



වේලාව මධ්‍යම රාත්‍රිය පසුවී පැයක් පමණ ගත වී ඇත. එහෙත් මොස්කව් නුවර යරෝස්ලාව් දුම්රිය ස්ථානය ජනාකීර්ණය. කිසිදා නොනිදන මේ දුම්රිය ස්ථානයට මා යන්නේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමකට මුහුණ දීමටය. තව විනාඩි කිහිපයකින් මොස්කව් සිට මොන්ගෝලියාවේ උලන්බාටෝර් නගරය බලා පිටත් වන මහා සයිබීරියානු දුම්රිය මා ඇතුළු තවත් මගීන් රැසක්ද සමග මේ දුම්රිය ස්ථානයෙන් සිය ගමන ආරම්භ කරනු ඇත. මොස්කව් සිට වියට්නාමයේ හෝචිමින් නගරය දක්වා දුම්රියෙන් යාමට යන මේ ගමනේ මාගේ ආරම්භක ස්ථානය වන්නේ මොස්කව් යරෝස්ලාවල් දුම්රිය ස්ථානයයි.
ලොව ඕනෑම සංචාරකයෙකුගෙන් ඔබ ඇසුවොත් සංචාර කරන්නට බලාපොරොත්තු වෙන සංචාර මොනවාදැයි කියා ඔබට ලැබෙන පළමුවන පිළිතුර වන්නේ මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ යන්නට කැමති බවයි. ලොව දිගම දුම්රිය මාර්ගය එසේත් නැතිනම් එක් දිගට යා හැකි ලොව දිගම දුම්රිය මාර්ගය වන්නේ රුසියාවේ මොස්කව් නගරයේ සිට ආරම්භ වී චීනයේ පීකිංග් නුවරටත්, මොන්ගෝලියාවේ උලන්බටෝර් නගරයටත් එමෙන්ම රුසියාවේම ඈත පෙරදිග අන්තය වන ව්ලදිවෝස්ටෝක් නගරයටත් දිවෙන දුම්රිය මාර්ගයි.
මොස්කව් සිට ව්ලදිවෝස්ටෝක් නගරය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ දුර පමණක් ක්.මී. 9258ක වනු ඇත. එය ගමන් කිරීම සඳහා දින 7ක් කාලයක් ඔබට මේ දුම්රියේ එක දිගට ගමන් කිරීමට සිදු වෙනු ඇත. එහෙත් මා යන මොන්ගොලියාවට කි.මී. 7260ක් දුරක් ඇති අතර ඒ සඳහා දින 5 ක කාලයක් ගත වේ. ඉහත මා සඳහන් කල මාර්ග තුනෙන් මොස්කව් උලන්බාටෝර් මාර්ගය සංචාරකයින් අතර වඩාත්ම ජනප්‍රිය මාර්ගය වේ.

මා අත ඇත්තේ පානය සඳහා වතුර බෝතල් කිහිපයක්, බිස්කට් පැකට් කිහිපයක්, තේ සහ වියලි ආහාර ද්‍රව්‍ය පැකට් කිහිපයක් පමණි. දින 5 ක් මේ දුම්රිය තුල ගත කල යුතු වනු ඇත. මා සිටි දුම්රිය මැදිරිය කුඩා කාමර කොටස් 10කට වෙන් කර ඇති අතර ඒ එක් කාමරයක් තුල මගීන් 4 දෙනෙකුට පහසුවෙන් නිදා ගැනීමේ පහසුකම් ඇත. එසේම දවසේ පැය 24ම තේ පානය සඳහා උණු වතුර ලබා ගැනීමේ පහසුකම් මේ මැදිරියේ එක් කෙළවරක ඇත. සෑම මැදිරියකම දෙපස වැසිකිලි පහසුකම් ද ඇත.
මේ සෑම මැදිරියකම සේවය සඳහා කාන්තා හෝ පිරිමි නිලධාරීන් දෙදෙනෙක් ඇති අතර දින 4-7ක ගමනේ යෙදීමට ඇති නිසා ඔවුන මාරුවන් මාරුවට සේවයේ නිරත වෙති. එසේම සෑම දුම්රියක්ම රුසියාවේ ජාතික වර්ණයන් වන රතු, නිල් සහ සුදු වර්ණ වලින් සරසා ඇත.



තවත් ජයාරූප පුවත්
මොස්කව් සිට කි.මී. 1777ක් දුරින් පිහිටා ඇති යුරෝපය සහ ආසියාව වෙන් කෙරෙන සීමාව මේ මාර්ගයේ ඇති වැදගත් ස්ථානයකි. රුසියාවේ ප්‍රධානතම නගර කිහිපයක් පසුකර යන මේ මාර්ගය වැටී ඇත්තේ සයිබීරියාව හරහාය. සයිබීරියාවේ අගනුවර වන නොවොසිබිර්ස්ක් නගරය පසු කර යාමට තවත් දින 2ක් ගත වේ.
මේ මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ ඉතිහාසය 1857 වර්ෂය දක්වා දිවෙන්නකි. 1857 වර්ෂයේදී එවකට සයිබීරියාවේ අග්‍රාන්ඩුකාරයාව සිටි ජෙනරාල් මුරාවියෙව් ප්‍රථම වතාවට සයිබීරියාවේ දුම්රිය මාර්ගයක ඉදි කිරීම ගැන අදහසක් ඉදිරිපත් කර ඇත. එහෙත් කෙසේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට හැකි වී ඇත්තේ 1891 වර්ෂයේදී එවකට සිටි ත්සාර් ඇලෙක්සැන්ඩර් ගේ මුලිකත්වයෙනි. ඒ අනුව ඇති කරගත් කොමිටියක් මගින් අවශ්‍ය මාර්ග සිතියම් සකස් කෙරිණි. එසේම මේ සඳහා අවශ්‍ය සියලුම ශ්‍රමය සහ ඉදිකිරීම් ද්‍රව්‍ය විදේශීය රටවලින් නොව රුසියාව තුලින්ම සපයා ගත යුතු බවද මෙහිදී තීරණය වුනි. මේ කි.මී. 7260 ඉදි කිරීම සඳහා වසර 12ක් පමණ ගත වී ඇත. එමෙන්ම කම්කරුවන් 90,000ක් ගේ පමණ ශ්‍රම දායකත්වයෙන් ඉදිවුණු මේ මාර්ගය අද යුරෝපය හා ආසියාව සම්න්ධ කරන එමෙන්ම රුසියාවේ ආර්ථිකය නංවාලන්නට ඇති යටි තල පහසුකම් වලින් ප්‍රධානතම පහසුකම වේ. මුළු දුර ප්‍රමාණයෙන් 12%ක් පමණ දුරක් යුරෝපීය කාලාපයට අයිති වුවත් 81% ප්‍රමාණයක් අයිති වන්නේ ආසියානු කලාපයටයි.
ඉතා අමාරු දේශගුණික තත්වයන් යටතේ එවකට තිබු පහසුකම් අනුව ඉදි කිරීමට හැකිදැයි සිතීමට පවා අපහසු ස්ථාන හරහා ඉදි කර ඇති මේ මාර්ගය ඇත්තටම ලොව පුදුම උපදුවන දුම්රිය මාර්ග වලින් එකක් හැටියට සහ ලොව වැඩිම මුදලක් වැය කර තැනූ දුම්රිය මාර්ගයද වේ.
ආරම්භයේදී මා සමග මැදිරියේ මගීන් කිහිප දෙනෙකුට පමණක් සිටි අතර එයිනුත් බොහෝ දෙනා විදේශීය සංචාරකයින් වුහ. මේ කලාපයේ රටවල් වලට උදෑසන 4-5 පමණ සිට වසන්ත කාලයේ සුර්ය ආලෝකය ලැබෙන නිසා මේ දුම්රිය පළමුවෙන් පසු කරන ප්‍රධාන නගර වූ නිෂ්නි නොව්ගොරොඩ් සහ පෙර්ම් නගරත් එමෙන්ම වොල්ගා සහ කාමු ගංගා වල අලංකාරත්වයත් විඳ ගැනීමට මට හැකි වුනි.

තවත් ප්‍රධාන නගර වන කැතරින්බර්ග් සහ ඔම්ස්ක් පසුකරමින් දෙවන දිනයේ රාත්‍රියේදී දුම්රිය ඊළඟට ලඟා වන්නේ සයිබීරියාවේ අගනුවර වන නොවොසිබිර්ස්ක් නගරයටයි. මෙය රුසියාවේ තුන්වන වැඩිම ජනගහනයක් ඇති නගරය වන අතර මොස්කව් සිට කි.මී. 3345ක දුරකින් පිහිටා ඇත. කැතරින්බර්ග් නගරයේ සිට නොවොසිබිර්ස්ක් නගරය දක්වා දුම්රිය ධාවනය වන්නේ දිවා කාලයේ නිසා රුසියානු ස්වාභාවික සෞන්ධාර්යය නැරඹීමේ හැකියාව ලැබුණු අතර එමෙන්ම ලොව කිසිම තැනකදීවත් දැක ගත නොහැකි පයින් වනාන්තර, චමත්කාරජනක සහ සුන්දර දර්ශන පසුතලයන් පසුකරමින් යන මේ ගමන අතිශයින්ම ආශ්වාදජනකය.
ටයිගා වනාන්තරය පසුකරමින් දැන් දුම්රිය සෙමින් සෙමින් ඇදෙන්නේ ඉර්කුත්ස්ක් නගරය වෙතයි. ඉර්කුත්ස්ක් නගරය පසුකර තත් කි.මී.60ක පමණ ගිය අපට දැන් දිස් වන්නේ සුප්‍රසිද්ධ බයිකාල් විලයි. ලොව මහා ජාල විල නැතිනම් උතුරු මුහුද නමින් හඳුන්වන බයිකාල් විල අසලින් දුම්රිය ගමන් කරන විලාසය ඇත්තෙන්ම චමත්කාර ජනකය. කි.මී.180 ක් බයිකාල් විලේ ප්‍රමාණයක් අපට දුම්රියේ සිට නැරඹීමට හැක. ලොව ස්වාභාවික ජලය සහිත විශාලතම ජලාශය බයිකාල් විල වන අතර එසේම ලොව ස්වාභාවික නොමිදුනු ජල ප්‍රමාණයෙන් 20%ක් ප්‍රමාණයක් මෙම විලෙහි තැන්පත් වී ඇත. නිල්වන් අඩ සඳක් ආකාරයට නිර්මාණය වී ඇති ජීවිතයේ අමතක නොවන මෙම සුන්දර දර්ශනය නැරඹීම වෙනුවෙන්ම මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ ගමන් කිරීම වටින බව මට සිතේ.
ජායාරූප පුවත්



බයිකාල් විල සහ ඉර්කුත්ස්ක් නගරවල දුම්රිය ස්ථානවල රුසියානු ජාතිකයින් අලෙවි කරන මාළු සහ මාළු වලින් සෑදු නොයෙකුත් අහාර වර්ග වොඩ්කා සමග රස බැලීමේ අවස්ථාවද මට හිමිවිය. මෙහිදී වැදගත් වන්නේ දින 3-4ක් ගමනකින් පසු දුම්රිය මැදිරියේ සිටී සියලුම පුද්ගලයින් සමග දැන හඳුනා ගැනීමට හැකිවූ නිසා ඔවුනොවුන් රැගෙන පැමිණ තිබු ආහාර බෙදා හදා ගැනීමෙන් අදහස් හුවමාරු කරගනිමින් සල්ලාපයේ යෙදෙමින් රුසියානු ජීවිතයේ තවත් අපුරු අත්දැකීමක් ලබා ගැනීමට හැකි වීමයි.

මගේ මීළඟ දුම්රිය නැවතුම් ස්ථානය වන්නේ උලන්උඩේ නගරයයි.

උලන්උඩේ දුම්රිය ස්ථානය

උලන්උඩේ නගරයේ පැය භාගයක පමණ කාලයක් දුම්රියා නැවත තැබිණි. ලොව විශාලතම ලේනින් ගේ හිස සහිත පිළිමය පිහිටා ඇත්තේ මේ නගරයේ නිදහස් චතුරශ්‍රයේ නිසා කෙසේ හෝ ඉක්මනින් එය නැරඹීමේ හැකියාව මට ලැබුණි. මීටර් 14ක් උස ටොන් 42ක් බර මෙම පිළිමය පැරිස්, මොන්ට්‍රියල් සහ මොස්කව් නගර වල ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කර ඇත.
තරවන දවස පවල් කාලයදී අපගේ දුම්රිය රුසියානු මොන්ගෝලියානු දේශ සීමාව වන නෞශ්කි නගරය කරා සේන්දු විය. මොස්කව් සිට කි.මී. 5850ක් දුරින් නෞශ්කි නගරය පිහිටා ඇත. මේ ස්ථානයේදී අවම වශයෙන් පැය 2කට අධික කාලයක් දුම්රිය නවත්වා තැබේ. ඒ අවශ්‍ය ගමන් බලපත්‍ර සහ ගමන් මලු පරීක්ෂා කිරීම සඳහාය. රාත්‍රී 11ට පමණ යලිත් ගමන් ආරම්භ කර විනාඩි 10කින් පමණ රටවල් දෙකටම පොදු සීමාව පසුකර මොන්ගෝලියානු දේශ සීමාවේ සුහෙබාටෝර් දුම්රිය ස්ථානය වෙත සේන්දු විය. මෙහිදීද පැය 2ක කාලයක් අපව පරීක්ෂාවට ලක්විය. මෙහිදී සියලු පරීක්ෂාවන් සිදුවුයේ රාත්‍රී කාලයේදී නිසා අපිට දුම්රියෙන් පිට වීමට අවසර නොලැබුණි. නමිත් රුසියානු නෞශ්කි දුම්රිය ස්ථානයේදී පරීක්ෂාව සිදුවුයේ දහවල් කාලයේ නිසා අපට නෞශ්කි නගරයේ ඇවිදීමට සුළු අවස්ථාවක් ලැබුණි.

දින 5ක් තිස්සේ කි.මී. 7260ක දුර ගෙවා ගමනේ අවසන් අදියරට දැන් පැමිණ ඇත. තවත් පැය 2කින් එනම් උදැසන 7.00ට මහා සයිබීරියානු දුම්රිය මොන්ගෝලියාවේ අගනුවරට සේන්දු වේ. හතර පසින්ම පෙනේනෙන් සීමාවක් නැති තැනිතලා බිම්ය. අතරින් පතර ගොපල්ලන් සහ අශ්වයන් දකින්නට ඇත. මොන්ගෝලියාවේ ගෝබි කාන්තාරය දුම්රියේ කවුළු වලින් දර්ශනය වන ආකාරය චමත්කාරය.

දුම්රියේ සේවක කාන්තාව පමණ පැවසුවේ තව සුළු වෙලාවකින් දුම්රිය උලන්බාටෝර් දුම්රිය ස්ථානයට ලඟා වෙන බවයි. මේ දින පහේදී අප දුම්රිය මැදිරියේ සිටි අනිකුත් රටවල් වල සංචාරකයින් සමග මෙන්ම රුසියානු ජාතිකයින් සමගද ඇතිකරගත් මිතුරු සම්බන්ධතා අදටත් මතකයේ රැදී පවතී. ජීවිතයේ අමතක නොවන මතක සටහන් තබා ගනිමින් අනිකුත් සංචාරකයින්ට අතට අතදී වැළඳ ගැනිමින් වෙන්වූයේ කෙසේ හෝ දිනක නැවත වාරයක හමු වීමේ බලාපොරොත්තු ඇතුවය.
මාගේ මේ දුම්රිය සංචාරය මෙතෙකින් නිම නොවුවත් මහා සයිබීරියානු දුම්රිය ගමන නමින් හඳුන්වන කොටස මෙයින් නිමාවට පත්වේ.
ඔබ ලොව කොපමණ රටවල් වල සංචාරය කලත් ලොව කොපමණ පෙදෙස් දැක තිබුනා වුවත් මේ මහා සයිබීරියානු දුම්රියේ ගමන ඔබට චමත්කාරජනක ආශ්වාදයක් ගෙන දෙනු ඇත.

රොහාන් ඩිරෙක්ස්