• Facebook - Black Circle
  • YouTube - Black Circle
  • Instagram - Black Circle

වර්ෂය 1918. දිනය මාර්තු මස 10 වැනිදා, ස්ථානය - පෙට්‍රෝග්‍රාඩ් නගරය (දැන් පීටර්ස්බර්ග් - ලෙනින්ග්‍රාඩ්) 

පෙට්‍රෝග්‍රාඩ් නගරයට ආසන්නව තිබෙන කුඩා දුම්රිය ස්ථානයක් වටා සෝවියට් හමුදාවන් අති විශාල පිරිසක් රැස්වී සිටියා. ඒ ප්‍රදේශය සාමාන්‍ය ජනතාවට තහනම් ප්‍රදේශයක් බවට පත් වී තිබුනා. කිසිම කෙනෙක් දැන ගෙන සිටියේ නැහැ සිද්ධ වෙන්නේ කුමක්ද කියා.

​නමුත් ඊට දින කිහිපයකට පෙර පුවත් පත් කිහිපයක් සඳහන් කර තිබුනා සෝවියට් රජයේ මුලස්ථානයේ පෙට්‍රෝග්‍රාඩ් නගරයේ සිට මොස්කව් නගරය දක්වා ගෙන යන බව. සෝවියට් රජය එයට පිළිතුරු වශයෙන් කියා සිටියේ එය අසත්‍ය ප්‍රචාරයක් බව. 

Паровозы С.245, С.227 и С.255 на фотографии Л. Амурского «Чугунная тройка»

1918 මාර්තු මස 18 වැනිදා රාත්‍රී 10 ට මේ කුඩා දුම්රිය ස්ථානයෙන් එක විශේෂ දුම්රිය  කිහිපයක් මොස්කව් නගරය වෙත ගමන් ආරම්භ කළා. 4001 නමින් හඳුන්වනු ලැබූ ඒ දුම්රිය ආරක්ෂා කිරීමට විශේෂ සන්නද්ධ භටයන් 200ක් කැඳවා තිබුනා. මේ දුම්රියේ සිටියේ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින් ඇතුළු දුත කණ්ඩායම. 

පෙට්‍රෝග්‍රාඩ් නගරයේ සිට මොස්කව් නගරය දක්වා දුම්රිය ගමනට එක් දිනක් ගත වුනා. මොස්කව් නගරයට පැමිණුනු දුම්රියේ සිටි පුද්ගලයින් සියලු දෙනාම මොස්කව් දුම්රිය ස්ථානයේ සිට පැමිණුනේ ක්‍රේම්ලිනය වෙත.  ඒ මොහොතේ සිට සෝවියට් දේශයේ නව අගනුවර ලෙස මොස්කව් නගරය ක්‍රියාත්මක වන බව ලෙනින් ලෝකයට දැනුම් දුන්නා. 

Photo - RIA Novosti-Репродукция фотографии. © / П.А. Оцуп /    РИА Новости

ව්ලැදිමීර් ලෙනින්, ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ නියමුවා, සෝවියට් දේශයේ නිර්මාතෘවරයා. මේ වසරේ අප්‍රේල් මස 22 වැනිදා රුසියානු ජනතාව සැමරුවේ ලෙනින්ගේ 148 වෙනි ජන්ම දිනය. රුසියානු ජනතාව  සැමරුවා යන කොටස මේ ලිපියට එතරම් සුදුසු නැහැ කියලා මට සිතෙනවා. එයට හේතුව කොමියුනිස්ට් පක්ෂයේ වෙබ් අඩවිය සහ නිල පුවත් පතේ හැරෙන්නට වෙනත් කිසිම පුවත් පතක මේ ගැන සඳහනක් තුබුණේ නැහැ. 

​2015 වසරේදී කල මත විචාරනයකදී රුසියානු ජනතාවෙන් 31%ක් ප්‍රකාශ කර තිබුනේ ලෙනින් ගැන ගෞරවාන්විතව සිතන මුත් ඔහුගේ මාවතේ යාමට සුදානම් නොමැති බවයි. 18%ක් පමණයි ප්‍රකාශ කලේ ලෙනින් අවංකවම රුසියාව නව ලොවක් කරා රැගෙන යාමට පදනම දැමු බව. 18%න් වැඩි ප්‍රමාණයක් රුසියානු විශ්‍රාමික ජනතාව. 

gaz5_edited.jpg

සෝවියට් දේශය බිඳ වැටුනේ 1991 වසරේ. වර්තමාන රුසියාව ලෙනින්ගේ ප්‍රතිපත්තීන් වලින් බැහැරව කටයුතු කරන්නේ. රුසියාව තව දුරටත් සමාජවාදී රටක් නොවේ. මොස්කව් නුවර රතු චතුරශ්‍රයේ පිහිටා තිබුණු ලෙනින් කෞතුකාගාරයට පසුගිය දිනෙක මා පිවිසුනා. එය වර්තමානයේ හැඳින්වෙන්නේ රුසියානු රාජ්‍ය කෞතුකාගාරය වශයෙන්. 

​ලෙනින් සම්බන්ධයෙන් කිසිම සටහනක් හෝ අවම වශයන් ජායාරුපයක්වත් මේ කෞතුකාගාරයේ නැහැ. මා මේ ගැන කෞතුකාගාරයේ සේවකයෙක් ගෙන් විමසු විට ඔහු පැවසුවේ 1991 වසරේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග ලෙනින් කෞතුකාගාරය වසා දැමු බවත් කෞතුකාගාරයේ තිබු සියලුම භාණ්ඩ ගබඩාවක රඳවා ඇති බවත්. 

"නමුත් ඔබට අවශ්‍ය නම් ලෙනින් පරිහරණය කල රෝල්ස් රොයිස් මෝටර් රථය මේ කෞතුකාගාරයෙන් පිටවන දොරටුව අසල ප්‍රදර්ශනය කෙරෙනවා." සේවකයා පැවසුවා.  ජායාරුපයෙන් පෙනෙන්නේ ඒ මෝටර් රථය.

ලෙනින් මිය ගියේ 1924 වසරේ. ලෙනින්ගේ අවසාන වසර කිහිපය ඔහු ගත කලේ මොස්කව් නගරයට ආසන්නව ඇති ගෝර්කි නමින් හඳුන්වන විශාල මන්දිර සංකීර්ණයක. මේ මන්දිර පිහිටා ඇත්තේ දර්ශනීය පෙදෙසක. 

​1918 වසරේ ලෙනින් ඇතුළු පිරිස පෙත්රෝග්රාඩ් නගරයේ සිට මොස්කව් නගරයට පැමිණීමෙන් පසුව ලෙනින් සහ ඔහුගේ බිරිඳ කෘප්ස්කායා සඳහා මේ ගෝර්කි මන්දිර සංකීර්ණය සෝවියට් රජය විසින් අත්පත් කර ගනු ලැබුවා. එට පෙර මේ මන්දිර සංකීර්ණය අයිතිව තිබුනේ සිනයිඩා නමැති ධනවත් කාන්තාවකට. 

ගෝර්කි මන්දිර සංකීර්ණය සහ උද්‍යානයේ පිහිටා ඇති මේ මන්දිරයේ තමයි ලෙනින් තම අවසාන කාලය ගත ප්‍රධාන වශයෙන් ගත කලේ. 

මෙහි ඇති තවත් එක මන්දිරයක මොස්කව්  ක්‍රෙම්ලිනයේ ලෙනින් වැඩ කල කාර්යාලය, ඔහුගේ පෞද්ගලික කාමර සහ උපකරණ ප්‍රදර්ශනය කරනවා. මේ  ක්‍රෙම්ලිනයේ ලෙනින්ගේ කාර්යාලය. 

මේ සටහනින් දැක්වෙන්නේ එදා 1917-1924 වසර වලදී ලෙනින්ගේ කාර්යාලය සහ අනිකුත් කාමර මොස්කව් ක්‍රෙම්ලින් මන්දිරයේ පිහිටා තිබුණු ස්ථානය. 

ස්ථානය වෙනස් වුවත් ප්‍රදර්ශනය වන්නේ දැන් ගෝර්කි මන්දිර සංකීර්ණයේ ප්‍රදර්ශනය වෙන්නේ එදා ලෙනින් පරිහරණය කළා ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ. වසර කිහිපයක උත්සාහයක ප්‍රතිපලයක් වශයෙන් ගෝර්කි පාලන මඩුල්ලට හැකියාව ලැබුනා රුසියානු රජයෙන් අවශ්‍ය ප්‍රතිපාධන ලබා ගන්නට මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කරන්නට. 

1917-1922 වසර වල ක්‍රෙම්ලිනයේ ලෙනින්ගේ රැස්වීම් ශාලාවද අද ගෝර්කි මන්දිර සංකීර්ණයේ ප්‍රදර්ශනය වෙනවා. එදා  ට්‍රොස්ට්කි (Leon Trotsky), ස්ටාලින් (Joshep Stalin) සහ දෙර්ශින්ස්කි (Felix Dzerzhinsky) කේ.ජී.බී. ඔත්තු සේවයේ නිර්මාතෘ ලෙනින් සමග සෝවියට් දේශය ගොඩ නැගීමට එක් රැස් වුනේ මේ රැස්වීම් ශාලාවේදී. 

මේ ඉතිහාසගත ආසනයත් මේ ස්ථානයේ ප්‍රදර්ශනය වෙනවා. මේ සොවියට් දේශය පාලනය කල ලෙනින්, ස්ටාලින් සහ නිකීතා කෘෂෙව් යන නායකයින් එදා ක්‍රෙම්ලිනයෙදී භාවිතා කල ප්‍රධාන කාර්යාල ආසනය.

ලෙනින් සහ බිරිඳ කෘප්ස්කායා වෙනුවෙන් සකස් වුනු කෑම කාමරය. 

ගෝර්කි මන්දිර සංකීර්ණය තෝරා ගැනීමට තවත් එක විශේෂ හේතුවක් තිබුනා. ඒ කාලයේ දුරකතනයක් තිබුණු එක් මන්දිරයක් මේ සංකීර්ණයේ තිබුනා. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය, ක්‍රෙම්ලිනය  හා මොස්කව් සමග සම්බන්ධතා පවත්වන්නට ලෙනින් හට මේ දුරකථනය විශේෂයෙන් දායක වුනා. 

ලෙනින්ගේ බිරිඳ කෘප්ස්කායා ගේ පෞද්ගලික නාන කාමරය. 

ලෙනින්ගේ මේ කාමරය මුහුණ ලා තිබෙන්නේ ගෝර්කි උද්‍යානයේ දර්ශනීය වන තීරයට. මේ ලෙනින් බොහෝ සේ ප්‍රිය කල කාමරයක්.

මේ ලෙනින්ගේ පුස්තකාලය. ලෙනින්ට ජර්මානු සහ ප්‍රංශ භාෂාවන් පිළිබඳව හසල දැනුමක් තිබුණු බව සෝවියට් ඉතිහාසයේ සඳහන් වෙනවා. එමෙන්ම ඉංග්‍රීසි සහ ඉතාලියානු භාෂා ගැනද විශේෂ හැකියාවක් ඔහුට තිබුනා. ඔහු මේ පුස්තකාලය පරීක්ෂා කල ඉතිහාසඥයන් පවසන්නේ ලෙනින් හට අවම වශයෙන් භාෂා 6-8ක් කතා කල හැකි බව.

මේ ලෙනින්ගේ පුස්තකාලයේ ඇති විලියම් ශේක්ස්පියර් ගේ කෘතීන්.

සිනමා දර්ශන සඳහා මේ මන්දිරයේ විශේෂ කාමරයක් වෙන් කර තිබෙනවා.  මේ එදා ලෙනින් භාවිතා කල සිනමා ප්‍රොජෙක්ටරය. ඒ කාලයේ සිනමා පට බොහෝ විට ප්‍රදර්ශනය වුනේ ශබ්දය නොමැතිව. ඒ නිසා ලෙනින් සිනමා පට නරඹන විට පියානෝවක් වාදනය කෙරුනා. ඒ පියානොවද ඒ කාමරයේ ප්‍රදර්ශනය වෙනවා. 

මොස්කව් රාජ්‍ය කෞතුකාගාරයේ  ප්‍රදර්ශනය වන ලෙනින්ගේ රෝල්ස් රොයිස් මෝටර් රථයට අමතරව තවත් සුවිශේෂී රෝල්ස් රොයිස් මෝටර් රථයක් ගෝර්කි මන්දිර සංකීර්ණයේ ප්‍රදර්ශනය වෙනවා. මේ එම රථය Rolls-Royce Silver Ghost Kegresse. මෙම රථය ඔක්තෝබර් විප්ලවයේදී ත්සාර් රජු ගේ වාහන වලින් සෝවියට් කොමියුනිස්ට් නායකයින් අතට පත්  වාහනයක්. ත්සාර් රජුගේ පෞද්ගලික් රියදුරෙක්වූ කෙග්රෙස් විසින් වැඩි දියුණු කරන ලද මේ වාහනය රුසියාවේ දැඩි හිම පතනය පවතින ප්‍රදේශ වල පහසුවෙන් ගමන් කර හැකි ආකාරයට සකස් කර තිබෙනවා. රෝල්ස් රොයිස් ආයතනය අධික මුදලකට මේ වාහනය මිලදී ගන්නට සැරසුනත් රුසියානු රජය එයට කැමති වුනේ නැහැ.

ලෙනින්ව මරා දමන්නට කුමන්ත්‍රණ දියත් වී තිබුනා. 1918  අගෝස්තු මස 30 වැනි දින මිහායිලොව් ආයුධ කම්හලේ    කම්කරුවන් සමග රැස්වීමකට සහභාගී වූ ලෙනින්ව සහාසිකයෙකුගේ වෙඩි පහරවල් වලට ලක් වුනා.    එවකට සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ  (Socialist Revolutionary Party) සාමාජිකාවක් වූ ෆාන්යා කප්ලාන් (Fanya Kaplan) නමැති කාන්තාව බෝල්ෂෙවික් වාදීන් විසින් ඒ පක්ෂය තහනම් කිරීමට එරෙහිව තමයි ඇය ලෙනින්ව මරා දමන්නට තීරණය කර තිබුනේ. ඇයගේ    ප්‍රයත්නය සාර්ථක වුයේ නැහැ. ලෙනින් බරපතල තුවාල ලබා මරණයෙන් ගැලවුනා. සැප්තැම්බර්  3 වැනිදා  ෆාන්යා කප්ලාන්   වෙඩි  තබා  මරා දැමුවා.  ෆාන්යා කප්ලාන්ගේ මේ උත්සාහයෙන් පසුව සෝවියට් දේශය තීරණය කළා මරණීය දණ්ඩනය නැවත  ගෙන එන්නට. 

Photo - RIA Novosti

ලෙනින්ගේ ජීවිතයේ අවසාන කාලය ගත කලේ මේ ගෝර්කි මන්දිර සහ උද්‍යාන සංකීර්ණයේ. 1922 වසර වන විට ලෙනින් සිටියේ බරපතල ලෙස රෝගාතුරව. ඔහු ඒ කාලයේ සිට මරණය දක්වාම ගෝර්කි මන්දිර සංකීර්ණයෙන් පිටතට පැමිණියේ නැහැ. රාජ්‍ය තාන්ත්‍රික කටයුති වෙනුවෙන් ඔහුව හමු වන්නට සියලුම් සෝවියට් නායකයින් නිතර නිතර ගෝර්කි මන්දිරයට පැමිණුනා. මේ ලේනින්ගෙන් පසුව සෝවියට් දේශයේ බලය හිමි කරගත් ආඥාදායක ජෝශප් ස්ටාලින් ලෙනින් හමුවීමට ගෝර්කි උද්‍යානයට පැමිණි මොහොතක්. 

Photo - RIA Novosti

ලෙනින්ගේ තම බිරිඳ කෘප්ස්කායා සමග ගෝර්කි උද්‍යානයේදී.

Photo - RIA Novosti

ජීවිතයේ අවසාන කාලයේ රෝද පුටුවක ආධාරයෙන් තමයි ලෙනින් ගෝර්කි උද්‍යානයේ ගමන් කලේ. 

මේ රෝද පුටුවද අද ගෝර්කි උද්‍යාන සංකීර්ණයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. මේ ලෙනින් මිය යාමට මාස 6 කට පෙර ගත ජායාරුපයක්. ලෙනින් කොතරම් දුරට අසනීප තත්වයෙන් පසුවුනාද යන්න ගැන මේ ජායාරුපය හොඳ නිදසුනක්. 

​ලෙනින්ගේ පෞද්ගලික  වෛද්‍යවරයා ලෙස මේ වන විට කටයුතු කලේ බොරිස් ස්බාර්ස්කි. ඔහු විසින් විශේෂයෙන් ජර්මනියෙන් ආනයනය කරන ලද බෙහෙත් ද්‍රව්‍ය ලෙනින් හට ලබා දී තිබුනා. එමෙන්ම අධික මුදලක් වැය කර විශේෂඥ වෛද්‍යවරුන් ජර්මනියෙන් ගෙන්වනු ලැබුවා. 

 

මේ බොරිස් ස්බාර්ස්කි වෛද්‍යවරයා ලෙනින්ගේ මරණයෙන් පසු ඔහුගේ සිරුර එම්බාම් කර තබා ගැනීම සඳහා විශේෂ කාර්ය භාරයක් ඉටු කළා. 

​1924 ජනවාරි මස 21 වැනිදා මේ අසහාය විප්ලවවාදී නායකයා සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින් අවසන් හුස්ම හෙලුවා. මේ ජායාරුපයේ දැක්වෙන ස්ථානයේදී තමයි ලෙනින් අවසන් හුස්ම හෙළුවේ. 

ලෙනින්ගේ මරණය සියලුම සෝවියට් කොමියුනිස්ට් පක්ෂ නායකයින් බලාපොරොත්තු වුනා. ඒ නිසාම මරණයට පෙරම අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන්නේ කෙසේද යන්න ගැන සාකච්ජා පවත්වා තිබුනා. ලෙනින්ගේ මරණය වන මොහොතේ කොමියුනිස්ට් පක්ෂ නායකයින්ට අමතරව තවත් එක සුවිශේෂී පුද්ගලයෙක් ගෝර්කි මන්දිරයට පැමිණියා. ඒ සුප්‍රකට සෝවියට් මුර්ති ශිල්පී සේර්ගි මෙර්කුරෝව්. සෝවියට් දේශයේ නායකයින්ගේ ප්‍රතිමා ඔහු අතින් නිමවී තිබෙනවා.  ඊටත් අමතරව ඔහු විසින් ප්‍රසිද්ධ සොවියට් පුරවැසියන්ගේ මුහුණු වල සජීවී ආකෘති පිළියෙළ කර තිබෙනවා.  ටෝල්ස්ටෝයි , මැක්සිම් ගෝර්කි, මායාකොව්ස්කි මේ අතරින් විශේෂයි.

​ලෙනින් මියගිය මොහොතේ ලබා ගත් මුහුනේ සජීවී ආකෘතිය සහ දෑත් වල සටහන් සහිත නිර්මාණයේ කොපියක් අද ලෙනින් මිය ගිය ඒ ස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙනවා. 

ලෙනින්ගේ පුස්තකාලයේ ඇති විශේෂයෙන් එංගලන්තයෙන් ආනයනය කරන ලද ඔරලෝසුවේ සටහන් වන්නේ 1924 ජනවාරි මස 21 වැනිදා ලෙනින් මිය ගිය වේලාව. ඒ සවස 6.50.

ලෙනින්ගේ මරණයෙන් පසු මේ ස්ථානයේ ලෙනින්ගේ සිරුර ප්‍රදර්ශනය සඳහා තබා තිබුනා. මේ ලෙනින් මිය ගිය කාමරයට යාබද කාමරය.

සෝවියට් මුර්ති ශිල්පී සේර්ගි මෙර්කුරෝව් ගේ අතින් නිමැවුණු තවත් ප්‍රතිමා සිහිවටන දෙකක් මේ ගෝර්කි උද්‍යානයේ දක්නට ලැබෙනවා. දෙවන ජායාරුපයෙන් දැක්වෙන සිහිවටන ප්‍රතිමාවේ දිස්වෙන්නේ කම්කරුවන් විසින් ලෙනින්ගේ දේහය ඔසවා ගෙන් සිටින අන්දම. 

ලෙනින්ගේ දේහය ගෝර්කි මන්දිර සංකීර්ණයේ සිට මොස්කව් නගරය දක්වා ගෙන ගියේ මේ මාර්ගය හරහා. ඒ ස්ථානයේ මේ සිහිවටනය දක්නට ලැබෙනවා. 

1924 ජනවාරි මස 23 වැනිදා තාවකාලිකව එම්බාම් කරන ලද ලෙනින්ගේ සිරුර ශීත සමයේ අධික ශීතල නොතකා  විශේෂ ට්‍රක් රථයක තබා මොස්කව් නගරයට ගෙන එනවා.  

Photo - RIA Novosti

මේ සඳහා තාවකාලිකව මොස්කව් රතු චතුරශ්‍රයේ දැව වලින් සාදන ලද සමාධියක් ඉදි කිරීමට කොමියුනිස්ට් නායකයින් තීරණය කළා. මෙය ඉදි කලේ ලෙනින්ගේ සිරුර මහජනතාවට ප්‍රදර්ශනය සඳහා. මාසයක් ඇතුලත රුසියානුවන් ලක්ෂයකට අධික පිරිසක් ලෙනින්ගේ සිරුරට ගෞරව දැක්වීමට පැමිණ සිටියා. දරුණු ශීත කාලගුණය නොතකා රුසියානුවන් දිගු පෝලිම් වලට වී ලෙනින්ගේ සිරුර නැරඹීමට පැමිණියා. 

Photo - RIA Novosti

සෝවියට් දේශයේ කොමියුනිස්ට් නායකයින්ට සිදුවුනා තීරණයකට එළඹෙන්නට ලෙනින්ගේ සිරුරට කල යුත්තේ කුමක්ද යන්න ගැන. එයට හේතු පාදක වුනේ රුසියානු ජනතාවගේ වැල නොකැඩී පැමිණීම මෙන්ම ලෙනින්ගේ සිරුරේ වෙනස්වීම් සිදුවන්නට පටන් ගැනීම. ඒ මුලින්ම එම්බාම් කරන ලද්දේ තාවකාලිකව නිසා. 

අවසානයේදී 1924 මාර්තු මාසයේදී කේ.ඒ.බී. නායක දෙර්ශින්ස්කි ඇතුළු පිරිස තීරණය කළා ලෙනින්ගේ සිරුර කෙසේ හෝ සදාකල් පවතින අන්දමට එම්බාම් කර හෝ වෙනත් ක්‍රමයකට තබා ගන්නට. මේ වෙනුවෙන් අධික මුදලක් වියදම් කොට විදෙශීය රටවලින් විශාල ශීතකරණ පවා ආනයනය කරනු ලැබුවා. නමුත් ඒ සියලු උපක්‍රමයන් අසාර්ථක වුනා. 

නමුත් මාර්තු මාසය අවසාන වන විට බොරිස් ස්බාර්ස්කි ඇතුළු වෛද්‍ය කණ්ඩායමට හැකිවුනා ඔවුනටම ආවේනික වූ එම්බාම් ක්‍රමයකට අනුව ලෙනින්ගේ සිරුර පිළියෙළ කරන්නට. 

Photo Oct 19_edited_edited.jpg

Photo - RIA Novosti

එසේම ඒ වන විට ලහි ලහියේම රතු චතුරශ්‍රයේ නිත්‍ය ලෙනින් සමාධිය ඉදි කරමින් තිබුනේ. එසේම ලෙනින් සමාධියට යටින් පොලව යට විශේෂ විද්‍යාගාරයක් මේ වෙනුවෙන් සෝවියට් දේශය පිහිටවනු ලැබුවා. 

මේ ආකාරයට තමයි අද දින මොස්කව් රතු චතුරශ්‍රයේ ලෙනින් සමාධිය දක්නට ඇත්තේ.  මේ ජායරුපයෙන් ලෙනින් සමාධියේ ඇතුලත පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට හැකිවේවි. 1924 වසරේ සිට අද දක්වා කාලය ඇතුලත එක වරක් ලෙනින්ගේ දේහය ලෙනින් සමාධියෙන් පිටතට රැගෙන තිබෙනවා. ඒ 1941 වසරේ දෙවන ලෝක සංග්‍රාමය සමයේදී. ලෙනින්ගේ සිරුරේ ආරක්ෂාව වෙනුවෙන් 1945 වසර දක්වා සෝවියට් දේශයේ ත්යුමින් නගරයේ ස්ථානයක දේහය රහසිගතව තබා ගෙන තිබුනා. 

​එමෙන්ම 1993 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා දක්වා ලෙනින් සමාධිය අසල සෝවියට් හමුදා ආචාර කණ්ඩායම් පැය 24 පුරාවටම සිටි නමුත් එදිනෙන් පසුව නව රුසියානු රජය විසින් එය ඉවත් කරනු ලැබුවා. 

​අදත් මහජන ප්‍රදර්ශනය සඳහා ලෙනින් සමාධිය සෑම සතියකම දින 3ක් විවෘතව පවතිනවා. 

ලෙනින් සමාධිය නරඹන්නට පැමිණෙන ජනතාව විශේෂා ආරක්ෂක දොරටුවක් හරහා පැමිණිය යුතුයි. ඒ අවස්ථා කිහිපයකදීම ලෙනින්ගේ සිරුර පුද්ගලයින්ගේ ප්‍රහාර වලට ලක්වූ නිසා. මෙයින් විශාලම ප්‍රහාරය එල්ල වුනේ 1973 වසරේ. යම් පුද්ගලයෙක් විසින් බෝම්බ ප්‍රහාරයක් ලෙනින්ගේ සිරුර වෙත එල්ල කර තිබුනා. ඒ කාලයේදීම ලෙනින්ගේ සිරුර වෙඩි  වීදුරු සහ නවීන තාක්ෂණික උපාංග වලින් ආරක්ෂා  තිබුණු නිසා විනාශයක් සිදුවුයේ නැහැ. 

ලෙනින්ගේ ඉතිහාසය පමණක් නොව මුළු සෝවියට් රුසියානු ඉතිහාසයම දේශපාලනීකරණයට ලක්වී තිබෙනවා. එදා 1924 වසරේ ලෙනින් මියගිය පසු ස්ටාලින්ගේ අනුගාමිකයින් පැමිණ ගෝර්කි මන්දිර සංකීර්ණය ඉබි යතුරු දමා සීල් තබා තිබුනා. ඒවා විවෘත කර ගන්නට හැකිවුයේ 1953 වසරේ ස්ටාලින්ගේ මරණයෙන් පසු. ඒ කාලය තුල ලෙනින්ගේ ඉතිහාසය, ජීවන චරිතය, ජායාරුප ප්‍රබල ලෙස වෙනස් වීම වලට භාජනය වී ඇති බව ඉතිහාසඥයන් පවසනවා. අද අපට ඇසෙන අප කියවන ඉතිහාසය කොයිතරම් දුරට සත්‍යද යන්න ගැන නිගමනයකට පවා එන්නට අපහසුයි. 

සෝවියට් දේශය වසර 75ක් ලෙනින්ගේ නාමය අමරණීය බැව් පැවසුවත් අද රුසියාවේ දක්නට ලැබෙන්නේ එක් ලෙනින් කෞතුකාගාරයක් පමණයි. එය පිහිටා තිබෙන්නේ මේ ගෝර්කි මන්දිර උද්‍යාන සංකීර්ණයේ. මා එය නැරඹීමට ගිය දිනය සෙනසුරාදාවක් වුවත් පැමිණ සිටියේ මාත් සමග තවත් කිහිප දෙනෙක් පමණයි. එපමණට ලෙනින්ව අද රුසියානු ජනතාවට අවශ්‍ය නැහැ. 

​මා හට කෞතුකාගාරයේ විස්තර පැහැදිලි කර දුන් වයෝවෘද කාන්තාව පැවසුයේ 1955 වසරේ සිට අද දක්වාම ලෙනින්ගේ සමහර ජායාරුප සහ ඔහුගේ තෝරාගත් සටහන් සමහර කාල වකවානු වලදී ප්‍රදර්ශනය කිරීමට තහනම් වූ බවත් අදත් එය ක්‍රියාත්මක වන බවත්. 

ඇය පවසන්නේ අද රුසියානු සමාජය තුල ස්ථාපිත වී ඇති බොහෝ දේශපාලන සදාචාරයන් සහ සම්ප්‍රදායයන් වල මුලාරම්භ ලෙනින් විසින් ඒවා ස්ථාපිත කිරීමට දැරූ උත්සාහයන් වල ප්‍රතිපල බවයි. රුසියාවට අමතරව අද ලෝකයේ බොහෝ    රටවල් මේ සදාචාරයන් හා සම්ප්‍රදායයන් භුක්ති විඳිනවා. බොහෝ විට  ඇත්තේ කොමියුනිස්ට් දෘෂ්ටි වාදයක් නොවේ. ඒවා බෙහෙවින් සමාන වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයකට. ඇය තව දුරටත් පැවසුවා.

​එසේ නම් සත්‍ය වශයෙන්ම අවශ්‍යව තිබුනාද විප්ලවයක්. මිලියන කිහිපයකට අධික ජනතාවක් පීඩනයකට ලක් කරමින් ඝාතනය      වෙමින්, රටේ සම්පත් අධික විනාශයකට ලක් වෙමින් සිදුවුණු විපල්වය වෙනත් ආකාරයකින් මෙතරම් ඇදහිය නොහැකි විනාශයක් ඇති නොකර සිදු කර ගත හැකිව තිබුනා නේද ? 

දිනක්  මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ කොමියුනිස්ට් පක්ෂය මෙහෙයවූ සංවත්සර උත්සවයකට සහභාගී වූ  දෙපිරිසක් අතර ඇතිවූ වාදයකදී මට ඇසුණු  වදන් මේ. මේ පිළිබඳව අදත් රුසියානු ජනතාව මාධ්‍ය එකිනෙකාට දොස් පවරමින් දේශපාලන සංවාද වල යෙදෙනවා. 

අද රුසියානු අධ්‍යාපනය ක්‍රමය තුල ලෙනින් හට ඇත්තේ කුමන ස්ථානයක්ද.  මේ 2005 වසරේ රුසියාවේ මොස්කව් නගරයට ඈතින් පිහිට සාමාන්‍ය පාසලක 6-7 ශ්‍රේණි වල සිසුන් ගෙන් ලෙනින් ගැන ඔබ දන්නේ මොනවාද යන ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු. 

- "මම දන්නේ නැහැ ලෙනින් යනු කවුද කියා. නමුත් ඔහු තට්ට හිසක් ඇති වයසක පුද්ගලයෙක් බව පැහැදිලියි. හැබැයි මට බොහෝ අවස්ථාවල ඔහුගේ නම ඇසී තිබෙනවා." 

- "ලෙනින් අපේ එක නායකයෙක්. මම ඔහු ගැන වැඩි වශයෙන් දන්නේ නැහැ. ඔහු ජීවත් වුනේ දෙවන ලෝක සංග්‍රාමය සමයේ."

- "ලෙනින් අපේ හිටපු ජනාධිපති කෙනෙක්. මීට වසර ගණනාවකට පෙර තමයි ඔහු ජීවත් වී තිබෙන්නේ. ඔහු වෙනුවෙන් මාවත් නම් කර තිබෙන්නේ පිළිම සාදා තිබෙන්නේ ඔහු අසාමාන්‍ය පුද්ගලයෙක් නිසා විය යුතුයි." 

- "ලෙනින් අපේ නිදහසේ වීරයා. ඔහු තමයි විප්ලවයේ නියමුවා. ලෙනින් සාර් රජුට විරුද්ධව සටන් කළා. නමුත් ඔහු නරක පුද්ගලයෙක්. ලෙනින් නොමැතිව සිටියා නම් බොහෝ දුරට අපි මීට වඩා හොඳ ජීවිත ගත කරන්න ඉඩ තිබුනා." 

- "කවුද ලෙනින් කියන්නේ. මා දන්නේ නැහැ. රූපවාහිනියෙන් සමහර විට මා දකිනවා ඔහු ගැන. සමහර විට ඔහු හිටපු දේශපාලකයෙක් හෝ යුධ නිලධාරියෙක් වෙන්නට ඇති." 

මේ 2005 වසරේ අදහස්. අද 2018 වසර. අද  ලෙනින් යනු කවුද යන ප්‍රශ්නයට කුමන ආකාරයෙන් පිළිතුරු ලැබේවිද කියා ඔබට අමුතුවෙන් සඳහන් කල යුතු නැහැ.                        

මේ ලෙනින් ප්‍රතිමාව අදත් ගෝර්කි මන්දිර සංකීර්ණයේ දැක ගන්නට පුළුවන්. මාක්ස්වාදය​ පොතපතට සීමාවූවත් එය ප්‍රායෝගිකව භාවිතා කල හැකිබව සනාථ​ කිරිමේදී ලෙනින් සුවිශේෂී කාර්යයක්  ඉටු කළා. 

 

නමුත් ලෙනින් විසින්ම තෝරා ගත් ඒ ගමන් මගේ ගොස් බිහිවුනු දේශයේ අද ලෙනින් අතරමන් වෙලා.

රොහාන් ඩිරෙක්ස් 

සංචාරය කලේ 2018 නොවැම්බර් මාසයේ 

ජායාරුප ස්තුතිය - RIA Novostiwww.tainy.net, www.aif.ru 

තවත් කියවන්න 
meno12_edited.jpg
Burundi_soldier_smile.jpg
DSC_0063_edited_edited_edited.jpg