ජනාධිපති ඝාතනය 

Assassination of John F. Kennedy

  • Facebook - Black Circle
  • YouTube - Black Circle
  • Instagram - Black Circle

1959 ඔක්තෝබර් මස 16 වැනිදා මොස්කව් නගරයේ ලෙනින්ග්රාඩ් දුම්රිය ස්ථානයට  පින්ලන්තයේ හෙල්සින්කි සිට දුම්රියක් ලඟා වුනා. සාමාන්‍ය දුම්රිය කාල සටහනට අනුව ලඟා වුනු මේ දුම්රියේ විශේෂත්වයක් තිබුනේ නැහැ. නමුත් මේ දුම්රියෙන් මොස්කව් නගරයට පැමිනුනා එක් ඇමෙරිකානු පුරවැසියෙක්.  

 

සෝවියට් දේශයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර ශීතල යුද්ධයේ තවත් එක ප්‍රබල වකවානුවක් ගෙවී යමින් තිබුණත් මේ මොහොතේ සාමාන්‍ය ඇමෙරිකානු සංචාරකයාගේ පැමිණීම සෝවියට් රහස් ඔත්තු සේවයට තදබල ලෙස නොදැනෙන්නට ඇති. 

 

නමුත් ඊට දින 3කට පසු එනම් ඔක්තෝබර් මස 19 වැනිදා මොස්කව් නුවර ඉන්ටුරිස්ට් හෝටලයේ එක් කාමරයක තම අතේ නහරයක් කපා ගනිමින් සිය දිවි නසා ගැනීමට ඇමෙරිකානු පුරවැසියෙක් තැත් කල සිද්ධියක් සොවියට් රහස් ඔත්තු සේවයට වාර්තා වුනා. 

 

මේ ඇමෙරිකානු පුරවැසියාගේ සෝවියට් වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට තිබුනේ ඔක්තෝබර් මස 21 වැනිදා.  තමාට සෝවියට් දේශයේ පුරවැසියෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය බවත් නැවත ඇමෙරිකාවට යා නොහැකි බවත් මොහු සෝවියට් බලධාරීන් ඉදිරියේ පැවසුවා. 

 

මේ පුද්ගලයාගේ සිය දිවි නසා ගැනීම සාර්ථක වුනේ නැහැ. එසේ වුවා නම් මේ කතාව වෙනත් ආකාරයකින් ලියැවෙන්නට ඉඩ තිබුනා.

 

මේ ඇමෙරිකානු පුරවැසියා තමයි හරියටම ඊට වසර 4කට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ 35 වන ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි ඝාතනයට චෝදනා ලබන්නේ. ඔහු තමයි ලී හාවී ඔස්වල්ඩ්.

මා ගමන් ගත් ගුවන් යානය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ ගුවන් තොටුපල වෙත ළඟා වුනේ සැප්තැම්බර් මාසයේ දිනෙක උදෑසන.  ශීත කාලය ආරම්භ වීමට තවත් මාසයක් පමණ කල් තිබුන නිසාදෝ ඩලාස් නගරයට දැඩි හිරුරැස් පතිත වෙමින් තිබුනා. 

ඩලාස් නගරයේ ජනගහනය කොළඹ නගරයේ ජනගහනයටත් වඩා අඩුයි. එමෙන්ම ඩලාස් නගරය ටෙක්සාස් ප්‍රාන්තයේ මෙන්ම ඇමෙරිකාවේම දුම්රිය සහ මහා මාර්ග සහ ගුවන් ගමන් වල වඩාත් කේන්ද්‍රස්ථානයක්. ඩලාස් ෆොර්ට්වත් අන්තර් ජාතික ගුවන් තොටුපල ලෝකයේ විශාලතම සහ කාර්ය බහුල ගුවන් තොටුපළවල් කිහිපය අතරට නම් වී තිබෙනවා. 

​නමුත් මේ සියල්ලටමත් වඩා ඩලාස් නගරය ලොව සුපතල වන්නේ ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්.කෙනඩිව ඝාතනය කෙරුණු නගරය ලෙසට. 

ඇමෙරිකාව සහ සෝවියට් දේශය  (දැන් රුසියාව) අතර පවතින්නේ සදාකාලික දේශපාලන සහ ආර්ථික මතභේද. 1959-1965 කාලය මේ රටවල් දෙක අතර ශීතල යුද්ධයේ උච්චතම අවස්ථාවන් කරලියට  පැමිණුනු කාලයක් ලෙස සඳහන් කලොත් නිවැරදියි. 

1960 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයේදී රිචඩ් නික්සන් පරදවා සියුම් ජයග්‍රහණයක් කෙනඩි ලබා ගන්නේ ඇමෙරිකානු ඉතිහාසයේ දෙවන තරුණ ජනාධිපතිවරයා ලෙස. එවිට ඔහුගේ වයස 43යි. 

අන්තර් ජාලය ආශ්‍රයෙන් කෙනඩි ඝාතනය ගැන විස්තර දැන ගත්තත් මොස්කව් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් පැවැත්වූ එක් ජායාරුප ප්‍රදර්ශනයකදී කෙනඩි ඝාතනය සම්බන්ධ ජායාරුප රැසක් නැරඹීමෙන් පසු ඒ ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්නට මා පෙළඹුනා. 

සෝවියට් දේශය සහ කෙනඩි සම්බන්ධව විශේෂ පරිච්ජේදයක් ඉතිහාසයට එක්වී තිබෙනවා. 

​කෙනඩි ඇමෙරිකාවේ ජනාධිපති පදවියට පත් වන්නට වසරකට පෙර තමයි කියුබානු විප්ලවයෙන් ෆිදෙල් කැස්ත්‍රෝ ජයග්‍රහණය කලේ. කියුබාවත් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයත් අතර මුහුදු සීමාවේ දුර කි.මී. 170ක් පමණ වෙනවා. තම දොරකඩ අසලම කොමියුනිස්ට් රාජ්‍යයක් බිහිවීම කෙරෙහි ඇමෙරිකාව පසුවුනේ හොඳ හිතකින් නොවේ. 1961 වසරේ සී.අයි.ඒ.  රහස් ඔත්තු සේවය විසින් කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් රජය පෙරලා දැමීමට ආරම්භ කල ව්‍යාපෘතීන් කිහිපයකට කෙනඩි තම අනුමැතිය ලබා දුන්නා. මෙයින් Bay of Pigs ආක්‍රමණය ප්‍රධාන වශයෙන් සලකන්නට පුළුවන්. එය සම්පුර්ණයෙන්ම අසාර්ථක වුවා.  (මේ ගැන විස්තර මගේ කියුබාවේ සී.අයි.ඒ. මෙහෙයුම ලිපියෙන්

ඩලාස් ගුවන් තොටුපලේ සිට නගර මාධ්‍යයට පැයක පමණ ගමනක්. කෙනඩි ඝාතනය හා සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින් කිහිප දෙනෙක් සහ ඒ පිලිබඳ ස්වාධීනව විස්තර එක් රැස් කල විද්වතුන් කිහිපදෙනෙක් සමග සාකච්ජා කිරීමත් විශේෂයෙන්ම කෙනඩි ඝාතනය කල ස්ථානය නැරඹීමට යාම මගේ අභිලාශය වුනා. මේ සඳහා අන්තර් ජාලය හරහා මා පුද්ගලයින් කිහිප දෙනෙක් සමග සම්බන්ධතා පවත්වා තිබුනා. 

1963 වසරේදී කෙනඩිගේ දේශපාලන උපදේශකයින් එළඹෙන ජනාධිපතිවරණය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නට වුනා. නමුත් ඒ වන විටත් ඔහු එළඹෙන ජනාධිපතිවරණයට නිත්‍ය වශයෙන්ම සහභාගී වනවාද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර තිබුනේ නැහැ. නමුත් කෙනඩි හට ඒ ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කල හැකියි යන්න විශ්වාශයක් තිබෙන්නට ඇති. 

නැවතත් අපි සෝවියට් දේශය වෙතට යමු.  සිය දිවි නසා ගැනීමේ ප්‍රයත්නයෙන් පසුව සෝවියට් බලධාරීන් ලී හාවී ඔස්වල්ඩ් හට සෝවියට් මානසික රෝහලකින් ප්‍රතිකාර ලබා දීමට උත්සාහ දරා තිබෙනවා.  නමුත් අවසානයේදී සෝවියට් බලධාරීන් තීරණය කරනවා ඔස්වල්ඩ් හට සෝවියට් දේශයේ ජීවත් වීමට තාවකාලිකව ඉඩ ලබා දීමට. ඒ අනුව තමයි ඔක්තෝබර් මස 31 වැනිදා ඔස්වල්ඩ් මොස්කව් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පැමිණ තමා ඇමෙරිකානු පුරවසිභාවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දන්වන්නේ. 

ඔස්වල්ඩ්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වුයේ නැහැ. ඔහුට අවශ්‍ය වුනේ මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හෝ ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට. නමුත් ඔහුගේ ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප වුනා.  ඉහල (දකුණු) ජයාරුපයෙන් පෙන්වන්නේ ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලය විසින් ඔස්වල්ගේ ගේ ඉල්ලීම ප්‍රතිෂේප කල බවට දැන්වූ ලිපිය. 

 

සෝවියට් බලධාරීන් ඔහුව බෙලොරුසියාවේ මින්ස්ක් නගරයට යවන්නේ එහි ඉලෙක්ට්‍රොනික කම්හලක ලේත් මැෂින් යන්ත්‍ර ක්‍රියාකරන්නෙක් ලෙස. ඒ ඔහුට ඇමෙරිකාවේ යුධ හමුදාවේ රේඩියෝ කාර්මික ශිල්පියෙක් ලෙස තිබු පළපුරුද්ද නිසා. ඔහුට රූබල් 700ක මාසික දීමනාවක්, තවත් රූබල් 700ක දීමනාවක් රතු කුරුස සංවිධානයෙන් සහ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් සෝවියට් රජය විසින් ලබා දෙනවා. ඔස්වල්ඩ් සේවය කල කම්හලේ  ප්‍රධානියාගේ වැටුපද වුයේ රූබල් 1400ක්.​

​මේ බෙලොරුසියාවේ මින්ස්ක් නගරයේ 1960-62 වසරවල ඔස්වල්ඩ් ජීවත් වුනු නිවස තිබෙන තට්ටු නිවාසය. 

 

1961 මාර්තු මාසයේ 19 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වූ මරීනා පෘසකොවා ඔස්වල්ඩ් ට මුණ ගැසෙනවා. මේ දෙදෙනා අතර විවාහ උත්සවය සිදුවන්නේත් මින්ස්ක් නගරයේ. ​ 1962 වසරේ මැයි මාසයේ ඔස්වල්ඩ්, මරීනා සහ අලුත් උපන් දියණිය සමග ඇමෙරිකානු තානාපති කාර්යාලයට පිවිසෙන්නේ සෝවියට් දේශය අතහැර නැවත ඇමෙරිකාව බලා යාමට අවශ්‍ය ලිපි ලේඛන සමග. 

 

1962 ජුනි මස 1 වැනිදා සෝවියට් දේශයෙන් පිටවන ඔස්වල්ඩ්, මරීනා සහ දියණිය ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයට පැමිණෙන්නේ ඔස්වල්ඩ්ගේ මව එහි වාසය කරන නිසා. 

ඇමෙරිකාවේ නොයෙකුත් ප්‍රාන්ත වල මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් වලට සහභාගී වුනු ජෝන් එෆ් කෙනඩි 1963 වසරේ නොවැම්බර් මස 21 වැනිදා තම නිල ගුවන් යානයට Airforce 1 පිවිසෙන්නේ ඩලාස් නගරය වෙත පියාසර කිරීමට බලාපොරොත්තුවෙන් . ජනාධිපති කෙනඩිගේ බිරිඳ ජැකොලින් කෙනඩි ද ප්‍රථම වරට මේ චාරිකාවට එක්වී සිටියා. කෙනඩි ගේ ඩිමොක්‍රටික් පක්ෂයට ටෙක්සාස් ප්‍රාන්තය එතරම් හිතකර ජයග්‍රහණ ලබා දී නැහැ. මේ නිසාම ඔහුගේ අරමුණ වුයේ කෙසේ හෝ ජනතාව අතර තම ජනප්‍රියතාවය තහවුරු කර ගැනීම. 

මේ 1963 වසරේ නොවැම්බර් 21 වන දින දහවල් 11.30ට කෙනඩි යුවල  රැගත් ගුවන් යානය ඩලාස් Love Field හමුදා ගුවන් තොටුපලට පැමිණියේ මේ ආකාරයට. ඔවුන්ව පිළිගැනීමට විශාල ජනකායක් ගුවන් තොටුපලට පැමිණ සිටියා. 

ටෙක්සාස් ප්‍රාන්තයේ කල සංචාර වලදී සෑම පිළිගැනීමේ උත්සවයකදීම ජැකොලින් කෙනඩි හට ලැබුනේ කහ පැහැති රෝස මල් පොකුරු. නමුත් ඩලාස් නගරයට පැමිණි අවස්ථාවේ ලැබුනේ රතු පැහැති රෝස මල් කළඹක්. 

ගුවන් තොටුපලේ සිට ඩලාස් නගරයේ නගර සභා මධ්‍යස්ථානයට සැතපුම් 10ක දුරක්. මේ දුර යාම සඳහා ජනාධිපත් කෙනඩි සහ ජැකොලින් කෙනඩි හට ආරක්ෂක නිලධාරීන් ලබා දී තිබුනේ විවෘත මෝටර් රථයක්. රථයේ ඉදිරිපස ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර කොනලි සහ ඔහුගේ බිරිඳත් පසු පෙළ ආසනයේ ජනාධිපති කෙනඩි සහ ජැකොලින් කෙනඩි අසුන් ගනු ලැබුවා. 

ගුවන් තොටුපලේ සිට ඩලාස් නගරයේ නගර සභා මධ්‍යස්ථානයට සැතපුම් 10ක දුරක්. මේ මධ්‍යස්තානයේදී කෙනඩි හට ඇමතීමට රැස්වීමක් සංවිධානය කර තිබුනා. මේ දුර යාම සඳහා ජනාධිපත් කෙනඩි සහ ජැකොලින් කෙනඩි හට ආරක්ෂක නිලධාරීන් ලබා දී තිබුනේ විවෘත මෝටර් රථයක්. රථයේ ඉදිරිපස ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර කොනලි සහ ඔහුගේ බිරිඳත් පසු පෙළ ආසනයේ ජනාධිපති කෙනඩි සහ ජැකොලින් කෙනඩි අසුන් ගනු ලැබුවා. 

අති විශාල පිරිසක් කෙනඩි යුවල දැක බලා ගැනීම සඳහා මාර්ගය දෙපස රැස්වී සිටියා. දහවල් 12.30ට රථ පෙරහැර හියුස්ටන් වීදියට ලඟා වුනා.  

හියුස්ටන් මාවතේ සිට නගර සභා මධ්‍යස්ථානයට යාමට තව ඇත්තේ විනාඩි කිහිපයක දුරක්.  මේ රතු පැහැති ගොඩනැගිල්ල Texas School Book Depository ටෙක්සාස් ප්‍රාන්තයේ පාසල් පොත් ගබඩා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ    හියුස්ටන් මාවතේ සිට එල්ම් මාවතට හැරෙන වංගුවේ. මේ ස්ථානයෙන් තමයි ජනාධිපති රථ පෙරහැර නගර සභා මධ්‍යස්ථානය වෙතට යාමට හැරවීම සිදු කල යුතු වන්නේ. 

ජනාධිපති කෙනඩි ගේ නිල මෝටර් රථය ඉදිරිපසින් සහ දෙපැත්තෙන් මෝටර් බයිසිකල් කරුවන් ගමන් කල අතර පිටුපසින්ම පැමිණියේ පරිවාරක ජනාධිපති ආරක්ෂක කණ්ඩායම. මේ ජායාරුපයේ පෙනෙන පරිවාරක වාහනයේ මුලින්ම සිටගෙන සිටින්නේ ජනාධිපති කෙනඩිගේ ආරක්ෂක නිලධාරී ක්ලින්ට් හිල්.

වාහන පෙළ ගමන් කලේ පැයට සැතපුම් 10ක පමණ වේගයකින්. හදිසියේම ඇසුණු වෙඩි හඬකින් මුළු පරිසරයම කලබල වුවා. පරිවාරක වාහනයෙන් බැස ගත් ක්ලින්ට් හිල්ගේ හිස හැරුනේ ශබ්දය පැමිණි දෙසට. ඒ සමගම ඔහු දුටුවා ජනාධිපති කෙනඩි තම බෙල්ල ප්‍රදේශය අල්ලාගෙන වාහනයේ දකුණු පැත්තට ඇලවෙන අන්දම. 

ක්ලින්ට් හිල් අද 80 වැනි වියට පා තබනවා. ඔහු මේ සිද්ධිය විස්තර කරන්නේ මේ ආකාරයට.

 

මට අසුනේ පළමුවන වෙඩි ශබ්දය පමණයි. ඒ මොහොතේම මම දිව ගියා ජනාධිපති වාහනය දෙසට. මට දෙවන වෙඩි ශබ්දයක් අසුනේ නැහැ. මොකද මගේ අරමුණ වුනේ කෙසේ හෝ වෙඩි පහරවල් වලින් කෙනඩි සහ ජැකොලින් කෙනඩි ව බේරා ගැනීම. මට ඇසුනා 3 වන වෙඩි හඩක්. මා එවෙලීම ජනාධිපති කෙනඩි ගේ සිරුර බදා ගෙන ආවරණය වන පරිදි මගේ ශරීරයෙන් වසා ගත්තා. 

Photo - Tom Pennington Getty Images

මේ ජැකොලින් කෙනඩි විසින් දෙන ලද පාපොච්චාරණයෙන් කොටසක්. (Testimony Of Mrs. John F. Kennedy)

"මම එක වරම දකුණු පැත්ත බැලුවා. මට ඇසුනා භයානක හඬක්. මගේ සැමියාගේ පැත්තෙන් මට කිසිම ශබ්දයක් අසුනේ නැහැ. මම එක වරම වම් පැත්ත බැලුවා. මගේ සැමියාගේ මුහුණේ තිබුණු දැක්ම මට කිසිදා අමතක වන්නේ නැහැ. මට මතක ඇති ආකාරයට ඔහුගේ දකුණු අත එසවී තිබුනා. මට දක්නට ලැබුනේ ඔහුගේ හිස් කබලේ කොටසක්. එය බොහෝ දුරට රතු පාට වෙන්නට ඇති. මම සිතුවේ ඔහු හිසේ ආබාධයකින් පෙලෙනවා කියා. රුධිරය හෝ වෙනත් දෙයක් දක්නට ලැබුනේ නැහැ. ඒ එක්කම ඔහු තම හිසට අත තබා ගෙන මගේ උකුලට ඇල වුනා.  මගේ කටින් පිටවුනේ -නැහැ නැහැ ඔවුන් මගේ සැමියාට වෙඩි තැබුවා.- යන වචන."

 

"පසුව ජායාරුප වල මා දුටුවා වාහනයේ පිටුපස මා නැග සිටින අන්දම. මට මතක නැහැ ඒ අවස්ථාවේ සිදුවුනේ කුමක්ද කියා." 

පළමුවන වෙඩි පහරින් පසු රැස්ව සිටි ජනතාව අතර එතරම් කලබලයක් දක්නට ලැබුනේ නැහැ.  නමුත් ඒ අවස්ථාවේ ලබා දී තිබුණු සාක්ෂි වලට අනුව රථ පෙරහැරේ වේගය අඩාල වූ බවත් හෝ රථ පෙරහැර නැවතුනු බවක් සඳහන් වෙනවා. 

​මේ අවස්ථාව එක් පුද්ගලයෙක් තම සිනමා කැමරාව උපයෝගී කරගෙන වීඩියෝ කල නිසා එය මේ අවස්ථාව හරි හැටි නිගමනය කිරීමට මහත් උපකාරයක් වුවා. ඒබ්‍රහම් සප්රුඩර් නැමැත්තා විසින් 8mm Bell and Howell කැමරාවක් මගින් තත්පර 26.6ක් කාලයක් ජනාධිපති කෙනඩි හට වෙඩි තැබීමේ අවස්ථාව සිනමා ගත කොට තිබුනා. 

දෙවන වෙඩි පහරින් ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර කොලින් තුවාල ලද අතර තුන්වන වෙඩි පහර ජනාධිපති කෙනඩිගේ හිසට වැදී තිබුනා. ​

 

ජනාධිපති කෙනඩිට වෙඩි වැදුණු ස්ථානයේ අදත් මෙවැනි සලකුණක් තිබෙනවා. 

ආරක්ෂක නිලධාරී ක්ලින්ට් හිල්ට මේ අවස්ථාවෙදී ජනාධිපති රියට නැගීමට පුළුවන් වුනා. ඒ සමගම රථයේ වේගය වැඩි වුනා. ක්ලින්ට් හිල් හට හැකි වුනා ඔහුගේ ශරීරයෙන් ජනාධිපති කෙනඩි සහ ජැකොලින් කෙනඩිව වසා ගන්නට. ටෙක්සාස් ආණ්ඩුකාර බිරිඳගේ සාක්ෂියේ සටහන් වන්නේ මේ අවස්ථාවෙදී ජැකොලින් කෙනඩි විසින් "දෙවියනි, ඔහුගේ මොලයේ කොටසක් මගේ අතේ."යනුවෙන් කෑ ගැසූ බවයි. 

​හදිසි නලා නාද කරගත් මෝටර් සයිකල් පරිවාරකයන් සහ ජනාධිපති වාහනය වේගයෙන් ගමන් කලේ පාර්ක්ලන්ඩ් ආරෝග්‍යශාලාව වෙත. 12.38 වන විට රථය ආරෝග්‍යශාලාව වෙත ලඟා වුනා. 

මුළු ලොවක් විශ්මයට පත් කල මේ සිද්ධියේ වෙඩි පහරවල් පැමිණුනේ Texas School Book Depository ටෙක්සාස් ප්‍රාන්තයේ පාසල් පොත් ගබඩා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 6 වන මහලේ ජනේලයකින් බව වටහා ගත් ඩලාස් පොලීසිය සැකකරුවන් සොයා එම ගොඩනැගිල්ල පරීක්ෂා කරන්නට පටන් ගත්තා. 

මේ 6 වන මහලේ සිට වෙඩි තැබූ ස්ථානය එදා.

මේ ඒ ස්ථානය අද දිස්වෙන ආකාරය. 

6 වන මහලේ ජනේලයක් හරහා මේ ස්ථානයේ සිට තමයි වෙඩි පහරවල් එල්ල වී තිබුනේ. මේ ජායාරුපය එදා පොලිස් නිලධාරීන් විසින් ගත් ජායාරුපයක්.

මේ අද දිනයේ ඒ දර්ශනය දිස් වන අන්දම. 

Texas School Book Depository ටෙක්සාස් ප්‍රාන්තයේ පාසල් පොත් ගබඩා මධ්‍යස්ථානයේ සේවකයෙක් ලෙස පැයකට ඇමෙරිකානු ඩොලර් 1.25කට ලී හාවී ඔස්වල්ඩ් බඳවා ගන්නේ ඔක්තෝබර් මාසයේ 14 වැනිදා. ජනාධිපති කෙනඩි ඩලාස් නගරයට පැමිණීමට දින කිගිපයකට පෙර ඔහුගේ මෝටර් රථ පෙරහැර ගමන් කරන මාර්ගය ප්‍රසිද්ධ කර තිබුනා. නොවැම්බර් මස 21 වැනි දින ඔස්වල්ඩ් තම සේවා ස්ථානයේ ඔහු සමග සේවය කරන ෆ්රෙසියර් නමැත්තාගෙන් ඉල්ලා සිටියේ අර්වින් ප්‍රදේශයේ පිහිටා ඇති තම නිවසක තිබෙන ජනෙල් තිර එල්ලීම සඳහා උපයෝගී කර ගන්න පොලු කිහිපයක් රැගෙන ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙසය. ෆ්රේසර් ගේ වාහනයෙන් අර්වින් නිවසට පැමිණි ඔස්වල්ඩ් නැවත වාහනයට පැමිණුනේ තරමක් විශාල බෑගයක් සහිතව. ඔහු ෆ්රේසර් හට පැහැදිලි කලේ ඒ බෑගයේ තිබෙන්නේ තිර එල්ලීමට ගන්නා පොලු බවයි.                               

ඊටත් අමතරව මරීනා සමග විවාහයේදී සෝවියට් දේශයේදී මිලදී ගත් මගුල් මුද්ද සහ තවත් ඩොලර් 170ක් ඔහු නිවසේ තබා තමයි පිටවුනේ.   

ඔස්වල්ඩ් සමග රාජකාරියේ යෙදුනු චාර්ල්ස් පැවසුයේ 11.55ට පමණ ඔහු ඔස්වල්ඩ් ව 6 වන මහලේ දුටු බවයි. ඒ ජනාධිපති කෙනඩිට වෙඩි තැබීමට විනාඩි 35කට පෙර. ​​

පාක්ලෑන්ඩ් අනුස්මරණ ආරෝග්‍යශාලාවට ඇතුල් කෙරුණු ජනාධිපති කෙනඩි ව ශල්‍යකර්මයකට භාජනය කර තිබුනා. නමුත් හරියටම දහවල් 1.00ට ජනාධිපති කෙනඩි මියගිය බව නිවේදනය වුනා. 

 

මේ වන විට සිදුවූ සිදුවීම් මාලාව වචන වලින් පැහැදිලි කරන්නට අපහසුයි. ඩලාස් නගරයේ ස්ථාන කිහිපයක සිදුවුණු සිදුවීම් රැසක් එක මොහොතක සිදුවුනා. 

 

දහවල් 12.30 ට - ලී ඔස්වල්ඩ් විසින් ටෙක්සාස් පොත් ගබඩා සංකීර්ණයේ 6 වන මහලේ ජනේලයක් අතරින් 8-pound, Italian-made 1940 Carcano, 6.5 මි.මී. රයිෆලයක් උපයෝගී කර ගනිමින් ජනාධිපති මෝටර් රථය වෙතට වෙඩි පහරවල් 3ක් තබා තිබුනා. මේ සඳහා ගතවී තිබුනේ තත්පර 8ක්. ඉහල ජායාරුපයේ දැක්වෙන්නේ ඩලාස් කෞතුකාගාරයේ ඇති එම රයිෆලයේ අනුරුවක්.

ඩලාස් පොලිසියේ නිලධාරියෙකු වූ මාලන් බේකර් එදින ජනාධිපති රථ පෙරහැරට ආවරණය දෙන පොලිස් මෝටර් සයිකල් නිලධාරියෙක් ලෙස සේවය කළා. ඒ මොහොතේ ඔහු පැමිණියේ ජනාධිපති රථයට රථ කිහිපයක් පිටුපසින්. පළමුවන වෙඩි පහරේ ශබ්දය ඔහුට හොඳින් ඇසී තිබුනා. ඊ මොහොතේම ඔහු නිගමනයකට පැමිණුනා ඒ වෙඩි පහර පැමිණුනේ ටෙක්සාස් පොත් ගබඩා ගොඩනැගිල්ල ප්‍රදේශයෙන් හෝ ඊට යාබද ඇති ගොඩනැගිල්ල ප්‍රදේශයෙන් කියා. එමෙන්ම ඔහු දුටුවා ගොඩනැගිල්ලේ වහලයේ සිට ශබ්දයට බියවී එක්වරම පරෙවියන් රැසක් ඉගිලෙන අන්දම.

 

මෝටර් සයිකල අතරමග නතර කර දැමු මාලන් කෙලින්ම දිව ගියේ ටෙක්සාස් පොත් ගබඩා බිල්ඩිමේ ප්‍රධාන ඇතුල්වීමේ දොරටුව වෙත. ඒ තමාගේ තුවක්කුවත් සමග. ඒ අවස්තාවේදී ඔහුට ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියෙක් වූ ට්රුලි ද එකතු වුනා. ගොඩනැගිල්ලේ ඉහල කෙලවරට යාමට විදුලි සෝපානය එනතෙක් බලා සිටීමට අකමැති වුනු ඔවුන් තරප්පු පෙළ දිගේ ඉහලට නගින්නට පටන් ගත්තා. අතරමගදී දෙවන මහලේදී ඔවුනට ලී ඔස්වල්ඩ් ව මුණ ගැසුනා. මේ අවසාන වෙඩි පහරින් තත්පර 90කට පසු.

බේකර් ඔස්වල්ඩ් හට තම තුවක්කුව එල්ල කලත් ඔහු අත තිබු සේවක හැඳුනුම් පත්‍රය දුටු විට ඔහු මේ ස්ථානයේ රාජකාරි කරන සේවකයෙක් වශයන් සලකා නිදහස් කර තිබුනා. බෙකර්ගේ පාපොච්චාරණය අනුව ඒ මොහොතේදී ඔස්වල්ඩ් තුල කිසිම කලබලකාරී බවක් පෙනෙන්නට තිබුනේ නැහැ. 

දහවල් 12.33 ට - ඔස්වල්ඩ් ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවෙන් පිටත් වී ගොස් තිබුනා. 

දහවල් 12.33 - 12.50 දක්වා කාලය අතර තුර ඩලාස් පොලිසිය විසින් ටෙක්සාස් පොත් ගබඩා මධ්‍යස්ථානයට සීල් තැබුවා. 

නමුත් මහා මාර්ගය වසා දැමීමක් කිසිම විටෙක් සිදුවී තිබුනේ නැහැ. වෙඩි තැබීමෙන් විනාඩි 9කට පසුත් ඒ මාර්ගයේ වාහන ධාවනය වූ බව සාමාන්‍ය වැසියන් සාක්ෂි දී තිබුනා. ​​​​​​​​​​​​

දහවල් 1.00 ට - ජනාධිපති කෙනඩි මියගිය බව නිවේදනය වුනා. නමුත් නිල නිවේදනය පැමිණෙන්නේ තවත් විනාඩි 30කින්. මේ අවස්තාවේදී ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ප්‍රකාශක උප ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් ගෙන් විමසා සිටිනවා ජනාධිපති කෙනඩි මිය ගිය බව ප්‍රකාශයට පත් කරන්නදැයි කියා. උප ජනාධිපති පවසන්නේ - මා මෙතනින් පිටව ගියාට පසුව ප්‍රකාශයට පත් කරන්න. අපි දන්නේ නැහැ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියා. 

දහවල් 1.00 ට - ඔස්වල්ඩ් නවාතැන් ගෙන තිබුණු නිවසට ඔහු පැමිණියා. මේ නිවස තිබුනේ ඒ ස්ථානයේ සිට සැතපුම් 3ක් පමණ ඈතින්. 

​මට අවස්ථාවක් ලැබුනා ඩලාස් නගරයේ මේ නිවසට යාමට සහ එහි අයිතිකරුවන් සමග කතා බස් කිරීමට.​​​​

මේ පැට්‍රීසියා පුකෙට්. මේ දිනයේදී ඇයගේ වයස අවුරුදු 11යි.  මේ නිවසේ එක කුඩා කාමරයක තමයි ඔස්වල්ඩ් නැවතී සිටියේ.

"මටත් මගේ සහෝදරයෙකු වන හාල් ටත් ඔස්වල්ඩ් ගැන හොඳ මතකයක් තිබෙනවා. පාසල් වේලාවෙන් පසු ක්‍රීඩා කිරීමට අපි සැමදාම පැමිණුනේ මේ නිවසට. මේ නිවස ඒ කාලයේ හිමිවී තිබුනේ මගේ සීයාට." මෙසේ පවසන්නේ පැට්‍රීසියා. 

"ඔහු අපිත් සමග නිතරම ක්‍රීඩා කළා. නමුත් ඔහු බොහෝ විට නිශ්ශබ්ද පුද්ගලයෙක් කියා මට සිතෙනවා. සමහර දිනවල ඔහු තම කුඩා කාමරයෙන් පිටතට පැමිණෙන්නෙම නැහැ." 

​ඔස්වල්ඩ් විසින් භාවිතා කල කාමරය ඇත්තටම ඉතා කුඩා කාමරයක්. ඇඳ සහ දෙපා තබන්නට කුඩා ප්‍රදේශයක් පමණයි ඒ කාමරයේ තිබෙන්නේ. 

​මේ සිද්ධියෙන් පසුව ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය සහ ඩලාස් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සෑම අඟලක්ම පරීක්ෂා කරන ලද බවයි පැට්‍රීසියා තව දුරටත් පැවසුයේ. 

මේ ඔස්වල්ඩ් ගේ කාමරයේ තිබෙන ඔහුගේ ජැකට්ටුව. ඔහු අවසාන වරට නිවසට පැමිණියේ මේ ජැකට්ටුව පැළඳ ගෙන. 

කලබලයෙන් පැමිණි ඔස්වල්ඩ් ඉතාමත් ඉක්මනින් තම කාමරයට ඇතුල් වී ජැකට්ටුව ගලවා දමා වෙනත් ජැකට්ටුවක් පැළඳ ගෙන නිවසින් පිටවුනා. 

​දහවල් 1.15ට - ඔස්වල්ඩ් අත් අඩංගුවට ගැනීමට පැමිණි ටිපිට් නමැති පොලිස් නිලධාරියාට වෙඩි තබා මරා දමා තිබුනා. ඒ ස්ථානය තිබෙන්නේ ඔස්වල්ඩ් නැවතී සිටි නිවසට කි.මී.1ක් පමණ දුරකින්.

අද ඒ ස්ථානයේ මෙවැනි සිහිවටනයක් දක්නට ලැබෙනවා. 

දහවල් 1.22ට - පොලිස් නිලධාරීන් විසින් පොත් ගබඩා මධ්‍යස්ථානයේ 6 වන මහලේ කෙළවරක ඔස්වල්ඩ් විසින් වෙඩි තබන ලද රයිපලය සොයා ගත්තා. 

දහවල් 1.33ට - ජනාධිපති කෙනඩි මිය ගිය බවට නිල නිවේදනය නිකුත් වෙනවා. 

 

දහවල් 1.35ට - ඩලාස් නගරයේ ටෙක්සාස් රඟහල අසල සැක කටයුතු පුද්ගලයෙක් ගැවසෙන බවට ලැබුණු ඔත්තුවක් ලැබෙනවා.

 

දහවල් 1.40ට - පොලිස් නිලධාරීන් 12 දෙනෙක් සහ පොලිස් වාහන කිහිපයක් ටෙක්සාස් රඟහල වෙත පැමිණ  ඔස්වල්ඩ් ව අත් අඩංගුවට ගන්නවා. නමුත් ඒ අවස්ථාවෙදී පොලීසිය ඔහුව ඇත අඩංගුවට ගන්නේ ටිපිට් පොලිස් නිලධාරියා ඝාතනය කිරීමේ චෝදනාවට.  අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔස්වල්ඩ් කෑගැසුවේ "දැන් ඔක්කොම අවසානයි" යනුවෙන්.

දහවල් 2.00ට - පාර්ක්ලාන්ඩ් අනුස්මරණ ආරෝග්‍යශාලාවෙන් ජනාධිපති කෙනඩිගේ දේහය Airforce 1 නිල ගුවන් යානය වෙත ගෙන යාමට සැරසෙනවා. 

 

මේ අවස්ථාවෙදී ජනාධිපති ආරක්ෂක නිලධාරීන් සහ ආරෝග්‍යශාලාවේ නිලධාරීන් අතර දැඩි විවාදයක් හට ගෙන තිබෙනවා. ටෙක්සාස් නීතිය අනුව ටෙක්සාස් ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු විසින් මරණ පරීක්ෂණයක් නොපවත්වා මියගිය සිරුරක්  ආරෝග්‍යශාලාවකින් පිටතට ගෙනයාම තහනම්. නමුත් සඳහන් වන අන්දමට ජනාධිපති ආරක්ෂක නිලධාරීන් විසින් බලෙන්ම ජනාධිපති කෙනඩිගේ දේහය පිටතට රැගෙන ගුවන් යානය කරා ගෙන ගොස් තිබෙනවා. 

 

මේ ජායාරුපයෙන් දිස් වන්නේ කෙනඩි දේහය ආරෝග්‍යශාලාවෙන් පිටතට රැගෙන යන අන්දම. ජැකොලින් කෙනඩි ලේ තැවරුණු ඇඳුම් වලින් යුතුව කෙනඩිගේ දේහය සමග. අනික් පසින් සිටින්නේ ජෝන් එෆ් කෙනෙඩි ගේ සහෝදර රොබට් කෙනඩි. 

මිනී පෙට්ටියේ විශාලත්වය නිසා එය ගුවන් යානයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ගැනීමට අපහසු වුනු අතර තවද ආසන කිහිපයක් ඉවත් කර ගුවන් යානය තුලම මිනී පෙට්ටිය තැන්පත් කරන්නට තීරණය කරනවා. 

දහවල් 2.38 ට - උප ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 36 වන ජනාධිපති ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට Airforce 1 ගුවන් යානය තුලදී සාරා හියුස් ශ්‍රේෂ්ටාධිකරණ නීතීඥවරිය ඉදිරියේ දිවුරුම් දෙනවා.  ලේ තැවරුණු ඇඳුම් සහිතව ඒ දෙස බලා සිටින්නේ ජැකොලින් කෙනඩි. 

​සවස 6.00ට - Airforce 1ගුවන් යානය (වොෂින්ග්ටන් වේලාවෙන්) වොෂින්ග්ටන් නුවරට ලඟා වෙනවා.  ගුවන් යානයේ සිට නව ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් airforce 1 ගුවන් යානය වොෂින්ග්ටන් නුවරට පැමිණෙන අන්දම සජීවී විකාශයක් ලෙස ප්‍රචාරය කිරීමට නියෝග ලබා දෙනවා. 

සවස 7.05 ට - පොලිස් නිලධාරී ටිපිට් ඝාතනය වෙනුවෙන් ඔස්වල්ඩ් හට නිල චෝදනා ඉදිරිපත් වෙනවා.

 

​සවස 11.26 ට - ජනාධිපති කෙනඩි ඝාතනය කොමියුනිස්ට් කුමන්ත්‍රණයක් ලෙසත් ඔස්වල්ඩ් විසින් ඝාතනය කල බවට නිල චෝදනා ඉදිරිපත් වෙනවා. නමුත් ධවල මන්දිරයේ නියෝගයක් අනුව සුළු වෙලාවකින් කොමියුනිස්ට් කුමන්ත්‍රණය යන වචන චෝදනා පත්‍ර වලින් ඉවත් කෙරෙනවා. 

 

මේ ආකාරයට තමයි සිදුවුනේ ඒ ඓතිහාසික සිදුවීම් මාලාව. 

මේ අද දින ඔස්වල්ඩ් ඝාතනය කල ස්ථානය දක්නට ලැබෙන අන්දම. 

ජනාධිපති කෙනඩි ඝාතනය ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදු දරුණු දේශපාලන ඝාතන වලින් මුල් තැනක් ගන්නවා. ජනාධිපත් ලින්ඩන් බී ජොන්සන් විසින් මේ ඝාතනයේ සුල මුල සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා. එය වොරන් කොමිසම නමින් හඳුන්වනු ලැබුවා. 1964 සැප්තැම්බර් මස 24 වැනිදා එම කොමිසම තම සම්පුර්ණ වාර්තාව ප්‍රකාශයට පත් කළා. වාර්තාවට අනුව වෙඩි පහර 3ක් තැබුණු බවත් ඒ වෙඩි පහරවල් වලින් ජනාධිපති කෙනඩි මියගිය බවත් ටෙක්සාස් ආණ්ඩුකාර කොනලි බරපතල තුවාල ලැබූ බවත් එමෙන්ම ඒ වෙඩි පහරවල් තැබුවේ ඔස්වල්ඩ් බවත් තහවුරු කළා. 

 

මේ පිලිබඳ 1963 වසරේ සිට අද දක්වාම පවතින්නේ විවාදයට තුඩු දෙන කාරනා.

* වෙඩි පහරවල් 3ක් නොව 5ක් හෝ 6ක් සිදුවූ බව සාක්ෂි දුන් පුද්ගලයින් පවසා තිබෙනවා.

* ඔස්වල්ඩ් ජනාධිපත් කෙනඩි හට වෙඩි නොතැබූ බවත් වාහන රථ පේලිය ටෙක්සාස් පොත් ගබඩා මධ්‍යස්ථානයට ලඟා වෙත්දී ඒ ස්ථානයේ සිටි වෙනත් පුද්ගලයෙක් වෙඩි තැබූ බවත් 

* ජනාධිපති කෙනඩිගේම ආරක්ෂක භටයෙක් ඔහුට ඒ අවස්ථාවෙදී වෙඩි තැබූ බවත් 

* මේ ඝාතනය පිටුපස උප ජනාධිපත් ලින්ඩන් බී ජොන්සන් සිටින බවත්  (ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව යම් අවස්ථාවක ජනාධිපතිවරයා මියගියහොත් හෝ නිල වශයෙන් රාජකාරි කිරීමට නොහැකි වුවහොත් ඔහුගේ ජනාධිපතු ධුර කාලය අවසන් වනතෙක් ජනාධිපති දුරය දැරිය හැක්කේ උප ජනාධිපතිවරයාට)

මේ ඒ මත වලින් කිහිපයක්. 

 

තම ජීවිතයේ යම් කාලයක් සෝවියට් දේශයේ ජීවත් වී නැවත වරක් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණුනු ඔස්වල්ඩ් විසින් ජනාධිපති කෙනඩි ඝාතනය කිරීම නිසා මේ සැලැස්ම පිටුපස සෝවියට් දේශය සිටින බවටද තොරතුරු පැතිර යාම කිසිවෙකුට වලක්වන්නට හැකි වුනේ නැහැ. 

 

"කෙනඩි තම දේශපාලන ජීවිතයේදී විශේෂයෙන්ම ජනාධිපති ධුරය දැරූ අවස්ථාවේදී දුෂ්කර තීරණ ගැනීමට සිදුවුනා. වියට්නාම් යුද්ධයේදී ඒ වෙනුවෙන් වැඩි සොල්දාදුවන් පිරිසක් වියට්නාමයට යැවීමට සහ කියුබාව ආක්‍රමණය කිරීමට සැරසීම (Bay of Pigs incident) සහ ඒ මෙහෙයුම අසාර්ථක වීම නිසා ඔහු දොස් තැබුවේ තම රහස් ඔත්තු සංවිධානයට. "මෙසේ පවසන්නේ පැට්.

පැට් මට හමුවුනේ ඩලාස් නගරයේදී.  දැනට වසර 30ක පමණ සිට කෙනඩි ඝාතනය ගැන ස්වාධීන තොරතුරු රැස් කරන්නෙක් ලෙස කටයුතු කරනවා. කෙනඩි ඝාතනයට සම්බන්ධ බොහෝ දෙනෙක් සමග ඔහු සම්මුඛ සාකච්ජා පවතා ඒවා ප්‍රසිද්ධ කර තිබෙනවා. ඩලාස් පොලිසියේ නිලධාරීන්, ජනාධිපති ආරක්ෂක උපදේශකයින්, කොන්ග්‍රසයේ නියෝජිතයින් මේ අතර සිටිනවා. නමුත් ඔහුගේ සම්මුඛ සාකච්ජා වලින් හෙළිවුණු බොහෝ දේවල් ගැන කෙනඩි ඝාතනයෙන් වසර 50ක් ගොස් ඇතත් තවමත් පරීක්ෂණ නැහැ. 

​ඔස්වල්ඩ් නවාතැන් ගෙන සිටි නිවස අයිතිකරු පැට්‍රීසියා පවසන්නේ කෙනඩි ඝාතනයට සෝවියට් දේශයේ සම්බන්ධතාවයක් නොමැති බවයි. එයට ප්‍රධානම හේතුව වශයෙන් ඇය සඳහන් කරන්නේ එවැනි සම්බන්ධතාවයක් තිබුනා නම් ඒ කාලයේ පැවතී ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර විවාදාත්මක සම්බන්ධතා නිසා ඇමෙරිකාව සෝවියට් දේශයට එරෙහිව යුද්ධයකට යාමට පවා සැරසෙනු බවයි. 

ලී හාවී ඔස්වල්ඩ් අත් අඩංගුවට ගත් විට මේ චෝදනාවෙන් බේරීමට සෝවියට් දේශයේ කේ.ජී.බී. රහස් ඔත්තු සංවිධානය සෝවියට් රජයේ අවසරය ඇතිව ඔහුගේ සෝවියට් ජීවිතයට සම්බන්ධ ලිපි ලේඛන සහ රහසේ පටිගත කරන ලද හඬ පටවල් විශාල ප්‍රමාණයක් රහසිගතව ලබා දුන් බව බෙලොරුසියානු මාධ්‍ය පවසනවා. 

​ඔස්වල්ඩ් වෙඩි තැබූ ටෙක්සාස් පොත් ගබඩා මධ්‍යස්ථානය අද කෙනඩි කෞතුකාගාරය (6th Floor Museum) ලෙස හඳුන්වනවා. කෙනඩි ඉතිහාසය සහ ඝාතන සැලැස්ම ගැන විශාල ජායාරුප සහ තොරතුරු සම්භාරයක් මේ ස්ථානයේදී ලබා ගන්නට පුළුවන්. අද ඩලාස් නගරයට පැමිණෙන සංචාරකයින් ගෙන් 90%කටත් වඩා පැමිණෙන්නේ මේ කෞතුකාගාරය නැරඹීමට. 

​කෞතුකාගාරය වටා තවමත් පවතින්නේ වාද විවාද සහිත උණුසුම් වාතාවරණයක්. නොයෙකුත් රටවලින් පැමිණෙන සංචාරකයින් සහ ඇමෙරිකානු වැසියන් තම අදහස් ප්‍රකාශ කරන්නට මේ ස්ථානයේ රැස්වෙනවා. 

​මෑතකදී ඇමෙරිකානු රජය විසින් මෙතෙක් කල් ප්‍රසිද්ධයට පත් නොකළ නමුත් කෙනඩි ඝාතනයට සම්බන්ධ ලිපි කොටස් 2500ක් පමණ මාධ්‍යට නිකුත් කිරීමත් සමගම කෙනඩි ඝාතනය පිළිබඳව නව අදහස් පලවෙන්නට පටන් ගෙන තිබෙනවා. 

මරීනා ඔස්වල්ඩ්-පොර්ටර් අද ඇගේ වයස අවුරුදු 80ක්.  ටෙක්සාස් ප්‍රාන්තයේ Rockwall නගරයේ තම දෙවන සැමියා සමග ඇය වෙසෙනවා. අනිකුත් ජායාරුපයෙන් දිස්වෙන්නේ මරීනා 1963 නොවැම්බර් මස 25 වැනිදා ලී හාවී ඔස්වල්ඩ් ගේ අවමංගල්‍යයට සහභාගී වූ අවස්ථාව.

1963 වසරේ නොවැම්බර් මස 25 වැනිදා වොෂින්ටන් නගරයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුනා. විදේශීය රාජ්‍ය වල නායකයින් 90 දෙනෙක් පමණ මේ අවස්ථාවට සහභාගී වුනා.