top of page
ගවේෂණ
චේ ගුවේරා ගිය පාරේ - 3
සංචාර බොලීවියාවේ
Travel to Bolivia - On the Trail of Che Guevara - Part 3
  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

Rohan Direkz 

​සංචාරය කලේ 2018 මැයි 12-22 

rohandx@hotmail.com

සමාජවාදී ලෝකයක් ගොඩ නැගීම සඳහා මියෙන තුරුම නොනිමි අරගලයක නිරත වූ අසහාය විප්ලවීය චරිතය වන අර්නෙස්ටෝ චේ ගුවේරා පිලිබඳ සිංහල බසින් සටහන් ව ඇති බොහෝ ලිපි ලේඛන වෙති.  ඒවා සියල්ලම විදේශීය ලිපි ලේඛන මුලාශ්‍රයෙන් පරිවර්තනය වූ ඒවා විනා චේ ගුවේරා පිලිබඳ සජීවී සාක්ෂි මත සෘජුවම සැකසුනු ලේඛනයන් නොවේ. එහෙත් රොහාන් ඩිරෙක්ස් නමැති අපුරු ගවේෂණශීලී සංචාරකයා www.sanchara.lk වෙබ් අඩවිය සහ දිවයින ඉරිදා සංග්‍රහය සමග බොලීවියාවේ සහ කියුබාවේ කල සංචාරයන් ඇසුරෙන් පෙළ ගැසෙන මෙම ලිපි පෙළ එම කඩ ඉම ඉක්මවාලයි. එය වඩාත් සුවිශේෂී වන්නේ දැනට ජීවත්ව සිටින චේ ගුවේරාගේ සමීපතමයන් සහ ඔහුගේ අවසන් කාලයේ ඔහු අසල සිටි සුවිශේෂ චරිත කිහිපයක සජීවී සාක්ෂි ආශ්‍රයෙන් මෙම ලිපි පෙළ සටහන් වන බැවිනි.       -      තිස්ස ගුණතිලක 

1967 වසරේ ඔක්තෝබර් මස 8 වැනිදා චේ ගුවේරා අත් අඩංගුවට ගත් බොලීවියාවේ රේන්ජර්ස් හමුදා භට කණ්ඩායමට නායකත්වය දුන් ගැරී ප්‍රාඩෝ සමග හමුවට ඔහු මට ලබා දුන්නේ විනාඩි 15ක පමණ කාලයක්. නමුත් අපේ සාකච්ජාව පැය 2කට අධික කාලයක් පැවතුනා. 

(කියවන්න - චේ ගුවේරා ගිය පාරේ - 1 සහ චේ ගුවේරා ගිය පාරේ - 2

 

"ඇයි බොලීවියානු සාමාන්‍ය ජනතාව චේ ගුවේරාට සහයෝගය ලබා නොදුන්නේ ?" මම ගැරී ප්‍රාඩෝ ගෙන් ඇසුවා. 

 

"චේ ගුවේරා බොලීවියාවට එන්න ටික කලකට පෙර තමයි බොලීවියාවේ සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ වුනේ. බොලීවියානු ගොවීන්ට අවශ්‍ය ඉඩම් උපකරණ වෛද්‍ය සේවා මේ සියල්ලම ඒ වගේම සියලුම ජනතාවට ජන්දය පාවිච්චි කිරීමේ අයිතිය බොලීවියානු රජය ලබා දෙමින් තිබුනා. මැතිවරණයෙන් බොලීවියානු රජය ජයග්‍රහණය කරලා හරියටම වසරයි. බොලීවියානු ජනතාවට රජය එපා වී තිබුනේ නැහැ." 

"විදේශිකයෙක් රැගෙන ආපු කොමියුනිස්ට් වාදී අදහස් බොලීවියානු ජනතාව එතරම් තැකීමක් කලේ නැහැ. ඒ වගේම චේ ගුවේරාගේ කිසිම ගරිල්ලා භටයෙකුට මේ ප්‍රදේශයේ ආදී වාසීන් කතා බස් කල භාෂාව හසුරුවන්නට හැකියාවක් තිබුනේ නැහැ." 


"චේ ගුවේරාගේ දින පොතේ එක් තැනෙක ඔහු සඳහන් කරලා තිබෙනවා බොලීවියාවේ වලෙග්‍රන්දා ප්‍රදේශය තම විප්ලවීය කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට තෝරා ගැනීම තම අතින් සිදුවූ වැරැද්දක් බව සහ ඒ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට කතා කිරීම හරියට ගල් කුළුණු සමග කතා කරනවා වගෙයි කියලා. චේ ගුවෙරාට බැරි වුනා අවශ්‍ය මාර්ග වල විස්තර පවා සාමාන්‍ය ජනතාවගෙන් ලබා ගන්න. ඔවුන් ගරිල්ලා භටයන් ගෙන් මුදල් ලබා ගෙන හැබැයි ඔවුන් ගැන තොරතුරු අපේ හමුදාව වෙත ලබා දුන්නා."

චේ ගුවේරාගේ ගරිල්ලා ක්‍රියා කලාපයන් ගැන ගැරී ප්‍රාඩෝ හට හොඳ අවබෝධයක් තිබුනා. ඒ නිසාම තමයි ඔහුගේ දැලට චේ ගුවේරා අසු වුනේ. ගැරී ප්‍රාඩෝ ගේ -චේ ගුවේරාගේ පරාජය- නමැති ග්‍රන්ථයේ මේ ගැන ඔහු අපුරුවට සඳහන් කරලා තියෙනවා. 

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

ඒ වගේම චේ ගුවේරා අතින් තවත් බලවත් වැරැද්දක් වෙලා තිබුනා. නැවත වාරයක් මෙහෙම කියන්නේ ගැරී ප්‍රාඩෝ.  

හැම මෙහෙයුමකදීම වෙලා තිබෙනවා වගේම චේ ගුවේරාට බැරි වුනා හරි පුද්ගලයින්ව තම ගරිල්ලා කණ්ඩායමට බඳවා ගන්න. ඔහුගේම පුද්ගලයින් චේ ගුවේරාව පාවා දුන්නා. 


අපේ බොලීවියානු හමුදාවන් ඉතා දක්ෂව තැනට සුදුසු නුවන පාවිච්චි කරලා කටයුතු කළා. බොලීවියානු හමුදාව ප්‍රචාරණ යාන්ත්‍රනය ඉතා හොඳින් මෙහෙයුවා.  ඒ නිසා සමහර ගරිල්ලා සාමාජිකයින් ටිකෙන් ටික මුලික කණ්ඩායමෙන් ඈත්  වෙන්නට පටන් ගත්තා. 

 

ඒ වගේම චේ ගුවේරාව ඔහුගේම පුද්ගලයන් විසින් අත්හැර දැමුවා. 

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

ගැරී ප්‍රාඩෝ සමග සාකච්ජාව වෙනත් මඟකට යොමු වුනේ මෙතැන් සිට. 

කවුද චේ ගුවෙරාගේම පුදගලයන් ඔහුව අත් හැර දමපු? ෆිදෙල් කැස්ත්‍රෝ ද ? මගේ ප්‍රශ්නයට ගැරී ප්‍රාඩෝ දුන්නේ මෙහෙම පිළිතුරක්.

ඔව්. චේ ගුවේරා පිටව ගියාට පසුව ෆිදෙල් කැස්ත්‍රෝ කියුබානු ජනතාවට පෙන්නුවා ලිපියක්. එහි තිබෙන්නේ මින් ඉදිරියට චේ ගන්නා තීරණ වල අයිතිය චේ  සතුව ඇති බවයි. එයින් ඔහු චේ ගුවේරාට නැවත කියුබාවට පැමිණෙන්නට තිබු අවස්ථාව නැති කර දැම්ම නේද. චේ ගුවේරා  ගැන කියුබාව හෝ ෆිදෙල් කැස්ත්‍රෝ වග නොකියන බව නේද ඉන් පෙනෙන්නේ.  චේ මේ ලිපිය කැස්ත්‍රෝ ට දුන්නේ එක් රටක හෝ විප්ලව ජයග්‍රහණයකින් පසුව එය ප්‍රසිද්ධයට පත් කරන ලෙස. නමුත් එය එසේ සිදුවුයේ නැහැ. කැස්ත්‍රෝ එය ප්‍රසිද්ධයට පත් කළා. එයින්ම පෙනෙනවා ෆිදෙල්ට චේව තව දුරටත් අවශ්‍ය වෙලා තිබුනේ නැති බව. 

"ඇයි බොලීවියානු වාමාංශික මතධාරීන් පවා චේ ගුවේරා ගෙන් ඈත්වුනේ....." මේ ප්‍රශ්නය මට අසන්නටම ඕන වෙලා තිබුණු ප්‍රශ්නයක්. 

නැවතත් ගැරී ප්‍රාඩෝ ගේ හඬ. " චේ ගුවෙරාට අවශ්‍ය වුනේ බොලීවියාවේදී ගරිල්ලා මෙහෙයුම් සහ කොමියුනිස්ට් පක්ෂයේ රාජකාරීන් සියල්ල තමන්ට පවරා ගන්න. නමුත් මෙයට බොලීවියානු කොමියුනිස්ට් පක්ෂය කැමැත්තක් දැක්වුයේ නැහැ. පිටින් ආපු විදේශිකයෙක් කොහොමද එහෙම කරන්නේ කියල තමයි ඒ අයටත් ප්‍රශ්නයක් වුනේ. අන්තිමීදී මා දන්නා හැටියට ෆිදෙල් කැස්ත්‍රෝ ට පවා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නට සිදුවුනා. බොලීවියානු සමාජවාදී පක්ෂයේ නායකයා යටතේ වැඩ කරන්නට චේ ගුවේරා කැමති වුනේ නැහැ. මේ නිසා ඔවුන් තම සහයෝගය චේ ගුවේරා ට ලබා දුන්නේ නැහැ. 

"එදා රාත්‍රියේ තව දුරටත් චේ සමග කතා කරන්න මට අවස්ථාව ලැබුනා." ගැරී ප්‍රාඩෝ තව දුරටත් විස්තර කළා. 

"මම ඇහුවා ඇයි ඔබ බොලීවියාවට ආවේ කියල. අපේ විප්ලවය 1952දී  හමාර වෙලා තිබුනේ."

 
"එතකොට චේ ගුවේරා  කිව්වේ ඔහු නොවෙයි ඒ තීරණය ගත්තේ. ඉහලින් තමයි තීරණය ගත්තේ."

 
"මම නැවතත් ඇසුවා කවුද මේ තීරණය ගත්තේ. ෆිදෙල්..? ඔහු ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැහැ. නැවතත් ඔහු පැවසුවේ ඒ තීරණය ගත්තේ ඉහලින් කියා."

ගැරී ප්‍රාඩෝ නොනවත්වාම කතා කරනවා. 

"චේ ගුවේරාව බොලීවියාවට එව්වා. ඒ ෆිදෙල් කැස්ත්‍රෝට අවශ්‍ය වුනා චේ ගුවේරාගෙන් මිදෙන්නට. චේ ගුවේරා ට වෙන යන්න තැනක් තිබුනේ නැහැ. කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහල නිලධාරීන්ගේ චේ ගුවේරාට කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. ඒකට හේතුව හැමදාම චේ ගුවේරාට අවශ්‍ය වුනේ ඔහුට ඕන විදිහට සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන්නට. සීමාව ඉක්මවා ගොස් ක්‍රියා කිරීම තමයි චේ ගුවේරා කලේ. නමුත් එය හැම විටම සාර්ථක වුනේ නැහැ. ඔවුන් අතර සෑම විටම ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා."

"සමහර විට ෆිදෙල් කැස්ත්‍රෝ හිතුවේ බොහොම අමාරුවෙන් ලබා ගත් කියුබානු විප්ලවයේ ජයග්‍රහණය ආරක්ෂා කර ගන්න. ලෝක විප්ලවයක් ගැන කතා කරන්නට පෙර. නමුත් චේ ගුවෙරාට අවශ්‍ය වුනේ විප්ලවයේ සීමාවන් නැතිබවත් මෙය අනිකුත් රටවල් වලටද ව්‍යාප්ත කල යුතු බවයි. මේ නිසා තමයි කැස්ත්‍රෝ ඔහුගෙන් මිදෙන්නට චේව අප්‍රිකාවේ කොංගෝ රට යැව්වේ. නමුත් එහෙත් චේ ගේ විප්ලවය සාර්ථක වුනේ නැහැ."

 

"මම ඔබට තවත් දෙයක් කියන්නම්" ගැරී ප්‍රාඩෝ තව දුරටත් ....

 

" කොංගෝ විප්ලවය අසාර්ථක වුනාට පස්සේ චේ ගුවේරා ට කියුබාව නැවත එන්න හැකියාවක් ලැබුනේ නැහැ. ඔහු චෙකොස්ලෝවැකියාවේ කියුබානු තානාපති කාර්යාලයේ මාස 3ක් පමණ කාලයක් සිටියා. ඔහු දිනපතාම වාගේ ෆිදෙල්ට කතා කරන්න උත්සාහ කළා. නමුත් ෆිදෙල් කැස්ත්‍රෝ කැමති වුනේ නැහැ ඔහුත් එක්ක කතා කරන්න. ඒ වෙනකොට ෆිදෙල් චේ ගේ සමුදීමේ ලිපියද ප්‍රචාරය කර අවසන්. මොකද මම මුලදී කිව්වා වගේ චේ ගේ ලියුම අනුව කියුබාවෙන් පිටවීමේ සියලුම වගකීම ඔහු භාර අරගෙන තිබුනා. ඒ වනවිට චේ කියුබානු පුරවසිභාවයෙන් පවා ඉවත් වී හමාරයි.   චේ මේ ලිපිය ලබා දුන්නේ යම් කිසි අන්දමකින් ඔහුව අප්‍රිකාවේදී මරණයට පත් වුනේ නම් ෆිදෙල් කැස්ත්‍රෝ ඒ වගකීමෙන් මුදවා ලන්නට. මේ චේ ගුවේරාගේ වචන."

"අන්තිමට නැවත වරක් රහසිගතව චේ ගුවේරා කියුබාවට ගෙන්වා මාස3ක පමණ කාලයක් ඇතුලත බෝලීවියාවේ චාටෝ පෙරේඩෝ හරහා ගරිල්ලා කණ්ඩායමක් සමග බොලීවියාවට යැව්වේ. නමුත් ඊට පෙර ඔවුන් කල්පනා කලා චේ ව පේරු රටට යවන්න. නමුත් එහි දේශපාලන තත්වය ගරිල්ලා භට කණ්ඩායමකට එතරම් හිතකර නොමැත නිසා ඒම තීරණය ක්‍රියාත්මක කලේ නැහැ."

 

" මේ සියල්ල මට චේ ගුවේරා ගෙන් දැන ගන්නට ලැබුනා."  

 
"ඔබ ඒ වෙලාවේ තීරණය කරලාද තිබුනේ චේ ව  මරා දමන්නට. ඔහු ඒ බව දැනගෙනද හිටියේ." මම ඇසුවා .

"නැහැ නැහැ. සියලුම යුධ සිරකරුවන් අපි උසාවියට ඉරිපත් කරනවා. ඔවුන් ට අප සැලකුවේ දරුණු විදිහට නෙවෙයි.  චේ ගුවෙරාටත් නියම වුනේ ඒ නීතියම තමයි. ඔහුටත් නඩු පැවරීමට නියමිතයි තිබුනේ." 

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

රේන්ජර්ස් හමුදා භට කණ්ඩායම 

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

එහෙනම් කොහොමද චේ ගුවේරාගේ මරණය සිද්ධ වුනේ. 

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට අපේ කතාවේ තවත් එක් සුවිශේෂ කාන්තාවක් මම ඔබට හඳුන්වලා දෙන්නම්. චේ ගුවේරා මිය ගිය ආකාරය සොයා ගන්නට නම් ඇගේ කතාවට සවන් දිය යුතුමයි.

​ඇය තමයි ජුලියා කොර්ටෙස්. ජුලියා තමයි 1967 ඔක්තෝබර් මස 8 වැනිදා චේ ගුවේරා සිර කර තැබූ පාසලේ සිටි එකම ගුරුතුමිය. එවකට 19 වෙනි වියෙහි පසු වූ අද ඇය ජීවත් වන්නේ වලෙග්‍රන්දා කුඩා නගරයේ. සමහර විට ඇය වෙන්නට ඇති චේ ගුවේරා අවසන් වරට දුටු සහ ඔහු සමග කතා බස් කල අද ජීවත්වී සිටින කිහිප දෙනා අතරින් කෙනෙක්. 

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

මේ ජුලියා කොර්ටෙස්.  

​ජායාරුප අනුග්‍රහය - Nick Buxton/Flicker

ජුලියා ගේ ඇස වලින් තවමත් කඳුළු ගලනවා චේ ගුවේරා ගැන විස්තර විමසන විට. මේ හේතුව නිසාම මෑතක සිට කිසිම මාධ්‍යවේදියෙක් සමග කතා බස් කරන්නට අගේ මුණුපුරන් ඉඩ දෙන්නේ නැහැ. 

"මට කවදාකත් අමතක වෙන්නේ නැහැ ඒ දිනය." ජුලියා චේ ගුවේරා අත් අඩංගුවට ගත් අවස්ථාව විස්තර කරමින්.

"ඔක්තෝබර් 8 වැනිදා 1967 වසර. එදා ඉරිදා දිනයක්. මම මගේ මව සහ සහෝදරයා සමග ලඟ ගම්මානයක සිට ගෙදරට ලඟා වෙමින් තිබුනා. අපිට ඇහුනා වෙඩි ශබ්ද මිනිසුන් කෑ ගසන හඬ. අහසේ හෙලිකොප්ටර් පියාඹනවා. බොලීවියානු හමුදා භටයින් අප වෙතට පැමිණ කීවා කිසිදෙයකට බය වෙන්න එපා. හැකි ඉක්මනට තත්වය හොඳ අතට හැරෙයි කියලා. හැන්දෑ වෙනකොට හොමුදා භටයින් චේ ගුවේරාව කැඳවා ගෙන් ඇවිත් මේ පාසලේ කාමරයේ දමා දොර වසා දැමුවා කියලා ආරංච වුනා. අපිට ඔවුන් කියා සිටියේ ගෙදරට වී දොරවල් වසා ගෙන සිටින ලෙස. ඒ සමහර විට අනිකුත් ගරිල්ලා භටයන් ගම්මානයට පහර එල්ල කරාවි යන සැකයට." 


"මට ඇත්තටම එදා රෑ නින්ද ගියේ නැහැ. මට හිතුන ඇත්තටම කවුද මේ අත් අඩංගුවේ ඉන්නේ කියලා දැක ගන්නට. මොකද අපිට ආරංචි ලැබිලා තිබුනේ ඒ කවුරු හරි ඉහලින් පැමිණි පුද්ගලයෙක්. ඒ වගේම භයානක සහ පරාජය කරන්නට බැරි පුද්ගලයෙක් ලෙස. උදේ පාන්දර මම ගියා පාසලට." 

"මම හොඳට දන ගෙන හිටියා එක් බොලීවියානු හමුදා සෙබලෙක්. ඔහු නිතර නිතර අපේ ගම්මානයට පැමිණ තිබෙනවා. ඔහු මට අවසර දුන්නා චේ ගුවේරා සිටි කාමරයට ඇතුල් වෙන්නට."

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

චේ ගුවේරා අවසාන වරට සිටි ලා හිගුරා පාසැල් කාමරයේ ඇතුලත  

"ඔව් ඔබ ඇතුල් වුනා කාමරයට. ඔබ ජීවිතයේ පළමුවන වරට දකිනවා චේ ගුවේරාව. මොකක්ද ඔබේ මතකය."

 

"මම  එක පාරටම ඔහුව දැක්කේ නැහැ. ඔහු සිටියේ දොරට මුවා වෙලා. නමුත් එක් පාරටම දුර්වල හඬකින් ඔහු කතා කළා."

 

"සාමාන්‍ය සම්ප්‍රදායය නම් ඇතුල් වන විට ආයුබෝවන් කීමයි."


"මට ඇත්තටම මම ගැන ලැජ්ජාවක් ඇති වුනා. එසේ ආචාර කරන්නට නොහැකිවීම ගැන." 


"මට ඇත්තටම උත්තර නැති වුනා. මම සිට ගෙන ඔහු දිහා බලාගෙන සිටියා. ඔහු ඉතා ලස්සන දැකුම්කලු පුද්ගලයෙක්."


"මම ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ විප්ලවවාදියෙක් වුනේ" 


"එක මගේ ඇදහීම. ඒ තමයි චේ ගුවෙරාගෙන් ලැබුණු පිළිතුර."


"එතකොට ඔහු මගෙන් ඇසුවා ඇයි ඔබ ගුරුවරියක් වුනේ......කියලා."


මම එයට කෙටියෙන් උත්තර දී නැවතත් නිවස බලා පැමිණුනා. 


"දෙවෙනි වතාවට ඔබට කොහොමද චේ ගුවේරා මුණ ගැහුනේ...."


"පහුවදා  උදෑසන අටට පමණ චේ ගුවේරාව පාසල් කාමරයෙන් පිටතට රැගෙන ආවා. ඒ ගම්මානයේ ජනතාවට පෙන්වන්න සහ ජායාරුප ගන්න. ඒ වෙලාවේ මම දුටුවා ඔහු ඇස් දෙකෙන් වටේ සිටින සෙනග අතරින් මාව සොයන බව. මගේ ඇස් දෙක ඔහුගේ නෙත් වල ගැටුණු වෙලාව මට කවදාකත් ජීවිතයේ අමතක වෙන එක්ක නැහැ. ඔහු ඇහුව එක් හමුදා සෙබළෙකුගෙන් මා සමග ජායාරුපයක් ගන්න පුලුවන්ද  කියා."


"හමුදා සොල්දාදුවන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ සෙබළුන් ඔහුව නැවතත් කාමරයට ගෙන ගියා, ඔහු නැවත වාරයක් දොර ළඟ නතර වෙලා මා දිහා බැලුවා." 


"මට සියල්ල අමතක වුවා සේ හැඟුනා. පිරිස විසිර ගොස් අවසන්. ඒ වුණත මම තවම හිට ගෙන සිටිනවා. ඒ වෙලාවේදී එක් සෙබලෙක් මට කතා කළා. ඔහු අවසර දුන්න මට කාමරය ඇතුලට යන්න. "


මේ කතාව සිදුවෙන්නේ චේ ගේ මරණයට පැය 2කට පමණ පෙර. මා හිතනවා චේ ගුවේරාට දැනුනා කියලා යම් දෙයක් සිද්ධ වීමට යනවා කියලා. ඔහු මගෙන් ඇහුවා මොනවාද වෙන්නේ එළියේ කියලා. ඒ වෙලාවේ ඔහු නැවත වතාවක් මතක් කළා කොපමණ දිළිඳු ජරා තත්ත්වයෙන්ද මේ පාසල තිබෙන්නේ කියලා. අපේ විප්ලවය ජය ගත්තා නම කොයි විදිහට මේවා වෙනස් වෙන්න තිබ්බාද කියලා.


ඔහු බොහොම ගෞරවනීය විදිහට සෙබළුන්ට කතා කළා. ඒ වගේම යම් කෙනෙක් ඔහුට සැරෙන් දෙයක් කීවා නම් ඔහුත් සැරෙන්ම උත්තර දුන්නා. මට තේරුනා ඔහු නියම වීරයෙක් බව. 

 

"ඒ කියන්නේ ඔබ චේ ගුවේරා ගැන ඇත්තටම ආදරයක් ඇති වුනා." 

 

ජුලියා ගේ සිනහව අතරින් නැගුනු කඳුළු බින්දු පවසන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරයි.


"ඔහු මා ඉදිරියේ හිට ගත්තා.  මම ජීවිතේ කිසිම දිනෙක දැකල නැහැ ඒ තරම් ලස්සන පිරිමියෙක්." 

ඔහු මා වෙතට පැමිණ කන්න යමක් ලබා දෙන්න පුළුවන්දැයි ඇසුවා. මම ඉක්මනට ගෙදරට දුව ආවා. මගේ අම්මා සකස් කර තිබුණු සුප් වලින් ටිකක මම රැගෙන නැවතත් චේ ගුවේරා සිටි කාමරයට ආවා.


ඒ තමයි චේ ගුවේරාගේ අවසාන ආහාර වේලා. කුකුල් මස්  සහ එළවලු සුප්. ඔහු මට පැවසුවා කිසිදිනෙක මාවත් මගේ ආගන්තුක සත්කාරයත් අමතක් නොවෙන බව. 


"මම පාසල් කාමරයෙන් පිට වුනා. ඒ තමයි මා ඔහුව පන පිටින් දැකපු අවසාන වතාව."

 

"කොයි වේලාවේද චේ ගුවේරාව මැරුවේ."

 

මම ගෙදරට පැමිණියා විතරයි මට ඇහුනා වෙඩි පහරවල් කිහිපයක හඬ. නමුත් මම සිතුවේ ඒ ගරිල්ලා භටයන් සමග ඇතිවූ තවත් වෙඩි තැබීමක් කියලා. නමුත් මට එතකොට තේරුනා මොකක්ද සිද්ධවුණේ කියලා. නැවත වතාවක් මම පාසල වෙතට දිව ගියා. 


පාසල් කාමරයේ කවුරුත් සිටියේ නැහැ. කාමරයේ බිම චේ ගුවේරා මැරී වැටී සිටියා. මට කිසි දෙයක් මත නැති වුනා. කර කියා ගන්න දෙයක් නැති වුනා. කවුද මිනිසුන් වගයක් මාව රැගෙන කාමරයෙන් පිටතට ගෙන ගියා. 

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

 ලා හිගුරා ගම්මානයේදී චේ ගුවේරාගේ සිරුර වලෙග්‍රන්දා නගරයට රැගෙන යාමට පෙර පරීක්ෂා කරමින්.

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

Jaime Niño de Guzmán (major commander of the Grupo Táctico de la Fuerza Aérea in the Santa Cruz Department)  ලා හිගුරා ගම්මානයේදී චේ ගුවේරාගේ සිරුර වලෙග්‍රන්දා නගරයට රැගෙන යාමට පෙර පරීක්ෂා කරමින්.

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

මට සිහිය එනකොට චේ ගුවේරාව මැස්සක තබා ගෙන හෙලිකොප්ටරයක් වෙතට ගෙන යමින් තිබුනා. 

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

මේ ජුලියා කොර්ටෙස්. ඇය පෙන්වන්නේ චේ ගුවේරා ඇයට හමුවුණු කාලයේ (අගේ වයස 19 දී) ජායාරුපයක්. 

​ජායාරුප අනුග්‍රහය - David Rochkind/Polaris

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara
චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara
චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara
චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

චේ ගුවේරාගේ සිරුර හෙලිකොප්ටරයේ පහල කොටසට බැඳ තිබු ආකාරය සහ එදින පුවත් පත් ඒ වාර්තාව සඳහන් කර තිබු ආකාරය  

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

ඒ අවසාන මොහොත ජුලියාට නම් කෙදිනෙකවත් අමතක වෙන එක්ක නැහැ. 


අවසාන මොහොතේ ආගමික වතාවත් සඳහා පුජකවරයෙක් පැමිණි නිසා හෙලිකොප්ටරයේ ගමන විනාඩි කිහිපයක් ප්‍රමාද වුනා. චේ ගුවේරාගේ සිරුරෙන් බේරුණු  රුධිරයෙන් පොලව තෙමී තිබුනා. මම ඒ පස් ටික රැගෙන වල දැම්මා. ඇත්තටම මට තිබුනේ  ඒ පස් ටික තියා ගන්න. 


ජුලියා අද විශ්‍රාම සුවයෙන් වලෙග්‍රන්දා ගම්මානයේ වෙසෙනවා. චේ ගුවේරා ගේ මරණයත් සමගම ඇයගේ ජීවිතය පුදුම විදිහට වෙනස් වුනා. මාධ්‍යයන් ඇයව චේ ගුවේරාගේ අවසාන ආදරය නමින් හඳුන්වන්න පටන් ගත්තා. අද ඇය මුණුපුරන් 8 දෙනෙකුගේ දයාබර ආච්චි කෙනෙක්. 

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

නැවත වරක් අපි යොමු වෙමු ගැරී ප්‍රාඩෝ සමග සාකච්ජාවට. 

 

"කොහොමද චේ ගුවේරාගේ මරණය සිද්ධ වුනේ?" මේ ගැරී ප්‍රාඩෝ ගේ අවස්ථාව පැහැදිලි කරන්නට.

"චේ ගුවේරා මරා දමන්නට නියෝගයක් ලැබීම මා කිසි සෙත් බලාපොරොත්තු වුනේ නැහැ. මම පැය කිහිපයකට පමණක් හමුදා කණ්ඩායමේ නායකත්වය මගේ පහල නිලධාරියාට භාර දී ඒ ස්ථානයෙන් ඉවත් වී තිබුනා. නැවත පැමිණෙන විට චේ මරා දමා තිබුනා."

 
"චේ ගුවේරා මරන්න සොල්දාදුවන් ඔට්ටු ඇල්ලුවා කීවා. ඔබට විස්තර කරන්න පුලුවන්ද ඔහුගේ අවසාන මොහොත කොයි විදිහටද සිදු වුනේ කියා. අවසාන මොහොතේ ඔහු මොනවගේ දේවල්ද කිව්වේ. මාධ්‍ය වල බොහෝ දේවල් සඳහන් වෙනවා." මම ඇසුවා.

 
"ඒවා ඔක්කොම සුරංගනා කතා. එහෙම කිසිම දෙයක් නැහැ. ඒ අවස්ථාව කොයි තරම් ඉක්මනට සිදුවුනාද කියතොත් කිසිම ප්‍රකාශයකට අවසාන වචන වලට ඉඩක් තිබුනේ නැහැ" මේ ඔහුගේ පිළිතුර.


ඒ ප්‍රදේශයේ හමුදා නායකයා හැටියට ඔහු  දන ගෙන සිටින්නට ඇති චේ ගුවේරාව මරා දැමීමට නියෝගයක් තිබු බව. ගැරී ප්‍රාඩෝ කැමති නැති වෙන්න ඇති ඒ අවස්ථාවට සහභාගී වෙන්න. ඉතිහාසයේ ද්‍රෝහියෙක් නොවෙන්න......


චේ ගුවේරා මරා දමුවායයි සැලකෙන්නේ මාරියෝ ටෙරාන් නමැති සොල්දාදුවා. 

චේ ගුවේරාගේ අවසාන මොහොත ...
චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara
චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

චේ ගුවේරා මර දැමු බොලීවියානු හමුදා සෙබලා - මාරියෝ ටෙරාන්  

​ජායාරුපය - Unknown source/Internet

ලා හිගුරා ප්‍රදේශය භාරව සිටි කර්නල් ජෝකුයින් සෙන්ටෙනෝ Colonel Joaquín Zenteno  

​ජායාරුපය - Gral.Div.(r)Gary Prado Salmon

"නියෝගය ලැබුණු ගමන් ලා හිගුරා ප්‍රදේශය භාරව සිටි කර්නල් ජෝකුයින් සෙන්ටෙනෝ Colonel Joaquín Zenteno ස්වේච්ජා භටයන් දෙදෙනෙකුට අණ කළා ලා හිගුරා පාසලේ කාමර 2ක සිර කර සිටි චේ ගුවේරා සහ විලී කුබානෝ වෙඩි තබා මරා දමන්නට."  

"චේ ගුවේරාට වෙඩි තබන්නට අණ ලැබුනේ මාරියෝ ටෙරාන් යුධ සෙබලාට." ගැරී ප්‍රාඩෝ තව දුරටත් කරුණු පැහැදිලි කළා.

මාරියෝ ටෙරාන් තම ජීවිතයේ මාධ්‍ය වලට කතා කර ඇත්තේ එක් වතාවක් හෝ දෙවතාවක් පමණයි. බොලීවියානු රජය විසින් බොහෝ දුරට වලක්වාලනවා ඔහු සමග සංවිධානය කරන මාධ්‍ය සාකච්ජා. මම කොපමණ උත්සාහ දැරුවත් මටත් ඒ අවස්ථාව ලැබුනේ නැහැ.

නමුත් ඔහු විසින් කර්නල් ජෝකුයින් සෙන්ටෙනේ හට ලබා දුන් ලියවිල්ලේ මෙසේ සඳහන් වෙනවා. මෙයත් අපිට පැහැදිලි කලේ ගැරී ප්‍රාඩෝ.

" චේ ගුවේරා සිටි කාමරයට ම තුවක්කුවත් සමග මම ඇතුල් වුනා. චේ ගුවේරා දැන ගත්තා මා පැමිණ සිටින්නේ ඔහුව මරා දමන්නට බව. ඔහු එක වරම ප්‍රකාශ කලා ඔබ පැමිණියේ මාව මරා දමන්නද ? අඩියක් පිටිපසට තැබූ මා ඇස් පියාගෙන පළමු වෙඩි මුරය තැබුවා. කකුලට වෙඩි වැදුණු චේ බිම ඇද වැටුනා. දෙවෙනි වෙඩි මුරය වැදුනේ අත් වලට, උරහිස් වලට සහ පපුවට."

​ඔහුට උපදෙස් දී තිබුනා චේ ගුවේරාගේ මුහුණට වෙඩි නොතබන ලෙස. බොහෝ විට එයට හේතුව වන්නේ ඔහු ගරිල්ලා සටනකදී මිය ගිය බව සනාත කරන්නට එයින් හැකියාවක් ලැබෙන නිසා. 

"ඔහුගේ ආරක්ෂාව පිණිස අපි ඔහුට කියා තිබෙනවා කිසිම දිනෙක  මාධ්‍ය වලට කතා නොකරන ලෙස. ඒ වගේම මාරියෝ ටෙරාන් නමින් තවත් කිහිප දෙනෙක් එවකට බොලීවියානු හමුදාවේ සේවය කල නිසා බොහෝ මාධ්‍ය වලට නියම මාරියෝ ටෙරාන් ව සොයා ගැනීමට අපහසු වෙලා තිබෙනවා." ගැරී ප්‍රාඩෝ සඳහන් කළා. 

 

චේ ගුවේරාගේ මරණයෙන් පසුව එවකට හිටපු බොලීවියානු ජනාධිපති බරින්ටෝස් විසින් මාරියෝ ටෙරාන්ව සාජන් මේජර් තත්වය දක්වා උසස් කර තෑගි මුදල්ද පිරිනමනු ලැබුවා. ඒ කාලයේ ඔහු බොලීවියාවේ වීරයෙක් හැටියට සඳහන් වුනා. කොතරම් තරහක් තිබුනත් කියුබාවත් අවසානයේදී තරහ වෙනුවට මිත්‍රත්වයේ දෑත මාරියෝ ටෙරාන් වෙත දිගු කළා. මාරියෝ ටෙරාන් හට ඇස් වල දරුණු ආබාධයක් හට ගෙන තිබියදී කියුබාවේ අක්ෂි වෛද්‍යවරුන් විසින් විශේෂ සැත්කමක් මගින් ආබාධය සුව කර දෙනු ලැබුවා. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත් පත වන ග්‍රාන්මා පුවත් පත 2007 වසරේ මාරියෝ ටෙරාන් ගේ පුත් විසින් කියුබානු රජයට ලියන ලද ලිපියක් අලලා මේ පුවත සඳහන්  කර තිබුනා.  "දැන් මේ වයසක පුද්ගලයාට අහසේ නිල් පාටත් වනාන්තරයේ හරිත වර්ණයත්, තමාගේ මුණුපුරන්ගේ මුහුණුත් ඒ වගේම පාපන්දු  ක්‍රීඩාත් නරඹන්නට පුළුවන් වේවි."  මේ ආකාරයට තමයි ග්‍රන්මා පුවත් පත එය විස්තර කර තිබුනේ.                          

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

ලා හිගුරා ගම්මානයේ පිහිටා ඇති තවත් චේ ගුවේරාගේ ප්‍රතිමාවක්  

නැවතත් ගැරී ප්‍රාඩෝ වෙතට යොමුවෙමු.

 

"කවුද ඇත්තටම චේ ගුවේරා මරා දමන්නට නියෝගය දුන්නේ...... බොහෝ දෙනෙක් කියනවා සී.අයි. ඒ. සංවිධානය කියල. මේ ගැන ඔබේ අදහස මොකක්ද?" මම ඇසුවා.


"නැහැ. එහි කිසිම සතයක් නැහැ.  සංවිධානයේ නියෝජිතයෙක් පමණක් පැමිණ සිටියා. හැබැයි ඔහු පැමිණියේ ඇත්තටම චේ ගුවේරා මිය ගියාද නැත්ද හරියටම දැන ගන්න විතරයි.  ඇමෙරිකාව හෝ සී.අයි.ඒ. සංවිධානය කිසිම දිනෙක එවැනි නියෝගයක් දී නැහැ. ඊට වසර 30කට පස්සේ ඇමෙරිකාව සහ බොලීවියාව අතර එවකට පැවති රහස් ටෙලෙක්ස් සහ දුරකථන සම්බන්ධතා ජනතාවට දැන ගන්නට සලස්වූවා. එහි කිසිම තැනක සඳහන් වන්නේ නැහැ එවැනි නියෝගයක්. චේ ගුවේරා මරා දැමීමේ තීරණයේ සම්පුර්ණ හිමි කරු එවකට ජනාධිපති රෙනෝ බරින්දොස්."

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

බොලීවියානු ජනාධිපති රෙනෝ බරින්දොස්   විසින් චේ ගුවේරා අත් අඩංගුවට ගත් රේන්ජර්ස් හමුදා කණ්ඩායම වෙත මුදල් ත්‍යාගයන් පිරිනැමූ ආකාරය 

. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

චේ ගුවේරාගේ අත් අඩංගුවට ගත ගැරී ප්‍රාඩෝ ඇතුළු හමුදා භට කණ්ඩායමට සුභ පතන එවකට බොලීවියානු ජනාධිපති රෙනෝ බරින්දොස්. ජායාරුපයේ දකුණු කෙලවරේ සිටින්නේ ගැරී ප්‍රාඩෝ 

​ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

"ඇයි ජනාධිපති එවැනි තීරණයක් ගත්තේ...."


"ඔහු දැනගෙන හිටියා මොන තරම් දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිදුවේවිද යම් විදිහකින් චේ ගුවෙරාට හැකි වුවහොත් ජනතාව ඔහු පැත්තට නම්වා ගන්න. ඒ කාලයේ හමුදා නීති අත් අඩංගුවට ගැනීම් සිරකරුවන් හැටියට තබා ගැනීම් මානව අයිතිවාසිකම් එතරම් දුරට සකස් වී තිබුනේ නැහැ.  ඒ නිසා කිසිම් අධිකරණ නියෝගයකින් තොරව තනි තීරණයට සිරකරුවෙක් මරා දමන්න හැකියාව තිබුනා." 

 

ඒ වගේම යම් විදිහකින් චේ ගුවේරා වෙනුවෙන් නඩු විභාගයක් පැවැත්වුවා නම් බොහෝ විට ඔහුව බොලීවියාවේ සිරගත කිරීමට සිදුවෙනවා. එවිට බොහෝ විට ජාත්‍යන්තර බලපෑම නිසා යම් දිනෙක ඔහු නිදහස් වීමටත් ඉඩ තිබෙනවා. තවත් කාරණයක් තමයි එදා බොලීවියාවේ එවැනි සිරකරුවන් රඳවා තබා ගත හැකි සිර කඳවුරු තිබුනේ නැහැ. ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු හැටියට තමයි මෙවැනි තීරණයක් ගන්නට ඇත්තේ.

 

"චේ ගුවේරා පවා හවානා විප්ලවීය හමුදා අධිකරණයේ (Revolutionary Tibunals) සහ සිරකඳවුරේ (La Cabana Fortress) අධිපති වෙලා සිටියදී කොයි තරම් ප්‍රමාණයක් මෙවැනි තීරණ ගත්තාද ! " ගැරී ප්‍රාඩෝ සඳහන් කළා.

(1959 ජනවාරි 2 දා සිට ජුනි මස 12 වැනිදා දක්වා කියුබානු විප්ලවයෙන් පසු චේ ගුවේරා හවානා නුවර La Cabana Fortess විප්ලවීය හමුදා අධිකරණයේ නායකත්වය දැරුවා.)

චේ ගුවේරා ගිය පාරේ - On the Trail of Che Guevara

සී.අයි.ඒ. නියෝජිතයෙකුගේ පැමිණීම ...ඔහුගේ සාක්ෂිය.....

ඇයි චේ ගුවේරා ගේ අත් දෙක කපා දැම්මේ? ඇයි චේ ගුවේරාගේ සිරුර රහසේම මිහිදන් කලේ?  මහජන ප්‍රදර්ශනය සඳහා චේ ගුවේරාගේ සිරුර සකස් කල සුසානා ඔසිනාගා සමග හමුව......

​චේ ගුවේරාගේ සිරුර නැවත ගොඩ ගැනීම........

චේ ගුවේරා ශාපය ​!

Special Thanks - විශේෂ ස්තුතිය ;

* Gral. Div. (r) Gary Prado Salmon-Bolivia, * Gary Prado-Bolivia, * Oswaldo Peredo-Bolivia, * Susanne Osinaga-Bolivia, * TV Program Ukraine-МИР НАИЗНАНКУ, * Marcos-Amboro Tours-Bolivia, * Maria Esther-Bolivia, * Thissa Gunatillake-Sri Lanka

Rohan Direkz 

​සංචාරය කලේ 2018 මැයි 12-22 

rohandx@hotmail.com

ඔබේ අදහස්
තවත් කියවන්න
bottom of page