Search

ලෝකය වටේ අවුරුදු 25 කින්


ලෝකයේ හැම රටකටම යන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඇත්තටම වාසනාවක්. එය අවශ්‍ය ප්‍රතිපාදන මුදල් තිබුනත් ලෙහෙසි පහසු ක්‍රියාවක් නම් නොවේ. මේ කාර්යය සාර්ථකව නිම කරපු කිහිප දෙනෙක් අද ලොව සිටිනවා. නමුත් ඒ බොහොම දෙනෙක් මා තේරුම් ගත්ත ආකාරයට වාර්තාවක් වෙනුවෙන්ම රටවල් වල සංචාරය කළා මිසක් ඒ රට ගැන අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් සංචාරය කල නම් නොවේ කියලයි මට හිතෙන්නේ.

මීට අවුරුදු 25 කට පෙර තාය්ලන්තයට මට යන්නට ලැබුනා. ඒ තමයි මගේ ජීවිතයේ ප්‍රථම විදේශ සංචාරය රුසියාව හැරුණු කොට. එදා සිට මේ දක්වා කාලය තුල ලෝකයේ රටවල් 60කට අධික ප්‍රමාණයකට මට සංචාරය කරන්න ලැබුනා.

සංචාර.lk වෙබ් අඩවිය ආරම්භ කලාට පස්සේ මට ගොඩක් ශ්‍රී ලාංකිකයින්ගෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම් දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපිනයන් මාර්ගයෙන් බොහෝ දෙනෙක් මා හා සම්බන්ධ වී තිබෙනවා. ඒ ගොඩ දෙනෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙන්න තමයි මගේ මේ ලිපියේ අරමුණ.

මා ඔබට මේ ලිපියෙන් කියන්නට අදහස් කරන්නේ මේ සංචාර සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්නෙත් ඒ වගේම ඒවා සඳහා ප්‍රතිපාදන සකසා ගන්නෙත් කෙසේද යන්න සම්බන්ධව. බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න වලින් පෙනී යන්නේ විශේෂයෙන්ම රටවල් කිහිපයක එක වර කරන සංචාර සම්බන්ධයෙන් විශාල මුදලක් වැය වෙන බවත් ඒ නිසා එවැනි සංචාරයන් වල යෙදීම පදනම් රහිත බවත්.

මේ සෑම සංචාරයක්ම සඳහා වැය වෙන මුදල් කොටස් තුනකට බෙදන්න පුළුවන්.

1. ගමනාගමනය සඳහා වැය වෙන මුදල් ( ගුවන් යානා ටිකට් සඳහා වැය වෙන මුදලත් ඇතුළුව)

2. නවාතැන් පහසුකම් සඳහා වැය වෙන මුදල්

3. ආහාර පාන ඇතුළු අනිකුත් සියලුම කාර්යයන් සඳහා වැය වෙන මුදල්

1. සුදානම් වීම සහ ගමනාගමනය සඳහා වැය වෙන මුදල්

මේ සෑම සංචාරයකට සෑහෙන කාලයකට පෙර ඒ සඳහා මම සුදානම් වෙනවා. උදාහරණයක් ලෙස නැගෙනහිර අප්‍රිකාවේ මා කල සංචාරය සඳහා මාස 8 ක පමණ කාලයක් මා සුදානම් වුනා.

මුලින්ම කල යුත්තේ යන්නට බලාපොරොත්තු වන රටේ විශේෂයෙන් බලන්නට තිබෙන ස්ථාන ගැන අවබෝධයක් ලබා ගැනීමයි. මේ සඳහා විශේෂයෙන් මා තෝරා ගැනීමට උත්සාහ ගන්නේ සංචාරකයින් බොහෝ විට සංචාරය නොකරන නමුත් සංචාරක වටිනාකමක් ඇති ස්ථාන. මේ සඳහා අන්තර් ජාලයේ පිහිට ලබා ගන්නට සිදු වෙනවා. මුලින්ම මා කෙන්යාවේ පමණක් සංචාරය කරන්න අදහස් කලත් අන්තර් ජාලයේ ඇති කරුණු සොයා බැලීමේදී ටිකෙන් ටික ඒ සංචාරයට උගන්ඩාව, රුවන්ඩාව, කොන්ගෝව, බුරුන්ඩි සහ ටැන්සානියාව එකතු කර ගන්නට හැකි වුනා. මේ රටවල සියල්ලම වාගේ අප්‍රිකාවේ විශාලම මිරිදිය විල වන වික්ටෝරියා විල වටා පිහිටා තිබෙනවා.

කෙන්යාවේ නයිරෝබි නගරයේ සිට ජීප් රියකින් මේ රටවල් හත හරහා ධාවනය කර නැවත නයිරෝබි නගරය වෙත පැමිණෙන සංචාරයක සටහනක් මුලින්ම පිළියෙළ කර ගැනීමට හැකි වුනා. ඊට පෙර මෙවැනි අප්‍රිකානු රටවල් වල කිසිම දිනෙක් සංචාරය කර නැතත් සංචාරය කල පුද්ගලයින් අන්තර් ජාලය වෙත යොමු කරන ලද සටහන් සහ ජායාරුප සහ ගුගල් සිතියම් අධ්‍යයනය කරලා තමයි මේ දල සටහන පිළියෙළ කර ගත්තේ.

ඊළඟට මා කලේ අන්තර ජාලයෙන්ම මේ රටවල් වල සංචාර සංවිධානය කරන සංචාරක ආයතන වල විද්‍යුත් ලිපිනයන් ලබා ගැනීම. මේ සියලු දෙනාටම මා විසින් පිළියෙළ කර ගත් දල මාර්ග සටහන යවා මා විමසා සිටියා ඔවුනට පුලුවන්ද මා වෙනුවෙන් මෙවැනි සංචාරයක්‌ සලසා දීමට සහ ඒ වෙනුවෙන් කොපමණ වියදමක් යනවාද කියා. සංචාරක ආයතන 150කටත් අධික ප්‍රමාණයකට මගේ මේ ඉල්ලීම යොමු කළා.

ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර එකතු කරලා එයිනුත් සංචාරක ආයතන 10ක් පමණ සමග මම සම්බන්ධය තබා ගත්තා. නමුත් බොහොමයක ආයතන සහ පෞද්ගලික මඟ පෙන්වන්නන් කියා සිටියේ මගේ මේ ඉල්ලීම ඉටු කල නොහැකි යයි කියා. කි.මී. 5000ක පමණ දුර ප්‍රමාණයක් රටවල් 7ක් ඔස්සේ තනි වාහනයකින් ධාවනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන සපයා ගැනීමත් ර්යදුරන්ට සහ ඉන්ධන වලට ගෙවීමට සිදුවන මුදල සමග සලකා බලන විට ඇත්තටම එය ලෙහෙසි පහසු කාර්යයක් වන්නේ නැහැ.

නමුත් උත්සාහය අත් අරින්නට මම සුදානම් වුනේ නැහැ. මේ විදිහට සංචාරක ආයතන සමග අදහස් හුවමාරු කර ගන්නා විට රුවන්ඩා වල ඉතා කුඩා සංචාරක ආයතනයක් හිමි කාන්තාවක් මගේ විද්‍යුත් ලිපිනයට ඒවා තිබුණු විස්තරයකින් කියවුනේ ඇයට මේ සංචාරය වෙනුවෙන් උපකාර කරන්නට හැකි බවයි.

ඒ අනුව ඇයත් සමග මට ඒ සංචාරය සඳහා කටයුතු පිළියෙළ කරගන්නට හැකි වුනා. අවසානයේදී රුවන්ඩා රටේ අගනුවර වන කිගාලි නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර ගුවන් තොටුපල වෙත අවශ්‍ය සියලුම ලිපි ලේඛනද රැගෙන සිය ජීප් රථයද ඇය පැමිණ සිටියා. ඇය ටත් මෙය අලුත් අත්දැකීමක් වුනු නිසා සියලුම විය හියදම් බෙදා ගැනීමට අපි ගිවිස ගත්තා. මේ අනුව මේ සංචාරය සඳහා ගිය වියදම මා බලාපොරොත්තුවූ පරාසයේ රැඳුනා.

මම මේ විස්තරය ඔබට ඉදිරිපත් කලේ සංචාරය සඳහා සුදානම් වීමේ වැදගත්කම. මේ තමයි වියදම අවම කර ගැනීමේ මුලික පදනම. මම සංචාර කල සංචාර වලින් 90% කට වඩා මේ ආකාරයට පිළියෙළ කර ගන්නට හැකිවුනා. විශේෂයෙන්ම මොරොක්කෝව, ඇල්ජීරියාව, තුර්කිය, ඉරානය, ජර්මනිය, මැලේසියාව යන රටවල් වල සංචාර සකස් වුනේ මෙවැනි ආකාරයට.

මීළඟට ගුවන් ගමන් ටිකට් වලට වැය වෙන මුදල් - සංචාරය සඳහා කලින්ම සුදානම් වන්නේ නම් ගුවන් ටිකට් පත්ද කලින් මිලදී ගන්නට තිබෙන හැකියාවද සොයා බැලිය යුතුයි. සියලුම ගුවන් සේවා ආයතන වල තිබෙන වට්ටම්, විශේෂ වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන් ගැන අවධානයෙන් සිටින්න ඕන. සමහර අවස්ථා වල 50%කටත් වඩා අධික වට්ටම් සහිත ටිකට් පත් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම එක ළඟ ඇති රටවල් කිහිපයකට යන්නේ නම් ගුවන් ගමන් පාවිච්චි නොකර සාමාන්ය් බස් උපයෝගී කර ගන්නට පුළුවන්.

ගුවන් සේවා අයාතන වල ඇති විශේෂ සාමාජික කාඩ් පත් ලබා ගැනීමෙන් තව දුරටත් අඩු මුදලකට ටිකට් පත් ලබා ගන්නට පුළුවන්. බොහෝ ගුවන් ආයතන වල සාමාජික කාඩ් පත ලබා ගන්නට ගුවන් ගමනක යෙදීමට අවශ්‍යම නැහැ. නමුත් ගුවන් සමාගම් අතර ඇති සම්බන්ධතා නිසා එක ගුවන් සමාගමකින් ඔබට ලැබෙන විශේෂ බෝනස් තවත් ගුවන් සේවා ආයතනයක් මගින් ටිකට් බවට හරවා ගන්නට පුළුවන්.

ඒ වගේම දැනට තිබෙන අඩු වියදම් ගුවන් සේවා ඔබ සංචාරය කිරීමට බලාපොරොත්තුවන රටට යනවා නම් ඒවා ගැනද විස්තර සොයා බලන්න උනන්දු වෙන්න ඕන.

බොහෝ රටවල් වල මම පාවිචි කරේ අඩු වියදම් ප්‍රවාහන සේවා. දුර ගමනාන්ත බස් රථ, සමහර රටවල් වල තිබෙන හවුල් ටැක්සි රථ. ඒ වගේම තායිලන්තයේදී, වියට්නාමයේදී සහ ලාඕසයෙදී මම හැම විටම පාවිච්ච කලේ ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල්. තායිලන්තයේ සිට ලාඕසය දක්වා ගමන් කරන විට අඩුම වියදමක් වෙනුවෙන් දින කිහිපයකට ත්‍රී රෝද රථයක් කුලියට ගන්නට මට හැකි වුනා.

කෙන්යාවට මා පැමිණි අවස්ථාවේදී මට මඟ පෙන්වූ කාන්තාව මාස කිහිපයක සිට මා සමග විද්‍යුත් තැපැල් මගින් සම්බන්ධතා පවත්වා තිබුනා. මගේ වෙබ් අඩවියේ ජායාරුප දැකීමෙන් සෑහීමකට පත් වූ ඇය මා වෙනුවෙන් දින දෙකක් කාලය වැය කරමින් නොමිලේ නයිරෝබි නගරයේ බොහෝ ස්ථාන මට පෙන්වූවා.

මා මෙයින් අදහස් කරන්නේ සංචාරයකට පෙර සුදානම් වීමේ ඇති අවශ්‍යතාවය සහ එහි වටිනාකම.

2. නවාතැන් පහසුකම් - මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පුළුවන්. නොයෙකුත් රටවල් වල ප්‍රධාන නගර වල නොමිලේ නැවතිය හැකි විස්තර ඇතුලත් අන්තර් ජාතික වෙබ් අඩවි කිහිපයක් දැන් තිබෙනවා. මා බොහෝ රටවල් වල මේ වෙබ් අඩවිය හරහා සංවිධානය කර ගත් මිත්‍රයන්ගේ ස්ථාන වල නවාතැන් අරගෙන තිබෙනවා.

ඒ වගේම උසස් තරු පන්තියේ හෝටල් සහ භෝජනාගාර වලට යාමෙන් වැළකීමෙන් ඒ වගේම ඒ ඒ රටවල් වල ඇති කුඩා දේශීය ආහාර භෝජනාගරා වලට යාමෙන් තවත් අනවශ්‍ය වියදම් සීමා කර ගන්නට මට හැකි වෙනවා.

මේ සියලුම දේවල් සඳහා යම් කැප කිරීමක් අවශ්‍යයි. තරු පන්තියේ මුහුද අයිනේ හෝටලයකට ගොස් නැවතී තුන් වෙලාම කා බී නාන තටාකය හෝ මුහුදු වෙරළ මත විනෝද වී ආශ්වාදයක් ලබා ගැනීමත් මම මේ සඳහන් කල ආකාරයට සංචාරයක යෙදීමත් අතර ඇත්තේ විශාල වෙනසක්.

3. ඒ ඒ රටවල් වල සිරිත් විරිත්, සංස්කෘතික ලක්ෂණ, ආහාර පාන අත් විඳීමෙන් සහ භුක්ති විඳීමෙන් ලැබෙන සතුට සහ ආශ්වාදය කියා නිම කරන්නට බැහැ. නමුත් ඒ වෙනුවෙන් පෙර සඳහන් කල පරිදි යම් කැප කිරීමක් කල යුතුයි. ඉතියෝපියානු සංචාරයේදී දින දෙකකට වඩා මට හෝටලයක් නවා තැන ගන්නට බැරිවුනා. අනිත් සියලුම දිනයන්හි රාත්රියන් ගෙවුනේ ජීප් රථය තුලදී සහ කුඩාරමක. මොරොක්කෝ සහ ජෝර්දාන සංචාරයෙදීත් කිහිප දිනකම කුඩාරම් වල රාත්‍රිය ගෙවන්න සිදුවුනා. ඉරාන සංචාරය කවදාකවත් අමතක නොවන සංචාරයක්. ජීප් රථයකින් ටෙහෙරානයේ සිට ගමන් කරත්දී එකම දිනයක හැරෙන්නට අනිකුත් සෑම දිනකදීම රාත්‍රිය ගත කිරීම සඳහා මට නොමිලේ අවස්ථාව ලැබුනා. ඒ ඉරාන ජනතාවගේ සන්ග්රශීලීත්වයට පින්සිදු වන්නට. තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ප්‍රථම වරට මා පැමිණි අවස්ථාවේදී මගේ මඟ පෙන්වන්නා සමග කොතරම් මිත්‍රත්වයක් ඇති කර ගන්නට මට හැකි වුනාදැයි කිවහොත් ඒ මුළු සංචාරයේදීම නවාතැන් වෙනුවෙන් මුදල් වියදම් කරන්නට මට අවස්ථාවක් ලැබුනේ නැහැ.

2017 සහ 2018 වසර වල යාමට අදහස් කර ගෙන සිටින සංචාර සම්බන්ධයෙන් පවා හැදෑරීම් විවේක ඇති අවස්ථා වල මා අතින් සිදු වෙනවා. යම් ස්ථානයක් ගැන අන්තර් ජාලයෙන් සහ වීඩියෝ මගින් බලා අවබෝධයක් ලබා ගත් විට සත්‍ය වශයෙන්ම ඒ ස්ථානයට යාමේදී ඇත්තටම ඉතා පහසුවක් දැනෙනවා. එයත් වියදම අවම කර ගැනීමට රුකුලක් වෙනවා.

එහෙනම් ඊළඟ වතාවේ ඔබත් යම් රටක හෝ නගරයක සංචාරයකට යන්නේ නම් මගේ මේ අදහස් සමහර විට ප්‍රයෝජනවත් වේවි වියදම අවම කර ගන්නට.

රුපවාහිනිය කියන අන්දමට, පුවත් පත් පවසන අන්දමට විදේශ තොරතුරු පවසන අන්දමට සංචාරයේදී මේ ලෝකය එතරම්ම දරුණු නැහැ. බොහෝ විට සිදු වෙන්නේ මවා පෑමක්. මගේ නැගෙනහිර අප්‍රිකානු සංචාරයේදී එබෝලා වසංගතය මුළු ලොවටම ප්‍රශ්නයක් වී තිබුනා. ඒ අවස්ථාවේදී කෙන්යාවට උගන්ඩාවට යාම ගැන මගේ කිසිම මිත්‍රයෙක් අනුමත කලේ නැහැ. මා රුවන්ඩාවට සහ කොන්ගොවට යන බව පැවසූ විට මගේ බිරිද පවා එතරම් සතුටු වුයේ නැහැ. එමෙන්ම කවුරු මොනවා කීවත් රුවන්ඩාව මා දුටු අප්‍රිකානු රටවල් වලින් විශිෂ්ට ගනයේ රටක්. නමුත් සියලු දෙනාම පැවසුයේ රුවන්ඩාවට නොයන ලෙස. රුවන්ඩා කොන්ගෝ දේශ සීමාව හරහා ගොස් කොංගෝවේ ගෝමා නගරයේ සංචාරය කරන්න මට හැකි වුනා. එය මා ජීවිතයේ ලද විශේෂ අත්දැකීමක් වුනා.

ඒ නිසා අවශ්‍ය කරුණු හදාරා රටවලට හැකිනම් සංචාර වල යෙදෙන්න පසුබට වෙන්න එපා. එයින් ලැබෙන ආශ්වාදය සහ තෘප්තිය කියා නිම කල නොහැකියි. අවශ්‍ය වන්නේ අවම මුදලක් සමග කැපවීම සහ අධිශ්ටානයයි.


532 views