• Admin

The Bay of Pigs Invasion


කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝගේ රජය පෙරලා දැමීමට 1961 අප්‍රියෙල් 14 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සුවිශේෂී රහසිගත මෙහෙයුමක් ආරම්භ කළා. ඇමෙරිකා එක්සත් ජනපද ගුවන්යානා විසින් කියුබානු ගුවන් තොටුපලවල් වලට බෝම්බ හෙලීමෙන් පසුව, වීප්ලවයේ විරුද්ධවාදීන් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ විසු කියුබානු සංක්‍රමණිකයන් ගෙන් පුහුණු කරන ලද කණ්ඩායමක් කියුබාවට රහසේම පිටත් කර යැව්වා.


විශාල යුධ සටනකින් පසුව කියුබානු රජයට හැකිවුනා මේ ආක්‍රමණිකයන් වට කර අල්ලා ගැනීමට. ඇමෙරිකා එක්සත් ජනපදයට ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට එදා හැකිවුණේ නැහැ. මේ ආක්‍රමණය හඳුන්වන්නේ The Bay of Pigs Invasion නමින්.

මේ සුවිශේෂී අවස්ථාව කියුබානු විප්ලවයෙන් පසුව වසර 2කටත් අඩු කාලයකදී සිදුවුණා නිසා එය කියුබානු විප්ලවයේ සහ අලුතින් බිහිවුණු කියුබානු කොමියුනිස්ට් රාජ්‍යයේ ශක්තිය සහ කියුබානුවන්ගේ දේශප්‍රේමී භාවය ලොවට ප්‍රදර්ශනය කල අවස්ථාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.


මේ සිදුවීම සිදුවුනේ අභ්‍යවකාශයට පිවිසි ලොව ප්‍රථම මිනිසා වීමේ ගෞරවය හිමි කරගත් සෝවියට් දේශයේ යුරි ගගාරින් අභ්‍යවකාශයට පිවිස දින දෙකකින්. 1961 වසරේ අප්‍රේල් මස 14 වැනිදාට පසු දිනක යුරි ගගාරින් කියුබාවේ සංචාරයක යෙදුනා. ගගාරින් කියුබාවේ හවානා නගරයේ ආරෝග්‍යශාලාවකට පිවිසුනේ මේ The Bay of Pigs Invasion ආක්‍රමණයෙන් තුවාල ලැබූ කියුබානුවන් හමුවන්නට. මේ බව යුරි ගගාරින් ඔහුගේ |අභ්‍යවකාශයට මාවතක්| යන කෘතියේ සඳහන් කර තිබෙනවා.

“රෝහල් වාට්ටු අතර ඇවිද යන විට මා දුටුවේ මේ සටනේදී උණුසුම් රුධ්රය හෙලු කියුබානු තරුණ තරුණියන්. මම ඔවුන්ගේ දෑත් සිප ගත්තෙමි. කියුබානු විප්ලවයේ තරාතිරම සහ කියුබානු ජනතාවගේ හදවත් වල ස්පන්ධනය මා හට නිවැරදිව දැනුනේ එදා බව මම විශ්වාශ කරමි. තම රටේ ජනතාවගේ අනාගතය සහ ස්වාධීනත්වය උදෙසා නොනවත්වාම සටනක යෙදෙන මේ ජනතාව ගැන මගේ සිතේ ඇතිවුයේ ගෞරවාන්විත හැගීමකි. තම දේශය පිළිබඳව ඇති මේ දේශප්‍රේමීභාවය නිසාම කියුබානු ජනතාව කිසිම දිනෙක දන ගැස්සවීමට නොහැකි බව මම හොඳාකාරවම අවබෝධ කර ගතිමි. “ මේ යුරි ගගාරින්ගේ අදහස්.

2001 වසරේදී මේ සිද්ධිය සම්බන්ධ රහසිගත වාර්තා සහ ලිපිලේඛන කිහිපයක් මාධ්‍ය වලට නිකුත්වූ වී තිබුනා. එක් වාර්තාවක සඳහන් වී තිබුනේ මේ පුහුණුව ලත් කියුබානි විරෝධී කියුබානු සංක්‍රමණිකයන් දෙදෙනෙක් The Bay of Pigs Invasion ආක්‍රමණයේදී ෆිදෙල් කැස්ත්‍රෝ ට මීටර් 10ක් ආසන්නයට පැමිණුනත් ඔවුන් ට ෆිදෙල් කැස්ත්‍රෝ හට වෙඩි තබන්නට ආත්ම ශක්තිය නොතිබුණු බවයි.

මේ ආක්‍රමනිකයින් කියුබාවට ගොඩබැසු ස්ථානයේ අද විශාල කෞතුකාර සංකීර්ණයක් ඉදීකර තිබෙනවා. මගේ කියුබානු සංචාරයේදී මට අවස්ථාව ලැබුනා මේ The Bay of Pigs Invasion කෞතුකාගාර සංකීර්ණය නරඹන්නට.

Rokhan Direkz



17 views0 comments