑයෙක් මිත්‍රයෙක් මේ ලේනින්ග්රාඩ් වැටලීමේදී දිවි පුදා තිබෙනවා.

මේ කාලය තුල සාගතයෙන් සහ බෝම්බ වලින් මියගිය වැසියන්ගේ සිරුරු පිස්කරෙව් කනත්ත වෙත ගෙන එම අපහසුතාවෙන් වුවද සිදු කරනු ලැබුවා. අද මේ මා ඉදිරියේ දිස් වන පිස්කරෙව් කනත්ත තුල ඇති සමුහ මිනීවළවල් තුල 450,000කටත් අධික ලේනින්ග්රාඩ් වැසියන් පිරිසකගේ සිරුරු මිහිදන් කර තිබෙනවා.  මෙතරම් ප්‍රමාණයක් කුසගින්නේ මිය ගිය පෙදෙසක් නගරයක් තවත් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති. මිහිදන් කර ඇති මිනිසුන්ගේ නම් ගම් පවා සොයා ගන්නට නැහැ. රුසියාව තවමත් සංඛ්‍යා ලේඛන සකස් කරමින් සිටිනවා. 

පිස්කරෙව් කනත්තේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නැගෙන සිහින් සංගීත නාදය අවට පරිසරයට තවත් දුක්මුසු බවක් එකතු කරනවා. රතු පාටින් දිලෙන මල් සුන්දරත්වයක් ගෙන ආවත් මිය ගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ රුධිරයෙන් නොවේද ඒ රක්ත වර්ණය මල් වලට ලැබී තිබෙන්නේ.

දෙවන ලෝක සංග්‍රාමයේ ලෙනින්ග්රාඩ් වැටලීම ගැන කියවනකොට ඇසෙන විට ඇස් වලට කඳුළු එනවා. මෙතරම් පීඩනයට පත් ජනතාවක්, මෙතරම් සැහැසිකම් වලට ලත් ජනතාවක්, මෙතරම් කෘරකම් වලට භාජනය වුනු ජනතාවක්, මෙතරම් සහාසික ලෙස මරණයට පත්වූ ජනතාවක් ලොව කොහෙත් නැතැයි කියා මට හිතෙනවා. ලේනින්ග්රාඩ් නගරයේ හැම ගසක්ම හැම ගලක්ම හැම ගොඩනැගිල්ලක්ම ඒ වෙනුවෙන් සාක්ෂි කියාවි. පිස්කරෙව් අනුස්මරණ සංකීර්ණයේ දිනය පුරා නොනවත්වා සිහින් හඬින් නැගෙන සංගීත රාවය තුලින් ඇසෙන්නේ ලක්ෂ සංඛ්‍යාත රුසියානු වැසියන්ගේ දුක් සුසුම් යයි කිව්වොත් නිවැරදියි. 

මල් පොකුරු කිහිපයක් මිලදී ගත් මා මිනායෙව් සර් සමග කනත්තේ කෙළවරටම ඇවිද ගියා. කනත්තේ කෙළවර ඇත්තේ ඕක් ගසේ කොළ වලින් සෑදු මල් මාලාවක් අතින් ගත් කාන්තාවකගේ විශාල පිළිරුවක්. ඒ පිලිරුවෙන් අදහස් වන්නේ රට වෙනුවෙන් දිවි පිදු වැසියන් වෙනුවෙන් මව් බිමේ ආචාරය මෙසේ පිරි නැමේ යන අදහසයි. 

පිස්කරෙව් කනත්තේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දැන් ඇසෙන්නේ ගීතයක්. රුසියානු ජාතික යෙව්ටුෂෙන්කෝ ගේ පද වැලක්.

 

යුද්ධයක් ඕනෑද රුසියානුවන්ට 

ගිහින් අහන්න අපේ රටෙන්

අහන්න අපේ සොල්දාදුවන්ගෙන්

අහන්න ඔවුන්ගේ දු පුතුන්ගෙන්

අහන්න අපේ මව් වරුන්ගෙන්

තවත් යුද්ධයක් ඕනැද රුසියානුවන්ට 

 

දිවි පිදුවේ අපේ රට වෙනුවෙන්ම නොවේ

මුළු ලොවේම අනාගතය වෙනුවෙන්

ලොව හැම දෙනාම තේරුම් ගනීවි

තවත් යුද්ධයක් ඕනැද රුසියානුවන්ට 

රුසියානු ජනතාව පැසිසිට් වාදයට එරෙහිව දෙවන ලෝක සංග්‍රාමයේදී ලැබූ ජයග්‍රහණය මැයි මාසයේ සමරනවා. මිලියන 30 ක සෝවියට් රුසියානු ජනතාවක් ඒ යුද්ධය වෙනුවෙන් දිවි පිදුවා. ඒ වෙනුවෙන් මැයි මාසේ 9 වැනිදා මොස්කව් නුවර රතු චතුරශ්‍රයේ විශාල යුධ සංදර්ශනයක් සහ පෙළපාලියක් පැවැත්වෙනවා.  ලේනින්ග්රාඩ් නගරය ඒ උත්සවය පවත්වන්නට සුදුසුම නගරය කියල මට හිතෙනවා.  ලේනින්ග්රාඩ් රුසියානුවන්ගේ හැම මුහුණක්ම පවසන්නේ ඒ බිහිසුණු බියකරු අතීතයයි. නමුත් ඒ හැම මුහුණකම දක්නට ලැබෙන සොඳුරු සිනාව කියා පාන්නේ දේශප්‍රේමීත්වය සහ නොපසුබට උත්සාහයයි.

ජීවිතයේ කවදා හෝ දිනෙ රුසියාවේ සංචාරයකට යන්නට ලැබේ නම් ලේනින්ග්රාඩ් නගරයේ මේ ස්ථානයට යන්නට අමතක කරන්න එපා. පිස්කරෙව් කනත්තේ දර්ශන ඉදිරියේ ඔබේ ඇස් වලට කඳුලක් නැගෙන බව නම් සහතිකයි.  නමුත් ඒ කඳුළු බින්දුව මුළු ලොවේම අනාගතයක් වෙනුවෙන් දිවිදුන් ජනතාවකට උපහාරයක් වෙනවා නිසැකයි.  

රුසියානු ජාතික යෙව්ටුෂෙන්කෝ ගේ ගී පද වැල අපිටත් අදාලයි කියලා මට හිතෙනවා. තිස් වසරක කුරිරු යුද්ධයෙන් පීඩා ලබා මරණයට පත්වූ අපේ සොල්දාදුවන්ගේ මව්වරුන්ගෙන් අහන්න, ඕනෑද ඔවුන්ට තවත් යුද්ධයක්. සැමියා අහිමි වුනු බිරිඳගෙන් අහන්න, ඕනෑද ඔවුන්ට තවත් යුද්ධයක්. පියා අහිමි වූ පුතාගෙන් දුවගෙන් අහන්න, ඕනෑද ඔවුන්ට තවත් යුද්ධයක්. ඔවුන්ගේ හදවත් පවසාවි එයට පිළිතුර. 

 

සෑම රටකම යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් වෙනුවෙන් දැල්වෙන නොනිවෙන ගිනි සිළුව අදත් හෙට දිනයේත් පිස්කරෙව් කනත්තේ දැල්වේවි.  නැවත මෙවන් යුද්ධයක් ඇති නොවේවා යන්න අපේ ප්‍රාර්ථනාවයි. 

Rokhan Direkz

rohandx@hotmail.com​

  • මාකි ගම්මානයේ බොහොමයක් දෙනා අත AK-47තුවක්කු දක්නට ලැබුනා. අතීතයේ ඔවුන් ආයුධ වශයෙන් පාවිච්චි කල රිටි සහ මුගුරු වෙනුවට දැන් AK-47 ඇවිල්ලා. මුර්සි ජාතිකයින් ජීවත් වෙන්නේ බොහෝ විට ගව පාලනයත් සමග. යාබද රටවල් වල තිබෙන දේශපාලන අවිනිශ්චිතභාවය නිසා, විශේෂයෙන් සුඩානයේ සහ කෙන්යාවේ, ගවයන් කිහිප දෙනෙකුට හුවමාරු වශයෙන් AK-47 තුවක්කු ලබා ගැනීමට හැකිවී තිබෙනවා.

    ETHIOPIA TRAVEL

    DSC_0021_edited.jpg
  • උත්තර ධ්‍රැවයට...

    නෙන්ට්සි ජාතිකයින්ට ඇත්තේ දිගු ඉතිහාසයක්. 17 වන සිය වසේ රුසියානු අධිරාජ්‍යයට අවශ්‍ය වුනා සයිබීරියාව ගැන අධ්‍යයනය කරන්නට.  1696-1697 වසර වලදී රුසියානු ජාතික සෙමෙන් රෙමිසොව් නැමැත්තා රුසියානු රජය විසින් සයිබීරියාවට යවා සයිබීරියාවේ උතුරු ප්‍රදේශය ගැන අවශ්‍ය සිතියම් සකස් කරන්නට උපදෙස් දුන්නා. 

    RUSSIA TRAVEL

  • එන්න මාත් සමග. ජීවිතයේ කිසිම දිනෙක දැන ගන්නට නොලැබෙන දැක ගන්නට නොලැබෙන යන්නට නොලැබෙන ඔබ කිසිම දිනෙක විශ්වාශ නොකරන නින්දුනීසියාවේ ජාකර්තා නුවරට කි.මී.1500ක් දුරින් තිබෙන සුලාවෙසි දුපතේ ජීවත් වන ටෝරාජා නමින් හඳුන්වන ජන කණ්ඩායමේ ජන ජීවිතයේ පුදුම සහගත විවිධත්වය සොයා යන්නට. 

  • වොල්ගා නදිය හැමදාමත් ගලා ගියේ එකම විදිහට. කිසිම වේගයක් නැති වතුර එක තැන කැරකෙන බවයි එම්මා ට දැනෙන්නේ. හැමදාමත් උදෑසන වොල්ගා නදිය ඉවුරට වෙලා ගඟ දිහා බලා ඉන්න එක එම්මාගේ පුරුද්දක්. මුහුදක් කියලා ලොකු පොකුණක් මේ ලෝකයේ කොහේ හරි තියෙනවා කියලා ගමේ වැඩිහිටි උදවිය කියනවා ඇය අහලා තිබෙනවා. වොල්ගා නදියටත් වඩා විශාල ජල කන්දරාවක්.  එම්මා ට හිතා ගන්නවත් බැහැ.

    RUSSIA TRAVEL

  • චෙච්නියාව කියන වචනය ඇසුවාම විදේශ සංචාරකයින්ගේ ඇඟ කිලිපොලා යනවා. රුසියාවත් චෙච්නියාවත් අතර වසර ගණනාවක් තිස්සේ පැවතුනු බිහිසුණු යුද්ධය නිසා රුසියානු ජාතිකයෙක්වත් චෙච්නියාවේ සංචාරයකට යන්නේ කලාතුරකින්.  චෙච්නියානු බෙදුම්වාදීන් වරක් මොස්කව් නුවර සංදර්ශන ශාලාවක සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීමේ සිද්ධිය රුසියාවට කවදාකත් අමතක වෙන්නේ නැහැ.

    RUSSIA TRAVEL

    822633_86a67bba86f44978b11242d44725bd92.