top of page
105942859_10223220631052626_2783028579735773170_n1.jpg
ගවේෂණ

RUSSIAN VODKA

  • Facebook
  • Instagram
  • YouTube

බොන්නම ඕන දවසක්. රුසියානු වොඩ්කා පානයේ උපන් දිනය සමරමු.

සෑම වසරකම ජනවාරි 31 දා රුසියානු වොඩ්කා පානයේ උපන් දිනයයි. මේ වසරේ සමරන්නේ 152 වන උපන් දිනයයි. මීට හරියටම වසර 152කට පෙර තමයි ආවර්තිතා වගුව සකස් කල දිමිත්‍රී මෙන්ඩෙල්යෙව් විසින් තම ආචාර්ය උපාධි නිබන්ධනය ජලය සහ මධ්‍යසාර ඒකාබද්ධ කිරීම යනුවෙන් ඉදිරිපත් කලේ. එහි ප්‍රතිපලයක් ලෙස තමයි වොඩ්කා වල මධ්‍යසාර ප්‍රතිශතය 40% ලෙස ප්‍රමිතිගත කෙරුනේ. මෙන්ඩෙල්යෙව් හට ස්තුතිවන්ත වෙමු. (ඒ මධ්‍යසාර ප්‍රතිශතය 25% හෝ 60% ලෙස ඉදිරිපත් නොකිරීම වෙනුවෙන්.)

රුසියානු භාෂාවෙන් වතුර VODA නැතිනම් වදා ලෙස හඳුන්වනවා. බොහෝ රුසියානු නාමපද වලට උපසර්ගයක් එකතු කිරීමෙන් ඒ වචනයට යම් සරලබවක් හෝ හුරතල් බවක් එකතු වෙනවා. ඒ අනුව තමයි VODA වචනයට KA උපසර්ගය එකතුවන්නේ. එනම් VODKA ලෙස. අවසානයේදී එහි සරල තේරුම වන්නේ කුඩා ජලය යන්න. එමෙන්ම අතීතයේදී එය ජීවයේ ජලය ලෙසත් සහ ඖෂදීය පානයක් ලෙසත් භාවිතා වී තිබෙනවා.

වොඩ්කා පානය ආරම්භ කිරීමට ප්‍රථම කෑමට යම් දෙයක් හෝ සුවඳක් ලබා ගැනීමට යම් ආහාරයක් තිබේදැයි අනිවාර්යයෙන්ම උනන්දු වීම රුසියානුවන්ගේ සම්ප්රදායයක්. මේ කෑම ඔවුන් හඳුන්වන්නේ zakuska නමින්. තේරුම snacks යන අදහස, නමුත් එය snacks යනුවෙන් අපි සිතන අදහසට වඩා ගැඹුරු අදහසක්. මේ සඳහා රුසියානුවන් බොහෝ විට කළු පාන්, ලුණු සහ විනාකිරි වල පදම් කරන ලද ගර්කින්ස්, සලාමි හෝ පුළුස්සා ගත් මස්, සාල (ලුණු සහ සුදුළුනු සමග කල් තබා ගන්නා ලෙස සකස් කල ඌරු මස් වල තෙල් සහිත කොටස්) සහ විශේෂෙන් පදම් කරන ලද හෝ ලුණු සහිත මාළු භාවිතා කරනවා.

ඇමෙරිකාවේ සැර මත්පැන් පානය කිරීමෙන් පසු පානය කරන මෘදු පානය Chaser යනුවෙන් හඳුන්වනවා. ඇමෙරිකානු රහස් ඔත්තුකරුවෙක් රුසියාවේදී හඳුනා ගත්තා යයි කියන රසවත් කතාවක සඳහන් වන්නේ ඔහුව හඳුනාගෙන ඇත්තේ ඔහු වොඩ්කා පානය කරන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු බව. ඒ ඇමෙරිකානු රහස් ඔත්තුකරුවා රුසියානුවන් සමග මිත්‍රශීලීව වොඩ්කා පානය කරන විට කිසිම විටෙක (zakuski) snacks සකුස්කි භාවිතා කලේ නැතිලු. හැම විටම chaser පමණක් භාවිතා කර තිබෙනවා.

Russian Vodka - www.sanchara.lk

ඒ 1985 වසරයි. සෝවියට් දේශයේ නායකයා වුයේ මිහායිල් ගොර්බචෙව්. මොස්කව් නගරයේ වොඩ්කා විකුණන වෙළඳ සැල් වල දකින්නට තිබුනේ දිග පෝලිම්. වොඩ්කා වලින් හොඳටම පදම්වුනු පුද්ගලයෙක් එක් පෝලිමක සිටින්නේ තවත් බෝතලයක් කෙසේ හෝ මිලදී ගන්නට. නමුත් දිග පෝලිම නිසා අවශ්ය වෙලාවට වොඩ්කා බෝතලයක් මිලදී ගන්නට ලැබෙන්නේ නැහැ. තරහෙන් පිපිරෙමින් ඔහු තමාට ඉදිරියෙන් පෝලිමේ සිටින තැනැත්තාට “මට නම් මේ පෝලිම් වල ඉඳලා එපා වෙලා. යනවා මම දැන්මම යනවා. ගොර්බචෙව් ව මරලා තමයි ආපහු එන්නේ.” යනුවෙන් පවසමින් පෝලිමෙන් ඉවත් වී ගියා. නමුත් ටික වෙලාවකට පසු ක්රෝධයෙන් පිපිරෙමින් නමුත් කනගාටුවෙන් ආපසු පෝලිමට එකතු වුනා.

“ඇයි ඉක්මනට ආවේ? ගොර්බචෙව් ව මැරුවද?” පෝලිමේ ඉදිරියෙන් සිටි තැනැත්තා ඔහුගෙන් ඇසුවා.

“මොන පිස්සුද? එයාව මරන්න ගියා. ඒකටත් පෝලිම!”

මේ හාස්ය කතාවේ උපත සිදුවුනේ 1985 වසරේ මැයි මස 17 වැනිදා සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂය බේබදුකම පාලනය කිරීම සඳහා සහ මත් පැන් පානයෙන් වැලකීම වෙනුවෙන් මධ්යසාර අඩංගු පානයන් නිවෙස් වල නිෂ්පාදනය කිරීම තහනම් කිරීම අනුමත කරමින් යෝජනාවක් ගෙන ඒමත් සමගම.

එදා සෝවියට් සංඛ්යා ලේඛන සටහන් කලේ 87%ක සෝවියට් ජනතාවක් ඒ තීරණය අනුමත කල බව. විශේෂයෙන්ම සෝවියට් කාන්තාවන්. පසුව තවත් දිනෙක ගොර්බචෙව් සෝවියට් කාන්තාවන් පිරිසක් සමග හමුවූ විට ඒ කාන්තාවන් පැවසුයේ “ජනාධිපතිතුමනි, මේ නීතිය නම් කිසිම විටෙක ඉවත් කර ගන්න එපා. දැන් අඩු ගානේ අපේ මිනිසුන්ට (සැමියන්ට) පුතාල දුවලගේ මුහුණු වත් දැක ගන්නට වෙලා තියෙනවා.” නමින්.

රුසියානුවන් සමග - විශේෂයෙන් ගම්බද ප්රදේශ වල ජීවත් වන- වොඩ්කා බෝතලයක් සමග සැන්දෑවක් ගත කිරීම විදේශිකයෙකුට ලැබිය හැකි සුන්දර අත්දැකීමක්. එවැනි සැන්දෑවකදී ඔබට අවබෝධ කර ගන්නට පුළුවන් සෝවියට් රුසියානු ඉතිහාසය, ඔවුන්ගේ සම්ප්රදායයන් ගැන, ආහාර පාන ගැන වැඩි විස්තර මෙන්ම ඔවුන්ගේ අව්යාජ අදහස් උදහස්.

Russian Vodka - www.sanchara.lk

මේ එවැනි හැන්දෑවකදී මට එකතු කර ගන්නට හැකිවුණු රසවත් විස්තර.

සෝවියට් සංඛ්යා ලේඛන වලට අනුව 1985-1986 කාලයේ සෝවියට් දරු උපත් ප්රමාණය ඊට පෙර වසරවල් සමග සසඳන විට මිලියන. 1.5කින් වැඩිවී තිබුනා. එමෙන්ම ඒ ඉපදුනු දරුවන් වැඩි දෙනෙක් නම් කෙරුනේ මීෂා (මිහායිල්) නමින්. ඒ මිහායිල් ගොර්බචේව්ගේ මධ්යසාර විරෝධී ප්රතිපත්තීන් වලට කාන්තාවන් බොහෝ ඇල්මක් දැක්වූ නිසා වෙන්නට ඇති.

බ්රෙශ්නෙව් සෝවියට් දේශය පාලනය කල සමයේ වරෙක අය වැය ලේඛනය සෝවියට් ජනතාව හැඳින්වුයේ වෙරිවුනු අය වැය ලේඛනයක් යනුවෙන්. එයට හේතුව 1960-1980 කාලය තුල මධ්යසාර වෙළඳාමෙන් රූබල් බිලියන 170ක් ලැබුනත් මධ්යසාර නිසා සිදුවුණු මරණ ප්රතිශතය 47%කින් වැඩිවුණු නිසාත්.

ඒ නිසාම තමයි එදා රුසියානු ගම්වල ගායනා කල සාම්ප්රදායික හාස්ය කවි නිසඳැස් මේ ආකාරයෙන් ගැයුනේ.

එදා තිබුනේ හයට. අද දෙන්නේ අටට.

වොඩ්කා නොබී ඉන්නට බැහැ අපහට

ඉලිච් ට ගිහින් කියන්න. දහයට දුන්නත් වොඩ්කා

බොන එක බොනවාමයි කියලා.

හැබැයි ඊට වඩා වැඩි වුනොත් වොඩ්කා

අපි යන්නේ කොයි පාරේ

පෝලන්තේ ගිය පාරේ

(මෙහි ඉලිච් යනුවෙන් හැඳින්වෙන්නේ සෝවියට් දේශයේ නිර්මාතෘවරයා වූ ව්ලැදිමීර් ඉලිච් ලෙනින්. පෝලන්තේ ගිය පාරේ යනුවෙන් අදහස් කරන්නේ 1980-81 වසර වල පෝලන්තයේ ඇතිවූ කොමියුනිස්ට් විරෝධී පෙළපාලි සහ උද්ඝෝෂණ.)

බේබදුකම පාලනය කිරීම සඳහා මධ්යසාර අඩංගු පානයන් නිවෙස් වල නිෂ්පාදනය කිරීම තහනම් කිරීම යන යෝජනාව නිසා එවැනි නිෂ්පාදන අඩුවීමක් දකින්නට ලැබුනා. නමුත් එයින් සිදුවුයේ වානිෂ් තීන්ත වර්ග, ඔඩිකොලෝන් වර්ග, සමහර එන්ජින් ඔයිල් වර්ග වොඩ්කා වෙනුවට පානය කරන්නට ජනතාව පුරුදු වීමයි.

රුසියාවේ සහ පැරණි සෝවියට් සමුහාණ්ඩු වල ජනතාව නිවසේ නිෂ්පාදනය කරන මධ්යසාර හඳුන්වන්නේ සමොගෝන් නමින්. මේ සමොගෝනුත් ප්රබල ඉතිහාසයකට හිමිකම් කියනවා. සමොගෝන් සාම්ප්රදායිකව නිෂ්පාදනය කරන්නේ වසරේ ඒ ඒ කාල වලට පලදාව ලෙස ලැබෙන පලතුරු වර්ග, එළවලු වර්ග, ධාන්ය වර්ග සමග සීනි, ජලය සහ යීස්ට් මිශ්ර කිරීමෙන් සෑදෙන මිශ්රණය මාසයක් පමණ තබා ගැනීමෙන් සහ ඒ මිශ්රණය වාශ්පීකරණයට ලක් කිරීමෙන්.

15 වන ශත වර්ෂයේ සිටම මේ සමගෝන් රුසියාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල් වල ප්රසිද්ධ පානයක් බවට පත්වී තිබුනා. රුසියාව කලෙක පාලනය කල ඉවාන් ග්රෝස්නී සාර් රජු ගේ කාලයේ ප්රථම මධ්යසාර (සමගෝන්) විකුණන මධ්යස්තාන හෝ කුඩා භෝජනාගාර ඇරඹීමට අවසර ලබා දී තිබුනා. මේ ස්ථාන එදා හැඳින්වුයේ කබාක් නමින්. මුල් කාලයේදී මේ ස්ථාන වලින් සමගෝන් බීමට හැකියාව ලැබුනේ සාර් රජුගේ හමුදාවේ නායකයින්ට සහ සොල්දාදුවන්ට. ඒ කාලයේ මේ සමගෝන් ඕක් ලී වලින් සෑදු පීප්ප වල අසුරා තබා තිබුනා.

රුසියානුවන් වොඩ්කා (හෝ සමගෝන්) පානය කරන විට සාම්ප්රදයානුකුලාව අනුගමනය කරන සිරිත් දක්නට ලැබෙනවා. ඒ මධ්යසාර වල ස්වභාවය හඳුනා ගැනීම, ප්රාර්ථනාවන් ප්රකාශ කිරීම සහ පානයෙන් පසු කෑමට යම් සුළු ආහාරයක් ගැනීම මේ තුන් සිරිතයි.

• මධ්යසාර වල ස්වභාවය හඳුනා ගැනීම- සෑම මධ්යසාරයකටම ආවේනික වූ පානය කිරීමේ ක්රම දකින්නට පුළුවන්. උදාහරණයක් ලෙස විස්කි බොහෝ විට පානය කරන්නේ සෙමින් සෙමින්. කැරිබියානු රම් බොහෝ විට පානය කරන්නේ කොක්ටේල් හෝ තවත් පානයක් සමග මිශ්ර කිරීමෙන්. වොඩ්කා ත් මේ ආකාරයට පානය කල හැකි වුවත් මේ පිලිබඳ රසවත්ම විස්තරය ඉදිරිපත් කරන්නේ රුසියානු සම්භාව්ය ලේඛකයෙකු වූ ඇන්ටන් චේකොව් විසින්. “ වොඩ්කා එක වරම පානය කරන්න එපා. පළමුවෙන්ම ඔබ ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ දෑත් පිස දමමින් නිවසේ සිවිලිම දෙස උදාසීනව බලන්න. ඊටත් පසුව වොඩ්කා වීදුරුව ඔසවා සෙමෙන් ඔබේ තොල් අසලට ගෙන එන්න. අන්න දැන් එක් වරම, ඔව් එක්වරම වීදුරුවේ ඇති වොඩ්කා ඔබේ ශරීරය තුලට පියාඹන ආකාරයෙන් තොල් උගුර හරහා වත් කරන්න.”

• ප්රාර්ථනාවන් ප්රකාශ කිරීම - ප්රථම වොඩ්කා වීදුරුව පානයට පෙර තමන්ගේ ප්රාර්ථනය ඉදිරිපත් කිරීම හෝ සව්දිය පිරීම රුසියානු සංස්කෘතියේ ප්රබල අංගයක්. එමෙන්ම සෑම ප්රාර්තනාවක්ම na zdorovie නැතිනම් za zdorovie යන වචන වලින් ආරම්භ කිරීම වැදගත්. (“for the good health”). දෙවන වීදුරුව za druzhbu නැතිනම් (“for friendship”) මිත්රත්වය වෙනුවෙන්ද පානය කරනවා. ඉන් ඉදිරියට පානය වට පිටාව සහ ඔබේ හැකියාවන් මත තීරණය වෙනවා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම බොහෝ විට තම දෙමව්පියන් වෙනුවෙන්, දු දරුවන් වෙනුවෙන්, යහපත් අනාගතයක් වෙනුවෙන්, සමහර විට රටේ රාජ්ය නායකයා වෙනුවෙන් ප්රාර්ථනා ඉදිරිපත් කරමින් (Toast) සව්දිය පුරනු ලබනවා.

රුසියාවේ වොඩ්කා හෝ සමගෝන් පානය යනු තවත් එක් කලාවක්. එය ප්රගුණ කල යුතුයි. පැය 5ක පමණ කාලයක් ගම්බද රුසියානු මිත්රයින් සමග ගත කල සැන්දෑව අවසානයේදී ඔවුන් මා ඉහත සඳහන් කල සාම්ප්රදායික හාස්ය කවි නිසඳැස ගායනා කරමින් තවත් එක් පේලියක් එයට එකතු කළා.

එදා තිබුනේ හයට. අද දෙන්නේ අටට.

වොඩ්කා නොබී ඉන්නට බැහැ අපහට

ඉලිච් ට ගිහින් කියන්න. දහයට දුන්නත් වොඩ්කා

බොන එක බොනවාමයි කියලා.

හැබැයි ඊට වඩා වැඩි වුනොත් වොඩ්කා

අපි යන්නේ කොයි පාරේ

පෝලන්තේ ගිය පාරේ

හැබැයි පටන් ගත්තොත් විසි පහට දෙන්න

සිදුවෙනවා නැවත වරක්

අල්ල ගන්න පීටර්ස්බර්ග් ශීත මාලිගය

(අල්ල ගන්න පීටර්ස්බර්ග් ශීත මාලිගය යන්නෙහි අදහස වන්නේ වොඩ්කා මිල රූබල් 25ක් දක්වා වැඩිවුවහොත් 1917 ශ්රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ ආරම්භයේදී පීටර්ස්බර්ග් නගරයේ ශීත මාලිගයේ - Winter Palace - බලය අල්ලා ගැනීමට කල අරගලය වැනි අරගලයක් නැවත වරක් සිදු කිරීමට සිදුවන බවයි.)

ජීවිතයේ යම් දිනෙක රුසියානුවන් සමග සාම්ප්රදායානුකුලාව වොඩ්කා (හෝ සමගෝන්) පානය කරන්නට අවස්ථාවක් ලද හොත් ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්නට මේ කරුණු වැදගත් වේවි.

මේ ජායාරුපයෙන් දැක්වෙන්නේ රුසියානු ජනතාව අතර සාම්ප්රදායික ප්රමිතියක්ව පවතින ලීටර් 3 වීදුරු බෝතලය, එහි අඩංගු 80% මධ්යසාර ප්රතිශතයක් සහිත සමගෝන් සහ සෝවියට් දේශය සමයේ ඉමහත් ජනප්රියත්වයට පත් වීදුරුව. (සෝවියට් දේශයේ ජීවත් වූ අයට නම් මේ වීදුරුව හොඳට මතක ඇති!)

ලොව ප්‍රසිද්ධ වොඩ්කා වර්ගයක් වන ස්මිර්නොෆ් Smirnoff පවුල තම මධ්‍යසාර නිෂ්පාදන ක්‍රියාදාමය රුසියාවේ ආරම්භ කලේ 1864 වසරේ. නමුත් 1917 රුසියානු විප්ලවයෙන් පසුව Smirnoff පවුලට රුසියාවෙන් පැන යාමට සිදුවුනා. එයින් පසුව තමයි ඔවුන් ඇමෙරිකාවේ සිට වොඩ්කා වෙනුවෙන් සුවිශේෂී ප්‍රචාරණ ක්‍රියාදාමයක් ආරම්භ කලේ. මෙය ඔවුන් හැඳින්වුයේ සුදු විස්කි White Whiskey with "no taste, no smell" යනුවෙන්.

ලිපිය ටිකක් දිග වැඩියි. වොඩ්කා ගැන මීට වසර කිහිපයකට පෙර ලියු ලිපියක කොටසකුත් මේ ලිපිය වෙනුවෙන් භාවිතා කළා. නමුත් ඒ වොඩ්කා වෙනුවෙන් සහ වොඩ්කා පානයේ උපන් දිනය නිසා ඒ වෙනුවෙන් සමාව අයදිමි.

බොහෝ රුසියානුවන්ගෙන් මේ ලෝකයේ තිබෙන වොඩ්කා වර්ග මොනවාද කියා ඇසුවොත් ලැබෙන්නේ මෙවැනි පිළිතුරක්. ලෝකයේ තිබෙන්නේ වොඩ්කා වර්ග දෙකයි. ඒ හොඳ වොඩ්කා සහ ඉතාමත් හොඳ වොඩ්කා.

«මධ්‍යසාර පානය අපි කිසිවිටෙකත් අනුමත නොකරන්නෙමු. එහෙත් වොඩ්කා පානය නම් සැමදාම අපි අනුමත කරන්නෙමු.» මේ කොටස ලියුවේ මගේ බිරිඳ.

DSC_0280_edited_edited.jpg

Rohan Direkz රොහාන් ඩිරෙක්ස් 

rohandx@hotmail.com

Comments
More to read
bottom of page