R 504 උණු හිම මතින්... Pole of Cold Expedition -Part 2

R 504

​උණු හිම මතින්... 

Part 2

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

ජීවිතයේ අමතක නොවන සහ දුෂ්කරම සංචාරය 

Expedition to the Pole of Cold -OYMYAKON, Russia.

Pole of Cold

Expedition 2019

මම අසාමාන්‍ය සංචාරකයෙක්. මාගේ උත්සාහය සෑම විටම සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව සංචාරය කිරීම.  ඒ සෑම සංචාරයක්ම ලෝකයේ විවිධ සංස්කෘතීන් තුලටද, ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් වල ඇතුලාන්තයද සොයා ගමන් කල නිසා ගවේශනයන් බවට පත් වුනා.

​ලෝකයේ බොහෝ ස්ථාන, රටවල් වල ඔබ නොදකින ඔබට නොපෙනෙන, දුෂ්කර එමෙන්ම බිහිසුණු ස්ථාන වලට ඔබව රැගෙන යාම සහ ඒ දුෂ්කර, අපහසු, බිහිසුණු තත්වයන් යටතේ ඔවුන් ජීවත් වන ආකාරය ඔවුන්ගේම වචන වලින්, අදහස් වලින්  පැහැදිලි කිරීම මේ සංචාරයන්හි අරමුණයි. 

​එන්න මා සමග ලෝකය දකින්නට.

Rokhan Direkz 

2019 February 16-26

1953 වසරේ මාර්තු 6 වැනිදා උදෑසන කාලීමා මාර්ගයේ 16 වැනි කඳවුරු ප්‍රදේශයේ අධික ශීතලක් පැවතුනත් හිරු එලිය වෙනදාටත් වඩා කලින් පැමිණීම ගැන ඉරේන්ට පුදුම සිතුනා. මුලු ලෝකයටම වෛර කල ඉරේන්ගේ ජීවිතයේ මෙදිනත් තවත්  එක් වේදනාකාරී දිනයක් වෙන බවට නම්  ඇයට කිසිම සැකයක් තිබුනේ නැහැ. 

ජීවිතයේ වසර 20ක කාලයක්, තම ජීවිතයේ සුන්දරතම අවධිය මෙසේ කටුක දුෂ්කර සහ අති බිහිසුණු කඳවුරක කුසගින්නේ සිටිමින් ගෙවී යාම සම්බන්ධයෙන්, නමුත් තමා දන්නා අන්දමින් කිසිම රාජ්ය් ද්‍රෝහී ක්‍රියාවක නොයෙදුණු තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි නොතකා මෙහෙවර කිරීම වෙනුවෙන් ලැබුණු මේ ත්‍යාගය සම්බන්ධයෙන් ඇය වෛර කලේ තම සමාජයට, තම දේශයට. ජීවිතයෙන් සමු ගන්නට ඇය කිහිප වාරයක් මේ කඳවුරු ජීවිතයේදී උත්සාහ කලත් දෛවය එයට අවකාශ ලබා දුන්නේ නැහැ.  කඳවුරේදී උපත ලද ඇයගේ දියණිය කොහේ හෝ ස්ථානයක ජීවත් වෙනවායි යන හැගීම ඇයව ජීවත් කරන්නට සමත්වුනා යයි කියා ඇයට සිතෙන්නට ඇති. 

ඉරේන් උපත ලැබුවේ හාර්බින් නගරයේ. ඇයගේ පියා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස සේවය කළා. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ඇයගේ පියා නැවත රුසියාවට පැමිණීම ගැන එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ. එයට ප්‍රධාන වූ    එක් විශේෂ හේතුවක් තිබුනා. ඒ ඇයගේ පියාගේ සහෝදර ලේව් බ්‍රොන්ශ්ටේන් ඔක්තෝබර් විප්ලවයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු වූ නිසා. මේ ලේව් බ්රෝන්ෂ්ටේන් ලෙස හැඳින්වෙන්නේ ට්‍රොස්කි. 

නමුත් ඉරේන් ජීවිතයේ කිසිම දිනෙක ට්‍රොස්කි සමග මුණ ගැසීමට හෝ කතා බස් කිරීමට අවස්තාවක් ලැබී නැහැ. ය ඔහු ගැන දැන ගත්තේ තම දෙමව්පියන් ගේ කතා බස් වලින්. නමුත් සෝවියට් දේශයේ නායකත්වය දැරූ ජෝශප් ස්ටාලින් සහ ට්‍රොස්කි අතර පවතින මත භේදය ඇයගේ ජීවිතය වෙනස් කරන සාධකයක් බවට පත් වේවි යැයි ඇයට කිසිම දිනෙක නොසිතන්නට ඇති. 

 

රුසියාවේ කාලීමා මාර්ගය නැතිනම් R 504 නමින් හඳුන්වන්නේ යාකුටියාවේ යාකුට්ස්ක් නගරයේ සිට ඈත පෙරදිග වරාය නගරයක් වන මගදාන් නගරය දක්වා දිවෙන කි.මී. 2000ක් දුරැති මාර්ගය. 

​වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී තිබෙන එමෙන්ම අධික ශීතල නිසාත් ගිම්හාන කාලයේ අධික රශ්නයත් නිසා මේ ප්‍රදේශ සැලකෙන්නේ අති දුෂ්කර නැතිනම් සාමාන්‍ය ජනතාවට ජීවත් විය නොහැකි පරිසරයන් ඇති ප්‍රදේශ ලෙසට.

1932 වසරේ මේ මාර්ගය දුම්රිය මාර්ගයක් ලෙස සාදන්නට සෝවියට් දේශයේ නායකත්වය තීරණය කළා. නමුත් අධික ශීතල, කුසගින්න සහ තාක්ෂණික උපකරණ නොමැති කම මේ ව්‍යාපෘතියට බාධාවක් වුනා. අවසානයේදී තීරණය වුනේ මහා මාර්ගයක් ලෙස ඉදි කරන්නට.

මේ තීරණයේ අනවශ්‍යභාවය ගැන කතා කරන්නට එදා කිසිම කෙනෙක් සිටියේ නැහැ. ඒ ස්ටාලින් හට තිබු පක්ෂපාතීත්වය හෝ බිය නිසා විය හැකියි. මේ කාලයේදී තමයි දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වුනේ. අවසානයේදී තීරනය වුයේ ගුලාග් කඳවුරු වල සිටින සිරකරුවන්ගේ ශ්‍රමය මේ මහා මාර්ගය සෑදීම වෙනුවෙන් යොදවන්නට. මේ දේශපාලන සහ අනිකුත් සිරකරුවන්ට අමතරව   පසුව යුද්ධයේදී අත් අඩංගුවට පත්වුණු ජර්මානු සහ අනිකුත් විදේශ සිරකරුවන්ද මේ මාර්ගය සෑදීමට යෙදවූවා.​

​සෝවියට් දේශය හෝ එහි පාලනය හෝ නායක ජෝශප් ස්ටාලින් හෝ විවේචනය කෙරෙන ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සෝවියට් රහස් ඔත්තු සේවයට වාර්තා වුනේ ඇසුරු සැනින්.  එවැනි බොහෝ දෙනෙකු අවසානයේ පිටත් කලේ සෝවියට් දේශයේ නොයෙකුත් ප්‍රදේශ වල ඇති කරන ලද කඳවුරු වෙතට. 

මේ ගුලාග් සහ ශ්‍රම කඳවුරු වලින් වැඩි ප්‍රමාණයක් පිහිටෙව්වේ සයිබීරියාවේ සහ ඈත පෙරදිග අධික ශීතල කලාපයේ. යාකුටියා නැතිනම් සාහා ජනරජයේ පමණක් මෙවැනි කඳවුරු 350කට අධික ප්‍රමාණයක් සෝවියට් රජය විසින් ඉදි කරනු ලැබුවා. 

ඉරේන් බ්‍රොන්ශ්ටේන් තම ජීවිතයේ වැඩි කාලයක් ගත කලේ මේ කලීම ප්‍රදේශයේ පිහිටා තිබුණු එක් මෙවැනි කඳවුරක. මෙවැනි කඳවුරු ඒ කාලයේ හැඳින්වුයේ විවෘත කඳවුරු ලෙස. මුල් කාලයේදී මෙවැනි කඳවුරු වල සීමාවන් වැටවල් හෝ තාප්ප තිබුනේ නැහැ. එයට හේතුව සිරකරුවන්ට පලා යාමට ප්‍රදේශයක් නොතිබීම. තුන්ද්‍රා වනාන්තරයේ අධික ශීතල යටතේ කි.මී. 2000ක් පමණ දුරකින් ලඟම තිබෙන ගම්මානය කරා පලා යාමට සිරකරුවෙක් ඉදිරිපත් වෙනවා නම් සත්‍යයෙන්ම ඔහු උන්මත්තකයෙක් විය යුතුයි. ඒ පලායාමෙදී මෙවැනි සීතලක් යටතේ දින කිහිපයක් වත් ජීවත් විය නොහැකි නිසා.

 

1935 වසරේදී සෝවියට් රජය චීනයේ මන්ච්රියාවේ ඉදි කරන මහා දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු නවත්වා දැමුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අන්දමින්. සියලුම සොවියට් කම්කරුවන් සහ උපදේශකයින් නැවත සෝවියට් දේශයට කැඳවා ගත් නිසා ඉරේන් ගේ පියාට මේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ රැකියාව අහිමි වුනා. 

නමුත් සෝවියට් රජය ඉරෙන් ගේ දෙමව්පියන් හට මොස්කව් නගරයේ ඉහල තනතුරක් ප්‍රධානය කිරීම නිසා අකමැත්තෙන් හෝ ඔවුනට සිදුවුනා මොස්කව් නගරය බලා යන්නට. 

නමුත් මේ කාලයේ පැවතී ස්ටාලින් සහ ට්‍රොස්කි අතර විරසකයට ඉරේන් ඇතුළු පවුලේ සියලු දෙනාම වන්දි ගෙවන්නේ එවකට ස්ටාලින් විසින් හඳුන්වා දෙනු ලැබූ නව අපරාධන මර්ධන සංග්‍රහයේ 58 වන වගන්තිය නිසා. 

කලීමා මාර්ගයේ සත්‍ය වශයෙන්ම තරමක් හෝ පහසුවෙන් ගමන් කල හැක්කේ හිමෙන් වැසී යන ශීත කාලයේ. එයට හේතුව අධික ශීත නිසා මේ මාර්ගය හරහා වැටී ඇති ගංගාවල් සියල්ලම පාහේ අයිස් බවට පත් වන නිසා ඒ මතින් වාහන ධාවනය කල හැකිවීම. අනිකුත් කාල වලදී මේ ගංගාවල් වලින් එතෙර වීමට පාලම පාරු උපයෝගී කර ගැනීමට සිදුවෙනවා.

මහා මාර්ගයක් ලෙස නම් කලාට මේ මාර්ගයේ කිමී. කිහිපයක් හැරෙන්නට අනික් කොටස් වල ඇත්තේ බිහිසුණු තුන්ද්‍රා වනාන්තරය හරහා දිවෙන ගොරහැඩි බොරළු මාර්ගය. 

අධික ශීතලේ වාහනයට යම් අනතුරක් සිදුවුවහොත් එය අලුත්වැඩියා කර ගැනීම ගැන කල හැක්කේ සිහින මවා ගැනීමක් පමණයි.

අධික ශීතල නිසා ක්‍රියා විරහිත වී නැවත පන ගන්වා ගැනීමට අපහසුව අත් හැර දමන ලද වාහන මෙන්ම බර වාහන ද මේ කලීමා මාර්ගයේ සුලභව දක්නට ලැබෙන දර්ශනයක්. 

ඒ නිසා කොපමණ මුදලක් ලබා දුන්නද මේ මාර්ගයේ සංචාරකයෙක් ලෙස යන්නට වාහනයක් සපයා ගැනීම ලෙහෙසි ක්‍රියාවක් නොවේ. 

එමෙන්ම සංචාරකයින් රැගෙන යන වාහන පවා ධාවනය කරන්නේ වාහන කිහිපයක් සහිතව කණ්ඩායමක් ලෙස. ඒ එක් වාහනයක් යම් අන්දමකින් අනතුරකට පත්වුවහොත් අනිකුත් වාහන වලින් උදව් උපකාර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

වැදගත්ම කරුණ නම් මෙවැනි ගමන් වලදී මෝටර් රථයේ හෝ බර වාහනයේ එන්ජිම නතර කිරීමට නොහැකිවීම. ඒ අධික සීතල නිසා නැවත පන ගැන්වීමට නොහැකි වන නිසා. 

මා ගමන් ගත් වෑන් රථයේ එන්ජිම දින 10ක් තුලම  දිවා රාත්‍රී නොතකා ක්‍රියාත්මක වුනා. 

​ඉන්ධන ලබා ගැනීමට මේ ප්‍රදේශ වල ඇත්තේ ඉතා සීමිත ස්ථාන කිහිපයක්. මේ නිසා අමතර ඉන්ධන ලීටර් ප්‍රමාණයක් රැගෙන යාමටත් අපට සිදුවුනා. 

මේ සියලුම බාධක සමගින් පෙබරවාරි මස 10 වැනිදා හිමිදිරි උදෑසන යාකුට්ස්ක් නගරයේ සිට කි.මී.1200ක් දුරකින් පිහිටි ඔයිමිකොන් ගම්මානය කරා යාමට පිටත් වුනේ ඊට පෙර දින යාකුටියානු සම්ප්‍රදායට අනුව  දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගනිමින්. 

කි.මී. 25ක් පමණ යාකුට්ස්ක් නගරයේ සිට  අපි ප්‍රථමයෙන් පැමිණුනේ ලේන ගඟ වෙතට. 

මේ ගඟ සම්පුර්නයෙන්ම මිදෙන සීත කාලයේදී පමණක් ගඟ හරහා වාහන ධාවනය කිරීමට රුසියානු රජය අවසර දී තිබෙනවා. ඒ ගඟේ අයිස් තට්ටුව අවම වශයෙන් මීටර් 2ක් වත් මිදී තිබුණහොත් පමණයි. 

අපේ පළමුවන නවාතැන්පොල. හන්දිගා නගරය - යාකුට්ස්ක් නගරයේ සිට කි.මී. 500ක් දුරින්. 

මේ කි.මී. 500 ගමනේදී අපට හමුවුනේ එක කුඩා නගරයක් පමණයි. 

මේ කුඩා නගරයට එතරම් වයසක් නැහැ. 1939 වසරේ මේ මාර්ගය ආරම්භයේදී කම්කරුවන්ට සහ පාලකයින්ට නවාතන්පොලක් ලෙසටයි මේ ස්ථානය භාවිතා වී තිබෙන්නේ. 

නමුත් පාලකයින්ගේ මනසේ මේ ස්ථානය මේ ව්‍යාපෘතියේ මුලික ස්ථානයක් ලෙස සනිටුහන් වී ඇති බව හන්දිගා නගරයට පිවිසෙන ස්ථානයේ ඇති නාමපුවරුවෙන්ම පැහැදිලි වෙනවා. 

​පාලකයින්ගේ බලාපොරොත්තුව වෙන්නට ඇත්තේ මේ මාර්ගයේ අවසාන කෙළවර පිහිටා ඇති මගදාන් නගරයේ වරායට පිවිසෙන නෞකාවන් වලින් රැගෙන එන භාණ්ඩ මේ ප්‍රදේශයේ අනිකුත් ස්ථාන වලට බෙදාහැරීමේදී මේ හන්දිගා නගරය ප්‍රධාන බෙදාහරුම් මධස්තානයක් කිරීම. ඒ නිසාම තමයි මේ නාමපුවරුවේ එක් පසෙක නෞකාවකුත් අනික් පසින් භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් දක්නට ලැබෙන්නේ.

යාකුට්ස්ක් නගරයෙන් රුසියාවේ උතුරු ප්‍රදේශයට ගමන් කරත්දී අධික ශීතල යන වදන් වල සැබෑ තේරුම අපට ප්‍රත්‍යක්ෂ වුනා.

උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක රින 40-45ක්. 

මේ මාර්ගය සෝවියට් සිරකරුවන්ගේ දෑතේ ශක්තියෙන් බිහිවුණා යයි සිතීම පවා අපහසුයි.

​ස්ටාලින් පාලනය විසින් හඳුන්වා දෙනු ලැබූ සෝවියට් දේශයේ අපරාධ සංග්‍රහයේ 58 වන වගන්තිය සත්‍ය වශයෙන්ම විමසා බැලිය යුතුයි.

මේ ජායාරුප මාගේ කැමරාවේ සටහන් වුයේ මේ මාර්ගයේ ඇති ටෝමෝටෝර් කුඩා නගරයේ කෞතුකාගාරයේදී.

1926 සෝවියට් රජය විසින් ගෙන එන ලද නව අපරාධ මර්ධන ආයතන සංග්‍රහයේ 58 වන  නීතියේ වගන්ති වලට අනුව 1953 වසර දක්වා කාලය තුල මිලියන 3.5 ක සෝවියට් ජනතාවක් අත් අඩංගුවට පත්වී තිබෙනවා. එයිනුත් ලක්ෂ 6කට වඩා අධික පුරවැසියන් පිරිසක් ඝාතනය කොට තිබෙනවා. 

1937 වසරේ දිනෙක සෝවියට් බලධාරීන් විසින් ඉරේන් ගේ පියාව අත් අඩංගුවට ගන්නේ කිසිවෙකුත් නොසිතු ලෙසට. ඒ පියාට ට්‍රොස්කි සමග ඇති සම්බන්ධකම නිසා.

ඒ 58 වන වගන්තියේ සඳහන් වෙන්නේ බොහෝ විට පහත සඳහන් කරුණු මත ඕනෑම සොවියට් පුරවැසියෙක් ඕනෑම  අවස්ථාවක අත් අඩංගුවට ගත හැකි බවයි.  මේ හේතූන් අතර  මව් බිමට විරුද්ධවීම, හමුදා සාමාජිකයෙක් වී මව් බිමට විරුද්ධ වීම,, මේ චෝදනා වලට ලක්වුවන්ගේ පවුල් වල සාමාජිකයින් වීම, විදේශිකයින් සමග රහස් සම්බන්ධතා, හා රටවල් ගැන ගුණ වර්ණනා කිරීම - විශේෂයෙන්ම සෝවියට් දේශය යුධමය වශයෙන් සම්බන්ධවී ඇති රටවල් ගැන, ඇමෙරිකානු සහ ජර්මානු තාක්ෂනය ගැන ගුණ වර්ණනා කිරීම, මව් බිමට විරුද්ධ වූ පුද්ගලයෙකු බිරිඳ හෝ දරුවන් වීම යන හේතුන් ප්‍රධානයි. 

​ඉරේන් ගේ පියාත් පසුව ඉරේනුත් සොවියට් බලධාරීන්ගේ අත් අඩංගුවට පත් වුයේ මේ 58 වන වගන්තියට අනුකුලව.

​අත් අඩංගුවට පත් ඇයටත් අත් වුයේ මිලියන ගණනක සෝවියට් පුරවැසියන්ට අත්වු ඉරණමමයි. කොලීමා මාර්ගය ඉදි කරන සිරකරුවන් විසු බෙර්ලාග් 19 නමැති කඳවුරට ඇයව පිටුවහල් කරන්නේ වසර 20ක පිටුවහල් ජීවිතයක් සමග පවුලේ කිසිම කෙනෙක් සමග නැවත ලිපිවලින් හෝ සම්බන්ධතාවයක් පැවැත්විය නොහැකි බවත් සඳහන් කරමින්. 

මේ කඳවුරු ජීවිත ගැන අද රුසියානු ජනතාව තම මතකය අවධි කරනවාටවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. දිනකට ලබා දෙන සීමිත පරළු පාන් ග්‍රෑම් 250ක ප්‍රමාණය සහ දියර සුප් බඳුන හැරෙන්නට වෙනත් කිසිම ආහාරයක් ඔවුනට ලැබුනේ නැහැ. ඉවසිය නොහැකි අධික ශීතල යටතේ කිසිම පහසුකමක් නොමැතිව බැරැක්ක වල කල් ගෙවමින් කිසිම නඩු විභාග වලින් තොරව තම පවුල් වල සාමාජිකයින් සමග කිසිම සම්බන්ධතාවයක් නොමැතිව ජීවත් වුනු මේ පුරවැසියන් මිලියන ගණනකට අත් වුයේ මරණය. කුසගින්න සහ අධික ශීතලට අමතරව දෛනික රාජකාරී වගකීම ඉෂ්ට නොකිරීම නිමිත්තේන් ලැබුණු දඬුවම් වලට මුහුණ දීමටද ඔවුන්ට සිදුවුනා. ඒ දඬුවම බොහෝ විට වුයේ වෙඩි තබා මරා දැමීම. කොපමණ පුරවැසියන් ප්‍රමාණයක් මේ කාලය තුල වෙඩි තබා මරා දැමුවාදැයි කියා තවමත් පැහැදිලි සංඛ්‍යා ලේඛන සකස් වී නැහැ. ඒ වෙනුවෙන් අද බිහිවී ඇති සංවිධාන තවමත් රුසියානු ආයතන සමග සම්බන්ධවෙමින් ඉතිහාසගත කරුණු සංඛ්‍යා ලේඛන සොයමින් පවතිනවා. 

මේ හන්දිගා නගරයේ නවාතැන් ගැනීමට අපට ලැබුණු ස්ථානය. මේ කුඩා නගරයේ ඇත්තේ එක් හෝටලයක් පමණයි. හෝටලයක් ලෙස හැඳින්වූවාට ලී වලින් සාදන ලද කුඩා ගොඩනැගිල්ලක තිබෙන කාමර 2කින් සමන්විත නිවසක්. 

එක් කාමරයක පුද්ගලයින් 4 දෙනෙකු බැගින් නවාතැන් ගත හැකි ලෙස මේ කුඩා නිවස සකස් වී තිබෙනවා. 

අධික සීතල නිසා මේ නිවසට ඇති ජල නල මිදීමෙන් වැලකීමට නිවසේ ඇති කරාම සම්පුර්ණයෙන්ම වැසීම තහනම්. එවිට බොහෝ විට ජලයේ චලනයක්  නොමැති නිසා මිදීමට ඇති අවකාශ වැඩි වන නිසා. මේ නිවසේ ඇති ජල නලද නිවස තුලම ඇති විශාල ටැංකියක් මගින් ලබා දෙන නිසා බොහෝ විට මිදීමට ඇති අවකාශ අඩුයි. 

හන්දිගා නගරයේ සිට ලොව ශීතම ගම්මානය ලෙස හැඳින්වෙන ඔයිමිකෝන් ගම්මානයට යාමට තවත් කි.මී. 700 ක ප්‍රමාණයක් යා යුතුව තිබෙනවා.  මාර්ගය දෙපස බොහෝ විට දක්නට ඇත්තේ මෙවැනි අනතුරු වලට ලක්වුණු වාහන.

නැතිනම් අනතුරකට ලක්වී අත් හැර දමනු ලැබූ වාහන.

ලොව භයානකම මාර්ග කිහිපයෙන් මේ කාලීම මාර්ගයට ලැබෙන්නේ පළමු ස්ථානය.  ඒ අධික ශීතල සමග අයිස් තට්ටු සමග වාහන ධාවනයේදී ඇතිවන භයානකත්වය නිසා. 

මේ ජායාරුප වලින් මේ මාර්ගයේ ඇති භයානකත්වය වටහා ගැනීමට පුළුවන්.

මාර්ගයේ බොහෝ ස්ථාන වල මෙවැනි සොහොන් කොත් දක්නට ලැබෙනවා. 

මේ සොවියට් සමයේ සිර කඳවුරු වලදී මියගිය නමක් ගමක් නොමැති පුරවැසියන් වෙනුවෙන් ඉදිකළ සොහොන් කොත්. 

මේ පෙදෙස් පසු කර යත්දී ඔබේ නෙතට නිතැතින්ම කඳුලක් නැගෙන බවට නම් සහතිකයි.

යන්ත්‍ර සුත්‍ර වලින් තොරව තම දෑතේ ශක්තියෙන් සෙන්ටිග්‍රේඩ් අංශක රින් 50-60 සීතලක් දරා ගනිමින් සිර කඳවුරු වල සිට සොවියට් සිරකරුවන්ගේ දෑතින් බිහිවුණු මෙවැනි ලී පාලම් වල කොටස් අදටත් දකින්නට ලැබෙනවා.  

මොස්කව් සිට පැය 8ක ගුවන් ගමනකින් පසු සහ තවත් කි.මී. 1200ක ගමනකින් පසු ලඟා වුනේ ඔයිමිකෝන් ගම්මානය වෙත. 

​ලොව මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශ අතරින් වැඩිම සීතලක් ඇත්තේ මේ ඔයිමිකෝන් ගම්මානයේ. ඒ නිසාම තමයි මේ ගම්මානය ශීත ධ්‍රැවයේ ගම්මානය ලෙස හඳුන්වන්නේ. 

​ඔයිමිකෝන් ගම්මානයේ ජීවත් වන්නේ පවුල් 150ක් පමණ ජනතාවක්. නැතිනම් 450ක පමණ පිරිසක්. 

එදින රාත්‍රියේ උෂ්ණත්වය සටහන් වුයේ සෙන්ටිග්‍රේඩ් අංශක රින 49ක් ලෙස. 

නමුත් පසුදා උෂ්නත්වමානයේ පෙන්නුම් කලේ සෙන්ටිග්‍රේඩ් අංශක රින 51ක්. මෙවැනි අධික ශීතල පරිසරයකදී අවට පරිසරයේ ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවීම නිසා හුස්ම ගැනීමේදී බොහෝ විට අපහසුතාවයන් වලට ලක් වෙනවා. නමුත් වඩාත්ම දරුණුම අපහසුතාවය වන්නේ තත්පර කිහිපයකට වඩා දෑතේ ඇඟිලි අවට පරිසරයට විවෘත කිරීමට ඇති බාධකයයි. විශේෂයෙන්ම කැමරාවෙන් ජායාරුපයක් ගැනීම් ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ. නිමේෂණයකින් ඇඟිලි අයිස් බවට පත් වෙනවා. වැඩි වෙලාවක් එසේ අවට අවකාශයට විවෘත වී තිබුණහොත් එහි පල විපාකය ඉතා දරුණුයි. 

ඔයිමිකෝන් ගම්මානයේ අධික ශීතල කොපමණදැයි කිවහොත් විනාඩි කිහිපයක් එළිමහනේ සිටියහොත් ඇස් පිහාටු පවා මිදෙන්නට පටන් ගන්නවා. 

අධික උණුසුම් ජලය අහසට විසි කරන විට පොලවට පතිත වන්නේ ඒවා අයිස් බවට පත්වී.

තෙත රෙදි එළිමහනේ තත්පර කිහිපයක් තිබුන හොත් දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙන්.

අධික ශීතල නිසා කිසිම ඉලෙක්ට්‍රොනික උපකරණයක් දිගු කාලයක් විවෘත පරිසරයේ තබා ගන්නට අපහසුයි. මා සතුව තිබුණු කිසිම කැමරාවක් විනාඩි 3-4කට වඩා එක දිගට මේ පරිසරයේ භාවිතා කිරීමට අපහසු වුනා. විනාඩි කිහිපයකින් ඒ සියල්ල ඝනවී ක්‍රියා විරහිත වෙනවා. නැවත භාවිතය ගත හැක්කේ සාමාන්‍ය උෂ්ණත්වය යටතේ පැය කිහිපයක් තැබීමෙන් පසුව.

මේ ඔයිමිකෝන් ගම්මානයේ ප්‍රධානම ස්ථානය. මේ ස්ථානයේදී 1926 වසරේ ප්‍රථම වරට ලොව අඩුම උෂ්ණත්වය එනම් සෙන්ටිග්‍රේඩ් අංශක රින් 71.2 වාර්තා වී තිබෙනවා. ඒ අවස්ථාව සහ ඒ අවස්ථාවට සහභාගී වුනු රුසියානු ගවේෂක කණ්ඩායම සහ එම කණ්ඩායමේ නායකත්වය දරු සේර්ගී ඔබ්රුචෙව් (Sergey Obruchev) සිහි කරනු වස් මේ  ස්මාරකය පිහිටුවා තිබෙනවා. 

මේ සියලු පාරිසරික බාධක දුෂ්කරතා මධ්‍යයේ ඔයිමිකොන් ගම්මානය මෙසේ දිස් වෙනවා. 

යාකුටියාවේ ජනතාව විශ්වාශ කරන්නේ මේ ශීත දේශගුණය පාලනය කරන්නේ චීස්හාන් නමැති අධි බලයක් සහිත පුද්ගලයෙක් විසින් බව. චීස්හාන්  චරිතය රඟ දැක්වීමක් මේ ඔයිමිකෝන් ගම්මානයට පැමිණෙන අමුත්තන් හට දැක ගන්නට පුළුවන්. එසේම මේ ගම්මානයට පැමිණෙන අමුත්තන්ට විශේෂ සහතික පත්‍රයක්ද චීස්හාන් අතින් පිරිනැමෙනවා. මේ අධික ශීතල හමුවේ මේ ගම්මානයට පැමිණෙන්නේ ඉතා සුළු පිරිසක්.

ඔයිමිකෝන් ගම්මානයේ නැවතීමට පහසුකම් ඇත්තේ නැහැ. අපිට හැකිවුනා තමාරා නිකොලායෙව්නා සමග කතා බස් කර අගේ නිවසේ දින 2ක් ගත කරන්නට. මේ ගම්මානයේ නිවෙස් වල ජල නල පහසුකම් හෝ ගෑස් නල පහසුකම් දක්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම වැසිකිලි පහසුකම්ද ඇත්තේ ඉතා සීමිතව. සෑම වැසිකිලියක්ම පිහිටා ඇත්තේ නිවසේ සිට මීටර් 50-60ක් දුරින්. සෙන්ටිග්‍රේඩ් අංශක රින 50-60 සීතලේදී වැසිකිලියට යෑම-  විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී - ඉතාමත් අපහසුයි. නමුත් මේ ප්‍රදේශයේ වැසියන් මේ අධික ශීතලට හුරුවී ඇති නිසා ඔවුනට එය එතරම් අපහසු කාර්යයක් නොවේ.

​තමාරා නිකොලායෙව්නා දැනට වසර 20කටත් අධික කාලයක සිට මේ ඔයිමිකොන් ගම්මානයට ලෝකයේ ශීතම ගම්මානය ලෙස ලොව පුරා ප්‍රචලිත කරන්නට මහත් වෙහෙසක් දරන කාන්තාවක්. 

ඔයිමිකෝන් ගම්මානයේ වැසියන් බොහෝ විට පවසන්නේ වසරේ මාස 12කම ඔවුන්ට ඇත්තේ ශීත කාලගුණයක් බවත් ඉතිරි කාලයේ උණුසුම් කාලගුණයක් ලැබෙන බවත්. වසරේ වැඩි කාලයක් අධික ශීතල සහිත දුෂ්කර කාලගුණ තත්වයක් යටතේ ජීවත් වෙන්නට වෙර දරන සටන මීට වසර 70කට පමණ පෙර සොවියට් සමයේ ගුලාග් කඳවුරු වල ජීවත් වුනු පුරවැසියන් ගේ ජීවිත හා සසඳන විට තරමක් හෝ වර්ධනයක් තිබීම සැනසීමට කරුණක්. 

​කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රදේශ වල ජීවත් වුනු නිසා බොහෝ පවුල් මේ ප්‍රදේශ අත්   හැර යාමට උත්සාහ දරන්නේ නැහැ. නමුත් තරුණ පරම්පරාව නම් සෑම විටම උත්සාහ දරන්නේ මේ දුෂ්කර ප්‍රදේශ වලින් නගරබද ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට. මේ නිසාම මෙතරම් විශාල භුමි ප්‍රදේශයක් හිමි සාහා ජනරජයේ මුළු ජනගහනය මිලියන 3කටත් වඩා අඩුයි. රුසියානු රජය මේ ප්‍රදේශවල වාසය කරන හෝ රැකියාවන් සඳහා පැමිණීමට කැමති පවුල් සහ පුරවැසියන් උනන්දු කිරීම සඳහා නොයෙකුත් ව්‍යාපෘති ඇති කරමින් රුසියාවේ සාමාන්‍ය වේතන වලට වඩා අධික වේතන සහ පහසුකම් ලබා දෙන්නටත් උනන්දු වී තිබෙනවා. මේ ප්‍රදේශ වල රැකියාවන්හි නියුතු පුද්ගලයින්ට සාමාන්‍ය වේතනයට අමතරව දුෂ්කර සේවා දීමනාවක්ද රුසියානු රජය මගින් ලබා දෙනවා. 

ඉරේන් බ්‍රොන්ශ්ටේන් ඇතුළු මිලියන ගණනක බොහෝ පුරවැසියන්ගේ අවසානය සිදුවුනේ මේ ප්‍රදේශවල සොවියට් රජය විසින් 1935-53 වසර කාල වකවානුවේදී ඉදි කරන ලද ගුලාග්  කඳවුරු වලදී. 

​1953 වසරේ මාර්තු මස 6 වැනිදා උදෑසන වෙනදා  පෝලිමේ සිට ලබා ගන්නා පරළු පාන් ග්‍රෑම් 250 ට අමතර තවත් පරළු පාන් සහ  සුප් කෝප්ප කිහිපයක් සහිත ආහාර මේසයක් සකස්වී තිබෙන බව දුටු ඉරේන් බ්‍රොන්ශ්ටේන් ඇතුළු පිරිසට දැනුනේ අමුත්තක්. කඳවුරු පාලනය කල සෝවියට් සොල්දාදුවන්ගේ හැසිරීමේ වෙනදා නොමැති අමුත්තක් තිබෙන බව ඔවුනට දැනුනා. නිමේෂණයකින් සොල්දාදාදුවන් ඉරේන් බ්‍රොන්ශ්ටේන් ඇතුළු සිරකරුවන් සමග ආහාර මේසයට එකතු වුයේ ඔවුන් කිසිදිනෙක අපේක්ෂා නොකළ කිසිම දිනෙක සිදුවන්නේ නැතැයි සිතු ආරංචියකුත් සමග. 

ඒ පෙරදින රාත්‍රියේ මොස්කව් නගරයේදී එවකට සොවියට් දේශය පාලනය කල ජෝෂප් ස්ටාලින් මිය ගිය බවට ලැබුණු පුවත. 

1953 මාර්තු මස 5 වැනිදා රාත්‍රී 9.05ට සොවියට් නායක ජෝශප් ස්ටාලින් ගේ මිය යාම සෝවියට් දේශය තවත් නව යුගයකට පරිවර්තනය වීමේ ආරම්භයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ස්ටාලින්ගෙන් පසු බලයට පැමිණුනු නිකීතා කෘෂෙව් 1958 වසරේදී සෝවියට් දේශයේ අපරාධ නීතියට නව වෙනස්කම් කිහිපයක් එක් කරමින් ලිපියේ මා ඉහත සඳහන් කල 58 වන නීතිය සංශෝධනයට ලක් කරනු ලැබුවා. 

සෝවියට් අපරාධ මර්ධන නීති සංග්‍රහයේ 58 වන නීතියෙන් වැරදිකරුවන් වූ පුරවැසියන් හැඳින්වුයේ දේශපාලන සිරකරුවන් ලෙස. බොහෝ නඩු විභාග නැවත සලකා බැලීමෙන් පසු සිරකරුවන්ට නිදහස් ලබා ගැනීමට හැකිවුනා. කෙසේ වුවත් මෙවැනි නඩු තීන්දු බොහොමයක් ලැබුනේ නිදහස ලැබීමෙන් පසු සොවියට් දේශයේ ප්‍රධාන නගර වලින් අවම වශයෙන් කි.මී.100ක් පමණ දුරකින් වාසය කිරීමේ කොන්දේසිය මත. 

යාකුටීයාවේ R-504 නැතිනම් කොලීමා මාර්ගය සහ ඔයිමිකෝන් ගම්මානය ඇතුළු ප්‍රදේශ හිමෙන් වැසී දිස්වන්නේ ලොව සුන්දරතම ප්‍රදේශ ලෙස. යම් කෙනෙක් පවසන්නේ අයිස්ලන්තය ලොව සුන්දරතම සහ දර්ශනීයතම ප්‍රදේශ ලෙසට නම් ඒ ඔහු කිසිම දිනෙක රුසියාවේ යාකුටියාවට නොපැමිණි කෙනෙක් නිසා.

 

නමුත් ඒ සුන්දරත්වය පිටුපස තිබෙන මිලියනයකටත් වඩා අධික සොවියට් පුරවැසියන්ගේ ජීවිත බිලිගත් කුරිරු ඉතිහාසය හැමදාම සීත හිමෙන් වැසී තියේවි.

මීළඟට Next

*අධික ශීතල යටතේ ක්‍රියාත්මක වන කුඩාම ගුවන් තොටුපොල 

​* පිනිමුවන් ඇති කරන්නන් සමග වාසය....... 

* අධික ශීතල සමග යාකුටියාවටම විශේෂ වූ සම්ප්‍රදායයන්......

Special Thanks  * Ludmila Popova & Alyona Trubnyakova

ඉරේන් බ්‍රෝන්ශ්ටේන් චරිතය මා උපුටා ගත්තේ 1926 වසරේ චීනයේ ඉපිද 1949 වසරේ සොවියට් හමුදාවන්ගේ අත් අඩංගුවට පත් වී සොවියට් දේශයේ කොලීමා ප්‍රදේශයේ ගුලාග් සිර කඳවුරක වසර 20ක පමණ කාලයක් ගත කර පසුව 1966 වසරේ ඊශ්‍රායලය බලා යාමට අවසර ලබා ගත් ඔසීෆ් ලේර්නේර් ගේ - ඇමෙරිකානු රහස් නියෝජිතයා - නමැති ග්‍රන්ථයෙන්. ඔසීෆ් ලේර්නේර් සිරබත් කමින් සිටියදී ඔහුට ඉරේන් බ්‍රෝන්ශ්ටේන්  මුණ ගැසීම ගැන පැහැදිලි විස්තරයක් ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. 

එක් ජායාරුපයක් පමණක් උපුටා ගත්තේ - https://dimabalakirev.livejournal.com/    & Burkhard Bruemmer

රොහාන් ඩිරෙක්ස් 

Expedition to the Pole of Cold

16-26 February 2019 

rohandx@hotmail.com

DSC_0741.jpg