



සමාජවාදී ලෝකයක් ගොඩ නැගීම සඳහා මියෙන තුරුම නොනිමි අරගලයක නිරත වූ අසහාය විප්ලවීය චරිතය වන අර්නෙස්ටෝ චේ ගුවේරා පිලිබඳ සිංහල බසින් සටහන් ව ඇති බොහෝ ලිපි ලේඛන වෙති. ඒවා සියල්ලම විදේශීය ලිපි ලේඛන මුලාශ්‍රයෙන් පරිවර්තනය වූ ඒවා විනා චේ ගුවේරා පිලිබඳ සජීවී සාක්ෂි මත සෘජුවම සැකසුනු ලේඛනයන් නොවේ. එහෙත් රොහාන් ඩිරෙක්ස් නමැති අපුරු ගවේෂණශීලී සංචාරකයා www.sanchara.lk වෙබ් අඩවිය සහ දිවයින ඉරිදා සංග්‍රහය සමග බොලීවියාවේ සහ කියුබාවේ කල සංචාරයන් ඇසුරෙන් පෙළ ගැසෙන මෙම ලිපි පෙළ එම කඩ ඉම ඉක්මවාලයි. එය වඩාත් සුවිශේෂී වන්නේ දැනට ජීවත්ව සිටින චේ ගුවේරාගේ සමීපතමයන් සහ ඔහුගේ අවසන් කාලයේ ඔහු අසල සිටි සුවිශේෂ චරිත කිහිපයක සජීවී සාක්ෂි ආශ්‍රයෙන් මෙම ලිපි පෙළ සටහන් වන බැවිනි. - තිස්ස ගුණතිලක

ගැරී ප්‍රාඩෝ ගෙන් මම නැවතත් විමසුවා. " ඔබට මතකද ඔබ ප්‍රථම වරට චේ ගුවේරාගේ සිරුර දුටු අවස්ථාව ...."

ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada
"මම දැක්කේ හෙලිකොප්ටරය ළඟදී. එතනට රැගෙන ආවා සියලුම් මියගිය ගරිල්ලන්ගේ සිරුරු. හෙලිකොප්ටරය සම්පුර්ණයෙන්ම පිරී පැවතුනා සිරුරු වලින්. චේ ගුවේරාගේ සිරුර දමන්න හෙලිකොප්ටරයේ ඉඩක් තිබුනේ නැහැ. චේ ගුවේරාගේ මිනිය මැස්සක තබා හෙලිකොප්ටරයේ යට කොටසට තබා බැඳ තිබුනා. එක ඇත්තටම භයානක දර්ශනයක්. මම ලනු කැබැල්ලක් රැගෙන ඔහුගේ බෙල්ල සහ කට තද කර බැඳ තැබුවා. හෙලිකොප්ටරය ඔහුව වලෙග්‍රන්දා ගම්මානයට රැගෙන ගියා. ඊට පස්සේ මම ඔහුව කිසිම දිනෙක දුටුවේ නැහැ."
මේ තමයි ගැරී ප්‍රාඩෝ ගේ ප්‍රකාශය
මට ඇත්තටම සිතා ගන්නට බැරිවුනා ඇයි චේ ගුවේරාව මරා දැම්මේ කියලා. නමුත් හමුදා නිලධාරියෙක් හැටියට ඉහලින් ලැබුණු නියෝගයක් ගැන සාකච්ජා කිරීම මගේ රාජකාරියක් නොවේ.

මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා තවත් එක් සුවිශේෂී පුද්ගලයෙක්.
ඔහු තමයි ෆීලික්ස් රෝඩ්රිගෝස්. කවුද මේ ෆීලික්ස් රෝඩ්රිගෝස්.

ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada
චේ ගුවේරා ලා හිගුරා පාසල් කාමරයේ සිර කර තබා සිටියදී ජායාරුප ගැනීම සඳහා පිටතට රැගෙන ගියා. මේ ඒ අවස්ථාවේදී ගත් ජායාරුපය. මේ ජායාරුපය මාධ්‍ය වලට මුදා හැරීමට අවසර ලැබුනේ 1989 වසරේදී.
ජායාරුපයේ වම් පසින් සිටින්නේ ෆීලික්ස් රෝඩ්රිගෝස්. ඔහු තමයි සී.අයි.ඒ. ඔත්තු සංවිධානයේ නියෝජිතයා. චේ ගුවේරා බොලීවියාවේ සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු සී.අයි.ඒ. සංවිධානය ෆීලික්ස් රෝඩ්රිගෝස් ඇතුළු විශේෂ කාර්ය බලකායක් බොලීවියාවට යවා තිබුනා. ඔහුගේ අධීක්ෂණය යටතේ තමයි ලා හිගුරා සහ වලෙග්‍රන්දා ප්‍රදේශ වල හමුදා සෝදිසි මෙහෙයුම් විට ක්‍රියාත්මක වුනේ.
චේ ගුවේරා අත් අඩංගුවට ගැනීමට මාසයකට පමණ පෙර අත් අඩංගුවට පත් වුනු ගරිල්ලා භටයින්ගෙන් ලැබුණු තොරතුරු අනුවත් ලා හිගුරා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව විසින් ලබා දෙනු ලැබූ තොරතුරු අනුවත් ෆීලික්ස් රෝඩ්රිගෝස් ඇතුළු කණ්ඩායමට පුළුවන් වුනා ගැරී ප්‍රාඩෝ ගේ සහයෝගය ඇතිව 1967 වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා එල් චුරෝ ප්‍රදේශය වටලන්නට. මේ සඳහා හමුදා සෙබළුන් 160ක් සහභාගී වී තිබුනා.
මීට ඉහතදී කැප්ටන් ගැරී ප්‍රාඩෝ සඳහන් කල අන්දමට මේ අවස්ථාවේදී තමයි චේ ගුවේරා අත් අඩංගුවට පත් වුනේ.

ෆීලික්ස් රෝඩ්රිගෝස් සඳහන් කරන ආකාරයට 1966 වසරේ තමයි ඔහු බොලීවියාවට පැමිණ තිබෙන්නේ චේ ගුවේරා සිටින ප්‍රදේශය සොයා ගන්නට. ඔහුට හැකියාව ලැබුනා බොලීවියානු රේන්ජර්ස් හමුදා කණ්ඩායම පුහුණු කරන්නට.
ෆීලික්ස් රොඩ්රිගොස් 1989 වසරේ රුපවාහිනී සාකච්ජාවකට සහභාගී වෙමින් පැවසුයේ ගුවේරාගේ මරණය සම්බන්ධයෙන් ලොව පුරා කතා බස් කෙරෙන සහ පුවත් පත් වල පල වෙන අදහස් පරස්පර විරෝධී නිසා ඉතිහාසයේ සත්‍ය සිදුවීම එලි කිරීමට සිදුවූ බවයි. ඔහු විසින් රචිත Shadow Worrier ග්‍රන්තයේද මේ බව සඳහන් කරනවා.
ෆීලික්ස් රොඩ්රිගොස් හමුවීමට මට නොහැකි වුනත් 1989 වසරේ ඔහු සහභාගී වුනු රුපවාහිනී සාකච්ජාව ඇසුරෙන් මට හැකිවුනා දැන ගන්නට ඔහු සඳහන් ආකාරයට චේ ගුවේරාගේ අවසන් මොහොත සිදුවූ ආකාරය.
ෆීලික්ස් රෝඩ්රිගෝස් - ජායාරුප අනුග්‍රහය - spartacus-educational.com

බොලීවියානු සෙබළුන් වලෙග්‍රන්දා නගරයේ
ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada
"1967 වසරේ තමයි මම බොලීවියාවට පැමිණෙන්නේ. එවකට බොලීවියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පනවා තිබු නීතියකට අනුව කිසිම ඇමෙරිකානු පුරවැසියෙකුට බොලීවියාවේ හමුදා කටයුතු සහ විමර්ශන කටයුතු වල යෙදීම තහනම් වී තිබුනා. මම එවකට ඇමෙරිකානු පුරවැසියෙක් නොවීම නිසා මට ඒ අවස්ථාවට සහභාගී වන්නට පුළුවන් වුනා." ෆීලික්ස් රොඩ්රිගොස් පවසනවා.
ඔක්තෝබර් මාසේ 7 වැනිදා අපිට ආරංචිය ලැබුනා බොහෝ දුරට චේ ගුවේරා විය හැකි පුද්ගලයෙක් ලා හිගුරා ගම්මානයේදී අත් අඩංගුවට ගත් බව. මම ඒ මොහොතේම වලෙග්‍රන්දා නගරයට පැමිණුනා අවශ්‍ය සන්නිවේදන කට්ටලත් සමග. ඒ කාලයේ නවීන ගුවන් යානා පහසුකම් තිබුනේ නැහැ. බොලීවියානු හමුදාවට තිබුනේ තනි එන්ජිමකින් ක්‍රියාත්මක වන කුඩා ගුවන් යානා කිහිපයක් පමණයි.
වලෙග්‍රන්දා නගරයේ කුඩා හෝටලයකදී මම හමු වුනා කර්නල් සෙන්ටෙනෝ. ඔහු තමයි වලෙග්‍රන්දා ප්‍රදේශය භාරව සිටි බොලීවියානු හමුදා නිලධාරියා. මා ඔහුගෙන් ඇසුවා මටත් ඔහු සමග ලා හිගුරා ගම්මානයට යන්නට පුලුවන්ද කියා චේ ගුවේරාව හරියටම අඳුනා ගන්නට.
ඔක්තෝබර් මාසේ 8 වැනිදා උදෑසන 7.00 ට අපි හෙලිකොප්ටර් යානාවකින් පිටත් වුනා ලා හිගුරා ගම්මානයට.
ලා හිගුරා ගම්මානයට පැමිණි මම කැප්ටන් ගැරී ප්‍රාඩෝ විසින් චේ ගුවේරා රඳවා තිබු පාසල් කාමරයට ඇතුල් වුනා. මම ඇත්තටම කනගාටුවට පත් වුනා දුටු දර්ශනයෙන්. ඔහුගේ අත් බැඳ දමා තිබුනා. චේ සිටියේ ඇත්තටම හිඟන්නෙක් වගේ අපිරිසිදුවට. ඔහුට ඇත්තටම හරි යුනිෆෝර්ම් එක්ක වත් තිබුනේ නැහැ. බුට්ස් වත් තිබුනේ නැහැ. හම් කැබලි කිහිපයකින් සාදාගත් සපත්තු තමයි ඔහු පැළඳ සිටියේ. මා විසින් දැක තිබු චීනයට සහ සොවියට් දේශයට චේ පැමිණුනු සංචාරයන්හි ජායාරුප වල තිබු චේ ගුවේරාගේ පෞරුෂත්වය මට සිහිවුනා.
කර්නල් සෙන්ටෙනෝ විසින් කිහිප වරක් චේ ගුවේරාව ප්‍රශ්න කිරීම් වලට ලක් කලත් ඔහු කිසිම උත්තරයක් දුන්නේ නැහැ. අවසානයේදී මට අවශ්‍ය වුනා චේ ගුවේරා සමග කතා කරන්නට.
මා ඔහු ඉදිරියට පැමිණ ඇසුවා "මම පැමිණියේ ඔබ සමග කතා කරන්නට."
මාත් සමග කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ මගෙන් ප්‍රශ්න කරන්නෙත් නැහැ. චේ ගුවේරා මට පිළිතුරු දුන්නා.
මා පැමිණියේ ඔබගෙන් ප්‍රශ්න කරන්නට නොවේ. මම ගරු කරනවා ඔබට තමන්ගේ ප්‍රතිපත්තීන් කෙරෙහි දැඩි විශ්වාශය තබා කටයුතු කරන පුද්ගලයෙක් හැටියට. නමුත් මම විශ්වාශ කරනවා එය හැමදාම සාර්ථක වෙන්නෙත් නැහැ කියලා. ඔබ කියුබාවේ හිටපු නායකයෙක්. ඔබත් සමග කතා කරන්න මම පැමිණියේ.
චේ මගේ මුහුණ දෙස බලා සිටියා ටික වෙලාවක් මම උපහාසයට සිනා වෙනවාද කියා. නමුත් ඔහු දුටුවා මා අවංකම උත්සාහ කරන්නේ ඔහු සමග කතා කරන්නට කියලා.
මගේ අත් දෙක බැඳලා. එය ඉවත් කරන්න පුලුවන්ද? මට ඉඳ ගන්න පුලුවන්ද ? චේ ගුවේරා මගෙන් ඇසුවා. මම හමුදා සෙබළෙකුට අණ කළා අත් බැඳ ඇති පටි ලිහන ලෙසට.
පාසල් කාමරයේ තිබු පොඩි පුටුවක ඔහු වාඩි වුනා. චේ ගේ විප්ලවීය මෙහෙයුම් කටයුතු ගැන ඇසු කිසිම ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ නැහැ. ඔහු පැවසුයේ මට ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බැහැ යනුවෙන්.
ඔබට අවශ්‍ය නැහැ අප්‍රිකාව ගැන කතා කරන්නට. නමුත් අපිට දැන ගන්නට ලැබුනා අප්‍රිකාවේදී ඔබට ගරිල්ලා භටයන් 10,000කට අධික ප්‍රමාණයක් සිටි බව. හැබැයි ඔවුන් ඉතාමත් දිළිඳු ගරිල්ලා භටයන්. මම චේ ට පැවසුවා.
මට ගරිල්ලා භටයන් 10,000ක් සිටියා නම් තත්වය බොහෝ දුරට වෙනස් වන්නට ඉඩ තිබුනා. නමුත් ඔවුන් ඉතා දිළිඳු බව නම් ඇත්ත. චේ ගුවේරා පැවසුවා.
පසුව මම ඇසුවා "ඇයි බොලීවියාව තෝරා ගන්නට හේතුව ?"
චේ මෙසේ පිළිතුරු දුන්නා. "එක හේතුවක් තමයි ඇමෙරිකාවේ සිට තරමක් දුරින් බොලීවියාව පිහිටා තිබීම. ඒ වාගේම බෝලීවියාවත් ඉතා දිළිඳු රටක්. ඒ නිසාම අපි හිතුවා ඇමෙරිකාවට බොලීවියාව ගැන එතරම් උනන්දුවක් නැති කියලා. අවසාන කාරණය, හැබැයි වැදගත්ම කාරණය බොලීවියාව තවත් ලතින් ඇමෙරිකානු රටවල් 5ක් සමග දේශ සීමා වලට සම්බන්ධ වී තිබීම. අපි හිතුවා යම් විදිහකින් අපි බොලීවියාවේ බලය අල්ලා ගත්තා නම් විප්ලවීය අදහස් සහ කටයුතු මේ රටවල් 5 ටත් ව්‍යාප්ත කරන්නට පුළුවන් වේවි කියලා."
මට උපදෙස් ලැබී තිබුනේ චේ ගුවේරාව මරා නොදමන්නට. මම ඒ බව කර්නල් සෙන්ටෙනෝ හට පැවසුවා. ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ ඇති ආරක්ෂක තත්වය පරීක්ෂා කිරීම සඳහා කර්නල් පිටත්ව ගියා. නමුත් ඒ මොහොතේම ලා හිගුරා ගම්මානයට තිබු එකම දුරකථනය නාද වුනා. එම දුරකථන ඇමතුමේ තිබුනේ සංඥා 2ක්. ඒ 500 සහ 600. බොලීවියාවේ චේ ගුවේරා සොයන මෙහෙයුම් වෙනුවෙන් අපි රහස් සංඥා කිහිපයක් සාදා ගෙන තිබුනා. 500 යනු චේ ගුවේරාට හිමි සංඥාව. 600 යනු මරා දමන්න කියන සංඥාව. 700 යනු මරා දැමීම තහනම් කියන සංඥාව. සංඥා නියෝගය ලැබුනේ බොලීවියානු ජනාධිපති සහ හමුදාපති ගෙන්. මා පුළුවන් තරම් උත්සාහා කළා චේ ගුවේරා නොමරා අත් අඩංගුවේ තබා ගන්නට.
කර්නල් සෙන්ටෙනෝ පැමිණි පසු මා ඔහුට දැන්වුවා ලැබුණු නියෝගය සම්බන්ධව. තම ඔරලෝසුව දෙස වරක් බලු ඔහු මට පැවසුයේ ඔබට අද දහවල් 2 වන තෙක් චේ ගුවේරා ගෙන් සමග ප්‍රශ්න කරන්නට ඉඩ තිබෙනවා. හරියටම දහවල් 2 කට ඔබ චේ ගුවේරාගේ මියගිය සිරුර සමග වලෙග්‍රන්දා නගරයට පැමිණිය යුතුයි. ඔබට අවසර තිබෙනවා කැමති ආකාරයකට ඔහුව මරා දමන්නට. මොකද මා දන්නවා කොයි තරම් ප්‍රමාණයක අපහසුතා ඔබගේ රටට ඔහු නිසා සිදුවුනාද කියලා.
මෙම අවස්ථාවේදී තමයි මම චේ ගුවේරාව පාසල් කාමරයේ මිදුලට කැඳවා ජායාරුපය ලබා ගත්තේ. ඒ අවස්ථාවේදී මා වෙතට පැමිණුනු බොලීවියානු කාන්තාවක් පැවසුයේ ඔබ චේ සමග ජායාරුප ගන්නවා. හැබැයි දැන් ගුවන් විදුලිය දැනුම් දුන්නා චේ ගුවේරා ගරිලා සටන් වලදී මිය ගිය බව. මේ අවස්ථාවේදී මට තේරුනා බොලීවියානු ජනාධිපති ගත් තීරණයේ වෙනසක් සිදු නොවන බව.
මා නැවත වාරයක් චේ ගුවේරා රඳවා තිබු පාසල් කාමරය තුලට ගියා. ඔහු මා ඉදිරියේ සිට ගත්තා. මා ඔහුට පැවසුවා. "කමාන්ඩර්, මට සමාවෙන්න. මම ගොඩක් මහන්සි වුනා ඔබව මරණයෙන් බේරා ගන්න. නමුත්......."
ඔහුට හොඳට තේරුනා මම පැවසූ දෙය. "ඔව් මේ විදිහට අවසාන වෙන එක හොඳයි. නමුත් මට තිබුනේ නැහැ පන පිටින් යටත් වෙන්න." චේ ගුවේරා තමන්ටම කියා ගත්තා.
ඔහු තම සාක්කුවේ තිබුණු දුම් පයිප්පය මට දුන්නා. මේක මට හොඳින් සලකපු ඔබේ සොල්දාදුවාට දෙන්න කියා. ඒ අවස්ථාවේදී තමයි මාරියෝ ටෙරානෝ සොල්දාදුවා කාමරයට ඇතුල් වුනේ.
මා චේ ගුවේරා ගෙන් ඇසුවා අවසාන වශයෙන් ඔබට යමක් කියන්නට තිබෙනවාද කියලා.
"කියන්න ෆිදෙල්ට (කැස්ත්‍රෝ) ඉතාමත් ළඟකදී ඇමෙරිකාවේ ජයග්‍රාහී විප්ලවයක් ඇතිවේවි කියා. ඒ වගේම ඔබට පුළුවන් නම් කියන්න මගේ බිරිඳට හැකිනම් නැවත වාරයක් කසාද බැඳලා සතුටින් ජීවත් වෙන්න කියලා."
මේ තමයි චේ ගේ අවසාන වචන. මම ඔහුට අතට අත් දී සමු ගෙන පියවර කිහිපයක් පසුපසට ගියා. ඇත්තටම ඔහු බලාපොරොත්තු වුනා මම තමයි ඔහුව මරා දමන්නට වෙඩි තබන්නේ කියා.
මා හරියටම දහවල් 1.00ට කාමරයෙන් පිට වුනා. විනාඩි කිහිපයක් ගත වුනු පසු මට වෙඩි හඬ ඇසුනා.

ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada

කර්නල් සෙන්ටෙනෝ
ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada
මීට පසුව තමයි ගැරී ප්‍රාඩෝ සඳහන් කල ආකාරයට චේ ගුවේරාගේ සිරුර හෙලිකොප්ටරයක ගැට ගසා වලෙග්‍රන්දා නගරයට ගෙනාවේ. ඒ 1967 ඔක්තෝබර් මාසේ 9 වැනිදා.

ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada
වලෙග්‍රන්දා නගරයේ ඒ වන විට සම්පුර්ණයෙන්ම ආරක්ෂාව තර කර තිබුනා බොලීවියානු හමුදාව විසින්.
මෙතැන් සිට අපේ කතාව යොමු වන්නේ තවත් පැත්තකට.
1967 ඔක්තෝබර් මාසේ 9 වැනිදා දහවල් 3ට පමණ ලා හිගුරා ගම්මානයේ සිට වලෙග්‍රන්දා කුඩා නගරය වෙත චේ ගුවේරා ඇතුළු ගරිල්ලා භටයින් කිහිපදෙනෙකුගේ සිරුරු රැගත් හොලිකොප්ටර් යානය ලඟා වුනා. ඒ වන විටා වලෙග්‍රන්දා නගරයේ රජයේ රෝහල අසල ප්‍රදේශය හෙලිකොප්ටරය ගොඩබැසීමට සුදානම් කර තිබුනා.

වලෙග්‍රන්දා නගරයේ මේ ස්ථානයට තමයි චේ ගුවේරාගේ සිරුර රැගත් හෙලිකොප්ටර් යානය පැමිණුනේ. මරියා ඒ ස්ථානය පෙන්වමින්.

ජායාරුප අනුග්‍රහය - චේ ගුවේරා කේන්ද්‍රය - වලෙග්‍රන්දා
ඒ ස්ථානයේ සිට වලෙග්‍රන්දා රෝහල දක්වා චේ ගුවේරාගේ සිරුර ගිලන් රථයක් මගින් ප්‍රවාහනය කරනු ලැබුවා.

වලෙග්‍රන්දා රෝහලේ රෙදි සෝදන කාමරය වෙත චේ ගුවේරා ඇතුළු පිරිසකගේ මල සිරුරු ගෙන එනු ලැබුවා.

මේ එදා ඒ කාමරය දිස්වූ ආකාරය


කර්නල් සෙන්ටෙනෝ ඇතුළු හමුදා සහ මාධ්‍ය නියෝජිතයන් චේ ගුවේරාගේ සිරුර පරීක්ෂා කරමින්
ජායාරුප අනුග්‍රහය - Gral. Div. (r) Gary Prado Salmon-La Guerrilla Inmolada



චේ ගුවේරා ඇතුළු මරණයට පත් වුනු සියලුම ගරිල්ලා භටයන්ගේ සිරුරු රැගෙන ආවේ මේ ස්ථානයට.


චේ ගුවේරාගේ සිරුර පමණක් සේදීමට භාවිතා කරන සිමෙන්ති බේසම මතින් තබා තිබුනේ. අනිකුත් ගරිල්ලා භටයන්ගේ සිරුරු බිම තැනින් තැන දමා තිබුනා. බොලීවියානු හමුදා භටයින් අණ කළා එවකට වලෙග්‍රන්දා රජයේ රෝහලේ හෙදියක් වශයෙන් සේවය කල සුසානා ඔසිනාගා හට චේ ගුවේරාගේ මිනිය පමණක් සෝදා පිරිසිදු කරන ලෙස.

මගේ බොලීවියානු සංචාරයේදී මට හැකිවුනා සුසානා ඔසිනාගා හමුවන්නට. ඇයගේ වයස දැන් අවුරුදු 86ක් වෙනවා. තවමත් වලෙග්‍රන්දා නගරයේ ජීවත් වෙන්නේ. නමුත් අවාසනාවකට වාගේ මා වලෙග්‍රන්දා නගරයට පැමිණීමට දිනකට පෙර හදිසි අනතුරක් නිසා ඇයගේ පාදයකට තුවාල සිදුවී තිබුන නිසා මට ඇය සමග කතා බස් කරන්නට සිදුවුයේ මේ ආකාරයට.
1967 ඔක්තෝබර් මාසේ 8 වැනිදා ගිලන් රථ වලින් එක් වරම මල සිරුරු කිහිපයක් රැගෙන ආවා. සාමාන්‍යයෙන් මෙසේ සිරුරු රැගෙන ඒමේ විශේෂත්වයක් නැහැ. නමුත් මේ සිරුරු සමග විශාල හමුදා සෙබළුන් ප්‍රමාණයක් සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් කැමරා ආම්පන්න අතැතිව රෝහලට පැමිණ තිබුනා. මා ඒ කාලයේ වලෙග්‍රන්දා රජයේ රෝහලේ හෙදියක් හැටියට රාජකාරී කළා.
මා වෙතට පැමිණුනු එක් හමුදා නිලධාරියෙක් පැවසුයේ රැගෙන ආ මල සිරුරු වලින් එක් මල සිරුරක් පමණක් සෝදා පිරිසිදු කරන ලෙස. මා සිරුරු තිබුණු කුටියට යන විට එක් මල සිරුරක් පමණක් සිමෙන්ති බැංකුව උඩ තබා තිබුනා. තවත් මල සිරුරු කිහිපයක් ඒ අවට බිම සිමෙන්ති පොලවේ තබා තිබුනා. ඔවුන් සියලු දෙනාගේම සිරුරු වලින් රුධිරය ගලමින් තිබුනා. ඒ සියලු දෙනාම අපිරිසිදු රැවුල් සහ කොණ්ඩය වවා ගත් පුද්ගලයින්. එතන සිටි හමුදා සෙබළුන් මට අණ කළා සිමෙන්ති බංකුව මත තබා තුබුණු සිරුර සෝදා පිරිසිදු කරන ලෙස.

සිමෙන්ති බංකුව සහිත මිනී කාමරය අද දිස්වෙන ආකාරය
"නියෝගය අනුව මම සිරුර සෝදන්නට ලැස්ති වුනා." සුසානා තව දුරටත් කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා.
"ඔබ දන ගෙන හිටියාද ඒ වෙලාවේ කාගේ සිරුරද ඒ සෝදන්නේ කියා."
"නැහැ. හැබැයි මට හමුදා සෙබළුන් පැවසුවා මේ සෝදන්නේ චේ ගුවේරාගේ සිරුර කියා. නමුත් ඇත්තටම මම දැන ගෙන සිටියේ නැහැ චේ ගුවේරා කියන්නේ කවුද කියා. නමුත් ඒ සිරුර විතරක් සෝදා පිරිසිදු කරන්න කියපු නිසා මම සිතුවා මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව."
"ඔබ මොනවාද දැක්කේ චේ ගුවේරාගේ සිරුරේ වෙනස්කම්."
"ඔහුගේ මුළු සිරුරම කෙට්ටු වෙලා තිබුනේ. හරියට දින ගණනාවක් කන්න නැතිව සිටියා වගේ. ඒ වගේම ඔහුගේ මුහුණ හරියටම් ජේසුස් වහන්සේගේ මුහුණට සමාන විදිහට තමයි මම දැක්කේ. එතකොට මට තේරුණා ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන විත්තිය. ඔහුව බලන්නට නොයෙකුත් අන්දමේ හමුදා නිලධාරීන් වගේම ගම්මානයේ ජනතාවත් පැමිණියා."
"ඒ පැමිණුනු මිනිසුන් මොනවාද කිව්වේ. ඔවුන් හැසිරුනේ මොන විදිහටද? ඔබට මතකද?" මගේ ප්‍රශ්න වලට සුසානා පිළිතුරු දුන්නා.
"බොහෝ මිනිසුන් හඬා වැලපුනා. සමහර පුද්ගලයින් පැවසුයේ නැවත වරක් ජේසුස් වහන්සේ පොලව මත පහල වී ඇති බවයි. තවත් සමහර පුද්ගලයින් චේ ගුවේරාගේ කොන්ඩයෙන් සහ රැවුලෙන් කොටස් පවා කපා ගත්තා."
"මේ සිද්ධියෙන් පස්සේ මගේ ජීවිතය පවා වෙනස් වුනා. ඒ කාලයේ මම බොහෝ විට අසනීප වෙනවා. නමුත් කුමන හෝ හේතුවක් නිසා මේ සිධියෙන් පසුව මා නිතර අසනීප වීම නැවතුනා. අද මගේ වයස 86යි. මම අදත් වලෙග්‍රන්දා නගරයේ ඇති දේවස්ථානයේ චේ ගුවේරා වෙනුවෙන් සෑම මාසයකම ඉටිපන්දමක් දල්වනවා. චේ ගුවේරා ඇත්තටම ශුද්ධවූ චරිතයක්.

2007 වසරේ ඔක්තෝබර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වෙන්දෙසියකට චේ ගුවේරාගේ කොන්ඩයෙන් කපා ගත් කෙස් ඉදිරිපත් කර තිබුනා. ගුස්ටාවෝ විලොල්දෝ නමැති පුද්ගලයා විසින් තමා මේ කෙස් ඉදිරිපත් කර තිබුනේ. මේ කෙස් ගස් ස්වල්පය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට විකිණී තිබුනා.
ජායාරුපය - Amy Conn-Gutierrez / AP

ගුස්ටාවෝ විලොල්දෝ ඇමෙරිකාවේ මියාමි නගරයේ සිට මෑතකදී කල ප්‍රකාශයක සඳහන් වුනේ තවමත් චේ ගුවේරාගේ සිරුර මිහිදන් කර ඇත්තේ බොලීවියාවේ බවයි.
මේ සමග ඇති ජායාරුපයේ දකුණු පැත්තේ සිටින්නේ ගුටාවෝ. ඔහුත් 1967 ඔක්තෝබර් මාසයේ බොලීවියාවේ චේ ගුවේරා අත් අඩංගුවට ගැනීමේ ක්‍රියා දාමයට සහයෝගය දැක්වූ පුද්ගලයෙක්.

ගුස්ටාවෝ විලොල්දෝ චේ ගුවේරාගේ සිරුර සමග.
Photo courtesy of Latinamericanstudies.org


චේ ගුවේරාගේ සිරුරට ෆෝමලීන් විද එම්බාම් කල පසු වලෙග්‍රන්දා ගම්මානයේ ජනතාවට දැක ගන්නට බොලීවියානු හමුදාව කටයුතු කොට තිබුනා. මේ ආකාරයට දින 2ක් වලෙග්‍රන්දා රජයේ රෝහලේ චේ ගුවේරාගේ මිනිය තබා තිබුනා.

ඔක්තෝබර් මස 9 සහ 10 වන දින රාත්‍රී කාලයේදී චේ ගුවේරාගේ සිරුර තබා තිබුනේ මේ ස්ථානයේ. මේ ස්ථානයත් ඇත්තේ සිරුර ජනතාවට ප්‍රදර්ශනය කල ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඈතින්.


ඔක්තෝබර් 10 වන දින රාත්‍රියේ බොලීවියාවේ ලා පාස් නගරයේ සිට ලැබුණු නියෝගයක සඳහන් වුනේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට අමතරව චේ ගුවේරාගේ දෑත් කපා දමා ඒවා ලා පාස් නගරය වෙත එවන ලෙස. ඒ හරියටම සහතික කර ගැනීමට මිය ගොස් තිබෙන්නේ චේ ගුවේරා බව. ඇඟිලි සලකුණු තාක්ෂනය එදා අද මෙන් දියුණුවට පත් වී තිබුනේ නැහැ. සසඳා බැලීමට චේ ගුවේරාගේ ඇඟිලි සලකුණු ලබා ගත හැකිව තිබුනේ ආර්ජන්ටිනාවෙන්. නමුත් ඒ වෙනුවෙන් කාලය ගත කිරීමට සිදුවෙන නිසාත් ගැරී ප්‍රාඩෝ සඳහන් කල අන්දමට යම් විටෙක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් ප්‍රතික්ෂේප කළහොත් චේ ගුවේරාගේ මරණය ඔහුට පෙන්වීමට සාක්ෂි වශයෙනුත් දෑත් කපා තබා ගත් බවයි සඳහන් වෙන්නේ.
නමුත් ඔක්තෝබර් 11 වැනිදා සිට චේ ගුවේරා සහ අනිකුත් සිරුරු අතුරුදහන් වී තිබුනා. කිසිම කෙනෙක් දැන ගෙන සිටියේ නැහැ චේ ගුවේරාගේ සිරුරට සිදුවුයේ කුමක්ද කියා.
එදා සිට 1995 වසර දක්වා කිසිම කෙනෙක් දැන සිටියේ නැහැ ඇත්තටම චේ ගුවේරාගේ සිරුර වලලා දමා හෝ විනාශ කර දමා තිබෙන්නේ කොතනද කියා. බොලීවියානු රජය අවසර දී තිබුනේ නැහැ කිසිම හමුදා නිලධාරියෙකුට හෝ සාමාන්‍ය ජනතාවට ඒ විස්තර පවසන්නට.
1997 වසරේදී විශ්‍රාමික බොලීවියානු හමුදා ජෙනරාල් වරයෙකු වූ මාරියෝ වර්ගාස් සලිනාස් ප්‍රථම වරට මාධ්‍ය වලට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 1967 වසරේ චේ ගුවේරා ඝාතන ක්‍රියා දාමයන් වලට ඔහු සම්බන්ධ වූ බවත් චේ ගුවේරාගේ සිරුර රහසිගත අන්දමින් මිහිදන් කල ආකාරය සහ ප්‍රදේශය ඔහු සඳහන් කළා. වලෙග්‍රන්දා ගුවන් තොටුපල අසල භුමියේ කෙළවරක බුල්ඩෝසරයක් උපයෝගී කර ගනිමින් සමුහ මිනී වලක චේ ගුවේරා අනිකුත් ගරිල්ලා කණ්ඩායමේ සාමාජිකයින්ගේ සිරුරුද මිහිදන් කල බව.


ජෙනරාල ගේ මේ ප්‍රකාශය නිසා එවකට බොලීවියානු ජනාධිපති ගොන්සාලෝ ලොසාඩා හට විශේෂ ජනාධිපති කොමිසමක් පවා පත් කරන්නට සිදුවුනා. 1997 වසරේ ජුනි මස 28 වැනිදා මේ ස්ථානයේ කැනීම් කල බොලීවියානු ජාතිකයින් හට මේ සමුහ මිනී වලවල් හමු වුනා. ඒ වන විට මේ ගවේෂණ මෙහෙයුම් වලට කියුබාවද සම්බන්ධ වී සිටියා.
1999 වසරේ ජුලි මස 1 වැනිදා විශ්‍රාමික බොලීවියානු හමුදා ජෙනරාල් වරයෙකු වූ මාරියෝ වර්ගාස් සලිනාස් ගේ ප්‍රකාශය සනාත කරමින් චේ ගුවේරාගේ යයි සඳහන් කල හැකි අස්ථි වල කොටස් හමුවුනා. 1997 ජුලි මස 13 වැනිදා බොලීවියානු රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා චේ ගුවේරාගේ සිරුරේ කොටස් හමුවීම සම්බන්ධයෙන්. චේ ගුවේරා සමග තවත් ගරිල්ලා භටයින් 7 දෙනෙකුගේ සිරුරු වල කොටස් මෙසේ සොයා ගනු ලැබුවා.


එදා චේ ගුවේරා ඇතුළු ගරිල්ලා භටයන්ගේ සිරුරු වල කොටස් සොයා ගත් ස්ථානයේ තමයි අද චේ ගුවේරා මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ.

පිටුපසින් පෙනෙන ගොඩනැගිල්ල එනම් චේ ගුවේරා සමාධිය ගොඩ නගා තිබෙන්නේ හරියටම සිරුරු කොටස් පොලව මතින් මතු කර ගත් ස්ථානය වටා.

චේ ගුවේරා ඇතුළු කණ්ඩායමේ සිරුරු වල දමා තිබු ආකාරයටම ඒ ස්ථාන වලම නාම පුවරු දක්නට ලැබෙනවා. චේ ගුවේරාගේ සිරුර හඳුනා ගනු ලැබුවේ එක් සිරුරක දෑත් නොමැති නිසා. නමුත් DNA පරීක්ෂණයක් නොකරම කියුබානු සහ බොලීවියානු රජයන් තීරණය කළා එය චේ ගුවේරාගේම ඇට සැකිල්ල බව.


1997 වසරේ ඔක්තෝබර් මාසයේදී විශේෂ ගුවන් යානයක් මගින් චේ ගුවේරා ඇතුළු අනිකුත් ගරිල්ලා භටයන්ගේ සිරුරු වල කොටස් රාජ්‍ය ගෞරව සහිතව කියුබාවට රැගෙන ආවා.

කියුබාවේ සැන්ටා ක්ලාරා නගරයේ පිහිටවූ විශේෂ සමාධියක මේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙනවා. සැන්ටා ක්ලාරා නගරය චේ ගුවේරාගේ විප්ලවීය ජීවිතයේ ප්‍රබල සන්ධිස්ථානයක් වෙනවා. මේ නිසාම තමයි කියුබානු පාලකයන් මේ නගරය චේ ගුවේරාගේ සමාධිය පිහිටුවීමට තෝරා ගත්තේ.

කියුබාවේ සැන්ටා ක්ලාරා නගරයේ පිහිටවූ විශේෂ සමාධිය. මේ ස්ථානය පිලිබඳ විශේෂ තොරතුර මාගේ කියුබාවේ දෙවන විප්ලවය ලිපි පෙළ තුලින්. මේ ස්ථානයෙන් පිවිසෙන්න.
සියලුම ප්‍රශ්න වලට පිළිතුර - කැමිලෝ ගුවේරා වෙතින්. මට හමුවුණු චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා
චේ ගුවේරා ශාපය !


Special Thanks - විශේෂ ස්තුතිය ;* Gral. Div. (r) Gary Prado Salmon-Bolivia, * Gary Prado-Bolivia, * Oswaldo Peredo-Bolivia, * Susanne Osinaga-Bolivia
* Marcos-Amboro Tours-Bolivia, * Maria Esther - Bolivia
