Travel Sanchara සංචාර - Washington DC වොෂින්ග්ටන් අසිරිය

Travel through the USA

Rokhan Direkz 

​සංචාරය කලේ 2018 ඔක්තෝබර්  

info@sanchara.lk

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

රුසියාවේදී ඔබට නිතරම ඇසෙන්නේ ඇමෙරිකාව විවේචනය කරන අදහස් සහ ප්‍රවෘත්ති. ඇමෙරිකාවේදී  බොහෝ දුරට අසන්නට ලැබෙන්නේ රුසියාව විවේචනය කරන අදහස් සහ ප්‍රවෘත්ති.  ඒ නිසා මේ තැන් දෙකේම සිටින විට කවුරු ඇත්ත කියනවද කියලා සිතා ගන්නට අපහසුයි.

මේ රටවල් දෙක අතර මේ නගර දෙක අතර කොපමණ දේශපාලන ප්‍රශ්න තිබුනත් මොස්කව් නගරයේ සුන්දරත්වයත් වොෂින්ග්ටන් නගරයේ සුන්දරත්වයත් අගය කල යුතුයි. මිලියන 12ක ජනතාවක් වාසය කරන මොස්කව් නුවර සහ ලක්ෂ 7ක් පමණ ජනතාවක් වාසය කරන ඇමෙරිකාවේ වොෂින්ග්ටන් නුවර අතර තිබෙන වෙනස නම් මේ සුන්දරත්වය විදහා පාන ආකාරය විය යුතු යයි මට සිතෙනවා. 

​ඔක්තෝබර් මාසයේ මුල සතියේ ඇමෙරිකාවේ වොෂින්ග්ටන් නුවර සංචාරයක යෙදෙන්නට මට අවකාශ ලැබුනා. එහිදී මගේ සිත් ගත් එමෙන්ම සාමාන්‍ය සංචාරකයින් බොහෝ දුරට නොදකින ස්ථාන කිහිපයක් ගැන ඔබට හඳුන්වාදීමයි මගේ මේ ලිපියේ අරමුණ.

1945 වසරේ අගෝස්තු මාසේ 6 වැනිදා දෙවන ලෝක යුද්ධයේ අවසාන අධියර ක්‍රියාත්මක වෙමින් තිබුනා.  මුළු මහත් ලෝකයක් විස්මයට සහ කණගාටුවකට ලක් කරමින් ජපානයේ හිරෝෂිමා  (පළමුව හිරෝෂිමා නගරයට දෙවනුව නාගසාකී නගරයට)  නගර වලට පරමාණු බෝම්බ හෙලනු ලැබුවේ මේ දිනයේ. මේ සඳහා භාවිතා කරනු ලැබුවේ Boeing B-29 Superfortress bomber වර්ගයේ ගුවන් යානාවක්. එය හැඳින්වුයේ එනෝලා ගේ Enola Gay යනුවෙන්.

මේ ගුවන් යානය පදවුයේ Colonel Paul Tibbets. එනොලා ගේ යනුවෙන් ඔහු නම තැබුවේ ඔහුගේ ආදරණීය මව සිහිවෙන්නටලු. දැනට තිබෙන වාර්තා වලට අනුව හිරෝෂිමා නගරයේ 150,000 කට අධික පිරිසක් ක්ෂණිකව මේ බෝම්බය නිසා මරණය පත් වුනා. තම ආදරණීය මව වැනි තවත් අති විශාල පිරිසකට මරු කඳවු මේ ගුවන් යානයට තම මවගේ නම යොදන්නට Colonel Paul Tibbets ට අදහසක් පහල වුනේ මොන හේතුවක් නිසාද කියා කිසිම කෙනෙකුට හිතා ගන්නට බැහැ.

Little Boy යනුවෙන් හඳුන්වනු ලැබූ ඒ න්‍යෂ්ටික බෝම්බය දිගින් අඩි 12ක් සහ පළලින් අඟල් 28ක්. එහි බර කිලෝග්‍රෑම් 4100ක්.

මේ ගුවන් යානය දැන් ලෝක ඉතිහාසයේ බිහිසුණු අවස්ථාවක් සනිටුහන් කරමින් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ  ස්ටීවන් උඩ්වාර්  හාසි - ස්මිත්සොනියානු අභ්‍යවකාශ සහ තොරතුරු මධ්‍යස්ථානයේ Steven F. Udvar-Hazy Center ප්‍රදර්ශනය කෙරෙනවා.

2003 වසරේ ප්‍රථම වරට මෙම ගුවන් යානය වොෂින්ටන් නුවර අභ්‍යවකාශ සහ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට සැරසෙත්දී ජපානය ඇතුළු බොහෝ රටවල් මෙයට විරෝධය පල කළා.

Steven F. Udvar-Hazy Center- National Air and Space Museum

14390 Air and Space Museum Pkwy, Chantilly, VA 20151

ඇමෙරිකාවේ නාසා ආයතනයේ අභ්‍යවකාශ වැඩ සටහන් වල වැදගත් මෙහෙයක් ඉටු කල ඩිස්කවරි යානය දැන් ස්මිත්සොනියානු අභ්‍යවකාශ සහ තොරතුරු මධ්‍යස්ථානයේ Steven F. Udvar-Hazy Center ප්‍රදර්ශනය කෙරෙනවා.

1986 වසරේ ජනවාරි මස 28 වැනිදා චලෙන්ජර් අභ්‍යවකාශ යානය හදිසි අනතුරකින් විනාශ වුවාට පසු ඒ ස්ථානය ගනු ලැබුවේ මේ ඩිස්කවරි යානයයි.

2011 මාර්තු මස 9 වැනිදා මේ යානය විශ්‍රාම ගන්නා විට වසර 27ක සේවා කාලයක් සපුරා තිබුනා. 

Steven F. Udvar-Hazy Center- National Air and Space Museum

14390 Air and Space Museum Pkwy, Chantilly, VA 20151

ඇමෙරිකා එක්සත් ජනපදයේ මාර්ග සංවර්ධන ඉතිහාසයේ ප්‍රබල සලකුණක් වොෂින්ටන් නගරයේ ධවල මන්දිරය ඉදිරිපිට දක්නට ලැබෙනවා. 20 වන සිය වස ආරම්භයේදී ඇමෙරිකානු හමුදා කණ්ඩායම් නැගෙනහිර වෙරළ තීරයේ සිට බටහිර වෙරළ තීරය දක්වා සංවිධානාත්මකව යැවීමේ ක්‍රියාදාමය සනිටුහන් කරමින් මේ "0" සැතපුම් කණුව පිහිටවනු ලැබුවා. 

1919 වසරේ තාවකාලික සිහිවටනයක් ලෙස මේ "0" සැතපුම් කණුව පිහිටෙව්වත් 1923 වසර වන විට එය නිත්‍ය සිහිවටනයක් සහ වොෂින්ටන් නගරයේ සිට අනික් නගර වලට ඇති දුර ප්‍රමාණය තීරණය කිරීමේ ආරම්භක ස්ථානය වුනා. 

පසු කාලීනව මේ ස්ථානයේ සිට දුර නිශ්චිත කිරීමේ ක්‍රියාදාමය වෙනත් ස්ථාන වල සිට සිදු කෙරුණත් අදටත් ඇමෙරිකානු ප්‍රවාහන සහ මහාමාර්ග සංවර්ධන ඉතිහාසයේ එක් විශේෂ සන්ධිස්ථානායක ලෙස මේ ස්ථානය වැදගත් කමක් උසුලනවා. 

Zero Milestone

Ellipse Rd NW
Washington, District of Columbia, 20502
United States

විද්‍යා සාහිත්‍ය කථාවල ඉතා ප්‍රචලිත වූ ඇපල් ගෙඩියක්‌ නටුවෙන් ගිලිහී පොළවට පතිත වීම බලාසිටි  අයිසෙක්නි නිව්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා     ඊට හේතුව සොයා බැලීමේදී, සියලුම වස්‌තූන් පොළව දෙසට ඇද ගන්නා බව නිගමනය කළා. පොළව හැම දෙයක්‌ම ආකර්ශනය කර ගැනීම, ඇදගැනීම. ගුරුත්ව බලය ලෙස නිව්ටන් සඳහන් කළා. මේ ප්‍රචලිත කතා වලට සම්බන්ධ ඇපල් ගස පිහිටා තිබෙන්නේ එංගලන්තයේ Woolsthorpe Manor. 

ඇමෙරිකානු ජාතික විද්වතෙක් වූ ඉර්වින් ගාර්ඩ්නර් 1957 වසරේදී බ්‍රිතාන්‍යයේ Woolsthorpe Manor හි පිහිටා ඇති නිව්ටන් ඇපල් ගසින් ගත් ශාකාවකින් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ National Institute of Standards and Technology (NIST) භුමියේ පැල කරන ලද මේ ඇපල් ගස අද වන විට ඇමෙරිකාවේ නිව්ටන් ඇපල් ගස  ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. 

ඇමෙරිකානු වැසියන් පවසන්නේ මේ ගස ඇමෙරිකානු රහස් ඔත්තු සංවිධානය විසින් ආරක්ෂා කරන බවයි.  නමුත් සත්‍යය වන්නේ මේ ගස පිහිටා තිබෙන උද්‍යානය වටා විදේශීය තානාපති කාර්යාල කිහිපයක් පිහිටා තිබෙන නිසා ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් බොහෝ විට මේ ස්ථාන වල රාජකාරී කටයුතු වල යෙදී සිටීමයි. 

 

International Park

Washington, District of Columbia
United States

1981 වසරේ මාර්තු මස 30 වැනිදා එවකට ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් තම ජනාධිපති ධුරයේ 69 වැනි දිනය පසු කරමින් සිටියා. එදින ඔහු වොෂින්ග්ටන් නගරයේ හිල්ටන් හෝටලයේ විශේෂ උත්සවයකට සහභාගී වීමෙන් පසු පිටතට පැමිණුනේ තම වාහනය නැගීමට. සුපුරුදු පරිදි ජනාධිපති ආරක්ෂක නිලධාරීන් පිරිවරා ගත් රේගන් හිල්ටන් හෝටලයේ දොරින් පිටතට පැමිණෙනවාත් සමගම එහි සිටි පිරිස අතර සිටි ජෝන් හින්ක්ලේ නමැති පුද්ගලයෙක් රේගන් වෙතට වෙඩි පිට වෙඩි තබන්නට පටන් ගත්තා. තත්පර 1.7ක් ඇතුලත 6 වතාවක් මෙසේ වෙඩි තබන්නට හින්ක්ලේ ට හැකි වුනා. 

පළමුවන උණ්ඩය වැදුනේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක ජේම්ස් බ්‍රඩී වෙතට. දෙවන උණ්ඩය එහි සිටි පොලිස් නිලධාරියෙකුටත් නමුත් තෙවන උණ්ඩය අසාර්ථක ඉලක්කයක් වුනා.

ජනාධිපති රේගන් ආරක්ෂා කර ගැනීම සඳහා  ඉදිරියට පැමිණුනු තවත් ආරක්ෂක නිලධාරියෙක් හතර වන උණ්ඩයට බිලිවුණා. 

පස් වන උණ්ඩය අපතේ ගියත් හයවන උණ්ඩය රේගන්ගේ උරහිස හරහා වැදුනා. නමුත් මරණයෙන් බේරෙන්නට රේගන්ට හැකි වුනා. ජනප්‍රියතාවයේ පහල මට්ටමක සිටි රොනල්ඩ් රේගන් හට මේ සිද්ධිය නිසා ජනප්‍රියත්වයේ ඉහල තැනකට පැමිණෙන්නට හැකි වුනා. බොහෝ දෙනා විශ්වාශ කරන්නේ 1984 ඔහුගේ දෙවෙනි වර ජයග්‍රහණයට හේතු වුනේ මේ ඝාතන තැත බවයි. 

වොෂින්ග්ටන් හිල්ටන් හෝටලයේ මේ සිද්ධිය වූ ස්ථානය අද ඉතිහාසමය වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස හැඳින්වෙනවා.

Washington Hilton

1919 Connecticut Ave NW
Washington, District of Columbia

මා ජීවත් වන්නේ රුසියාවේ නිසා වොෂින්ග්ටන් නගරයේ තවත් එක් ස්ථානයකට අනිවාර්යයෙන්ම යා යුතුව තිබුනා. ඒ තමයි යුක්රේනයේ  බිහිසුණු    එමෙන්ම දුක්මුසු හොලොඩොමෝර් සාගතයේදී දිවිදුන් මිලියන 4කටත් අධික යුක්රෙනු ජනතාවක් වෙනුවෙන් පිහිටවනු ලැබූ ස්මාරකය වෙතට. Holodomor Genocide Memorial

1932-1933 වසර වල සෝවියට් දේශයේ විශේෂයෙන්ම යුක්රේනයේ ඇතිවූ සාගතයෙදී මේ ක්‍රියාදාමය හඳුන්වන්නේ සමූලඝාතන ක්‍රියාදාමයක් ලෙස. 

මේ නිසා අදටත් යුක්රේනය හා රුසියාව අතර මත බේද මෙන්ම වාද විවාදද ක්‍රියාත්මක වෙනවා. 

ඇමෙරිකානු කොන්ග්‍රසය 2006 වසරේදී තමයි යුක්රේන රජය සමග එකතුව මේ ස්මාරකය වොෂින්ටන් නගරයේ ඉදි කරන්නට අවසර දුන්නේ. 

මේ ස්මාරකයේ තවත් විශේෂයක් වන්නේ කාන්තා සහභාගීත්වයෙන් සැලසුම් සැකසුනු වොෂින්ග්ටන් නගරයේ පිහිටා ඇති ස්මාරක 3න් එකක් වීමයි. 

Holodomor Genocide Memorial

1 Massachusetts Ave NW
Washington, District of Columbia

ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රබලම චරිතය සහ ඇමෙරිකානු දේශයේ පියා වශයෙන් හඳුන්වනු ලබන ජෝර්ජ් වොෂින්ග්ටන් වෙනුවෙන් විශාල ප්‍රතිමා සහ සිහිවටන ප්‍රමාණයක් වොෂින්ග්ටන් නගරයේ දක්නට ලැබුනත් මේ ප්‍රතිමාව තරම් ප්‍රසිද්ධ එසේම මත භේද වලට භාජනය වුනු ප්‍රතිමාවක් නැති තරම්.

වර්ෂ 1789-1797 කාලයේදී ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපති හැටියට ජෝර්ජ් වොෂින්ග්ටන් පත්වුනා. 

වර්ෂ 1840 දී මේ ප්‍රතිමාව ඉදි කෙරුනේ ඇමෙරිකානු ප්‍රතිමා ශිල්පියෙක් වූ Horatio Greenough විසින්. උඩුකය නග්නව සාමාන්‍ය සෙරෙප්පු යුවලක් පැළඳ සිටින ජෝර්ජ් වොෂින්ග්ටන් එක්  අතක් අහසට ඔසවා පෙන්වන්නේ දිව්‍ය ලෝකය බවත් අනික් අතින් දරා සිටින අසිපතේ මිට ජනතාව දෙසට යොමු කරන්නේ ජනතා පරමාධිපත්‍යය සහ බලය ජනතාවටම ලබා දෙන බවත් සඳහන් කරමින් යන බව සඳහන් වෙනවා.  

Edited image from Library of Congress digital collection. African American school children facing the Horatio Greenough statue of George Washington at the U.S. Capitol. Published 1899? by Frances Benjamin Johnston, 1864-1952, photographer

මේ ප්‍රතිමාව පිටුපස  ලතින් භාෂාවෙන් ලියා ඇති වගන්තියේ පරිවර්තනය වන්නේ "Horatio Greenough made this image as a great example of freedom, which will not survive without freedom itself."

​නමුත් බොහෝ දෙනෙක් මේ පිළිරුව දෙස බැලුවේ වපර ඇසකින්. නැතිනම් උපහාසයෙන්. මේ නිසාම ඇමෙරිකානු කොන්ග්‍රසයට මේ පිළිරුව පිහිටුවන ස්ථානය කිහිප වතාවක්ම වෙනස කරන්නට සිදුවුනා. අවසානයේදී ඇමෙරිකානු ඉතිහාසය පිළිබඳව ස්මිත්සොනියානු කෞතුකාගාරයේ දැන් ප්‍රදර්ශනය වෙනවා. 
 

National Museum of American History

1300 Constitution Avenue NW
Washington, District of Columbia 

ඒබ්‍රහම් ලින්කන් - ඇමෙරිකාවේ 16 වන ජනාධිපති. ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුම කාලයක් වූ සිවිල් යුද්ධය සමයේ රට      මෙහෙයවුයේ ඒබ්‍රහම් ලින්කන්. ඇත්තටම ඔහු මානව ප්‍රජාව වෙනුවෙන් වු ගැලවුම්කාරයෙක් ලෙස හැඳින්වුව හොත් නිවැරදියි.

නමුත් ඇමෙරිකානු ඉතිහාසය තුල ඇති අඳුරු සෙවනැලි නැවත වරක් මතුවෙමින් 1865 වසරේ අප්‍රේල් මාසයේ 14 වැනිදා ඔහු වොෂින්ග්ටන් නුවර ෆෝර්ඩ් රංග ශාලාවේදී නාට්‍ය දර්ශනයක් නැරඹීමට ගොස් සිටියදී සාහාසිකයෙකුගේ වෙඩි පහරින් මරණය පත් වුනා. 

වෙඩි පහරින් තුවාල ලැබූ ඒබ්‍රහම් ලින්කන්ව ඒ අසල තිබු නිවසකට රැගෙන ගොස් ප්‍රතිකාර කලත් ජීවිතය බේරා ගැනීමට හැකි වුයේ නැහැ.

මේ නිවස හැඳින්වෙන්නේ පීටසර්න් නිවස නමින්. අද මේ ස්ථානය ලින්කන් කෞතුකාගාරය ලෙස හැඳින්වෙනවා.  

ඒබ්‍රහම් ලින්කන්ට් උපහාර පිණිස ඔහු වෙනුවෙන් සහ ඔහු ගැන ලියවුනු පොත් 6800ක එකතුවක් කුළුණක් ආකාරයට නිමවා තිබෙනවා. මෙහි උස අඩි 34ක් වෙනවා. 

වොෂින්ග්ටන් නගරයේ සංචාරයක් කිරීමට ඔබට අවස්ථාවක්     ලැබෙනවා නම් මේ ස්ථානය නැරඹීම අනිවාර්යයි කියා මට සිතෙනවා. 

​එය ඔබ ඒ මානව හිතවාදියාට කරන ගෞරවයක් වනවා නියතයි.

Ford’s Theatre Center for Education and Leadership

516 10th St NW
Washington, District of Columbia

මේ නම් අපුරුම ස්ථානයක්.  එදා සෝවියට් දේශයත් , අද රුසියාවත් සහ ඇමෙරිකා එක්සත් ජනපදයත් සමග නිරන්තරයෙන්ම එකිනෙකා අතර රහස් ඔත්තු සංවිධාන වල ක්‍රියාකාරකම් අපට අසන්නට ලැබෙනවා. රුසියාවේ කේ.ජී.බී (වර්තමානයේ එෆ්.එස්.බී.) සහ ඇමෙරිකාවේ එෆ්.බී.අයි. රහස් සංවිධාන වල ඔත්තු සේවා ඉතා ප්‍රබල ලෙස මේ රටවල් දෙකේම ක්‍රියාත්මක වෙනවා.

වොෂින්ග්ටන් නගරයේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට තිබෙන කුඩා නිවසක් ගැන කිසිවෙකුගේ අවධානයක් යොමු වුනේ නැහැ. 1977 වසරේ සෝවියට් දේශය වොෂින්ග්ටන් නගරයේ නව තානාපති කාර්යාලයකට පැමිනුනා. සාමාන්‍ය නිවසක් ලෙස පෙනෙන මේ නිවෙසේ තට්ටු 3ක් දක්නට ලැබෙනවා. 

කිසිම අසල් වැසියෙක් මේ නිවසට ලියුම් බෙදීමක් හෝ ජනෙල් තිර විවෘත කර තිබෙනවා දැක නැහැ. හැබැයි සමහර දිනවල නොයෙක් නොයෙක් පුද්ගලයන් මේ නිවෙසට ඇතුල් වෙන අන්දම නම් දැක තිබෙනවා. 

මේ නිවසේ තෙවන මහලේ ඇති ජනෙල් වලින් නිතරම එෆ්.බී.අයි. නියෝජිතයන් රුසියානු තානාපති කාර්යාල වෙතට පැමිණෙන පුද්ගලයින් සහ තානාපති කාර්යාලය පිළිබඳව ඔත්තු බලා ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාශ කරනවා.  එමෙන්ම ඔවුන් මේ නිවසේ පොලව යට සිට රුසියානු තානාපති කාර්යාලය දක්වා උමගක් සෑදීමට කටයුතු කල බවත් සමහරු විශ්වාශ කරනවා. 

මේ වසරේ මාර්තු මාසයේදී ඉදිරිපත් කරන ලද නව යෝජනාවකට අනුව මේ නිවෙස ඇතුළු තවත් නිවෙස් කිහිපයක් ඉවත් කර ඒ ඉඩම මත වාහන අංගනයක් ඉදි කිරීමට සැරසෙනවා. 

FBI House

2619 Wisconsin Avenue NW
Washington, District of Columbia

නෝෆෝක් කුඩා නගරය පිහිටා තිබෙන්නේ වොෂින්ග්ටන් නගරයේ සිට සැතපුම් 160ක් පමණ දුරකින්. 

බැලූ බැල්මට අනිකුත් කුඩා නගර අතරත් මේ නගරය අතරත් අතර කිසිම වෙනසක් පෙනෙන්නට නැහැ.  නමුත් මේ නගරයේ නිස්කලංක මාවත් දිගේ ඇවිදගෙන යන ඔබ කිසි විටෙක සිතන්නේ නැහැ ඔබ ඇවිදින්නේ සමුහ මිනී වලවල් අතරින් කියා.

1855 වසර නෝෆෝක් නගරයට මෙන්ම අමෙරිකාවටද දරුණු වසරක් වුනා. බටහිර ඉන්දීයානු රටවල් වලින් පැමිණුනු නැව් මගින් මදුරුවන් හරහා කහ උන රෝගය නෝෆෝක් නගරයේ සීග්‍ර ලෙස පැතිරෙන්නට වුනා.

​අවසාන ප්‍රතිපලය තමයි නගරයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ කහ උන රෝගයෙන් මිය යාම. ඒ වගේම දහස් ගණන් පිරිස් නගරය ඇත හැර යන්නට වුනා. 

සෑම දිනකම සිය ගණනින් මිය යන්නට වුනා. මේ සිරුරු මිහිදන් කරන්නට නගර පාලකයින් හට ඉතාමත් අසීරු කාර්යයක් වුනා. මෙයට සුදුසුම පිළියම වුනේ මිය ගිය පිරිස් සමුහ වශයෙන් මිහිදන් කිරීම. 

දැනට 3000කට අධික මියගිය පිරිසකගේ නාම ලේඛන සකස් වී තිබෙනවා.  

900 W Princess Anne Rd
Norfolk, Virginia
United States

වොෂින්ග්ටන් නගරයේ සිට කි.මී. 130 දුරින් පිහිටා ඇති ලුරේ ස්වාභාවික ගුහාවන් බොහෝ සංචාරකයින් නරඹන්නට යන්නේ ඉතා කලාතුරකින්.    මේ ස්වාභාවික ගුහාවන් කි.මී. 15ක පමණ දුරකට විහිදී පවතිනවා. ලොව පුදුම ගුහාවන් අතරට එක්වන මේ ගුහාවන් වල හුණුගල් වලින් නිර්මාණය වූ විවිධ හැඩයන් සහිත කඳු ගැටී සහ ස්වරූපයන් තමයි දක්නට ඇත්තේ.

එමෙන්ම වියලි සහ තෙත් ගුහාවන්ද දක්නට ඇති අතර විවිධ වර්ණයන්ගෙන් සෑදී ඇති මේ හුණුගල් නිර්මාණයන් වලට වර්ණවත් විදුලි ආලෝකය එක් කිරීමෙන් තවත් දර්ශනීය තත්වයක් එයට එකතු කර තිබෙනවා. 

මේ ස්ථානයේ ඇති පැරණි වාහන කෞතුකාගාරයක් මගේ අවධානයට යොමු වුනා. ලෝකයේ වාහන ඉතිහාසයේ පැරණි වාහන අති විශාල ප්‍රමාණයක් ඉතා හොඳ තත්වයකින් ඔබට දැක බලා ගන්නට පුළුවන් මේ කෞතුකාගාරයේදී. 

1927වසරේදී ඩේම්ලර් බෙන්ස් විසින් නිපදවනු ලැබූ මර්සිඩීස් බෙන්ස් වර්ගයේ පැරණි වාහනය මේ කෞතුකාගාරයේ ඇති විශේෂතම වාහනයයි.  HP 220 සහ සිලින්ඩර් 6ක ප්‍රබලතාවයක් ඇති මේ  වාහනය දැනට ඇමෙරිකාවේ පැරණිම නමුත් භාවිතා කල හැකි මට්ටමේ පවතින වාහන කිහිපයෙන් එක් වාහනයක්. ඔබ පැරණි වාහන ප්‍රිය කරන්නෙක් නම් වොෂින්ග්ටන් නගරයට පැමිණියහොත් මේ වාහනය නැරඹීම වෙනුවෙන්ම මේ කෞතුකාගාරය වෙත යාම අනිවාර්යයයි  මට සිතෙනවා. 

Luray Caverns & Car & Carriage Museum

101 Cave Hill Rd, Luray, VA 22835

මේ සිර කඳවුරු සංකීර්ණය ආරම්භ කොට තිබෙන්නේ 1910 වසරේදී .

මුලින්ම සාමාන්‍ය කෙටි කාලීන සිර දඬුවම් ලබන සිරකරුවන් සඳහා තමයි මේ සිර මැදිරි සංකීර්ණය ගොඩ නගා තිබෙන්නේ. මෙය 2001 වසරේ වසා දමන විට එයට අක්කර 3500ක පමණ ඉඩමක් අයිතිව තිබුනා. 

1916 වසරේ ආරම්භ කරන ලද කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි National Woman's Party හි    නායකත්වය දැරූ ඇලිස් පොල් නමැති කාන්තාව ඇතුළු සියයකටත් අධික කාන්තාවන් පිරිසක් සිර කරමින් ඔවුනට දරුණු වධ වේදනා දුන් හිර කඳවුර හැටියට මේ ස්ථානය හැඳින්වෙනවා.

නමුත් අද මේ ස්ථානය බොහෝ වෙනස කම් වලට ලක් වෙමින් පවතිනවා. දැන් මේ ස්ථානය ජාතික කලාගාරයක් හැටියට නවීකරණය වෙමින් පවතිනවා. 

​ඒ වගේම අනාගතයේ දිනෙක එදා සිර මැදිරි ලෙස පැවතුනු කාමර තරු පන්තියේ හෝටල් කාමර ලෙස නවීකරණය කිරීමටද යෝජනාවක් දැන් ඉදිරිපත් වී තිබෙනවා. 

නමුත් වඩාත් වැදගත් වන්නේ 1959 සිට 2001 වසර දක්වා සෝවියට් දේශය සමග පැවති සීතල යුද්ධ සමයේදී මේ ස්ථානය සන්නිවේදන උපකරණ සඟවා තැබූ බංකර තිබු ස්ථානය හැටියට හැඳින්වෙනවා. ඊට අමතරව ඇමෙරිකාවේ නයික් සහ අජැක්ස් මිසයිල රඳවා තැබූ ස්ථානයද වන්නේ මේ ලෝටන්  සිර මැදිරි සංකීර්ණ භූමියයි.

Lorton Correctional Complex

Ox Rd, Lorton, VA 22079

මේ වොෂින්ග්ටන් නගරයේ මට යාමට හැකිවූ ස්ථාන වලින් මගේ සිත් ගත් ස්ථානයි. 

රොහාන් ඩිරෙක්ස් 

​සංචාරය කලේ 2018 ඔක්තෝබර්  

info@sanchara.lk

IMG_E2562_edited.jpg
822633_06c3db5422794b82b635c23de9418ee7_