• Facebook Social Icon
  • YouTube Social  Icon

රුවන්ඩාවේ ජයග්‍රහණයේ රහස: රුවන්ඩාවේ නොයෙක් තැන්වල සංචාරයෙදී විවිධ පුද්ගලයින් සමග අදහස් හුවමාරු කර ගැනීමට මට හැකි වුනා. මිනිසුන් හමුවේ මෙතරම් දරුණු කෘර අමානුෂික ජනසංහාරයක් දියත් වූ බව විශ්වාස කරන්නට පවා අපහසුයි. එසේම ඉතා කෙටි කාලයක් තුල  ජාතීන් අතර ප්‍රශ්න විසඳා ගනිමින් එක ජනතාවක් ලෙස ආර්ථික හා සමාජයීය වශයෙන් තරමක් දුරට නැගී සිටීමට රුවන්ඩාවට  හැකිවීම අගය කළයුත්තක්.  වසර 20 කට පෙර සිදුවූ දරුණු කෘර සහ භයානක ජනසංහාරය යටපත් කරමින් අප්‍රිකාවේ හොඳම පාලනයක් සහ නැගී එන හොදම ආර්ථිකයක් ඇති රාජ්‍යයක් වශයෙන් රුවන්ඩාව අද පෙරමුණේ සිටිනවා. රුවන්ඩා ජනතාව සාමය සහ සංහිදියාව අනුමත කොට තිබෙනවා. නැගෙනහිර අප්‍රිකාවේ වටිනාම රාජ්‍යය හැටියට රුවන්ඩාව හදුන්වනවානම් එය සත්‍යයක්. ජාතීන් අතර සංහිදියාව ඇති කල හැකි බවට රුවන්ඩාව කදිම නිදසුනක් . අවශ්‍ය වන්නේ පාලකයන්ගේ සහ ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනය සහ කැපවීම පමණයි.

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස කලේ නැහැ. රුවන්ඩාවට පැමිණීමට පෙර ඒ රට ගැන මා සිතා සිටියේ ඌන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති සිනමාකරණය මාගේ සිතේ කිසියම් චකිතයක් ඇතිකලත් රුවන්ඩාව පිළිබඳව අමතක නොවන අපුරු මතකයක් සටහන් වී තිබුනා. රුවන්ඩා හෝටලය සිනමාකරණයේ පෙන්වන්නේ පෝල් රුසේසබගීනා නමැති හෝටල් කළමනාකරුවා 1994 වර්ෂයේදී රුවන්ඩාවේ සිදුවූ ජනසංහාරයේදී දහස් ගණනක් තුත්සි ජාතිකයින් හුතු ජාතික මිනීමරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තම හෝටලය තුත්සි ජාතිකයන් හට ආරක්‍ෂිත සෙවනක් බවට පත්කර ඔවුන් ආරක්ෂා කරගත් අන්දමයි. කිහිප වතාවක් මෙම සිනමාකරණය මා විසින් නරඹා ඇති අතර ඒ තුලින් මා දුටු රුවන්ඩාවත් මාගේ රුවන්ඩා සංචාරයට මසකට පෙර රුවන්ඩා රුපවාහිනිය මගින් ආරම්භ කල දිදුලන රුවන්ඩාව නමැති වැඩසටහන නැරඹීමෙන් මා මතකයේ රැඳුනු රුවන්ඩාවත් නිසා මේ රටට යෑමේ බලවත් ආශාවක් මා තුල ඇතිවී තිබුනා. ඒ වුනත් අප්‍රිකානු සංචාරයක් සංවිධානය කර ගැනීමේ දී මුහුණ දෙන්නට වෙන දුෂ්කරතා මෙහිදීද මට මුහුණ දෙන්නට සිදු වුනා. මා අන්තර්ජාලයෙන් හඳුනා ගත් රුවන්ඩාවේ ජීවත් වන කෙන්යානු ජාතික කාන්තාවක් වන බාරකා සමග මාස හයක් පමණ අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව අවසානයේදී 2015 ජනවාරි මස 2 වෙනිදා රුවන්ඩාවේ අගනුවර වන කිගාලි නගරය වෙත මාගේ නැගෙනහිර අප්‍රිකානු සංචාරයේ තුන්වන රට හැටියට පැමිණුනා.

 

රුවන්ඩාවට එමෙන්ම කෙන්යාවට සහ උගන්ඩාවට දැන් තනි වීසා බලපත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. නැගෙනහිර  අප්‍රිකානු ඉලෙක්ට්‍රොනික වීසාවක් ලෙස මෙම ක්‍රමය 2014 දෙසැම්බර් මස සිට හදුන්වා දී තිබෙනවා.

 

දහසක් කඳුකරයන්ගෙන් සමන්විත භුමිය ලෙස හදුන්වන රුවන්ඩාව නැගෙනහිර අප්‍රිකාවේ මධ්‍යයේ අප්‍රිකාවේ විශාලම විල වන වික්ටෝරියා විල මායිම් කරගෙන පිහිටා ඇති අතර කොන්ගෝ රාජ්‍යය සහ උගන්ඩාව සමගද දේශසීමා වලට හිමිකම් කියනවා. එසේම වොල්කනෝ අභය භුමිය, දැනට ලෝකයේ වඳ වී යන කඳුකර ගොරිල්ලාවන් සහ රත්‍රන් චිම්පන්සීන් නිසා රුවන්ඩාව සංචාරකයින් අතර ප්‍රසිද්ධ වී තිබෙනවා. රුවන්ඩාවේ අගනුවර කිගාලි නගරයයි. එහි මිලියන 3 ක පමණ ජනගහනයක්  වාසය කරනවා. 

උගන්ඩාවේ කම්පාලා නගරයේ සිට පැය 8ක් පමණ කාලයක් දුෂ්කර මාර්ගයක ගමන් කිරීමෙන් පසු අපේ ජීප් රිය උගන්ඩා රුවන්ඩා දේශ සීමාව වන කටුනා වෙත ලඟා වුනා. අවම වශයෙන් 4 වතාවකදී පමණ උගන්ඩාවේදී අප ජීප් රිය පොලිස් පරීක්ෂාවට ලක් වුනා. මාර්ගයේ සමහර කොටස් කි.මී. 3-4 ප්‍රමාණයන් තාර පාරවල් නොව මඩ සහ දුවිලි පිරුණු මාවත්. රාත්‍රී අටට පමණ අප කටුනා දේශ සීමාව වෙත ළඟ වුනා. දහස් ගණනින් මිනිසුන් පිරී ඇති කටුනා දේශ සීමා කපොල්ල පසුකර යාම ලෙහෙසි පහසු ක්‍රියාවක් වුනේ නැහැ. බයිසිකල්, මොටෝ බයිසිකල්, කන්ටේනර් සහ බව්සර් වලින් සැදුනු වාහන පෝලිම කි.මී. 3-4 කට වඩා දිගයි. අවම වශයෙන් පැය 2ක් වත් බලා සිටීමට සිදු වුනා අපේ වාරය පැමිණෙන තෙක්.

ගමන් බලපත්‍ර පරීක්ෂාවෙන් පසු අපි තවත් කි.මී. 1ක් පයින් ගමන් කර රුවන්ඩා දේශ සීමාවට පැමිණුනා. පුදුමයකට මෙන්  රුවන්ඩා දේශ සීමාව තුල උගන්ඩා දේශ සීමාව තුල දක්නට ලැබුණු අවිධිමත් සහ අපිරිසිදු දර්ශන දක්නට තිබුනේ නැහැ. ටයි පටි පැලදගත් සිනාමුසු මුහුනින් යුත් ආගමන නිලධාරීන්, පිරිසිදු ආපනශාලා සහ විශේෂයෙන් වැසිකිලි පහසුකම් සහිත විවේකාගාර නිසා රුවන්ඩාව ගැන ප්‍රථමයෙන් ආකර්ශනීය හැගීමක් අප සිත් තුල ඇති වුනා. 

 

විනාඩි 10ක් පමණ කාලයකින් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීම නිමා වුනා. පරිසරය ආරක්ෂා කිරීමේ ඉතා තදබල නීතිරීති ඇති රුවන්ඩාවට කිසිම ප්ලාස්ටික් බෑගයන් ගෙන ඒමට අවසර නැහැ. එම නීතිය කලින්ම මා දැන සිටි නිසා උගන්ඩා දේශ සීමාවේදීම සියලුම ප්ලාස්ටික් බෑගයන් ඉවත් කලා.

 

දහවල් 1ට පමණ කම්පාලා වලින් පිටත් වූ අප රාත්‍රී 8ට පමණ දේශසීමාවට ලඟා වූ අතර කටුනා සිට රුවන්ඩාවේ අගනුවර වන කිගාලි නගරය වෙත යාමට තවත් කි.මී 81ක දුරක් යාමට අපට සිදුවුනා. පුදුමයකට මෙන් කටුනා සිට කිගාලි දක්වා දිවෙන මාර්ගය අතිශයින් නවීන සියලුම මාර්ග සලකුණු වලින් සමන්විතයි. මිහිදුමෙන් පිරී මාර්ගය සහ අවට ඇති කඳුකර දර්ශනයන් නිසා මාර්ගය තවත් අලංකාර වී තිබුනා.

න්තරමා ජනසංහාර අනුස්මරණ සංකීර්ණය  NTARAMA GENOCIDE MEMORIAL SITES   - පළමුවෙන්ම 1994 රුවන්ඩාවේ සිදුවූ සිද්ධීන් සම්බන්ධව ඔබගේ අවධානය යොමු කරවන්නට කැමතියි. 1994 වර්ෂයේ රුවන්ඩාවේ ජනගහනය මිලියන් 7ක පමණ වුනා. එයින් 85%ක් පමණ හුතු ජාතිකයින්ගෙන්, 14%ක තුත්සි ජාතිකයින්ගෙන් සහ 1%ක ත්වා ජාතිකයින්ගෙන්ද සමන්විත වුනා. 1992 වර්ෂය වනවිට හුතු අන්තවාදීන් යයි සැලකෙන පුද්ගලයන් විසින් රුවන්ඩාවේ පැන නැගෙමින් පැවතුනු සමාජ ආර්ථික සහ දේශපාලන බලපෑම් වලට තුත්සීන් සම්බන්ධ යයි චෝදනා එල්ල කල අතර  එසේම තුත්සීන් විසින් ආරම්භ කරන ලද රුවන්ඩා දේශප්‍රේමී පෙරමුන පිළිබඳවද හුතු ජාතිකයින් තම අප්‍රසාදය පළකර තිබුනා. එවකට රුවන්ඩාවේ ජනාධිපති ධුරය දැරූ හුතු ජාතික හබ්යරිමානා ගේ ක්‍රියා කලාපය නිසා හුතු සහ තුත්සි වරුන් අතර පරතරය තව දුරටත් වර්ධනය වුනා.

 

1994 අප්‍රේල් මස 6 වැනිදා රුවන්ඩාවට කළු අප්‍රේල් මාසය උදා වුනා. එදා ජනාධිපති හබ්යරිමානා රැගත් ගුවන් යානය හදිසි වෙඩි පහරවල් වලට ලක්වී බිම පතිත වුනා. කැරලි කෝලාහල වල ආරම්භයත් එයම වුනා. යුද්දයේ නාමයෙන් තුත්සි ජාතිකයින් ජන සංහාරයකට ලක් කිරීම සඳහා ක්‍රියාදාමය මෙසේ ඇරඹුනා. දේශපාලන නායකයින් සහ තත්වය  පාලනය කිරීමට හැකියාව තිබුණු සියලුම පුද්ගලයින් ඉතා සහාසික ලෙස ඝාතනය කෙරුනා. තුත්සි ජාතිකයින් සහ ඔවුන්ට සමාන පුද්ගලයන් අමු අමුවේ මරා දැමුනා. ඔවුන්ගේ පලා යාම වැළැක්වීමට මාර්ග බාධක යොදා ගැනුනා. තුත්සි ජාතිකයින්ගේ පවුල් වල සාමාජිකයින්ද අමු අමුවේ ඝාතනය කරනු ලැබුවා. තුත්සි ජාතික කාන්තාවන් දුෂණය කරමින්  කුඩා දරුවන් පවා අමානුෂික ලෙස ඝාතනය කරමින් හුතු මිනීමරුවන් අප්‍රේල් 4 වැනිදා සිට සතියක් යන විට ලක්ෂ 8කට වැඩ පිරිසක් මරා දමා තිබුනා. එසේම මේ ක්‍රියා කලාපයට විරුද්ධ වූ හුතු ජාතිකයින් දහස් ගණනක්ද ඝාතනයට ලක්වුනෑ.

 

ලෝක ඉතිහාසයේ අතිශය කෘර භයානක සහ අප්‍රසන්න ජන සංහාරය රුවන්ඩාවේ මෙසේ සිදුවුනා.

න්තරමා ජනසංහාර අනුස්මරණ සංකීර්ණය කිගාලි නගරයේ දකුණු පසින් කි.මී.30ක පමණ දුරකින් පිහිටා තිබෙනවා. මෙය පැරණි දේවස්තානයක්. 1994ට පෙර හැම අවස්ථාවකදීම තුත්සිවරුන්ට විරුද්ධව කැරලි කොලාහාල ඇතිවූ විට තුත්සිවරුන්ට පිහිටවීමට සිටියේ මෙම දේවස්ථානය පමනයි.

ඒ සෑම අවස්ථාවකදීම පිහිටවීම නිසා 1994 අප්‍රේල් මාසයේදීද තුත්සි වරුන් මෙම දේවස්ථානයේ පිහිට පතා එහි පැමිණියා. එහෙත් මේ අවස්ථාවේදී හුතු මිනීමරුවන්ගෙන් බේරීමක් ලැබුනේ නැහැ. තුත්සි ජාතිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 5000ක් පමණ මේ ස්ථානයේදී ඝාතනයට ලක්වුනා.

     ජායාරූප පුවත්   

Please reload

අද මෙම දේවස්ථානය අනුස්මරණ සංකීර්ණයක් හැටියට පවත්වාගෙන යනවා. කිසිම දිනෙක මෙම ස්ථානය නැවත දේවස්ථානය බවට පත් වෙන එකක් නැහැ. විසිරී ඇති පෑන් පැන්සල්, ඇදුම් පැළදුම්, පොත්පත් සහ බිත්ති වල සිදුරු, පතොරම් කොපු තවත් කියාපාන්නේ කුරිරුබවේ සංකේතයි. තවත්  කාමරයක තැන්පත් කර ඇත්තේ ඝාතනයට ලක්වුවන්ගේ හිස්කබල්. මිනිසුන්ට මිනිසුන්ට එරෙහිව මෙතරම් කෘර ලෙස කටයුතු කරන්නට පුලුවන්ද ?  මේ දර්ශනයන් දුටු මට මාගේ මගපෙන්වන්නගෙන් එකදු ප්‍රශ්නයක්වත් ඇසීමට තරම් සිතක් පහල වුනේ නැහැ. මා සමග මෙම සංචාරයේ යෙදුනු මාගේ මිත්‍ර තුත්සි ජාතික කාන්තාවක් වන ඉමුලිසා මේ දර්ශනයන් දුටු විට සිහි මුර්ජා වුනා. ඇගේ මව සහ පියා 1994 වර්ෂයේදී හුතුන් අතින් ඝාතනයට ලක්වී තිබෙනවා. ඇය බුරුන්ඩි රාජ්‍යයට පැනගොස් සිය ජීවිතය බේරාගෙන තිබුනා.

හද කකියවන දර්ශනයන්ගෙන් පිරුණු න්තරමා ජනසංහාර අනුස්මරණ සංකීර්ණය කියාපාන්නේ රුවන්ඩා ජනසන්හාරයේ ඇති බිහිසුනුභාවයයි. නැවත කොතැනක හෝ කෙදිනක හෝ කිසිම රටක මෙවැනි සංහාරයක් ඇති නොවේයයි අපි ප්‍රර්ථනා කරමු. ඔබ සංචාරයක් සඳහා රුවන්ඩාවට යන්නට අවස්ථාවක් ලැබුනහොත් මෙම ස්ථානය නැරඹීමට යන්න අමතක කරන්න එපා. ඒක ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානයි. 

නියාමතා ජනසංහාර අනුස්මරණ සංකීර්ණය

මාගේ කිගාලි සංචාරයේ ඊළග පියවර වුයේ කි.මී.35ක් දුරින් පිහිටි නියාමතා ජනසංහාර අනුස්මරණ සංකීර්ණය වෙත යාම. 1994 රුවන්ඩා ජන සංහාරයේදී අති බිහිසුනුම මනුෂ්‍ය ඝාතන සිදුවූ ස්ථානයක් ලෙස මේ ස්ථානය හැඳින්වෙනවා. මේ ස්ථානයේදී පමණක් සහාසික ලෙස මරා දැමුණු තුත්සි ජාතිකයින් ගේ ගණන දස දහස ඉක්මවනවා. මිනීමරු හුතු ජාතිකයන් ගෙන් සැදුම් ලත් මිලිෂියා භටයින් සහ රුවන්ඩා ආරක්ෂක අංශ වල සාමාජිකයින් මේ තුත්සි ගම්මාන වට කරත්දී නිරායුධ තුත්සි ජනතාව පලා ගියේ එවකට දේවස්තානයක්ව පැවති නියාමතාව වෙතටයි. අසල්වැසි ජනතාව ඉබි යතුරු දමා වසා නිරායුධ ජනතාව ආරක්ෂා කිරීමට උත්සාහ කලත් ඒවා කඩා දමමින් ඇතුළුවූ මිනීමරුවන් තුවක්කු, ග්‍රෙනේඩ් සහ කඩු මන්නා උපයෝගී කරගෙන දස දහසකට අධික පිරිසක් ඝාතනය කළා. 

නිවාඩු දිනයක් නිසාදෝ මෙම ස්ථානය වසා තිබුණු බැවින් ඇතුලට යාමට මට අවස්ථාවක් ලැබුනේ නැහැ. 

මුරම්බි ජනසංහාරන අනුස්මරණ මධ්‍යස්ථානය Murambi Genocide Memorial Center 

පසු දින මගේ අදහස වුයේ කිගාලි සිට බුරුන්ඩි රාජ්‍යය වෙත ගමන් කරන්නට. කි.මී. 290 ක් පමණ දුරකින් පිහිටා ඇති බුරුන්ඩි රාජ්‍යයේ අගනුවර වන බුජුම්බුරා නගරයට යන මාර්ගය වැටී ඇත්තේ රුවන්ඩාවේ තවත් රමණීය නගරයක් වන බුටාරේ හරහා. බුටාරේ නගරයට තවත් කි.මී. 26ක් ඈතින් පිහිටා ඇති පුංචි ගම්මානයක් වන මුරම්බි හි පිහිටා ඇති තවත් ශෝචනීය ස්ථානයක් නැරඹීමට මට අවස්ථාවක් ලැබුනා. මුරම්බි ගම්මානයේ පිහිටා තිබෙන තාක්ෂණික විද්‍යාලය අද ජනසංහාරන අනුස්මරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.  1994 රුවන්ඩා ජන සංහාරය ආරම්භ වෙත්ම ක්‍රියාත්මක වූ හුතු මිනීමැරුම් යාන්ත්‍රනය මේ ස්ථානයේදී හතලිස් දහසකට වඩා තුත්සි වරුන් පිරිසක් අමු අමුවේ මරාදමා තිබෙනවා. මේ සියලුම මිනීමැරුම් සදහා ඔවුන් භාවිතා කලේ යකඩ මන්නා පිහි සහ පොලු මුගුරු. ප්‍රදර්ශනය තබා ඇති හිස් කබල් පරීක්ෂා කිරීමෙන් කොතරම් සියුම් ආකාරයෙන් ඉතා නිවැරදිව මන්නා සහ පිහි පහරවල් එල්ල කරමින් තුත්සි වරුන් මරා දමා ඇති බව පැහැදිලිවෙනවා.

මේ තාක්ෂණික විද්‍යාලයේ සියලුම පන්ති කාමර දැන් අනුස්මරණ කුටි ලෙස සකස් කර තිබෙනවා. සෑම පන්ති කාමරයකම කැල්සියම් කාබනේට් වලින් ආවරණය කරන ලද නරක නොවන සේ සකස් කල මියගිය පුද්ගලයින්ගේ, කුඩා දරුවන්ගේ සිරුරු 848 ක් ඒ ආකාරයෙන්ම දැක ගන්නට පුළුවන්. ප්‍රධාන ශාලාවේ රුවන්ඩා ජන සංහාරය ගැන ජායාරුප ප්‍රදර්ශනයක් සහ තවත් කාමර දෙකක ඝාතනයට ලක්වුවන්ගේ විස්තර සහ බෙහෙත් ගැල්වූ මෘත ශරීර ගබඩා කර තිබෙනවා. 

 

මෙම ජනසංහාරන මධ්‍යස්ථානය රුවන්ඩාවේ වැඩිම සංචාරකයින් පැමිණෙන ස්ථානයක් බවට පත්වී තිබෙනවා. මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ එවකට රුවන්ඩාවේ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම හමුදාවක් වශයෙන් කටයුතු කල ප්‍රංශ සොල්දාදුවන් විසින් පාලනය කරන ලද ටර්කොයිසේ පෙදෙසේහි. මාගේ මිත්‍ර මග පෙන්වන්නා වූ ඉමුලිසා පවසන අන්දමට හුතු අන්තවාදීන් විසින් 1994 අප්‍රේල් මස 16 වැනිදා සිය මරණ යාන්ත්‍රනය ආරම්භ කිරීමත් සමගම 65000කට අධික තුත්සිවරුන් පිරිසක් මුරම්බි දේවස්ථානය වෙත ආරක්ෂාව පතා පැමිණියා. එහෙත් දේවගැතිතුමා පවසා ඇත්තේ මුරම්බි තාක්ෂණික විද්‍යාලයට ප්‍රංශ සොල්දාදුවන්ගේ ආරක්ෂාව ඇති නිසා එම ස්ථානයට යන ලෙසය. තාක්ෂණික විද්‍යාලය ඇතුළු වූ පිරිස් වටකළ හුතු මිලිශ්යා මිනීමරුවන් දින දෙක තුනක් ආහාර සහ ජලය කපා හරිමින් පිරිස් නිරාහාරව තබා තිබෙනවා. එහෙත් අප්‍රේල් මස 21 වැනිදා එහි ඇතුළු වූ හුතු මිනීමරුවන්  45,000කට අධික තුත්සිවරුන් අමු අමුවේ සාහාසික ලෙස ඝාතනය කළා. තවත් 15,000 කට අධික පිරිසක් පලා යාමට සමත් වුවත් ඔවුන්ද ඊළඟ දිනයේදී සොයා ගොස් ඝාතනය කිරීමට හුතු මිනීමරුවන් සමත් වුනා.

එහෙත් පුදුමයකට මෙන් ප්‍රංශ සොල්දාදුවන් කලේ බර වාහන යොදා මිනී වලවල් කපමින් මළමිනී බුරුතු පිටින් ඒවාට දමා සමුහ මිනීවළවල් සැදුවා මිස ඔවුන්ව ආරක්ෂා කිරීම නම් නොවේ.

සිදුවූ දෙය වසන් කිරීමට සමුහ මිනීවලවල් මත වොලිබෝල් පිටි සාදමින් ක්‍රීඩා කල ප්‍රංශ සොල්දාදුවන් ගේ මේ ක්‍රියා දාමය අදටත් ලොව පුරා ඉතාමත් ලැජ්ජා සහගත අප්‍රසන්න ක්‍රියාදාමයක් ලෙසට ඉතිහාසගත වී තිබෙනවා. 

ජීවිතය බේරා ගත් දැරියකගේ මතක සටහනක්

 

ජීවිතය පුදුමාකාරය. මට දැනෙන්නේ භයානක බියකි. මගේ අනාගත කෙසේ වේදැයි මට කිව නොහැක. මගේ දෙමව්පියන් නැවත කිසි දිනක මට දකින්නට ලැබෙන්නේ නැත. නමුත් මාගේ ජීවිත කාලය පුරාවටම මගේ දෙමව්පියන් මැරූ පුද්ගලයින් මට පෙනේ. ඔවුන්ගේ දරුවන් මට පෙනේ.  මෙය මට දරා ගත නොහැක. 

 

දොනාට - වයස අවුරුදු 11

කිගාලි ජනසංහාරන අනුස්මරණ මධ්‍යස්ථානය

KIGALI GENOCIDE MEMORIAL

 

කිගාලි නගර සභාව සහ එංගලන්තයේ සංවිධානයක් එකතුව ආරම්භ කරන ලද කිගාලි ජනසංහාරන අනුස්මරණ මධ්‍යස්ථානයටද යෑමට මේ සංචාරයේදී මට අවස්ථාවක් ලැබුනා. මෙයද රුවන්ඩාවට පැමිණෙන සංචාරකයින් අනිවාර්යයෙන්ම බැලීමට යන ස්ථානයක්. 

 

ජන සංහාරයට ගොදුරු වූ පුද්ගලයින් 258,000ක ගේ සොයාගත් කොටස් මෙම ස්ථානයේ තැන්පත් කර තිබෙනවා. මියගිය පුද්ගලයින් සෙවීම අදටත් රුවන්ඩාවේ සිදුවෙනවා. එසේම ජන සංහාරය හා සම්බන්ද ආයුධ ඇදුම් පැළදුම් ලිපිලේඛන ජායාරුප විශාල ප්‍රමානයක්ද  මේ මධ්‍යස්ථානයෙදී අපට දැක ගන්නට පුළුවන් වුනා.

 

ජන සංහාරයේ 10 වන සංවත්සරය නිමිත්තෙන් ආරම්භ කල මෙම මධ්‍යස්ථානය ප්‍රදර්ශන කුටි 3කින්, ලිපිලේඛන අඩංගු මැදිරියකින් , පුස්තකාලයකින් සහ සාමය සහ සංහිදියාව වෙනුවෙන් විශේෂ කුටියකින්ද සමන්විත වෙනවා. 

 

මේ ස්ථානයේ සේවය කරන්නේද  ජන සංහාරයට ගොදුරුවූවන්ගේ නෑදෑයින්. එසේත් නැතිනම් මරණයෙන් බේරුණු පුද්ගලයන්.

මෙහි සේවය කරන සේවක සේවිකාවන් සමග කතා බස් කරන්න මට අවස්ථාවක් ලැබුනා. එක කාන්තාවක් පැවසුවේ ඇයත් ඇගේ සැමියාත් මරණයෙන් බේරුණු නමුත් සැමියාට මේ ස්ථානයේ සේවය කිරීමට අපහසුයි කියා. හේතුව සෑම දිනකම ඒ කෘර අතීතය නැවත ආවර්ජනය වෙන නිසා. තවත් සේවකයෙක් පවසන්නේ ඔහුගේ මවගේ සිරුරද මේ ස්ථානයේ වලලා ඇති සමුහ මිනීවලේ තියෙන්නට ඇති බවයි.

ජන සංහාරයක දුකන්දරාව  විදිමින් ඒ තුලින් අනිකුත් අයට එහි ඛේධාන්තභාවය පහදා දෙමින් නැවත මෙවැනි විපතක් ලොව කොතැනක හෝ ඇති නොවීමට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඔවුන් මේ කරන්නාවූ සේවය ඇත්තෙන්ම අගය කල යුතු වෙනවා. 

රුවන්ඩා හෝටලය HOTEL RWANDA - HOTEL DES MILLE COLLINES - 

රුවන්ඩා හෝටලය සිනමාකරණයේ පෙන්වන්නේ පෝල්  රුසේසබගීනා නමැති හෝටල් කළමනාකරුවා 1994 වර්ෂයේදී රුවන්ඩාවේ සිදුවූ ජනසංහාරයේදී දහස් ගණනක් තුත්සි ජාතිකයින් හුතු ජාතික මිනීමරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තම හෝටලය තුත්සි ජාතිකයන් හට ආරක්‍ෂිත සෙවනක් බවට පත්කර ඔවුන් ආරක්ෂා කරගත් අන්දමයි. සත්‍ය සිද්දියක් පදනම් කරගෙන බිහිවූ මෙම සිනමා කෘතිය රුප ගත කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ වුවත් සත්‍ය සිද්ධිය සිදුවුයේ කිගාලි නුවර ඩිප්ලෝමැට් හෝටලයේදී. 

 

රුවන්ඩා ජන සංහාරය ආරම්භ වී හුතු සහ තුත්සීන් අතර සටන් ඇවිලී ගිය මොහොතේ දෙස් මිලෙස් කොලින්ස් හෝටලයේ කළමනාකරුවා වූ හුතු ජාතික පෝල් රුසේසබගීනා තම අසල් වැසියන් ඝාතනය වනු සියැසින් දැක්කා. ඔහුගේ බිරිද තත්යානා තුත්සි ජාතිකයෙක් වුයෙන් පෝල්ට බරපතල ලෙස ප්‍රශ්න ඇතිවුවත් හුතු මිලිෂියා කරුවන්ට මුදල් සහ මත්පැන් සපයා දීමෙන් තරමක් දුරට හෝ තත්වය පාලනය කරගෙන් තම බිරිද හා දරුවන් රැක ගන්නට පොල්ට හැකිවුනා.  ඒ වගේම සිවිල් යුද්දය තව දුරටත් ඇවිලී යත්දී රුවන්ඩා යුද හමුදා නිලදාරීන්ගෙන් එන බලපෑම් නොතකා සිය අසල් වැසියන් තම හෝටලයට ආරක්ෂාව සඳහා ගෙන්වා ගැනීමට ඔහුට හැකි වුනා. තත්වය තවත් දරුණු වෙත්දී එක්සත් ජාතීන්ගේ කදවුරු වලිනුත් රතු කුරුස සංවිධානයේ කදවුරු වලිනුත් අනාතයින් මේ හෝටලයට පැමිනුනා. අනාථ ජනතාව ආරක්ෂා කර ගැනීම සහ තම පවුලේ උදවිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලවත් සටනක යෙදීමට පොල්ට සිදුවුනා. ඒ අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවේ නායක කැනඩා ජාතික කර්නල් ඔලිවෙර් හුතු මිලිශා පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට අවකාශ නොලැබුණු හෙයින් රුවන්ඩාවේ සිටි විදේශිකයින් ඉවත් කරගැනීමට මෙහෙයුමක් දියත් කිරීම ආරම්භ කළා. පෝල් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉවත් කර ගැනීම සදහා අසාර්ථක මෙහෙයුමක යෙදුනු නමුත් අවසානයේදී රුවන්ඩා යුද හමුදාවේ ජෙනරාල් වරයෙකු වන  ඖගුස්ටින් ගේ සහය පැතීමට සිදු වුනා.  එයත් අසාර්ථක වීමෙන් ජෙනරාල් ට විරුද්ධව යුද්ධ අපරාධ සම්බන්දයෙන් චෝදනා එල්ල කරන බවටත් කියා ඔහුව බිය ගැන්වීමටද පෝල් උත්සහ ගත්තා. අවසානයේදී එක්සත් ජාතීන් ගේ සාම හමුදාවේ සහාය ඇතිව අනාථ වූ තුත්සි ජාතිකයින් ආරක්ෂා සහිත ප්‍රදේශයකට රැගෙන යාමට පෝල් ට හැකිවුනා. 

2004 වර්ෂයේදී ඇමෙරිකානු ජාතික ටෙරී ජෝර්ජ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටියේ පෝල් රුසේසබගීනා ගේ චරිතය රගපාමින් සම්මාන රැසක් දිනා ගනු ලැබුවේ ප්‍රසිද්ධ සිනමා නළු දොන් චීද්ල්. 

 

මාගේ රුවන්ඩා සංචාරයේ එක අරමුණක් වුයේ මොහොතකට හෝ මෙම හෝටලයට ගොඩ වැදී පෝල් රුසේසබගීනා ගේ  චරිතය මතුවූ අවස්ථා සහ හෝටලය දැක බලා ගැනීමයි. එය ඉෂ්ට වුනත් මේ සිද්ධිය සම්බන්ධව කිසිම සටහනක් ලකුණක් හෝ මෙම හෝටලයේ දක්නට නැහැ. 

රුවන්ඩාව සහ අප්‍රිකානු නැටුම් කලාව අතර ඇත්තේ අන්‍යොන්‍ය සම්බන්ධතාවයක්. යටත් විජිත යුගයටත් පෙර සිටම තනි භාෂාවක් කතා කරන බන්යාරුවන්දා ජනතාවගේ පටන් පැවත එන නැටුම් සම්ප්‍රදායයන් නැරඹීමෙන් ලබා ගත හැක්කේ අමුතුම ආශ්වාදයක්.

කිගාලි නගරයේ සිට බුරුන්ඩි අගනුවර වන බුජුම්බුරා නගරය දක්වා ඇති මාර්ගය වැටී ඇත්තේ කුඩා එහෙත් දර්ශනීය බුටාරේ නම් නගරය හරහාය.  බුටාරේ නගරය ප්‍රසිද්ධව ඇත්තේ ලොව සුප්‍රසිද්ධ රුවන්ඩා ඉන්ටෝරේ නැටුම් සංදර්ශන පැවැත්වෙන කේන්ද්‍රයක් හැටියට.  මේ නගරයේ ඇති ජාත්‍යන්තර කෞතුකාගාර පරිශ්‍රයේදී දිනපතා පැවැත්වෙන රුවන්ඩා ජන නැටුම් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ප්‍රමාණය ඇති විශාලයි. 

නමුත් අවශ්‍ය වෙලාවට බුටාරේ නගරයට පැමිණීමට නොහැකිවීම නිසා මේ අනගි අවස්ථාව මට මඟ හැරුනා. නමුත් මේ නැටුම් නැරඹීමට මාගේ ඇති උනන්දුව සහ ආශාව දුටු බුටාරා නැටුම් කණ්ඩායමේ සාමාජිකයෝ මා වෙනුවෙන්ම විශේෂ පුහුණු නැටුම් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළා. 

මේ නැටුම් හඳුන්වන්නේ ඉන්ගේසි නමින්. ඉන්ගේසි නැටුම් වල මුලික කොටස් වන්නේ කාන්තාවන් විසින් ඉදිරිපත් කරන බැලේ නැටුම් කොටස, පිරිමින් විසින් රංග දක්වන යුද්ධ ශිල්පමය රංගනය සහ ඒ නැටුම් ජවනිකා වලට අවශ්‍ය සංගීතය සපයන බෙර වාදන කන්ඩායමත්ය.  

රුවන්ඩාව සහ කොංගෝ රාජ්‍යයේ දේශ සීමාව අසල තිබෙන ගිසේන්යි නගරයට යාමටද මට අවස්ථාවක් ලැබුනා. කිගාලි නගරයේ සිට කි.මී. 150ක් පමණ දුරකින් මෙය පිහිටා තිබෙනවා.  ඒ වගේම ප්‍රසිද්ධ කිවූ විල රුවන්ඩාව සහ කොන්ගෝ දේශයට මායිම්ව පිහිටා තිබෙනවා. සංචාරකයින් අතර මහත් ප්‍රසිද්ධයට පත්ව ඇති ගිසේන්යි න්යම්යුම්බා උනු වතුර ළිං පිහිටා තිබෙන්නේද කිවූ විලට යාබදවයි. ඉතාමත් දර්ශනීය ගංගා තීරයකින් සමන්විත කිවූ විලේ රුවන්ඩා සහ කොංගෝ ධීවරයන් තවමත් පාරම්පරික ධීවර ආම්පන්න උපයෝගී කර ගනිමින් මසුන් මැරීමේ කර්මාන්තයේ යෙදී සිටින හැටි දැක ගන්නට පුළුවන්.

රුවන්ඩාවේ නොයෙක් තැන්වල සංචාරයෙදී විවිධ පුද්ගලයින් සමග අදහස් හුවමාරු කර ගැනීමට මට හැකි වුනා. මිනිසුන් හමුවේ මෙතරම් දරුණු කෘර අමානුෂික ජනසංහාරයක් දියත් වූ බව විශ්වාස කරන්නට පවා අපහසුයි. එසේම ඉතා කෙටි කාලයක් තුල  ජාතීන් අතර ප්‍රශ්න විසඳා ගනිමින් එක ජනතාවක් ලෙස ආර්ථික හා සමාජයීය වශයෙන් තරමක් දුරට නැගී සිටීමට රුවන්ඩාවට  හැකිවීම අගය කළයුත්තක්.  වසර 20 කට පෙර සිදුවූ දරුණු කෘර සහ භයානක ජනසංහාරය යටපත් කරමින් අප්‍රිකාවේ හොඳම පාලනයක් සහ නැගී එන හොදම ආර්ථිකයක් ඇති රාජ්‍යයක් වශයෙන් රුවන්ඩාව අද පෙරමුණේ සිටිනවා. මේ සියලුම ජයග්‍රහණ රුවන්ඩාව ලබා ගෙන තිබෙන්නේ අවිනිශ්චිත අස්ථාවර දේශපාලන නායකත්වයන් සහ තත්වයන් ඇති අසල්වැසි රටවල් වලට මැදි වෙලා. නමුත් රුවන්ඩා ජනතාව සාමය සහ සංහිදියාව අනුමත කොට තිබෙනවා. නැගෙනහිර අප්‍රිකාවේ වටිනාම රාජ්‍යය හැටියට රුවන්ඩාව හදුන්වනවානම් එය සත්‍යයක්. ජාතීන් අතර සංහිදියාව ඇති කල හැකි බවට රුවන්ඩාව කදිම නිදසුනක් . අවශ්‍ය වන්නේ පාලකයන්ගේ සහ ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනය සහ කැපවීම පමණයි.

රොහාන් ඩිරෙක්ස්  

සංචාරය කලේ 2015 ජනවාරි මාසයේ 

www.sanchara.lk