• Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

රොහාන් ඩිරෙක්ස් 

info@sanchara.lk

ආසියානු රටවල් වල පමණක් නොවේ සමාජ අසාධාරනත්වයට එරෙහිව සටන් කරන කලා කරුවන් විනාශ කිරීම හෝ ඝාතනය කිරීම සිදුවන්නේ. ලෝකයේ බොහෝ රටවල් වල මේ ක්‍රියාදාමය දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම අද වගේම එදාත් සිදුවී තිබෙනවා. පුෂ්කින්  මෙලොව එලිය දුටුවේ මීට වසර 220කට පෙර. පුෂ්කින් වැනි කවියෙක් ලොවට බිහිවන්නේ සෑම වසර 200 කටම වරක් බව නිකොලායි ගොගොල් පවසා තිබෙනවා.

 

එසේ නම් දැන් පැමිණ ඇත්තේ තවත් පුෂ්කින් කෙනෙක් බිහිවීමට ඇති කාලයක්ද?

​රුසියානු ඉතිහාසයේ අදටත් නොවිසඳුණු අභිරහසක් ලෙස හැඳින්වෙන්නේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ මරණය. රුසියානු සාහිත්‍යයේ පීතෘවරයා ලෙස ගෞරවයට පාත්‍ර වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ මරණයේ තතු සහ ඔහුගේ සමාධිය සොයා රුසියාවේ පීටර්ස්බර්ග් සහ ප්ස්කොව් නගරවලට සංචාරයක්......

දිනය - 1953 අගෝස්තු මස 18 වැනිදා

ස්ථානය - පීටර්ස්බර්ග් නගරයේ සිට කි.මී. 400ක දුරකින් පිහිටා ඇති ස්වෙතෝගොර්ස්කි ආරාමය.

සාමාන්‍යයෙන් මේ ආරාමය මහජනතාවට විවෘතව තිබෙන්නක් වුවත් එදා වෙනදාට වඩා විශේෂ දිනයක් වුනා. උදෑසන 10ට පමණ සෝවියට් රජයේ පොලිස් නිලධාරීන් මේ ස්ථානයට පැමිණියේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි. මේ ආරාමයට පැමිණෙන සියලුම මාර්ග වසා දමන්නටත්, එහි සිටි ජනතාව ඒ ස්ථානයෙන් ඉවත් කරන්නටත් මේ පොලිස් නිලධාරීන් කටයුතු කළා. ආරාම භුමියේ සිදු වන්නේ කුමක්ද යන්න සියල්ලන්ටම අභිරහසක් වුනා. කිසිම පිටස්තර පුද්ගලයෙකුට මේ අභිරහස මෑතක් වන තුරුම දැන ගන්නට හැකිවුණේ නැහැ. 

රුසියානු සාහිතයේ පීතෘවරයා ලෙස සැලකෙන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ සොහොන පිහිටා තිබෙන්නේ මේ ආරාම භුමියේ. 1941-1945 ශ්‍රේෂ්ට දේශප්‍රේමී යුධ සමයේදී මේ සොහොනට බරපතල ලෙස හානි පැමිණුනා. යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු වුවත් සෝවියට් රජයට මේ අති මහත් රුසියානු ජනතාවකගේ ගෞරවයට පාත්‍ර වූ පුෂ්කින්ගේ සොහොනේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නට හැකියාවක්  නැහැ. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබුවේ 1953 වසරේ අගෝස්තු මස 18 වැනිදා. 

සෝවියට් කම්කරුවන් මුලින්ම කලේ ප්‍රවේශමෙන් පොලව මතුපිට ඇති විශාල ස්මාරකය ඉවත් කර පුෂ්කින්ගේ සිරුර සහිත බිම් ප්‍රදේශය මතුකර ගැනීම. ස්මාරකය ඉවත් කර පසු ඔවුනට දක්නට ලැබුනේ විශාල සිමෙන්ති තහඩු වලින් වසා තිබු ප්‍රදේශයක්. එහි එක කෙළවරක් තිබුණු දෙයකින් කම්කරුවන් ඇතුළු සෝවියට් රජයේ නිලධාරීන් බියට සහ කලබලයට පත් වුනා. 

ඔවුන් දුටුවේ මිනී හිස් කබල් 2ක් සහ තවත් මිනිස් අස්ථි කිහිපයක්. මේ ශ්‍රේෂ්ට රුසියානු කවියාගේ සොහොනට මේ මිනී හිස්කබල් සහ අස්ථි කෙසේද පැමිණුනේ. මේ නිසා තමයි එදා සෝවියට් රජය මේ ආරාමය තාවකාලිකව වසා දමා එයට හමුදා ආරක්ෂාව තර කලේ. එමෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වූ සියලුම සෝවියට් නිලධාරීන් සහ කම්කරුවන් ගෙන් මේ රහස එලි නොකරන බවට දිවුරුම් පෙත්සම් ලබා ගැනීමටද සෝවියට් රජය පියවර ගත්තා. එදා සෝවියට් නීතියට අනුව යම් ආකාරයකින් මේ රහස එළිකොට තිබුණහොත් එයට ලැබෙන්නේ මරණීය දණ්ඩනය. 

​මේ නිසා වසර 50කටත් වඩා අධික කාලයක් ලෝකයාගෙන් මේ සිද්ධිය වසන්වී තිබුනා. 

ප්ස්කොව් PSKOV නගරය පිහිටා තිබෙන්නේ රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ සිට කිමී. 400ක් දුරින්. මේ දුරින් අඩක් පමණ ගෙවෙන්නේ රුසියානු සම්ප්‍රදායීක ගම්මාන සහ කුඩා නගර එමෙන්ම දර්ශනීය වන ලැහැබ වලින් සමන්විත මාර්ගයකින්. 

​පීටස්බර්ග් නගරයේ සංචාරයක යෙදුනු මාගේ අභිප්‍රාය වුයේ කෙසේ හෝ මේ දර්ශනීය ප්ස්කොව් නගරය වෙතට යාම. 

නූතන රුසියානු සාහිත්‍යයේ ආරම්භකයා වශයෙන් පිළිගැනෙන්නේ ඇලක්සැන්ඩර් පුෂ්කින්. මේ ශ්‍රේෂ්ට කවියාගේ ගත් කතුවරයාගේ සොහොන පිහිටා තිබෙන්නේ මේ ප්ස්කොව් නගරයට ආසන්නව ඇති ස්වෙතෝගොර්ස්කි ආරාම භුමියේ. (The Holy Dormition Svyatogorsky Monastery)

පුෂ්කින් නාමය රුසියාවේ නොදන්නා කෙනෙක් නම් නැහැ.  පුෂ්කින්ගේ මරණය සිදුවී දැනට වසර 217ක් ගත වෙනවා. මේ කාලය තුල රුසියාව කොතරම් වෙනස්වීම් වලට භාජනය වුනත් පුෂ්කින් නාමය වෙනස් වුනේ නැහැ. රුසියානු සාහිත්‍ය ඉතිහාසයේ සියලු වෙනස් වීම්, හැල හැප්පීම්, කුමන්ත්‍රණ, රාජ්‍ය විරෝධී කැරලි මේ සියල්ල අතරේ පුෂ්කින් නාමය නොසැලී පැවතුනා. 

පුෂ්කින් හට තිබෙන්නේ කළු ජාතික සම්භවයක්. කළු ජාතික සම්භවයක් ඇති පුද්ගලයෙක් රුසියාවේ සාහිතයේ ආරම්භකයා වශයෙන් පිළිගැනීම ගැන ඉතියෝපියානු ජාතිකයින් පවසන්නේ ආඩම්භරයෙන්. ඉතියෝපියාවේ ඇඩ්ඩිස් අබාබා නගරයේ පුෂ්කින්ගේ ප්‍රතිමාවක් තිබෙනවා. මාගේ පසුගිය ඉතියෝපියානු සංචාරයේදී මා රුසියාවෙන් පැමිණුනු බව දැන ගත් මගේ මිතුරන් ගුවන් තොටුපලේ සිට මා කැඳවා ගෙන ගියේ මේ ප්‍රතිමාව වෙතට. ඉතිහාසයේ සඳහන් වන පරිදි පුෂ්කින්ගේ මුත්තා අප්‍රිකානු වහලෙක්. ඔහු රුසියාවට පැමිණ ඇත්තේ එවකට සිටි මහා පීටර් සාර් රජුට සේවය කිරීම සඳහා වහලෙක් වශයෙන්. එමෙන්ම සෝමාලියානුවන් සහ කැමරූන් රටවල්ද පුෂ්කින්ගේ මේ කළු ජාතික සම්භවයට ඔවුන්ගේ ද සම්බන්ධතා ඇතැයි පවසනවා. රුසියාවේ අධ්‍යාපනය ලබන සෝමාලි සහ කැමරූන් රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ගැන පවසන්නේ තරමක ආඩම්භරයකින්.

1799 වසරේ ජුනි මස 6 වැනිදා මොස්කව් නගරයේ තමයි පුෂ්කින් මෙලොව එලිය දුටුවේ. පුෂ්කින්ගේ ජීවිතයේ අවස්ථා කිහිපයකම ඔහු තුල පැවතී රාජ්‍ය විරෝධී භාවය ප්‍රදර්ශනය වී තිබුනා යයි කිවහොත් නිවැරදියි. මේ නිසාම තමයි ඔහු නොයෙකුත් කුඩා දේශපාලන කණ්ඩායම් වලට එකතු වී තම අදහස් පවසන්නට වුයේ. නමුත් ඔහුගේ දක්ෂතාවය තිබුනේ කලාව උදෙසා. විශේෂයෙන්ම කවියකු, ලේඛකයකු සහ කාව්‍යකරුවකු ලෙස. පුෂ්කින්ගේ දෙමාපියන් සතුව විශාල පුස්තකාලයක් තිබීම බොහෝවිට පුෂ්කින්ගේ මේ කෞශල්‍යය වර්ධනයට උපකාරී වූ බැව් විශ්වාශ කිරීමට පුළුවන්. 

සමාජ අසාධාරණයට එරෙහිව හඬ නගන කලාකරුවන් විනාශ කිරීම අද සිදුවනවා මෙන්ම එදත් සිද්දුවුනා. තම පැවැත්ම පාලනය පවත්වා ගැනීම සඳහා බොහෝ රජයන් නායකයින් මේ ක්‍රියා මාර්ගයට එළඹෙනවා. නමුත් මුල් කාලයේදී පුෂ්කින්ගේ කවි වලින් කියවුනේ රුසියානු ඉහල රජ පරම්පරාවේ දිස්වන ගතිලක්ෂණ. ඒවා තුල කිසිම විටෙක රුසියානු නිර්ධන පන්තිය ගැන හෝ කම්කරු ජනතාව ගැන සඳහනක් තිබුනේ නැහැ. 

නමුත් එදා පැවතී රාජ පරම්පරාවටත් එරෙහි වුනු තරුණ කණ්ඩායම් රුසියානු සමාජයේ දක්නට ලැබුනා. තරුණ පුෂ්කින්ගේ සිතත් ඇදී යන්නේ මේ තරුණ රැඩිකල් කණ්ඩායම් වෙතට. 

නමුත් අවසානයේදී සාර් රජු විසින් පුෂ්කින්ව පිටුවහල් කරන්නේ දකුණු රුසියාවට. බොහෝ ශ්‍රේෂ්ට කළා නිර්මාණ බොහෝ විට බිහිවී තිබෙන්නේ ඒකාධිපතිවාදයෙන් දිළිඳු කමින් රටක් සමාජයක් බිලිගෙන තිබෙන විටෙක බව ඉතිහාසය පෙන්වා දී තිබෙනවා. මේ පිටුවහල් කල සමයේදී තමයි පුෂ්කින් අතින් කොකේසියානු සිරකරුවා කෘතිය බිහිවන්නේ. 

1831 වසරේ පෙබරවාරි මස 18 වැනිදා පුෂ්කින් ගේ විවාහය සිදුවුනා. ඒ මොස්කව් නගරයේ විසු රූමත් කාන්තාවක් වූ නටාලියා ගොන්චරෙවා සමග.  මේ විවාහයෙන් තමාගේ අවසානය සිදුවන බව එදා තරුණ පුෂ්කින් හට නොතේරෙන්නට ඇති. 

1843 වසරේ මුල් කාලයේදී පීටර්ස්බර්ග් නගරයට ප්‍රංශ ජාතික කඩවසම් තරුණයෙක් පැමිණෙනවා. මොහු එවකට පීටර්ස්බර්ග් නගරයේ ඕලන්ද තානාපති වශයෙන් කටයුතු කල ගෙකාරන් ගේ නෑදෑයෙක් මෙන්ම හමුදා නිලධාරියෙක්. ඔහු ජෝර්ජ් දන්තේස්. පුෂ්කින්ගේ රූමත් තරුණ බිරිඳ දුටු දන්තෙස් එයට වශී වෙනවා. ඔහු කෙසේ හෝ උත්සාහ කරන්නේ ඇයගේ ආදරය දිනා ගන්නට.  මෙයින් බොහෝ කනස්සල්ලට පත් වන්නේ පුෂ්කින්. අවසානයේදී සිදුවන්නේ පුෂ්කින් දාන්තේස් හට ද්වන්ධ සටනකට ආරාධනා කිරීමක්.

ඒ කාලයේ පුෂ්කින් තම තරුණ බිරිඳ සමග පදිංචිව සිටියේ පීටර්ස්බර්ග් නගරයේ මේ නිවසේ.  අද මේ නිවස කෞතුකාගාරයක්.

1837 වසරේ ජනවාරි මාසයේ දිනෙක තම මිත්‍රයෙකු වූ දාන්සේස් හමුවීමට පැමිණෙනවා. පුෂ්කින් දාන්සේස් ට පවසන්නේ ඔහුත් සමග ප්‍රංශ තානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙසත් එහිදී ඔහුට ඉතා වැදගත් සාකච්ජාවකට සහභාගී විය යුතු බවත්. ප්‍රංශ තානාපති කාර්යාලයේදී ඔවුන්ව පිළිගන්නේ දාන්තේස්. ඒ වන විටත් ඔහු අත පුෂ්කින් විසින් යවන ලද ද්වන්ද සටනට ආරාධනා පත්‍රය තිබුනා. 

822633_a76511f6496b49c8b993016f9192e8d1.
IMG_3651_edited.jpg

මේ ආකාරයට දාන්සේස් ගේ සහභාගීත්වයෙන් පුෂ්කින් සහ දාන්තේස් අතර ද්වන්ධ සටනේ නීති රීති සම්බන්ධව ලියවිල්ලක් පිළියෙළ වුනා.එහි සඳහන් වුයේ එදිනම සවස 5 ට පිස්තෝල සහිතව ද්වන්ධ සටන ආරම්භ වන බවත් එහිදී එකිනෙකා අතර පරතරය පියවර 20ක් බවත් එමෙන්ම තවත් පියවර 5ක් ඕනෑම අවස්තාවක ඉදිරියට පැමිණීමට හැකිබවත්. නමුත් මේ ලියවිල්ලේ පළමුවෙන් වෙඩි තබන්නට අවසර ඇත්තේ කා හටද යන්න සඳහන් වුනේ නැහැ.  එක වටයකට එක වෙඩිල්ලක් පමණක් තැබීමට අවසර ඇතිබවයි ලියවිල්ලේ සඳහන් වුයේ.  

පුෂ්කින් සහ දාන්තේස් අතර ද්වන්ධ සටන සිදු වුනු ස්ථානය අද දකින්නට ලැබෙන්නේ මේ ආකාරයෙන්.

පුෂ්කින්ගේ මිත්‍ර දාන්සේස් පසුව සඳහන් කරන අන්දමට එදින පැහැපත් හිරු රැස් වැටුණු දිනයක් වුනේ නැහැ. පුෂ්කින් සහ දාන්තේස් හරියටම සවස 5ට නියමිත ස්ථානයට පැමිණුනා. දාන්සේස් විසින් පියවර 20 සහ සීමා ලකුණු සටහන් කරනු ලැබුවා. දෙදෙනාම තම පිස්තෝල පිළියෙළ කර ගත්තා. පියවර කිහිපයක් සීමාව වෙතට පැමිණුනු පුෂ්කින් තම  පිස්තෝලය සුදානම් කර ගැනීමටත් පෙර දාන්තේස් විසින් තම වෙඩිල්ල තබනු ලැබුවා. අනපේක්ෂිත ලෙස වෙඩි වැදුණු පුෂ්කින් හිම මත ඇද වැටුනා. ඒ සමගම ඔහුගේ පිස්තෝලය අතින් ගිලිහුනා. දාන්සේස් පුෂ්කින් වෙතට පැමිණුනේ ඔහුගෙන් ගිලිහුණු පිස්තෝලය නැවත ඔහුට ලබා දෙන්නට.

පුෂ්කින් ඔහුට පැවසුයේ මට තවමත් ශක්තිය තිබෙනවා මගේ වෙඩිල්ල තබන්න. ඒ අවස්තාව මට දෙන්න යනුවෙන්. තරමක් දුරට සිටගත් පුෂ්කින් තම පිස්තෝලය දාන්තෙස් වෙතට යොමු කරමින් එක වෙඩිල්ලක් තැබුවා. ඒ වෙඩිල්ල වැදුණු දාන්තෙස් ද ඇද වැටුනා. නමුත් දාන්තේස් ගේ වම් බාහුවට ඒ වෙඩිල්ල වැදී තිබුනා. 

​පුෂ්කින් බරපතල ලෙස වෙඩි පහර නිසා තුවාල ලබා තිබුනා. දාන්සේස් විසින් පුෂ්කින්ව තම අශ්ව කරත්තයන රැගෙන නිවස බලා පැමිණුනා. මේ පැමිණෙන අවස්තාවේදී පුෂ්කින් දාන්සෙස් හට උපදෙස් දුන්නේ මේ කිසිවක් තම බිරිඳ නටාලියා හට නොපවසන ලෙසට. 

දින 2ක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ගත්තත් 1839 වසරේ ජනවාරි මස 29 වැනිදා පුෂ්කින් ජීවිතයෙන් සමුගත්තා. රුසියානු සාහිත්‍ය යේ පීතෘවරයා මේ ආකාරයෙන් අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමු ගත්තා. 

පුෂ්කින්ගේ අවසාන දින කිහිපය මෙසේ ගත වුනා. 

මේ සෝෆාව මත පුෂ්කින් තම ජීවිතයෙන් සමු ගත්තා. 

කෞතුකාගාරයේ ඇති මේ ඔරලෝසුවේ දැක්වෙන්නේ එදා 1839 වසරේ ජනවාරි මස 29 වැනිදා ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ජීවිතයෙන් සමුගත් වේලාව. 

රුසියානු රජය නියෝජනය කරමින් සහභාගී වූ ඇලෙක්සැන්ඩර් ටුර්ගේනෙව් සහ පුෂ්කින්ගේ එදිරිවාදී දාන්තේස්.

 පුෂ්කින්ගේ සිරුර ආදාහනය කල අන්දම - චිත්‍රය - V. Fedotev

පුෂ්කින්ගේ මරණය පුවත් පත් වල පලවූ ආකාරය 

පුෂ්කින්ගේ මරණය එදා පාලකයින් හට සැනසීමක් ගෙන දුන්නත් ජනතාව කුපිත වේ යයි යන බියෙන් හැකි තරම් දුරට අවමංගල්‍ය කටයුතු වැඩි ප්‍රසිද්ධයකින් තොරව සිදු කිරීමට පියවර ගෙන තිබුනා.  මරණයෙන් පසු දින 3කින් එනම් පෙබරවාරි මස 1 වැනිදා රහසේම පුෂ්කින්ගේ සිරුර ප්ස්කොව් නගරයේ ස්විතොගොර්ස්කි ආරාමය වෙත පිටත් කර යවනු ලැබුවා. ප්ස්කොව් නගරයට යැවීමට දින 3ක් ගතවී තිබුනා. 

පුදුමයට කරුණක් වන්නේ පුෂ්කින්ගේ සිරුර භුමදානයට ඔහුගේ කිසිම මිතුරෙක් හෝ පවුලේ සාමාජිකයින් සහභාගී වී නොවීම. රුසියානු රජය නියෝජනය කරමින් ඇලෙක්සැන්ඩර් ටුර්ගේනෙව් නැමැත්තා සහභාගී වී තිබෙනවා. 

​පුෂ්කින්ගේ බිරිඳ නටාලියා ඔහුව භූමදානය කල ස්ථානයට පැමිණුනේ මරණයෙන් වසර 2කට පසුව. අදටත් විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් වන්නේ පුෂ්කින්ගේ මිතුරන් සහ බිරිඳ ඔහුගේ අවසන් ගමනට සහ අවමංගල්‍ය උත්සවයට නොපැමිණීම.

පීටර්ස්බර්ග් කෞතුකාගාරයේ ඇති පුෂ්කින් මිය ගිය අවස්ථාවේ ගත් මුහුණු සලකුණ 

ද්වන්ධ යුද්ධයේදී ඔහු විසින් පැළඳ සිටි අත් මේස්  සහ ඇඳුම්.

ද්වන්ධ සටන සඳහා පුෂ්කින් භාවිතා කල පිස්තෝලයද මේ කෞතුකාගාරයේ දී දැක ගන්නට පුළුවන්. 

ප්ස්කොව් නගරයේ ස්වෙතොගොර්ස්කි ආරාමයේ ප්‍රධාන දොරටුව 

ප්ස්කොව් නගරයේ ස්වෙතොගොර්ස්කි ආරාමයේ ඇති පුෂ්කින් භූමදානය කර ඇති ස්ථානය සහ ඔහුගේ සොහොන.

​පීටස්බර්ග් නගරයේ සිට කි.මී. 400ක ගමනකින් පසු මට ප්ස්කොව් නගරය ආසන්නයේ ඇති පුෂ්කින් කෞතුකාගාර සංකීර්ණයට පැමිණෙන්නට හැකිවුනා. 

මේ ස්ථානයේ ඇති අලංකාරය සහ දර්ශනීයත්වය නිසාම පුෂ්කින් අතින් විශිෂ්ට ගනයේ ගද්‍ය නිර්මාණයන් බිහිවූ බවයි රුසියානුවන් පවසන්නේ. 

ප්‍රථම වරට පුෂ්කින් මේ ස්ථානයට පැමිණුනේ 1817 වසරේ. එසේම 1824-26 කාල වලදී ඔහු මේ ස්ථානයේ වාසය කළා.  1995 වසරේ එවකට රුසියාවේ ජනාධිපති බොරිස් යෙල්ත්සින් විසින් මේ ස්ථානය රුසියාවේ විශේෂ සංස්කෘතික ස්ථානයක් බවට පත් කළා. 

පුෂ්කින්ගේ රාජකාරී කාර්යාලය 

ජායාරුපය -දකුණු පසින් - 1943 වසරේදී දෙවන ලෝක සංග්‍රාමයේදී පැසිස්ට් වාදීන්ගේ ග්‍රහණයෙන් නිදහස් කර ගත් පුෂ්කින් සොහොන වටා තිබු බිම් බෝම්බ ඉවත් කිරීමේදී මරුමුවට පත් රුසියානු සොල්දාදුවන් වෙනුවෙන් පිහිටා ඇති ස්මාරකය.

ඇලෙක්සැන්ඩර් පුෂ්කින් නාමය අද රුසියානු සාහිත්‍ය ඉතිහාසයේ මුලින්ම ලියැවෙන නාමයයි. මේ ආකාරයට පුෂ්කින් මිය යන විට ඔහුගේ වයස 37යි.  

මා දකින අන්දමට පුෂ්කින් යනු රුසියානු සාහිත්‍යය නව මාවතක් අවශ්‍යව බලාපොරොත්තු සහගතව සිටින මංසන්ධියකදී එහි ඉදිරි මඟ කෙසේ සකස් විය යුතුද යන්න සම්බන්ධයෙන් ස්වාධීන මතයක් සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළ නිර්මාණකරුවෙක්. ඔහුගේ අභාවයෙන් වසර 180ක් ඉක්ම ගොස් ඇතත්, රුසියානු සාහිත්‍යය කෙරෙහි ඔහුගේ බලපෑම අතිමහත්යයි පවසන්නට පුළුවන්.    

පුෂ්කින් විසින් රචිත Eugene Onegin ඉයුජින් ඔනෙජින් ඔපෙරාව නරඹමින් 

රුසියානු සාහිත්‍යයේ අධ්‍යාත්මික ප්‍රකාශනය ලෙස හඳුන්වන්නේ පුෂ්කින් විසින් රචිත Eugene Onegin ඉයුජින් ඔනෙජින් නම් කාව්‍යය. හැබැයි අවසානයේ ඒ වෙනුවෙන් තම ජීවිතයෙන් වයස තිස් හතක් ව තිබියදී වන්දි ගෙවීමට ඔහුට සිදු වුනා. 

“අපි සියල්ලෝ ම පුෂ්කින් ගේ හිම කබායෙන් එළියට ආ අය වෙමු” මෙසේ කීවේ නිකොලායි ගොගොල් ය. රුසියාවේ අපුර්ව ආශ්චර්යයක් වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ යෙව්ගෙනි ඔනේගින් ඔපෙරාව නැරඹීමට වරෙක වාසනාව ලැබුනා. ආදරය, ද්වේශය, පලිගැනීම මැනවින් විදහා දැක්වෙන මේ නිර්මාණය රුසියානුු සාහිත්‍යයේ මෙන්ම ඔපෙරා වලත්වි විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙනවා.

මහගම සේකරයන්ගේ "නොමියෙමි" ග්‍රන්ථයෙන් උපුටා ගත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ සිහිනය නම් කාව්‍යයේ පරිවර්තනය මගේ මතකයේ හැමදාමත් පවතිනවා. රුසියානු භාෂාව සහ සාහිත්‍යය අධ්‍යයනය කරන සෑම රුසියානු පාසැල් සිසු සිසුවියකටම  පුෂ්කින්ගේ බොහෝ කවි කට පාඩමින් කියන්න පුළුවන්. රුසියානු ජනතාව සාහිත්‍යයට ලැදි පොත පත කියැවීමේ නැඹුරුවක් ඇති ජනතාවක්. ඒ නිසා වෙන්නට ඇති ලෝක සාහිත්‍යයේ අසමසම කෘතීන් කිහිපයක්ම රුසියාවෙන් බිහිවී තිබෙන්නේ. 

 

ජීවිතයේ දාහක් දුක් ගැහැට අතර 

හෙම්බත් වී සිටිනා සඳ 

ඔබේ දයාබර කටහඬ 

මා අසලම මට ඇසුණේය......

 

ඔබේ සොඳුරු වත දුටු බව 

සිහිනෙන් මට පෙනුණේය 

නිර්මල සුන්දරත්වයේ 

පරමාදර්ශය සේ මොහොතක් 

ඔබ මා දෑසට පෙනී ගියේය.....

ප්‍රමොධයෙන් මා හද උතුරයි දැන් 

ආදරයෙන් ජීවිතයෙන් හා 

දිව්‍යත්වයක් යලිත් මා ඇතුලත 

පණ ලබා ඇත්තා සේ වැටහෙයි.....

මොස්කව් නුවර පුෂ්කින් චතුරශ්‍රයේ පිහිටා තිබෙන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ විශාල පිළිරුව අසල පවත්වන කවි සැන්දෑ වලදී මෙවැනි කවි නිතරම ගැයෙනවා. 

පුෂ්කින් එකම ස්ථාවරයක තලයක පිහිටා කිසිම විටෙක සාහිත්‍ය කෘතීන් රචනයන් කොට නැහැ. ලේඛකයෙකු ලෙස ඔහුට පුළුල් පරාසයක් මත රචනා බිහිකිරීමට හැකියාව තිබුනා. සම්භාව්‍යය, ඉතිහාසය, දේශපාලනය, ආදරය , වේදනාව එමෙන්ම කෙටිකතා, සුරංගනා කතා, ළමා කතා මේ සියල්ලම පුෂ්කින්ගේ කෘතීන් අතරේ දැක ගන්නට පුළුවන්. ඔහු ලිවූ බොහෝ දේවල් රුසියානු ජනතාවගේ මෙන්ම සාහිත්‍යයට ලැදී ලෝක ජනතාවගේද පිළිගැනීමට ලක්වුනා.

එමෙන්ම රුසියානු සාමාන්‍ය වැසියෙකුගේ නිහතමානී සතුට සහ දුක් වේදනාව, ඔවුන්ගේ සමාජ පරතරයන් අතර ගැටුම්, මේ සමාජ පරතරයට එරෙහි වන්නන්ගේ අදහස් ඔහුගේ කෘතීන් තුලින් මොනවට පැහැදිලිවුනා. මේ සියලු මාතෘකාවන් බොහෝවිට රුසියානු සාහිත්‍යයට උපයෝගී කර ගත්තේ මුලින්ම පුෂ්කින් යයි කිවහොත් නිවැරදියි.  එනිසාම තමයි සාහිත්‍ය විශාරදයන් පුෂ්කින්ගේ කෘතීන් හඳුන්වන්නේ රුසියානු ජීවිතය සම්බන්ධයෙන් ලියැවී ඇති විශ්වකෝෂයන් ලෙස. 

ඉතිහාසයේ සඳහන් වන අන්දමට 1825 පීටර්ස්බර්ග් නගරයේ සාර් පාලනයට එරෙහිව නැගුනු ජනතා නැගී සිටීමකට ඔහු සහයෝගය දී තිබුනා.  සාර් රජය පෙරලා දැමීමට ක්‍රියාකළ විප්ලවවාදියෙක් ලෙස පුෂ්කින්ගේ නාමය කිසිම විටෙක සඳහන් වන්නේ නැහැ. නමුත් ඔහු තුල පැවතී සමාජ අසාධාරනත්වයට එරෙහි බව සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදෙසා ප්‍රකාශ කල  අදහස් වලින් ඒ බව තහවුරු වන බව පැවසෙනවා.  ඒ නිසාම තමයි ඔහු ගද්‍ය රචනයක "ලොව කොතැනක හෝ සතුට ඇත්නම් එතන ඇත්තේ සාමය සහ නිදහසයි" යනුවෙන් සඳහන් කරන්නට නොපැකිලුනේ. සමහර ඉතිහාසඥයන් සඳහන් කරන්නේ පුෂ්කින්ගේ මෙවැනි අදහස් නිසා ඔහුව ද්වන්ධ සටනකට පොළඹවා විනාශ කිරීමට එදා පාලකයින්ට හැකියාව ලැබුණු බවයි.

1880 වසරේ මොස්කව් නුවර පැවතී සාහිත්‍ය සමුළුවකදී තවත් රුසියානු ජාතික ශ්‍රේෂ්ට කතුවරයෙක්වූ දොස්තොයෙව්ස්කි පුෂ්කින් ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ විශ්ව සාහිත්‍යයේ මෙතරම් යථාර්තවාදී ලෙස ආදරය සහ වේදනාව ගැන හද පත්ලෙන් නැගුනු අදහස් පුෂ්කින්ගේ කෘතීන් තුල ගැබ් වී ඇති බවයි. 

පුෂ්කින්ගේ ප්‍රතිමාවක් විවෘත කරමින් වරක් තවත් රුසියානු ශ්‍රේෂ්ට ගත්කතුවරයෙකු වූ ඉවාන් ටුර්ගේනෙව් පැවසුයේ රුසියානු ජනතාවගේ හදවතේ සාරය කැටි කොට ගත් කෘතීන් ඔහු තුලින් බිහිවූ බවයි. 

මේ සියල්ල පසු කරමින් ඇලෙක්සැන්ඩර් පුෂ්කින් අද රුසියාවේ රාජ්‍ය සංකේතයක් බවට පත්වී තිබෙනවා. සෑම නගරයකම පුෂ්කින් නමින් මාවතක් හෝ උද්‍යානයක් දකින්නට ලැබෙනවා. එමෙන්ම පෙර පාසැල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා පුෂ්කින්ගේ කෘතීන් උපයෝගී කර ගැනෙනවා. සාහිත්‍යකරුවෙකුට ලැබිය හැකි ඉහලම සහ උපරිම ගෞරවය පුෂ්කින්ට රුසියාවෙන් ලැබී තිබෙනවා. 

​ලිපියේ මුලින් සඳහන් කල පරිදි 1953 වසරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුෂ්කින්ගේ සොහොන විවෘත කිරීමේදී ලැබුණු අමතර හිස් කබල් සහ අස්ථි සම්බන්ධයෙන් අදටත් පැහැදිලි පිළිතුරක් ලැබී නැහැ. 

රොහාන් ඩිරෙක්ස් 

rohandx@hotmail.com

Special Thanks - විශේෂ ස්තුතිය ;

* මේ ගමනට විශේෂයෙන් සහයෝගය දැක්වූ පීටර්ස්බර්ග් නගරයේ ජීවත්වන සාකේත ප්‍රනාන්දු මහතාට මගේ ස්තුතිය.

Details & some photos:

https://lenarudenko.livejournal.com/251994.html

http://www.museumpushkin.ru/eng/

http://pushkin.ellink.ru/

1415926627643_wps_9_TO_GO_WITH_AFP_STORY
IMG_3318_edited.jpg
IMG_8503_edited_edited.jpg