සමාජවාදී ලෝකයක් ගොඩ නැගීම සඳහා මියෙන තුරුම නොනිමි අරගලයක නිරත වූ අසහාය විප්ලවීය චරිතය වන අර්නෙස්ටෝ චේ ගුවේරා පිලිබඳ සිංහල බසින් සටහන් ව ඇති බොහෝ ලිපි ලේඛන වෙති.  ඒවා සියල්ලම විදේශීය ලිපි ලේඛන මුලාශ්‍රයෙන්  පරිවර්තනය වූ ඒවා විනා චේ ගුවේරා පිලිබඳ සජීවී සාක්ෂි මත සෘජුවම සැකසුනු ලේඛනයන් නොවේ. එහෙත් රොහාන් ඩිරෙක්ස් නමැති අපුරු ගවේෂණශීලී සංචාරකයා www.sanchara.lk වෙබ් අඩවිය සහ දිවයින ඉරිදා සංග්‍රහය සමග බොලීවියාවේ සහ  කියුබාවේ කල සංචාරයන් ඇසුරෙන් පෙළ ගැසෙන මෙම ලිපි පෙළ එම කඩ ඉම  ඉක්මවාලයි. එය වඩාත් සුවිශේෂී වන්නේ දැනට ජීවත්ව සිටින චේ ගුවේරාගේ  සමීපතමයන් සහ ඔහුගේ අවසන් කාලයේ ඔහු අසල සිටි සුවිශේෂ චරිත කිහිපයක සජීවී සාක්ෂි ආශ්‍රයෙන් මෙම ලිපි පෙළ සටහන් වන බැවිනි.       -                                                                     තිස්ස ගුණතිලක 

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 මැයි 01-22 

info@sanchara.lk

බොලීවියාවේ වලෙග්‍රන්දා නගරයේදීත් ලා හිගුරා ගම්මානයෙදීත් චේ ගුවේරාගේ මරණයට සම්බන්ධ දැනට ජීවත්ව සිටින බොහෝ පුද්ගලයින් හමු වන්නට අවස්ථාව ලැබුනත් මේ කතාව සම්පුර්ණ වන්නට නම් තවත් එක් සුවිශේෂී පුද්ගලයෙකු ගේ අදහස් අනිවාර්යයෙන්ම විමසන්නට සිදු වෙනවා. 

මේ වෙනුවෙන්ම බොලීවියාවට අමතරව කියුබාවටද සංචාරය කරන්න ඕන කියලා මට සිතුනු වාර අනන්තයි. නමුත් ඒ එක් වාරයකදී වත් මට අවශ්‍ය විදිහට කියුබානු සංචාරය සකස් කර ගන්න හැකියාවක් ලැබුනේ නැහැ. අන්තර් ජාලයෙන් සොයා ගත් විද්‍යුත් ලිපින වලට කොපමණ ලිව්වත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. කියුබාවේ ජීවත් වන රුසියානු ජාතිකයින් කිහිපදෙනෙක් සමගද මා අන්තර් ජාලය හරහා සම්බන්ධතා පැවැත්වුවත් මා ඉල්ලු ස්ථාන වලට යාමට සහයෝගය දැක්වීමට ඔවුන් එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ. 

චේ ගුවේරාගේ පවුලේ සාමාජිකයෙක් හමුවීමට අවස්ථාවක් ලබා ගන්නට මා උත්සාහ දැරුවේ කියුබාවට සහ බොලීවියාවට යන්නට මාස කිහිපයකට පෙර සිට. ඒ අනුව තමයි මා සිතුවේ කෙසේ හෝ චේ ගුවේරා ගේ පුත් කැමිලෝ ගුවේරා හමුවන්නට. 

නමුත් ඒ බලාපොරොත්තුව සපල කර ගන්නට කිසිම අවකාශයක් මට ලැබුනේ නැහැ. සාමාන්‍ය සංචාරකයෙක් ලෙස කියුබානු කොමියුනිස්ට් පක්ෂය හරහා කැමිලෝ ගුවේරා හමු වන්නට අවස්ථාවක් ලබා ගැනීමට කිසිදු ඉඩක් මට ලැබුනේ නැහැ. 

 

​2017 වසරේ සැප්තැම්බර් මාසයේදී දිනෙක මට ලැබුණු එක් විද්‍යුත් ලිපියකට මගේ අවධානය යොමු වුනා. 

​​ඒ විද්‍යුත් ලිපිය ලැබුනේ ජෝර්ජ් නමැති මගේ කියුබානු සංචාරයට උදව් කල පුද්ගලයෙකුගෙන්. ජෝර්ජ් මෑත කාලයේදී තම බිරිඳ සමග සංචාරකයින්ට සහයෝගය දෙන කුඩා සමාගමක් ලියාපදිංචි කර තිබෙනවා. දැනට 75 හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් විශ්‍රාම ගැනීමට පෙර රැකියාව කලේ කියුබානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ. මගේ ජීවිතයේ යම් කාලයක් පැරණි සෝවියට් දේශයේ ජීවත් වී ඇති නිසා ජෝර්ජ්ගේ මේ විශ්‍රාම ගැනීමට පෙර කල රැකියාව ගැන මගේ අවධානය යොමු වුනා. ඒ අනුව මගේ කියුබානු සංචාරය සඳහා උදව් සහ උපදෙස් ලබා ගැනීමට සුදුසු එකම පුද්ගලයා ජෝර්ජ් බව මට තේරුම් ගියා. 

අන්තර් ජාලය පරිහරණය කිරීමෙන් මා ලබා ගත් තොරතුරු අනුව කැමිලෝ ගුවේරා හවානා නගරයේ චේ ගුවේරා කේන්ද්‍රය මෙහෙයවන බව පමණක් දැන ගන්නට ලැබුනා. අවම වශයෙන් ඔහුගේ හෝ චේ ගුවේරා කේන්ද්‍රයේ දුරකථන අංක පවා සඳහන් වෙන්නේ නැහැ. නමුත් අන්තර් ජාලයෙන් ලබා ගත් විද්‍යුත් ලිපිනයකට විස්තර යැවීමෙන් මා ඉල්ලා සිටියේ කෙසේ හෝ මා කියුබාවට පැමිණෙන දින වලදී කැමිලෝ ගුවේරා හමු වන්නට අවස්ථාවක් ලබා දෙන ලෙස. මාස 4ක පමණ කාලයක් මෙසේ ඉල්ලා සිටියත් මට කිසිම අවස්ථාවක පිළිතුරක් ලැබුනේ නැහැ. 

​අවසානයේදී මා ජෝර්ජ් ගෙන් ඉල්ලා සිටියා කෙසේ හෝ හවානා නුවර චේ ගුවේරා කේන්ද්‍රය වෙත පෞද්ගලිකවම ගොස් එහි භාරකාරීන් හමුවී මාගේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස. කිහිප වතාවක්ම චේ ගුවේරා කේන්ද්‍රය වෙත ගොස් මා ගැන සහ මාගේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් සියලුම විස්තර ඉදිරිපත් කල පසු ඉතාමත් කෙටි වේලාවකට කැමිලෝ ගුවේරා හමු වන්නට ඉඩ දිය හැකි බව චේ ගුවේරා කේන්ද්‍රය මා හට දන්වා සිටියා.  නමුත් ඒ බව මට දැන ගන්නට ලැබුනේ මා කියුබාවට යාමට මොස්කව් ගුවන් තොටුපලේ සිටින විට.  ඒ වන විට සංචාරයේ සියලුම සංවිධාන කටයුතු නිමාවට පත්වී තිබුනත් ඒ සියලු දේවල වෙනස් කොට කැමිලෝ ගුවේරා  හමුවීමට ලබා දුන් දිනයේ මා චේ ගුවේරා කෙන්ද්‍රය වෙත පැමිණෙන බව ඔවුන්ට දන්වා සිටියා. 

ජායාරුප අනුග්‍රහය - චේ ගුවේරා කේන්ද්‍රය - වලෙග්‍රන්දා 

චේ ගුවේරාගේ දෙවන විවාහය සිදුවුනේ 1959 වසරේ. ඇලෙයිඩා මාර්ච් සමග විවාහයෙන් චේ ගුවේරා හට පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටිනවා.  කැමිලෝ ගුවේරාගේ උපත සිදුවුනේ 1962 වසරේ. ඒ කියුබානු විප්ලවයෙන් වසර 3කට පසු. 

චේ ගුවේරාගේ බිරිඳ වන ඇලෙයිඩා මාර්ච් සහ පුත් කැමිලෝ ගුවේරා මෙහෙයවන චේ ගුවේරා කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ කියුබාවේ හවානා නගරයේ සුන්දරතම ස්ථානයක. චේ ගුවේරා හා සම්බන්ධ ලිපි ලේඛන, පොත් පත්, ජායාරුප, වීඩියෝ පට මෙන්ම ඔහු විසින් ලියන ලද ලිපි, පොත් පත් සහ ඔහු විසින් ලෝකයේ නොයෙකුත් රටවල ගන්නා ලද ජායාරුප සහ ඒවායේ විස්තර මේ ස්ථානයේදී දැක බලා ගන්නට පුළුවන්. 

දිනය - 2018 වසරේ මැයි මස 9 වැනිදා 

​ස්ථානය - චේ ගුවේරා කේන්ද්‍රය - හවානා නගරය - කියූබාව 

මා ඉදිරියේ පෙනී සිටින්නේ කැමිලෝ ගුවේරා.

 

1967 වසරේ ඔක්තෝබර් මාසයේදී චේ ගුවේරා මිය යන විට ඔබ අවුරුදු 5ක ළදරුවෙක්. ඔබට මොන වගේ මතකයක්ද ඔබේ පියා ගැන තිබෙන්නේ.

ඇත්තටම මට විශාල මතකයක් නැහැ. මගේ පියා කොංගෝ වෙත ගොස් තිබෙන්නේ මගේ වයස 3 දී. කුඩා කාලයේ සිටම මා දැන ගෙන සිටියා මගේ පියා කියුබානු ජනතාව ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරන පුද්ගලයෙක් බව. මගේ පියා ඉතිරි කර ගොස් තිබෙන සෑම දෙයකින්ම මගේ ආදරය ඔහු වෙතට වැඩි වැඩියෙන් හිමි වෙනවා. ඔහු විසින් රචිත ලිපි, ඔහු විසින් ගන්නා ලද ජායාරුප විශේෂයෙන්ම ඔහුගේ අදහස් අදටත් කියුබානු ජනතාව මෙන්ම ලෝකයේ බොහෝ ප්‍රගතිශීලී ජනතාව අගයන ආකාරය මට දැනෙන විට ඔහුට තිබෙන ආදරයේ සීමාවක් නොමැති බව මට වැටහෙනවා. එය සමහර විට පුතෙක් පියෙකුට වඩා දක්වන ආදරයෙන් ඔබ්බට ගිය දෙයක් කියා මට හැඟෙනවා. එයට හේතුව අද දිනයේ චේ අයිති වන්නේ මට සහ මගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොව මුළු මහත් ලෝකයටම. 

ඔබේ ළමා කාලය ගැන විස්තර සඳහන් කලොත් .... 

කියුබාවේ සෑම ළමයෙකුටම හිමි ළමා කාලයක් තමයි මටත් ලැබුනේ. මගේ පියා කියුබානු ජනතාව ආදරය කරන ශ්‍රේෂ්ට චරිතයක් වුනත් අපිට කිසිම ආකාරයකින් විශේෂ වරප්‍රසාද හිමිවී තිබුනේ නැහැ. මමත් ගියේ සාමාන්‍ය පාසලකට. කියුබාවේ විශේෂ පාසැල් කියා දෙයක් නැහැ. මම හිතනවා ඔබ මගෙන් අහන එකක් නැහැ කියලා මගේ පියාට අවස්තාවක් තිබුනා නම් විප්ලවය සහ පවුල අතරින් කුමක්ද තෝරා ගත යුතුව තිබුනේ කියලා. ඔහු සම්බන්ධ වී තිබුණු පීඩිත පන්තියේ අරගලයකට. ඇත්තටම පවුලේ කටයුතු සම්බන්ධයෙන් ඔහුට වෙලාවක් තිබුනේ නැහැ. නමුත් ඒ නිසා අපේ ළමා කාලය නිරපරාදේ ගෙවුනා කියලා මට සඳහන් කරන්නට බැහැ. ඒ වෙනුවෙන් අපිට ශ්‍රේෂ්ට මවකගේ ආදරය නිරතුරුවම ලැබුනා. පියා අප සමග නොසිටියත් අපේ මවට පුළුවන් වුනා අපට ඒ අඩුව නොදැනෙන ආකාරයට කටයුතු කරන්නට. 

මට දැනුම් තේරුම් ඇති කාලය වන විට අපිට තේරුනා පියා අප අතර නොමැති බව. අපිට හිතෙන්නට ගත්තා කොහෙද ඔහු සිටින්නේ.. ඔහු මොන වගේ පුද්ගලයෙක්ද ... ඇයි ඔහු අප අතර නැත්තේ...ඔහුට මොනවාද සිදු වුනේ..... ඒ සෑම වෙලාවකදීම අපේ මව අපිට කියා දුන්නේ පියා ගැන විස්තර. ඒ විස්තර වලින් අපි දැන ගත්තා ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියා. 

 

අවසානයේදී අපිට අවබෝධ වුනා ඔහු මුළු කියුබාවම ආදරය කරන විප්ලවවාදියෙක් බව. තමන්ට තිබෙන වටිනාම සහ වැදගත්ම දේවල් අනිකුත් මිනිසුන්ගේ යහපත උදෙසා පුද කරන්නට මගේ පියා ඉදිරිපත් වුනු බව දැනෙන විට ළමා කාලයේ වගේම අදත් මගේ ඇස් වලින් ගලන්නේ කඳුළු. 

DSC_0246.jpg

ඔබේ ළමා කාලය සමග කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සම්බන්ධ වුනේ කොහොමද ?

 

මගේ පියා මෙන්ම ෆිදෙල් කැස්ත්‍රෝ චරිතයත් අපේ ළමා කාලය හා සම්බන්ධ වෙනවා. එය අපි ළමා කාලයේදී ලද මිල කල නොහැකි ගෞරවනීය අත්දැකීමක්. 

 

කැස්ත්‍රෝ චරිතයෙන් අපිට දැනුනේ පිය කෙනෙකුගේ ආදරය. නමුත් අපි කිසිම දිනෙක පියා නමින් ඔහුට ආමන්ත්‍රණය කර නැහැ.  අපිට හැම විටම අවශ්‍ය වුනා පාසැලේදීත් නිවසේදීත් පියාගේ නම ආරක්ෂා කර ගන්නට. ඒ වගේම ෆිදෙල් කැස්ත්‍රෝත් අප වෙනුවෙන් ආඩම්භර වන්නට. 

කියුබාවේ හවානා නගරයේ පිහිටා ඇති චේ ගුවේරා කෞතුකාගාරය. 1959 කියුබානු විප්ලවයෙන් පසුව චේ ගුවේරා තම මුලස්ථානය පිහිටුවා ගත්තේ මේ ස්ථානයේ.

චේ ගුවේරා කෞතුකාගාරය - හවානා නගරය - කියුබාව 

චේ ගුවේරා කෞතුකාගාරය - හවානා නගරය - කියුබාව 

ෆිදෙල් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා අතර එතරම් හොඳ සම්බන්ධතාවයක් තිබුනේ නැති බවත් ඒ නිසා විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු කැස්ත්‍රෝට අවශ්‍ය වුනේ  චේ ගුවේරා ව කියුබාවෙන් ඉවත් කරන්නටයි කියන චෝදනාව අද බොහෝ විට මාධ්‍ය වල සඳහන් වෙනවා. චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු දීමට සුදුසුම පුද්ගලයා යැයි මට සිතෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය මා කැමිලෝ ගුවේරා වෙතට යොමු කළා. 

ඔහුගේ මුවඟට නැගුනේ සිනාවක්.

"මා බලාපොරොත්තු වුනා ඔබෙන් මේ ප්‍රශ්නය."

"ෆිදෙල් කැස්ත්‍රෝ අපිට මෙන්ම මුළු කියුබානු ජනතාවටම ආදර්ශමත් චරිතයක්. ඒ වගේම ඔහුට පහසුවෙන් රිදවන්නට අමාරුයි. මේ ප්‍රශ්නය අපිත් කීප වතාවක්ම ෆිදෙල් කැස්ත්‍රෝ ගෙන් ඇසුවා. නමුත් ඔහුත් කිසිම දිනෙක පිළිතුරු දුන්නේ නැහැ. නමුත් එක් දිනෙක පිළිතුරු දුන්නා. 

මෙවැනි වැදගත්කමක් නැති අසත්‍ය ප්‍රශ්න වලට පිළිතුරු දීමට මා කාලය වැය කළහොත් වෙනත් කිසිම වැදගත් රාජකාරියක් මට ඉෂ්ට කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවාට අවධානය යොමු කල යුතු වන්නේ නැහැ. නමුත් ජනතාවගේ ප්‍රශ්නයක් නම අපි එයට අවධානය යොමු කල යුතුයි." මේ තමයි ඔහු ලබා දුන් පිළිතුර.

​"කියුබානු ජනතාවගේ මොනම හෝ ප්‍රශ්නයකට සෑමදාම කැස්ත්‍රෝ තම අවධානය යොමු කළා."

"මගේ පියා සෑම අවස්ථාවකදීම ෆිදෙල් කැස්ත්‍රෝ වෙනුවෙන් පෙනී සිටියා. එය ඇත්තටම කැස්ත්‍රෝට පහසුවක් වුනා. විප්ලවයෙන් පසු මගේ පියා කියුබාවේ කාර්මික අමාත්‍ය ධුරය දරුවා. ඒ කාලයේ කාර්මික අමාත්‍ය ධුරය අතිශයින් වැදගත් භාරදුර කාර්යයක් වුනා. චේ ගුවේරා වැනි පුද්ගලයෙක් එවැනි අමාත්‍යාංශයක් මෙහෙයවීම ෆිදෙල් කැස්ත්‍රෝ ට විශාල පහසුවක් වුනා. නමුත් මාගේ පියාට සිදුවුණා ඒ සියල්ල හැර දමා කියුබාවෙන් පිට වන්නට. "

"මෙක්සිකෝවේදී විප්ලවයට පෙර මගේ පියා සහ ෆිදෙල් කැස්ත්‍රෝ අතර ඇති කර ගත් ගිවිසුමක් තිබුනා. විප්ලවයේ ජයග්‍රහණය වෙන තෙක් චේ ගුවේරා ෆිදෙල් කැස්ත්‍රෝ සමග කියුබාවේ සිටින බවට. පසුව ලතින් ඇමෙරිකාවේ අනිකුත් රටවල් වලට ඔහුගේ සේවය අවශ්‍ය බව. වරක් ඔබේ ප්‍රශ්නය මගේ සහෝදරියගෙන් පුවත් පත් වාර්තාකරුවෙක් ඇසුවා. එයට මාගේ සහෝදරිය ලබා දුන් පිළිතුර ඇත්තටම අනර්ගයි."

"මගේ පියා සෑම විටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටියා. කිසිම විටෙක් කිසිම පුද්ගලයෙක් රවටන්නනට ඔහුට අවශ්‍ය වී තිබුනේ නැහැ. එක් දිනෙක මෙක්සිකෝවේදී විප්ලවයට පෙර ඔවුන්ව අත් අඩංගුවට ගැනීමේ අවදානමක් පැවතුනා. ෆිදෙල් කැස්ත්‍රෝ තම ගරිල්ලා භටයන්ට උපදෙස් දුන්නේ යම් විදිහකින් ඔවුන්ව අත් අඩංගුවට ගත හොත් තමන්ගේ දේශපාලන මත වාද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හැකි තරම් දුරට වැලකී සිටින ලෙසට. ඔබ දන්නවාද අත් අඩංගුවේ සිටියදී මගේ පියා කොයි විදිහටද කටයුතු කලේ කියා.  චේ ගුවේරා සිර මැදිරියේ ආරක්ෂකයින් සමග දේශපාලනය ගැන අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. සෝවියට් දේශය ගැන මගේ පියා විවිධ මත ප්‍රකාශ    කළා. අවසානයේදී  සිදුවුයේ කුමක්ද? මගේ පියා හැරෙන්නට අනික් සියලුම ගරිල්ලා භටයින් නිදහස් කළා. නමුත් චේ ගුවේරා කොමියුනිස්ට් වාදියෙක් කියා ඔහුව නිදහස් කලේ නැහැ. එවැනි අවස්තාවක පවා චේ ගුවේරාට අවශ්‍ය වුනේ නැහැ තවත් පුද්ගලයෙක් රවටන්නට.  අවසානයේදී ෆිදෙල් කැස්ත්‍රෝ ට සිදුවුනා චේ ගුවේරාව නිදහස් කරන තෙක් මෙක්සිකෝවේ රැඳෙන්නට. මෙය නිසා ඇත්තටම කියුබානු විප්ලවයේ සමහර සුදානම් කටයුතු පවා ප්‍රමාදයකට ලක් වුනා." 

"පසුගිය වසර 15 තුල චේ ගුවේරා සම්බන්ධව සිනමා කෘතීන් විශාල ප්‍රමාණයක් බිහි වුනා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ ඔහුගේ ජීවන චරිතය ඇතුලත් ග්‍රන්ථ ප්‍රකාශයට පත් වුනා. ඔබ සිතන ආකාරයට කුමන ග්‍රන්ථය හෝ සිනමා කෘතියද සත්‍යය ඒ ආකාරයෙන්ම පවසන්නේ." 

"මගේ මතය නම් අද වන තෙක් කිසිම සිනමා කෘතියක් හෝ ග්‍රන්ථයක් මගේ පියා ගැන පැහැදිලි විවරණයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. චේ ගුවේරා කෙන්ද්‍රය මෙහෙයවන පුද්ගලයෙක් හැටියට මගේ ඉල්ලීම වන්නේ හැකි තරම් දුරට චේ ගුවේරා විසින් ලියන ලද පොත් සහ ලිපි ලේඛන පරිහරණය කරන ලෙසටයි. මගේ පියාට තිබුනා පුරුද්දක් හැම විටම සෑම දෙයක්ම ලේඛන ගත කරන්නට. අප විසින් පවසන දේ සෑම විටම විශ්වාශ නොකර ඔහු විසින් ලියන ලද පොත් පත් පරිහරණය කරන්න. ඊට පසු ඔබට පුළුවන් මගේ පියා ගැන ස්වාධීන නිගමනයකට පැමිණෙන්න."

"මට ඔබගෙන් අසන්නට වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. ඔබගේ පියාට දරුණු චෝදනා තිබෙනවා ගරිල්ලා සටන් වලදී මිනිසුන් මරා දැමු බවට. ඒ වගේම ඔබගේ පාර්ශවය චෝදනා කරනවා බෝලීවියාවේදී නිරායුධ චේ ගුවේරාව මරා දැමු බවට. ඔබ සිතනවාද මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මිනිසුන් මරා දැමීම නිවැරදි යයි කියා ........"

කැමිලෝ ගුවේරා මගේ ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරු දුන්නා. 

​ඔබ ගරිල්ලා සටනක නිරත වන්නේ නම් එයින් පැහැදිලි වන්නේ ජීවිතය හෝ මරණය අතර සටනක යෙදෙන බව. එය ගරිල්ලා සටනක න්‍යායක් වෙනවා. ඔබ යෙදී සිටින්නේ යුද්ධයක. නමුත් 1967 වසරේ මගේ පියා මරා දැමුවේ ඔහු නිරායුධව සිටියදී. ඒ වගේම කිසිම අධිකරණ නීතියකින් තොරව. මගේ පියා පමණක් නොවේ, කියුබානු විප්ලවයේ කිසිම තැනක නිරායුධ මිනිසුන් මරා දැමු බවට සඳහන් වෙන්නේ නැහැ.

ඔබ අදටත් චේ ගුවේරා කේන්ද්‍රයේ නායකත්වය හොබවනවා. චේ ගුවේරාගේ මරණයෙන් පසු අදට වසර 50 කටත් අධික කාලයක් ගතවී තිබෙනවා. අදටත් කියුබාවේ බොහෝ පාසල් වල චේ වගේ වෙයන් පුතේ! සටන් පාඨය ජනප්‍රියව පවතිනවා.  මේ සටන් පාඨයේ වැදගත්කම ඔබ අද දකින්නේ කෙසේද?

"වෙනදාටත් වඩා චේ ගේ අවශ්‍යතාවය අද දැනෙනවා කියලා මට සිතෙනවා. අද දවසේ මේ ලෝකය ඉතා සංකීර්ණයි. මේ සංකීර්ණතාවය අපිට හඳුනා ගන්නට පුළුවන් චේ ගේ අදහස් කෘතීන් අධ්‍යනයෙන්. චේ ගේ ලිපි වලින් පෙන්වන්නේ ගරිල්ලා සටන් මාවතක් මෙන්ම නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳව කෙරෙන පැහැදිලි විශ්ලේෂණයක්." 

​"චේ ගුවේරා දර්ශනය හරිහැටි අවබෝධ කර ගත හැක්කේ නිදහස, ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරන ඒ වාතාවරණය තුල ජීවත් වන සිතකට මිස සුඛෝපභෝගී කාමරයක සිට ජනතාවගේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරන පුද්ගලයින් සිත් වලට නොවේ. 

කියුබානු සමාජීය ආකල්ප ඒ වගේම කියුබාවේ වර්තමාන තත්වය තවමත් පෙන්වන්නේ චේ ගුවේරාට ඇති සදාතනික ආදරය. ඒ නිසා තමයි අදටත් විශේෂයෙන්ම කියුබානු ළමා පරපුර චේ ගුවේරාව ආදර්ශයක් ලෙස සලකන්නේ." 

"මෑතකදී විශේෂයෙන් අප්‍රිකානු රටවල් වල ඇතිවූ එබෝලා වසංගතයේදී එය මර්ධනය වෙනුවෙන් ඒ රටවල් වලට යාමට බොහෝ වෛද්‍යවරුන් අකමැත්ත ප්‍රකාශ කරත්දී ඒ රටවල් වලට ගොස් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනේ කියුබානු වෛද්‍යවරුන්. තමන්ගේ නොවන රටක් ජාතියක් වෙනුවෙන් තම සේවය එසේ පුද කරන්නට ඔවුන්ට ශක්තිය ලබා දුන්නේ චේ වගේ වෙයන් පුතේ යන පාඨය ඔවුන්ගේ සිත් වලට කා වැදී සිටින නිසයි." 

ජායාරුප අනුග්‍රහය - AFP චේ ගුවේරා තම බිරිඳ සමග 

චේ ගුවේරා ගේ ශ්‍රී ලංකා සංචාරයේ ජායාරුප 

කැමිලෝ ගුවේරා හමු වන්නට ලැබීම මාගේ චේ ගුවේරා ගිය පාරේ ලිපි පෙලට විශාල දායකත්වයක් වුනා. කැමිලෝ ගුවේරා මා හට ලබා දී තිබුනේ විනාඩි 15ක කාලයක් වුනත් අවසානයේදී එය පැය 2ක් පමණ කාලයක් දක්වා දිගු වුනා. ඒ කාලය තුල ඔහුගෙන චේ ගුවේරාගේ ජීවිතයට සම්බන්ධ කරුණු වලට අමතරව කියුබාව සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දන ගැනීමට මට හැකිවුනා. 

 

මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ චේ ගුවේරාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් බොහෝ කාරනා ඔහුගේ පුත් කැමිලෝ ගුවේරා මාර්ගයෙන් මට දැන ගන්නට ලැබුනා. 

​1959 වසරේ චේ ගුවේරා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනා. සාකච්ජාව අතරතුර තම රාජකාරී කාමරය වෙත පිවිසුණු කැමිලෝ ගුවේරා මට පෙන්වුයේ චේ ගුවේරාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු විසින් ගත් ජායාරුප කිහිපයක්. මේ ජායාරුප තවමත් සුරක්ෂිතව චේ ගුවේරා කේන්ද්‍රය පරිපාලනය යටතේ පවතිනවා. 

​අපි ප්‍රාර්ථනා කරමු අනාගතයේ යම් දිනෙක මේ ජායාරුප අප හට දැක ගන්නට ලැබේවි කියා. 

චේ ගුවේරා මරා දැමීමට නියෝගය ලබා දුන් එවකට බොලීවියාවේ ජනාධිපති රෙනෝ බෙරින්ටෝස් 

1969 වසරේ අප්‍රේල් මස 29 වැනිදා හෙලිකොප්ටර් අනතුරකින් මරණයට පත් වුනා. 

ජනාධිපති බේරෙන්ටෝස් ගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් වලෙග්‍රන්දා ප්‍රදේශය භාරව සිටි හමුදා නායක සෙන්ටෙනෝ 

​1976 මැයි 11 වැනිදා ප්‍රංශයේදී වෙඩි පහරකින් මිය ගියා. 

ජනාධිපති බේරෙන්ටෝස් රජයේ අභ්‍යන්තර ආරක්ෂක ඇමති ධුරය දරු අන්තෝනියෝ ආර්ගුඩාස්. චේ ගුවේරාගේ දෑත් කපා දැමීමට අණ ලබා දුන්නේ මොහුය. 

1990 වසරේදී ඔහුගේ දෑත් වලම අත් බෝම්බයක් පිපිරීමෙන් මිය ගියා.

චේ ගුවේරා අත් අඩංගුවේ සිටියදී ඔහුට පහරදී ප්‍රශ්න කිරීමට තැත් කල හමුදා නිලධාරියෙකු වූ ආණ්ඩරැස් ෆිනිච් 

​බොලීවියාවේ තවත් නායකයෙකු වූ ජෙනරාල් බාන්සා ට විරුද්ධ වීම නිසා හිර කඳවුරකදී දරුණු ලෙස වධ විඳ මරණයට පත් වුනා. 

මෙහිදී තවත් එක් විශේෂ කරුණක් සඳහන් කල යුතුයි. චේ ගුවේරා දඩයම නමින් හඳුන්වන චේ ගුවේරා සොයා දියත් කල දැවැන්ත ක්‍රියා දාමයට සහභාගී වුනු බොහෝ දෙනෙක් අනපේක්ෂිත ලෙස මිය ගොස් ඇති බව මේ ඉතිහාසය හැදෑරීමෙන් පැහැදිලි වෙනවා. 

චේ ගුවේරා මරා දැමීමට නියෝගය ලබා දුන් එවකට බොලීවියාවේ ජනාධිපති රෙනෝ බෙරින්ටෝස් 1969 වසරේ අප්‍රේල් මස 29 වැනිදා හෙලිකොප්ටර් අනතුරකින් මරණයට පත් වුනා. ජනාධිපති බේරෙන්ටෝස් ගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් වලෙග්‍රන්දා ප්‍රදේශය භාරව සිටි හමුදා නායක සෙන්ටෙනෝ 1976 මැයි 11 වැනිදා ප්‍රංශයේදී වෙඩි පහරකින් මිය ගියා. ජනාධිපති බේරෙන්ටෝස් රජයේ අභ්‍යන්තර ආරක්ෂක ඇමති ධුරය දරු අන්තෝනියෝ ආර්ගුඩාස්. චේ ගුවේරාගේ දෑත් කපා දැමීමට අණ ලබා දුන්නේ මොහුය. 1990 වසරේදී ඔහුගේ දෑත් වලම අත් බෝම්බයක් පිපිරීමෙන් මිය ගියා. චේ ගුවේරා අත් අඩංගුවේ සිටියදී ඔහුට පහරදී ප්‍රශ්න කිරීමට තැත් කල හමුදා නිලධාරියෙකු වූ ආණ්ඩරැස් ෆිනිච් ​බොලීවියාවේ තවත් නායකයෙකු වූ ජෙනරාල් බාන්සා ට විරුද්ධ වීම නිසා හිර කඳවුරකදී දරුණු ලෙස වධ විඳ මරණයට පත් වුනා. 

බොලීවියානු සහ කියුබානු වැසියන් මේ සිදුවීම් මාලාව හඳුන්වන්නේ චේ ගුවේරා ශාපය නමින්. කියුබානු රහස් ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් සහ/හෝ ස්වභාව ධර්මයේ දඬුවම් මේ පුද්ගලයින්ට ලැබුණු බවයි ඔවුන්ගේ විශ්වාශය.  

චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා 

චේ ගුවේරාට ගරිල්ලා භටයන් සොයා දුන් චාටෝ පෙරේඩෝ

චේ ගුවේරා අත් අඩංගුවට ගත් හමුදා කණ්ඩායමේ නායක ජෙනරාල් ගැරී ප්‍රාඩෝ 

චේ ගුවේරා ගේ පෙම්වතිය ලෙස මාධ්‍ය හඳුන්වන ජුලියා කොර්ටෙස්  

චේ ගුවේරාගේ සිරුර සෝදා පිරිසිදු කල සුසානා ඔසිනාගා 

ලා හිගුරා චේ ගුවේරා කෞතුකාගාරයේ භාරකාරිනී 

මා සමග චේ ගුවේරා ගිය පාරේ සංචාරයට සහභාගී වූ මාරියා එස්තර් 

කියුබානු සංචාරයේදී මට සහයෝගය දුන් ජෝර්ජ් බේරෙන්ගර් 

චේ ගුවේරා ගියා පාරේ යමින් චේ ගුවේරාගේ මරණයේ සත්‍ය තොරතුරු සොයා බොලීවියාවේ සහ කියුබාවේ සංචාර, මා යෙදුනු සංචාර වලින් අසීමිත වින්දනයක් ලැබූ සංචාර ලෙස හඳුන්වන්නට පුළුවන්. චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා, චේ ගුවේරාට ගරිල්ලා භටයන් සොයා දුන් චාටෝ පෙරේඩෝ, චේ ගුවේරා අත් අඩංගුවට ගත් හමුදා කණ්ඩායමේ නායක ජෙනරාල් ගැරී ප්‍රාඩෝ, චේ ගුවේරා ගේ පෙම්වතිය ලෙස මාධ්‍ය හඳුන්වන ජුලියා කොර්ටෙස්, චේ ගුවේරාගේ සිරුර සෝදා පිරිසිදු කල සුසානා ඔසිනාගා, ලා හිගුරා චේ ගුවේරා කෞතුකාගාරයේ භාරකාරිනී, මා සමග චේ ගුවේරා ගිය පාරේ සංචාරයට සහභාගී වූ මාරියා එස්තර් සහ කියුබානු සංචාරයේදී මට සහයෝගය දුන් ජෝර්ජ් බේරෙන්ගර් මා සිහිපත් කරන්නේ ආදරයෙන් සහ ගෞරවයෙන්. 

"චේ ගුවේරාගේ කෙටි ජීවිත කාලය තුල ඔහු නව ලොවක් තැනීම වෙනුවෙන් කැප කල හැකි සියලු දේ කැප කර අවසානයේදී  ඒ වෙනුවෙන් සිය ජීවිතය පවා පුද කළා. නමුත් චේ ගුවේරාට අවශ්‍ය පරිදි ලෝකය වෙනස් වුනේ නැහැ.  චේ ගුවේරා මරණය නිසා පරාජයට පත් වුනත් ඒ අත් වලින් ගිලිහුණු  අවි නැවත වතාවක් අත් පත් කර ගැනීමට තරුණ පිරිසක් අනාගතයේ බිහිවේවි." 

 

"මගේ ජීවිතය තුල චේ ගුවේරා චරිතය වීරයෙක් වන්නේ ඔහු මගේ පියා නිසා පමණක්ම නොවේ. ඔහු වෛද්‍යවරයෙක්.ලේඛකයෙක්. සංචාරකයෙක්. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ගරිල්ලා භටයෙක්. ඒ සේරටම වඩා පරාර්ථකාමී මානව හිතවාදියෙක්."

 

මේ චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා ගේ අදහස්. සුහද සාකච්ජාව අවසන් වී මා සමගම චේ ගුවේරා කේන්ද්‍රයෙන් පිටතට පැමිණි කැමිලෝ ගුවේරාගෙන් මා සමු ගත්තා. 

" අද චේ ගුවේරා ජනප්‍රිය සංස්කෘතික අයිකනයක්. චේ ගේ රුව සහිත කැප තොප්පි, ටී ෂර්ට්, වෙළඳ සැල්, බාබර් සාප්පු ලෝකයේ බොහෝ රටවල් වල දක්නට ලැබෙනවා. මේ ගැන ඔබේ අදහස කොහොමද ?"  මගේ අවසාන ප්‍රශ්නය මා කැමිලෝ ගුවේරා වෙතට යොමු කළා. 

"සමහර පින්තුර දුටුවාම ඇත්තටම මට තරහක් උපදිනවා. ඒ මක් නිසාද සමහර පින්තුර චේ ගේ පෞරුශත්වය විනාශ කර දමනවා. ඇත්තටම ජායාරුපයෙන් පලක් නැහැ ඔබට ඒ ජායාරුපයෙන් පෙන්වන්නේ කුමන අරුතක්ද යන්න ගැන වැටහීමක් නොමැති නම්. අද චේ ජීවතුන් අතර සිටියා නම් මම සිතන්නේ නැහැ ඔහු මෙවැනි දේවල් වලට කැමති වෙයි කියා."

"ඔහුගේ බලාපොරොත්තුව වුනේ අපි සැම දෙනා වෙනුවෙන් යහපත් ලෝකයක් දිනා දෙන්න. මගේ පියා අද සිටියා නම් තවත් බොහෝ දේ කල යුතු බව ඔහු පිලි ගන්නවා නියතයි. එදා වගේම අදත් ඔහු කියුබානු ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා නියතයි. අද තිබෙන ප්‍රශ්න විවේචනය කරමින් ඔහු සිටින එකක් නැහැ. ඔහු ඒවාට පිලිතුරුත් සොයාවි." කැමිලෝ ගුවේරා අවසන් වරට පැවසුවා. 

කැමිලෝ ගුවේරා, ගැරී ප්‍රාඩෝ, චාටෝ පෙරේඩෝ, ජුලියා කොර්ටෙස්, සුසානා ඔසිනාගා, ජෝර්ජ් බේරෙන්ගුර් සහ මාරියා එස්තර් යන මේ සියලුම චරිතත් සමග මා උත්සාහ කලේ 1967 ඔක්තෝබර් මස 8 වැනිදා බොලීවියාවේ ලා හිගුරා ගම්මානයේදී චේ ගුවේරා නමැති විප්ලවවාදියාගේ මරණය ගැන පැහැදිලි විවරණයක් ඔබට ඉදිරිපත් කිරීමට. 

Special Thanks - විශේෂ ස්තුතිය ; Camilo Guevara , * Gral. Div. (r) Gary Prado Salmon-Bolivia, * Gary Prado-Bolivia, * Oswaldo Peredo-Bolivia, * Susanne Osinaga-Bolivia , *Marcos-Amboro Tours-Bolivia, * Maria Esther - Bolivia , * Jorge Berengur-Cuba, *www.whoa.in - Che wallpaper

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 මැයි 01-22 

info@sanchara.lk