UYUNI

BOLIVIA
  • Facebook - Black Circle
  • YouTube - Black Circle
  • Instagram - Black Circle

​බොලීවියානු ජාතිකයෙකුට උයුනි වචනය ඇසෙන විට දැනෙන අපහසුතාවය නොවේ විදේශ සංචාරකයෙකුට දැනෙන්නේ. 

උයුනි කුඩා නගරය පිහිටා තිබෙන්නේ බොලීවියාවේ ලා පාස් නගරයේ සිට කි.මී.1200ක් දකුණු දෙසට. මේ නගරයේ ජනගහනය 50,000ක් පමණ. විදේශීය සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මේ උයුනි නගරය වෙත සංචාරය ඔවුන් හඳුන්වන්නේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි ආශ්වාදයක් ලෙස. 

සාමාන්‍ය  පුද්ගලයෙකුට ලෙහෙසියෙන් ලඟා විය නොහැකි මේ උයුනි නගරයේ දහවල් කාලයේ අධික උෂ්ණත්වයත් සහ රාත්‍රී කාලයේ අධික ශීතලත් නිසා එහි ජීවත් වීමටත් දුෂ්කරයි. නමුත් මේ කිසිම හේතුවක් නිසා සංචාරකයින්ගේ පැමිණීම නම් අඩු වෙලා නැහැ. ලොව නැරඹිය යුතුම නමුත් ලඟා වීමට හෝ වාසය කිරීමට ඉතා අපහසු කාලගුණික තත්වයන් ගෙන් යුත් ප්‍රදේශයක් හැටියට මේ නගරය හඳුන්වන්නේ.

බොලීවියාව දකුණු ඇමෙරිකානු රාජ්‍යයක්. එහි ජනගහනය මිලියන 11ක්. මාගේ බොලීවියානු සංචාරයේදී ශ්‍රේෂ්ට විප්ලවවාදී චේ ගුවේරා ඝාතනයට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින් කිහිප දෙනෙක් හමු වන්නට අවස්ථාව ලැබුනා. (මෙතනින් කියවන්න - චේ ගුවේරා ගිය පාරේ) නමුත් මගේ තවත් බලාපොරොත්තුවක් වුනේ කෙසේ හෝ උයුනි නගරය වෙත සංචාරය කරන්න.

අඩු මුදලක් වැය කර උයුනි නගරය වෙත යන්නට අවම වශයෙන් මාස 4 ක හෝ 5 ක කාලයකට පෙර ගුවන් ටිකට් පත් ලබා ගත යුතුව තිබෙනවා. එයට හේතුව ඉතා කුඩා ගුවන් යානා පියාසර කරන ගුවන් වාර 1ක් හෝ 2ක් පමණයි සතියකට මේ නගරය වෙත තිබෙන්නේ. ඊට අමතරව ලා පාස් නගරයේ සිට බස් රථයක් ධාවනය වනවා. එය පැය 12ක ගමනක්. 

 

මේ මා ගමන් ගත් ගුවන් යානය. ලා පාස් හෝ සැන්ටා කෘස් නගරයේ සිට පැයක ගුවන් කාලයක්.

මේ කුඩා ගුවන් යානයේ ආසන 16ක්. ගුවන් යානය තුල සිටගෙන සිටින්නට වත් හැකියාවක් නැහැ. ආසනය කරා යා යුත්තේද කොන්ද නමා ගෙන. Amazonas ගුවන් සමාගම පමණයි දැනට මේ ගුවන් ගමන ක්‍රියාත්මක කරන්නේ.  

මුහුදු මට්ටමේ සිට මීටර් 3600ක් ඉහලින් උයුනි නගරය පිහිටා තිබෙන්නේ. ඒ නිසා බොහෝ විට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයන් අවකාශයේ තිබෙන්නේ අඩුවෙන්. ගුවන් යානයේ සිට පිටතට පැමිණෙත්දී හුස්ම ගැනීමට ඇති අපහසුතාවය සහ හිසේ වේදනාව දැනෙනවා. (Altitude sickness) මේ වෙනුවෙන් ඔබේ ශරීරය සුදානම් නැතිනම් ඒ වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය ප්‍රථමාධාර රැගෙන පැමිණෙන්නැයි බොහෝ විට සංචාරක ආයතන සංචාරකයින්ට දන්වනවා.  සමහර විට ඔබ අවශ්‍ය වෙලාවට ප්‍රතිකාර ලබා නොගත්තේ නම් මරණය පවා සිදුවෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 

ගුවන් යානයේ සිට පිටතට පැමිණි මට පැය කිහිපයක් යන තෙක් තරමක් දුරට හුස්ම ගැනීමේ අපහසුතාවයක් සහ හිසේ වේදනාවක් දැනුනා. නමුත් වාසනාවකට මෙන් පැය 3කින් පමණ ඒ ලක්ෂණ පහව ගියා. 

​මේ සඳහා බොලීවියානු ජාතිකයින් දේශීය ප්‍රතිකර්මයක් භාවිතා කරනවා. ඒ කොකා නමින් හඳුන්වන ශාක වල කොළ දිනකට කිහිප වරක් සපමින් හපයක් ලෙස කට තුල තබා ගන්නවා. බොහෝ හෝටල් සහ නේවාසිකාගාර වල මේ කොකා කොළ නොමිලේ සංචාරකයින් හට සපයනවා.  කොකේන් නමැති භයානක මත් ද්‍රව්‍ය නිපදවීමට මේ කොකා පත්‍ර භාවිතා කෙරෙනවා.      ඒ නිසා බොහෝ රටවල් වල මේ කොකා පත්‍ර භාවිතය තහනම් කර තිබුනත් බොලීවියාව මේ වෙනුවෙන් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරනවා. 

​සැන්ටා කෘස් නගරයේ බොහෝ ස්ථාන වල මේ කොකා පත්‍ර විකුණන අයුරු දැක ගන්නට පුළුවන්. 

උයුනි නගරයට සංචාරකයින් පැමිණෙන්නේ දුම්රිය කනත්ත සහ ලොව ප්‍රසිද්ධ ලුණු තැන්න නරඹන්නට. නමුත් මේ වෙනුවෙන් සංචාරක ආයතන අධික මුලක්  අය කරනවා. පෞද්ගලිකව තනිව සංචාරකයෙක් හැටියට මේ ස්ථාන නරඹන්නට යන්නේ නම් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 1500කට අධික මුදලක් දින 2-3 කට ගෙවිය යුතු වෙනවා.  එයට හේතුව  4x4 ජීප් රථ අනිවාර්යයෙන්ම මේ ගමන සඳහා උපයෝගී කර ගත යුතු වෙනවා. ඒ වගේම අධික ලුණු සාන්ද්‍රණය නිසා සියලුම වාහන ඉතා කෙටි කාලයක් තුල විනාශයට පත් වෙනවා. මේ හේතු නිසා තමයි මේ සංචාර මිල අධික වන්නේ.

​මේ සඳහා පිලියමක් වශයෙන් සංචාරකයින් කිහිප දෙනෙක් එක් වී අවම වශයෙන් (6 දෙනෙක්) කණ්ඩායමක් හැටියට සංචාරක ආයතන වල සේවා ලබා ගන්නට හැකියාව තිබෙනවා. මේ අනුව ගෙවන මුදලත් ඒ ආකාරයට සංචාරක කණ්ඩායම අතර බෙදී යනවා. 

 

මගේ ප්‍රථම උත්සාහය වුනේ උයුනි දුම්රිය කනත්ත දැක බලා ගැනීම.

දකුණු ඇමෙරිකාවේ සියලුම දුම්රියයන් අවසානයේදී පැමිණෙන්නේ මෙතනට. මේ විදිහට තමයි උයුනි වැසියන් මේ දුම්රිය ස්ථානය හඳුන්වන්නේ. 19 වන ශත වර්ෂය ආරම්භයේදී දකුණු ඇමෙරිකාවේ රටවල් අතර ගමනාගමන පහසුකම් වර්ධනය වෙනුවෙන් දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙසටත් ආකාර වල ලුණු ප්‍රවාහනය වෙනුවෙනුත් ආරම්භ කෙරුණත් ඒ රටවල් වල පැවති දේශපාලන අස්ථාවරභාවය නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට වුනේ නැහැ. 

නමුත් අවසානයේදී ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් ආනයනය කරන ලද දුම්රිය එන්ජින් මැදිරි ඇතුළු උපකරණ සියල්ලම බොලීවියාවේ උයුනි නගරයේ කාන්තාර බිමක අත් හැර දමන්නට බොලීවියානු රජයට සිදු වුනා. 

මේ දුම්රිය මැදිරි සහ එන්ජින් බොහොමයක් ආනයනය කර ඇත්තේ එංගලන්තයේ සිට. 

මේ ස්ථානය පිහිටා තිබෙන්නේ වෙනත් රටක නම් සමහර විට යකඩ වලට මේ දුරිය කොටස් පාවිච්චි කරන්නට ඉඩ තිබුනා. නමුත් අවාසනාවකට මේ උයුනි පිහිටා තිබෙන්නේ ලෝකයේ දරුණුතම ලුණු කාන්තාරය ආසන්නයේ. 

ලුණු නිසා සියලුම එන්ජින් සහ මැදිරි බොහෝ දුරට විනාශ වී හමාරයි. 

මගේ ඊළඟ ප්‍රයත්නය වුනේ Salar de Uyuni වෙතට පිවිසෙන්නට. Salar de Uyuni නමින් හඳුන්වන්නේ මේ අති විශාල ලුණු තැන්න. මෙය ලොව විශාලතම ලුණු තැන්න වනවා. එය වර්ග කි.මී. 10,000කටත් වැඩියි.  ​මේ සඳහා කිසිම සංචාරකයෙකුට පෞද්ගලිකව සංචාරය කරන්නට අවසර දෙන්නේ නැහැ. එයට හේතුව එහි ඇති භයානකත්වය නිසා. පළපුරුදු මග පෙන්වන්නෙකු නොමැතිව මේ අති විශාල ලුණු තැන්නේ ගමන් කිරීම ලේසි පහසු නැහැ.  ඒ සඳහා 4x4 ජීප් රථයක් අවශ්‍යමයි. සාමාන්‍ය මෝටර් රථයක් භාවිතා කරන්නේ නම් ඔබට යා හැක්කේ  දුරක් පමණයි.

සඳහන් කරන අන්දමට සෑම ස්ථානයකම ලුණු ස්ථරයේ ඝනත්වය අවම වශයෙන් මීටර් 1ක් පමණ වෙනවා. 

ලොව ලිතියුම් නිධි ප්‍රමාණයෙන් 50-60% දක්වා ප්‍රමාණයක් තිබෙන්නේ මේ උයුනි ලුණු තැන්නේ. අනාගතයේ දිනෙක ජංගම දුරකථන, රුපවාහිනී සහ පරිගණක නිෂ්පාදනයන් ගේ පැවැත්ම රඳා පවතින්නේ මේ ලිතියුම් නිධි මත බව බොලීවියානුවන් පවසනවා.  ඒ නිසා ඔවුන් තවම ප්‍රතිපත්තියක් ලෙස ලිතියුම් නිධි වෙනත් රටවල් විසින් ලබා ගැනීමට විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබෙනවා. 

දහවල් කාලයේ උෂ්ණත්වය 40 C ක් පමණ වෙනවා. සැන්දෑ කාලය වන විට එය බොහෝ විට 2 Cක් පමණ වෙනවා. 

පිරිසිදු ජලය හිඟ නිසා සාමාන්‍ය හෝටල් වල සේවාවන් වෙනුවෙන්ද අධික මුදලක් ගෙවීමට සිදු වෙනවා.  නමුත් සංචාරකයින්ගෙන් නම් අඩුවක් නැහැ. තම ව්වාහ මංගල්‍යය සැමරීම සඳහාද සමහර සංචාරකයින් මේ ස්ථානයට පැමිණෙනවා. 

මේ අති විශාල ලුණු තැන්නට ඔබ ඇතුල් වුවාට පසු හතර වටින්ම දිස් වන්නේ සුදු පැහැති ලුණු තැන්න. යා යුත්තේ කොයි පෙදෙසටද කියා තීරණය කිරීමට අපහසුයි.

2015 Dakar ජාත්‍යන්තර මෝටර් රථ සහ බයිසිකල් ධාවන තරඟය ආරම්භ වුනේ මේ ස්ථානයෙන්. මේ ඒ වෙනුවෙන් ලුණු වලින් නිමවා ඇති ස්මාරකය.

ස්පාඤ්ඤ භාෂාවෙන් Salar යනුවෙන් හඳුන්වන්නේ ලුණු තැන්න (ලේවාය) යන අදහසක්. මේ විශාල ලුණු තැන්නේ ඇවිදීමත්  තරමක් අපහසුයි. ඒ ලුණු තට්ටුවේ ඇති දියාරු භාවය නිසා සමහර ස්ථාන වලදී ඔබ නොදැනුවත්වම අඩියක් පමණ පොලව තුලට එරීමකට ලක් වෙනවා.  මේ නිසාම සංචාරක ආයතන මගින් අවශ්‍ය සපත්තු ලබා දෙනවා. 

මේ ස්ථාන වලට යාම සඳහා භාවිතා කරන ජීප් රථ බොහෝ විට වසරකින් පසුව ඉවත දමන්නට වෙනවා. එයට හේතුව අධික ලුණු සාන්ද්‍රණය නිසා ජීප් රථ සියල්ලම විනාශ වී දිරා යන නිසා. මේ සංචාරය මිල අධික වීමට මෙයත් එක් හේතුවක් වෙනවා. 

ඔබ ස්වභාවික සෞන්දර්යයට පරිසරයට ආදරය දක්වන්නෙක් නම් දේශගුණය කටුක වුවත් මේ උයුනි ලුණු තැන්නේ දී දැකිය හැකි දර්ශන වලට ආදරය කරනවා නිසැකයි. මේ නිසාම තමයි මිල අධික වුනත් පැමිණීමට අපහසු වුනත් බොහෝ සංචාරකයින් මේ ස්ථානයට පැමිණීමට උත්සාහා දරන්නේ.

රොහාන් ඩිරෙක්ස් 

සංචාරය කලේ 2018 නොවැම්බර් මාසයේ 

තවත් කියවන්න