Search
  • Rohan Direkz

නැගෙනහිර සහ බටහිර ජර්මනිය දෙකඩ කල බර්ලින් තාප්පය



අදට වසර 31 පෙර එනම් 1989 වසරේ නොවැම්බර් මස 9 වැනිදා තමයි එදා නැගෙනහිර සහ බටහිර ජර්මනිය දෙකඩ කල බර්ලින් තාප්පය බිඳ වැටුනේ. මේ දිනය මට මතක තිබෙන දිනයක්. මගේ බිරිඳගේ සහෝදරියගේ විවාහ සංවත්සරය යෙදී තිබෙන්නේ මේ දිනයේ.


දෙවන ලෝක සංග්‍රාමයේ නාසි ජර්මනියේ පරාජයෙන් පසු 1948 වසරේ තමයි බර්ලින් නගරය කොටස් දෙකකට වෙන් කරන්නට පටන් ගත්තේ. නමුත් එදා සිට 1961 වසර වන තෙක් තාප්පයක් ඉදිවී තිබුනේ නැහැ. තිබුනේ පරීක්ෂක කුටි. 1948 සිට 1961 කාලය දක්වා කාලය තුල ජර්මනියේ නැගෙනහිර කොටසේ සිට බටහිර කොටසට මිලියන 2.5ක ජනතාවක් පැමිණ තිබෙනවා.

සත්‍ය වශයෙන්ම බර්ලින් නගරය වෙන් කෙරුනේ එක් තාප්පයකින් නොවේ. වෙන් කල දේශසීමා මාර්ගයේ තාප්ප දෙකක් ඉදිවී තිබුනා. මේ තාප්ප දෙක අතර පළල මීටර් 15 සිට 150 දක්වා වුනා. මේ තාප්ප දෙක අතර කොටස එදා හැඳින්වුණේ “මරණයේ තීරුව” යනුවෙන්. ඒ අනවසරයෙන් මේ තාප්පය හරහා පන යන්නන්ට උරුම වුනේ මරණය නිසා. බර්ලින් තාපයේ දිග කි.මී. 170ක් වූ අතර එයින් කි.මී. 45ක් බර්ලින් නගර මාධ්‍යය හරහා ඉදිවී තිබුනා.


1989 වසරේ බර්ලින් තාප්පය බිඳ වැටී නැගෙනහිර සහ බටහිර ජර්මනිය එක ජර්මනියක් බවට පත් වුනා. එයින් වසරකට පසුව ඒ නැගෙනහිර ජර්මනිය ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් අතර කඳවුරේ මුලිකත්වය ගත් සහ ඒ කඳවුර මෙහෙයවූ සෝවියට් දේශයත් ලෝක සිතියමෙන් ඉවත් වී ගියා.


බර්ලින් නගරයේ අදත් ඔබට නරඹන්නට පුළුවන් මේ බර්ලින් තාප්පය ඉදිවී තිබුණු බිම් සලකුණු සහ තාප්පයේ සමහර කොටස්. ඉතිරි වී තිබෙන කොන්ක්‍රීට් පැලලි වලට කතා කල හැකි නම් තවත් බොහෝ දේ පවසාවි.

කොරෝනා ප්‍රශ්නය නිසා අද බර්ලින් නගරයේ බොහෝ ක්‍රියාකාරකම් සහ කෞතුකාගාර වලට තාවකාලිකව අගුලු වැටී තිබෙනවා. නමුත් ඉතිහාසය අමතක කිරීමට සහ කරවීමට කොරෝනා වෛරසයට හැකි වෙන්නේ නැහැ.

අද මගේ බිරිඳගේ සහෝදරියගේ විවාහ සංවත්සරය සමරන අවස්ථාවට (ජර්මනියේ කොරෝනා වෛරසය නිසා සියලුම සාද උත්සව සහ හමුවීම් තාවකාලිකව නතර කර තිබෙනවා. බොහෝ විට තම පවුලේ සාමාජිකයින් සමග එකතුවීමකට - දස දෙනෙකුට නොවැඩි - පමණයි අවසර ලැබෙන්නේ.) සහභාගී වූ කලක් බර්ලිනයේ ජීවත් වූ ජර්මානු ජාතිකයෙක් ගේ වදන් වලින් මේ විස්තරය අවසන් කරන්නට කැමතියි.

“ලෝක දේශපාලනයේ සිදුවන්නේ කිසිම දිනෙක බලාපොරොත්තු නොවන සිද්ධීන්. බර්ලින් තාප්පය දෙකඩ කලේ බර්ලින් නගරය පමණක් නොවේ. අපේ සිරිත් විරිත්, අදහස් සහ ජාතියම දෙකඩ වුනා. ඒ වගේම බර්ලින් තාප්පය මුළු ලොවම කඳවුරු දෙකකට වෙන් කළා. නමුත් බර්ලින් තාප්පය බිඳ වැටුනත් දෙකඩ වූ ලෝකය නම් තවම එකට එක්වී නැහැ.”

20 views0 comments