Antelope Canyon Tour සංචාර Sanchara
  • Facebook - Black Circle
  • YouTube - Black Circle
ස්වභාව ධර්මයේ ආශ්චර්යය 

ඒරොන් මට හමු වුනේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැන්යෝන් සහ ඇන්ටිලොප් සානුවේ සංචාරයේදී. කිලෝමීටර් 446ක් දිග කිලෝමීටර් 29ක් පළල හා කිලෝමීටර් දෙකකට ආසන්නවූ මෙම සුවිශාල ප්‍රදේශය දැනට ලෝකයේ ඇති සුන්දරතම ස්ථාන වලින් එකක් ලෙස  හැඳින්වුවහොත් නිවැරදියි.

​ලාස් වෙගාස් නගරයේ සිට පැය 4.5ක කාලයක් ඇරිසෝනා ප්‍රාන්තයේ කාන්තාර හරහා ගමන් කර ඇන්ටිලොප් සානුව වෙතට ලඟා වීමට අපට හැකි වුනා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ නවාජෝ දේශය නමින්. මේ ප්‍රදේශය ඈත අතීතයේ සිට ස්වදේශික ඇමෙරිකානුවන් හෙවත් රතු ඉන්දියානුවන්ගෙන් නිජ බිම හැටියට හඳුන්වනවා. අක්කර මිලියන 17කටත් අධික භුමි ප්‍රමාණයක් මේ නවාජෝ දේශයට අයිතියි. මෙහි දේශ සීමාවන් ඇමෙරිකාවේ කොලරාඩෝ, නව මෙක්සිකෝ සහ උටා ප්‍රාන්ත දක්වා විහිදී පවතිනවා. නවාජෝ දේශයේ නිල නාමය වන්නේ නවාජෝ ඉන්දියානු ජනාවාසය යන නාමය.

මේ සංචාරයේදී මට උදව් කල ඒරොන් නවාජෝ දේශයේ ජීවත් වන ස්වදේශික ඇමෙරිකානු ජාතිකයෙක්. ඔහු ඉංග්‍රීසි භාෂාවට අමතරව අතබෂ්කන් නමින් හඳුන්වන ඔවුනට ආවේනික වූ භාෂාව හොඳින් හසුරනවා. 

අන්ටිලෝප් සානු 2ක් මේ නවාජෝ දේශයේ පිහිටුවා තිබෙනවා. මේ කිසිවකටත් මඟ පෙන්වන්නේකුගේ සහයෝගය නොමැතිව තනිවම සංචාරය කරන්න අවසර ලැබෙන්නේ නැහැ. මේ ස්ථාන දෙකම ඇමෙරිකාවේ ග්‍රෑන්ඩ් කන්යෝන් නමින් හඳුන්වන සානුව අසල පිහිටා තිබුනත් ඒවායේ සම්බන්ධතාවයක් දක්නට නැහැ.

ඇරිසෝනා කාන්තාරයේ රෝස පැහැති පොලවේ එක් අස්වාභාවික පැලුමක් අතරින් විශේෂයෙන් සාදා නිම කල තරප්පු පේලියක් හරහා තමයි මේ ඇන්ටිලෝප් සානුව වෙතට ප්‍රථමයෙන්ම ඇතුල් වෙන්න තියෙන්නේ. 

අඩි 30ක් පමණ පහලට පැමිණුනු අප ඇතුළු වුයේ විවිධ හැඩයන්රෝ ගෙන් සමන්විත රෝස සහ කහ පාටින් දිලිසෙන පාෂාණ බිත්ති. ඒවා මැදින් ඇති අඩි කිහිපයක් පමණක් පළල සුදු වැලි ඇතිරුණු මාවත්.

​හරියට වෙනත් ග්‍රහලෝකයකට පැමිණුනා වගේ. 

මෙවැනි නෙරීම් සහිත සුවිශේෂී භූ ලක්ෂණයක් මෙහි ඇති වී තිබෙන්නේ වසර මිලියන ගණනක් තිස්සේ කොලරාඩෝ නදිය හා එහි අතු ගංඟා මෙම භූමිය මතින්ගලා යාම සහ පිටාර ගැලීම් හේතුවෙන්.

ඇන්ටිලෝප් සානුව සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන ස්ථානයක්. වසරකට මිලියනයකටත් අධික සංචාරකයින් පිරිසක් මේ ස්ථානයට පැමිණෙනවා. ජායාරුපකරණය සඳහා ප්‍රසිද්ධ ප්‍රධාන ස්ථානයක් ලෙසද ඇන්ටිලෝපා සානුව හඳුන්වනවා.  මේ දක්වා ලොව විකිණී ඇති ජායාරුප වලින් වැඩිම මිලකට විකිණී ඇත්තේ මේ අන්ටිලොප් සානුවෙදී ගත් ජායාරුපයක්. 

මේ ඒ ජායාරුපය. ඕස්ට්‍රේලියානු ජායාරුප ශිල්පියෙක් වන පීටර් ලික් විසින් තමයි මේ ජායාරුපය ඉදිරිපත් කරලා තිබුනේ. මේ ජායාරුපය ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලකට අලෙවි වී තිබෙනවා. 

කොතරම් සුන්දර වුනත් මේ සුන්දරත්වය පිටුපස වේදනාවද නැත්තේම නැහැ. සමහර කාලවලදී ඇරිසෝනා ප්‍රාන්තයේ ඇතිවන ජාල ගැලීම් වලදී මේ ඇන්ටිලොප් සානුව සහ ඒ අවට ප්‍රදේශය දරුණු ලෙස විනාශයන්ට පත් වුනා. ඒ අවස්ථා වලදී සංචාරකයින් පවා ජාල ගැලීම් වලට අසුවී මිය ගොස් තිබෙනවා. මආර්ගොපදේශක ඒරොන් පවසන්නේ  ඔහු  අවස්ථාවකට මුහුණ දුන් බව. 1997 වසරේ අගෝස්තු මාසේ 12 වැනිදා තමයි මේ ජල ගැලීම් වල  බිහිසුනුම අවස්ථාව උදා වුනේ. 

සංචාරකයින් 11 දෙනෙක් එදා මිය ගියා. සානුව තුලට බැසීමට ඒ කාලයේ තිබුනේ දැව වලින් නිමැවුණු තරප්පු පේලියක්. ඒ තරප්පු පේලිය ජල ගැල්මට හසුවී ගසා ගෙන ගොස් තිබුනා. දැන් මේ තරප්පු පේලිය යකඩ වලින් නිමවා තිබෙනවා. 

ඇන්ටිලොප් සානුවෙන් නැවතත් මතුපිටට පැමිණුනු මට හැඟුනේ වෙනත් ග්‍රහලෝකයක සංචාරය නිමවා නැවත පෘතුවියට පැමිණුනා වාගේ. 

Arizona

HORSESHOE BEND

මීළඟට අපි පැමිණියේ ඇන්ටිලොප් සානුවට කි.මී. 8ක් දුරින් ඇති ස්ථානයකට. Horseshoe Bend නමින් මේ ස්ථානය හඳුන්වනවා. ස්වභාව ධර්මයේ තවත් අපුරු සුන්දර නිර්මාණයක් මෙතනදී දැක බලා ගන්නට පුළුවන්. 

කඳු වැටී අශ්ව ලාඩමක හැඩයට පිහිටා තිබෙන නිසා තමයි මේ ආකාරයෙන් හඳුන්වන්නේ. ජල මට්ටම තිබෙන්නේ මුදුනේ සිට මීටර් 300ක් පමණ පහලින්. මේ නිසා මැවෙන දර්ශනය චමත්කාරජනකයි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරිසුදුම වාතය ඇති ස්ථාන වලින් ප්‍රධානතම ස්ථානයක් වන්නේ මේ ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයට ආවේනික වූ පාෂාණ වර්ග බොහොමයක් මේ කඳු ගැටී වල හමුවී තිබෙනවා. 

ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේම ඇති චමත්කාරජනක සහ ස්වභාව ධර්මයේ අසහාය නිර්මාණ වලින් ඉදිරියෙන්ම ඇති ස්ථානයක් මේ ඇන්ටිලොප් සානුව සහ ඒ අවට ස්ථාන. 

"නවාජෝ ස්වදේශිකයින් ජීවත් වන්නේ ශුද්ධ වූ කඳු වැටී 4කින් වටවූ සුන්දර ප්‍රදේශයක. ඔවුන්ගේ එකමුතුබව සිතිවිලි සියල්ල එකට කැටි කරන්නේ අධයාත්මික විශ්වාශයන්. " මෙසේ පවසන්නේ ඒරොන්. මේ විශ්වාශයන් සමග නිර්මාණශීලී ප්‍රබන්ධ බොහොමයක් තිබෙනවා. නමුත් ස්වභාව ධර්මය සමග ජීවත් වන්නට ඒ සමග ගැටෙන්නට ඔවුන්ට බලය ශක්තිය ලබා දෙන්නේ මේ විශ්වාශයන්ය. ඔවුන් විශ්වාශ කර අන්දමට මේ ප්‍රදේශයේ එක් කඳු වැටියක පිහිටා ඇති ගල් කුළුනක වෙසෙන මකුළු කාන්තාව නමින් හඳුන්වන බලවේගය මේ නවාජෝ ස්වදේශිකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. අදත් ඔවුන් මේ නොපෙනෙන බලවේගය වෙනුවෙන් පුද පුජා පවත්වනවා. 

මේ ස්වදේශිකයින් බාහිර ලෝකය සමග ගැටුනත් තවමත් තම වර්ගයාට ආවේනික වූ ජීවන ක්‍රමයක් ගත කරන්නට උත්සාහ කරනවා. අපේ මාර්ගෝපදේශක එරොන් අපෙන් සමු ගැනීමට පෙර පැවසුයේ "අපේ දරුවන්ට බාහිර ලෝකය සමග සම්බන්ධතා පවත්වන්නට පුළුවන්. එවිට ඔවුනට ශක්තිය ලැබේවි බාහිරින් පැමිණෙන බලවේග බාධා වලින් නවාජෝ දේශය තව දුරටත් ආරක්ෂා  කර ගන්නට" යනුවෙන්. 

රොහාන් ඩිරෙක්ස් 

info@sanchara.lk