

R 504
උණු හිම මතින්...
Part 1
ජීවිතයේ අමතක නොවන සහ දුෂ්කරම සංචාරය
Expedition to the Pole of Cold -OYMYAKON, Russia.

Pole of Cold
Expedition 2019

මම අසාමාන්‍ය සංචාරකයෙක්. මාගේ උත්සාහය සෑම විටම සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව සංචාරය කිරීම. ඒ සෑම සංචාරයක්ම ලෝකයේ විවිධ සංස්කෘතීන් තුලටද, ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් වල ඇතුලාන්තයද සොයා ගමන් කල නිසා ගවේශනයන් බවට පත් වුනා.
ලෝකයේ බොහෝ ස්ථාන, රටවල් වල ඔබ නොදකින ඔබට නොපෙනෙන, දුෂ්කර එමෙන්ම බිහිසුණු ස්ථාන වලට ඔබව රැගෙන යාම සහ ඒ දුෂ්කර, අපහසු, බිහිසුණු තත්වයන් යටතේ ඔවුන් ජීවත් වන ආකාරය ඔවුන්ගේම වචන වලින්, අදහස් වලින් පැහැදිලි කිරීම මේ සංචාරයන්හි අරමුණයි.
එන්න මා සමග ලෝකය දකින්නට.
Rokhan Direkz
2019 February 16-26
මේ සංචාරය පසුගිය වසර කිහිපයටම සිහිනයක් ලෙසයි මට සිතුනේ. ජීවිතයේ කිසිම දිනෙක ලඟාවිය නොහැකි ඉලක්කයක් ලෙසයි මා දුටුවේ. ඒ ගමනේ දුෂ්කරතාවය, අධික වියදම සහ එමෙන්ම උණුසුම් රටක ඉපදුනු අප වැන්නන්ට දැරිය නොහැකි අධික ශීතල යන කරුණු නිසා.

මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ තවත් ඈතට
රුසියාවේ යාකුට්ස්ක් නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයෙන් කි.මී.8600 ඈතින් රුසියාවේ ඈත පෙරදිග කලාපයේ. යාකුට්ස්ක් නගරය රුසියාවේ සාහා ජනරජයේ අගනුවර. එමෙන්ම රුසියානු සමුහාණ්ඩුවේ විශාලතම ජනරජය. නමුත් මේ ප්‍රදේශයේ වැදගත්කම වන්නේ රුසියාවේ අධික ශීතම ප්‍රදේශය නිසා. ලොව ම්නිසුන් ජීවත් වන ශීතම ස්ථානය නැතිනම් ගම්මානය පිහිටා තිබෙන්නේ සාහා ජනරජයේ. මගේ ගමනාන්තය ඒ ස්ථානය. ඒ ඔයිමිකෝන් ගම්මානය. යාකුට්ස්ක් නගරයේ සිට තවත් කි.මී. 1000ක් යා යුතුයි.
මේ ගම්මානයේ තමයි මෙතෙක් ලෝකයේ වාර්තා වුනු අඩුම උෂ්ණත්වය වාර්තාවී තිබෙන්නේ. ඒ සෙන්ටිග්‍රේඩ් අංශක -71.2ක්.
*****
නමුත් මාගේ මේ සංචාරයේ අරමුණ මේ අධික ශීතල අත් විඳීමට හෝ ඒ දර්ශනීය ස්ථාන නැරඹීම පමණක්ම නොවේ. මේ සියලු මනස්කාන්ත පරිසරය පිටින් අපට මනරම් ලොවක් ලෙස පෙනුනත් එහි ඇත්තේ කටුක දුෂ්කර එමෙන්ම මිලියනයකටත් අධික සෝවියට් පුරවැසියන්ගේ ජීවිත බිලිගත් අමානුෂික ඉතිහාසයක්. ඒ නිසාම තමයි මේ යාකුට්ස්ක් නගරයේ සිට මගදාන් නගරය දක්වා දිවෙන මාර්ගය ඇටකටු මතින් ඉදිවුණු මාර්ගය ලෙස ලෝකයා හඳුන්වන්නේ.
*****
කාලයක් තිස්සේ වසන් වුනු ඒ අමානුෂික ඉතිහාසය අද රුසියානු ජනතාව සිහිපත් කරන්නේ බලවත් කණගාටුවකින්. මම ඔබට මේ සංචාරයෙන් පැහැදිලි කරන්නම් මේ අධික ශීතල තුල සැඟවී තිබුණු කලක් සෝවියට් දේශය වසන් කල ඒ දුක්මුසු විශ්මජනක කතාව.

මොස්කව් සිට යාකුට්ස්ක් නගරයට පැය 8ක පමණ ගුවන් ගමනක්. ඇත්තටම ඒ වෙලාව මොස්කව් සිට කොළඹ දක්වා ගුවන් ගමනේ වෙලාවට වඩා වැඩියි.
මේ සංචාරය සංවිධානය කර ගන්නට මට මාස 6ක පමණ කාලයක් ගත වුනා. මේ සංචාරය පසුගිය වසර කිහිපයටම සිහිනයක් ලෙසයි මට සිතුනේ. ජීවිතයේ කිසිම දිනෙක ලඟාවිය නොහැකි ඉලක්කයක් ලෙසයි මා දුටුවේ. ඒ ගමනේ දුෂ්කරතාවය, අධික වියදම සහ එමෙන්ම උණුසුම් රටක ඉපදුනු අප වැන්නන්ට දැරිය නොහැකි අධික ශීතල යන කරුණු නිසා.

නමුත් මාස කිහිපයක අන්තර්ජාල දැන්වීමක සහ ඒ වෙනුවෙන් විද්‍යුත් ලිපි හුවමාරුවෙන් තවත් ජර්මානු ජාතිකයින් තිදෙනෙක් මා සමග මේ සංචාරයේ යෙදෙන්නන්ට ගිවිස ගැනීමට මට හැකිවුනා. එයින් මම බලාපොරොත්තු වුයේ අධික වියදම යම් ලෙස හෝ අවම කර ගැනීම.
ජනවාරි සහ පෙබරවාරි මාස මේ ප්‍රදේශයේ සීතල අධිකම කාලය. මට අවශ්‍ය වුනේ ඒ කාලයේ සංචාරයේ යෙදෙන්නට.

මීට වසර 2කට පමණ පෙර අහම්බෙන් මට මුණ ගැසුණු යාකුට්ස්ක් නගරයේ ජීවත් වන කාන්තාවකගේ දුරකථනය මාගේ දින පොතේ සටහන් වී තිබුනා. ඇගේ නම ලුද්මිලා.
වසර තුනකින් කිසිම දිනෙක මා ඇය සමග කතා බහක යෙදී තිබුනේ නැහැ. යාකුට්ස්ක් නගරයට යාමට දින කිහිපයකට පෙර මා දුරකථනයෙන් ඇය අමතන්නට පෙළඹුනා. මාගේ වාසනාවකටදෝ දුරකතනයේ අනික් පසින් අසුනේ ඇයගේ කට හඬ. මොස්කව් සිට කි.මී 8500ක් දුරින් ජීවිතයේ කිසිම දිනෙක පය නොතැබූ අවම පහසුකම් සහිතව අධික ශීතලෙන් දිවි ගෙවන ජනතාවක් ඇති ප්‍රදේශයට සංචාරය කරන්න, එමෙන්ම තවත් විදේශිකයින් කිහිපදෙනෙක් සමග මේ ගමන යන්නට මා හට ධෛර්යය ලබා දුන්නේ ලුද්මිලා.
හැදෑරිය යුතුම ඉතිහාසයක් ඇති යාකුට්ස්ක් ප්‍රදේශයට සංචාරය යථාර්තයක් බවට පත් වුයේ මේ ආකාරයෙන්.
යාකුට්ස්ක් නගරයට මා පැමිණුනු දිනයේ එහි උෂ්ණත්වය වුනේ සෙන්ටිග්‍රේඩ් අංශක -45ක්. විශ්වාශ කරන්නත් අමාරුයි. රුසියාවේ වසර කිහිපයක් ජීවත් වී අත්දැකීම් ඇති වුනත් ජීවිතයේ කිසිම දිනෙක මෙවැනි අධික සීතලක් අත් විඳ නැහැ. ගුවන් තොටුපලේදී මා හමුවුණු ලුද්මිලා ගෙන් මා ඇසුවේ අද ගොඩක් සීතලයි නේද කියා. නමුත් ඇයගේ පිළිතුරෙන් මා පුදුමයට පත් වුනා. ඇයගේ පිළිතුර වුනේ “ඊයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -52. අද -45ක්. ඒ නිසා අද ටිකක් උණුසුම්”

සෝවියට් දේශය පාලනය කල ලෙනින් 1924දී මිය යෑමෙන් පසුව එහි පාලනය ලැබුනේ ජෝශප් ස්ටාලින් හට.
මේ තමයි කතාවේ ආරම්භය. මේ කාලය තුල දේශපාලන සහ යුධ සිරකරුවන් ගේ ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වෙන්නට පටන් ගෙන තිබුනා. ස්ටාලින් හට විරුද්ධව වචනයක් හෝ ප්‍රකාශ කල අයෙක් සිටියේ නම් සෝවියට් රහස් ඔත්තු සේවය විසින් ස්ටාලින්ගේ පාලනය ආරම්භ කල විශේෂ කඳවුරු වලට එවැනි පුද්ගලයින් යොමු කරනවා. මෙවැනි කඳවුරු පාලනය කරන්න ස්ටාලින්ගේ පාලනය විසින් විශේෂ රාජ්‍ය ආයතනයක් පිහිටුවලා තිබුනා. මෙය කෙටියෙන් හැඳින්වුණේ ගුලාග් GULAG නමින්. Chief Administration of Corrective Labour Camps and Colonies මෙවැනි කඳවුරු විශාල ප්‍රමාණයක් සයිබීරියාවේ සහ සෝවියට් දේශයේ ඈත පෙරදිග ප්‍රදේශ වල පිහිටා තිබුනා. නමුත් මේ කඳවුරු පවා මෙතරම් විශාල පිරිසක් එකවර භාර ගැනීමට සුදානම්ව තිබුනේ නැහැ. මේ නිසා ස්ටාලින්ට සිදුවුනා මේ පිරිස් පාලනය කරන්න වෙනත් ක්‍රියාදාමයක් සොයන්නට. ඒ අනුව තමයි සෝවියට් දේශයේ බිහිසුණු ශ්‍රම කඳවුරු ක්‍රමය බිහිවන්නේ.(Trudarmee -Labor army)
මේ ගුලාග් සහ ශ්‍රම කඳවුරු වලින් වැඩි ප්‍රමාණයක් පිහිටෙව්වේ සයිබීරියාවේ සහ ඈත පෙරදිග අධික ශීතල කලාපයේ. යාකුටියා නැතිනම් සාහා ජනරජයේ පමණක් මෙවැනි කඳවුරු 350කට අධික ප්‍රමාණයක් සෝවියට් රජය විසින් ඉදි කරනු ලැබුවා.
වර්තමාන යාකුට්ස්ක් නගරයේ ජනගහනය ලක්ෂ 3ක් පමණ වෙනවා. රුසියාවේ ලොකුම ජනරජය වුවත් සම්පුර්ණ ජනගහනය මිලියනයකටත් වඩා අඩුයි. නමුත් ලංකාව මෙන් 47 ගුණයකින් විශාල බිම් පෙදෙසක්.
.jpg)
මේ යාකුට්ස්ක් නගර මධ්‍යයේ තිබෙන ලෙනින්ගේ ප්‍රතිමාව. 1991 වසරේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියාවේ සෑම නගරයකම පාහේ තිබුණු ලෙනින්ගේ ප්‍රතිමා ඉවත් කර හෝ කඩා බිඳ දමනු ලැබුවත්, සෝවියට් ස්ටාලින්ගේ පාලන කාලය තුල මිලියනයකටත් වඩා අධික ජනතාවකගේ ජීවිත බිලිගත් මේ ප්‍රදේශයේ ප්‍රධානතම නගරයේ තිබුණු ලෙනින් ප්‍රතිමාව ඉවත් වුනේ නැහැ.
.jpg)
යාකුටියානු ජනතාව බොහෝ විට ස්ටාලින් සහ ඔහුගේ පාලන කාලය ගැන නැවත ආවර්ජනය කරන්නට අකමැති වුවත් තවමත් එක ස්ථානයක යාකුට්ස්ක් නගරයේ ස්ටාලින්ගේ ප්‍රතිමාවක් පිහිටුවා තිබෙනවා. හැබැයි ඒ ස්ථානය අසලට යා නොහැකි පරිද්දෙන් ආවරණය කොට තිබෙනවා. ඒ බොහෝ විට ප්‍රතිමාවට එල්ල විය හැකි බාධක සහ තර්ජන මැඩ පවත්වා ගැනීමට විය හැකියි.
කෙසේ වෙතත් පුදුමයකට මෙන් 2018 සැප්තැම්බර් මස පැවතී රුසියානු මහා මැතිවරණයෙන් නැවත වරක් සියලු අපේක්ෂිකයින් පරදා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා යාකුටියාවේ ජයග්‍රහණය කිරීම අද රුසියාවේ විවාදයකට ලක්වී තිබෙන කරුණක්.

යාකුටියාවේ අගනුවර යාකුට්ස්ක් නගර මාධ්‍යය. ඈතින් පෙනෙන්නේ ව්ලැදිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව.

යකුටියානු ජනතාව බොහෝ විට භාවිතා කරන්නේ ඔවුන්ගේම කැලැන්ඩරයක්. සෑම නිවසකම පාහේ ලී වලින් සාදන ලද මෙවැනි බිත්ති කැලැන්ඩරයක් දකින්නට පුළුවන්. වර්ෂය, මාසය සහ දිනය ඉතා පහසුවෙන් මේ කලන්දරයෙන් එක්වරම හඳුනා ගන්නට පුළුවන්.
.jpg)
මේ ප්‍රදේශ වල තිබෙන අධික ශීතල වසරේ වැඩි කාලයක් එනම් මාස 8ක් පමණ බල පැවැත්වෙනවා. අවාසනාවකට මෙන් වසන්ත කාලයේදී වත් මේ ශීතලෙන් මිදෙන්නට හැකි වන්නේ නැහැ. ඒ නිසාම තමයි මේ ප්‍රදේශ ලෝකයේ සාදතනික ශීතල ප්‍රදේශ ලෙස හඳුන්වන්නේ. (Eternal Frost) මෙවැනි ප්‍රදේශ වල කිසිම දිනෙක ශීතල අඩු වන්නේ නැහැ. වසරේ සෑම කාලයකදී පොලව මට්ටමෙන් මීටර් කිහිපයක් යටින් තිබෙන්නේ අයිස් ස්ථරයන්. මේ නිසා මේ ප්‍රදේශයේ ගොඩනැගිලි නිවාස ඉදි කිරීමේදී විශේෂ ආරක්‍ෂිත පියවරයන් අනුගනය කිරීමට සිදු වී තිබෙනවා.

මේ නිසා සෑම නිවසක්ම ගොඩනැගිල්ලක්ම පොලව මත ඉදි නොකර පොලව මත ඉදිවුණු විශේෂ කණු මත තමයි ඉදි කර ඇත්තේ.(ජායාරුපයේ දක්නට ඇති පරිදි)
යකුටියාවේ ගංගා වල වුනත් උණුසුම් කාලයේදීත් පිහිනන්නට තරමක් අපහසුයි. ගංගා වල ඉහල ජාල ස්ථර තරමක් උණුසුම් වූ ජලය තිබුනත් මීටර් කිහිපයක් පහලින් ඇත්තේ අධික ශීත ජලය හෝ අයිස්.

යාකුට්ස්ක් නගරයේ පමණක් අලුතින් ඉදිවෙමින් පවතින තට්ටු නිවාස වලට ජල නල පහසුකම් ලබා දීම සඳහා වර්තමානයේ පියවර ගෙන තිබෙනවා. නමුත් එවැනි උණුසුම් ජලය බෙදා හරින විශාල බට පවා දක්නට ඇත්තේ පොලව මතුපිට.

සීතලට මුළු යාකුටියාවම ගල් වෙලා. මේ පැත්තේ බොහෝ නිවාස වලට වතුර පයිප්ප නැහැ. ඒ සීතලට මිදෙන නිසා. ඒ නිසා තමයි මිනිස්සු ගඟේ මිදුණු වතුර අයිස් කියුබ් හැටියට කපා ගෙන ගෙවල් වලට ගේන්නේ....


මම හොයා ගෙන ගියා මේ ගගේ මිදුණු වතුර කපන මිනිසුන් සොයා ගෙන.....යාකුට්ස්ක් නගරයේ ලෙන් ගංගාව සම්පුර්ණයෙන්ම මිදිලා.
.jpg)
“ලීටර් 5-6 මෙන්ම 10-12 ප්‍රමාණයේ අයිස් කුට්ටි මිදුණු ගඟෙන් කපාගෙන ඒ අයිස් කුට්ටි ගෙවල් වල මුදුලේ ගොඩ ගහලා තියෙනවා. නිවසේ ප්‍රයෝජනයට ජලය අවශ්‍ය වූ විට අයිස් කුට්ටි කිහිපයක් භාජනයකට දාලා රත් කලාම අවශ්‍ය වතුර ප්‍රමාණය ලබා ගන්න පුළුවන්.” ගඟේ අයිස් කුට්ටි කපන පුද්ගලයන් මා හට පැහැදිලි කළා.

සීතල -50C වගේ කාලයකදී මෙසේ මිදුණු ගඟේ අයිස් කුට්ටි කැපීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත් මේ ප්‍රදේශ වල ජනතාවට එය ජීවිතයේ එක අංගයක් වෙලා.
.jpg)
ඊටත් වඩා පුදුම සිතෙන්නේ නිවෙස් වලට රැගෙන එන මේ අයිස් කුට්ටි පොලව යට තිබෙන කුඩා කාමර වල වසර ගණනාවක් තැන්පත් කර තැබීම. මට අවස්තාව ලැබුනා එවැනි ස්ථානයක් නරඹන්නට යන්න.
ඇත්තටම පුදුමයි. වසර 3-4 ක කාලයක් මේ අයිස් කුට්ටි පොලව යට ආරක්ෂා කර තබා ගන්න පුළුවන්. වසරේ කිසිම දිනෙක මේ අයිස් කුට්ටි දියවන්නේ නැහැ. ඒ සඳහා අධි ශීතකරණ අවශ්‍ය නැහැ.
.jpg)
මේවා නම් අපිට හිතා ගන්නත් බැරි දේවල්. අධික ශීතලේ ඒ මදිවට වතුරත් නැතිව මේ මිනිස්සු මිදුණු අයිස් නැවත වාරයක් වතුර බවට පත් කරලා බොන්නේ.
.jpg)
අධික ශීතල මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවිතේ එක් අංගයක්...... යාකුස්ක් වල ඉරිදා පොළ මෙයට හොඳ උදාහරණයක්. හැබැයි අපේ වගේ මේ පොලේ එළවලු පලතුරු නැහැ. තියෙන්නේ ශීත කරපු... නැහැ..... ශීත වෙච්ච මස් සහ මාළු. උෂ්ණත්වය -50දි මොකටද ශීතකරණ.
.jpg)
එමෙන්ම මිරිදිය මාළු වර්ගද සුලභව මේ ප්‍රදේශ වල දක්නට ලැබෙනවා. යාකිටියානු සාම්ප්‍රාදායික ආහාර රටාවන් වල මාළු වලට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයක්. හැබැයි මාළු ඇල්ලීම බොහෝ දුරට සිදුවන්නේ අයිස් මිදුණු ගංගා වල. ඒ සඳහා ඔවුන් ඔවුන්ටම ආවේනික වූ ක්‍රම භාවිතා කරනවා.
.jpg)

මේ පැත්තේ ප්‍රසිද්ධම පිනි මුවන්ගේ මස්. මේ පැති වලින් ලෝකයේ අනික් රටවල් වලට අපිනයනය කරන ප්‍රධානම දේ තමයි පිනිමුවන්ගේ මස්. සමහර කාල වලදී විශේෂයෙන් රුසියාවේ උතුරු ප්‍රදේශයෙන් පිනි මුවන්ගේ මස් ජර්මනිය සහ පින්ලන්තය වෙත අපනයන කරනවා.

සාමාන්‍ය කිරි පවා මේ ප්‍රදේශයේ අලෙවි කරන්නේ මිදුණු කිරි ලෙස. ( මුදවාපු කිරි නොවේ.........)

මාළු ගව මස් පිනිමුවන්ගේ මස් විතරක් නොවෙයි අපි ජීවිතේට නොදැකපු සත්තුන්ගේ මසුත් මේ පොලේ විකිණීමට තිබෙනවා. අවට සීතල නිසා මේ ඔක්කොම හරියට අධි ශීතකරණයක තිබෙනවා වගේ.

අධික ශීතල නිසා යාකුටියාවේ මිදුණු ගඟවල් හරහා වාහන පවා ධාවනය කරන්න පුළුවන්. මේ මිදුණු ගඟවල් මතුපිට සිටිමින් ධීවර කර්මාන්තයෙහි යෙදෙන ධීවරයින්ගේ ජීවිත නම් අරුම පුදුමයි. සෙන්ටිග්‍රේඩ් අංශක රින 50ක උෂ්ණත්වයකදී දවසේ පැය 6ක් පමණ කාලයක් මිදුණු ගඟක් මත සිටිමින් මාළු බෑම ලෙහෙසි පහසු ක්‍රියාවක් නම් නොවේ.

මිදුණු ගඟේ විශාල සිදුරු සාදා ඒ තුලින් බිලී පිත්ත යොදා මේ මාළු බා ගැනීම සිදු වෙනවා.

මේ ස්ථානයට යන්නම මට පැය 2 කට වඩා අධික කාලයක් ගත වුනා.

බිලී පිටතට අසු වන මත්ස්‍යන් පොලව මතදී විනාඩි 2-3ක් ඇතුලත සම්පුර්ණයෙන්ම අයිස් බවට පත් වෙනවා. හරියට අධි ශීතකරණයක සෑහෙන කාලයක් තිබුනාක් මෙන්.

පසුව මේ මාළු බොහෝ දුරට පරිභෝජනයට ගන්නේ අමුවෙන්. ඒ මාළු නිවසේ කෑම මේසය මතට ඒ මිදුණු ආකාරයෙන්ම ගෙන එනවා.

පසුව පිරිසිදු කර සිහින් තුනී තීරු ලෙස කපා ගන්නවා.

ගම්මිරිස් සහ ලුණු සමග අමුවෙන්ම මේ මාළු අනුභව කිරීම ඇත්තෙන්ම අපිට නම් අමුතුම අත්දැකීමක්.

මෙසේ මාළු කුඩා තීරු වලට කැපීමට භාවිතා කරන විශේෂ පිහි වර්ගයක් යාකුටියාවේ දක්නට ලැබෙනවා. පාරම්පරික සම්ප්‍රදායයන් වලට අනුකුලව නිපදවන ලද මේ පිහි ඉතා අධික මිලවල් වලට වෙළඳ පොලේ දකින්නට පුළුවන්.

යාකුටියානු ජනතාවගේ ආගන්තුක සත්කාරය ඉතා ඉහලයි. මේ මා හට මුණු ගැසුණු ලුද්මිලා, ඇගේ සැමියා ඇතුළු හිතවත් පිරිස. කාන්තාවන් මේ සැරසී සිටින්නේ යාකුටියාවේ ජාතික ඇඳුමින්.

යාකුටියානු ජනතාවගේ ආහාර රටාවන්ද ඔවුන් ජීවත් වන පරිසරයට අනුකුලයි. මේ විශේෂ ආහාර වර්ගය පිළියෙළ කරන්නේ අශ්වයින්ගේ මස් සහ අශ්වයින්ගේ රුධිරය එකට මිශ්‍ර කිරීමෙන්. විශේෂ උත්සව අවස්ථාවලදී මේ ආහාරය ඔවුන් පිළියෙළ කරනවා.


එමෙන්ම අශ්වයින්ගේ කිරි වලින් සාදන ලද කුමීස් නමැති පානය නිවසට පැමිණෙන අමුත්තන් හට සංග්‍රහ කිරීමට බොහෝ විට යොදා ගන්නවා. ඇත්තටම අපේ තේ මෙන් යාකුටියාවේ ජනප්‍රියම පානය කුමීස්.

වාහනයක් භාවිතා කරනවානම් එය විශාල හිස රදයක් වෙනවා යාකුටියාවේ. එයටත් හේතුව අධික සීතල. මේ සීතල මැඩ පවත්වා ගැනීමට කිසිම තාක්ෂණික උපකරණයක් මෙවලමක් අද වන තෙක් සාර්ථක වී නැහැ. සාර්ථක වී ඇත්තේ පාරම්පාරිකව භාවිතා වන උපක්‍රම සහ ක්‍රමෝපායයන්.
යාකුටියාවේ බොහෝ පුද්ගලයින් තම වාහනය සීත කාලයේ භාවිතා කරන්නේ නැහැ. නගරයේ බොහෝ ස්ථාන වල තාවකාලිකව නතර කර ඇති වාහන දකින්නට පුළුවන්. ඉහත ජායාරුපයෙන් දැක්වෙන්නේ තාවකාලිකව වාහන එළිමහනේ නතර කරන විට භාවිතා කරන ආවරණයක්.
මේ කිසිම අවස්තාවක වාහනයේ එන්ජිම ක්‍රියා විරහිත කරන්නේ නැහැ. එයට හේතුව යම් කිසි විදිහකින් ක්‍රියාවිරහිත කළහොත් නැවත පන ගැන්වීම ඉතා අපහසු නිසා. මෙසේ ඝන ආවරනයකින් වසා ඇති වාහන වල එන්ජිම ක්‍රියාත්මක වෙනවා. පහත පෙනෙන කුඩා බට කැබැල්ලෙන් එන්ජිමෙන් ඇතිවන දුමාරය පිටත යොමු කරවනවා.
එමෙන්ම සමහර වාහන වල සුමාන කිහිපයක් එක දිගට එන්ජිම ක්‍රියාත්මක වෙනවා. උදුන් සහිත උණුසුම් කල හැකි ගරාජයක් ඇති පුද්ගලයන් හට මේ ප්‍රශ්නයෙන් ගැලවී සිටින්නට බොහෝ විට හැකි වෙනවා. ඒ රාත්‍රී කාලයේදී තම උණුසුම් ගරාජය තුල වාහනය නතර කර තැබීමට හැකියාව ලැබෙන නිසා. නමුත් මෙවැනි ගරාජයන් ඇත්තේ ස්වල්ප ප්‍රමාණයක් යාකුට්ස්ක් නගරයේ.

අධික ශීතලෙන් ආරක්ෂා වීම සඳහා සෑම වාහනයකම එන්ජිම විශේෂ ආවරණ වලින් වසා තබා ගැනීමට වාහන හිමියන් උනන්දු වෙනවා.

වාහන වල වීදුරු වල අමතරව තවත් එක විශේෂ වීදුරුවක් පිටතින් සවි කරන්නට මේ ප්‍රදේශ වලදී සිදුවෙනවා.
.jpg)
එසේ නැතිනම් අධික ශීතල සුලන් පහර වීදුරුවෙහි ගැටෙන විට හිම තට්ටුවකින් වීදුරුව වැසී යනවා.

සීතල සෙන්ටිග්‍රේඩ් අංශක රින 45-55 වලදී වාහන වලට විනාඩි කිහිපයකට වඩා එක ස්ථානයක නවතවා තබන්න අපහසුයි. ඒ අධික ශීතල නිසා වාහනයේ ටයර් ඝන වීම. මේ නිසා සෑම විනාඩි 15කටම වරක් වාහනය යම් දුරක් ධාවනය කල යුතු වෙනවා මේ ඝල්වීම වලක්වා ගන්නට.
මේ සියලුම දේවල් සමග අවම පහසුකම් ඇති පරිසරයක් යාකුට්ස්ක් නගරයේ දකින්නට පුළුවන්.
නමුත් ඊට එහායින් ඇත්තේ අමුතුම විශ්වාශ කල නොහැකි දුෂ්කර පරිසරයක්.

කොලීමා මාර්ගය දිවෙන්නේ යාකුට්ස්ක් නගරයේ සිට මගදාන් නගරය දක්වා. මේ මාර්ගයේ දුර කි.මී. 2000ක්. මේ මාර්ගය රුසියාවේ හඳුන්වන්නේ R-504 මාර්ගය ලෙස.
1932 වසරේ මේ මාර්ගය දුම්රිය මාර්ගයක් ලෙස සාදන්නට සෝවියට් දේශයේ නායකත්වය තීරණය කළා. නමුත් අධික ශීතල, කුසගින්න සහ තාක්ෂණික උපකරණ නොමැති කම මේ ව්‍යාපෘතියට බාධාවක් වුනා. අවසානයේදී තීරණය වුනේ මහා මාර්ගයක් ලෙස ඉදි කරන්නට.
මේ තීරණයේ අනවශ්‍යභාවය ගැන කතා කරන්නට එදා කිසිම කෙනෙක් සිටියේ නැහැ. ඒ ස්ටාලින් හට තිබු පක්ෂපාතීත්වය හෝ බිය නිසා විය හැකියි. මේ කාලයේදී තමයි දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වුනේ. අවසානයේදී තීරනය වුයේ ගුලාග් කඳවුරු වල සිටින සිරකරුවන්ගේ ශ්‍රමය මේ මහා මාර්ගය සෑදීම වෙනුවෙන් යොදවන්නට. මේ දේශපාලන සහ අනිකුත් සිරකරුවන්ට අමතරව පසුව යුද්ධයේදී අත් අඩංගුවට පත්වුණු ජර්මානු සහ අනිකුත් විදේශ සිරකරුවන්ද මේ මාර්ගය සෑදීමට යෙදවූවා.
ශ්‍රේෂ්ට දේශප්‍රේමී යුද්ධයේදී මේ ප්‍රදේශයේ තිබුණු රන් සහ දියමන්ති ලබා ගෙන ඒවායින් මිත්‍ර පාර්ශ්වයට ගෙවීම් කර අවශ්‍ය ගුවන් යානා ලබා ගැනීමද මේ මහා මාර්ගය තැනීමේ තවත් අරමුණක් වුනා.
අධික ශීතල යටතේ කුසගින්න සහ තාක්ෂණික උපකරණ හිඟකම නිසා මේ සිරකරුවන්ට වැඩ කරන්නට සිදුවුනේ තම දෑත් වල පිහිටෙන්.
*ඇට කටු මතින් බිහිවුණු බිහිසුණු R 504 මාර්ගයේ ගමන සහ ලෝකයේ ශීතම ප්‍රදේශයට - ඔයිමිකොන් ගම්මානයට..........
*දැරිය නොහැකි සීතල - සෙන්ටිග්‍රේඩ් අංශක රින 54
*නම් ගම් නොමැති සෝවියට් පුරවැසියන්ගේ සොහොන් කොත්...
*වේදනාත්මක සෝවියට් ගුලාග් Gulag මතක සටහන්
*අධික ශීතල යටතේ ක්‍රියාත්මක වන කුඩාම ගුවන් තොටුපොල
* පිනිමුවන් ඇති කරන්නන් සමග වාසය.......
Special Thanks * Ludmila Popova & Alyona Trubnyakova

සෝවියට් දේශයේ සිරකරුවන්ගේ ශ්‍රමයෙන්, මරණය මතින් - ඇටකටු මතින් බිහිවුණු මාර්ගයේ ගමන
On the Road of Bones - R 504 Kolyma Highway



