



2014 වසරේ අප්‍රේල් මාසයේ 16 වැනිදා දකුණු කොරියාවට උදෑසන ලැබුවේ ඉතාමත් දුක්මුසු පුවතක් සමග. කොරියානු නෞකාවක් කොරියාවේ ජෙජු දුපතට යාත්‍රා කරමින් තිබියදී අනතුරකට ලක්වී එහි සිටි පාසල් සිසුන් ඇතුළු මගීන් 304ක් මරුමුවට පත්වීම සැලවීමත් සමගම මුළු ලෝකයම කම්පාවට පත් වුනා.
මේ පුවතත් සමග ජෙජු දුපත් පිළිබඳවත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තා. ජෙජු දුපත පිහිටා තිබෙන්නේ දකුණු කොරියාවේ දකුණු දිසාවට වෙන්නට. ඕවල් හැඩයක් ගන්න මේ දුපතේ දිග පළල වන්නේ කි.මී.71ක් සහ 31ක්.

ජෙජු දුපතේ ඇති තරමක් උණුසුම් කාලගුණයත් එහි අලංකාර හැඩයත් ඒ වගේම දුපතේ පිහිටා ඇති අසාමාන්‍ය ගිනි කඳු ආවාටයත් නිසා මේ දුපතට වසරකට විශාල කොරියානු මෙන්ම විදෙස් සංචාරකයින් පැමිණෙනවා. 2013 වසරේදී පමණක් සංචාරකයින් මිලියන 10ක් පමණ ජෙජු දුපතේ සංචාරය කර තිබෙනවා. කොරියානු ජාතිකයින් මේ දුපත හඳුන්වන්නේ කොරියාවේ හවායි දුපත වශයෙන්. හැබැයි වැඩිහිටි කොරියානු ජනතාව නම් මෙය හඳුන්වන්නේ දෙවියන්ගේ දුපත හැටියට.

මගේ දකුණු කොරියානු සංචාරයේ දී මට හැකිවුනා දින කීපයකට මේ ජෙජු දුපතට යන්නට. එහිදී ජෙජු දුපතේ තිබෙන මේ අසාමාන්‍ය ගිනි කඳු ආවාටය නැතිනම් කොරියානු භාෂාවෙන් සිඔන්ග්සාන් ඉල්චුල්බෝන්ග් ආවාටයට ගිය ගමන ඇත්තෙන්ම අලුත් අත්දැකීමක් වුනා.
ලොව අලුතෙන්ම නම් කර ඇති පුදුම හතෙන් එකක් හැටියටද මේ ජෙජු දුපතේ ගිනි කඳු ආවාටය හැඳින්වෙනවා.

ජෙජු දුපතට යන්නට කොරියානු අභ්‍යන්තර ගුවන් සේවා සමාගම් කිහිපයක් සිය සේවා පවත්වා ගෙන යනවා. දකුනු කොරියාවේ බුසාන් නගරයේ සිට පැයක් පමණ වෙලාවක් මේ වෙනුවෙන් පියාසර කල යුතුයි.
මේ ගිනි කන්ද නගින්න කන්ද පා මුලට එන කොටත් සැහෙන සංචාරකයින් පිරිසක් පැමිණිලා තිබුන. දහවල් වෙනවිට තිබෙන රස්නයත් ඒ වගේම අවිනිශ්චිත කාලගුණ තත්වයත් නිසා, ඒ කියන්නේ සමහර විට කාලගුණ තත්වය දරුණු වූ විට මේ කන්ද නැගීම කොරියානු රජය මගින් තාවකාලිකව අත් හිටවනවා.
මේ දුපත වර්ග කි.මී. 1848ක් විශාල වන අතර දල වශයෙන් ලක්ෂ 6ක් පමණ ජනතාවක් වාසය කරනවා.
මේ ගිනි කඳු ආවාටය බිහි වෙලා තියෙන්නේ මීට වසර ලක්ෂයකටත් අධික කාලයකට පෙර සාගරය පතුලේ ඇතිවූ විශාල ගිනිකඳු පිපිරීමකින්. මේ ආවාටයේ පළල පමණක් මීටර 600ක් පමණ වෙනවා. ඒ වගේම මුහුදු මට්ටමේ සිට මීටර 180 ක් පමණ උසකින් තමයි මේ ආවාටය පිහිටා තිබෙන්නේ.

මේ ගිනි කන්ද උඩට නගින්නට ලී වලින් සෑදු තාවකාලික පඩි පෙළක් සාදා තිබෙනවා. ඒ අතරතුර ස්ථාන කිහිපයක ඉහල සිට ජෙජු දුපතේ අලංකාරය විඳ ගන්නට වේදිකා කිහිපයක්ද තනා තිබෙනවා.


ආවාටයේ ඉහලම පෙදෙසට නගින්නට අපිට පැයක් පමණ කාලයක් ගත වුනා.
මුදුනේ දක්නට තිබු දර්ශනය ඇත්තටම පුදුම සහගතයි. මීටර 600ක් පමණ පළල ඇති විශාල අආවාටය කඳු මුදුනේ කුහරයක් ලෙස සකස් වී තිබෙනවා. එහි මතුපිට තන කොළ වලින් සම්පුර්ණයෙන්ම වැසී තිබුනා. හරියට කොළ පාට බුමුතුරුනක් එලුවා වගේ.
මෙය ගිනි කන්දක්ද එය කොයි මොහොතේ හෝ පුපුරායිද කියන කිසිම හැගීමක් ඒ අලංකාරය දුටු විට ඇති වන්නේ නැහැ.

මේ ආවාටය වටේට ඉතා තියුණු කුඩා ප්‍රමාණයේ ගල් කඳු 99ක් දක්නට ලැබෙනවා.
මෙවැනි ආකාරයට බිහිවූ ගිනි කඳු ආවාට කිහිපයක් ලොව තිබුනත් මේ තරම් දර්ශනීය ආකාරයට නිමාවී තිබෙන ගිනි කඳු ආවාටයක් තවත් නැති තරම්.
ඇයි කොරියානුවන් මේ ආවාටයට සේඔන්ග්සාන් ඉල්චුල්බෝන්ග් යනුවෙන් හඳුන්වන්නේ කියල මෙතනදී අවබෝධ වෙනවා. ඉර සේවය අලංකාරව නරඹන්න පුළුවන් කන්දක් උඩ පිහිටා තිබෙන මාලිගාවක් කියන අදහසින් තමයි මේ නම ඔවුන් තබලා තියෙන්නේ.


ඒ වගේම ගිනි කඳු ගැන සහ එහි ලක්ෂණ ගැන ඉගෙන ගන්නට ලොව තිබෙන තවත් එක් විශේෂ ස්ථානායක් ලෙසද මේ ආවාටය හඳුන්වනවා.
මහා පොලව, ජලය, ගින්දර සහ සුළඟ එකතු වී නිර්මාණය වූ මේ සිඔන්ග්සාන් ඉල්චුල්බෝන්ග් කන්ද සහ ආවාටය සොබා දහමේ විශිෂ්ට වූ නිර්මාණයක්.

ඉල්චුල්බෝන්ග් කන්දෙන් බැහැල පාමුලට ආපු අපි ඊගාවට ගියේ තවත් පුදුම දර්ශනයක් නරඹන්න.
මේ කන්ද පාමුල මුහුදු වෙරළේ කොරියානු දිය කිඳුරියන් හමුවන්නට.

ජෙජු දුපතේ සහ කොරියාවේ උඩෝ දුපතේ විතරයි මෙවැනි දිය කිඳුරියන් දැක ගන්නට ලැබෙන්නේ. මේ කොරියානු කාන්තාවන් කරන්නේ මුහුදු පත්ලේ තිබෙන බෙල්ලන්, ඔක්ටෝපස් වැනි මුහුදු ආහාර සහ ජීවීන් ජලයේ කිමිදී එකතු කර මතුපිටට ගෙන ඒම. මොවුන්ව හඳුන්වන්නේ හයෙන්යෝ දිය කිඳුරියන් ලෙස.


මේ කාන්තාවන්ට ජලය යට විනාඩි 20ක් පමණ කාලයක් රැදී සිටින්නට හැකියාව තිබෙන අතර වැඩි විනාඩි ගණනක් මුහුද යට හුස්ම නොගෙන සිටීමටද හැකියාව තිබෙනවා.


1960 වර්ෂයේදී මෙවැනි හයෙන්යෝ කිමිදෙන්නන් 60,000 ක් පමණ සිටියත් අද වන විට ඇත්තේ 5000ක් වැනි පිරිසක්. ඔවුන්ගෙනුත් 80%ක පමණ පිරිසක් වයස 60 ට වැඩි කාන්තාවන්. 1970 වර්ෂය වන විට කොරියානු මුහුදු ආහාර වලින් වැඩි ප්‍රමාණයක් ලැබුනේ මේ කිමිදෙන්නගේ ආධාරයෙන්. එහෙත් අද වන විට පැමිණි නව තාක්ෂණය මොවුන්ගේ රැකියාවටද බාධා පමුනනවා. මේ නිසා තවත් වසර කිහිපයක් යන විට මේ හයෙන්යෝ දිය කිඳුරියන්ද ලොවින් තුරන් වෙලා යාවි.
යම් දිනෙක් දකුණු කොරියාවේ සංචාරයකට යන්න ලැබෙනවානම් හෝ ඔබ දකුණු කොරියාවේ ජීවත් වෙනවා නම් මේ ජෙජු දුපතට යන්න අමතක කරන්න එපා. එය ඔබටත් අමතක නොවෙන අත්දැකීමක් වේවි.
ජායාරූප කීපයක් - triptokorea.com , wikipedia.com , korea.net , printsonetglobe.com වෙතින්

රොහාන් ඩිරෙක්ස් Rohan Direkz