Search

බිහිසුණු අතීතයකින් පසු හිස ඔසවන උගන්ඩාව


සහරාවත් දකුණු අප්‍රිකාවත් අතර ඇති උගන්ඩාව නමින් හැදින්වෙන රට ගැන ඔබ අසා ඇතැයි සිතමි. එසේ නම් ඉඩි අමීන් ගැන ඔබ අනිවාර්යයෙන්ම අසා ඇත. අප්‍රිකාවේ මිනී මස් කන්නා නමින් අප අතර ප්‍රසිද්ධව සිටි දරුණු කෘර නායක ඉඩි අමීන් දැන් බලයෙන් පහවී වසර තිස් හතක් ගතවී ඇත. අප්‍රිකානු මහාද්වීපයේ රටවල් නිදහස ලබා ගත්තාට පසු බිහිවූ දරුණුතම රාජ්‍ය නායකයා ලෙස ඉඩි අමීන් නාමය ඉතිහාස ගත වන අතර ඔහුගේ පාලන කාලය තුල අවම වශයෙන් පුද්ගලයින් 100,000 සිට 500,000 දක්වා ඝාතනය හෝ අමානුෂික වධ හිංසා වලට භාජනය වී ඇත.

1979 වර්ෂයේදී ඉඩි අමීන් පාලනය බිද වැටීමෙන් පසු ලොවට ඉතිරි වුයේ බිඳුණු ආර්ථිකයක් ඇති දේශපාලන වශයෙන් දුබල උගන්ඩාවකි. එහෙත් ඉඩි අමීන් ගේ පාලනයට පෙර උගන්ඩාව අප්‍රිකාවේ තිබු හොදම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් වූ අතර එහෙත් 1979 දී වාර්ෂික උද්දමනය 200% ක වූ අතර උගන්ඩාව පිට ඩොලර් මිලියන 320ක පමණ ජාතික නය බරක් පැටවී තිබුණි. කම්හල සාප්පු සංකීර්ණ වැසී ගොස් රට දරුණු ආර්ථික උද්දමනයකට වැටී තිබුණි.

උගන්දානු වැසියන පවසන්නේ ඉදිඑඑ අමීන්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු පැවසුවේ ඇති භයංකාර සිහිනයකින් පසු අවදිවූ බවක්ය. “උදැසන නිවසින් පිටවන පුද්ගලයා නැවත සවස් වරුවේ නැවත පැමිණේදැයි සැකයක් කා තුලත් පැවතුනා . කොයි මොහොතේ ඉඩි අමීන්ගේ අමානුෂික සොල්දාදුවන් ගෙන් මැරුම් කෑමට හෝ අත් අඩංගුවට පත් වේද යන්න දන්නේ දෙවියන් විතරයි.හැම දවසකම හැන්දෑවේ අපි දෙවියන්ට ස්තුති කල ඒ දවස ජීවත් වීමට අවස්තාවක් ලබා දීම ගැන.”

කම්පාලා නුවරට කි.මී. 30ක පමණ දුරකින් පිහිටා ඇති මෙන්ගෝ කදු වැටියේ පිහිටා ඇති මෙන්ගෝ මාලිගාව අද අලංකාරමත් ලෙස සංචාරකයින්ට ප්‍රිය මනාප ස්ථානයක් වුවත් මෙයට වසර 40කට පමණ පෙර නම් මෙම ස්ථානය ලෝක ඉතිහාසයේ ඇති බිහිසුණු වධකාගාරයක් පැවති ස්ථානයක් වේ. මෙම ස්ථානයේ සිට ඉඩි අමීන් නමින් ඉදිකළ පෞද්ගලික විල මැනවින් දර්ශනය වන අතර මෙන්ගෝ මාලිගාව ඇති ඉඩමේ මායිමේ පිහිටා ඇති ගස් වැල් වලින් වැසී ගිය නටබුන්ව ඇති ගොඩනැගිලි කිහිපය තුල මේ බිහිසුණු වධකාගාර ක්‍රියාත්මක කර ඇත. 1971-79 වසරවලදී අවම වශයෙන් 300,000 කට අධික දේශපාලන සිරකරුවන් පිරිසක් මේ ස්ථානයේදී අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කර ඇත.

ඊශ්‍රායල් ඉංජිනේරුවරුන් මෙම ගොඩනැගිලි ඉදිකර ඇතත් ඉඩි අමීන් ඔවුනට පවසා ඇත්තේ මේවා ඉදි කරන්නේ ආයුධ ගබඩා මැදිරි හැටියට බවයි. අද මේ ස්ථානයේ කිසිම නාම පුවරුවක්වත් දක්නට නොලැබේ. මාගේ මග පෙන්වන්න පැවසූ පරිදි සෑම දිනකම සිරකරුවන්ගේ දෑස් වසා බොහෝ දුරක් ගමන් කිරීමට පොළඹවා ඇත. කිසිම සිරකරුවෙක් ඔවුන් සිරබත් විඳින්නේ මෙන්ගෝ මාලිගා භුමියේ බව දන සිට නැත. මෙහි සියලුම සිර කුටි පොලෝ මට්ටමින් අඩි කිහිපයක් උසින් සාදා ඇති අතර එම සිර මැදිරි වට කර ජලය පුරවා තිබී ඇත. එම ජලයට අධි වෝල්ටේජ් විදුලි රැහැන් සම්න්ධ කර තිබී ඇත. ඉතාමත් පුංචි කාමරයක අවම වශයෙන් සිරකරුවන් 500 දෙනෙක් පමණ රඳවා තබා ඇත. ඔක්සිජන් මඳ කමින් බොහෝදෙනා මරුමුවට පත්වූ අතර ආහාර පාන සැපයීමද නිරන්තරයෙන් සිදු නොවීය. ඉවසා ගත නොහැකි සිරකරුවන් බේරී පලායාම සඳහා ජලයට පැන්නත් විදුලි sara වැදීමෙන් මිය ගියහ.

සිරකරුවන් රඳවා තිබුණු එක කුටියකට මම ඇතුළු වුනෙමි. පාලුවට ගිය මේ ගොඩනැගිලි තුල අද ඇත්තේ වවුලන් පමණි. බිත්ති වල සිරකරුවන් ලිවූ සටහන් අදද නොමැකී පවතී. එක සටහනක් අදටත් මගේ මතකයට නැගේ. එය ඉඩි අමීන්ගෙන් පසුව උගන්ඩාව පාලනය කල ඔබොටේ වෙනුවෙන් ලියන ලද්දකි. “ ඔබොටේ උඹ මාව මරා දැමුවා. එත් මගේ දරුවන් ! “ ඔබෝටෙගේ පාලන සමයේදීද ඔහු මෙම වධකාගාර භාවිතා කල බව සඳහන් වේ.

ඉඩි අමීන් කොතරම් දුරට මේ වධකාගාර වලට ඇලුම් කලාදැයි කියතොත් තවත් වධකාගාර කිහිපයක් සැදීමට කටයුතු ආරම්භ කර ඇත. එහෙත් ඔහුට එම කාර්යය නිම කිරීමට නොහැකි විය.

මෙතරම් කෘර අන්දමින් වැඩ හිංසා පමුණුවා මිනිසුන් මැරීමට ඉඩි අමීන් පුදුම ආශාවක් දැක්වූ බව සඳහන් වේ. ඔහු බල තන්හාවෙන් හා මානසික රෝගයකින් පෙළුණු බවද කියැවේ.

අතොලොස්සක් වූ මෙවැනි නායකයින්ගේ ක්‍රියා කලාප නිසා ලෝකයට අහිමි වූ මිනිස් සම්පත අප්‍රමාණය. මේ නායකයින් දෙස මුළු ලොවම බලා ඇත්තේ අන්ධ වූ දෙනෙත් වලිනි. පුදුමයකට වන්නේ 1979 දී බලයන් පහවී සෞදි අරාබියාවට පලා ගිය ඉඩි අමීන් තම පවුලේ නෑදෑයින් සමග සුවසේ දිවිගත කර තිබීමයි. පලා ගොස් වසර විසිතරක්ම ඔහු ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිවිය. උගන්ඩාවේ කෘර ලෙස ඝාතනය වූ සිරකරුවන්ගේ අදෝනා ඉඩි අමීන්ගේ මරණ මංචකයේදී ඔහුට සිහිවෙන්නට ඇති බව විශ්වාස කරන බව මා සමග ගමන් කල රියදුරා පැවසුවේය.

උගන්ඩාවේ ලෙයින් කඳුලින් පිරුණු ඉතිහාසය අද උගන්ඩා වැසියන්ට අමතක වී ඇතිවා සේ පෙනේ. උගන්ඩාවේ සමහර කොටසකට අදත් ඉඩි අමීන් ජාතික වීරයෙක් වශයෙන් පෙනේ. කෙසේ හෝ උගන්ඩාව සෙමෙන් සෙමෙන් අද හිස ඔසවමින් පවතී. සංචාරක ව්‍යාපාරය නිසා ජාතික අදායම වර්ධනය වී ඇත. ඉතිහාසය අමතක කිරීමෙන් සිදුවන්නේ නැවත වාරයක් එම ඉතිහාසයම අත්විඳීමට සිදුවීමයි.


150 views