top of page
  • Writer's pictureAdmin

පැට්‍රිස් ලුමුම්බා ගැන අහලා තියෙනවද?


මීට වසර 61කට ඉහත ඝාතනය වූ පැට්‍රිස් ලුමුම්බා ගැන නැවතත් අවධානයට...

𝗕𝗲𝗹𝗴𝗶𝘂𝗺 𝗿𝗲𝘁𝘂𝗿𝗻𝘀 𝘁𝗼𝗼𝘁𝗵 𝗼𝗳 𝗮𝘀𝘀𝗮𝘀𝘀𝗶𝗻𝗮𝘁𝗲𝗱 𝗖𝗼𝗻𝗴𝗼 𝗟𝗲𝗮𝗱𝗲𝗿 𝗣𝗮𝘁𝗿𝗶𝗰𝗲 𝗟𝘂𝗺𝘂𝗺𝗯𝗮.

මේ ජායාරුප තුලින් දිස් වන්නේ හද කකියවන වේදනා සහගත සිද්ධීන්. එමෙන්ම ලෝක ඉතිහාසයේ ඝාතන උත්සාහයක එක් උච්චතම අවස්ථාවක්.


හරියටම මීට වසර 61කට පෙර එනම් 1961 වසරේ ජනවාරි මස 17 වැනිදා තමයි අප්‍රිකාවේ කොංගෝවේ අගමැතිවරයෙකු ලෙස කටයුතු කල පැට්‍රිස් ලුමුම්බා ඝාතනය සිදුවුනේ. කොංගෝවේ කටාන් කැරලිකරුවන් බෙල්ජියම් හමුදා කණ්ඩායම් වල සහාය ඇතිව පැට්‍රිස් ලුමුම්බා හට දරුණු ලෙස වධ හිංසා ලබා දී මරා දමා සිරුර පවා විනාශ කර දමා තිබුනා.

1960 ජුනි මස 30 වැනිදා කොංගෝවේ නිදහස් පාලනය ලබා ගත් පැට්‍රිස් ලුමුම්බා හට ලැබුනේ දුෂ්කර එමෙන්ම පාලනයට අපහසු රාජ්‍යයක්. 1880 වසරේ Leopold ll රජු විසින් තමන්ගේ පෞද්ගලික භූමියක් ලෙස ලබා ගත් කොන්ගෝ දේශය 1908 වසරේ සිට බෙල්ජියමේ යටත් විජිතයක් බවට පත් වී තිබුනා.


එක්සත් ජාතීන්ගේ සංවිධානය, බෙල්ජියම, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර දේශපාලන ඝට්ටන මෙන්ම ප්‍රතිපත්තීන් අතරට මැදිවුණු ලුමුම්බාව අවසානයේදී කොංගෝවේ ජනාධිපති විසින් අගමැති තනතුරින් ඉවත් කර දැමුවා. පැට්‍රිස් ලුමුම්බා ඒ තීරණය නොපිළිගත්තත් අවසානය සිදුවුනේ ලුමුම්බා ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමෙන්. ඒ සිද්ධියේ අවසානය සිදුවුනේ පැට්‍රිස් ලුමුම්බා ඝාතනයෙන්.


නමුත්...... ඊයේ දිනයේ බෙල්ජියමෙන් වාර්තා වුනේ අමුතුම ආකාරයේ වාර්තාවක්. පැට්‍රිස් ලුමුම්බා හට දරුණු වධ දීමෙන් මරා දැමු පසු ඔහුගේ සිරුර ඇසිඩ් වල දමා විනාශ කර දැමුණු අතර ඔහුගේ ශරීරයෙන් ඉතුරු වුනේ පැට්‍රිස් ලුමුම්බා ගේ එක් දතක් පමණයි. මේ දත එක් බෙල්ජියමේ උසස් නිලධාරියෙක් විසින් සිහිවටනයක් ලෙස තබා ගෙන තිබුනා.


ඊයේ දිනයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පවතී විශේෂ උත්සවයකදී එනම් පැට්‍රිස් ලුමුම්බා ගේ මරණයෙන් වසර 61කට පසුව මේ දත පැට්‍රිස් ලුමුම්බා ගේ පවුලේ සාමාජිකයින් වෙත නැවත වරක් භාර දී තිබෙනවා. එහිදී බෙල්ජියමේ අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කලේ පැට්‍රිස් ලුමුම්බා ගේ ඝාතනයට තම රට වග කිව යුතුබවත් ඒ වෙනුවෙන් පරීක්ෂා කිරීමට විශේෂ කොමිසමක්ද පත් කල බවක්. «අද මේ විශේෂ දිනයේදී අපේ අවසාන ගෞරවය පැට්‍රිස් ලුමුම්බා හට පිරිනමන අතර ඔහුගේ පවුලේ සෑම දෙනාගෙන්ම සමාව අයදිනවා.» බෙල්ජියමේ අග්‍රාමාත්‍ය වරයා තව දුරටත් ප්‍රකාශ කළා.

රනින් නිම කල විශේෂ පෙට්ටියක භා ඇති මේ දත කොංගෝවට ගෙන ගොස් එහි විශේෂ ස්මාරකයක තැන්පත් කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ජුනි මස 27-30 වන දින ජාතික ශෝක දින ලෙසද කොංගෝ රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පැට්‍රිස් ලුමුම්බා ට උපහාර වශයෙන් තමයි එදා සෝවියට් දේශයේ නායකත්වය දැරූ නිකීතා කෘෂෙව් විසින් 1961 වසරේ පෙබරවාරි මස 22 වැනිදා මොස්කව් නගරයේ මිත්‍රත්ව විශ්ව විද්‍යාලය “පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලය“ ලෙස නම් කලේ. පුරා වසර 31ක කාලයකින් පසුව 1992 වසරේ පෙබරවාරි මස 5 වැනිදා, නැවත වරක් මේ විශ්ව විද්‍යාලය “මිත්‍රත්ව විශ්ව විද්‍යාලය“ ලෙස නම් කළා. ඒ සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව.

විස්තර - dw.com

30 views0 comments
bottom of page