R 504

​උණු හිම මතින්... 

Part 3

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

ජීවිතයේ අමතක නොවන සහ දුෂ්කරම සංචාරය 

Expedition to the Pole of Cold -OYMYAKON, Russia.

Pole of Cold

Expedition 2019

මම අසාමාන්‍ය සංචාරකයෙක්. මාගේ උත්සාහය සෑම විටම සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව සංචාරය කිරීම.  ඒ සෑම සංචාරයක්ම ලෝකයේ විවිධ සංස්කෘතීන් තුලටද, ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් වල ඇතුලාන්තයද සොයා ගමන් කල නිසා ගවේශනයන් බවට පත් වුනා.

​ලෝකයේ බොහෝ ස්ථාන, රටවල් වල අප නොදකින අපට නොපෙනෙන ඉතිහාසය තුල ඇත්තේ විශ්මයජනක සිදුවීම්. එවැනි දුෂ්කර එමෙන්ම බිහිසුණු ස්ථාන වලට ඔබව රැගෙන යාම සහ ඒ දුෂ්කර, අපහසු, බිහිසුණු තත්වයන් යටතේ ඔවුන් ජීවත් වන ආකාරය ඔවුන්ගේම වචන වලින්, අදහස් වලින්  පැහැදිලි කිරීම මේ සංචාරයන්හි අරමුණයි. 

​එන්න මා සමග ලෝකය දකින්නට.

Rokhan Direkz 

2019 February 16-26

1942 වසර. සෝවියට් දේශය ෆැසිස්ට්වාදී ජර්මනිය සමග ලෝක ඉතිහාසයේ දරුණුතම යුද්ධයක පැටලී සිටියේ. 

යුද්ධය සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණික උපකරණ සපයා ගැනීම අතිශයින්ම වැදගත් නමුත් අපහසු කර්තව්‍යයක් ලෙස සැලකුණා. 

යුද්ධය ආරම්භයේ මා සෝවියට් ගුවන් හමුදාවේ ඈත පෙරදිග කලාපයේ ලොව ශීතම ප්‍රදේශයේ කපිතාන්වරයෙක් ලෙස සේවය කළා. අපේ රාජකාරිය වුනේ සෝවියට් දේශයේ ඈත පෙරදිග කලාපයේ ගුවන් දේශ සීමා ආරක්ෂා කිරීම.

1941 වසරේ අගෝස්තු මාසයේ දිනෙක මොස්කව් ක්‍රේම්ලිනයේ ලැබුණු අති විශේෂ පණිවිඩයකින් කියවුනේ සෝවියට් නායක ජෝෂප් ස්ටාලින් හැකි ඉක්මනින් හමුවන ලෙස.  මා සමග තවත් සෝවියට් ආරක්ෂක අංශයේ ඉහල පුද්ගලයින් සහභාගී වූ මේ රැස්වීමේදී ස්ටාලින් මගෙන් මෙසේ ඇසුවා. 

 

"උතුරු මුහුදු මාර්ගය හරහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට යුධ ගුවන් යානා රැගෙන එන්නට පුලුවන්ද?"

 

මේ ප්‍රශ්නයෙන් විශ්මයට පත් මා හට එකවරම කියවුනේ "බැහැ. එතකොට ඒ ඔක්කොම විනාශ වේවි."

 

"හේතුව ?" ස්ටාලින්ගේ තියුණු දෙනෙත් මා වෙත යොමුවී තිබුනා. 

 

"ඒ ප්‍රදේශයේ ගුවන් යානා පියාසර කරන්නට අවශ්‍ය යටි තල පහසුකම් ගොඩ නැගී නැහැ. ඒ වගේම අවශ්‍ය පහසුකම් සහිත ගුවන් තොටුපළවල් ඇත්තෙත් නැහැ. මෙය අපිට කල හැකි වන්නේ 1943 වසරේදී. "

තව දුරටත් කල්පනාවේ යෙදුනු ස්ටාලින් නැවතත් හඬ අවධි කළා. 

" එහෙනම් කම්චාත්කාව හරහා ?" කම්චාත්කාව ලෙස හැඳින්වන්නේ සෝවියට් දේශයේ ඈත පෙරදිග කලාපයේ අවසාන භුමි ප්‍රදේශය.

"බැහැ . ඒකත් අපහසුයි. මොකද එතරම් දුරක් මේ යුධ ගුවන් යානා වලට පියාසර කරන්න අපහසුයි. ඒ වගේම ඒ ප්‍රදේශ වල කිසිම තැනක අවශ්‍ය පහසුකම් සහිත ගුවන් තොටුපළවල් නැහැ."

සිය අසුනෙන් නැගිටුණු ස්ටාලින් බිත්තියේ ඇති කැලැන්ඩරය දෙස මඳ වෙලාවක් බලා සිටියා. 

"දින දෙකක කාලයක් ලබා දෙනවා. මට අවශ්‍යයි ඒ මාර්ගය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැඩ සටහන."

​මේ සෝවියට් දේශයේ ගුවන් හමුදා කපිතාන්වරයෙක් වශයෙන් විශිෂ්ට නාමයක් හිමිකරගත් ඉල්යා මසුරුක් ගේ මතක සටහන් වලින්.

ඊට දින දෙකකට පසු ස්ටාලින් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කාවේ සිට සෝවියට් දේශයේ ලොවශීතම ප්‍රදේශය ඔයිමිකොන් ගම්මානය හරහා ලොව දරුණුතම කාලගුණයක් පවතින සයිබීරියාව හරහා ක්‍රස්නෝයාර්ස්ක් (Krasnoyarsk) නගරය දක්වා ගුවන් ගමන් මාර්ගය ගොඩනැංවීමේ ව්‍යාපෘතියට අවසරය ලබා දුන්නා.  1941 වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා නිල වශයෙන් සෝවියට් දේශය මේ ව්‍යාපෘතිය අනුමත කළා. එමෙන්ම 1942 වසරේ ජුනි මස 11 වැනිදා දෙවන ලෝක සංග්‍රාමය ආරම්භවී හරියටම වසරකට පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර land-lease ගිවිසුමට අත්සන් තැබුවා. 

මේ ගුවන් මාර්ගය කි.මී 6450ක දුරකින් සමන්විත වුනා. මෙයිනුත් කි.මී. 5000ක් අයිති වුයේ සෝවියට් ගුවන් සීමා වලට.  අවසාන සංඛා ලේඛන වලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා නිෂ්පාදනය කරන ලද කම්හල් වල සිට සෝවියට් යුධ පෙරමුණ වෙත මේ ගුවන් යානා ගෙන ඒමට කි.මී. 14000ක් දුරක් පියාසර කිරීමට සිදුවුනා. 

ලොව ශීතම පෙදෙසට - රුසියාවේ යාකුටියාවේ ඔයිමිකොන් ගම්මානයට කල සංචාරයේදී මට අවස්ථාව ලැබුනා මේ ගුවන් මාර්ගයේ පිහිටා තිබුණු වැදගත්ම ගුවන් තොටුපල වෙත යන්නට.  මේ ජායාරුපයේ මා පිටුපසින් දිස් වන්නේ ඔයිමිකොන් ගුවන් තොටුපලේ ප්‍රධාන ගොඩනැගිල්ල.

එදා 1942 වසරේ තිබුණු ලෙසටම අදත් මේ ගුවන් තොටුපලේ ගොඩනැගිල්ල දිස්වෙනවා. 

නමුත්......

​මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ලෙහෙසි පහසු වුනේ නැහැ. අධික ශීතල කාලගුණ තත්වයක් යටතේ පවතින සයිබීරියානු භුමියේ ගුවන් තොටුපලවල් ඉදිකිරීම ඒ කාලයේ තිබුණු පහසුකම් අනුව කෙසේ වත් කල නොහැක්කක් වුනා. නමුත් අසහාය නායක ස්ටාලින් ඉදිරියේ ඒ බව පැවසීමට කිසිම කෙනෙකුට ශක්තියක් තිබුනේ නැහැ. 

1941 ඔක්තෝබර මස 9 වනදා මේ ගුවන් තොටුපළවල් සෑදීම නිල වශයෙන් ආරම්භ වුනා. යාකුටියාවේ ගුලාග් කඳවුරු වල සිටි සෝවියට් සිරකරුවන්ගේ ශ්‍රමය මේ වෙනුවෙන් යොදා ගැනීමට සෝවියට් දේශය තීරණය කළා. 

​මේ අනුව තමයි යාකුටියාවේ කලීමා R-504 මාර්ගය නැතිනම් ඇට කටු මතින් බිහිවුණු මාර්ගය හා මේ ගුවන් තොටුපළවල් ඉදි කිරීම සම්බන්ධ වෙන්නේ. 

ඔයිමිකොන් ගම්මානයේ ඇති කුඩා කෞතුකාගාරයක මේ දිස්වෙන්නේ එදා ඔයිමිකොන් ගුවන් තොටුපලේ ආකෘතියක්. අදත් මේ සියලුම ගොඩනැගිලි දැක ගන්නට පුළුවන්.

සෝවියට් පුරවැසියන්ගේ නොපසුබට උත්සාහය සහ ඒ පිටුපස තිබුණු ඛේදජනක අවස්ථා ඉස්මතු වන්නේ මෙතැන් සිට. 

සෙන්ටිග්‍රේඩ් අංශක -50-60ක් වන ඉවසිය නොහැකි අධික ශීතල යටතේ සෝවියට් දේශයේ මේ ව්‍යාපෘති වෙනුවෙන් තම ශ්‍රමය පුදකළ ලක්ෂ ගණනක් වු සෝවියට් පුරවැසියන් සිරකරුවන් මරණයට පත් වුනේ ගුලාග් සිරකඳවුරු වලදී සහ ඉදිකිරීම් ව්‍යාපෘති වලදී. 

නමුත් සෝවියට් නායකත්වය උත්සාහය අත් හරියේ නැහැ. යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ව්‍යාපෘතියේ අවශ්‍යතාවය තදින්ම දැනී තිබුනා. 

1942 වසරේ ඔක්තෝබර් මාසය වන විට කුඩා ගුවන් තොටුපළවල් 10ක ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නිම කරන්නට සෝවියට් දේශයට හැකි වුනා.  

1942 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා ප්‍රථම යුධ ගුවන් යානා සමුහය - A-20 Boston - එනම් ගුවන් යානා 12ක් ඇමෙරිකා එක්සත් ජනපදයේ  ඇලස්කාවේ Fairbank ගුවන් තොටුපළෙන් සෝවියට් දේශය බලා පියාසර කෙරුනා. 

​මේ ව්‍යාපෘතිය හැඳින්වුයේ ඇල්සිබ් නමින්. ඒ ඇලස්කාව සහ සයිබීරියාව යන නම් වල එකතුවකින්. 

මේ ආකාරයට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඔයිමිකොන් ශීත ගම්මානය හරහා යුධ ගුවන් යානා 7908ක් ගුවන් ගත වුනා. නමුත් ඒ සෑම ගුවන් ගමනක්ම සාර්ථක වුනේ නැහැ. 1942-1945 කාලය තුල මේ ගුවන් මාර්ගයේ ගුවන් යානා ගෙන ඒමේදී ගුවන් අනතුරු 280ක් පමණ සිදුවී පුද්ගලයින් සියයකට අධික පිරිසක් මරුමුවට පත්වී තිබෙනවා.

අදත් ඔයිමිකොන් ගම්මානයේ කෞතුකාගාරයේ එවැනි ගුවන් අනතුරු වලින් විනාශ වූ ගුවන් යානා වල කොටස් දැක බලා ගන්නට පුළුවන්. අධික ශීතල සහ අපහසු දේශගුණික තත්වයක් යටතේ ඇලස්කාවේ සිට මෙවැනි ගුවන් යානා පැදවීම ඒ කාලයේ ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පත්වී තිබුනා. නමුත් යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ කැපවීම කල යුතුවම තිබුනා.  

මේ ක්‍රියාදාමයේදී මියගිය ගුවන් නියමුවන් අනුස්මරණය වෙනුවෙන් ඉදි කර ඇති මේ ස්මාරකය පවසන්නේ ඒ ගුවන් නියමුවන්ගේ වීරත්වය. දකුනු පස        ජායාරුපයේ සිටින්නේ මේ ව්‍යාපෘතිය භාරව ක්‍රියා කල ගුවන් නියමු ඉල්යා මර්සුක්. (Ilya Marzuk)

​වර්තමානයේ මේ කුඩා ගුවන් තොටුපල යාකුටියාව සහ ඔයිමිකොන් අතර සීමිත ගුවන් වාර කහිපයක් වෙනුවෙන් සේවය සලසනවා. 

Polarair නමින් හඳුන්වන රුසියානු ගුවන් සේවා ආයතනය අද මේ ගුවන් ගමන් වාර සඳහා දායක වෙනවා. නමුත් මෙහි විශේෂත්වය වන්නේ අනිකුත් ප්‍රදේශ වල ගුවන් ගමන් මෙන් නොව මේ ප්‍රදේශයේ ගුවන් ගමන් සිදුවන්නේ අධික ශීතලක් යටතේ. 

මේ ජායාරුපයෙන් පෙනෙන්නේ AN-2 ගුවන් යානය සහ එහි ගුවන් නියමුවා. මේ ගුවන් යානය සෙන්ටිග්‍රේඩ් අංශක -50-60 දක්වා අධික ශීතල දේශගුණයට හොඳින් ගැලපෙන 1953 වසරේ විශිෂ්ට සෝවියට් නිපැයුමක්. සාමානයෙන් මගීන් 14 දෙනෙකුට ගමන් කල හැකි මේ යානය අධික හිම පතනය ඇති අවස්තාවන් වලදී රෝද වෙනුවට හිම මත ලිස්සා යන පුවරු උපයෝගී කර ගනිමින් විශේෂ ධාවන පථයක් නොමැති ස්ථාන වලට පවා ගොඩ බසින්නට හැකි වන පරිදි වැඩි දියුණු කොට තිබෙනවා. අධික ශීතලෙන් ආරක්ෂාවීම සඳහා ගුවන් යානයේ සමහර කොටස් උණුසුම් ආවරණයකින් ආවරණය කොට තිබෙනවා. දින කිහිපයක් ගුවන් යානය නවතා තැබුවහොත් එන්ජිම නැවත පන ගැන්වීමට අධික ශීතල නිසා හැකියාවක් නැහැ. ඒ අවස්ථා වලදී උණුසුම් විදුලි පංකා වලින් යානයේ එන්ජිම උණුසුම් කිරීමෙන් නැවත පන ගැන්වීමට හැකි වෙනවා. 

මගීන් 6 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකි MI-2 හෙලිකොප්ටරයද අධික ශීතලට ඔරොත්තු දිය හැකී සෝවියට් නිෂ්පාදනයක්. 

Polarairගුවන් සේවාව විසින් විදේශීය සංචාරකයින් වෙනුවෙන් යාකුටියාවේ සිට ලොව ශීතම පෙදෙස වන ඔයිමිකොන් ගම්මානයට මේ ගුවන් සේවාවන් පවත්වනවා. 

යාකුටියාව හඳුන්වන්නේ පිනිමුවන්ගේ රාජධානිය වශයෙන්. 2018 වසරේ රුසියානු සංඛා ලේඛන වලට අනුව යාකුටියාවේ පිනිමුවන් 165,000ක් පමණ ජීවත් වෙනවා. 

එමෙන්ම යාකුටියානු ජනතාව අතර පිනිමුවන් ඇති කිරීම වෘත්තීමය වශයෙන් සිදු කෙරෙනවා. අධික ශීතල යටතේ පිනිමුවන් සමග ගත කරන ජීවිත මතු පිටින් අප දකින්නේ සුන්දර ලෙස. නමුත් ඔවුන්ගේ ජීවිතය තුල ඇත්තේ දුෂ්කර එමෙන්ම අපට කිසිම විටෙක සිතීමට පවා අපහසු ජීවන රටාවක්. 

මේ ජීවන රටාව දැක බලා ගැනීමේ ආසාව මට ඇතිවුනේ මීට වසර කිහිපයකට පෙර රුසියාවේ උත්තර ධ්‍රැවයට කල සංචාරයේදී. 

​(උත්තර ධ්‍රැවයේ සංචාරය - මේ ස්ථානයෙන් කියවන්න.)

​සෙන්ටිග්‍රේඩ් අංශක -52ක අධික ශීතල සමග ඔයිමිකොන් ගම්මානයේ සම්පුර්ණයෙන්ම අයිස් මිදුණු ඉන්දිගා නදිය හරහා පිනිමුවන් කරත්තයකින් මා පිටත් වුයේ පිනිමුවන් ඇති කරන්නෙකු සමග. පිනිමුවන් කරත්තයේ ගමන ආශ්වාදජනක වුවත් අධික ශීත සුළන් මුහුණේ ගැටෙන විට ඉවසා සිටින්නට අපහසුයි. 

ඔයිමිකොන් ගම්මානයේ වෙසෙන ඉවාන් 20 හවිරි තරුණයෙක්. වසර 6ක පාසල් අධ්‍යාපනයෙන් පසු ඉවාන් වෘත්තීමය වශයෙන් පිනි මුවන් ඇති කිරීමේ යෙදෙනවා. 

ඉවාන් පිනි මුවන් 50ක පමණ රංචුවක හිමිකරුවෙක්. 

ඉන්දිගා නදියෙන් එතෙරවී තවත් කි.මී. කිහිපයක් ඝන වනාන්තරය තුලට යන විට ඉවාන් ගේ පිනිමුවන් කඳවුරු දැක බලා ගන්නට පුළුවන්. 

මෙවැනි කුඩාරමක් තුල තමයි ඉවාන් තම ජීවිතය ගත කරන්නේ.  වර්තමානයේ තාක්ෂණික උපාංග දැන් මොවුන්ගේ ජීවිත තුළටත් එබිකම් කර තිබෙනවා. රාත්‍රියට ආලෝකය ලබා ගැනීම සඳහා එක බල්බයක් පමණක් දැල්විය හැකි කුඩා සුර්ය කෝෂයන් සහිත පුවරුවක් දැක ගන්නට පුළුවන්. 

කුඩාරම මැද තිබෙන උදුනින් ආහාර පිළියෙළ කර ගැනීම මෙන්ම අවශ්‍ය උණුසුමද ලබා දෙනවා. 

වර්තමානය ලෝකයේ සිදුවන්නේ කුමක්ද අවම වශයෙන් යාකුටියාවේ එදිනෙදා පුවත් දැන ගැනීමට වත් ඉවාන් හට අවශ්‍යතාවයක් නැහැ.  ඒ සියල්ලෙන් මිදී හුදකලාව තම ජීවිතය ගෙවන මෙවැනි පිනිමුවන් ඇතිකරන්නන් විශාල ප්‍රමාණයක් යාකුටියාවේ දක්නට ලැබෙනවා.

පිනිමුවන් ගේ මස් යාකුටියාවේ ප්‍රධාන ආහාරයයි. මේ මස් හැම විටම වෙළඳ පොලෙන් ලබා ගන්නට පුළුවන්. වෙළෙන්දන් ඒ මස් ලබා ගන්නේ මෙවැනි පිනිමුවන් ඇති කරන්නන් සමග ඇති සම්බන්ධතා වලින්. එමෙන්ම පිනිමුවන්ගේ සම් සීතලෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය කබා නිපදවීම සඳහා විශේෂයෙන් යොදා ගැනෙනවා. පිනිමුවන්ගේ හම වලින් නිපදවූ කබායක් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 1000කටත් වඩා අධික මුදලකට යුරෝපයේ අලෙවි වුනත් එයින් මොවුනට ලැබෙන්නේ අල්ප මුදලක්. පිනි මුවන්ගේ අන් තට්ටු අලංකාර සඳහා මෙන්ම එහි ඇති සමහර කොටස් සාම්ප්‍රදායික බෙහෙත් ද්‍රවය සෑදීම සඳහා භාවිතා කරනවා. 

පිනි මුවන් ඇති කරන්නට හැකිවීම ඉවාන් සලකන්නේ දෙවියන් විසින් ලබා දුන් ත්‍යාගයක් ලෙසට. 

ඒ හම වලින් කබා සහ වෙනත් භාණ්ඩ නිපදවීම මෙන්ම ඔවුනට අවශ්‍ය ප්‍රධානා ආහාරය - මස් සපයා ගන්නේත් පිනිමුවන් මරා ගැනීමෙන් නිසා. 

​සංචාරකයින් විශාල වශයෙන් ඔයිමිකොන් ගම්මානයට පැමිණෙන්නේ නැහැ. එයට හේතුව දුෂ්කර ගමන සහ ඉවසිය නොහැකි සීතල නිසා. මේ ජායාරුපයේ සිටින්නේ ඔයිමිකොන් ගම්මානයේ පුරපති. ඔහු සඳහන් කල අන්දමට දැනට මේ ගම්මානයට පැමිණ තිබෙන්නේ 1000ක් පමණ විදේශීය සංචාරකයින් පිරිසක් පමණයි. ශ්‍රී ලංකාවෙන් පැමිණිනු පළමුවන සංචාරකයා ලෙස සටහන් වීම නිසා පුරපති විශේෂයෙන් මා වෙනුවෙන් කුඩා උත්සවයක් සංවිධානය කර තිබුනා. 

ඒ සෙන්ටිග්‍රේඩ් අංශක රින 54ක සීතලක් යටතේ අයිස් වතුර ස්නානය කිරීමේ උත්සවයක්. මෙවැනි අධික ශීතලක් යටතේ අයිස් ජලයේ ස්නානය කිරීම බොහෝ අවස්ථා වල රුසියාවේ සාම්ප්‍රදායයක් ලෙසත් සැලකෙනවා. 

 

ඔයිමිකොන් ගම්මානයේ දිය උල්පත් වලින් මතුපිටට පැමිණෙන ජලය අයිස් බවට පත්වන්නේ නැහැ. යාකුටියානු භාෂාවෙන් ඔයිමිකොන් යනුවෙන් හැඳින්වෙන්නේ නොමිදෙන ජලය යන තේරුම. 

මේ හේතුව නිසාම තමයි රුසියානු රජය මගින් මේ ජලය බවුසර් මාර්ගයෙන් ඔයිමිකොන් ජනතාව අතර බෙදා හරින්නේ.

ඔයිමිකොන් කෞතුකාගාරයේ තිබුණු 1954 වසරේ ගත් ජායාරුපයක්. ස්ටාලින් සමග ගුලාග් ශ්‍රම කඳවුරු අතර සම්බන්ධතාවය පෙන්වීමට උත්සාහ කරන ලද සටහනක්. මේ මාවත සෝවියට් මාවත ලෙසින් හඳුන්වනවා. 

දින 10ක් තිස්සේ අධික ශීතලත් සමග සටන් කරමින් මගේ ලොව ශීතම පෙදෙසට සංචාරය මෙසේ නිමවුනා. 

යාකුටීයාවේ R-504 නැතිනම් කොලීමා මාර්ගය සහ ඔයිමිකෝන් ගම්මානය ඇතුළු ප්‍රදේශ හිමෙන් වැසී දිස්වන්නේ ලොව සුන්දරතම ප්‍රදේශ ලෙස. රුසියානු ආර්ථිකයේ එදත් අදත් මහා කේන්ද්‍රස්ථානයක් ලෙස යකුටියාව සැලකෙනවා. එමෙන්ම එය රුසියාවේ ඈත පෙරදිග කලාපයේ පිහිටා තිබෙන නිසා ආරක්ෂාව අතින්ද විශේෂත්වයක් තිබෙනවා. ඒ නිසාම තමයි මෙහි සමහර ප්‍රදේශ වලට විදේශිකයින් යාමේදී වාරණ පනවා තිබෙන්නේ. 

සෝවියට් දේශයේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන්, ශ්‍රේෂ්ට දේශප්‍රේමී යුද්ධයේ පහසුකම් වෙනුවෙන් දිවි පිදු විශාල සෝවියට් පුරවැසියන් පිරිසකගේ ජීවිත   අවසාන වුයේ යාකුටියාවේ නැතිනම් මගදාන් නගරයේ. එමෙන්ම විදේශීය සිරකරුවන්, දෙවන ලෝක සංග්‍රාමයේදී අත් අඩංගුවට පත්වුණු ජර්මානු සිරකරුවන්, ස්ටාලින් පාලනයට සෝවියට් පාලනයට අවනත නොවීම නිසා පිටුවහල් කරන ලද කලාකරුවන්, ඉතිහාසඥයින්, ලේඛකයින්, වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සහ කම්කරුවන් - මේ සියල්ලන්ගේම ජීවිතයේ වසර 30ක්-40ක් ගත වුනේ මේ දුෂ්කර යකුටියාවේ. 

ඔවුන්ගේ දෑත් වලින් ශ්‍රමයෙන් බිහිවුණු සුදු හිමෙන් වැසී තිබෙන සුන්දර කලීමා මාර්ගය සහ ගුවන් තොටුපළවල් අදත් නව රුසියානු රජයේ ආර්ථික සංවර්ධනය උදෙසා ලබා දෙන්නේ අති විශාල දායකත්වයක්. 

 

නමුත් ඒ සුන්දරත්වය පිටුපස තිබෙන මිලියනයකටත් වඩා අධික සෝවියට් පුරවැසියන්ගේ ජීවිත බිලිගත් කුරිරු ඉතිහාසය හැමදාම සීත හිමෙන් වැසී තියේවි.

Special Thanks  * Pavel Vasilyev - Mayor of Oymyakon * Ludmila Popova & Alyona Trubnyakova * Yakutia Travel Company *www.kolymastory.ru

Rokhan Direkz

Expedition to the Pole of Cold

16-26 February 2019 

rohandx@hotmail.com

DSC_0741.jpg