Search

ස්ටාලින් තවමත් ජාතික වීරයෙක්ද


එක් මිනිසෙකුගේ මරණය නම් අභාග්‍යයකි. එහෙත් මිනිසුන් මිලියන ගණනක ගේ මරණයන් එකතු වන්නේ සංඛ්‍යා ලේඛන වලට පමණි. - ජෝශප් ස්ටාලින්. මා කීප වතාවක් පැරණි සෝවියට් රාජ්‍යයක් වන ජෝර්ජියාවේ සංචාරය කර ඇතත් මෙවර සංචාරය මගේ මතකයේ සදාකල් රැඳෙනු ඇත. ඒ මන්ද යත් ජෝර්ජියාවේ අගනුවර වන තිබිලිසි නගරයට කි.මී. 80ක් පමණ දුරින් පිහිටා ඇති ගෝරි නගරයේ ජෝසප් ස්ටාලින් අනුස්මරණ කෞතුකාගාරය වෙත යෑමට මට අවස්ථාවක් ලැබීම නිසාය.

ගෝරි නගරය එතරම් විශාල නගරයක් නොවේ. එහෙත් එම නගරය බොහෝ පුද්ගලයින් සහ සංචාරකයින් අතර ප්‍රසිද්ධ වී ඇත්තේ සෝවියට් දේශයේ හිටපු නායක ජෝශප් ස්ටාලින්ගේ උපන්ගම නිසාත් ලොව පිහිටා ඇති එකම අනුස්මරණ කෞතුකාගාරය පිහිටා ඇත්තෙත් එහි නිසාය.

ගෝරි නගර සභාවේ තීරණයක් අනුව නගරයේ ප්‍රධාන චතුරශ්‍රයෙන් ස්ටාලින්ගේ ප්‍රතිමාව ගලවා ඉවත් කර ඇත. එහෙත් තවමත් ස්ටාලින් අනුස්මරණ කෞතුකාගාරය විවෘතව ඇත.

කෞතුකාගාර පරිශ්‍ර භූමියට ඇතුල්වෙත්දීම මට දිස්වුයේ පැරණි සෝවියට් ආකෘතියකට අනුව ඉදී කල දැවැන්ත එහෙත් පැරණි ගොඩනැගිල්ලකි. එතරම් විශාල නොවූ ස්ටාලින්ගේ ප්‍රතිමාවක් ගොඩනැගිල්ල ඉදිරිපස ඇති අතර තවත් විශාල ප්‍රතිමාවක් සෑදීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. කෞතුකාගාරයේ භාරකාර අධ්‍යක්ෂක ස්වෙත්ලාන පැවසුවේ නගරයේ ප්‍රධාන චතුරශ්‍රයෙන් ගලවා ඉවත් කල ස්ටාලින්ගේ ප්‍රතිමාව ඒ ස්ථානයේ තැබීමට අදහස් කර ගෙන් ඇති බවයි. ගොඩනැගිල්ලේ එක් පැත්තක කොන්ක්‍රීට් වලින් ඉදිකළ ආවරණයක් ස්ටාලින් ඉපදුනු සහ සිය දෙමව්පියන් සමග ජීවත් වූ කුඩා නිවසට ආවරණයක් සලසයි.

ස්ටාලින් අනුස්මරණ කෞතුකාගාර භාරකාර නතාලියා මහත්මිය සමග ස්ටාලින් උපන් නිවස ඉදිරිපිට

ස්ටාලින් ජීවත් වූ නිවස

1989 වර්ෂයේදී මෙම කෞතුකාගාරය වසා දැමුවත් සංචාරකයින් වෙනුවෙන් මේ ස්ථානය විවෘත කිරීමේ අවශ්‍යතාවය වටහා ගත් ගෝරි නගර සභාව මීට වසර කිහිපයකට උඩදී නැවත විවෘත කරන ලදී. 2008 වර්ෂයේදී මේ කෞතුකාගාරය රුසියානු ආක්‍රමණයේ කෞතුකාගාරය නමින් වෙනස් කිරීමට අදහස් කලත් තවමත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබී නැත.

ගොඩනැගිල්ලට දකුණු පසින් ඇත්තේ ස්ටාලින් සිය ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගත් විශේෂ දුම්රිය මැදිරියයි. කුමන්ත්‍රණ වලට හසුවෙයි බියෙන් ස්ටාලින් කිසිම දිනෙක ගුවන් ගමන් වල යෙදී නැත. ඔහුගේ සියලුම ගමන් සිදුවුයේ වෙඩි නොවදින සියලුම් පහසුකම් වලින් සමන්විත විශේෂ දුම්රිය මැදිරියක් මගිනි.

දුම්රිය මැදිරියේ ස්ටාලින්ගේ පෞද්ගලික කාමරය සහ ඔහුගේ රැස්වීම් ශාලාව

කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ මට දක්නට ලැබුනේ කිරි ගරුඬ වලින් සමන්විත පොලව සහ ඒමත රතු පලසක් ය. ඒ රතු පලස දිවෙන්නේ ස්ටාලින්ගේ විශාල උඩු කය ප්‍රතිමාවක් වෙතටය. නිශ්ශබ්දතාවය පිරි එම විශාල ශාලාව තුලට ඇතුළු ව මට දැනුනේ හරියට ආගමික මධ්‍යස්ථානයකට ඇතුළු වුවා වැනිය. ප්‍රදර්ශන ශාලා තුනකින් සමන්විත මේ කෞතුකාගාරයේ පලවෙනි ශාලාවේ ප්‍රදර්ශනය වෙන්නේ ස්ටාලින්ගේ ජීවිතයේ මුල් අවදියේ ජයාරූප සහ තම දේශපාලන ජීවිතයේ තරුණ යුගය හා සම්බන්ධ විස්තර හා ජායාරුපයි. දෙවන ශාලාවේ ඇත්තේ ඔහුගේ කොමිනිස්ට් පක්ෂය හා සම්බන්ධ ජායාරුප සහ ලියකියවිලියි. තුන්වන ශාලාවේ දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් දේශයේ සහ ඔහුගේ නායකත්වය ගැන කරුණ පැහැදිලි කෙරේ.

මේ සියලු ශාලාවල සැරිසැරූ මට හැඟුනේ මේ කෞතුකාගාරය ස්ටාලින්ගේ ගරුත්වය රැකගැනීම වෙනුවෙන්ම පිළියෙළ නොවූ බවත් ඔහුගේ පාලන සමයේ දරුණුව පැවති ස්ටාලින්ගේ නිලධාරිවාදය විවේචනය වෙන සිද්ධීන් සහ ජායාරුප ද ඇතුලත් වෙන බවයි. එහි ඇති එක් ප්‍රදර්ශනයක තේමාව වන්නේ 1920-1991 ආක්‍රමණය යන්නයි. මෙහිදී සාමාන්‍ය වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන සෝවියට් කොමියුනිස්ට් ප්‍රචාරක අදහස් නොව සත්‍ය වශයෙන්ම ජායාරුප සහ ලිපිලේඛන ප්‍රදර්ශනය කිරීම සිදු කර ඇත.

1879 දෙසැම්බර් මස 21 වන දින උපත ලැබූ ස්ටාලින්ගේ පිය ඉතා දුප්පත් සපත්තු මහන්නෙකු විය. ඔහුගේ මව ඇදුම් මැසීම සහ රෙදි සේදීමෙන් ලබාගත් මුදල් වලින් ස්ටාලින්ගේ අධ්‍යාපනය සඳහා විය හියදම් දරන ලදී. ඔහුගේ නියම නම වන්නේ ඉඔසිප් වසාරිනොවිච් ජුගාශ්විලිය. වයස 7 දී ගෝරි නගරයේ ආගමික පාසලකට ඇතුල් වූ ස්ටාලින් හට එහි වසර 4ක අධ්‍යාපනය නිමකිරීමට වසර 6ක් ගත විය. ආගමික පාසල තුල ස්ටාලින් ඉතා සැර පරුස සිසුවෙක් හැටියට නම් දරා ඇත. ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ ස්ටාලින් කිසිම විටෙක තම අනික් සිසුවන් සමග වාද වලට ගියත් රණ්ඩු වලට සම්බන්ධ නොවීය. වැඩිම කාලයක් ස්ටාලින්ගේ ළමා විය ගතවුයේ මහා පාරේය. මවට සහ පියාට ස්ටාලින් වෙනුවෙන් තම කාලය වය කිරීමට හැකියාවක් තිබුනේ නැත. එවකට ප්‍රසිද්ධ ජෝර්ජියානු ලේඛකයෙකු වූ කස්බේගී විසින් රචිත පීතෘ ඝාතකයා නමැති කෘතිය ස්ටාල්න්ගේ මනසේ හොල්මන් කරන්නට පටන් ගත්තේ මේ කාලයේදීය. නිදහස සහ ස්වාධීනත්වය උදෙසා සටන් කෙරෙන ගොවි කම්කරුවෙකුගේ ජීවිතය අලලා ලියැවුණු මේ කෘතියේ ප්‍රධාන චරිතය වූ කෝබා ස්ටාලින් හට වීරයක් විය. ඇත්තෙන්ම ඔහුව හැඳින්වීම සදහා ඔහු කෝබා යන නම භාවිතා කල බව ඉතිහාස පොත් වල සඳහන් වේ. එසේම කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුද ඔහුව හැඳින්වුයේ කෝබා යන නමිනි.

පාසැලේ ක්‍රියාකාරකම් වලදී පළමුවෙන්ම ඔහු මාක්ස්වාදීන් සමග සම්බන්ධතා ඇති කර ගෙන පළමුවන ජෝර්ජියානු සමාජ ප්‍රජාතාන්ත්‍රික වාදී පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 1902 සිට 1913 වසර කාලය තුලදී හය වතාවක් අත් අඩංගුවට පත්වුවත් ඒ සෑම අවස්ථාවකදීම අත් අඩන්ගුවෙන පැන යාමට සමත් විය. 1912 වර්ෂයේදී ලෙනින් හා සම්බන්ධව කටයුතු කර පසුව රුසියානු බෝල්ෂෙවික් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවටද පත් විය.

ලෙනින්ගේ අභාවයෙන් පසු කොමියුනිස්ට් පක්ෂයී නායකත්වයට පත්වූ ස්ටාලින් මියයන් තෙක්ම සෝවියට් දේශයේ නායකත්වය දැරුවේය. 1953 මාර්තු මස 5 වැනි දින ස්ටාලින් මිය ගියත් ඔහුගේ පාලන කාලය තුල පීඩාවට සහ මරණයට පත්වූ අති විශාල ජනතාවක් අදත් යුක්තිය උදෙසා සටන් කරති. අවම වශයෙන් මිලියන 3ක අධික සෝවියට් ජනතාවක් සිර කඳවුරුවල සහ කොලනි වල මරුමුවට පත්වී ඇති බව සඳහන් වේ. ස්ටාලින්ගේ මුවඟ නිතර රැඳුනු වචන කිහිපයක් වුයේ සෑම ප්‍රශ්නයකටම පිළිතුර මරණය යන්නයි. පුද්ගලයා මිය ගොසින් නම් සියලුම ප්‍රශ්නත් ඔහුත් සමග මියදෙනු ඇත.

ජෝර්ජියාව සහ රුසියාව අතර අද සම්බන්ධතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. දකුණු ඔසේටියාව ජෝර්ජියාවෙන් වෙන් වීම සහ ඒ වෙනුවෙන් රුසියාවේ මැදිහත්වීම හේතු කොට ගෙන ඇතිවූ මෙම උණුසුම් දේශපාලන වාතාවරණය මේ කෞතුකාගාරයට පමණක් නොව මුළු ජෝර්ජියාවටම බලපෑ ඇත.

නතාලියා පවසන්නේ ස්ටාලින් කොතරම් දරුණු පාලකයෙක් හැටියට වර්තමාන රුසියාව හංවඩු ගසා ඇතත් මිලියන් හයක් ජීවත් වන ජෝර්ජියාවේ ඉපිද මුළු සෝවියට් දේශයම පමණක් නොව ලොව හෙල්ලූ නායකයෙක් හැටියට ලොව පතල වීම ගැන තවමත් පැරණි ජෝර්ජියන් ජාතිකයින් ආඩම්භර වෙන බවයි. ජෝර්ජියානු වර්තමාන රජය ස්ටාලින්ගේ ප්‍රතිමාවන් නැවත ප්‍රතිස්තානගත කිරීම් සම්බන්ධයෙන් තම විරෝධය ප්‍රකාශ කර ඇතත් නතාලියා පවසන්නේ එය විපක්ෂය යම් තරමකට හෝ සනසන්නට ලබා දුන් ප්‍රකාශ බවයි. ස්ටාලින්ගේ අභාවයෙන් 1956 වර්ෂයේදී සෝවියට් දේශයේ බලයට පත්වූ නිකීතා කෘෂෙව් ස්ටාලින් එකාධිපතිවාදියෙක් වශයන් නම් කල විට තිබිලිසි නගරයේ කෘෂෙව් ට විරුද්ධව පෙළපාලි ගියබව නතාලියා පවසයි. නාසි ජර්මනියට විරුද්ධව දෙවන ලෝක සංග්‍රාමයේදී සෝවියට් දේශයේ ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රබලතම සාධක වලින් එකක් වන්නේ ස්ටාලින්ගේ නායකත්වය බවත් එහෙත් අද වර්තමාන රුසියාව දෙවන ලෝක යුධ ජයග්‍රහණයෙන් ස්ටාලින්ගේ නාමය ඉවත් කිරීමට කටයුතු යොදමින් තිබෙන බවත් ඇය පවසයි.

තව දුරටත් නතාලියා පවසන්නේ "කෙසේ වුවත් සෝවියට් ඉතිහාසයේ ස්ටාලින්ගේ භූමිකාව මකා දමන්නට කිසිම දවසක හැකි නොවනු ඇත. කවුරුන් කෙසේ කීවත් අද වර්තමාන රුසියාව ලබා ඇති ආර්ථික සහ තාක්ෂණික දැනුම පිටිපස සහ අද රුසියාව ලොව බලවත් රාජ්‍යයක් වශයෙන් පෙනී සිටීමේ හැකියාව ලැබී ඇත්තේ එදා ස්ටාලින් ප්‍රමුඛ නායකයින් විසින් දැමු පදනමට ස්තුති වන්නටයි."

ඔබ කවදා හෝ ජෝර්ජියාවට යන්නේ නම් එහි අගනුවර වන තිබිලිසි සිට ක්.මී. 80ක දුරින් පිහිටා ඇති මේ ස්ටාලින් අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට යන්න. ඔබට සෝවියට් ඉතිහාසය ගැන උනන්දුවක් ඇත්නම් මේ ස්ථානය නැරඹීමට යාම තුලින් මහත්වූ දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකි වනු ඇත.


205 views