• Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 මැයි 12-22 

info@sanchara.lk

සමාජවාදී ලෝකයක් ගොඩ නැගීම සඳහා මියෙන තුරුම නොනිමි අරගලයක නිරත වූ අසහාය විප්ලවීය චරිතය වන අර්නෙස්ටෝ චේ ගුවේරා පිලිබඳ සිංහල බසින් සටහන් ව ඇති බොහෝ ලිපි ලේඛන වෙති.  ඒවා සියල්ලම විදේශීය ලිපි ලේඛන මුලාශ්‍රයෙන් පරිවර්තනය වූ ඒවා විනා චේ ගුවේරා පිලිබඳ සජීවී සාක්ෂි මත සෘජුවම සැකසුනු ලේඛනයන් නොවේ. එහෙත් රොහාන් ඩිරෙක්ස් නමැති අපුරු ගවේෂණශීලී සංචාරකයා www.sanchara.lk වෙබ් අඩවිය සහ දිවයින ඉරිදා සංග්‍රහය සමග බොලීවියාවේ සහ කියුබාවේ කල සංචාරයන් ඇසුරෙන් පෙළ ගැසෙන මෙම ලිපි පෙළ එම කඩ ඉම ඉක්මවාලයි. එය වඩාත් සුවිශේෂී වන්නේ දැනට ජීවත්ව සිටින චේ ගුවේරාගේ සමීපතමයන් සහ ඔහුගේ අවසන් කාලයේ ඔහු අසල සිටි සුවිශේෂ චරිත කිහිපයක සජීවී සාක්ෂි ආශ්‍රයෙන් මෙම ලිපි පෙළ සටහන් වන බැවිනි.       -      තිස්ස ගුණතිලක 

මට මුලින්ම චේ ගුවේරා ගැන ඇසුනේ මගේ පියාගෙන්. 

 

1971 වසරේ අප්‍රේල් කැරැල්ල සිදුවූ සමයේ අපි පදිංචි වී සිටියේ කෑගල්ල ප්‍රදේශයේ. ඒ කාලයේ සිදුවූ සිද්ධියක් හා සම්බන්ධව මගේ පියා නිතරම අදහස් පල කළා. අප්‍රේල් කැරැල්ල කෑගලු දිස්ත්‍රික්කයට විශාල වශයෙන් බලපෑවා. එවකට මාගේ පියා කෑගලු දිස්ත්‍රික්කයේ විදුහලක විදුහල්පති වශයෙන් සේවය කරමින් සිටියා. අපි පදිංචිව සිටියේ විදුහල්පති බංගලාවේ. ඇඳිරි නීතිය පනවා තිබුනත් විදුහල්පති බංගලාවේ ගේට්ටුවේ ලඟට වී මාර්ගය දෙස බලමින් සිටි  මාගේ පියා දුටුවේ මාර්ගය අයිනේ තිබු විශාල ගස් කපමින් ඒවා පාරට ඇද දමමින් මාර්ගයේ හමුදා සහ පොලිස් රථ වල ගමනාගමනයට බාධා වෙන අයුරින් කටයුතු කල පිරිසක්. හදිසියේම මගේ පියා ඉදිරිපිටට පැමිණුනු එම කණ්ඩායමේ නායකයා  "සර්ට මාව අඳුනන්න පුලුවන්ද?" කියලා විමසා තිබුනා. චේ ගුවේරා මෙන් රැවුල වවා ගත් රතු තරුවක් සහිත කැප් තොප්පියක් පැළඳ ගත් තරුණයෙක් ලෙසට තමයි මගේ පියා ඔහුව හැඳින්වුයේ.  ඔහු තමයි ඊට පෙර වසරේ පාසල් අධ්‍යාපනය අවසන් කල ඒ වසරේ පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. 

 

ඊට පසුව මේ සිසුවා අත් අඩංගුවට පත්වී තිබුනා. අත් අඩංගුවේ සිටියදී පවා මාගේ පියා වෙත ලිපියක් එවමින් ඉල්ලා සිටියේ හැකියාවක් තිබේ නම් චේ ගුවේරා හා සම්බන්ධ පොත් ඇත්නම් ඒවා කියවීමට ඔහුට ලබා දෙන ලෙස. මේ සිද්ධිය නිසා ඒ කාලයේදී රහස් පොලීසිය මගින් මාගේ පියාව ප්‍රශ්න කිරීම් වලට පවා ලක් කොට තිබුනා. 

මේ සිද්ධියෙන් මතුවූ චේ ගුවේරා චරිතය සහ චේ ගුවේරා යනු කෙවැනි පුද්ගලයෙක්ද යන්න ගැන සෙවීමට මගේ සිත ඇදී ගියේ නිතැතින්ම.

රුසියාවට පැමිණි පසු චේගුවේරා ගැන තවත් බොහෝ දේ දැනගන්නට ලැබුනා. නමුත් මා කිසිම දිනෙක අපේක්ෂා කලේ නැහැ චේ ගුවේරා මියගිය ස්ථානයට, ඒ ප්‍රදේශය දකින්නට බොලීවියාවේ වලෙග්‍රන්දා ගම්මානයට යාමට මගේ ජීවිතයේදී අවස්ථාවක් ලැබේවි කියා. ඒ සියල්ලටමත් වඩා චේ ගුවේරා එදා මරණයට පත් කල ඔහුව අත්අඩංගුවට ගත් හමුදා නායකයාත්, ඒ වගේම චේ ගුවේරාට  බොලීවියාවේදී තම ප්‍රථම ගරිල්ලා කණ්ඩායම සොයා දීමට උදව් උපකාර කල පුද්ගලයින්ද මුණ ගැසෙන්නට කතා බස් කරන්නට අවස්ථාවක් ලැබීම ඇත්තටම මට විශ්වාශ කරන්නටත් අමාරුයි. 

මා මේ පවසන්නට යන්නේ මගේ බොලීවියානු (සහ කියුබානු) සංචාර වලදී මට ඇසුණු මට දැනුනු චේ ගුවේරාගේ චරිතයයි.

බොහෝ මාධ්‍ය සහ පුද්ගලයන් විසින් චේ ගුවේරා සම්බන්ධව පල කර ඇති සහ දැනටත් පල කරන වාර්තා ලිපි ලේඛන කොතරම් දුරට සාධාරණද සත්‍යද අසත්‍යද යන්න ගැන මගේ අත්දැකීම් තුලින් මා සාධාරණීකරණය කරන්නට තැත් නොකලත් ඔබ මෙතෙක් කල් නොඇසූ විවරණයක් සහ නොදුටු ජායාරුප යම් ප්‍රමාණයක් මේ තුලින් දැක ගන්නට ලැබේවි. 

චේ ගුවේරාගේ දකුණු ඇමෙරිකානු විප්ලව සටනේ අවසාන මොහොත සියසින් දුටු සුවිශේෂ  පුද්ගලයින් කිහිප දෙනෙක් සමග මම බලාපොරොත්තු වෙනවා කතා බස් කරන්නට. 

චේ ගුවේරා නාමය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම ප්‍රගතිශීලී ජනතාවගේ හදවත් දිනා ගත් වීරයෙක්. සෑම අවස්ථාවකදීම අසාධාරණ පාලන තන්ත්‍රයට එරෙහිව නැගී සිටි පුද්ගලයෙක්. ආජන්ටිනාවේ උපත ලැබුවත් කියුබාවේ ෆිදෙල් සහ රාවුල් කැස්ත්‍රෝ සමග එකතුවී කියුබානු විප්ලවය සාර්ථක කර ගන්නට දායක වුනු විශිෂ්ට චරිතයක්. 


ලෝකයේ හැම තැනම වාගේ පෙළපාලියක් කැරැල්ලක් උද්ඝෝෂණයක් තිබේ නම් චේ ගුවේරාගේ ජායාරුපය බොහෝ විට එතන ඇති. හැබැයි බොහෝ දෙනෙක් මේ චේ ගුවේරා ගැන දන්නේ ජායාරුප වලින් හා පුවත් පත් වල පලවූ ලිපි වලින්. එහෙමත් නැතිනම් ටී ෂර්ට් එකක මුද්‍රණය වී තිබෙන පින්තුරයකින්. නමුත් බොහෝ දෙනක් දන්නේ නැහැ චේ ගුවේරා ඇත්තටම මොන වගේ පුද්ගලයෙක්ද කියල. ඇයි ඔහු මිය ගියේ. කා වෙනුවෙන්ද මිය ගියේ කියා.

එදා 1967 වසරේ ඔක්තෝබර් 7 වැනිදා බොලීවියානු හමුදා භටයින් ගේ අත් අඩංගුවට කොහොමද චේ ගුවේරා පත් වුනේ.               කොහොමද  චේ ගුවේරා මිය ගියේ. 

 

චේ ගුවේරා මිය ගිහින්  වසර 50 කට පස්සේ සංචාර ගවේෂණ ලිපි පෙළ අවධි කරන්නේ ඒ මතකය. 

බොලීවියානු ජායාරුප ශිල්පී ෆ්‍රෙඩී ඇල්බෝර්ටා විසින් 1967 ඔක්තෝබර් මස 9 වැනිදා වලෙග්‍රන්දා ආරෝග්‍ය ශාලාවේදී ගත් ජායාරුපය 

1967 වසරේ ඔක්තෝබර් මාසයේ මුල සුමානයේ එක් දවසක බොලීවියාවේ ඉතා දුෂ්කර ගම්මානයක් වූ වලෙග්‍රන්දා සිට නිකුත් වුනු පුවතකින් සඳහන් වුයේ එර්නේස්ටෝ චේ ගුවේරා ගේ මරණය. මේ පුවත ලතින් ඇමෙරිකානු රටවල ලැව් ගින්නක් සේ පැතිරුනා. ලෝකයේ බොහෝ පුවත් පත් වල එම මරණය සනාත කරමින් ඉහත ජායාරුපය පල වුනත් බොහෝ දෙනෙක් එය පිළිගන්නට කැමති වුනේ නැහැ. 

හැබැයි බොහෝ දෙනෙක් චේ ගුවේරාගේ මරණය ගැන සිතන්නට පටන් ගත්තේ ඊටත් වසර 2කට පෙර සිට. ඒ කියුබාවේ ඔහුගේ හදිසි අතුරුදහන්වීම නිසා. එදා කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සඳහන් කලේ "අතිශය වැදගත්" විප්ලවීය රාජකාරියක් සඳහා චේ ගුවේරා මැදිහත් වී ඇති බවයි.  නමුත් බොහෝ රටවල් සිතුවේ ෆිදෙල් කැස්ත්‍රෝ ට විරුද්ධ වුවන්ට අත්වූ ඉරණම චේ ගුවෙරාටත් හිමිවුනාදෝ කියා. 

නමුත් විටින් විට ලැබුණු පුවත් වලින් සඳහන් වුයේ අප්‍රිකාවේ චේ ගුවේරා සිටින බව.

 

පසුව බොලීවියානු රජයේ නිවේදනයත් ඉහත ජායාරුපත් සමගම චේ ගුවේරාගේ මරණය සත්‍යයක් බව පිළිගන්නට කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ ට පවා සිදු වුනා.

ගරිල්ලා සටන නම් සම්ප්‍රදායික නොවන අරගල ආකෘතිය බිහිවන්නේ කියුබානු විප්ලවය තුලින්. සමහර විට කැස්ත්‍රෝ සහ චේ ගුවේරා සිතන්නට ඇති බෝලීවියාවෙන් ආරම්භ කර ගත්තොත් ලතින් ඇමෙරිකාවේ අනිකුත් රටවල් වලට විප්ලවය ව්‍යාප්ත කරන්නට පුළුවන් වේවි කියලා. බොලීවියාව තමයි ලතින් ඇමෙරිකානු රටවල් වල හදවත වශයෙන් හඳුන්වන්නේ. බොලීවියාව තවත් ලතින් ඇමෙරිකානු රටවල් 5 ක් සමග දේශ සීමා වලින් සම්බන්ධ වෙලා තියෙන්නෙන්. ඒ පැරගුවේ, චිලී, පේරු, බ්‍රසීලය සහ චේ ගුවේරා උපත ලැබූ ආර්ජන්ටිනාව.

 

 

 

1966 නොවැම්බර් මාස 3 වැනිදා බොලීවියාවේ ලා පාස් නගරයට අමුත්තෙක් පැමිණුනා. මැදි වයසේ පසුවුණු මේ ව්‍යාපාරිකයා ලා පාස් නුවර සාමාන්‍ය හෝටලයක නවාතැන් ගත්තා. ඇඩෝල්ෆෝ ගොන්සාලේස් නමින් හඳුන්වා ගත් මේ පුද්ගලයාගේ මුවඟ නිතරම සිගාර් සුරුට්ටුවක් දක්නට ලැබුනා. ඔහු තමාව හඳුන්වා දුන්නේ උරුගුවේ රටින් පැමිණි ඇමෙරිකානු වෙළඳ ආයතනයකට සේවය කරන ව්‍යාපාරිකයෙක් හැටියට. නමුත් ඔහු වැඩිපුර කතා බහක් නොමැතිව දින කීපයක්ම හෝටලයේ නතර වී තිබුන. 

හැබැයි හදිසියේම ඔහු අතුරුදහන් වුනා. කිසිම කෙනෙක් දැන ගෙන හිටියේ නැහැ ඔහුට මොනවා උනාද කියාලා. හැබැයි ඒ වගේම කිසිම කෙනෙකුට අවශ්‍ය වුනෙත් නැහැ ඒ ගැන සොයා බලන්නට. ඒ ඔහු ගැන අවිශ්වාශයක් ගොඩ නැගුනේ නැති හින්දා. 

​නමුත් මේ පුද්ගලයා නැවත මතු වුනේ බොලීවියාවේ ගරිල්ලා සංවිධානයක් තුලින්. සමාජවාදී ලෝකයක් වෙනුවෙන් නොනිමි අරගලයක යෙදුනු අවසානයේදී බොලීවියාවට පැමිණිලා හරියටම මාස 11කින් ලා හිගුරා  ගම්මානයේදී ඝාතනයට ලක්වුණු මේ පුද්ගලයා තමයි අර්නෙස්ටෝ චේ ගුවේරා.

චේ බොලීවියාවට පැමිණි පළමුවන දිනයේ. ඔහු විසින්ම ගන්නා ලද ජායාරුප

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

බොලීවියාවට ඇතුල්වීමට චේ ගුවේරා භාවිතා කල හැඳුනුම්පත 

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

චේ ගුවේරා බොලීවියාවට ඇතුල් වී ගරිල්ලා කඳවුර වෙතට යාමට සුදානම් වී

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

බොලීවියාව දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබෙන රාජ්‍යයක්. මෙහි වර්තමානයේ මිලියන 11ක ජනතාවක් වාසය කරනවා. 1825 වසරේ ස්පාඤ්ඤ පාලනයෙන් මිදී ඉදිරියට ආවත් දේශපාලන අර්බුද වලින් මිදෙන්නට නම් හැකි වෙලා නැහැ. 2000 වසරේ සිට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල පාලනය වුනත් සුරාකෑම්, දේශපාලන පාවා දීම්, දුප්පත්කම, වර්ජන, මත් ද්‍රව්‍ය ප්‍රශ්න තවමත් විසඳා ගන්න හැකි වී නැහැ. 

​සැන්ටා කෘස් බොලීවියාවේ අගනුවර නොවුනත් මේ නගරය තමයි බොලීවියාවේ විශාලතම නගරය.

බොලීවියාවේ සැන්ටා කෘස් නගරයට මා පැමිණුනේ දහසක් බලාපොරොත්තු සහිතව. 

 

මාස කිහිපයක දුරකථන පණිවිඩ, විද්‍යුත් පණිවිඩ වල ප්‍රතිපලයන් හැටියට මොස්කව් නගරයේ සිට සැන්ටා කෘස් නගරය වෙත යන්නට සංචාරය සකස් කර ගත්තත් එය ක්‍රියාවට නැවීම ලෙහෙසි පහසු වුනේ නැහැ.  බොලීවියාවේ වර්තමාන දේශපාලන තත්වය නිසාත් හමුවීමට අවශ්‍ය පුද්ගලයින් මා පැමිණෙන කාලයට සැන්ටා කෘස් නගරයේ නොසිටීමත් නිසා බලාපොරොත්තු නොවූ ආකාරයට සමහර පුද්ගලයින් සමග කතා බස් කිරීමට හමුවීමට තිබු අවස්ථාවන් ගිලිහී ගියා. 

​මගේ කතාව බෝලීවියාවෙන් ආරම්භ වුනත් ප්‍රථමයෙන් මා පැමිණුනේ කියුබාවට. කියුබාවේ හවානා නගරයේ සිට පැනමා රට හරහා පැය 6ක පමණ ගුවන් ගමනකින් මම පැමිණියා බොලීවියාවේ සැන්ටා කෘස් නගරයට.

සැන්ටා කෘස් නගරයේ පාර්ලිමේන්තුව 

"බොලීවියාවේදී ලා පාස් නගරයේදී අපි මුලින්ම හිතුවේ ගරිල්ලා සාමාජිකයින් පුහුණු කරන මධ්‍යස්ථානයක් ඇති කරන්න. ඊට පසුව බොලීවියාවේ නොයෙක් ප්‍රදේශ වලට මේ පුහුණු ගරිල්ලා සාමාජිකයින් යවා සාමාන්‍ය මහජනතාවගේ ආධාර ඇතිව රාජ්‍ය බලය අල්ලන්න. මේ නිසා තමයි මුලින්ම 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සොයා ගන්න තීරණය කලේ."

මෙසේ පවසන්නේ ඔස්වල්ඩෝ චාටෝ පෙරේඩෝ.මොහු තමයි චේ ගුවේරාට බොලීවියාවේදී ප්‍රථම ගරිල්ලා සාමාජිකයින් සොයා ගන්නට උදව් කලේ. මොහුගේ වැඩිමල් සහෝදරවරු දෙදෙනාද මේ  අතරට ඇතුලත් වුනා. ඔවුන් තමයි කොකෝ සහ ඉන්ති නමින් හඳුන්වුයේ. 

මගේ බොලීවියානු සංචාරයේදී සැන්ටා කෘස් නගරයේදී මට හමුවූ සුවිශේෂ පුද්ගලයින්ගෙන් කෙනෙක් තමයි චාටෝ පෙරේඩෝ. බොලීවියාවේ සැන්ටා කෘස් නගරයේ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සේවය කරන චාටෝ පෙරේඩෝ දැන් බොලීවියානු ජනාධිපති ඒවෝ මොරාලෙස් ගේ පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක්. බොලීවියානු කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් සහ චේ ගුවේරාගේ ජාතික විමුක්ති හමුදාවේ (National Liberation Army - ELN) or  Ñancahuazú Guerrilla movement) ආරම්භක සාමාජිකයෙක්. 

78 හැවිරිදි චාටෝ පෙරේඩෝ හමු වන්නට මට කීප වතාවක්ම සැන්ටා කෘස් නගරයේ නගර සභාවට දුරකතනයෙන් මොස්කව් සිට කතා කරන්නට සිදුවුනා. නමුත් ඒ එක අවස්ථාවකදී  වත් භාෂා ප්‍රශ්නය නිසා පෙරේඩෝ සමග කතා බස් කරන්නට බැරිවුනා. නමුත් අවසානයේදී සැන්ටා කෘස් නගරයේ ජීවත්  වන සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ ලාංකික කාන්තාවකගෙන් මා ඉල්ලා සිටියා හැකි නම් ඔහු හමුවී මට ඔහු සමග කතා බස් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස.

චාටෝ පෙරේඩෝ සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලබා බොලීවියානු ගරිල්ලා සාමාජිකයින්ට එකතු වුනා. චේ ගුවේරාගේ මරණයෙන් පස්සේ ඔහු තව දුරටත් බොලීවියානු රජයට විරුද්ධව ගරිල්ලා සටන් මෙහෙයවූවා. අවසානයේදී හොර රහසේ චිලී රටට පැන ගියත් එහිදී අත් අඩංගුවට පත්වුනා. නමුත් පසුව චිලී රටේ බලයට පැමිණුනු සල්වොදෝර් අලන්දේ විසින් නිදහස් කරනු ලැබුව නැවත බොලීවියාවට පැමිණුනා. 

චාටෝ පෙරේඩෝ ගේ සහයෝගය ඇතිව තමයි චේ ගුවේරා බොලීවියාවේ ලා පාස් නගරයට ආසන්න මොන්ටානා කඳු වැටියේ තම ප්‍රථම ගරිල්ලා කඳවුර පිහිටුවන්න ගරිල්ලා භටයන් සොයා ගත්තේ.

ඒත් මේ තීරණයේ අසාර්ථකභාවය චේ ගුවේරාට වැටහුනාද....


චේ ගුවේරා සඳහන් කරන අන්දමට හොඳට පුහුණු වූ සන්නද්ධ ගරිල්ලා භටයින් 20 දෙනෙකුට කුමන පාලන බලයක් හෝ පෙරලා දමන්නට පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් පුහුණු සන්නද්ධ ගරිල්ලා භටයන්ට අමතරව හරි ප්‍රදේශය, රට, ජනතාව, තෝරා ගැනීම අතිශයින්ම වැදහත්. 


චේ ගුවේරා සමහර විට හිතන්නට ඇති කියුබානු අත්දැකීම් උපයෝගී කර ගෙන ඉතාමත් පහසුවෙන් බොලීවියාවේ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය ලබා ගන්නට හැකි වේවි කියලා. 


නමුත් සිදුවුනේ ඔහු බලාපොරොත්තු වුනු දේ නොවෙයි. බොලීවියානු ජනතාව කැමති වුනේ නැහැ විදේශිකයෙක් ඇවිල්ල ඔවුන්ට උපදෙස් දෙනවට. මේ තමයි නිවැරදි  මාවත කියල පෙන්වනවාට. 


"විප්ලවය යනු ඓතිහාසික අවශ්‍යතාවයක පැන නැගීමක් මිස හිතුවක්කාරකමේ හෝ පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. කිසිවෙකුට විප්ලවය වැළක්විය නොහැකිවාක් මෙන්ම විප්ලවය බලෙන් පැටවිය නොහැක. විප්ලවය වනාහී අති මහත් අවශ්‍යතාවයක පැන නැගීමකි " මෙහෙම කිව්වේ ෆිදෙල් කැස්ත්‍රෝ. (ඔහුගේ සන්නද්ධ අරගලයේ වැඩ කොටස කෘතියෙන්)

"ඔබට කොහොමද පළමුවෙන්ම චේ ගුවේරාව හමුවන්නේ?" සැන්ටා කෘස් නගරයේ සුඛෝපභෝගී නිවසක තනිවම ජීවත් වන චාටෝ පෙරේඩෝ සමග මම සාකච්ජාව ආරම්භ කළා.

"1965 වසරේදී තමයි මුලින්ම මට හමුවුනේ. ඒ කාලයේ මා සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටියා.    සෑම වසරකටම වරක් ලැබෙන නිවාඩුවේදී යුරෝපීය සංචාරයක් සඳහා යාම අපි පුරුද්දක් කර ගෙන සිටියා. ලැබෙන මාස 2ක් කාලය තුල යුරෝපයේ කොහේ හරි තාවකාලික රැකියාවක් කර මුදල් සොයා ගැනීම තමයි අපේ අරමුණ වුනේ. ඒ වසරේ පෙබරවාරි මාසයේ නිවාඩු කාලයේදී මැඩ්රිඩ් නගරය වෙතට මම පැමිණියා."  

"ඇල්ජීරියාවේ පැවැත්වුණු අප්‍රිකා-ආසියානු සම්මන්ත්‍රණයට සහභාගී වීමට යමින් සිටි චේ ගුවේරා මැඩ්රිඩ් නගරයේ එක් දිනක් නැවතී සිටියා.

එහිදී මට හමුවුනා තවත් ලතින් ඇමෙරිකානු සංචාරකයෙක්. ඒ වගේම ඔහු ජායාරුප ශිල්පියෙක්. ඔහුට පැවරී තිබුනා පසුදින මැඩ්රිඩ් නගරයේ නතරවී සිටි චේ ගුවේරාගේ ජායාරුප ගැනීම."

 

"මම ඔහුත් සමග චේ ගුවේරා නැවතී සිටි හෝටලයට ගියා. ඒ අවස්ථාවට තවත් ජායාරුප ශිල්පීන් සහ පුවත් පත් වල නියෝජිතයින් 20ක් පමණ පැමිණ සිටියා. දෙවෙනි වරට මා ඔහුව දැක්කේ මොස්කව් නුවරදී."

"චේ ගුවේරාගේ දින පොතේ ඔහු ලියා තිබෙනවා සමාජවාදී රටවලින් පුද්ගලයන් කිහිප දෙනෙක් ඔහුගේ කණ්ඩායමට ඇතුලත් වෙනවා කියලා. මගේ රාජකාරිය වුනේ චේ ගුවෙරාට ඒ පුද්ගලයින් සොයා දීම."  චාටෝ පෙරේඩෝ ගේ මේ හඬ තුල තවමත් විප්ලවීය ශක්තිය ගැබ් වෙලා තිබෙනවා කියලා මට දැනුනා. ඔහුගේ ආවේගශීලී කතා විලාසය සිත් ගන්නා සුළුයි. 

"සෝවියට් දේශය, නැගෙනහිර ජර්මනිය, බොලීවියාව, ආර්ජන්ටිනාව සහ කියුබාව යන රටවල් වලින් අපිට පුළුවන් වුනා අවශ්‍ය පුද්ගලයින් සොයා ගන්නට."

1964 වසරේ චේ ගුවේරා ඇල්ජීරියානු ජනාධිපති අහ්මෙඩ් බෙන් බිල්ලා සමග 

​ජායාරුපය - AP Photo

 

"ඔබ කොහොමද ඔවුන්ව පෙළඹෙව්වේ ඔබත් සමග එන්නට කියා" 

​"අපි ඒ දවස්වල තරුණයි. මේ ඔක්කොම සමාජවාදී ලොවක් වෙනුවෙන් සටන් කරපු අය. අපිට අවශ්‍ය වුනා මේ ලෝකය වෙනස් කරන්නට. කියුබානු විප්ලවයෙන් පස්සේ චේ ගුවේරා අපිට විප්ලවයේ සංකේතය වුනා."

"ඇයි චේ ගුවේරා බොලීවියාව තෝරා ගත්තේ?"

"බොහෝ දෙනෙක් කියනවා බොලීවියාවේ ගම්මාන වලින් විප්ලවීය කටයුතු ආරම්භ කරන්නට චේ ගුවේරා ගත් තීරණය වැරදියි කියලා. නමුත් අපිට අවශ්‍ය වුනේ මේ ස්ථාන වල පුහුණු කඳවුරු ඇති කිරීම පමණයි. සටන් පටන් ගන්න අපි අදහස් කර ගෙන හිටියේ වෙනත් ස්ථාන වල." චාටෝ පෙරේඩෝ  බොලීවියාවේ සිතියම් සමග මට කරුණු පැහැදිලි කළා. 

"ඒ වගේම චේ ගුවේරා හිතුවා ලතින් ඇමෙරිකාවේ අනිකුත් රටවල් සමග සංසන්දනය කරන විට දේශපාලන සහ සමාජවාදී සංවිධාන බොලීවියාවේ යම් තාක් දුරට වර්ධනය වී ඇතැයි කියා. ඇත්තටම චේ ගුවේරා බොලීවියාවට පැමිණුනේ බොලීවියානු රජය සමග සටන් කර සමාජවාදී රජයක් පිහිටුවීමටම නොවේ. චේ ට අවශ්‍ය වුනේ බොලීවියාව හරහා ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව පෙනී සිටීමට මුළු ලතින් ඇමෙරිකානු රටවල්වල සමාජවාදී ව්‍යාපාර එකමුතුකොට තවත් වියට්නාමයක් බිහි කිරීම. එයට හේතුව වුනේ ඒ වන විට ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මුළු මහත් ලතින් ඇමෙරිකානු රටවල් වලට විශාල වශයෙන් බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන තිබීම." චාටෝ පෙරේඩෝ නොනැවතීම කතා කරනවා.

"බොහෝ ලතින් ඇමෙරිකානු රටවල් වලට මේ අදහස් තේරුම් ගන්නට බැරිවුනා. මොකද ඔවුන් සියල්ලන්ම කටයුතු කලේ ඇමෙරිකානු අතකොළු හැටියට. ලතින් ඇමෙරිකාවේ නැගී සිටි සියලුම සමාජවාදී ව්‍යාපාර ඇමෙරිකානු අධිරාජ්‍යවාදය විසින් ඉතා සුක්ෂම ලෙස විනාශ කරනු ලැබුවා. කියුබානු විප්ලවයටත් මේ බාධාවම තිබුනා. කියුබානු විප්ලවයෙන් පසු තවත් ලතින් ඇමෙරිකානු රටක විප්ලවය ඉදිරියට ගෙනයාම තමයි අපේ අරමුණ වුනේ."

චේ බොලීවියාවේ ගරිල්ලා කඳවුරු වලදී - ජායාරුප අනුග්‍රහය - ගැරී ප්‍රාඩෝ සැල්මොන්

Gral. Div. (r) Gary Pardo Salmon

"චේ ඇතුළු කණ්ඩායම බොලීවියාවේ කැලෑ තුල ජීවත් වුනේ ඉතා අසීරු විදිහට." චාටෝ පෙරේඩෝ නැවතත් තම මතකය අවදි කළා. 

​"ඔවුන්ට කන්න තිබුනේ නැහැ. ගස් වල කොල, හතු ඒ වගේම කෘමීන් පවා ඔවුන් ආහාරයට ගෙන තිබුනා. චේ ගුවේරාගේ දින පොතේ ඔහු සඳහන් කරලා තිබුනා ස්ථානය තෝරා ගැනීමේදී නිවැරදි තීරණයක් ගැනීමට අසමත් වූ බව." 

"හැබැයි අපි එක වැරැද්දක් කළා." ඔහුගේ කටහඬ දුබලයි.

" අපිට බැරි වුනා බොලීවියානු හමුදාව හරියට තක්සේරු කර ගන්න." චාටෝ පෙරේඩෝ ට සියල්ල අමතක වුනා වගේ මට දැනුනා. තම කාර්යාල කාමරයේ බිත්තියේ ඇති චේ ගුවේරාගේ ජායාරුපය දෙස නෙත් යොමු කලේ පරාජිත හැගීමකින් කියලා මට හිතුනා.

කෙසේ වෙතත් චාටෝ පෙරේඩෝ අදටත් බොලීවියාවේ විරුද්ධ මතධාරීන්ගේ ප්‍රහාර වලට ලක් වෙනවා.  එක් අවස්ථාවක මේ මතධාරීන් චාටෝ පෙරේඩෝ ව සැන්ටා කෘස් නගර සභා කාර්යාලයේ බාල්කයක එල්ලා මරා දමන්නට පවා උත්සාහ කළා. තවත් වතාවක් ඔහුව පැහැර ගන්නට  උත්සාහ කළා. ඔහුගේ නිවෙස වෙතට කිහිප වතාවක්ම අත් බෝම්බ සහ ග්‍රෙනේඩ් පහරවල් එල්ල වී තිබෙනවා. ඒ එක් ප්‍රහාරයකින් ඔහුගේ දියණිය ජීවිතය බේරා ගත්තේ විශ්මිත ආකාරයෙන්. මේ නිසා අදටත් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු සමග එකට නිවසේ වාසය කරන්නේ කලාතුරකින්.

චේ බොලීවියාවේ දී - සාමාන්‍ය ජනතාවගෙන් විස්තර ලබා ගනිමින් 

ජායාරුප අනුග්‍රහය - ගැරී ප්‍රාඩෝ සැල්මොන් Gral. Div. (r) Gary Prado Salmon

"චේ ගුවේරා ඇතුළු කණ්ඩායම අසමත් වුනා බෝලීවියානු හමුදාවේ ශක්තිය තේරුම් ගැනීමට."

 

මෙසේ පවසන්නේ බොලීවියාවේ තවත් එක් සුවිශේෂ පුද්ගලයෙක් .  

 

"ඔහුට බැරිවුනා සාමාන්‍ය ජනතාවගේ සහයෝගය නැතිනම් හදවත දිනා ගන්නට.  බොලීවියානු හමුදාව චේ ගුවේරා පැමිණ සිටි බව දැන ගත් මොහොතේ සිටම ක්‍රියාත්මක වුනා.  සෑම දෙයක්ම අපි සැලසුම් සහගතව කළා. උදාහරණයක් හැටියට අපි දැනගෙන සිටියා චේ ගුවේරා ඇස්ම රෝගයෙන් පීඩා විඳින බව. බොලීවියානු හමුදාව තහනම් කොට තිබුනා ඒ ප්‍රදේශයේ කිසිම ඖෂධ හල් වලට ඇස්ම රෝගය වෙනුවෙන් ඇති බෙහෙත් විකුණන්නට. චේ ගුවෙරාට විරුද්ධව අපේ සෝදිසි දිගටම ක්‍රියාත්මක වුනා. අපිට පුළුවන් වුනා චේ ගුවේරා ඇතුළු ගරිල්ලා කණ්ඩායම එක් ප්‍රදේශයකට සීමා කරන්නට." 

මේ පුද්ගලයා බොහෝ දුරට දැන ගෙන සිටියා චේ ගුවේරාගේ සියලුම ගරිල්ලා සටන් ක්‍රම සහ උපාය මාර්ගයයන්.

ඔහු අද සිටින්නේ බොලීවියානු රජයේ නිවාස අඩස්සියේ. ඒ එදා මීට වසර 50කට පෙර චේගුවේරා අත් අඩංගුවට ගත් හමුදා කණ්ඩායමේ නායකයා. බොහෝ දුරට මොහුගේ අණ නිසා වෙන්නට ඇති චේ ගුවේරා මරා දැමුවේ......අපි දන්නේ නැහැ සත්‍යය. අපි සත්‍යය සොයා යමු.

 

ඔහුව නම් හමුවන්න ලෙහෙසි වුනේ නැහැ. නමුත් මගේ වෑයම සාර්ථක වුනා. 

ගැරී ප්‍රාඩෝ. මේ තමයි ඒ හමුදා නිලධාරියා.

ගැරී ප්‍රාඩෝ බොලීවියාවේ සැන්ටා කෘස් නගරයේ විශ්‍රාමිකව ජීවත් වෙනවා. දැනට බොලීවියාවේ  වර්තමාන රජයට සහ ජනාධිපති ඒවෝ මොරලේස් ට එරෙහිව ක්‍රියාකරන බවට චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා. එමෙන්ම ඒ වෙනුවෙන් දැනට නඩු විභාගද පැවැත්වෙනවා.

ගැරී ප්‍රාඩෝව හමු වන්නට මට මාස කිහිපයක් අන්තර් ජාලය හරහා ඔහුගේ පුතා සමග අදහස් හුවමාරු කර ගන්නට සිදුවුනා. ඔහුගේ පුතා සැන්ටා කෘස් නගරයේ ප්‍රසිද්ධ නීතීඥ වරයෙක්. දේශපාලන ප්‍රශ්න, ආරක්ෂක විධි විධාන අතරතුර ගැරී ප්‍රාඩෝ කැමති වුනා සංචාර වෙබ් අඩවිය වෙනුවෙන් මා සමග කතා බස් කරන්නට. නමුත් ඔහු ලබා දුන් දිනයේම තමයි මට බොලීවියාවට පැමිණෙන්නට හැකිවුණේ.

 

අවසානයේදී මට සිදුවුනේ බොලීවියාවට පැමිණි දිනයේම ගුවන් තොටුපොළේ සිට ඔහුගේ නිවසට යාමට.

මම ඔබව රැගෙන යන්නම් විශ්‍රාමලත් බොලීවියානු ජෙනරාල් ගැරී ප්‍රාඩෝ වෙතට. 

චේ ගුවේරා අත් අඩංගුවට ගත් සහ ඝාතනය වුනු ලා හිගුරා ගම්මානයට ගිය ගමන......

 

චේ ගුවේරාගේ මරණය කෙසේද සිදු වුනේ? මාධ්‍ය වාර්තා සත්‍යද අසත්‍යද ? ඔබ කිසි දිනෙක නොදුටු ජායාරුප සහ වීඩියෝ.

චේ ගුවේරා ගේ මරණයෙන් වසර 50කට පසු මේ දිග හැරෙන්නේ ඔබ සමහර විට නොඅසපු ඒ වගේම අසන්නට අකමැති වුනු ඒ ඉතිහාසයයි.

 

ඔබටත් මටත් චේ ගුවේරා ගැන තිබෙන බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ගැරී ප්‍රාඩෝ ළඟ තිබෙනවා.

Special Thanks - විශේෂ ස්තුතිය ;

* Oswaldo Peredo-Bolivia

* Anne Mayanthi Gunadasa-Bolivia/Sri Lanka

* Saul Montoya-Bolivia

* Thissa Gunathilake-Sri Lanka

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 මැයි 12-22 

info@sanchara.lk