• වොල්ගා නදිය හැමදාමත් ගලා ගියේ එකම විදිහට. කිසිම වේගයක් නැති වතුර එක තැන කැරකෙන බවයි එම්මා ට දැනෙන්නේ. හැමදාමත් උදෑසන වොල්ගා නදිය ඉවුරට වෙලා ගඟ දිහා බලා ඉන්න එක එම්මාගේ පුරුද්දක්. මුහුදක් කියලා ලොකු පොකුණක් මේ ලෝකයේ කොහේ හරි තියෙනවා කියලා ගමේ වැඩිහිටි උදවිය කියනවා ඇය අහලා තිබෙනවා. වොල්ගා නදියටත් වඩා විශාල ජල කන්දරාවක්.  එම්මා ට හිතා ගන්නවත් බැහැ.

    DSC00018_edited_edited.jpg
DSC_0674_edited_edited.jpg

Journey to the End of the World

උත්තර ධ්‍රැවයේ සංචාරයේ දී රුසියාවේ උතුරු සයිබීරියාවේ යමාල් ප්‍රාන්තයේ සලිහාර්ඩ් නගරයේ සිට තවත් කි.මී. 250ක් උත්තර ධ්‍රැවය තුලට තුන්ද්‍රා වනාන්තරය හරහා යන්නට අපි කටයුතු සැලසුම් කළා. අපේ කණ්ඩායමට  මාත් සමග සලිහාර්ඩ් නගරයේ වෙසෙන රුසියානු ජාතික සංචාරක උපදේශිකාවක් වන අනස්ටාසීයාත්, උත්තර ධ්‍රැවය තුලට කීප වතාවක් ගමන් කරමින් විදේශිකයන් හට තම සේවාව සැලසු පළපුරුදු රියදුරෙක් වන ගෙර්මන් සන්ද්රින් සහ ඔහුගේ පුතාත්, අපි යාමට බලාපොරොත්තුවන ආදී වාසීන්ගේ දියණියන් දෙදෙනෙකුත් ( මේ දියණියන් දෙදෙනා සලිහාර්ඩ් නගරයේ පාසලක අධ්‍යාපන ලබන අතර තම ගිම්හාන නිවාඩුවට දෙමව්පියන් වෙත යාමට) තවත් කිහිප දෙනෙකුත් ඇතුල් වුනා. ගමනාන්තය වන්නේ උත්තර ධ්‍රැවයේ රුසියානු දේශ සීමාව කෙළවර ජීවත් වන නෙනේට්ස් ආදීවාසීන් හමුවීමට යාම. 

රටවල් කිහිපයකම මෙවැනි දුෂ්කර සංචාර බොහොමයකට සහභාගී වී තිබුනත් මේ ගමන නම් ඒවා වලටත් වඩා දුෂ්කර බවයි මට හැඟුනේ.  රියදුරා වශයෙන් තෝරා ගැනුනේ ගෙර්මන් සන්ද්රින්. ගෙර්මන් වසර කිහිපයක්ම උත්තර ධ්‍රැවයේ ජීවත් වී පළපුරුදු ඇත්තෙක්. තවමත් ඔහුගේ පියා සහ අනිකුත් සහෝදරයන් ජීවත් වන්නේ උත්තර ධ්‍රැවයේ ආදී වාසී ගම්මානයක. 

 

තුන්ද්‍රා වනාන්තරයේ ගස් ගල් අතරින්, ගංගාවල්, දොළ පාරවල් උඩින්, මඩ වගුරු මතින් යාම සඳහා විශේෂ වාහනයක් යොදවා ගන්නට සිදුවුනා.  ගෙර්මන් විසින් ධාවනය කරන මේ වාහනයේ රෝද බර වාහනයක රෝද මෙන් විශාලයි. රියදුරාට අමතරව තවත් මගීන් 6 දෙනෙකුට ගමන් කිරීමට හැකි මේ වාහනයට කිලෝ 500ක පමණ බරක්ද පැටවිය හැකි වෙනවා. මේ වාහනය හඳුන්වන්නේ UAZ 452 නමින්. මෙය 1947 වසරේ සොවියට් දේශයේ 4x4 වාහන නිෂ්පාදනයක්. මෙය එතරම් සුව පහසු වාහනයක් නම් නොවෙයි. බුහාන්කා යන සුරතල් නාමයෙන් මේ වාහනය හඳුන්වනවා. ( බුහාන්කා යනුවෙන් රුසියානු භාෂාවෙන් හඳුන්වන්නේ පාන් ගෙඩිය. මේ වාහනයත් පාන් ගෙඩියකට සමානයි.) හැබැයි රුසියානු ශීත සහ ගිම්හාන කාල වල දුෂ්කර කාලගුණ තත්වයන් යටතේ ධාවනය කිරීමට ඉතාම සුදුසු වාහනයක් ලෙසයි අදටත් රුසියානුවන් හඳුන්වන්නේ. 

දින කිහිපයකට අවශ්‍ය කරන ජලය, ඩීසල් සහ ආහාර පාන මේ වාහනයට පටවා ගත් අපි සලිහාර්ඩ් නගරයෙන් ගමන පිටත් වුනා. මේ වාහනයට යා හැකි උපරිම වේගය වන්නේ පැයට කි.මී. 30ක් පමණයි.  දුර ප්‍රමාණය කි.මී. 250යි. මේ කි.මී. 250 යාම සඳහා අපිට දවසේ පැය 10කටත් අධික කාලයක් වෙන් කිරීමට සිදුවුනා.  

සලිහාර්ඩ් නගරය පසු කරමින් බුහාන්කා වාහනය ඉදිරියට ඇදුනා.  

කි.මී.25ක් පමණ දුර ගමන් කරන විට තාර දැමු පාරවල් අවසාන වුනා. ඉදිරියට තියෙන්නේ වල ගොඩැලි සහිත බොරළු පාරවල්. ගමනේ අසීරුභාවය අපිට මෙතැන් සිට දැනෙන්නට පටන් ගත්තා. 

වසර ගණනකින් මේ පාරවල් අලුත්වැඩියා කර නැහැ. මිනිස් වාසයක් දකින්නට නැහැ. වට පිටාව හරියට අත් හැර දැමූ ඉඩම් තිබෙන පලාතක් වගේ.

ඉතා අබලන් තත්වයේ තිබු ලී වලින් සාදන ලද පාලම් කිහිපයක් පසු කර යන්නටද අපිට සිදුවුනා. පාලම් වල අබලන් තත්වය නිසාම ඒ සෑම අවස්ථාවකදීම වාහනයෙන් බැස පයින් යන්නට පවා සිදුවුනා. 

මේ වාහනයේ යාම තරමක් අපහසුයි. මාර්ගයේ ඇති දුෂ්කරතාවයන් නිසා කිහිප වතාවක්ම වාහනය අලුත්වැඩියා කරන්න සිද්ධ වුනා. ඒ වෙනුවෙන්ද අමතර පැය කිහිපයක් වැය කරන්නට සිදුවුනා.  නොයෙක් නොයෙක් අතට පැද්දී ගමන් කල මේ කි.මී. 250ක දුර අපිට දැනුනේ හරියට කි.මී. 1000ක ගමනක් වගෙයි.

දහවල් 12 ට  පමණ සලිහාර්ඩ් නගරයෙන් ආරම්භ කල ගමන අබලන් වූ  පාලම්, ගුරු පාරවල්, මඩ වගුරු හරහා සහ කැලෑ මාර්ග ඔස්සේ උත්තර ධ්‍රැවයේ ආදී වාසීන් සිටින ප්‍රදේශ මායිමට පැමිණෙන විට රාත්‍රී 12 පමණ වී තිබුනා. 

​වේලාව රාත්‍රී එකයි. උත්තර ධ්‍රැවයේ මේ ප්‍රදේශ වලට ගිම්හාන කාලයේදී දිනයේ පැය 24ම පාහේ හිරු එලිය දක්නට ලැබෙනවා. රාත්‍රී කාලයක් නැහැ. 

The Nenets of Siberia - Land is everything to us. Everything.

උත්තර ධ්‍රැවයේ තුන්ද්‍රා වනාන්තරය හරහා පැය 12ක ගමනකින් පසුව අවසානයේදී අපි නිනේට්ස් ආදී වාසීන් වාසය කරන භුමියේ අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින නිවස වෙත පැමිණෙන්නට පුළුවන් වුනා.  නිවස යනුවෙන් හැඳින්වූවාට මෙය ඇත්තටම කුඩාරමක්. ඔවුන්ගේ භාෂාවෙන් මේ කුඩාරම හඳුන්වන්නේ චුම් නමින්. සාමාන්‍යයෙන් එක පවුලක් මේ චුම් කුඩාරමක් තුල ජීවත් වෙනවා. 

Arctic Tribe's Hard Life Unchanged For Centuries

මේ භුමියේ සෑම කි.මී. 4කට ඈතින් එක චුම් කුඩාරම බැගින් තිබෙනවා.  මේ ප්‍රදේශයේ පමණක් නිනේට්ස් පවුල 35ක් පමණ ජීවත් වෙනවා.  මොවුන්ට විදුලි බලය, දුරකථන පහසුකම්, රුපවාහිනී පහසුකම්, වතුර සහ අනිකුත් පහසුකම් කිසිවක් නැහැ.  ශීත කාලයේ විදුලි බලය ලබා ගැනීමට එක චුම් කුඩාරමකට ඩීසල් වලින් ක්‍රියාත්මක වෙන කුඩා විදුලි ජනක යන්ත්‍රයක් තිබෙනවා. 

චුම්චු කුඩාරමක් සෑදීම සඳහා පිනිමුවන් 50 දෙනෙක්ගේ පමණ හම් අවශ්‍ය වෙනවා. එක පවුලකට එක චුම් කුඩාරමක් බැගින් තමයි සාදන්නේ. මේ කුඩාරම්කු සෑදීම සඳහා කිසිම විටෙක ඇන හෝ ලෝහ කොටස් පාවිච්චි කරන්නේ නැහැ. කුඩාරමේ ඉදිරි කොටස කාන්තාවන් වෙනුවෙනුත් ඇතුලත කොටස පිරිමින් වෙනුවෙනුත් වෙන් කර තිබෙනවා.  කුඩාරම තුල ඔවුනට ජීවත්වීමට අවශ්‍ය සාමාන්‍ය පහසුකම් දක්නට ලැබෙනවා. කුඩාරම මැද දර පාවිච්චි කරන උදුනක් තිබෙනවා. ආහාර පිළියෙළ කිරීමට අමතරව ශීත කාලයේදී අවශ්‍ය උණුසුමද මේ උදුනෙන් ලැබෙනවා. ශීත කාලයේදී සහ ගිම්හාන කාලයේදී තම පිනිමුවන් රංචු සමග ආහාර ඇති පෙදෙස් සොයමින් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම මේ උත්තර ධ්‍රැවයේ ආදී වාසීන් අතර සම්ප්‍රදායයක්. සමහර අවස්ථා වලදී කි.මී. 1000කට වැඩ දුර ප්‍රමාණයක් එක සෘතුවකට මොවුන් ගමන් කරනවා.  සෑම නතර වෙන ස්ථානයකම මේ චුම් කුඩාරම් ඔවුන් ඉදි කරනවා. 

ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන පහසුකම් මොවුන් හට නැහැ. හැබැයි යමාල් අර්ධද්වීපයේ ගැස්ප්‍රොම් ආයතනයේ ගෑස් නිධි හා සම්බන්ධ ආකාර වල චන්ද්‍රිකා දුරකථන පහසුකම් තිබෙනවා.  එවැනි ආකාරයකට අපි මේ පැමිණුනු ස්ථානයේ සිට කි.මී. 100කට වඩා දුරක් තිබෙනවා.  මාස කිහිපයකට වරක් රුසියානු රජය හෙලිකොප්ටර් සේවාවක් මගින් ජංගම වෛද්‍ය සායන පවත්වනවා. 

"The reindeer is our life, our future, our home, our food, our warmth and our transportation" - Nenets people

DSC_0926_edited.jpg

​වර්තමානයේ මේ යමාල් ප්‍රාන්තයේ ආදී වාසීන් වර්ග 20ක් පමණ වාසය කරනවා.  එයිනුත් හන්ටි (Hanti), නෙන්ට්සි (Nentsi), කෝමි(Komi) සහ සෙල්කුපි (Selkupi) වාසීන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් යමාල් ප්‍රාන්තයේ ජනගහනයෙන් 5%ක් පමණ ප්‍රතිශතයක් තමයි නෙන්ට්සි කණ්ඩායමට අයත් වන්නේ.  අපි මේ  පැමිණුනු තත්යානා ගේ චුම් කුඩාරම අයත් වන්නේ නෙන්ට්සි ආදී වාසී කණ්ඩායමට.  මේ සෑම කන්ඩායක්ම ජීවත් වීම සඳහාත් ඔවුන්ගේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමටත් උත්තර ධ්‍රැවයට විශේෂ වූ පිනි මුවන්ට ඇති කරනවා. තත්යානා පවුලට පිනි මුවන් 1500කටත් වඩා සිටිනවා. 

නෙන්ට්සි ජාතිකයින්ට ඇත්තේ දිගු ඉතිහාසයක්. 17 වන සිය වසේ රුසියානු අධිරාජ්‍යයට අවශ්‍ය වුනා සයිබීරියාව ගැන අධ්‍යයනය කරන්නට.  1696-1697 වසර වලදී රුසියානු ජාතික සෙමෙන් රෙමිසොව් නැමැත්තා රුසියානු රජය විසින් සයිබීරියාවට යවා සයිබීරියාවේ උතුරු ප්‍රදේශය ගැන අවශ්‍ය සිතියම් සකස් කරන්නට උපදෙස් දුන්නා.  රෙමිසොව්ගෙන් පසුව ඔහුගේ පුතාද මේ කාර්යය වෙනුවෙන් සයිබීරියාවේ සංචාරය කළා. අවසානයේදී ඔවුන් විසින් රුසියානු රජයට ඉදිරිපත් කල සිතියම් වල පවා පිනිමුවන් සමග සයිබීරියාවේ උතුරු කොටසේ ජීවත් වන විශේෂ ජන සමුහයක් ගැන සඳහන් වී තිබෙනවා.  මේ ජන සමුහය තමයි නිනේට්ස් නමින් හඳුන්වන්නේ.  පිනි මුවන් ඇති කිරීමට අමතරව ධීවර කර්මාන්තයෙන් සහ දඩයම් කිරීමෙන් මොවුන් තම ජීවනෝපාය ගෙනියනවා. 

“If you don’t drink warm blood and eat fresh meat,

you are doomed to die on the tundra”

නිනේට්ස් ජනයාගේ ජීවිතය පිනිමුවන් හා සම්බන්ධවයි පවතින්නේ.  ඔවුන්ගේ ජීවන රටාව, ආහාර රටාව මෙන්ම ඇඳුම් පැළඳුම්, භාණ්ඩ ප්‍රවාහනය සඳහාද පිනි මුවන්ගෙන් වෙන සේවය විශාලයි. කොතරම් පිනිමුවන් සිටියත් තමන්ට අයිති පිනිමුවන් එක්වරම ඔවුන්ගේ හැසිරීම් සහ රටාවන් අනුව හඳුනා ගැනීමට නිනේට්ස්වරුන්ට හැකිවෙනවා. 

පිනිමුවන්ගේ මස්, ලේ සහ මේදය බහුල වශයෙන් ඔවුන්ගේ ආහාර රටාව හා සම්බන්ධවයි පවතින්නේ.  පිනි මුවන්ගේ මස් ගව මස් හා සසඳන විට පෝෂ්‍ය ගුණයෙන් අඩු නිසාත් උත්තර ධ්‍රැවයේ දුෂ්කර කාලගුණ තත්වයත් නිසා පිනි මුවන් මස් වැඩි වශයෙන් අනුභව කිරීමට මේ ආදී වාසීන් පුරුදු වෙලා තිබෙනවා. 

එමෙන්ම නෙනේට්ස් වරුන් විශ්වාශ කරන්නේ පිනි මුවන් සහ ඔවුන් අතර සම්බන්ධය දෙවියන් විසින් ඔවුනට පිරිනැමූ ත්‍යාගයක් බවයි. පිනි මුවන් විසින් නෙනේට්ස්වරුන් හට ජීවත් වීමට අවශ්‍ය මස් සහ තෙල් එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා උපකාරී කරනවා මෙන්ම නෙනේට්ස්වරුන්ද ශීත කාලයේ සහ ගිම්හාන කාලයේ තම ජනාවශ වෙනස් කරමින් පිනිමුවන් හට අවශ්‍ය පරිසරය සකස් කර දී ඔවුනොවුන් අතර සම්බන්ධය ඇති කරනවා යන්න මේ විශ්වාශයයි. 

නිනේට්ස්වරුන්ගේ ආගම් ඇදහීම සම්බන්ධයන් ඇත්තේ දිගු ඉතිහාසයක්. ඔවුන් විශ්වාශ කරන්නේ අහස,ඉර, සඳ සහ පොලව වෙනුවෙන් පෙනී සිටින දෙවිවරුන්. මේ සෑම දෙවිවරුන් වෙනුවෙන් ශුද්ධ වූ පිනිමුවන් තම පිනිමුවන් රංචුවේ සිටිනවා. මේ පිනිමුවන් මස් සඳහා ඝාතනය කරන්නේ ඔවුන් බොහෝ වයසට පැමිනුනාට පසුව.  මේ දෙවියන් වෙනුවෙන්ම වෙන්වුණු සමහර ස්ථාන තුන්ද්‍රා වනාන්තරයේ දක්නට ලැබෙනවා. එමෙන්ම ලී වලින් නිපදවා ගත් කුඩා රූප වලටද ඔවුන් පුජෝපහාර දක්වනවා. 

මා දැන් ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ නෙනේට්ස්වරුන්ගේ සාම්ප්‍රදායික ක්‍රියාදාමයක් සම්බන්ධවයි.  ජීවත් වන පරිසරයේ ඇති දුෂ්කරතාවයත් වසරේ මාස් 9 කට වඩා පවතින ශීත කාලයත් නිසා ආහාර සපයා ගැනීම ගැන නෙනේට්ස්වරුන්ට විශේෂයෙන් හිතන්න වෙනවා. මස් පිණිස පිනිමුවන් ඝාතනය හා සම්බන්ධ ක්‍රියාදාමය හුදෙක් නෙනේට්ස්වරුන්ගේ දුෂ්කර ජීවිතයේ එක අංගයක් වන අතර ඒ ගැන පැහැදිලි කිරීමක් මේ කොටසෙන් සිදුවෙනවා. 

මෙහි ජායාරුප දැකීමට ඔබ අකමැතිනම් මෙතැනින්  ඔබට මේ කොටසට ඇතුලත් නොවී මගේ සටහනේ ඉතිරි කොටසට පිවිසෙන්නට පුළුවන්.

තුන්ද්‍රා වනාන්තරයේ ජීවත්වීම අපහසුයි. දුෂ්කරයි. ශීත කාලයේදී උෂ්ණත්වය සෙල්සියස්සෘ අංශක සෘන 50ක් පමණ වන අතර ගිම්හාන කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් පමණ වෙනවා.  මේ ශුෂ්ක කාලගුණය හා ජීවත් වන්නට ඔවුන්ගේ ආහාර රටාවට එක්වී ඇති පිනිමුවන් ගේ මස් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. 

තම කණ්ඩායමේ පිනි මුවෙක් තුවාල වී හෝ අසනීප වී සිටිත් නම් ඒ පිනිමුවා මරා දමා ඒ සතාගේ මස් ලේ අස්ථි සහ හම් ප්‍රයෝජනයට ගැනීමට නිනේට්ස්වරුන් කිසිම විටෙක පසුබට වෙන්නේ නැහැ.  ඒ යම් විදිහකින් පිනිමුවා මියගියයින් පසුව එවැනි අවස්ථා සියල්ලම මඟ හැරී යන බැවින්.

​තම පවුලේ පරිහරණය උදෙසා පිනිමුවෙක් ඝාතනය කිරීම නිනේට්ස්වරුන් හට උත්සවයක් මෙන්ම යම් අන්දමකින් ආගමික ක්‍රියාදාමයක්. මේ සංචාරයේදී මෙවැනි විරල අවස්ථාවකට සහභාගී වන්නට අපිට අවස්ථාව ලැබුනා. 

මේ අවස්ථාවට පවුලේ කුඩා දරුවන් කාන්තාවන් මෙන්ම සියල්ලම වාගේ සහභාගී වෙනවා. සම්ප්‍රදායයක් හැටියට ඊසාන දිසාව බලා තෝරා ගත් පිනි මුවා ඝාතනය කරනවා. 

මේ ක්‍රියාදාමයේ වැදගත්ම අවස්ථාව වන්නේ කුඩා දරුවන් සහ පවුලේ සියලු දෙනාම එක්වී පිනිමුවාගේ අමු මස් කමින් රුධිරය පානය කිරීමයි. නිනේට්ස් වරුන් පවසන්නේ පිනි මුවාගේ රුධිරය පෝෂ්‍ය ගුණයෙන් සමන්විත නැවුම් ආහාරයක් බවයි. 

ඉතුරු වන මස් සහ ලේ පිනිමුවාගේ හම් වලින් සෑදු බෑගයකට දමා දින කිහිපයක් පොලව යට වලලා තබා නැවත ආහාරයට ගැනීමක්ද සිදු කරනවා. 

පිනිමුවාගේ අස්ථීන් ආයුධ සෑදීමට පාවිච්චි කරන අතර හම් වලින් අවශ්‍ය ඇඳුම් මෙන්ම චුම් කුඩාරම සෑදීමටද උපකාරී කර ගන්නවා. 

Nenets Costumes - on the edge of the world

සමහර ජායාරුප - calvertjournal.com සහ gazprom.ru

නෙනේට්ස් වරුන්ගේ ඇඳුම්ද නිර්මාණය වී තිබෙන්නේ පිනිමුවන්ගේ හම් වලින්. කාන්තාවන් අඳින යාගුෂ්කා නමැති ඇඳුම නිර්මාණය සඳහා අවම වශයෙන් පිනිමුවන් 8 දෙනෙක්ගේ හම් අවශ්‍යයි.  මලිට්සා නමින් හඳුන්වන්නේ පිරිමි නෙනේට්ස්වරුන්ගේ සාම්ප්‍රදායික ශීත සෘතුවට අඳින ඇඳුම. මේ සඳහාද පිනිමුවන් 4 දෙනෙකුගේ පමණ හම් අවශ්‍ය වෙනවා. 

DSC_0689_edited.jpg

නෙනේට්ස්වරුන් ආගමික විශ්වාශයන්  වශයෙන් පිනිමුවාගේ අස්ථීන් හෝ ලී වලින් සාදන ලද කුඩා බෝනික්කන් සිය චුම් කුඩාරම තුලා තබා ගෙන සිටිනවා. මාසයකට වරක් පමණ මේ කුඩා බෝනික්කන්ව පිනිමුවන්ගේ රුධිරයෙන් හෝ වොඩ්කා වලින් නහවනවා.  මේ කුඩා පිළිරූ මගින් බාහිර උවදුරු වලින් ඔවුන් ආරක්ෂා කර ගන්නා බවට විශ්වාශයක් ඔවුන් තුල තිබෙනවා. අපේ කණ්ඩායම පැමිණි අවස්ථාවේ අප අසල මෙවැනි පිළිරුවක් තබා ගෘහ මුලිකාව පැවසුවේ ඔවුන් සමග වාසය කරන දිනය තුල කිසිම උවදුරකින් අපට අනතුරක් නොවීමට මේ පිළිරුව ක්‍රියා කරන බවයි. 

​මීටත් අමතරව පිනිමුවන් කරත්තද ඔවුන් සෑම මාසයකටම වතාවක් පිනිමුවාගේ රුධිරයෙන් නහවා ආරක්ෂාව පතා සිටිනවා. 

Crater at the End of the World - ලෝකාන්තයේ ආවාටය 

නෙනේට්ස්වරුන්ගේ භාෂාවෙන් යමාල් නමින්  හඳුන්වන්නේ ලෝකයේ කෙළවර යන තේරුම. පසුගියදා මේ යමාල් අර්ධද්වීපයේ නෙනේට්ස්වරුන් හමුවීමට ගිය පිරිසකට හමුවූ අරුම පුදුම ආවාටයක් ගැන අද ලෝකය පුරා කතා බහට ලක් වෙනවා.  මීටර් 75ක් පමණ පළල ඒ වගේම මීටර් 70ක් පමණ ගැඹුරු මේ ආවාටය මිනිස් ඇසක් නොගැටුණු තුන්ද්‍රා වන්නාතරයේ ඇතිවුනේ කොහොමද යන්න අදටත් බලවත් ප්‍රශ්නයක්. මේ හේතුව නිසාම පසුගියදා රුසියානු රජය විශේෂ ගවේෂණ කණ්ඩායමක් මේ ගැන පරීක්ෂණ පවත්වන්නට ඒ ප්‍රදේශයට යවා තිබෙනවා. 

වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි ජීවීන් පිරිසක් විසින් ඇති කරන ලද ආවාටයක්ද එසේත් නැතිනම් පොලවේ යම් විපර්යාසයක් නිසා ඇතිවූ ආවාටයක්ද කියා තවමත් ස්ථිර නිගමනයකට එන්නට ගවේෂණ කණ්ඩායමට හැකිවී නැහැ.  ඕවල් හැඩයක් ගන්නා මේ ආවාටයේ පතුල අයිස් තට්ටුවකින් වැසී තිබෙන අතර අවාටයේ බිත්ති වල යම් යම් සලකුණු දක්නට ලැබෙනවා. 

ආවාටයෙන් 2/3ක් පමණ දියවී වැටුණු හිම හා වැසි ජලයෙන් පිරී තිබුණු අතර විශේෂ සංවේදක උපකරණ ආවාටයේ පතුළට බස්වා පිරික්සීමට පියවර ගනු ලැබුවා. මෙයින් හෙළිවී ඇත්තේ ආවාටය තවදුරටත් ප‍්‍රසාරණය වෙමින් පවතින බවයි.

ගවේශකයින් විසින් රැගෙන ආ අයිස් සහ පස් සාම්පල අද මොස්කව් නගරයේ දී පරීක්ෂා වලට ලක් වෙනවා.  දැනට සඳහන් වන අන්දමට මේ අවාටයට එතරම් වයසක් නැහැ.  මෙයද භූගත වායු සංචිත නිකුත් වීම මගින් නිර්මාණය වන්නට ඇතැයි රුසියානු විද්‍යාඥයින් පවසනවා. ඉතාමත් කලාතුරකින් පමණ ඇතිවන මේ ස්වාභාවික විපර්යාසය නිසා යමාල් අර්ධද්වීපයේ කාලගුණික තත්වයන් ගැන විමසිල්ලෙන් සිටින විද්‍යාඥයින් තම කනස්සල්ල පල කරනවා.  මේ අර්ධද්වීපයේ සිදු කෙරෙන ගෑස් කැනීම් මේ විපර්යාසයට බලපාවාදයි යන්න තවමත් හරියටම නිගමන කර නැහැ.  හැබැයි මේ ප්‍රදේශයේ ජීවත් වන ආදී වාසීන් නම් පවසන්නේ මෙවැනි විපර්යාසයන් ඇති වන්නේ නව රුසියානු රජය විශාල වශයෙන් ගැස් සපයා ගැනීම වෙනුවෙන් කෙරෙන පරීක්ෂණ සහ කැනීම් නිසා බවයි.  මේ ගෑස් නල සහ කැනීම් නිසා නෙනේට්ස් වරුන්ගේ ශීත සහ ගිම්හාන කාල වලදී පිනිමුවන්සි සමග සිදු කෙරෙන සංක්‍රමණ වලට බාධා වන බව නෙනේට්ස්වරුන් පවසන්නේ දැන් බොහෝ කාලයකට පෙර සිටම.  තව දුරටත් මේ ක්‍රියා දාම නොනවත්වා පැවතගෙන ගියහොත් ශත වර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇති නෙනේට්ස්වරුන් උත්තර ධ්‍රැවයෙන් විනාශ වී යන්නට ඉඩ ඇතිබව ඔවුන් පවසනවා. පිනිමුවන් හා සම්බන්ධව තම ජීවිතය ගත කරන මේ නෙනේත්ස්වරුන් අද මුහුණ පා තිබෙන මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් දෙන්නට රුසියානු රජය තවමත් අසමත් වෙලා තිබෙනවා.  මේ වෙනුවෙන්ම රුසියානු රජය විශේෂ ආයතනයක් යමාල් අර්ධද්වීපයේ ආරම්භ කර තිබෙනවා. 

70 දශකයේ ආදරවන්තයින් වෙනුවෙන්.....Memorial Romantikam 70-h yearling

70 දශකයේදී සෝවියට් රජය තීරණය කළා උත්තර ධ්‍රැවයේ සම්පත් රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට. නමුත් අධික දුෂ්කර කාලගුණ තත්ත්ව යටතේ ඒ කාර්යය ලෙහෙසි පහසු වුනේ නැහැ. එයට පිලියමක් වශයෙන් රටේ කොමියුනිස්ට් තරුණ පරම්පරාවට සෝවියට් රජය ආරාධනා කල උත්තර ධ්‍රැවයේ යමාල් අර්ධද්වීපයට ගොස් තම තරුණ ජවය උරගා බලමින් මව් බිමේ ආර්ථික තත්වය ගොඩ නගන්න. මේ වෙනුවෙන් විශේෂ දීමනා සහ නිවාස පහසුකම් තරුණ කොමියුනිස්ට් ශ්‍රමිකයන් හට පිරිනැමුණා.  ඒ කාලයේදී බොහෝ තරුණ තරුණියන් මේ වෙනුවෙන් උත්තර ධ්‍රැවයට පැමිණුනා. 

එදා උත්තර ධ්‍රැවයට පැමිණුනු මේ පිරිස් අද ජීවිතයේ සැන්දෑ සාමය ගෙවනවා.  මොවුන් වෙනුවෙන් සලිහාර්ඩ් නගරයේ ගොඩනැගී ඇති සිහිවටනයයි මේ. 

අද රුසියාවේ ආර්ථිකය රඳා පවතින ගෑස් ආකාර හඳුනා ගන්නට දුෂ්කර කාලගුණ තත්වයක් යටතේ තම ජීවිතයේ තරුණ කාලය වැය කල සෝවියට් පුරවැසියන් අදත් සිහිපත් කරන තවත් විශේෂ ස්ථානයක් මේ යමාල් අර්ධද්වීපයේ තිබෙනවා. 

ආදරවන්තයින්ගේ හිම කඳු වැටිය නමින් මේ ස්ථානය හඳුන්වනවා. 

​අපේ මීළඟ ඉලක්කය වුනේ ලෝකාන්තයේ කෙළවර ඇති මේ ආදරවන්තයින්ගේ හිම කඳු වැටිය තරණය කිරීම.

ආදරවන්තයින්ගේ හිම කඳු වැටියේ සුන්දරත්වය 

Stunning beauty inside mysterious North Pole Glacier Romantikov

උත්තර ධ්‍රැවයේ තුන්ද්‍රා වන්නාන්තරය හරහා තවත් කි.මී. 100ක් පමණ දුර ගිය විට අපට හමු වුනේ ආදරවන්තයින්ගේ හිම කඳු වැටිය.  මුහුදු මට්ටමේ සිට මීටර් 800ක් පමණ උස මේ හිම කඳු වැටිය ඉතා දර්ශනීය ආකාරයෙන් දිස් වෙනවා.  එදා 70 දශකයේ උත්තර ධ්‍රැවයට රන් කහවනු සොයා පැමිණි තරුණ පරම්පරාවේ එක විනෝදාංශයක් වුයේ මේ හිම කන්ද තරණය කිරීම.  ඒ නිසා තමයි මේ කන්දට ආදරවන්තයින්ගේ හිම කඳු වැටිය යන නම වැටුනේ. 

වාහනයකින් පැමිණිය හැකි උපරිම දුර පැමිණුනත් එතැන් සිට පැය 3ක් පමණ කන්ද නගින්නට සිදුවුනා. ගිම්හාන කාලයේ ආරම්භය නිසා හිම ටිකෙන් ටික දියවී යමින් පවතිනවා. 

ආදරවන්තයින්ගේ හිම කන්ද තරණය කරත්දී අපට හැම වෙලාවෙම දැනුනේ හිම කන්දේ මුදුන තිබෙන්නේ තව ටිකක් එහායින් කියලා. නමුත් පැයක ගමනකින් පස්සෙත් අපිට පෙනුනේ ඒ දුර ඒ ආකාරෙන්ම තිබෙන බවයි.  අපේ සංචාරක කණ්ඩායමේ රුස්ලාන් පවසන්නේ උත්තර ධ්‍රැවයේ ඇසට පෙනෙන මායිම් වල දුර ප්‍රමාණයන් ගැන නිගමනයකට ඒමට ඉතා අපහසු බවයි.

යමාල් අර්ධද්වීපයේ පිරිසිදුම ජලය ඇති දිය උල්පත් කිහිපයක් අපිට මේ ගමනේදී හමු වුනා. 

විශාල ගල් සහ අයිස් අතරින් කන්ද නැගීම ලෙහෙසි නැහැ. සෑම විනාඩි 15 කටම වරක් විනාඩි කිහිපයක විවේකයක් අපට ලැබුනා.  ශීතල මෙන්ම අධික හිරු රශ්නයද ගමනට බාධාවක් වුනා. 

විශාල ගල් සහ අයිස් අතරින් කන්ද නැගීම ලෙහෙසි නැහැ. සෑම විනාඩි 15 කටම වරක් විනාඩි කිහිපයක විවේකයක් අපට ලැබුනා.  ශීතල මෙන්ම අධික හිරු රශ්නයද ගමනට බාධාවක් වුනා. 

නමුත් අවසානයේදී සියලු බාධක ජය ගනිමින් පැය 3 කටත් අධික කාලයක් වැය කරමින් දර්ශනීය ආදරවන්තයින්ගේ හිම කන්දේ මුදුන  වෙත ලඟා වුනා. 

ගිම්හාන කාලයේදී මේ ආදරවන්තයින්ගේ කන්ද ගිම්හාන කාලයත් ශීත කාලයත් එකට එකතු වන සන්ධිස්ථානයක් ලෙස හඳුන්වනවා. එක පැත්තකින් සෙල්සියස් අංශක සෘණ 10 ක  පමණ උෂ්ණත්වයේ තිබෙන අයිස් තට්ටුවත් අනික් පැත්තෙන් සෙල්සියස් අංශක ධන 20 ක පමණ අවු රශ්මියෙන් දිලිසෙන ගල් සහිත පරිසරය. දක්නට ලැබෙන දර්ශනය චමත්කාරජනකයි.

උත්තර ධ්‍රැවයේ නිමක්හි නැති හිම කඳු අතරේ එක හිම කන්දක මුදුනේ ලොව පිරිසිදුම ජලය එකතු වී සෑදී ඇති මේ ආදරවන්තයින්ගේ හිම කන්ද යමාල් අර්ධද්වීපයේ මෙන්ම රුසියාවේ විශාල ස්වාභාවික සම්පතක්.  මේ හිම කන්ද නැරඹීමට යාමට රුසියානු රජයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතුව තිබෙනවා. 

මේ කන්ද තරණය කරන්න හොඳම කාලය ජුනි මාසය.  ගිම්හානයේ සහ ශීත කාලයේ සංකලනය ඔබට දිස් වෙන්නේ මේ කාලයේදී. හිම හිම කන්දේ මුදුනේ විලේ ඇති ජලය කොළ පාටින් හිරු රැස් වැටී බැබලෙනවා. සමහර අවස්ථා වලදී නිල් පැහැයෙනුත්, සැන්දෑ කාලයේ අළු පැහැයෙනුත් දිස් වන මේ විල පැය 3ක් පමණ දුෂ්කර ගමනකින් පසු දැනෙන විඩාව එක මොහොතකින් නිවාලනවා. 

North Pole Glacier Romantikov - Yamal's Frozen Wonderland

Climate change in Russia's Arctic tundra

මුළු ලෝකයේම වැඩිපුරම ගෑස් නිධි පිහිටලා තිබෙන්නේ මේ උත්තර ධ්‍රැවයේ යමාල් අර්ධද්වීපයේ.  රුසියාවේ ආර්ථික ශක්තියෙන් හරි අඩකටත් වඩා රඳා පවතින්නේ මේ ස්වභාවයෙන් ලත් දායාදය මත.  ගෝලීය උෂ්ණත්වය ඉහල යාම නිසා අද මේ පෙදෙස් දරුණු පාරිසරික තර්ජනයන්ට මුහුණපාලා තිබෙනවා. 

සෑම වසරකම ශීත සමයේ ආරම්භයේදී උත්තර ධ්‍රැවයේ ආදී වාසීන් තම පිනිමුවන් කණ්ඩායම්ද රැගෙන ප්‍රසිද්ධ ඔබ් නදිය තරණය කරමින් යමාල් අර්ධද්වීපයේ දකුණු දිශාවන්ට සංක්‍රමණය වෙනවා. මෙය කාලාන්තරයක් තිස්සේ එනම් වසර දහස් ගණනක් තිස්සේ පැවතගෙන ආ සම්ප්‍රදායයක්.  පිනි මුවන්ගේ සහ මේ ආදී වාසීන්ගේ ජීවිත රඳා පවතිනේ මේ සංක්‍රමණයන් නිසා වෙනස් වන පරිසරයන්ගෙන් ලැබෙන ආහාර නිසා.  රුසියාවේ ගෑස් නිධි නිසා මේ සංක්‍රමනයටද දැඩි බාධා එල්ල වෙලා. මේ ගෑස් නිධි වල කැනීම් කටයුතු නිසා අධික වශයෙන් කාබන් මොනොක්සයිඩ් වායුව වායු ගෝලයට මුදා හැරෙනවා.  ඒ නිසාම මේ ප්‍රදේශයේ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමක්ද සිදුවෙමින් පවතිනවා. මේ නිසා පසුගිය වසරේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ ඔබ් නදිය හරහා සිදුවිය යුතු සංක්‍රමණය දෙසැම්බර් මාසය දක්වා කල් තබන්නට සිදුවුනා. ඒ උෂ්ණත්වය අධික වීම නිසා ඔබ් නදියේ හිම තට්ටුව අවශ්‍ය මට්ටමට ඝන නොවීම. අතීතයේ සෑම ශීත සමයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක -50 දක්වා පහල ගියත් වර්තමානයේ එය සෙල්සියස් අංශක -30 දක්වා පමණයි පහත වැටෙන්නේ.

 

"මේ තත්වය අපේ පිනිමුවන්ට දැඩි ලෙස බලපානවා. ඒ කියන්නේ අවසානයේදී එය බලපාන්නේ අපේ ජනතාවට. ඒ අපේ ජීවිත පිනි මුවන් මත රඳා පවතින නිසා." අපි පැමිණුනු චුම් කුඩාරමේ හිමිකාරිය මෙසේ පැවසුයේ දුක්මුසු හඬකින්.  

රුසියානු රජය පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ලෝකයේ අනික් ප්‍රදේශ වල වැඩිවන ආකාරයට වඩා වැඩි වේගයකින් රුසියාවේ උත්තර ධ්‍රැවය ප්‍රදේශයේ වැඩිවන බවයි.  "ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 4ක් වැඩි වුවහොත් එහි බලපෑම සිතා ගත නොහැකි තරම් කනගාටුදායක වන බවයි ඔවුන් තව දුරටත් පවසන්නේ. උත්තර ධ්‍රැවයේ සියලුම නගර මඩ ගොහොරු බවට පත්වී ජන ශුන්‍ය පෙදෙස් බවට පත් වන කාලය වැඩි ඈතක නොවේ." මෙසේ පවසන්නේ යමාල් අර්ධද්වීපයේ මේ ප්‍රශ්නය වෙනුවෙන් හඬ නගන සංවිධාන. 

පසුගිය කාලය තුල මා සහභාගී වූ සංචාර වලින් කිසි දිනෙක අමතක නොවන සංචාරයක් මේ උත්තර ධ්‍රැවයට කල සංචාරය.  සලිහාර්ඩ් නගරය, දර්ශනීය ආදරවන්තයින්ගේ හිම කඳු වැටිය සහ නෙනේට්ස් වරුන්ගේ ජන්ම භූමියට ගිය ගමන සදා කල්හිම අපේ හිත්වල තියේවි. නැවත සලිහාර්ඩ් නගරයට පැමිණෙන්නට බුහාන්කා රථයට නගිත්දී චුම් කුඩාරමේ හිමිකාරිය පැවසූ වදන් එලෙසම ඉෂ්ට වේවා යයි අපි ප්‍රාර්ථනා කළා.  "පිනි මුවන් කියන්නේ අපේ ජීවිතය. අපේ ආහාරය. අපේ නවාතැන. අපිට හැමදාම මේ ජීවිතේ ගෙනියන්න ඉඩ ලැබේවි. ඒ අපේ බලාපොරොත්තුව."

මේ සටහන ටිකක් දිගයි. ඒ වුනත් මේ උත්තර ධ්‍රැවයේ සුන්දරත්වය, ජීවිතයේ එක වරක් පමණක් දැක ගත හැකි විඳ ගත හැකි ස්වාභාවික සෞන්දර්යය, එහි ජීවත් වන නෙනේට්ස්වරුන්ගේ ජීවිතය හා බැඳුනු ක්‍රියාවලියන් ඔබටත් පහදලා දීල ඔබත් සමග හදවතින්ම ඔවුන්ට සුභ ප්‍රාර්ථනා කරන්න දැන් අපිට පුළුවන්. 

නැවත මොස්කව් නගරය බලා එන්නට යමාල් ගුවන් සේවයට අයත් ගුවන් යානයට පිවිසුනේ බලවත් කණගාටුවකින්. දින 5ක් තිස්සේ අප දුටු අත්විඳි ඒ සුන්දර දර්ශන සහ අත්දැකීම් මෙතැන් සිට මතක සටහන් බවට පත්වන නිසා.  ගුවන් යානයේ කවුළුවෙන් දිස් වන කොළ පැහැති යමාල් අර්ධද්වීපයේ තුන්ද්‍රා වනාන්තරයේ බිම් තීරු අපේ දෑසින් ඉවත්ව යත්දී ගුවන් සේවිකාවන් උදෑසන ආහාරය වශයෙන් පිනි මුවන් මස් ලබා දුන්නේ අපිව පුදුමයට පත් කරමින්. 

වසර දහස් ගණනක් තිස්සේ උත්තර ධ්‍රැවයේ යමාල් අර්ධද්වීපයේ ජීවත් වන ආදී වාසීන් ගේ භුමිය තුල ඔවුන්ගේ ජීවන පරිසරයට හානිවෙන අන්දමින් නොයෙකුත් කාර්මික සංවර්ධන කටයුතු නොකළ යුතුයි යන අදහස අද වෙනදාටත් වඩා මතු වෙමින් පවතිනවා. එසේ නොකළහොත් එහි පල විපාක විඳින්නට සිදුවන්නේ එහි ජීවත්වන ජනතාවට පමණක් නොවේ.  එය මුළු ලොවේම අනාගතය තීරණය කරන සාධකයක් වේවි. කිසිම වන්දි මුදලකින් ඒ සිදුවන හානිය ලෝකයට වලක්වා ගන්නට බැරිවේවි.  

රොහාන් ඩිරෙක්ස් 

සංචාරය කලේ 2016 ජුනි මස 

info@sanchara.lk

සංචාරක කණ්ඩායම - අනස්ටාසියා සහ ව්ලදිමීර් හර්ලම්පොව්, රුස්ලාන් (රුසියාව), ගෙර්මන් හෙන්ද්‍රික් (යමාල්) Anastasia & Vladimir Kharlampov, Ruslan (Russia) , German Hendrik (Yamal Region)

උත්තර ධ්‍රැවය සංචාරයේ සංවිධාන කටයුතු සඳහා උපකාර කල රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමාට සහ Anastasia Kharlampova අනස්ටාසියා හර්ලම්පොවා මහත්මියට මගේ ස්තුතිය

  • මාකි ගම්මානයේ බොහොමයක් දෙනා අත AK-47තුවක්කු දක්නට ලැබුනා. අතීතයේ ඔවුන් ආයුධ වශයෙන් පාවිච්චි කල රිටි සහ මුගුරු වෙනුවට දැන් AK-47 ඇවිල්ලා. මුර්සි ජාතිකයින් ජීවත් වෙන්නේ බොහෝ විට ගව පාලනයත් සමග. යාබද රටවල් වල තිබෙන දේශපාලන අවිනිශ්චිතභාවය නිසා, විශේෂයෙන් සුඩානයේ සහ කෙන්යාවේ, ගවයන් කිහිප දෙනෙකුට හුවමාරු වශයෙන් AK-47 තුවක්කු ලබා ගැනීමට හැකිවී තිබෙනවා.

    ETHIOPIA TRAVEL

    DSC_0021_edited.jpg
  • වොල්ගා නදිය හැමදාමත් ගලා ගියේ එකම විදිහට. කිසිම වේගයක් නැති වතුර එක තැන කැරකෙන බවයි එම්මා ට දැනෙන්නේ. හැමදාමත් උදෑසන වොල්ගා නදිය ඉවුරට වෙලා ගඟ දිහා බලා ඉන්න එක එම්මාගේ පුරුද්දක්. මුහුදක් කියලා ලොකු පොකුණක් මේ ලෝකයේ කොහේ හරි තියෙනවා කියලා ගමේ වැඩිහිටි උදවිය කියනවා ඇය අහලා තිබෙනවා. වොල්ගා නදියටත් වඩා විශාල ජල කන්දරාවක්.  එම්මා ට හිතා ගන්නවත් බැහැ.

    RUSSIA TRAVEL

  • චෙච්නියාව කියන වචනය ඇසුවාම විදේශ සංචාරකයින්ගේ ඇඟ කිලිපොලා යනවා. රුසියාවත් චෙච්නියාවත් අතර වසර ගණනාවක් තිස්සේ පැවතුනු බිහිසුණු යුද්ධය නිසා රුසියානු ජාතිකයෙක්වත් චෙච්නියාවේ සංචාරයකට යන්නේ කලාතුරකින්.  චෙච්නියානු බෙදුම්වාදීන් වරක් මොස්කව් නුවර සංදර්ශන ශාලාවක සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීමේ සිද්ධිය රුසියාවට කවදාකත් අමතක වෙන්නේ නැහැ.

    RUSSIA TRAVEL

    822633_86a67bba86f44978b11242d44725bd92.
  • එන්න මාත් සමග. ජීවිතයේ කිසිම දිනෙක දැන ගන්නට නොලැබෙන දැක ගන්නට නොලැබෙන යන්නට නොලැබෙන ඔබ කිසිම දිනෙක විශ්වාශ නොකරන නින්දුනීසියාවේ ජාකර්තා නුවරට කි.මී.1500ක් දුරින් තිබෙන සුලාවෙසි දුපතේ ජීවත් වන ටෝරාජා නමින් හඳුන්වන ජන කණ්ඩායමේ ජන ජීවිතයේ පුදුම සහගත විවිධත්වය සොයා යන්නට. 

  • උත්තර ධ්‍රැවයට...

    නෙන්ට්සි ජාතිකයින්ට ඇත්තේ දිගු ඉතිහාසයක්. 17 වන සිය වසේ රුසියානු අධිරාජ්‍යයට අවශ්‍ය වුනා සයිබීරියාව ගැන අධ්‍යයනය කරන්නට.  1696-1697 වසර වලදී රුසියානු ජාතික සෙමෙන් රෙමිසොව් නැමැත්තා රුසියානු රජය විසින් සයිබීරියාවට යවා සයිබීරියාවේ උතුරු ප්‍රදේශය ගැන අවශ්‍ය සිතියම් සකස් කරන්නට උපදෙස් දුන්නා. 

    RUSSIA TRAVEL