• Rohan Direkz

ඉතියෝපියාවේ යුධමය තත්වය


ඉතියෝපියාවේ ජාතික රජයේ හමුදාවන් සහ උතුරු ටිග්රේ ප්‍රාන්තයේ හමුදාවන් අතර ඇතිවී තිබෙන යුධ තත්වය ගැන සඳහන් වෙන සෑම පුවතක්ම දකින විට මට මතක් වන්නේ ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයට මා කල සංචාරය.


ටිග්රේ ප්‍රාන්තයේ අගනුවර වන මෙකෙල්ලේ නගරයට පැමිණීමට පෙර කෝපි පානය සඳහා අපේ ජීප් රථය නතර කල විට ජීප් රථය වට කර ගත්තේ කුඩා පිරිමි දරුවන් පිරිසක්. ජීප් රථයෙන් පිටතට පැමිණුනු මාව ඔවුන් දුටුවේ ආර්ජන්ටිනාවෙන් පැමිණුනු සංචාරකයෙක් ලෙස. (සමහර විට මගේ මුහුණු ආර්ජන්ටිනා ජාතිකයෙක් ගේ මුහුණ ලෙස සමාන වන්න ඇති.)

ආර්ජන්ටිනාවේ මෙන්ම ඉතියෝපියාවේද ජනප්‍රියම ක්‍රීඩාවක් වන්නේ පාපන්දු. දියෝගෝ මැරඩොනා සහ එමෙන්ම මා කිසි දිනෙක නොඇසූ ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විස්තර ජායාරුප පෙන්වමින්, තම ටී-ෂර්ට් පෙන්වමින් ඔවුන් මාගෙන් අසන්නට පටන් ගත්තා. මගේ මිතුරු ඉතියෝපියානු ජාතික පරිවර්තකයා මා ආජන්ටිනාවෙන් නොවන බව පැහැදිලි කලත් මේ කුඩා දරුවන් එය පිලිගන්නටවත් ඒ ගැන ඇහුම් කන් දෙන්නටවත් කැමැත්තක් දැක්වුයේ නැහැ.

කොරෝනා තත්වය නිසා සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබු ටිග්රේ ප්‍රාන්තයේ මැතිවරණ කල් දැමීමට සිදුවුනා. මේ නිසා ටිග්රාවූ ප්‍රාන්තයේ තත්වය උණුසුම් ස්වභාවයක් ගත්තා. ටිග්රාවූ ප්‍රාන්ත හමුදාවන් මෙකෙල්ලා නගරයේ ප්‍රධාන යුධ හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කොට ඒවායේ බලය අල්ලා ගැනීමත් සමගම සහ ටිග්රේ ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලන සංවිධානයක් වන ටිග්රේ මහජන විමුක්ති පෙරමුණ Tigray People's Liberation Front (TPLF) මේ ප්‍රශ්නයට මැදිහත් වීමත් සමගම ප්‍රශ්නය යුධ තත්වයකට පරිවර්තනය වුනා.


දැනටමත් දහස් ගණනක් පිරිසක් අනාථයන් බවට පත්වී ප්‍රදේශයෙන් පලා යන බව පුවත් වාර්තා සඳහන් කරනවා. මේ යුධ තත්වය කෙසේ හෝ සමනය නොවුන හොත් එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බව සමහරුන් පවසනවා. එසේ වුවහොත් එය ඉතියෝපියානු කලාපයටම බලපාන තවත් ලෙහෙසියෙන් විසඳිය නොහැකි අප්‍රිකානු ප්‍රශ්නයක් බවට පත් වේවි. එය නම් කනගාටුදායක අවස්ථාවක්. ඉතියෝපියාවේ සංචාරක කර්මාන්තයටද බරපතල පහරක් වනු නිසැකයි. මගේ සංචාර වෙබ් අඩවියෙන් කියවා ඇති එර්තාලේ ගිනි කන්ද සහ ලෝකයේ උණුසුම් ප්‍රදේශයක් වන පිහිටා තිබෙන්නේ මේ මෙකෙල්ලා ප්‍රදේශයේ.


සංචාරකයෙක් ලෙස ඉතියෝපියාවේ මේ ප්‍රදේශ වල මා දුටුවේ අපහසුතාවයෙන් දිළිඳුකමින් දරිද්‍රතාවයෙන් පෙළෙමින් දිවි ගෙවන ජනතාවන්. නමුත් ඔවුන් සාමයෙන් ජීවත් වූ බව එදා කතා බහෙන් අපට වැටහුනා. සංචාරක ව්‍යාපාරය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්වී තිබුනා. කොවිඩ් වසංගතය නිසා මේ ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවී තිබෙනවා. දැන් යුද්ධය නිසා මේ සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම අඩුවේවි.

ඉතියෝපියාවේ සහ සමහර විට මුළු අප්‍රිකානු කලාපයේම අනාගතය වෙනුවෙන් මෙවැනි ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් ලබාදීම වැදගත් වනවා. 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් ඉතියෝපියානු අගමැති ඇබි අහ්මඩ් හට මේ කරුණු අවබෝධ වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.


මා අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් වල සංචාරය කර තිබෙනවා. මේ සෑම රටකටම වාගේ පොදු ලක්ෂණය තමයි ඒකාධිපති පාලනය, දිළිඳුකම, රජයේ මුදල් අවභාවිතය සහ දුෂණය. මේ ප්‍රශ්න වලට තරමක් හෝ පිළිතුරු ලැබෙන විට ඔවුන්ට දෙපයින් නැගී සිටින්නට හැකිවේවි. සාමාන්‍ය ජනතාව සමග කතා බස් කරන විට මේ අදහස් ඔවුන් ප්‍රකාශ කර සිටියත් අවාසනාවකට මෙන් ඔවුන් අතින් සැමදාම පත්වෙන්නේ රජයේ මුදල් අවභාවිතයට සහ දුෂණයට බරවූ පාලක පන්තියක්.

නමුත් ඉතියෝපියාව තුල බොහෝ විට මෑත කාලයේදී අප දුටුවේ එවැනි දුෂිත නායකයින් නොවේ. ඒ නිසා මේ ප්‍රශ්නය හැකි තරම් ඉක්මනින් විසඳා ගැනීමට ප්‍රශ්නයට මුහුණ දී තිබෙන සෑම පාර්ශ්වයකටම හැකිවේවි යන්න අපේ පැතුමයි.


ලොව භයානකම ගිනි කන්දක් වන එර්තාලේ ගිනිකන්ද වෙත ගිය ගමන ගැන විස්තර - https://www.sanchara.lk/ethiopiatravel-erthalevolcano

29 views0 comments