උගන්ඩාව 

  • Facebook Social Icon
  • YouTube Social  Icon

වැඩිම ජනප්‍රියතාවයක් දැරූ උගන්ඩානු ජාතිකයා වන්නේ ඉඩි අමීන්. එහෙත් එම ජනප්‍රියතාවයෙන් කිසිම ප්‍රයෝජනයක් නොගැනීම කනගාටුවට කරුණකි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා මෙම ජනප්‍රියතාවය ප්‍රයෝජනයට ගැනීම වහා ආරම්භ කල යුතුය.  -  උගන්ඩා සංචාරක මණ්ඩලය

 

1971 ජනවාරි මස 25 වැනිදා ඔබොටේ ගේ නායකත්වයෙන් යුත් රජය හමුදා කැරැල්ලකින් පෙරලා දමා උගන්ඩාවේ බලය අල්ලා ගත් ඉඩි අමීන් නිසා උගන්ඩාව ලෝකයේ ප්‍රසිද්ධ රටක් බවට පත්වුනා. ඉඩි අමීන් ඔබොට රජයෙහි හමුදා නායකයා වූ අතර  බලයට පත්වීමෙන් පසු  පාර්ලිමේන්තුව විසිරුවා හැර ව්‍යවස්ථාව සංශෝධනය කරමින් සියලුම විධායක බලතල තමන් වෙතට පවරා ගත්තා. පසුව ඉඩි අමීන් ඉතා දරුණු සහ කුරිරු රාජ්‍ය නායකයෙක් හැටියට ප්‍රසිද්ධයට පත් වුනා.  ඔහුගේ රාජ්‍ය සමය තුල පමණක් උගන්ඩා ජාතිකයින් ලක්ෂ 3 කට අධික පිරිසක් අමු අමුවේ ඝාතනයට ලක්වූ අතර  1979 වර්ෂයේදී ඔහුගේ රජය බිද වැටුණු අතර ඔහු සෞදි අරාබියාවට පලා ගියා.

 

උගන්ඩාවට යා යුතුයි කියා මා තීරණය කල දිනයේ සිටම උගන්ඩාව සම්බන්ධයෙන් අන්තර් ජාලයේ ඇති විස්තර සොයා බැලීමට මම පෙළඹුනා. ඉඩි අමීන් බලයෙන් පහ වී වසර 36ක් දැනට ගතවී තිබෙනවා. හැබැයි ඉඩි අමීන් උගන්ඩාව පාලනය කල වසර අටක කාලය මුළු ලොවටම කවදාවත් අමතක වෙන එකක් නැහැ. නමුත් තරමක් හෝ සතුටුදායක තත්වයක් වන්නේ පසුගිය දශක 4 තුල උගන්ඩාව දේශපාලනික හා ආර්ථික වශයෙන් සැලකිය යුතු ජයග්‍රහණ ලබාගැනීමත් සංචාරක ව්‍යාපාරයෙන් පෙරට පැමිනීමත්ය.

 

උගන්ඩාව නැගෙනහිර අප්‍රිකාවේ රාජ්‍යයක්. නැගෙනහිරින් කෙන්යාවෙන්ද උතුරින් දකුණු සුඩානයෙන්ද බටහිරින් කොන්ගෝ රාජ්‍යයෙන් සහ දකුණු පසින් ටැන්සානියාවෙන්ද වටවී ඇති උගන්ඩාව හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටෝන් චර්චිල් හැදින්වුයේ අප්‍රිකාවේ මුතු ඇටය නමින්.  ලොව වඳවී යන ගොරිල්ලන් උගන්ඩාව සතුව ඇති නිසා දැන් සංචාරකයින් අතර මේ ගොරිල්ලන් බැලීමට යාම ඉතා ජනප්‍රියතාවයට පත් වෙලා තිබෙනවා.

 

කෙන්යාවේ සංචාරය නිම කර නයිරෝබි නගරයේ සිට කි.මී 445ක දුරගෙවා අප පැමිණුනේ කෙන්යාව සහ උගන්ඩාව වෙන් කරන බුසියා දේශ සීමාව වෙතටයි. මේ ස්ථානය උගන්ඩාවට ඇතුල් වෙන ප්‍රධානතම දේශසීමාව ලෙසත් ඒ වගේම   උගන්ඩා රාජ්‍යයට සාගර දේශ සීමාවක් නොමැති නිසා භාණ්ඩ ප්‍රවාහනයේදී බුසියා දේශසීමාව වැදගත් ස්ථානයක් ගන්නවා.

   

මෙම දේශ සීමාව හරහා විදේශිකයෙකුට උගන්ඩාව බලා යාමට නම් තරමක් ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ. අවම වශයෙන් පැය 2-3ක් වත් බලා සිටීමට සිදුවෙනවා. දහස් ගණන් පිරිස් සහ වාහන බයිසිකල් සහ කොන්ටේනර් සහිත බර වාහන විශාල ප්‍රමාණයක්  කි.මී. 3-4ක් දුරක සිට පෝලිමේ තිබුනා. සිතූ පරිදීම අපටත් පැය 3ක කාලයක් පමණ වේලාවක් දේශ සීමාව පසු කිරීම සඳහා ගත වුනා.  භාවිතා කරන වාහනය උගන්ඩාවේ ලියාපදිංචි වාහනයක් නොවේ නම් අවශ්‍ය කරන ලියකියවිලි කලින් විමසා සකස් කර ගැනීම ඔබේ කාලයෙන් අවම වශයෙන් පැය 2ක් කාලයක් ඉතිරිකර ගත හැකියි.  එමෙන්ම මෙහිදී  මා දුටු විශේෂ දෙයක් නම් උගන්ඩා සහ කෙන්යා ආගමන නිළධාරීන් සහ පොලිස් නිලධාරීන් කැමරා ආම්පන්න සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් නොදක්වන බව.  මා අත තිබූ කැමරාව දුටු එම නිළධාරීන් මා පුවත්පත් වාර්තාකරුවෙක් යැයි සිතා විශේෂ අවසරයක් නොමැතිව බුසියා දේශ සීමාව හරහා යාමට නොමැති බව පැවසුවත් පසුව මා සාමාන්‍ය සංචාරකයෙකු බව අවබෝධවීමෙන් පසු එම අවසරය මට ලැබුනා.

 

දිනෙන් දින වර්ධනය වන වෙලදාම් කටයුතු නිසා මෙම දේශා සීමාවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වෙනුවෙන් කෙන්යාව සහ උගන්ඩාව එකතුවී තනි දේශ සීමා මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වා ගෙනයාමේ අවශ්‍යතාවය අද වෙනදාටත් වඩා දැනිලා තිබෙනවා. ඒ අනුව 2016 මාර්තු මස සිට එක වහල යට සියලුම ලිපි ලේඛන කටයුතු කර ගැනීමේ පහසුව වෙනුවෙනුත් ඒ වගේම සංචාරකයන්ට විශේෂ පහසුකම් සහිතව නවීකරණය වෙනවා. ඒ අනුව දේශ සීමාව පසුකිරීමේ කාලය අවම කරගැනීමටද හැකියාව ලැබෙනවා.  

උගන්ඩා සහ කෙන්යා හි සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන බයිසිකල් ටැක්සි හෙවත් බෝඩා-බෝඩා වලට එම නාමය ලැබුනේ මෙම රටවල් දෙක අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා බයිසිකල් භාවිතයේදී දේශසීමාවෙන් දේශසීමාවට යාම සහ ඉංග්‍රීසි භාෂාවේ border  යන වචනයෙන්ය.

උගන්ඩාවට ඇතුල්වීමට තරමක් කාලයක් ගත වුනත් කම්පාලා නගරය වෙත යන ගමනේදී කෙසේ හෝ අඳුර වැටෙන්නට පෙර මෙම ස්ථානය දැක ගැනීමට මට අවස්ථාව ලැබුනා. ලොව දිගම ගඟ නයිල් නදිය ආරම්භ වන ස්ථානය මෙතනයි. බ්‍රිතාන්‍ය ජාතික ජෝන් හැනින්ග් විසින් 1858 අගෝස්තු මස 3 වන දා සොයා ගත් වික්ටෝරියා විලේ ජලය මෙම ස්ථානයේ සිට නයිල් නදිය නමින් හැඳින්වී කි.මී. 6400ක දුරක් ගෙවා මධ්‍යධරනී මුහුද වෙත ගලා යනවා. 

නයිල් නදිය ආරම්භ වන ස්ථානය 

නයිල් නදිය වනාහී විවිධ රටවල් 11ක ජලය බෙදා ගන්නා ලොව දිගම ගංගාවයි. ටැන්සානියාව,උගන්ඩාව, රුවන්ඩාව, බුරුන්ඩි, කොංගෝ, කෙන්යාව, ඉතියෝපියාව, එරිත්‍රියාව, දකුණු සුඩානය, සුඩානය සහ ඊජිප්තුව එම රටවල් වෙනවා. මෙම රටවල් වලින් ඊජිප්තුවේ සහ සුඩානයේ ප්‍රධානම ජලය සැපයීම සිදු වෙන්නේ නයිල් නදිය මගින්.

එමෙන්ම වික්ටෝරියා විලද අප්‍රිකාවේ පිහිටා ඇති විශාලම විල සහ ලොව ස්වාභාවික ජලය පිහිටා ඇති විශාලම විලවල් වලින් එකක් වෙනවා.  එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 70000ක් පමණ වෙනවා.

Please reload

Please reload

මහත්මා ගාන්ධි තුමාගේ පිළිමයක් මේ ස්ථානයේ තිබීම වැදගත් කාරණයක්. ප්‍රතිමාව අසල පිහිටා ඇති පුවරුවේ විස්තර වලට අනුව මෙය 1997 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී එවකට හිටපු ඉන්දීය අගමැති ඉන්දර් කුමාර් ගුජ්රල් මැතිතුමා විසින් විවෘත කර තිබෙනවා.දැන් මෙය උගන්ඩාවේ ඉන්දීය බැංකුවක් විසින් නඩත්තු කෙරෙනවා.

මගේ මග පෙන්වන්න පැවසුවේ මහත්මා ගාන්ධි තුමාගේ අභාවයෙන් පසු එතුමාගේ අළු නයිල් නදියේ පා කර යවා ඇති බවයි.

 

කවදා හෝ දිනයක ඔබ උගන්ඩාවේ සංචාරයක් සඳහා යන්නේ නම් නයිල් නදියේ මූලාශ්‍රය වෙත යෑම ඔබට ආශ්වාදජනක් අත්දැකීමක් වෙනවා නිසැකයි.

 

කි.මී 6400ක් දුර ගෙවා ඊජිප්තුවෙන් මුහුදට වැටෙන මේ මනරම් නදිය අප්‍රිකානු රටවල් බොහොමයකට මෙන්ම මුළු ලොවටම ඉතාම වටිනා ස්වාභාවික සම්පතක් වෙනවා.

ඉඩි අමීන් විසින් සිදු කල කෘර බිහිසුණු මිනිස් ඝාතන ගැන සොයා බලන විට තේරුම් ගත හැකි වන්නේ ඔහු ඔහුගේ දේශපාලනික විරුද්ධවාදීන් වධ දී මරා දැමුවා පමණක් නොව ඔවුන් මරා දැමීමෙන් පසුව සිරුර වල සමහර ඉන්ද්‍රීයයන් පවා අමානුෂික ලෙස ඉවත් කර ගෙන ඇති බවයි. කම්පාලා නුවර රෝහල් වල වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඉඩි අමීන්ගේ සොල්දාදුවන් රැගෙන එන සිරුරුවල නාසයන්,තොල්, ලිංගික අවයව සහ ඇස් පවා ඉවත් කර තිබු බවයි. 

දරුණු කෘර නායක ඉඩි අමීන් දැන් බලයෙන් පහවී වසර තිස් හයක් ගතවී තිබෙනවා. අප්‍රිකානු මහාද්වීපයේ රටවල් නිදහස ලබා ගත්තාට පසු බිහිවූ දරුණුතම රාජ්‍ය නායකයා ලෙස ඉඩි අමීන් නාමය ඉතිහාස ගත වන අතර ඔහුගේ පාලන කාලය තුල අවම වශයෙන් පුද්ගලයින් 100,000 සිට 500,000 දක්වා ඝාතනය හෝ අමානුෂික වධ හිංසා වලට භාජනය වී තිබෙනවා.

 

1979 වර්ෂයේදී ඉඩි අමීන් පාලනය බිද වැටීමෙන් පසු ලොවට ඉතිරි වුයේ බිඳුණු ආර්ථිකයක් ඇති දේශපාලන වශයෙන් දුබල උගන්ඩාවක්. එහෙත් ඉඩි අමීන් ගේ පාලනයට පෙර උගන්ඩාව අප්‍රිකාවේ තිබු ප්‍රබල ආර්ථිකයක් සහිත රාජ්‍යයක් වුනා. 

කම්පාලා නුවරට කි.මී. 30ක පමණ දුරකින් පිහිටා ඇති මෙන්ගෝ කදු වැටියේ පිහිටා ඇති මෙන්ගෝ මාලිගාව අද අලංකාරමත් ලෙස සංචාරකයින්ට ප්‍රිය මනාප ස්ථානයක් වුනත් මෙයට වසර 40කට පමණ පෙර නම් මෙම ස්ථානය ලෝක ඉතිහාසයේ අති බිහිසුණු වධකාගාරයක් තිබුණු ස්ථානයක් හැටියට සඳහන් වුනා.

මෙම ස්ථානයේ සිට ඉඩි අමීන් නමින් ඉදිකළ පෞද්ගලික විල මැනවින් දර්ශනය වන අතර මෙන්ගෝ මාලිගාව ඇති ඉඩමේ මායිමේ පිහිටා ඇති ගස් වැල් වලින් වැසී ගිය දැන් නටබුන්ව ඇති ගොඩනැගිලි තුල මේ බිහිසුණු වධකාගාර ක්‍රියාත්මක කර තිබෙනවා.

1971-79 වසරවලදී අවම වශයෙන් 300,000 කට අධික දේශපාලන සිරකරුවන් පිරිසක් මේ ස්ථානයේදී අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කර ඇති බවයි උගන්ඩා රජය පවසන්නේ.

 

ඊශ්‍රායල් ඉංජිනේරුවරුන් මෙම ගොඩනැගිලි ඉදිකර ඇතත් ඉඩි අමීන් ඔවුනට පවසා ඇත්තේ මේවා ඉදි කරන්නේ ආයුධ ගබඩා මැදිරි හැටියට බවයි. අද මේ ස්ථානයේ කිසිම නාම පුවරුවක්වත් දක්නට ලැබෙන්නේ නැහැ. මාගේ මග පෙන්වන්නා පැවසූ පරිදි සෑම දිනකම සිරකරුවන්ගේ දෑස් වසා බොහෝ දුරක් ගමන් කිරීමට පොළඹවා තිබෙනවා. ඒ අනුව කිසිම සිරකරුවෙකුට ඔවුන් සිරබත් විඳින්නේ මෙන්ගෝ මාලිගා භුමියේ නොවන බවත් ඉතා දුර බැහැර ප්‍රදේශයක බවත් දැනෙන්නට සලස්වා තිබෙනවා. ඒ වගේම කිසිම පිටස්තර පුද්ගලයෙකු සමග සම්බන්ධතා පවත්වන්න අවසර දී තිබුනෙත් නැහැ. මෙහි සියලුම සිර කුටි පොලෝ මට්ටමින් අඩි කිහිපයක් උසින් සාදා ඇති අතර එම සිර මැදිරි වට කර ජලය පුරවා තිබී තිබෙනවා. එම ජලයට අධි වෝල්ටේජ් විදුලි රැහැන් සම්බන්ධ කර තිබී තිබුනා.

ඉතාමත් පුංචි මේ එක් කාමරයක අවම වශයෙන් සිරකරුවන් 500 දෙනෙක් පමණ රඳවා තබා තිබුනා. ඔක්සිජන් හිඟ කමින් බොහෝ දෙනා මරුමුවට පත්වූ අතර ආහාර පාන සැපයීමද නිරන්තරයෙන් සිදු නොවුනා. ඉවසා ගත නොහැකි සිරකරුවන් බේරී පලායාම සඳහා ජලයට පැන්නත් අවසානයේදී විදුලි සර වැදීමෙන් මිය ගියා.

සිරකරුවන් රඳවා තිබුණු එක කුටියකට මම ඇතුළු වුනා. පාලුවට ගිය මේ ගොඩනැගිලි තුල අද ඉන්නේ වවුලන් විතරයි.

බිත්ති වල සිරකරුවන් ලිවූ සටහන් අදද නොමැකී පවතිනවා. මේ සියලුම සටහන් ලියා ඇත්තේ සිරකරුවන්ගේ ලෙයින් සහ මඩ වලින්. 

මේ සටහන අදටත් මගේ මතකයට නැගෙනවා.  

ඉඩි අමීන් කොතරම් දුරට මේ වධකාගාර වලට ඇලුම් කලාදැයි කියතොත් තවත් වධකාගාර කිහිපයක් සැදීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. වාසනාවකට වගේ එම කාර්යය නිම කරන්නට ඔහුගේ පාලන සමයේ නොහැකි වුනා.

 

මෙතරම් කෘර අන්දමින් වැඩ හිංසා පමුණුවා මිනිසුන් මැරීමට ස්ත්‍රීන් දුෂණය කිරීමට ඉඩි අමීන් පුදුම ආශාවක් දැක්වූ බව සඳහන් වෙනවා.  ඔහු බල තන්හාවෙන් හා මානසික රෝගයකින් පෙළුණු බවත් කියවෙනවා.

මේ තරම් දරුණු අපරාධ කලත් ඉඩි අමීන් හැම වෙලාවෙම පැවසුවේ විදේශීය මාධ්‍ය චෝදනා කලත් උගන්ඩාව නිදහස් රටක් බවත් ජනතාව සතුටින් ජීවත් වෙන බවත් ඒ වගේම කිසිම අන්දමකින් මානව අයිතිවාසිකම් කඩ කිරීම් උගන්ඩාව තුල සිදු නොවන බවත්.

මෙන්ගෝ මාලිගා භුමියේ එක් කොනක මේ දිරා ගිය රෝල්ස් රොයිස් මෝටර් රථය ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. මේ මෝටර් රථය එලිසබෙත් රැජින විසින් උගන්ඩාවට ත්‍යාගයක් වශයෙන් ලබා දී තිබෙනවා. ඉඩි අමීන් උගන්ඩාවේ බලය අල්ලා ගත්තාට පසු තව දුරටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයෙන් මිදී ජීවත් වෙන බව පැවසීමට මේ රථය මහජනතාව ඉදිරියේ ගිනිතබා විනාශ කර දැමුවා. 

මෙන්ගෝ මාලිගා භුමියේ කෙළවර ඇති නිවාස වල තවමත් පවුල් කිහිපයක් ජීවත් වෙනවා.  මා හට පැවසූ අන්දමට ඉඩි අමීන්ගේ කාලයේ මේ පවුල් වල සාමාජිකයින් මාලිගයේ සේවය කර තිබෙනවා. එහි ජීවත් වන එක් වයසක කාන්තාවක් සමග මා පිළිසඳරේ යෙදුනා. ඇය පවසන්නේ ඉඩි අමීන්ගේ පාලනය බිඳ වැටීමෙන් දැනෙන්නේ අති භයංකාර සිහිනයකින් පසු අවදිවූ වා සේ කියා.  “උදැසන නිවසින් පිටවන පුද්ගලයා සවස් වරුවේ නැවත පැමිණේදැයි සැකයක් කා තුලත් පැවතුනා . කොයි මොහොතේ ඉඩි අමීන්ගේ අමානුෂික සොල්දාදුවන් ගෙන් මැරුම් කෑමට හෝ ඔවුන්ගේ අත් අඩංගුවට පත් වේද යන්න දන්නේ දෙවියන් විතරයි. හැම දවසකම හැන්දෑවේ අපි දෙවියන්ට ස්තුති කළා ඒ දවස ජීවත් වීමට අවස්ථාවක් ලබා දීම ගැන.” 

 

අතොලොස්සක් වූ මෙවැනි නායකයින්ගේ ක්‍රියා කලාප නිසා ලෝකයට අහිමි වූ මිනිස් සම්පත අප්‍රමාණයි. ඒ වගේම මේ නායකයින් දෙස මුළු ලොවම බලා ඇත්තේ අන්ධ වූ දෙනෙත් වලින්.